ඔබව අස්ථාවර කළ හැකි අභූත චෝදනා


අල්ලස් නොගන්නා කෙනෙකුට අල්ලස් ගත්තේ යැයි චෝදනා කිරීම ඔහු හෝ ඇය අස්ථාවර කළ හැකි සාර්ථක උපක්‍රමයකි. බොරු නොකියන කෙනෙකුට බොරු කාරයා යයි කීම ද වෙනත් ගැහැණියකගේ පහස නොපතන කෙනෙකුට ගැහැණු සොඩෙකැයි කීම ද එවැනිම උපක්‍රමයන් ය. නිලය අල්ලා ගහනවා යයි කියන්නේ මේ කාරණයට ම ය. වැඩි මනත් කරදරයක් නැතිව ප්‍රතිවාදියා මෙල්ල කිරීමේ හැකියාව නිලය අල්ලා ගැහූ විට ලැබේ.

එයින් අදහස් කරන්නේ ඔබ කවදාවත් නොකරන ක්‍රියාවක්ම කරනවා යැයි අභූත චෝදනාවක් ඔබ වෙත එල්ල කිරීමෙන් වෙන කිසිම චෝදනාවකටත් වඩා හොඳින් ඔබව අස්ථාවරව කළ හැකි බව ය.

එ නිසාම එවැනි දෙයක් ඔබ ඔබේ ප්‍රතිවාදියෙකුගෙන් එල්ල වෙතැයි අපේක්ෂාවෙන් සිටිය යුතු ය. ඔබව පාලනය කිරීම සඳහා ඔහු සතුව නැතැයි ඔබ සිතූ එහෙත් ඔහු සතුව තිබෙන ඒ අප්‍රමාණ ශක්තිය ඔබ වෙත එල්ල වීමට ඉඩ තිබේ.

ඔබ එවැන්නක් බලාපොරොත්තුව නොසිටිය හොත් ඔබට අත්වන්නේ දුර්භාග්‍යයකි. සිදු විය හැකි නරකම දෙය ඔබ අස්ථාවර වීම ය. කෝප වීම ය. මේ අභූත චෝදනාවෙන් ගැලවෙන්නට මං සෙවීම ය. ඔබ එසේ නොවන බව ඔප්පු කිරීමට කළ හැක්කේ කුමක් දැයි සෙවීම ය.

දැන් එළඹෙන්නේ ප්‍රතිවාදියාගේ මොහොත ය. ඒ ඔබ ඔප්පු කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය තුළ ප්‍රතිවාදියාට අවශ්‍ය දේ තිබෙන නිසා ය.

අහවල් තැනැත්තාට මාරුවක් නොදෙන්නේ ඔබ ඔහුගෙන් අල්ලසක් ලබා ගෙන ඇති නිසා යැයි ප්‍රතිවාදියා කියන විට ඔබට ඇති එක ගැලවීමක් නම් ඒ අහවල් තැනැත්තා මාරු කර එම චෝදනාවෙන් ගැලවීම ය. සමහරු චෝදනාව කෙතරම් නුරුස්සන්නේ දැයි කිව හොත් එයින් ගැලවීමට ප්‍රතිවාදියාගේ උගුලට ම පනින්නෝ ය.අහවල් තැනැත්තා මාරු කරන්නේ ය.

ඒ ක්‍රියාව තුළ ප්‍රතිවාදයා අභිලාෂයන් දෙකක් ඉෂ්ඨ කර ගන්නේ ය. පළමුවැන්න මාරු කරවා ගැනීම ය. දෙවැන්න ඔබ අල්ලස් ගන්නේය යන්න අනියමින් පෙන්වීම ය. අසාධාරණ ලෙස කියා පෑම ය.

ඒ නිසාම උත්තර දීමට කටයුතු කිරීම වෙනුවට ඔබ කළ යුත්තේ නොසැලී සිටීම ය. ඔබේ ක්‍රියාව විනිශ්චය කිරීම වෙන කෙනෙකුට පැවරීම ය. අපක්ෂපාත කෙනෙකුට පැවරීම ය. ඔබට ඉහළින් ඉන්නා කෙනෙකුට නැතිනම් මණ්ඩලයකට පැවරීම ය. මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන සිටින වෙනත් කෙනෙකුට පැවරීම ය. ඔහුගේ /ඇයගේ හෝ මණ්ඩලයේ අදහස ලැබෙන තෙක් මුවින් නොබැන සිටීම ය. නොසැලී සිටීම ය.

බුදුන්ටත් ස්ත්‍රී දූෂණ චෝදනාවන් පැමිණි නිසා මෙවැනි චෝදනා අරුමයක් නොවේ. එක් අතකට චෝදනා පැමිණෙන්නේම ඔබ සැළකිය යුතු බලපෑමක් කර ඇති නිසා ය. පුංචි මිනිසුන් ගැන මිනිස්සු කරදර නොවෙති. ඔබ ගැන ඔවුන් කරදර වන්නේ ඔබ ලොකුවට වැඩී ඇති නිසා ය.

ලොකුවට වැඩෙන හැම කෙනෙක්ම නොසැලී සිටීමට ඉගෙන ගත යුත්තේ ය. එය නායකයෙකු සතු ධීර ගුණයකි.

ඒ සඳහා අවශ්‍ය එක් වැදගත් දෙයක් නම් දැනුම ය. ඔබ මෙල්ල කරන්නට ප්‍රතිවාදියෙකු විසින් කුමන උපක්‍රම භාවිතා කළ හැකි දැයි යන්න පිළිබඳ දැනුම එහි දී විශේෂ වන්නේ ය. ඔබ මැකියාවෙලිගේ ‘ද ප්‍රින්ස්‘ කියවිය යුතුව ඇත්තේ ඒ නිසා ය. හිට්ලර්ගේ, ස්ටාලින්ගේ හා මැරයන්ගේ චරිතාපදානයන් කිව යුතුව ඇත්තේ ඒ නිසා ය.

ඒ සඳහා අවශ්‍ය අනෙත් වැදගත් දෙය නම් අට ලෝ දහම (ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රසංසා, සැප-දුක) ඉදිරියේ කම්පා නොවී සිටීමට ඔබේ සිත පුරුදු පුහුණු කිරීම ය. සංයමය ය. ඇතැම් දේ විසඳිය හැක්කේ කාලයට පමණ ය. ඒ බව දැන විසඳීම කාලයට බාර දීම ය.

එය පහසු කටයුත්තක් නොවේ. කුරුල්ලකු කමිසය මත පැහෑරූ විට එය ගලවන තුරු අපට ඉස්පාසුවක් නැත. අපට විරුද්ධව කරන අභූත චෝදනා ද අපට දැනෙන්නේ ඊට සමානව ය. ඒවායින් ගැලවෙන තුරු අපට ඉස්පාසුවක් නැත. අපේ ප්‍රතිවාදීහු මෙය හොඳින් දනිති.

සමහර විට මෙවැනි අභූත චෝදනා ඉදිරිපත් වන්නේ අපගේ අදහසකට උත්තර ලෙස ය. කපටි ප්‍රතිවාදීහු අපේ අදහස් විවේචනය කිරීමට උනන්දුවක් නොදක්වති. එය අසීරු බව සමහර විට කළ නොහැකි බව ඔවුහු දනිති. වඩා පහසු විදිහ චරිත ඝාතනයේ යෙදීම ය. අභූත චෝදනා ඉදිරිපත් කිරීම ය.

ඒ නිසා ම අප කළ යුත්තේ අපේ අදහස් ගැන මිසක චෝදනා ගැන කතා නොකර සිටීම ය. මුවින් නොබැණ ඉවසීම ය. තවත් වටයකින් වඩාත් පැහැදිලි කරමින් අපගේ අදහස් ඉදිරිපත් කිරීමේ යෙදීම ය. චෝදනාව ගැන වගේ වගක් නැතුව අපේ මතයම වඩාත් දියුණු කර ඉදිරිපත් කිරීම ය.

මෙය ද පහසු කටයුත්තක් නොවේ. බොහෝවිට සිදුවන්නේ අදහස පැත්තක තබා අපිදු චෝදනාවේ එල්ලීම ය. ප්‍රතිවාදියාගේ උගුලට කැමැත්තෙන් පැනීම ය. අප වුවමනාවෙන් හදා වඩා ගත් අදහස දැන් පැත්තක ය. දැන් අප එල්ලී සිටින්නේ වෙන කෙනෙකු විසිකළ කිසිදු වටිනාකමක් නැති කුණු ගොඩක ය.

තවත් විටෙක මේ ප්‍රතිවාදීන් කරනුයේ අප ඉහළ වටිනාකමක් දෙන කිසියම් දෙයක් තාර්කිකව නොවිමසා නිකම් ම තුට්ටු දෙකට දමා කතා කොට (අපහාසයට ලක් කොට) අප කේන්ති ගැන්වීම ය. එවිට බොහෝ දෙනෙකු කරන්නේ ප්‍රතිවාදීයාගේ එල්ලීම ය. ඔහු සමග පොර බැදීමට යෑම ය. අප වටිනාකම දුන් දේ දැන් පැත්තක ය. කොහේවත් ඉන්නා ප්‍රතිවාදියෙකු සමග පුද්ගලික ගනුදෙනුවක දැන් අප පැටලී තිබේ.

අප විසින් කළ යුත්තේ ඒ අපහාසය ඉවත දැමීම ය. නුදුටු වා සේ සිටීම ය. නෑසුනා සේ සිටීම ය. ඒ සඳහා ද සංයමය අවශ්‍ය ය. අපේ මතයට ඇති වටිනාකම වෙනස් වටයකින් ඉදිරිපත් කිරීම ය. ප්‍රතිවාදියාට නොව අනෙකුත් අසන්නන්ට ඇසෙන සේ ඉදිරිපත් කිරීම ය.

මේ අවස්ථා තුනේ දී ම අප දුටුවේ ඔබව උගුලකට හසුකරගන්නට තනන ප්‍රතිවාදියෙකි. ඔබේ ම දුර්වලතාවයක් ඔබ මෙල්ල කිරීමට යොදා ගන්නා ප්‍රතිවාදියෙකි. අතිශය කපටි ප්‍රතිවාදියෙකි. අවශ්‍ය වන්නේ මේ උගුල ගැන අවබෝධය ඇති ව ජීවත් විම ය. ඊට අමතරව එයට නොවැටී සිටීමට ඕනෑ කරන සංයමය ය. බොහෝ දෙනෙකුට නැති, ගොඩ නගා ගැනීමට අපහසු, සංයමය ය. ප්‍රතිවාදීන් සමග කරන මේ ගනුදෙනුවේ දී මේ සංයමය පවත්වා ගැනීමට උනන්දු වීමට, වෙහෙසීමට, අකමැති අය නායකයන් නොවිය යුත්තේ ය. ලොකු දේවල්වලට කර නොගැසිය යුත්තේ ය.

තෙවැනි විසඳුම


12213පැත්තක් නොගෙන සිටීමේ ආදීනව ගැන අපි පසුගිය සතියක කතා කළෙමු. ඒ “නෑ බෑ නොකියා“ යන සටහන හරහා ය. විශේෂයෙන් හැම දෙනාගේම හොඳ හිත දිනාගැනීමේ අභිලාෂයෙන් එසේ කළ ද එයින් අවසන සිදු වන්නේ කිසිවෙකුත් නැති වී අවසානයේ තමන්ට තමන්ව ද නැතිවීම බව ද අපි කීවෙමු. ප්‍රතිපත්ති මත පදනම් වූ අස්ථානයක් අප ගත යුතු බව ද අපි උත්තර හැටියට කීවෙමු.

මේ සියල්ල අදාළ වන්නේ එකිනෙකට ප්‍රතිපක්ෂ (mutually exclusively) අස්ථානයන් සම්බන්ධයෙනි. උදාහරණයක් ලෙස ගත හොත් එල්ලුම් ගස අවශ්‍ය ද නැද්ද යන කාරණය එවැන්නකි. ඒ අවශ්‍යය යන අස්ථානය අවශ්‍ය නැත යන අස්ථානය සමග එකට පැවතිය නොහැකි නිසා ය.

එවැනි කාරණයක් සම්බන්ධයෙන් මට අස්ථානයක් නැතැයි පැවසිය හැක්කේ අවස්ථාවාදියෙකුට පමණකි. ඒ ගැන තවමත් සිතා නැති නම් තවම නිවැරදි අස්ථානය කවරේ දැයි දැඩි ලෙස කල්පනා කර නැතැයි කිව හැකි බව සැබෑ ය. එය ගැලවී යා හැකි සාධාරණ උත්තරයක් බව ද සැබෑ ය. එහෙත් ඒ කෙටි කාලයකට පමණකි. දිගින් දිගට එවැනි උත්තරයක් දිමට ඔබට බැරි ය.

අම්ම ද නැතිනම් ඔබගේ බිරිඳ ද යන ප්‍රශ්නය කෙනෙක් මතු කළ විට එය එවැනි එකිනෙකට ප්‍රතිපක්ෂ අස්ථානයන් දෙකක් නොවන බව අපි දනිමු. ඒ දෙදෙනාම අප අගය කරන බැවිනි.

ප්‍රශ්නය වන්නේ ඔවුන් එකිනෙකට පරස්පර අස්ථානයන් දෙකක් ගෙන එකිනෙකාට අවි අමෝරා ගෙන සිටින විට ය. අම්මා හා බිරිඳ අප සම්බන්ධයෙන් එකක් තෝරා ගෙන අනික ඉවත් කළ හැකි දෙදෙනෙකු නොවන බැවින් අප ප්‍රවේසම් විය යුතු බව හැබෑ ය. එසේ වුව ද මෙවැනි අස්ථානයන් දෙකක් දරද්දී අපට පැත්තක් නොගෙන සිටීමට නොහැකි වෙයි.

අප ගිය සතියේ කතා කළේ එවන් විටක අප ගත යුත්තේ නිවැරදි පැත්ත බව ය. වඩා සාධාරණ පැත්ත බව ය.

අපට තව විකල්පයක් තිබේ. අද අප කතා කරන්නට උත්සහ කරන්නේ ඒ ගැන ය. මේ අස්ථානයන් ගැනීමට ඔවුන්ට හේතු වී ඇති සළකා බලා දෙපාර්ශයේම අපෙක්ෂා ඉටු වන පරිද්දෙන් ද ඔවුන්ට සිදු විය හැකි අලාභයන් අවම වන පරිද්දෙන් ද ගත හැකි තෙවැනි විසඳුමක් නිර්මාණය කර ගැනීමට ඔවුන්ට උදව් දීම ය.

නායකයෙකුට බොහෝ විට මෙවැනි තෙවැනි විසඳුම් නිර්මාණය කර ගැනීමට, සියලු පාර්ශවකරුවන්ට ජය ගෙනෙන විකල්ප විසඳුම් නිර්මාණය කර ගැනීමට, සිදු වේ. කිසිවෙකුගේ පැත්තක් ගැනීම වෙනුවට හැමට ම ගත හැකි නව පැත්තක් නිර්මාණය කර ගැනීම එහි දී අපේක්ෂිත ය. එය සියලු දෙනාගේ හොඳ හිත දිනා ගැනීමේ සාර්ථක ක්‍රමයකි.

එහෙත් එය අපහසු ය. මිනිසුන් තමන් ගත් අස්ථානයන් තුළ දැඩි ව සිට ගන්නා අතර ඉන් අඟලක් හෝ ඉවත් වීම බොහෝ විට ප්‍රතික්ෂේප කරන බැවිනි. විකල්පයක් වෙනුවෙන් නොව තමන් ගත් අස්ථානය ම වෙනුවෙන් පෙනී සිටීමට නායකයාට බලපෑම් කරන බැවිනි.

එවැනි අවස්ථාවල එක් පාර්ශවයක ජය වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීමට, එය කිසි දා සිදු නොවන බව දැඩි ව කියා සිටීමට, නායකයාට සිදු වේ. අවශ්‍ය සියල්ලන් ජය ගැනීම ය. එක් පාර්ශවකරුවෙකු හෝ පරාජය වන්නේ නම් සෙසු අයගේ ජය දිගුකාලීනව අර්ථ විරහිත වේ. පරාජය ලැබූ තැනැත්තා සිය බලමුළු රැස්කර කිසියම් විටක තමන්ට නැවත පහර දෙනු ඇතැයි යන සැකය ජය ගත් තැනැත්තා වෙත ඉතිරි වීම එයට හේතු ය. ඒ හේතුව නිසා තමන් ජය ගත්ත ද ඒ ජය නිදහසේ භුක්ති විඳීමට ඔහු අපොහොසත් වෙයි. අනිත් අතට පරාජය ලැබූ තැනැත්තාට ද පරාජය බාර ගත්ත ද නිවනක් නොලැබේ. ඔහුගේ හැම පියවරක් ම ජයග්‍රහකයාගේ සැකයට හේතු වන නිසා ය. ඒ පියවර නැවත පහර දීමට කටයුතු සූදානම් කිරීමක් ලෙස ජයග්‍රාහකයා දැකිය හැකි නිසා ය.

ඒ නිසා ම හැම පාර්ශවයකට ම ජය අත්වන තත්වයක් නිර්මාණය කිරීමට නායකයා ද කණ්ඩායම ද වගබලා ගත යුතු ය. ඒ කණ්ඩායම් සතු විය යුතු අත් හැරිය නොහැකි මූලධර්මය වෙනුවෙන් නායකයා විශේෂයෙන් දැඩි ලෙස පෙනී සිටිය යුතු ය.

කණ්ඩායමක ක්‍රියාකාරිත්වය තුළ ම කැප වීම වැදගත් සාධකයක් ලෙස ක්‍රියාත්මක වේ. කැප කරන්නේ කණ්ඩායම් හැගීම පවත්වා ගෙන යෑම උදෙසා ය. ඒ තුළ වඩා වැඩි යමක් නිපදවීමේ හැකියාව කණ්ඩායමට ලැබේ. අප තනියෙන් නිපදනවාට වඩා වැඩි යමක් නිපදවීම තුළ ම බෙදා ගැනීමට ඇති කේක් ගෙඩියේ ප්‍රමාණය වැඩි වේ. ඒ නිසා පුංචි කේක් ගෙඩියක් වෙනුවට අපට දැන් ලොකු එකක් ලැබී තිබේ. එයින් අප වෙත ලැබෙන සාධාරණ පංගුව අප තනිවම හදා ගන්නා කේක් ගෙඩියට වඩා වැඩි විය යුතු ය. කණ්ඩායමක රැඳී සිටීම ප්‍රයෝජනවත් යැයි සළකනු ලබන්නේ එසේ වූ විට ය. එයින් කියන්නේ කණ්ඩායමට කරන කැප වීම අපතේ නොයා යුතු බව ය. කවරෙකුට හෝ ලැබෙන පංගුව ඒ පාර්ශවයට තනිවම වැඩ කර ලබා ගත හැකි පංගුවට වඩා අඩුවන්නේ නම් ඔවුන්ට  කණ්ඩායම තුළ රැඳී සිටීමට හේතුවක් නැත.

එයින් අදහස් කරන්නේ සාධාරණ පංගුව සමාන පංගුවක් වීම අවශ්‍ය නොවන බව ය. එය යම් පාර්ශවයක් දරණ දායකත්වයට සමානුපාතික විය යුතු බව ය. ඇත්තටම සමානව බෙදීම තුළ අසාධාරණය සිදු වන බව ය.

කෙනෙකු අඩුවෙන් දායක වී වැඩි පංගුවක් ඉල්ලන්නේ නම් එය සාධාරණ වන්නේ නැත.

සාධාරණත්වය ප්‍රතිපත්තියක් ලෙස සළකන නායකයෙකු එවැනි ඉල්ලීමකට ඉඩ දෙන්නේ නැත. සාධාරණත්වය ඇතුළු තමන් සහ පාර්ශවකරුවන් පෙනී සිටින ප්‍රතිපත්ති කවරේදැයි නැවත නැවතත් ඔහු / ඇය විසින් අවධාරණය කළ යුතු ව තිබෙන්නේ ඒ නිසා ය.

ප්‍රශ්නය ඇත්තේ සාධාරණ පංගුව කුමක් ද යන්න පිළිබඳව කතිකාවේ ය. එය බොහෝ විට සාකච්ඡා මාර්ගයෙන් පමණක් තීරණය කළ හැක්කක් නොවේ. ඒ සඳහා සැකසිය හැකි එක් විදි ක්‍රමයක් නම් පංගුව පිළිබඳ එකග විය නොහැකි අයට කණ්ඩායමෙන් වෙන් වීමට ඉඩ හසර ඇති වටපිටාවක් තැනීම ය. යමෙකුගේ දායකත්වයට සාධාරණ වූ පංගුවක් ඒ තැනැත්තාට නොලැබේ නම් ඉන් ඉවත් ව යෑමට ඔහුට /ඇයට ඉඩ කඩ ලැබෙන වටපිටාවක් තිබීම ය.

එසේ ඉවත්ව යන විට ඒ මත පදනම් ව පංගුව නැවත සකස් විය යුතු බවට ඉගියක් ඉන් ලැබෙන නිසා ය. සැවොම ඒ ඉවත්ව යන පාර්ශවය නිසා පාඩු ලබන හෙයින් දැන් ඒ පංගුව පිළිබඳ විමසීමකට කැමති විය හැකි නිසා ය.

එසේ වන්නේ තමා දිනා අනෙකාත් දිනවන්නට වුවමනා වට පිටාවක ය. අනෙකාට පොල්ලක් දමා වැට්ටවිය හැකි නම් මට ද වැටුනාට කමක් නැතැයි හිතෙන පාර්ශවකරුවන් ඉන්නා කණ්ඩායමක් තුළ එවැනි ඉවත්වීම් වලට ප්‍රතිචාරය අසංවේදීව සිටීම ය. කෙටි කාලීනව පැවතුනාට දිගු කාලීනව පරදින්නේ එසේ කරන කණ්ඩායම් ය. එසේ කරන ආයතන ය. එසේ කරන රටවල් ය.

නායකයන් අවශ්‍ය ඒ දැක්ම මිනිසුන්ට ලබා දීමට ය.

අපේ සිහින ආයතන


අප දකින බොහෝ ආයතන තිබෙන්නේ ආයතන උදෙසා ය. ඒ ආයතන වලින් සේවා ලාභින් ට හෝ සේවකයන්ට වැඩක් නැත. ඇතැම් විට එහි අයිතිකරුවන්ට ද ආයෝජකයන්ට ද වැඩක් නැත. කොටින්ම ඇග මස් ලේ ඇති අයට වැඩක් නැත. ආයතන ආයතන උදෙසා ය. මිනිසා උදෙසා නොවේ.

ඇතැම් ආයතන තිබෙන්නේ එහි අයිතිකරුවන්ගේ වුවමනාවට ය. කළමනාකරුවන්ට, සේවකයන්ට හෝ සේවා ලාභින්ට එයින් පලක් නැත. තරගය අවම වන වටපිටාවක වැඩිමනත් පෞද්ගලික ආයතන වැටෙන්නේ මේ ගණයට ය.

ඇතැම් ආයතන තියෙන්නේ එය මෙහෙයවන කළමනාකරුවන්ගේ වුවමනාවන් සපුරන්නට ය. ආයෝජකයන්ගේ මුදලින් ද සේවකයන්ගේ වෙහෙසින් ද සරු ඵල නෙලන්නේ ඔවුන් ය. ඇතැම් පල්ලි පන්සල් කෝවිල් වැටෙන්නේ මේ ගණයට ය. ඇතැම් රාජ්‍ය ආයතන ද වැටෙන්නේ මේ ගණයට ය.

සිව්වෙනි වර්ගයට අයත් ආයතන තිබෙන්නේ සේවකයන් උදෙසා ය. ඔවුන්ට ජීවනෝපායක් ලබා දීමට ය. සේවා ලාභියා දෙවැනි ය. කළමනාකරුවන් ඒවායේ සේවකයන්ගේ සිරකරුවන් ය. ආයෝජකයන් ඉන්නේ සියල්ල සන්සුන් වෙතැයි සිතා ඉවසා සිටීමට ය. ආයෝජකයන් මේ රටේ ජනතාව වන ඇතැම් රාජ්‍ය ආයතන වැටෙන්නේ මේ ගණයට ය.

මේ සෑම එකකම තිබෙන පොදු ලක්ෂණය නම් එක් පාර්ශවකරුවෙකුගේ වුවමනාවන් වෙනුවෙන් ආයතන පැවතීම ය. සෙසු අයට ඒ අය වෙනුවෙන් සැදී පැහැදී සිටීමට සිදු වීම ය. දෙවැනි කී වරප්‍රසාද අහිමි පිරිස මේ ආයතන තුළ ගාල් කර තබන්නේ කෙසේ ද? ඒ සඳහා අනුගමනය කරන උපක්‍රම රාශියකි. එකක් කෙළින් ම බලය යෙදවීම ය. දෙවැන්න තෝරාගත් නායකයන් කීප දෙනෙකුට වරදාන ප්‍රදානය කොට ඔවුන් ලවා සෙසු අයට බලය යෙදවීම ය. තෙවැන්න ඉවත්ව යන කෙනෙකුට වෙන තැනක් විවෘත කර ගැනීම පහසු නොවන විදිහට දැලක් එලීම ය. සිව් වැන්න ඉදිරියේ ලැබිය හැකි වරප්‍රසාද පෙන්නා මුලා කිරීම ය. පස්වැන්න තමන් පෙනී සිටින්නේ ඉහළ අරමුණක් වෙනුවෙන් බව පෙන්වා ඒ වෙනුවෙන් කැප වන ලෙස ඉල්ලා සිටීම ය. මේ ලයිස්තුව තව දිග ය. බලය වංචාව කපටි කම ඈ සියල්ල යොදවා දමන දහං ගැට වලින් ද උප්පරවැට්ටි වලින් ද සමන්විත ය. අසමතුලිත ඕනෑ ම දෙයක් පවත්වා ගෙන යා යුත්තේ මුක්කු ගැසීමෙනි. මේ ආයතන පවතින්නේ ද ඒ මුක්කු නිසා ය. ඒවා ගැලවුන විට හෝ ගලවා දමනු ලැබූ විට ඒවා අර්බුදයට යන්නේ ය.

රැකියා වියුක්තිය තියෙන තාක් කල් සේවකයන් මේ ඕනෑම අට මගලයක් භාවිතයෙන් හිර කිරීම පහසු ය. පැහැදිලි තරගයක් නැති තාක් සේවා ලාභීන් තමන් වෙත රඳවා ගැනීමට ද හැකි ය. ආයෝජකයන් අවදානම් දැරීමට බිය වන තාක් සේවකයන්ට සිය ගලග්‍රහණය පවත්වා ගෙන යා හැකි ය.

ඒ නිසා ම මේ ආයතනවලට තාවකාලික පැවැත්මක් තිබේ. එහෙත් දිගු කාලීනව මේ තත්වය පවත්වා ගෙන යෑම අසීරු ය. විශේෂයෙන් ගෝලීයකරණයට ලක් වූ ලෝකයක මෙසේ එක් පාර්ශවකරුවෙකු වෙනුවෙන් ආයතන පවත්වා ගෙන යෑම අසීරු ය. සමහර රාජ්‍ය ආයතන වැසෙමින් ඒ වෙනුවට පුද්ගලික අංශයේ ආයතන ඇතිවන්නේ ඒ අනුව ය. පැරණි පුද්ගලික ආයතන වැසී නව පන්නයේ පුද්ගලික ආයතන හිටි හැටියේ මතුවන්නේ ද ඒ අනුව ය.

අපේ සිහින ආයතන සමතුලිත ය. එක් පාර්ශවකරුවෙකුගේ වුවමනාවන් උපරිම ලෙස ලබා දීම වෙනුවෙන් නොව සියලු පාර්ශවකරුවන්ගේ වුවමනාවන් තුලනය කරමින් සාධාරණව ලබා දීම වෙනුවෙන් එම ආයතන පෙනී සිටියි. ඒ නිසා ම එවැනි ආයතන ලෙහෙසියෙන් සෙලවිය නොහැකි ය. ඒවා ඒ අයුරින් පවත්වාගෙන යන තාක් කිසිවෙකුටත් බිම හෙලිය නොහැකි ය. නායකත්වය අවශ්‍ය මේ තුලනය දිගින් දිගට පවත්වා ගෙන යෑමට ය. අපේ සිහින ආයතන තුළ එසේ තුලනය පවත්වා ගෙන යා හැකි නායකයෝ සිටිති.

එවැනි ආයතන තුළ සේවකයෝ සේවා ලාභීන්ගේ වුවමනාවන් වෙනුවෙන් ද තම ආයෝජකයන්ගේ වුවමනාවන් වෙනුවෙන් ද තම වුවමනාවන් තරමට ම නැත්නම් ඊටත් වැඩියෙන් පෙනී සිටිති. තමන්ගේ වෘත්තීය වැඩ ලයිස්තුවෙන් ඔබ්බට ගොස් විශාල වගකීම් දරමින් ඒ සඳහා කැප වෙති. නායකයන් විධාන දෙන තෙක් නොසිට ඇතැම් අවස්ථාවල නායකයන් ද අවදි කරමින් තම මෙහෙය කර ගෙන යති. වියදම් කපා හරිමින් නාස්තිය අවම කර ගැනීමට යෝජනා ගෙන ඒමෙන් නොනැවතී ඒවා සාක්ෂාත් කර ගැනීමට පුද්ගලිකවම ද ඔවුහු කැප වෙති. සේවා ලාභීන්ට සේවය ලබා දීමේ දී ඔවුන් අමන්දානන්දනයට පත් කරමින් ඔවුන්ගේ අභිලාෂයන් ඉක්මවා වඩාත් හොඳ සේවාවක් ලබා දීමට කැප වෙති.

මෙවැනි වටිනා ආයතනයක සේවය කරන්නට ලැබීම ම අනගි අවස්ථාවක් ලෙස සළකන නිසා ම ආයතනයේ පැවැත්ම වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට ඔවුන් සූදානම් ය.

තමන්ගේ සගයින්ගේ අඩුපාඩුකම් පවා නිවැරදි කරමින් ඔවුන් ආයතනය වෙනුවෙන් වැඩ කිරීමට පොළඹවාලීම ද තම වගකීමක් ලෙස බහුතර සේවකයන් විසින් සළකනු ලබන නිසා ම අඩුපාඩු කම් ඇති සේවකයෝ පවා එම අඩුපාඩු හදා ගැනීමට උත්සුක වෙති.

සේවකයන් අතර ඇත්තේ එකිනෙකා කපා ගන්නා ම්ලේච්ඡ තරගයක් නොව සහෝදරාත්මක තරගයකි. එකිනෙකාට උදව් කරනු පිණිස ඔවුහු තරග වදිති. ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ද මේ සහයෝගය දිරිමත් කරන ලෙස සකස් වී තිබේ. හැම කෙනෙකුටම ඉදිරියට යා හැකි නිසා අනෙකාගේ කකුළෙන් ඇදීමට ඉදිරිපත් වන මිනිසුන් නැත. එවැනි අයට ආයතනය තුළ පැවැත්මක් නැති ලෙස ආයතනයේ සංස්කෘතිය සකස් වී ඇත.

සේවකයන්ගේ දැනුම කුසලතා හා ආකල්ප දියුණු කර ගැනීමට නිරන්තර මැදිහත්වීම් කරනු ලැබේ. ඒ සඳහා විධිමත් පුහුණු වැඩසටහන් වලට අමතරව වෙනත් මාධ්‍යයන් ද උපයෝගී කර ගනු ලැබේ. ඔවුනට එකිනෙකාගෙන් උගැනීමට ද ඉඩ සළසා තිබේ. නිර්නාමිකව ද නාමික ව ද නිර්මාණ ඉදිරිපත් කළ හැකි, යෝජනා හා ප්‍රශ්න ඉදිරිපත් කළ හැකි, කළමනාකාරිත්වයේ පාලනයෙන් තොර, නිදහස් බිත්ති පුවත්පතක් ආයතනයේ විවේකාගාරය තුළ හෝ ඕනෑම සේවකයෙකුට/ කළමනාකරුවෙකුට පිවිසිය හැකි අභ්‍යන්තර අන්තර්ජාලය තුළ හෝ තිබේ.

වඩා දක්ෂතා තියෙන අයට විශේෂයෙන් ඒවා භාවිතා කර වැඩ සංවිධානය කරන වැඩෙහි යෙදෙන අයට වැඩි ප්‍රතිලාභ හිමිවන ආයතන වටපිටාවක් පැවතීම නිසා දක්ෂතා ලබා ගැනීමට උත්සුක වන සේවකයන් ද ප්‍රමාණයෙන් වැඩි ය.

සේවකයන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නිසි ලෙස පවත්වා ගෙන යෑම කෙරෙහි ද ආයතනයේ කළමනාකාරිත්වය උනන්දු ය. ආයතනය තුළ හෝ ඉන් පිටත ඒ සඳහා අවශ්‍ය පහසුකම් (ව්‍යායාම් ශාලා, ක්‍රීඩාංගන, යෝග සැසිවාරයන් යනාදිය) ලබා දීමට ඒ නිසා ම කටයුතු යොදා තිබේ.

සේවා ලාභීන්ට අවම හිරිහැරයක් වන ලෙස ආයතනයේ සියලු වැඩ කටයුතු සංවිධානය කර තිබේ. පෝලිම් වල පැය ගණන් හිටගෙන සිටීමට ඔවුන්ට සිදු නොවේ. සේවාලාභීන් අධිකව ගැවසෙන දිනක වුව ද පොරකෑමෙන් තොරව සේවාව ලබා ගත හැකි සේ පැමිණි පිළිවෙලට ලද අංකය අනුව කැඳවුම් කරන කවුන්ටර ක්‍රමයක් ක්‍රියාත්මක වේ. තම අංකය කැඳවනු තුරු වාඩි වී සිටිය හැකි සැප පහසු ආසන ද සපයා තිබේ.

සේවකයන්ගෙන් හා කළමනාකාරිත්වයෙන් ලැබෙන අද්විතීය සේවය නිසා ම සේවාලාභීන් ආයතනයට පක්ෂපාත ය. ඔවුන්ගේ ඕනෑම දුක්ගැනවිල්ලකට සංවේදීව සවන් දීමට සේවකයන් සූදානම් නිසා ම සේවාවේ තත්වය දිනෙන් දින දියුණු වේ.

ඒ නිසා ම සේවා ලාභීන් ආයතනයට අනුග්‍රහ දක්වමින් ආයතනයේ තිරසාර පැවැත්ම සහතික කිරීමට පේවී සිටිති. මෙවැනි ආයතනයක් පැවතීම ම තමන් ලද ආශිර්වාදයක් ලෙස ඔවුහු සළකති. ඒ නිසා ම ආයතනය පවත්වාගෙන යෑම හා දියුණු කිරීම තම වගකීමක් ලෙස සළකති. ආයතනයේ සන්නාම තානාපති වරු ලෙස ඔවුහු ඉල්ලීමක් නැතිව ම, ගෙවීමක් නැතිව ම, කටයුතු කරති. ආයතනයේ කීර්ති නාමය සිය සබඳතා ජාලය සිසාරා විසුරුවා හරිති.

සේවය ලබා ගැනීමට ආයතනයට පිවිසෙන කවරෙකුට වුව එය තමන්ගේ ආයතනයක් ලෙස දැනේ. එක් ආගමකට අයත් සංකේත, පිළිරූ, ප්‍රතිමා ඒ තුළ ප්‍රදර්ශනය කර නැත. ආගමික හෝ ආයතනික කටයුතු (බණ, පිරිත්, දාන, යාඥා, රැස්වීම්) උදෙසා සේවා සැපයීම අඩාල කරන්නේ නැත. ඒවායේ යෙදෙන්නේ නම් ඒ සේවා කාලයෙන් බාහිරව ය. මේ නිසා ද ආයතනය විවිධ සේවා ලාභීන් අතර අපක්ෂපාතී ආයතනයක් ලෙස නමක් දිනාගෙන තිබේ.

කළමනාකරුවන් සේවකයන්ට සළකන්නේ සිය සගයන්ට මෙන් ය. ඔවුන්ගේ අදහස් ද කළමනාකරිත්වයේ අදහස් තරමට ම වැදගත් කොට සැළකේ. සේවකයන් ඉදිරිපත් කරන අදහස් හැකි තාක් දුරට යොදා ගැනීමට කළමනාකාරිතක්වය උත්සුක වේ. ඒ හරහා වඩ වඩා අදහස් ඉදිරිපත් කිරීමට ඔවුන් විසින් සේවකයන්ට දිරි දෙනු ලැබේ. එවැනි අදහස් මතු කර යොදා ගන්නා කළමනාකරුවන්ට විශේෂ අගැයීමක් ආයතනය තුළින් ලැබේ. ඒ නිසා ම ඔවුන් සේවකයන්ගේ අදහස් ගැන වඩාත් සංවේදී වෙයි.

ආයතනයේ ලාභ බෙදා ගැනීමේ දී ද සේවකයන් සම්බන්ධයෙන් කුඩම්මාගේ සැළකිලි නොදැක්වීමට ඔවුන් කටයුතු කරන නිසා ම සේවකයන් හා කළමනාකරුවන් අතර ඇත්තේ සහෝදර බැම්මකි. දෙපිරිසම පංගු බේරුවක් නැතිව වැඩ කරමින් සේවා ලාභීන්ගේ අරමුණු ද ආයෝජකයන්ගේ අරමුණු ද මුදුන් පත් කර ගැනීමට කැප වී සිටිති.

ආයතනය තුළ දුක්ගැනවිලි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව දුක් ගැනවිලි ලිඛිත ව ඉදිරිපත් කළ හැකි ය. එය පළමුව ඉදිරිපත් කළ යුත්තේ තමන්ගේ අධීක්ෂණ නිලධාරියාට ය. ඔහු ඒ දුක්ගැනවිල්ල ඇති කිරීමට දායක වූ කෙනෙකු නම් එය ඒ වෙනුවට ආයතනික අංශයට ඉදිරිපත් කළ හැකි ය. ඒ සඳහා ලිඛිත පිළිතුරක් දින තුනක් තුළ ලබා දීමට මේ දෙඅංශයම බැඳී සිටී. ඒ පිළිතුරෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ආයතනයේ දුක්ගැනවිලි නිලධාරියා වෙත එය ඉදිරිපත් කළ යුතු ය. ඔහු විසින් ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත ලිඛිත පිළිතුරක් දින තුනක් තුළ ලබා දිය යුතු ය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු ද දින තුනක් ඇතුළත ආරම්භ කළ යුතු ය. ඔහුගේ / ඇයගේ පිළිතුර පිළිගත නොහැකි නම් ආයතන ප්‍රධානියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ය. ඔහු ද ලිඛිත පිළිතුරක් දින හතක් ඇතුළත දීමට බැඳී සිටී. නැතිනම් ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර ඒ සතිය තුළ ආරම්භ කිරීම ට බැඳී සීටී. සෑම දුක්ගැනවිල්ලක් මාස දෙකක කාලයක් ඉක්මවීමට පෙර විමසා අවසන් කළ යුතු ය. ඒ සියල්ල තෘප්තිමත් සේවක පිරිසක් කැප වී වැඩකරන සේවක පිරිසක් ඇති කිරීම උදෙසා ය. අනෙත් පාර්ශවකරුවන් ගැන සංවේදී විය හැක්කේ එවැනි දුක් ගැනවිලි නැති හිත නිදහස් තෘප්තිමත් සේවකයන්ට ය.

හැම පුද්ගලයෙකුට ම ප්‍රතිලාභ ලැබෙන්නේ ඔහු හෝ ඇය ආයතනය හා එහි පාර්ශවකරුවන්ගේ සමතුලිත අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින ප්‍රමාණයට ය. වෙනත් විදිහකට කියන්නේ නම් ප්‍රතිලාභ වෘත්තීයකට ගැට ගසා නැත. එය පුද්ගල බද්ධ ය. පුද්ගලයාගේ සුදුසුකම් මත පමණක් නොව ඒ සුදුසුකම් ඔහු / ඇය කුමන අයුරින් ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා ගන්නේ ද යන්න මත ඔහුගේ / ඇයගේ ප්‍රතිලාභ තීරණය වේ. ඒ නිසා ම කල්ලි ගැසීම් වලට ඉඩක් මේ ආයතන තුළ නැත.

ආයෝජකයෝ ද උපරිම ලාභ ලබා ගැනීම වෙනුවට වඩා සමතුලිත කීර්තිමත් ආයතනයක් ගොඩ නැගීම අරමුණු කර ගෙන මැදිහත් වෙති. හෙට ලාභය වෙනුවෙන් අද ලාභය අත්හැරීමට ඔවුන් සූදානම් ය. සේවකයන් හප කොට ඔවුන්ගේ අවසාන සාරය ද උරා ගත හැක්කේ කෙසේ දැයි බලන දැක්මක් ඔවුන්ට නැත. ඔවුන් විසින් තම ආයතනය සියලු පාර්ශවකරුවන්ගේ වුවමනාවන් වෙනුවෙන් සංවිධානය කර ඇති නිසා ම ආයතනය හැමට ප්‍රසන්න තැනක් වෙයි. ඒ නිසා ම එය දිනෙන් දින වැඩේ. ආයෝජකයන්ගේ වත්කම් ඉහළ දමමින් එය වැඩේ.

කළමනාකරුවන්ට අත්හදා බැලීම් කිරීමට නිදහස අයිතිකරුවන් විසින් ලබා දී ඇති නිසා නවෝත්පාදන බිහිවෙන අතර ආයතනයේ ක්‍රමවේද නිරන්තර දියුණුවට ලක් වේ. ආයතනය පනවා ඇති නීති සම්ප්‍රදායන් සිරිත් විරිත් ප්‍රතිපත්ති නිරන්තර විමසුමට ලක් වෙන අතර යල් පැන ගිය ඒවා ඉවත් කිරීමට ද වටිනා ඒවා මතුකර තහවුරු කිරිමට ද කටයුතු කරනු ලැබේ. ඒ සඳහා සියලු පාර්ශවකරුවන් සහභාගී කරගනු ලැබේ.

මේ හේතු නිසා මේ ආයතන තුළ පෙත්සම් ගැහිලි නැත. වැඩවර්ජන නැත. අර්බුද නැත. කඩා වැටීම් නැත. සේවකයන් විසින් කළමනාකරුවන් සිර කර තබා ගැනීම් ද ඒ නිසා දක්නට නොලැබේ.

සේවකයන් ට ද සේවා ලාභීන් ට ද අවශ්‍ය පහසුකම් ඒ තුළ සපයා තිබේ. ඊට වැසිකිළි ආපන ශාලා විවේකාගාර රථ ගාල් යන එකී නොකී දේවල් අයත් ය. සේවකයන්ට වෙන මත් කළමනාකරුවන්ට වෙන මත් සේවා ලාභීන්ට වෙන මත් ලෙස නොව හැමට එකම පහසුකම් භුක්ති විඳිය හැකි ලෙස ඒවා සංවිධානය කර තිබේ. උදාහරණයක් ලෙස රථ ගාලට මුලින් පිවිසෙන ඕනෑම පාර්ශවකරුවෙකුට තම රථය ඒ තුළ ඕනෑම තැනක ගාල් කළ හැකි ය. කාර්යය මණ්ඩලය සඳහා විශේෂ ඉඩක් පවරා නැත. තිබෙන වැසිකිළි ද ඕනෑ ම කෙනෙකුගේ භාවිතය ස෦ඳහා ය. කාර්යය මණ්ඩලයට හෝ කළමනාකාරිත්වයට වෙන් කෙරුණු විශේෂ වැසිකිළි ඒ තුළ නැත. ඒ නිසා ම එක පාර්ශවකරුවෙක් අනෙක් පාර්ශවකරුවාට වඩා වරප්‍රසාද විඳින බවක් කිසිවෙකුටත් නොහැඟේ. ඒවා තුළ විශේෂ වරප්‍රසාද ඇත්තේ අබාධිත පුද්ගලයන්ට, ජේෂ්ඨ පුරවැසියන්ට, සිසුන්ට හෝ කුඩා ළමුන්ට පමණ ය.

මේ ආයතන පිරිසිදු ය. ලස්සණ ය. කෑකෝ ගැසීම් වලින් තොර ය. ඇතුළු වන අය පවා නිවන පරිසරයක් ඒ තුළ තිබේ. එය සෙසු ආයතන විසින් මුලදී ඊර්ශ්‍යා පර්වශව බලන පසුව අනුගමනය කරන්නට උත්සුක වන කදිම ආදර්ශයක් බවට පත් වේ.