නූගත් පාඩම් උගන්නට


(ලිපිය මුල් වරට පළවුනේ අප්‍රියෙල් 24 දා මව්බිම පත්තරේ ය)

මේ ලිපිය ලියන්නේ පාස්කු ඉරිදා ඇති වූ ව්‍යසනයේ කම්පනය සමග ය. ලියන්නට පෙර අවසන් වරට මා දුටු සංඛ්‍යා ලේඛන වලට අනුව, සිද්ධිය නිසා මියගිය සංඛ්‍යාව 290 ක් වන විට තුවාල ලැබූ සංඛ්‍යාව පන්සියයකට අධික වී තිබුනේ ය. එය ලංකාව පමණක් නොව මුළු මහත් ශිෂ්ඨ ලෝකයම කම්පනයට පත් කරන්නට ඇත. මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනා මේ බෝම්බ තැබීමට කටයුතු කළ කිසිවෙකුට, ඔවුන්ගේ කෙස් ගහකට හෝ ඔවුන්ගේ අරමුණකට, පෞද්ගලිකව නපුරක් කළ අය නොවීම, ඒ කම්පනය දරා ගැනීමට නොහැකි වීමට තව ප්‍රබල හේතුවක් වේ. කොහේවත් නැති මිනිසුන් මෙපමණ සංඛ්‍යාවකට මේසා විශාල නපුරක් කළ හැක්කේ කෙසේ ද? බොහෝ දෙනෙකු උත්තර හොයන්නට දඟලන ප්‍රශ්නය එය විය හැකි ය.

අප රට තිස් අවුරුදු ශාපලත් යුද්ධය අවසන් ව වසර දහයක් තවම ගෙවා නැත. දැන් මේ එන්නේ ඊට වඩා දරුණු නපුරක් විය හැකි ය. ඉතිහාසඥයන් කියන විදිහට අපේ රටේ ලේ වැගිරීම් සහිත කළකෝලාහල සෑම වසර හතකට වරක් වත් සිදු වන්නේ ය. ඒ මෑත අතීතයේ අප තැබූ වාර්ථාව ය. ඒත් අප ඒවායින් ඉගෙන ගන්නේ නැත. හේතුව අප මේ සිද්ධි දෙස අප කලින් බැලූ කෝණයෙන් ම, තවදුරටත් බැලීම ය. වෙනත් කෝණයකින් බැලීම ප්‍රතික්ෂේප කිරීම ය.

සියළු කළබල වලට මුල ආගම් බව කියන්නට, අනාගාමිකයන්ට, මේ අපරාධය කදිම සාක්ෂියකි. ඔවුන්ට අනුව මේ අපරාධ නැති වන්නේ ආගම් නැත්තට ම නැතිවුනු දාට ය. තමන්ගේ බැතිමතුන්ට ආරක්ෂාව සැලසිය නොහැකි දෙවි කෙනෙකු ඇදහිය යුත්තේ මන්ද යන්න, ප්‍රශ්නයක් ලෙස මතුකරමින් ඔවුහු මේ අවස්ථාව තම මතවාදය පතුරුවන්නට භාවිතා කරති.

සංහිඳියාව වෙනුවෙන් වැඩ කළ අය කියන්නේ මුස්ලිම් ජනතාවට විරුද්ධව කළ ප්‍රකෝපකාරී ක්‍රියා නිසා මුස්ලිම් අන්තවාදීන් ශක්තිමත් වීම මේ තත්වයට තුඩු දුන් බවයි. ඔවුන්ගේ ඇගිල්ල යොමු වන්නේ බොදුබල සේනාවට රාවණා බලයට හා මහසෝන් බලකායට ය. බේරුවල දිගන සිද්ධි වල වගඋත්තර කරුවන්ට ය. ඔවුන්ගේ අදහස මේ භේද ඇති කරන්නන් ආණ්ඩු මට්ටු කර, ජනවාර්ගික භේද දුරලා, අප වඩවඩාත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීමට කැප විය යුතු බව ය. සංහිඳියාව වෙනුවෙන් අන් කවරදාටත් වඩා පෙනී සිටිය යුතු බව ය.

ඔවුන්ගේ වග උත්තර කරුවන් කියනු ඇත්තේ අප එදා පෙන්වා දුන් විදිහට මුස්ලිම් අන්තවාදින් මට්ටු කළේ නම් අද ඔවැන්නක් කිරීමට ඔවුන් විසින් මෙසේ ශක්තිය ගොනු නොකර ගනු ඇති බව ය.

ඒ කියන්නේ එක් කට්ටියක් මේ ඉල්ලන් කෑමක් යැයි කියන විට, ඊට ප්‍රතිපක්ෂව ප්‍රතිවිරුද්ධ පාර්ශවය කියන්නේ නයි රෙද්ද අස්සේ දමා ගෙන කනවා යැයි දැන් කෑගසන බව ය.

වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති බවට මේ සිදුවෙමින් තිබෙන දේ කදිම උදාහරණයක් යැයි එක් බුද්ධ පුත්‍රයන් කෙනෙකු කියන විට තව කෙනෙකු කියනු ඇත්තේ පෙනේ වත් පුප්පන්නේ නැතිව ඔහොම අහිංසක ගානට හිටියොත් දර මිටි බඳින්නටත් ගනු ඇතැයි යන්න මෙයිනුත් ඔප්පු වෙනවා කියා ය.

“භූමි පුත්‍ර“ සංකල්පය දරණ අය කියන්නේ ප්‍රශ්න ඇති කරන අන්‍ය ජනවර්ගයන් රටින් පිටමං කළ යුතු බව ය. ඒ ඇරෙන්නට වෙන උත්තරයක් නැති බව ය.

රටට අවශ්‍ය තද පාලකයෙකු යැයි අදහන අයට මේ සිද්ධිය ඊට ලබා දෙන අග්‍ර සාක්ෂියකි. ඕක තමයි අපි දිගටම කියන්නේ කියමින් ඔවුහු හැම තැනම තම අදහස පතුරුවති. එවැනි පාලකයෙකු අද හෙටම ගෙන ඒමේ අවශ්‍යතාවය නැවත නැවතත් කියති. ඒ වෙනුවෙන් අද අද ම වැඩ කළ යුතු බවට ශපථ කෙරෙති.

“රණවිරුවන්“ට විරුද්ධව නඩු පැවරීම සම්බන්ධයෙන් කෝප වී සිටි පිරිස් කියන්නේ මේ නඩු හරහා බුද්ධි අංශ අඩ පණ වීම ත්‍රස්තවාදීන් හිස එසවීමට හේතු වූ බව ය. ඔවුන්ට අනුව මේ අප විඳවන්නේ එසේ නඩු පැවරෙන තැනට වැඩ සිද්ධ විමට ඉඩ සැලසූ නිසා ය.

මේ හැම කතාවකින් ම ප්‍රශ්නයේ එක පැති කඩක් ප්‍රදර්ශනය වනවා වෙන්නට පුළුවන. එහෙත් ඒ එකක්වත් තනිවම සමස්ථ ප්‍රශ්නය අල්ලා ගන්නේ නැත. මේ කතා කියන අය තම තමන්ගේ කතා ගැන කතා කළාට අනෙත් කතා ගැන තබන නිශ්ශබ්දතාවයෙන් පෙන්වන්නේ අලියා හඳුනාගන්නට තැත් කළ අන්ධයින්ගේ ස්වභාවයම ය. තමන් අල්ලා ගෙන ඇති කෑල්ල දක්වමින්, එය ම උඩ දමමින්, සතා මේ යැයි සපථ කර අපට කීමට ය.

එයට එක් හේතුවක් වන්නේ මේ කතා කියන බොහෝ අය ඉතිහාසය හදාරා නැති වීම ය. මේ ත්‍රස්තවාදීන් බිහිකරන හේතු පිළිබඳව මනෝ විද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක දෘෂ්ඨියකින් කරුණු හදාරා නැති වීම ය. වෙනත් රටවල සමාන සිද්ධි ගැන හදාරා නැති වීම ය. ඒවා ගැන විමසන්නට අවශ්‍ය යැයි ඔවුන්ට හැගෙන්නේ ද නැත. අලුතින් ඉගෙන ගන්නට ඕනෑ යැයි ඔවුන්ට හිතෙන්නේ නැත. වැරදුනේ කොහේ දැයි නැවත නැවතත් විමසිය යුතු යැයි ඔවුන් හගින්නේ නැත.

ඔවුන්ට අවශ්‍ය තමන් දැනටමත් දරමින් ඉන්නා දේශපාලන හෝ ආගමික මතය තහවුරු කර ගැනීම සඳහා මේ සිද්ධිය සාක්කියක් ලෙස යොදා ගැනීම පමණ ය.

මීට අමතරව සැවොම බලන්නේ සිද්ධියේ වගකීම අන් අය වෙත, ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් වෙත, පවරා තමන් නිදහස් වීමට ය. තමන්ගේ කඳවුර නිදහස් කර ගැනීමට ය. වැරැද්ද ඇත්තේ අනොකාගේ ය. අපට ඒ නිසා වගකීමක් නැත. අපට කළ හැකි දෙයක් නැත.

මේ හේතු නිසා අප මේ සිද්ධියයෙන් ද පාඩම් ඉගෙන ගන්නා එකක් නැත. සිදු විය හැකි එකම දෙය නම් ලේ වැගිරීම් සහිත කෝලාහල සිදු වන තීව්‍රතාවය තව තවත් වැඩි වීම ය. ඒවා අතර කාලාන්තරය තව තවත් අඩු වීම ය.මේ කරුණු කළමනාකරණය ගැන සංවාදය කරන අපේ කළමනා කොළමට ඇතුළු කළේ හේතු කීපයක් මත ය. එකක් රටට අහිතක් වෙන වටපිටාවක ඉතිරි වන ආයතනයක් හෝ කරන්නට හැකි කළමනාකරණයක් නැති නිසා ය. අනෙක් අතට රටක් ද කළමනාකරණය කළ යුතු ලොකු ආයතනයකි. ඒ නිසා මේ ප්‍රශ්නය රට ගැන සංවේදි කෙනෙකුට මග හැරිය නොහැකි ප්‍රශ්නයකි.

තවත් අතකට අපේ ආයතන වල ද මෙවැනි ව්‍යාසනයන් හිටිහැටියේ සිදු වේ. ඒවාට ද සිදු වන්නේ මේ සංගතියම ය. ඒ ව්‍යාසනයන් තම තමන් අදහන මතවාදයන් හා කඳවුරු ශක්තිමත් කිරීමට මිසක, මිනිසුන් විසින් ඉගෙනීමට යොදා නොගැනීම ය.

ව්‍යාසනයකින් අප යමක් ඉගෙන ගන්නවා නම් ව්‍යාසනය ඇති කරන පාඩුව එක් අතකට තාවකාලික යැයි සැළකිය හැකි ය. එහෙත් ඒ වෙනුවට අප පාඩම් ඉගෙන ගන්නට අසමත් වීම නිසා එය දිගින් දිගට නැවත නැවතත් සිදු වේ නම් එය සදාකාලික අවාසනාවක් වන්නේ ය.

අපේ රට සම්බන්ධයෙන් පමණක් නොව බොහෝ ආයතන සම්බන්ධයෙන් ද අප දකින්නේ ඔවුන් පාඩම් ඉගෙන නොගන්නා බව ය. එය පැහැදිලිව ම කළමනාකරුවන්ගේ අඩුපාඩුව කි.

යම් බරපතල හානියක් ව්‍යාසනයක් සිදු වූ විට අදාළ කළමනාකරුවන් විසින් ඒ පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් පැවැත්විය යුතු ය. ඒවා අහුමුළු වල කෙරෙන අවිධිමත් කතාවලට සීමා නොවී විධිමත් ලෙස කළ යුතු ය. ඒ සඳහා ප්‍රමාණික බුද්ධිමතුන්ගේ මතයන් විමසිය යුතු ය. ඔවුන්ට එකිනෙකා හා වාද විවාද කරමින්, ඇති වුනු සිද්ධිය විච්ඡේදනය කරමින්, හරවමින්, පෙරලමින්, බලන්නට අවස්ථාව දිය යුතු ය. ඒවාට හැකිතාක් පුළුල් සහභාගිත්වයක් ලබා ගත යුතු ය. සංවාදය අවසානයේ උගත් පාඩම් ලේඛන ගත කළ යුතු ය. ඒ පාඩම් වලට අනුව නැවත එවැනි ව්‍යාසනයක් ඇති නොවීමට ගන්නා වැඩ පිළිවෙල ප්‍රකාශයට පත් විය යුතු ය. ඒ සඳහා එක් එක් පාර්ශවයට ඇති වගකීම් නිශ්චය ලෙස දැක්විය යුතු ය. ඒ වැඩ පිළිවෙල නිසි පරිදි සිදු වන බවට වග බලා ගැනීමට පසුවිපරම් යාන්ත්‍රණයක් සකස් කළ යුතු ය. ඒ හරහා වැඩ පිළිවෙලේ ප්‍රගතිය වරින් වර සමාලෝචනය කළ යුතු ය. ප්‍රතිඵල ප්‍රමාණවත් නැතිනම් වැඩ පිළිවෙළ නැවත විමසිය යුතු ය.

රටක් සම්බන්ධයෙන් ද එයම අනුගමනය කළ යුතු ය. දැනටමත් කොමිසමක් පත් කර තිබේ. ඒ වගකිව යුත්තන් සොයන්නට ය. එය ද අවශ්‍ය ය. එහෙත් වඩාත් අවශ්‍ය උගත හැකි පාඩම් විමසීමට කොමිසමක් පත් කිරීම ය. ත්‍රස්තවාදයේ සැපයුම පමණක් නොව ඊට ඇති ඉල්ලුම ද පාලනය කළ හැක්කේ කෙසේ දැයි සොයා බැලීම ය.

රටවල් හා ආයතනයන් ඉදිරියට යන්නේ තමන්ගේ වැරදීම් වලින් ඉගෙන ගන්නට ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගයන් නිසා ය. එසේ  නොකරන ජාතීන්ට හා ආයතනයන්ට සිදු වන්නේ සෙසු ජාතීන් තමන් පසු කරමින් යන හැටි බලන්නට ය. එසේ බලමින් ලතවන්නට ය. එකක් පසු පස එකක් එන මෙවැනි ඛේදවාචකයන්ට නැවත නැවතත් මුහුණ දීමට ය.

අප තේරුම් ගත යුත්තේ කිසිවෙකු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් නොවන බව ය. කිසිවෙකු යන පදයට තමන් ද අයිති බව ය.