නව ජනපතිගේ පළමු පියවර – කළමනාකරුවෙකුගේ ඇසින්


නව ජනාධිපති විසින් දැනට පියවර ගණනාවක් ගෙන ඇති නමුත් අප කැමති පළමු පියවර ලෙස මහත් ආන්දෝලනයකට තුඩු දුන් අරගලකරුවන් සම්බන්ධයෙන් ගත් හමුදාමය පියවර සැලකීමට ය. එය සෞම්‍ය වචන වලින් කියන්නේ නම් අරගලකරුවන් ඒ වන විට අත්පත් කර ගෙන පදිංචි වී සිටි ජනාධිපති මන්දිරයෙන් ඔවුන් ඉවත් කිරීම පිළිබඳව ය. අප ඒ සම්බන්ධ පසුබිම මුලින් විමසමු.  ඊට පසුව ඒ සෞම්‍ය වචන ඒ සිද්ධි දාමය විස්තර කිරීමේ ලා ප්‍රමාණවත් වන්නේ දැයි සලකා බලමු.

අරගලයේ මූලික ඉල්ලීම වී තිබුණේ ගෝඨාභය ජනාධිපති කමින් ඉවත් විය යුතු බවත් රාජපක්ෂ පරපුර ම පාලනයෙන් ඉවත් විය යුතු බවත් ය. ජූලි 14 දා වන විට ඒ කරුණු දෙක ම ඉටු වී තිබුණේ ය. ඊළග පියවර ගන්නට තිබුණේ පාර්ලිමේන්තුවට ය. ඒ ව්‍යවස්ථානුකූලව අනුප්‍රාප්තිකයෙකු පත් කර ගැනීම ය. එය ජූලි 20 දිනට යොදා ගෙන තිබුණෙන් ඒ වන විට අරගලයට තිබුණු භූමිකාව නම් පාර්ලිමේන්තුව විසින් සම්මුතියකට පැමිණ රටට පිළිගත කෙනෙකු ජනපති ලෙස පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීම පමණ ය. ඒ තත්වය යටතේ ඔවුන්ට තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය රැඳී සිටීමට යුක්ති යුක්ත කාරණා යෙදී තිබුණේ නැත. එසේ වුව ද තවදුරටත් බලයට පත් වෙන ආණ්ඩුව නිවැරදි මාර්ගයට යොමු කිරීමේ බලපෑම් කිරීමට ඔවුන්ට අයිතියක් තිබුණේ ය. ඒ කාර්යාල ගොඩනැගිල්ලෙන් පිට අරගල භූමියේ ය.

එහෙත් ඔවුන් ඊට එහා ගේමක් ඉල්ලා සිටියේ ය. ඒ තමන්ට එකඟ විය හැකි පාලකයෙකු පත් වන තුරු පත් වන පාලකයන්ට එරෙහි ව ද දිගින් දිගට අරගලයේ යෙදී සිටීමට කටයුතු කරන බව ප්‍රකාශයට පත් කිරීමෙන් ය. එය සමාන කළ හැක්කේ “ගූ” නැව අරබයා තමන්ට හිතකර ප්‍රතිඵලයක් ලැබෙන තෙක් දිගින් දිගට පරීක්ෂණ කළ යුතු යැයි අපට අණ කළ චීනුන්ගේ අස්ථානයට ය.

නව පාලනයකට බලපෑම් කිරීම එකකි. ඒ පාලනය අසවලා විසින් දැරිය යුතු ය හෝ නොදැරිය යුතු ය යන්න පිළිබඳ තීරණාත්මක බලයක් තමන්ට ඇතැයි සිතීම තවත් එකකි. පළමුවැන්නට සුජාත අයිතියක් ඔවුනට ඇති නමුත් දෙවැන්නට අයිතිය ඇත්තේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට ය. මැතිවරණයක දී ජනතා ඡන්දයකට ය. ඒ නිසා ඔවුහු ඒ වන විට අරගලයේ සුජාත සීමාවන් පනිමින් සිටියහ.

ඒ පසුබිම තුළ පත් වූ නව ජනාධිපති විසින් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කරන්නට ගත් තීරණය නිවැරදි ය. අරගලකරුවන් කියන්නේ තමන් යන බවට පොරොන්දුවක් දී තිබිය දී මෙසේ බලහත්කාරයෙන් ඉවත් කළ බව ය. ඒ නිසා ඒ තීරණය නිවැරදි යැයි තමන් පිළි නොගන්නා බව ය. ඒත් ජනාධිපති පත් වී දින දෙකක් ගතවන තුරු ඔවුන් ඒ සඳහා කල් ගත කළේ මන්දැයි නොකියවෙන නිසාත් ඒ දෙන්නම් පොරොන්දු විශ්වාස කරමින් කල් දැමීම උචිත නොවේ යැයි ආණ්ඩුව පැත්තෙන් කල්පනා කළා නම් ඒ ගැන අපට ආණ්ඩුවට තවදුරටත් ඇඟිල්ල දිගු කළ නොහැකි නිසාත් ඒ තර්කය අපට අමතක කළ හැකි ය. අනෙක් පැත්තෙන් රට නැවත සාමාන්‍ය තත්වයට හැකි ඉක්මණින් පැමිණවීම පාලනයේ වගකීමක් ලෙස සලකා ද අපට ඒ ගැන රජයට සමාව දිය හැකි ය.

ඒ අර්ථයෙන් ගත් කළ කළමනාකරුවෙකුගේ ඇසින් ජනපති ගත් මේ තීන්දුව නිවැරදි ය. කළමනාකරණ භාෂාවෙන් කියන්නේ නම් අරමුණ නිවැරදි ය.

එහෙත් කළමනාකරණයේ දී අරමුණ නිවැරදි වීම පමණක් නොසෑහෙන බව අපි දනිමු. අරමුණ කරා ළඟා වීමට නිවැරදි උපායමාර්ග ද අප තෝරා ගත යුතු ය. අප ඒ උපාය මාර්ග නිර්ණය කරන්නේ පවතින බාහිර වතාවරණය මෙන් ම අප පිළිබඳව ද සැලකිල්ලට ගනිමින් ය. බාහිර වාතාවරණය මතු කරන ඉඩ ප්‍රස්ථා අවස්ථා මෙන්ම තර්ජන අභියෝග ද  (opportunities and threats) අප පිළිබඳව අපේ දුර්වලකම් හා ශක්තීන් ද (strengths and weaknesses) එහි දී සැලකිල්ලට ගනු ලැබේ.

අප සිටියේ දරුණු ආර්ථික අර්බුදයක කරවටක් එරී ගෙන ය. ඒ නිසා දේශපාලන ස්ථාවරත්වය අවශ්‍ය වකවානුවක ය. ඒ සඳහා බහුතර ජනතාවගේ සහයෝගය වුවමනා කරන තැනක ය. වඩාත් ම පුළුල් දේශපාලන සහභාගිත්වය අවශ්‍ය තැනක ය. එපමණක් නොව ජාත්‍යන්තර සහයෝගය ද අවශ්‍ය තැනක ය.

අනෙක් පැත්තෙන් අප සිටියේ ආර්ථික අර්බුදය නිසි ලෙස කලට වේලාවට කළමනාකරණය නොකළ නිසා අරාජික වූ රටක් ඇතුළේ ය. අරගලය ඒ වන විටත් අගතිගාමී දේශපාලන ව්‍යාපාරයන් විසින් හයිජැක් කරන්නට යෙදී ඇතැයි චෝදනා එල්ල වෙමින් පැවති වටපිටාවක ය. දිගු කාලීන අරගලයකින් වෙහෙසට පත් ව විරාමයක් රට ම ඉල්ලා සිටි තැනක ය. ගෝඨාභය හා රාජපක්ෂ පුද්ගල චරිතයන් ඉවත් කිරීමට දායක වීමෙන් පසු ඒ ජයග්‍රහණය සමරන්නට ජනතාව සූදානම් ව සිටිය දීත් අරගලය ඇද ගෙන යෑමට ඇතැම් පාර්ශවයන් දරමින් සිටි උත්සහය තුළ ජනතාව ඉන් ඉවත් වෙමින් සිටි පසුබිමක ය. අරගලය පසු බැසිය යුතු යැයි අරගලකරුවන්ගේ ම කොටසක් විසින් වචනයෙන් ද ඊටත් වඩා විශාල පිරිසක් විසින් චර්යාවෙන් ද කියා සිටි පසුබිමක ය.

නව ජනාධිපති බහුතර පාර්ලිමේන්තු බලයකින් පත් වීම නිසා එක පැත්තකින් ශක්තියක් ලැබ සිටියේ වුව ද අනෙක් පැත්තෙන් ඒ පත් වීම ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවේ ම බහුතර චන්දයෙන් පමණක් වීම නිසා තව අතකින් දුර්වලව සිටියේ ය. ජනාධිපති තනතුරට අභිනවයෙන් පත් වීම නිසා කල් දීමට ජනතාවගෙන් කොටසක් සූදානම් ව සිටීම නිසා ජනාධිපති යම් ශක්තියක් ඇති ව සිටියේ වුව ද වසර 45 ක දේශපාලන ජීවිතයේ යම් දුර්වලතා හා චෝදනා නිසා ඒ ශක්තිය මත විශාල සෙවනැල්ලක් පතිතව තිබුණේ ය.

එක් පැත්තකින් තම පාලනය ස්ථාපිත කිරීමටත් අරාජිකත්වය ඉක්මනින් ඉවත් කිරීමට තමන්ගේ කැපවීම ප්‍රදර්ශනය කිරීමටත් නව පාලකයා කටයුතු කළ යුතු ව තිබුණේ ය. ඒ සන්නිවේදනය ඉක්මනින් ද කළ යුතු ව තිබුණේ ය.

මේ පසුබිම සලකන කළ ගත් පළමු පියවර සත්‍යය වශයෙන් ම ගත යුතු ව තිබුණු පියවරකි. එහෙත් ඒ පියවර ගැනීමේ දී අනුගමනය කළ ක්‍රියාමාර්ගය බුද්ධිමත් වී ද? අප ඉහතින් සාකච්ඡා කළ පරිසර තත්වයන්ට ම අනුව උචිත වූයේ ද? උපායමාර්ගික ව ස්ථානෝචිත හා කාලීන වූයේ ද?

ඉවත් කිරීමට අවම බලය යෙදීම එකකි. එහෙත් ඒ සංසිද්ධියේ දී වෙනත් කිසිදු වැරැද්දක් වීමට තිබූ පරිසර තත්වයන් තුළ හා නව පාලනයේ ස්වභාවය තුළ ඉඩක් තිබුණේ ම නැත.

අප දැනට සංවාදයේ යෙදුණේ අරමුණ හා උපායමාර්ග සම්බන්ධයෙන් පමණ ය. එහෙත් කළමනාකරුවෙකු තමන් ගන්නා ඔ්නෑම ක්‍රියාවක් ආයතනය පිළිගන්නා අවම සදාචාරය සම්බන්ධ සම්මූතීන්ට බැඳී ක්‍රියාත්මක කළ යුතු බව අපි අමතරව දනිමු.

මෙතැන ආයතනයක් නැති වුව ද රටක් තිබේ. රට මේ වන විට පිළිගත් සම්මූතින් (අරගලය හරහා එක්තරා දුරකට හැඩ ගැසුණු හා රට ම පිළිගන්නට උත්සහ කරමින් සිටි) කිහිපයක් තිබුණි. එකක් නම් කරන දෙයක් අවිහිංසාවාදී ව කළ යුතු බව ය. සාකච්ඡාව හා සංවාදය භාවිතා කළ යුතු බව ය. බලය යෙදීම අවම මට්ටම තුළ තබා ගත යුතු බව ය. නව ජනපති ඊට යටත් විය යුතු ව තිබුණේ ය. අඩු වශයෙන් ඒ බව තමන්ගේ නියෝග ක්‍රියාත්මක කළ අයට සන්නිවේදනය කරන්නට ඔහුට වගකීමක් තිබුණේ ය. එය නිසි ලෙස කළ බවක් පෙනෙන්නේ නැත.

අවසානයේ සන්නිවේදනය වූයේ ආණ්ඩුව අරාජිකත්වය නැති කිරීමට බලය යෙදීමට පමණක් නොව, එය තිරශ්චීන ලෙස යොදන්නට ද, සූදානම් බව පමණ ය. පළමු සන්නිවේදනය පමණක් කළා නම් යහපත් විය හැකි ව තිබූ ප්‍රතිඵලය දෙවැන්න ද එකතු කිරීමෙන් පසු අයහපත් විපාක ඇති කරමින් තිබෙන්නේ ය.

හමුදා බල ඇණි හා පොලිසියේ ඉදිරි ගමන හමුවේ ඉවත් වන පිරිසට පස්සෙන් පන්නමින් පහර දෙන්නට කිසිදු සදාචාරමය අයිතියක් ඒ අය මෙහෙයවන අයට තිබුණේ නැත.

නව ජනපති පත්ව සිටින්නේ නිවැරදි දෙයක් වැරදියට කරන්නට ගොස් අත පුච්චාගත් කුදු මිනිසෙකු තැනට ය. ඉදිරියට යන්නට අපේක්ෂා කරන්නේ නම් වැරැද්ද පිළිගෙන සමාව ගත යුතු ය. එවැන්නක් නැවත නොවන ලෙස හමුදාව හා පොලීසියේ විනය සෑදිය යුතු ය.

නැතිනම් ජනපතිට පමණක් නොව රටට ද නැවතත් අබ සරණ ය.

පොදු ප්‍රවාහන සේවය – චෝදනා වෙනුවට යෝජනාවක්


පස්ස බිම ඇනිලාවත් අලුත් දේ අපේ සිත් වල පහල වෙන්නේ නැත්තේ අපේ කරුමයට ය. පොදු ප්‍රවාහන සේවයට විසඳුමක් නැති වීම හේතුවෙන් අප පුද්ගලික වාහන වල “සාඩම්බර” හිමිකරුවන් බවට පත් කරනු ලැබ මේ වන විට ඒවායේ “ශෝචනීය” සිරකරුවන් බවට පත් වෙමින් තිබේ.

අද පවතින විනිමය අර්බුදයට ප්‍රමුඛ පියවර විය යුත්තේ පොදු ප්‍රවාහනය නිසි ලෙස සංවිධානය කිරීම ය. එහෙත් සිදු වෙමින් පවතින්නේ ඇතැම් පොදු ප්‍රවාහනයට යොමු කළ යුතු වාහන වරප්‍රසාද සහිත ව ඉන්ධන මිලට ගෙන ඒවා වැඩි මිලට කළු කඩයේ විකුණා ගාල් කර තැබීම ය. ඉන්ධන හිඟයක් පවතින්නට එක හේතුවක් ද විය හැක්කේ එය ය. අප එසේ කියන්නේ වැඩි මිලට ඉන්ධන ගැනීමට ඉඩ ප්‍රස්ථා ඇති බවට වාර්ථා වන නිසා ය.

පොදු ප්‍රවාහනය, විශේෂයෙන් බස් රථ සේවාව, ප්‍රතිසංවිධානය කිරීමට එක් මූලික කොන්දේසියක් වනුයේ එක් එක් බස් රථය විසින් මගීන්ගෙන් මුදල් එකතු කිරීමේ ක්‍රමය අහෝසි කිරීම ය. බස් රථයකට නැගීමට අවශ්‍ය ටිකට් පත් මිල දී ගැනීමට සෑම තැනකම ඉඩ කඩ සලසා තිබීම ය. ඒ මුදල් මධ්‍යම ආයතනයකට ගොනු වීම ය. ඒ ආයතනය මගින් බස් රථ වලට ගමනේ දුර හා ස්වභාවය අනුව නිශ්චිත මිලක් ගෙවීම ය.

ඒ කොන්දේසි දෙකක් යටතේ ය. පළමුවැන්න, සම්මත කාලසටහනකට අනුව බස් රථය ධාවනය කළ යුතු ය. දෙවැන්න එයින් ඉවත් වන්නේ නම් දඩයකට යටත් විය යුතු ය.

බස් රථයට තියෙන්නේ කාල සටහනට අනුව දුවන්නට ය. මගීන් කී දෙනෙක් ඉන්නේ ද යන්න නොතකා දුවන්නට ය. ඔවුන්ට ගමන් වාර අනුව මුදල් ලැබෙන බැවින් අද කරනවාක් මෙන් කොට-කොට යන්නට හේතුවක් නැත. පරක්කු වන්නට හේතුවක් නැත. ඒ හරහා විශ්වාසවන්ත සේවයකට මග පෑදේ. එවන් සේවයක් ලැබෙන්නේ නම් ඉන්ධන අර්බුදය විසඳුන ද මිනිසුන් බස් සේවා භාවිතය දිගට ම කරනු ඇත.

දඩයකට යටත් වන බැවින් ද දිගින් දිගට සේවයේ නොයෙදෙන්නේ නම් බලපත්‍රය අවලංගු විය හැකි බැවින් ද ඔවුන් ඉන්ධන විකිණීමේ ජවාරමෙන් ද ඉවත් වෙනු ඇත.

පළමු අභියෝගය ඇත්තේ ගමනාරම්භය හා ගමනාන්නතයේ වලංගුතාවය පහසුවෙන් පරීක්ෂා කළ හැකි ප්‍රවේශ පත්‍රයක් නිර්මාණය කිරීමේ ය. ඒ සඳහා තාක්ෂණ සහය අවශ්‍ය වනු ඇත. අප දැනටමත් ඩිජිටල් ලෝකයේ නමක් දිනා ගෙන ඇති නිසා එවැනි ප්‍රවේශ පත්‍රයක් නිර්මාණය කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන්නට ආරාධනා කරන්නේ නම් දේශීය තොරතුරු තාක්ෂණික ආයතනයක් සිය කීර්ති නාමය වෙනුවෙන් එවැන්නක් කිරීමට ඉදිරිපත් වීමේ ඉඩක් ද තිබේ.

දෙවැනි අභියෝගය ඇත්තේ ඒ ප්‍රවේශ පත්‍ර පහසුවෙන් ලබා ගත හැකි ක්‍රමයක් සැකසීමේ ය. ඒ සඳහා බිල් ගෙවීමට යොදා ඇති වැඩපිළිවෙළ වැනි වැඩපිළිවෙළක් යෙදිය හැකි ය.

මේ අභියෝග දෙක ම ජය ගැනීම සඳහා ලෝකයේ වෙනත් රටවල ක්‍රියාත්මක වන සමාන උපාය මාර්ග පිළිබඳව ද සොයා බැලිය හැකි ය.

අවශ්‍ය වෙනසක් කිරීමේ වුවමනාව ය. එය නැත්නම් කිසි දෙයක් සිදු වන්නේ නැත. පරණ විදිහට ම කර ගෙන යන්නේ නම් කිසිවක් වෙනස් වන එකක් නැත.