නිව්ස් යනු අලෙවිය සඳහා කරන නිශ්පාදනයකි


13450302_753701731439602_7807022122720654559_nතීරණ ගැනීම කඳළමනාකරුවෙකුගේ ප්‍රධාන කාර්යය ය. ප්‍රශ්න විසඳීම සඳහා ද ඉදිරිපත්ව ඇති අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම සඳහා ද තීරණ ගත යුතු ය.

තීරණයක සාර්ථකත්වය රඳන්නේ ඒ සඳහා පාදක වුනු දත්ත හා තොරතුරු මත ය. ඒවා වැරදි නම් තීරණය වැරදි ය. ඒවා නිවැරදි නම් තීරණය නිවැරදි වීමේ ඉඩකඩ වැඩි ය.

ඒ නිසා ම දත්ත හා තොරතුරු විශ්වාසනීය ඒවා විය යුතු ය.

කළමනාකරුවන් ඒ සඳහා යොමුවන්නේ නිව්ස් නිශ්පාදනය කරන මූලාශ්‍ර වලට නම් ඔවුන්ට දෙවියන්ගේ පිහිට ය. නිව්ස් යනු – ප්‍රවෘත්ති යනු – නිශ්පාදනයකි. අලෙවි කිරීම සඳහා කරන නිශ්පාදනයකි.

මිනිහෙකු යහපත් වැඩක් කිරීම නිව්ස් නොවේ. ගොන් වැඩක් හෝ කෘර වැඩක් කිරීම නිව්ස් ය. අලෙවිය වැඩි වන්නේ තකතිරු කම හෝ නිහීන බව වැඩි වූ තරමට ය. ඒ නිසා ප්‍රවෘත්ති නිශ්පාදකයන් සොයා යන්නේ එවැනි නිව්ස් ය. ඊට පසු තිබෙන්නේ එය වඩාත් නිර්මාණාත්මක කිරීම සඳහා ආල වට්ටම් දැමීම ය.

තරුණයෙකු විසින් තරුණියක දූෂණය කෙරේ. එහි නිව්ස් එකක් නැත. එය දෛනික සිද්ධියකි. දෙමළ තරුණයෙකු විසින් දොළොස් හැවිරිදි සිංහල තරුණියක දූෂණය කෙරේ. දැන් ඒක නිව්ස් එකකි. ස්ත්‍රී දූෂණ හැම එකක්ම නිව්ස් නොවන්නේත් සමහර දූෂණ නිව්ස් වන්නේත් ඒ විදිහට ය.

දේශපාලනඥයින්ගේ වැඩේම කැළේ සුද්ද කරන එක ය. එතැන නිව්ස් එකක් නැත. මුස්ලිම් දේශපාලනඥයෙකු කැළය සුද්ද කරන විට එතැන නිව්ස් එකක් තිබේ.

නිව්ස් අලෙවි කරන්නේ පාඨකයන්ට පමණක් නොවේ. නිව්ස්වලට සම්බන්ධ අයට ද නිව්ස් අලෙවි කෙරේ. පාඨකයන්ට අලෙවි කරන්නේ පත්තරය මිලදී ගැනීමේදී ය. නැතිනම් රූපවාහිනී මාධ්‍යයට ආකර්ෂණය කර ගැනීම හරහා දැන්වීම් වැඩි කර ගැනීම මගින් ය. නිව්ස්වලට සම්බන්ධ අයට අලෙවි කරන්නේ කෙළින්ම මුදලට ය. ඔවුනට අවශ්‍ය විදිහට නිව්ස් එක නිර්මාණය කර දීමෙන් ය.

මොරගහ කන්ද ජලාශය විවෘත කළ දා පැමිණි සෙනග ද පාද යාත්‍රාවට ආ සෙනග ද කොපමණ ද යන්න තීරණය වන්නේ ඒ අනුව ය.

දේශපාලනඥයන් පමණක් නොව ව්‍යාපාරිකයන් ද තමන් අලෙවි කර ගැනීම සඳහා දැන්වීම් වලට වඩා විශ්වාසය තබන්නේ මෙසේ නිර්මාණය කරනු ලබන නිව්ස් මත ය. දැන්වීම මුදල් ගෙවා ප්‍රචාරණය කරන එකකි. නිව්ස් එසේ නොවෙන බව අපට පෙනේ. එහෙත් එය ද ප්‍රචාරය කරනු ලබන්නේ මුදල් ගෙවා බව දන්නේ ගෙවූ එකාත් ලබා ගත් එකාත් පමණ ය.

නිව්ස් හදන්නේ පත්තර කන්තොරුවල හා රූපවාහිනී මාධ්‍ය ආයතන තුළ පමණක් නොවේ. කාර්යාල වල ද නිව්ස් නිර්මාණය වේ. පත්තර කන්තෝරුවල මාධ්‍ය ආයතනවල නිව්ස් ගැන සැක සංකා ඇති කළමනාකරුවන් පවා කාර්යාලයේ තැනෙන නිව්ස් ගැන එවැනි සැක සංකා නොදරති. ඒවා පරම සත්‍ය  ලෙස ගනිති. එය නිර්මාණය කිරීමේදී ඇති වූ විකෘතීන් ද ආලවට්ටම් ද සමගම නිව්ස් අනුභව කරති. ඉන්පසු රෝගී වෙති.

ඒ නිසා ම කළමනාකරුවන් තම තීරණ ගැනීම සඳහා මේ කුමන මූලාශ්‍රය භාවිතා කළ ද ඔවුන් භාවිතා කරන්නේ නිව්ස් නම් ඔවුන් අමාරුවේ බව තේරුම් ගෙන වැඩ කළොත් ගොඩ ය. නැත්නම් මඩේ ය.

 

 

කණ්ඩායම් වැඩ අගතියක් නොවන්නට…


කණ්ඩායමක් ලෙස වැඩ කිරීමෙන් අමතර ශක්තියක් ජනනය කළ හැකි බවට විවාදයක් නැත. ඒ ගැන ඇති තරම් කළමනාකරණයේ දී කතා කෙරේ. එවැන්නක් සාර්ථක කර ගත හැක්කේ කෙසේ ද යන්න ගැනත් කළමනාකරණ සාහිත්‍යයේ බොහෝ දේ ලියැවී ඇත.

එහෙත් සාර්ථකව වැඩ කරන කණ්ඩායමක් යනු රෝසමල් යහනාවක් ද? එය ආයතනයේ අට අනූවක් රෝග නිවාරණය කරන කෝකටත් තෛලයක් ද? එයින් සිදුවිය හැකි අනර්ථයක් ඇත්තේම නැද්ද? එය නැවත කැරකී අවුත් අප විනාශ කර දමන බූම රංගයක් බවට පත් විය නොහැකි ද? එවැනි ප්‍රශ්න අපි මග හැර යමු. මක්නිසා ද යත් කණ්ඩායමක් ගැන අහිතක් කීම පමණක් නොව සිතීම පවා පාපයක් ලෙස සැළකිය හැකි බැවිනි.

කණ්ඩායමක වැඩ කිරීමේදී වුව බොහෝ විට එහි බර කරට ගන්නේ ටික දෙනෙක් බව අපි අමතක කරමු. බොහෝ විට එයට හේතුව කණ්ඩායමක් තුළ පවා යම් දෙයකට දක්ෂයන් සිටින්නේ අතලොස්සක් බැවිනි. එවැනි දක්ෂයෙකු පැකිලීමකින් තොරව කණ්ඩායමේ උන්නතිය වෙනුවෙන් වැඩ කිරීම තවත් දුර්ලභ ය. කණ කැස්බෑවා විය සිදුරින් අහක බලන වෙලාවටම සඳ අහසේ පැහැදිලිව පායා තිබෙන්නාක් මෙනි. එසේ සිදුවන්නේ නම් කණ්ඩායම ගොඩ ය.

එවැන්නෙකු (එකවර දක්ෂයෙකු හා කණ්ඩායම වෙනුවෙන් එම දක්ෂතාවය කැප කිරීමට සූදානම් අයෙකු) ගැන දැන ගත් විට ආයතනයේ හැම කණ්ඩායමකටම ඔහුගේ හෝ ඇයගේ සහභාගිත්වය ඉල්ලා සිටීමට ඒ නිසාම බොහෝ අය පෙළඹෙති.

කණ්ඩායමකට සිය දායකත්වය සපයන්නේ තොරතුරු සැපයීමෙන් නම් තොරතුරු ලබා ගත හැකි මූලාශ්‍ර සැපයීමෙන් නම් හෝ එවැනි මූලාශ්‍රයන්ට ප්‍රවේශයක් ලබා දීමෙන් නම් එවැනි දායකත්වයක් සඳහා අප කලින් කී තැනැත්තාගේ කාලයෙන් විශාල කොටසක් වැය නොවේ. එහෙත් සිය දායකත්වය සපයන්නේ තමන්ට අයත් රාජකාරි කිරීමට ඇති කාලයෙන් විශාල කොටසක් කැප කර වැඩක යෙදීමෙන් නම් තත්වය වෙනස් ය. එවැනි අවස්ථාවක බොහෝ විට සිදු වනුයේ ඔහුට හෝ ඇයට තම භූමිකාව කර ගෙන යාමට කාලයක් නැති වීම ය. වැඩ ගෙදර ගෙන ගොස් කිරීමට සිදු වීම ය. අතිකාල නැතිවත් අතිකාල වැඩෙහි යෙදීමට සිදු වීම ය.

ආයතනය ප්‍රතිලාභ පිරිනැමීමේදී වැඩි සැළකිල්ල දක්වන්නේ එක් එක් පුද්ගලයාට අයත් භූමිකාවට අයිති රාජකාරියේ ප්‍රගතිය ගැන නම් ඔහුට හෝ ඇයට එවිට අවැඩක් සිදුවීමට ද ඉඩ තිබේ. එහි අවසාන ප්‍රතිඵලය වැඩත් වැඩියෙන් කර ලැබිය හැකි ව තිබූ තුට්ටු දෙකත් අහිමි කර ගැනීඹ ය. සමහර විට කාලයක් මෙසේ කටයුතු කිරීම නිසා ඔහුට හෝ ඇයට ආයතනය ගැනත් තමන් ගැනත් කළකිරීමක් ඇති විය හැකි ය. අසනීපයට පත් විය හැකි ය. අවසාන ප්‍රතිඵලය ආයතනයට ඔහු හෝ ඇය එක්කෝ භෞතිකව අහිමිවීම ය. නැතිනම් භෞතිකව සිටියත් අධෛර්යයට පත් කෙනෙකු ලෙස ආයතනය තුළ ඉතිරි වීම ය.

අනිත් අතට කණ්ඩායමේ බොහෝ දෙනෙකුට මේ කණ්ඩායම් හැගීම ඇති පුද්ගලයාගේ භූමිකාව නිසා වැඩ නොකරම ලකුණු වැටේ. ඒ නිසා ඔවුන් වඩ වඩාත් අලස වන අතර ඔවුන් තුළ ඉගෙනීමට ඇති උනන්දුව ද අඩු වේ. තමන්ට කරන්නට තිබෙන වැඩ අනිකා කරද්දී ඒ ගැන වෙහෙසව ඉගෙන ගැනීමට හේතුවක් නැති බැවිනි.

එයින් සිදුවන්නේ වැඩකරු අධෛර්යයට පත් වී ක්‍රියාවලියෙන් වෙන්වන විට ඊට විකල්පයන් ආයතනය තුළින් මතු නොවීම ය.

කණ්ඩායම නිසා ඇති වූ අමතර ශක්තිය දැන් නැතිව ගොස් ඇතිවා මදිවාට එය නැවත ගොඩ නැගීමට අපහසු වන ලෙස ක්ෂය වී ද තිබේ.

කණ්ඩායමක් ලෙස වැඩ කිරීම දිරිමත් කරන ආයතන ප්‍රධානීන්ගේ සැළකිල්ල මේ සිද්ධිදාමය දෙස ද යොමු විය යුතු ය. නැතිනම් වන්නේ මුලදී ඉහළ ගිය වේගයට වඩා වැඩි වේගයකින් පල්ලම් බසින ආයතනයකට උරුම කම් කීමට ය.

යස්…. සර්….!


අපේ රටේ කළමනාකරුවෙකු හා සේවකයෙකු අතර ද ගුරුවරයෙකු හා සිසුවෙකු අතර ද පාලකයෙකු හා පාලිතයෙකු අතර ද ඇත්තේ යටත් විජිත මතක සටහන් සමග එකට මුසු වූ වැඩවසම් සබඳතා බව අප මීට පෙර ද කියා ඇත්තෙමු. එහි ප්‍රතිමූර්තිය අප අපේ ප්‍රධානියා අමතන “සර්“ ය.

අපේ යටත් විජිත ස්වාමිවරුන්ගෙන් අප ලද දායාදයක් වුව ද ඒ රටවල දැන් මේ ගොන් වස්සා විකුණා බොහෝ කල් ය. ඒත් අපට එයින් ගැලවීමට තවමත් නොහැකි ව තිබේ. එහෙම වුනානම් එය එකකි. බැරි වෙලාවත් ඇති පදමට සර් නොකීවොත් වැඩ වරදින තත්වයකට පවා එය ඔඩු දුවා තිබේ.

බටහිර රටක තවමත් සර් කියන අවස්ථා නැතිවා නොවේ. ඇතැම්විට ඒ නම නොදන්නා ආගන්තුකයෙකුට ය. නැතිනම් තම ආයතනයට පැමිණෙන ගනුදෙනුකරුවෙකුට ය.

(ගෞරවය සඳහා අප සමහර අයට සර් යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ හදවතින් ය. එහෙත් සර් යනුවෙන් වර නගා කරන බොහෝ ආමන්ත්‍රණයක් පිටුපස ඇත්තේ එය නොවේ. එක්කෝ අමනාප වෙතැයි බිය ය. නැත්නම් අපේ වැඩේ කර ගත නොහැකි වෙතැයි යන බිය ය. මේ කතා කරන මට පවා සර් යැයි සමහරුනට ආමන්ත්‍රණය කිරීමෙන් වැළකී සිටින්නට පුලුවන් කමක් වී නැත. ඒ ගරුත්වය සඳහාම නොවන බවත් බොහෝ විට එසේ නොකළොත් අප අපේක්ෂා කරන දේ ඉටු කර ගත නොහැකිවීමේ ඉඩ ඇති නිසා බවත් මා විසින් ද අමතරව පිළිගත යුතු ය. මේ සංස්කෘතිය ඒ තරමට ඇටුවන් බැස තිබේ.)

මෙය ආමන්ත්‍රණය සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොවේ. ප්‍රධානියා පැමිණෙන විට හුනස්නෙන් නැගිට සිටිය යුතු ය. එපමණක් නෙවේ. ඔහුට/ඇයට වැඳුම් පිදුම් පවා කළ යුතු තත්වයට එය පහත බැස තිබේ. පත්වීමේ ලිපිය ගන්නේ දණ්ඩ නමස්කාර කර වැඳලා ය. ඉන්පසු ඉතින් දිගටම වැඳ ගෙන සිටීමට එසේ ගත් අයට සිදු වේ.

පත්වීමේ ලිපිය බාර දීම අතීතයේදී සිදු වූයේ තැපැල් පියුන් අතිනි. ඔහුට වැන්ද බවක් මගේ මතකයට නොනැගේ.

මේ ගැන කරන සංවාදයක ප්‍රතිපක්ෂයෙන් එන එක් තර්කයක් තිබේ. ගෞරව කිරීම වැරදි ද යන්න ය.

ගෞරව කිරීම වැරදි නැත. ගෞරව කළ යුත්තේ පට්ටමට හා තානාන්තරයට ද? කුමන ආකාරයේ ක්‍රියාවකට ද?

බටහිර රටවල ද දක්ෂතාවයට හා ගුණයට ගරු කෙරේ. එහෙත් එහි නිලයට ගරු කිරීමක් නොකෙරේ. නිලය දරන්නා එය නිසි පරිදි හසුරුවන කළ ගෞරව කෙරේ. නැත්නම් ගෞරව නොකෙරේ.

ගෞරව කිරීම වැරදි නැත. ගෞරව කළ යුත්තේ පුද්ගලයාගේ ආගමනයේ දී ද? ඔහු හෝ ඇය අප ඉදිරියේ පෙනී සිටින විට ද?

ඔහු ගරු කටයුතු ජීවිතයක් ගත කර ඇත්නම් ඔහු හෝ ඇය ආරාධනා කර කිසියම් සුවිශේෂී අවස්ථාවකට නැත්නම් සභාවකට ගෙන්වා ගෙන ඇත්නම් බටහිර රටක පවා ආගමනයේ දී ගරු කෙරේ. එහෙත් ඔවුන් එදිනොදා දකින ප්‍රධානියාගේ ආගමනයේදී එවැනි ගරු සරුවක් ඔවුන් වෙතින් පළ නොවේ.

බටහිර රටවල ගරු කිරීම වැඩි මනත් ලෙස සිදුවන්නේ පුද්ගලයා කළ යහපත් ක්‍රියාවක් අවසානයේදී ය. උදාහරණයක් ලෙස දක්ෂ දේශනයක් අවසානයේ දී ය. නැත්නම් දක්ෂ රංගනයක් හෝ වාදනයක් අවසානයේදී ය. එහි දී එය කරන්නේ කවුද යන්න ඔවුන්ට අදාළ නොවේ.

අප කුඩා කල ගුරුවරුනට ගෞරව කරනු පිණිස වසර අවසානයේ දණ ගසා වැන්ද බව මතක ය. අදහස වූයේ අවුරුද්ද පුරා අප වෙත පිදූ ශාස්ත්‍රය පිළිබඳ අපේ බැතිය පළ කිරීමට ය. එහෙත් දැන් ගුරුවරයෙකු පාසලේ පිය නගන විට ද දෙපැත්තට වී වඳින සිසුන් අපට දැක ගත හැකි ය.

අප වැඩවසම් චර්යා රටාවක් අනුගමනය කරනවා පමණක් නොවේ. එය එන්න එන්නම දීන බව වැඩි කරන දිසාවක් ඔස්සේ පල්ලම් බසිමින් ද තිබේ.

මේ ගැන දොස් පැවරිය යුත්තේ ඊනියා සිංහල සංස්කෘතියක් උඩ දමමින් සංස්කෘතිය වැරදි කොණෙන් අල්ලා ගෙන සිටින්නන්ට ය.

බටහිර බොහෝ දේ පැන ගෙන කොපි කරන අය පවා සුද්දන්ගේ මේ චර්යාව අනුගමනය නොකරන්නේ තම වැඩවසම් මානසිකත්වයට එය නොගැලපෙන නිසා ය. වැඩවසම් මාන්නය සුද්දා ඉදිරියේ ඇති හීනමානය ද පරදවා ඉහවහා ගොස් ඇති නිසා ය.

දැන්නම් සංවාදයකට හොඳ වෙලාව ය. ඒ සංස්කෘතිය උඩ දමමින් ජීවත් වූ අය මේ මොහොත් පල්ලම් බැස සිටින නිසා ය.

ඒක නායක සහ බහු නායක


පිරිසක් හා කණ්ඩායමක් අතර ඇත්තේ පැහැදිලි වෙනසකි.

පිරිසකට පොදු අරමුණක් තිබිය හැකි ය. එහෙත් එය සම්මුතියකින් එකගතාවයකින් පසු ඇති කරගත් බෙදා හදා ගත් අරමුණක් නොවේ. එවැනි සම්මුතියකට පැමිණ ඇති අරමුණක් සහිත පිරිසක් වේ නම් එය හදුන්වනුයේ කණ්ඩායමක් ලෙස ය.

බොරැල්ලට යාම සඳහා තනි තනිවම පැමිණ බස්නැවතුම්පොලක සිට ගන්නා පුද්ගලයින් රැසකට ද පිරිසක් යයි කිව හැකි ය. ඔවුන් හැමට පොදු අරමුණක් ඇති බැවිනි. ඒ බොරැල්ලට යාමට ය. එහෙත් එකිනෙකා සමග කතිකා කොට එකඟ වූ සම්මුතියකට පසු නොවේ. ඔවුන්ගේ තීරණ හුදෙක් තනි තනිව ගත් තීරණ ය. බොරැල්ලට පැමිණි පසු එකිනෙකා හා කතා නොකරම විසිර යෑමට නියමිත ය.

හරියට අපේ සමහර කන්තෝරුවල වගේ ය.

එවැනි කන්තෝරුවක වැඩ කරන පිරිසට ද පොදු අරමුණක් තිබේ. ඒ මාසය අවසානයේ වැටුප් ලබා ගැනීම ය. ඒ ඇරෙන්නට සම්මුතියකට එළැඹ කරන වැඩක් නැති තරම් ය.

අප කලින් කී බස් නැවතුම්පොළටම බොරැල්ලේ ලිඩෝ සිනමාහලේ 2.30 සිනමා දර්ශනය නැරඹීමට යනු සඳහා එකම පන්තියේ ඉගෙනුම ලබන යහළුවන් පිරිසක් පැමිණෙතැයි සිතමු. ඔවුන්ට ද පොදු අරමුණක් තිබේ. එහෙත් එය අප කලින් කී පිරිසේ අරමුණට එහා ගිය එකකි. එය කතිකා කොට සම්මුතියකට පැමිණිමෙන් එළැඹගත් අරමුණකි. බෙදා හදාගත් අරමුණකි.

අප කලින් කී පිරිසට නායකත්වයක් ලැබෙන්නේ බසයට ගොඩ වීමෙන් පසු ය. ඒ නායකයා කොන්දොස්තර ය. බසයේ නිල නායකයා ඔහු ය. සර්වබලධාරී සෙයක් පෙන්වන ඒක නායකයා ඔහු ය. කොන්දොස්තර කෑගසා ඉස්සරහට යන්නැයි අණ දෙණ විට පිරිස ඒ අණ පිළිපදින සෙයක් දක්වති. එහෙත් ඒ නොකර බැරි නිසා ය.

අප කී සිනමා දර්ශණය බැලීමට යන කණ්ඩායමට එසේ පත්වූ එක් නිල නායකයෙක් නැත. බසයක් පැමිණිවිට රියැදුරු කරා ගොස් තම කණ්ඩායමේ අය නගින තුරුම රියැදුරුට බාසාව දමමින් සිටින්නා ද නායකයෙකි. සෙනඟට ඉදිරියට යන්නැයි බැගෑපත් වෙමින් කණ්ඩායමේ අය බසය තුළට ඇතුළු කිරීමට ඉඩ පාදාගන්නට හදන්නා ද නායකයෙකි. පාපුවරුවේ එල්ලී දුර්වල ඔතෑනි සමාජිකයෙකුට රැකවරණය දෙමින් ඔවුන්ට ඇතුළු වීමට ධෛර්යය දෙන්නා ද නායකයෙකි. මේ හැම කෙනෙක්ම තමන් බෙදාහදාගත් අරමුණ ජයගැනීම වෙනුවෙන් කැපී පෙනෙන නායකත්ව කාර්යභාරයක් ඉටු කරන නායකයින් ය. ඒ කිසිවෙකු විසින් ඒ භූමිකා ඔවුන්ට පවරා දී ඇති නිසා නොවේ.

ඒක නායකයා තව නායකයෙකු මතු වෙනවාට කැමති නැත. ඔහුගේ අණට එරෙහිව යන්නා නම් කොහොමටත් රුස්සන්නේ නැත. එය ප්‍රශ්න කරන්නා ද ඔහුගේ වෛරයට පාත්‍ර වෙයි. ඔහු විධිමත් පත්වීමක් ලැබ ඇති නිසා එහි ගෞරවය ආරක්ෂා කිරීමට පොරොන්දු වූවා වැනි ය. කොන්දොස්තර තම ආධිපත්‍ය ප්‍රශ්න කිරීම නොඉවසනවා වැනි ය.

ඉබේ මතුවන බහු නායකත්වයක එවැනි ගැටළු නැත. අවස්ථාවේ හැටියට සුදුසුම තැනැත්තා නායකයෙකු ලෙස මතුවන්නේ ඉබේටම ය. ඔහු නිවැරදි නම්, එසේ බව කණ්ඩායමට ඒත්තු යන්නේ නම්, කණ්ඩායමේ සහය ඔහුට නොඅඩුව ලැබෙන්නේ ය. වැරදි නම් කණ්ඩායමේ විරෝධතාවය ද ඒ හා සමානව ලැබෙන්නේ ය. තමන් අසාර්ථක යැයි වැටහී ගිය කල ඔහු සිය කැමැත්තෙන් පල්ලම් බැස තව කෙනෙකුට ඒ හිඩැස පිරවීමට නොපමාව ඉඩ දෙන්නේ ය. රැකගත යුතු විධිමත් පත්වීමක් ඔහුට නැති නිසා ය.

වීධිමත් ආයතන තුළ කණ්ඩායම් ගොඩනැගීම අපහසු වන්නේ මේ නිදහස හා ඉඩහසර බොහෝ විට ඒවා තුළ නැති නිසා ය. විධිමත් නායකයා එම තනතුර රැක ගැනීමට මැදිහත් වන නිසා ය. ඔහුට ඊට බලයක් ලැබී ඇති නිසා ය.

බසයේ කොන්දොස්තර බොරැල්ලට යෑමට ඇති පිරිසෙහි ඇති අරමුණ සිය කාසි මල්ල තරකිරීම වෙනුවෙන් පරදුවට තබන්නාක් මෙන් මේ නායකයින් ද සිය පුද්ගලික අභිවෘද්ධිය වෙනුවෙන් නායකත්වය දෙන පිරිසේ අරමුණ පරදුවට තබන්නට පුලුවන. ඔවුන් තම නායකත්වය ප්‍රශ්න කරනවාට අකමැති එක් අමතර හේතුවක් ඒක ය. එවැනි තැනක පිරිසකට එහා ගිය කණ්ඩායමක් ගොඩ නැගෙන්නේ නැත.

විධිමත් ආයතන තුළ කණ්ඩායම් ගොඩ නැගීමට අපහසු එහි නිල නායකයාට – ඒක නායකයාට- දී ඇති මේ ප්‍රශ්න කිරීමට අපහසු බලය ය. නායකයාට ප්‍රශ්න කරන්නන් ඉවත්කිරීමට ඇති බලය ය. නායකයා ඉවත් කිරීමට සෙසු අයට නුපුළුවන් වීමේ ඉම ය. සීමාව ය. නායකයා හා අනුගාමිකයන් අතර පවතින නිල හා නොනිල පරතරය ය.

එවැනි කණ්ඩායමක් තුළ බහු නායකත්වයකට ඉඩක් නැත. එසේ ඉඩක් ඇති විය හැක්කේ නිල නායකයා තම වරප්‍රසාද අත්හැර පිරිසේ නායකයා ලෙස නොව කණ්ඩායම තුළ පහසුකම් සපයන්නෙකුගේ භූමිකාවට අවතීරණ වීමට ඉටා ගත හොත් පමණකි. වඩාත් සුදුසු පුද්ගලයාට සුක්කානම දීමට කැමති වෙතොත් පමණකි. බහු නායකත්වයකට ඉඩකඩ සැළසීමෙන් පමණකි.

ඒ තත්වයට ළඟාවීමට බොහෝ ආයතනවලට තව බොහෝ දුර යා යුතු ය. ඒ නිසාම ඒවා පිරිස්වලින් මිස කණ්ඩායම්වලින් සමන්විත නොවනු ඇත්තේ ය.

මෛත්‍රීපාලගේ නායකත්වය ප්‍රශ්න කිරීම – වැදගත් වන්නේ ප්‍රතිපත්ති ද උපාය ද?


නායකත්වය ගැන උගත හැක්කේ සැබෑ සිද්ධි අධ්‍යයනයන් හරහා ය. මෛත්‍රීපාල සිරිසේන යනු එවැනි අධ්‍යයනයක් සඳහා සිද්ධි සපයන නායකත්වයක් බව අප කලින් ද කීවෙමු. එයට අමතර අනුපාන ලැබුනේ අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමත් සමග ය.

හොරු හා තක්කඩියන් බවට සිය දේශපාලන වේදිකාවේ කථිකයන් බොහෝ දෙනෙකු නම් කළ සියල්ලන් සමග මෛත්‍රී ජාතික ආණ්ඩුවක් ගොඩ නැගුවේ ය. ජනතාව ජන්දයෙන් ප්‍රතික්ෂේප කළ අය ද දැන් ඒ ආණ්ඩුවේ නිලතල දරති.

මෙය සාධාරණිකරණය කරන අය කියන්නේ එය උපාය මාර්ගික ප්‍රවේශයක් බව ය. මෙය හෙලා දකින කණ්ඩායම කියන්නේ මෛත්‍රී විසින් තමන්ම ඉහළින් කතා කළ ප්‍රතිපත්ති පාවා දී ඇති බව ය.

උපාය මාර්ගික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දිය හැකි ද? පිරිසිදු ප්‍රතිපත්ති තියාගෙන බලය අර්බුදයකට යවා ගෙදර යා යුතු ද?

මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්නේ නැතිව මෛත්‍රීගේ ක්‍රියාව විචාරයට ලක් කළ නොහැකි ය.

උපාය මාර්ගික වීම සඳහා ප්‍රතිපත්ති සියල්ල පාවා දීමට වෙනවා නම් ඒ උපායෙන් වැඩක් නැත. අනෙත් අතට ඉතාම පිරිසිදු ප්‍රතිපත්තියක පිහිටා බලය අතහරිනවා නම් එවැනි නායකත්වයකින් ප්‍රයෝජනයක් ද නැත.

මේ හේතුව නිසාම අප කළ යුත්තේ අපේ ප්‍රතිපත්ති සියල්ල එක ගොඩට නොදා ඒවා වර්ග කිරීම ය. එයින් එක් වර්ගයක් වන්නේ කුමන තත්වයක් යටතේවත් අත්හැරිය නොහැකි ප්‍රතිපත්ති ය. උපායමාර්ගික හේතූන් මත හෝ ඒ වර්ගයට අයත් ප්‍රතිපත්ති අත් හැරිය නොහැක්කේ ය. ඒවා කේන්ද්‍රීය ප්‍රතිපත්ති ය. සෙසු ඒවා උපාය මාර්ග වෙනුවෙන් කේවල් කළ හැකි ද්වීතියක වර්ගයේ ඒවා ය. ඒවා පරිවාර ප්‍රතිපත්ති ය.

දැන් අප විමසිය යුත්තේ උපාය මාර්ගික බලය රඳවා ගැනීම වෙනුවෙන් මෛත්‍රී අත්හැර ඇත්තේ කවර ඒවා ද යන්න ය.

මේ ජාතික ආණ්ඩුවට හොරු හා දූෂකයන් ළඟ තබාගෙන හොරකමට දූෂණයට එරෙහිව කටයුතු කළ හැකි ද? එය කේන්ද්‍රීය ප්‍රතිපත්තියක් ද? එය බලය වෙනුවෙන් කේවල් කළ හැකි ද්වීතියක ප්‍රතිපත්තියක් ද?

උත්තර බඳින අයට දෙන්නට තවමත් උත්තර තිබේ. ඒ දූෂිතයන් සමග හවුල් ආණ්ඩුවකට ගියාට ඔවුන්ට විරුද්ධව පර්යේෂණ දිගටම සිදු කරන බව ය. දූෂණ විරෝධී කටයුතු එසේම සිදු වෙතැයි අපි මොහොතකට සිතමු. ඔවුන්ගෙන් කවරෙකු හෝ උසාවියට ඉදිරිපත් කළ දාට කුමක් වනු ඇත් ද? සෙසු අය එවැනි විටෙක ද රැඳෙනු ඇත් ද? පියවර ගෙන ඇත්තේ තමන්ට විරුද්ධව නොවන තාක් ඔවුන් කලබල නොවනු ඇත් ද? නිලමෝර් පියතුමා ලෙස ඔවුන් තමන්ට එරෙහිවනතාක් මුණිවත රකිනු ඇද්ද? එය එසේ නම් උපාය සාර්ථක ය. එසේ නොවුනහොත් උපාය අසාර්ථක ය. එවැනි අර්බුදයක් ඇති වුවහොත් දූෂණ විරෝධී ප්‍රතිපත්තිය අකුලා ගනීවි ද? එය ද්වීතියක එකක් ලෙස සළකා ගනුදෙනු කරනු ඇති ද?

සිද්ධි අධ්‍යයනය සම්පූර්ණ කිරීම සඳහා සිද්ධිය අවසන් නැත.

ඒ නිසාම මෛත්‍රීපාල නායකත්ව විචාරය සම්පූර්ණ කිරීමට තව කල් වැඩි ය.

අවසානයේ ප්‍රතිපත්තියත් පාවාදෙනු ලැබ බලයත් අහිමි කරනු ලැබ සියල්ල අවසන් නොවනු ඇතැයි අපේ පැතුම ය.

බොරු, ගල් පැලෙන බොරු සහ සංඛ්‍යාලේඛන


සංඛ්‍යාලේඛන මෝඩයින් අමාරුවේ දමන අතර කපටියන්ට ආයුධ සපයන්නේ ය.

ස්විස්ටර්ලන්තයේ රැකියා වියුක්තිය පසුගිය වසරේ 300% කින් ඉහළ ගිය බවට වාර්ථාවක් පළ විය. සංඛ්‍යාලේඛන තවදුරටත් පිරික්සීමේ දී පෙනී ගියේ ගිය වසරේ 98 ක් වූ රැකියා වියුක්තිකයින්ගේ ගණන මේ වසරේ 302 දක්වා වැඩි වී ඇති බව ය. ස්විස්ටර්ලන්තය ලොව අඩුම විරැකියාව ඇති රට බව ය.

පිළිකා වැළඳී ඇති රෝගීන්ගෙන් 98% ක්ම තේ පානය කරන අය බව සොයා ගෙන තිබේ. ඉහත ප්‍රකාශය බැලුවිට එකවර ඇති වන නිගමනය නම් තේ පිළිකා කාරකයක් බව ය. එහෙත් ඇත්ත එය නොවේ. රටේ මිනිසුන්ගෙන් ද 98% ක් තේ බොන බවත් තේ බොන නොබොන එක පිළිකා සමග ධන හෝ රින සම්බන්ධයක් නැති බව ය. ඒ නිසා පිළිකා රෝගීන්ගෙන් 98% ක් තේ පානය කරතැයි යන කීම කිසිදු වටිනාකමක් නැති කියමනක් බව ය.

සංඛ්‍යාලේඛන කයිරාටික පුද්ගලයින් විසින් සෙසු අය මුලා කිරීමට ද මෝඩ මිනිසුන් විසින් වැරදි නිගමනයන්ට එළඹීමට ද භාවිතා කිරීමේ ශාක්‍යතාවය සහිත බව පෙනේ. එයින් කියන්නේ සංඛ්‍යාලේඛන බැහැර කළ යුතු බව ද?

සත්තකින්ම නැත. එයින් කියන්නේ සංඛ්‍යාලේඛන පරිස්සමින් ඇසුරු කළ යුතු බව ය. එයින් නොමග නොයා යුතු බව ය.

කිසිදු සංඛ්‍යාත්මක පදනමක් නැතිවම ද සමහරු අදහස් පළ කරති.

ස්ත්‍රී දූෂණ හා අපරාධ නැති කරවීමට දහම් පාසල් සැමට අනිවාර්යය කළ යුතු යැයි මේ අප මෑතකදී ඇසූ කතාවකි. වසර පහ නොඉක්මවූ සේයා දැරිය දූෂණය කොට මරා දැමීමත් සමග එය කරලියට පැමිණියේ ය. එයින් අනියමින් කියන්නට අදහස් කරන්නේ මේ අපරාධවලට හේතුව මිනිසුන් ධර්මය නොදැනීම යන්න පමණක් නොවේ. ධර්මයට බලෙන් හෝ සවන් දීමට සැළැස්වුවහොත් අපරාධ දූරී භූතව යන බව ය. මේ කියන්නේ උදේ හවස බණ කියන රටක ය. ඒ එක ද සංඛ්‍යා ලේඛනයකවත් ආධාර පවා නැතිව ය.

මේ අපරාධකරුවන් ගැන යමෙක් පරීක්ෂණයක් කොට එයින් අපරාධකරුවන් කියක් දහම් පාසල් ගොස් ඇත් ද? ගොස් නැත් ද යයි සොයා තිබේ ද? ජනගහණයෙන් කවර ප්‍රතිශතයක් දහම් පාසල් යන්නේ ද? යන්න ද සොයා මේ දත්තයන් දෙක ගැන කවර නම් හෝ සන්සන්දනයක් කර ඇත් ද?

දැරිය කොටට ඇඳුම් ඇඳීමට පුරුදුව සිටි බවත් එය අපරාධකාරයන් පොළඹවන්නට හේතුවන්නට ඇති බවත් යන මතය සමාජගත කරන්නට සමහරු පෙළඹී සිටි බව අන්තර්ජාලයේ පළවූ ඇතැම් සටහන් වලින් පෙනී යයි. බොදු බල සේනාවේ ගිණුමට එය බැර කරමින් ඔවුන් විසින් අතිශය නිර්දය විචාරයක් සහිතව දැරියගේ පින්තූර ද බහාලා පෝස්ටරයක් නිර්මාණය කර තිබුනි (එය බොදු බල සේනාව විසින් කරන ලද්දක් නොවන බව බොදු බල සේනා ෆේස් බුක් නිල පිටුවේ සටහන් කර ඇත). ලොව අතිශයින් කොටට අඳින රටවල එසේ නම් අපරාධකරුවන් වැහි වැහැලා සිටිය යුතු ය. මුස්ලිම් රටවල එවැනි අපරාධ අවම විය යුතු ය. එක ද සංඛ්‍යාලේඛනයක්වත් එවැනි සාක්කි සපයන්නේ නැත.

එසේ කිසිදු දත්තයකින් තොරව පළකරන අනුමානයන්ටත් විශාල පිළිගැනීමක් ඇති රටක සංඛ්‍යාලේඛන වලින්ම ඔප්පු කර පෙන්වන බොරුවක් විශ්වාස නොකරන්නේ කවු ද?
ගණිතය අසමත් වුනාට කමක් නැතැයි කියන අය මේවා සම්බන්ධයෙන් දෙන උත්තර මොනවා ද?

ගණිතය සමත් වූ අය පවා ගණිතමය දත්ත නැතිව අනුමානයන් සරණ යන රටක ගණිතය ඉගැන්වීම නිසි පරිදි සිදු වෙනවා ද යන්න ද ඒ සමග විමසිය යුතුව තිබේ.

කළමනාකරුවන් තම නිගමනවලට එළඹෙන්නේ දත්ත හා සංඛ්‍යා ලේඛන ඇසුරිනි. ඒ නිසාම සංඛ්‍යාලේඛන වලින් නොමග යා හැක්කේ කෙසේ දැයි ඔවුන් දත යුතු ය.

ඒ සංඛ්‍යාලේඛන නැතිව කරන අනුමානයන් බැහැර කරන අතරතුරේ ය. ඒවා වලින් ද නොමග යන මිනිසුන් සිටින බව සටහන් කරගන්නා අතරතුරේ ය. ඒ අතර ගණිතය සමත් අය ද සිටිය හැකි බව පසක් කරන අතරතුරේ ය.

ගරු සුජීව සේනසිංහ මන්ත්‍රී තුමාට හා යහපාලන ආණ්ඩුවට ආදරයෙනි


සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා අධිකරණ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සිටියදී පොලිස් නිලධාරියෙකුට තර්ජනය කළේ ය. එම තර්ජන කිරීම සම්බන්ධයෙන් එතුමාට එරෙහිව පොලීසිය විසින් පවරන ලද නඩුවක් අධිකරණයේ විභාගවීමට නියමිත ය. එබැවින් ඒ සිද්ධිය ගැන විමසීමට මෙහි අදහසක් නැත. එහෙත් එතුමා තම මැදිහත් වීම සමාජය ඉදිරියේ යම් පමණකට සාධාරණය කළේ නිලධාරීවාදය නැවත හිස එසවීමට තමන් ඉඩ නොදෙන බව පවසමින් ය. මේ සටහන ඒ ගැන ය. නිලධාරීවාදය ගැන ය. එයට එරෙහි වීමේ දේශපාලනඥයින්ගේ අපකීර්තිමත් ඉතිහාසය ගැන ය.

නිලධාරීවාදය නරක ය. අහිංසක මිනිසුන්ට තම බලය පෙන්වමින් හිතුමතේ හැසිරුන නිලධාරීන් ප්‍රදර්ශනය කළේ මේ නිලධෘරීවාදය යි. ඒ නිලධාරීන් තම බලය තමන්ගේ හිතේෂීන් ගේ අභිවෘද්ධියට යෙදවූයේ ජනතාව ගැන තඹයකට නොසළකමිනි. එවන් නිලධාරියෙකුට එරෙහිව කරන ලද පැමිණිල්ලක් පවා විභාගයකට ගැනුනේ නැත. ඒ තමන්ගේ සගයින් ආරක්ෂා කිරීමට නිලධාරී පැළැන්තියක් ලෙස ක්‍රියාකරමිින් ඔවුන් කටයුතු කළ නිසා ය.

මහජනතාවට සිදුවුනේ නිලධාරීන්ගේ අකටයුතුකම් වලට එරෙහිව සිය නියෝජිතයන්ගේ පිහිට පැතීම ය.

දේශපාලනඥයන්ගේ අත පෙවීම මෙසේ ආරම්භ වූයේ ජන හිතේෂී මැදිහත් වීමක් ලෙස ය. බල්ලා හා පූසා අතර කේජු කෑල්ල බෙදන්නට ගොස් මුළු කේජු කෑල්ලම කෑ නරියාගේ භූමිකාව දේශපාලනඥයින් ආරම්භ කළේ එසේ ය.

ඔවුන් කළේ නිලධාරීන් නිසි ලෙස බෙදන්නේ නැතැයි අවලාද නගමින් නිලධාරීන් අත තිබු හැන්ද අරගෙන තමන්ටත් තම සගයින්ටත් හත්මුතු පරපුරටත් අඩු නැතිව බෙදීම ය.

දේශපාලනීකරණයේ අජූව ගැන ඊළග යුගයේ නිලධාරීන් පමණක් නොව මහජනයා ද හඩ නගන්නට පටන් ගත්තේ ඒ නිසා ය.යහපාලනය මාතෘකාවක් වූයේ දේශපාලන සටන් පාඨයක් වූයේ ඒ අනුව ය.

ඒ යහපාලනය වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයන්ම නිලධාරීවාදයට මුවා වී රට නැවත දේශපාලනීකරණය කරන්නට පෙළඹේ නම් ඒ ගැන විමසුමෙන් සිටිීමට ජනතාව වග බලා ගත යුතු ය.

රෑ වැටුනු වළේ දවල් වැටීමට ජනතාව කැමති වෙතැයි සිතිය නොහැකි ය.

ඒ නිසා සුජීව සේනසිංහ ගරු මන්ත්‍රීතුමාට අප මතක් කර දීමට කැමති වන්නේ නිලධාරීවාදයට එරෙහිව සටන් කිරීම හොඳ වුව ද ඒ මුවාවෙන් නැවතත් දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකරන ලෙස ය.

යම් නිලධාරියෙකු වැරැද්දක් කරන්නේ නම් එයට එරෙහිව පැමිණිලි කළ යුතු ය. ඒ පැමිණිලි නිසි ලෙස විභාග කෙරෙන බවට වග බලා ගත යුතු ය. ඒ සඳහා දැනට ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නැත්නම් නව ප්‍රතිපාදන සකස් කළ යුතු ය. කොටින් හා සිංහලෙන් කියතොත් සිස්ටම් (systems) හැදිය යුතු ය.

එසේ නොකොට නීතිය අතට ගැනීමෙන් මේ ගමන යා නොහැකි ය.

මහින්ද පාලනයට වැරදුනේ එතැන ය. යහපාලනය එහෙම වරද්ද ගන්නවා දකින්නට අප කැමති නැත.

(කළමනාකරණ බ්ලොග් සටහනක් ලෙස මෙය පළ කළේ කළමනාකරුවන් ද සමහර අවස්ථාවල මේ උගුලේ වැටෙන බව අප දැක ඇති නිසා ය. පද්ධති (systems) සෑදිය යුතු තැනක ඒ කටයුත්ත ඉවතලා තමන් වටා සියල්ල ගොඩ නගා ගැනීමට තැත් කිරීම ඔවුන්ට ද වැළඳෙන රෝගයකි. ප්‍රතිඵලය සේවක අසහනයත් වෘත්තීය සමිති ශක්තිමත් වීමත් පුද්ගල විරෝධය අවසානයේ ආයතන විරෝධයක් බවට පත්වීමත් ය.)