ඇස් දෙකකින් නොව ඇස් සිය දහස් ගණනකින් ලෝකය දෙස බලමු


  • නිශාන්ත කමලදාස

යමක් දෙස බැලිය හැකි ආකාර ගණනාවක් තිබේ. ඇතැමුන්ට තර්ජනයක් හෝ අභියෝගයක් වන දේ තව කෙනෙකුට අපූරු අවස්ථාවක් වන්නේ ඒ නිසා ය. ගැහැණියකගේ නිරුවත කෙනෙකුට අසභ්‍ය දෙයක් වන විට කලාකරුවෙකුට සෞන්දර්ය වඩන එකක් වන්නේ ද ඒ නිසා ය. දානය මහත් ආනිශංස ඇති පුණ්‍ය කර්මයක් ලෙස සමහරු දකිතත් කෙනෙකුට එය යැපුම් මානසිකත්වය ඇති කරන ක්‍රියාවක් ලෙස හෝ කැමැත්ත දිනා ගැනීමට දෙන අල්ලසක් හෝ තමන්ගේ ගරු ගාම්භීරත්වය ප්‍රකාශ කළ හැකි අවස්ථාවක් ලෙස හෝ දැකිය හැකි වන්නේ මේ නිසා ය. අර්ධයක් පිරී ඇතැයි සලකන වීදුරුවක් දෙස බලා කෙනෙකුට එය අඩක් හිස් වී ඇති එකක් ලෙස සලකන්නට ද හැකි ය. ඒ එකක් වත් අප ගත් ප්‍රස්තුතයට (දෙයට හෝ ක්‍රියාවට) අයත් දේ නොවේ. ඒ ඒවා දෙස අප බැලූ කෝණයේ හැඩය ය.

බොහෝ විට මේ කෝණය සෑදෙන්නේ අප සිට ගන්නා තැන අනුව ය. එයින් අදහස් කරන්නේ අප සිට ගන්නා භෞතික ස්ථානය නොවේ. අපේ සිත ගන්නා මානසික ස්ථාවරය ය.

ඒ ස්ථාවරය දෙස බලන අපි, සමහරු ශුභවාදී යැයි ද සමහරු අශුභ වාදී යැයි ද කියමු. ඒත් මේ තැන් ගන්නා දෙගොල්ලන්ගෙන් ම ඇසුවොත් ඔවුන් කියනු ඇත්තේ ඔවුන් ගත් ස්ථාවරය යථාර්ථවාදී බව ය.

ශුභවාදී අය බොහෝ දේ කරන්නට ගොස්, තමන්ට නොහැකි දේ පවා කරන්නට ගොස්, ඇන ගන්නා අවස්ථා තිබිය හැකි ය. එහෙත් එසේ වීම නරක නැත. මක් නිසා ද යත් එය ඒ පුද්ගලයාට නව දැනුමක් ලැ‌බෙන නිසා ය. අශුභවාදී පුද්ගලයා එහෙම අමාරුවේ වැටෙන්නේ නැත. ඒ නිසා ම ඔහු අලුතෙන් ඉගෙන ගන්නේ ද නැත.

ශුභවාදී පුද්ගලයා ඇතැම් විට තමන් ගන්නා අභියෝග නිසා විශාල පාඩු අත් කර ගන්නේ ය. ඒවා ලබා ගන්නා අත්දැකීම සමග සන්සන්දනයේ දී විශාල වන්නට ද පුළුවන. ඒ නිසා ඔහු කළ යුත්තේ අවදානම කුමක් දැයි තක්සේරුවකට ද යෑම ය. ඔ්නෑ ම අවදානමක් ගැනීම වෙනුවට නිසි අවදානම් කළමනාකරණයක් සහිත ව අවදානම් ගැනීම ය.

අශුභවාදී පුද්ගලයා හුරු විය යුත්තේ කුඩා අවදානම් ගැනීමට ය. ඒවා තුළ පැරදීමට වුව හුරු වීමට ය. ඇතැම් තැනක අත් හැරීමට හුරු වීමට ය. කිසි දිනක පැරදී නැති අය කැමති ඒ වාර්තාව දිගින් දිගට පවත්වා ගැනීමට ය. ඒ තුළ ඔවුන් බොහෝ දෙනෙකු හුරුව ඇත්තේ අලස ජීවිතයකට ය. වැඩි දැඟලිල්ලකින් තොර ජීවිතයකට ය. 

ශුභ අශුභවාදී බෙදීම හැරුණු කොට මේ අතර වෙනත් බෙදීම් ද පවතින්නේ ය. ගැහැණියකගේ නිරුවත කවියක් ලියන්නට තරම්, සිතුවමක් හෝ මූර්තියක් කරන්නට තරම්, වටින ප්‍රස්තුතයක් ලෙස සලකන කෙනෙක් සහ ඇයගේ නිරුවත අසභ්‍ය බවේ සංකේතයක් ලෙස සලකන කෙනෙක් ගෙන එකෙක් ශුභවාදී හා අනෙකා අශුභවාදී යැයි කෙලින් ම කියන්නට අපට නොහැකි ය. පැහැදිලිව බෙදා වෙන් කරන්නට අපට නොහැකි ය. අපට කිව හැක්කේ කෝණයන් වෙනස් බව පමණකි.

අප බලන කෝණය කුමක් වුව ද සෙසු කෝණ සම්බන්ධයෙන් ද සංවේදී වන්නට හැකි නම් අගනේ ය. තමන්ගේ මතය මුළුමනින් ම ඉවත දමන කෙනෙකු සමග පයුරු-පාසානම් පැවැත්වීමට කිසිවෙකු කැමති නැත. අනෙකෙකු විවේචනය කිරීමට පෙර ඔවුන්ගේ කෝණයෙන් ද ඒ දෙස බැලිය හැකි නම් අප ඒ විවේචන කරන්නට යන්නේ නැත. ඒ නිසා ම අපට වඩා පළල් මිත්‍ර සමාජයක ඇසුර ලද හැකි ය. ඒ නිසා ම වෙන කෙනෙකුට වඩා මිනිසුන් කෙරෙහි බලපෑමක් කිරීමට ද අවස්ථාව සැලසෙන්නේ ය. ඒ ඔවුන් තේරුම් ගන්නා කෙනෙකු හැටියට පිළිගැනීමක් ලැබීම හරහා ය.

එහෙත් ප්‍රශ්නයක් වී ඇත්තේ අප බලන කෝණයට වෙනස් කෝණයකින් බලන අය දෙස සතුරන්‌ ලෙස නොමිනිසුන් ලෙස, නූගතුන් ලෙස, මෝඩයින් ලෙස, අන්තගාමීන් ලෙස, සමාජ විරෝධීන් ලෙස බලන දැක්මක් අප සමහරෙක් සතු ව තිබීම ය. ඒ අයට අවශ්‍ය සෙසු අය ද තමන් සිතන විදිහට ම සිතනවා දැකීමට ය. එසේ වන බවට වග බලා ගැනීමට ඇතැම් විට තර්ජනය ද ඇතැම් විට ආධිපත්‍යය ද ඇතැම් විට බාහු බලය ද ඔවුහු යොදා ගන්නෝ ය. ලෝකයේ විවිධත්වය ප්‍රතික්ෂේප කරන ඔවුහු ලෝකය යුද බිමක් කර ගන්නෝ ය.

ඇතැම් විට ලෝකය එක් අන්තයකට යන්නේ නැති ව තුලනය වී තිබෙන්නේ ම මේ විවිධත්වය නිසා ය. විවිධත්වය ධනාත්මක ව ගන්නේ නැතිව සමජාතිය ලෝකයක් හැදීමට අප ඉහත සඳහන් කළ අයට වුවමනා ය.

පළල් සමාජය තුළ පමණක් නොව ආයතනයක් තුළ ද මෙසේ විවිධ මත ගත් මිනිස්සු සිටිති. සමහරක් ඔ්නෑ ම අවදානමක් ගන්නට සූදානම් ය. සමහරක් මොන ම අවදානමක් වත් ගන්නේ නැත. මුල් වර්ගයේ අයට හැම දෙයක් ම පාහේ අවස්ථාවක් ය. දෙවැනි අයට ඒ සියල්ල අභියෝගයන් ය. තර්ජනයන් ය. මේ දෙවර්ගයේ ම අය ආයතනයකට වටින්නේ ය. පළමු අය නිසා නවෝත්පාදනය ට ඉඩ විවර වෙන අතර දෙවැනි අය නිසා විශාල කඩා වැටීම් වළකින්නට ඉඩ තිබෙන්නේ ය. ඒ පළමු වර්ගයේ අයට දෙවැනි වර්ගයේ අය විසින් කරන අනතුරු ඇඟවීම් නිසා ය. ඒ නිසා ම ඒවාට ද මුහුණ දිය හැකි වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමට පළමු වර්ගයේ අය වුව ද පෙලඹෙන නිසා ය.

අපට මේ විවිධත්වය එක පුද්ගලයෙකු තුළ ට ද ඇති කළ හැකි ය. එවිට අප ඉහත කී පරිදි ආයතනයට ලැබෙන ප්‍රයෝජනය පුද්ගලයාට ද ලැබෙන නිසා ය.

සමාජය තුළ පවා මේ විවිධත්වය තිබෙන එක යහපත් ය. කණ්ඩලම හෝටලය ලොව පිළිගත් පරිසර සංවේදී හෝටලයක් බවට පත් වීමට ඊට එරෙහි ව කරන ලද උද්ඝෝෂණ ද බල පෑවේ නැතැයි කියන්නට බැරි ය. සංවර්ධනය ද පරිසරය ද යන විවාදය තුළ දෙපැත්ත ම නියෝජනය වන තරමට තිරසර සංවර්ධනයක් ඇති වීමේ ඉඩකඩ වැඩි ය.

මේ නිසා ම ලෝකය දෙස ඇස් දෙකකින් නොව ඇස් සිය ගණනකින් බලන්නට හැකියාව පුරුදු පුහුණු කරමු. කළමනාකරුවන්ට හා නායකයන්ට විශේෂයෙන් ම මේ පළල් දැක්ම තමන්ගේ ආයතනය හෝ රට ඉදිරියට ගෙන යෑමට විශාල පිටුබලයක් වනු නිසැක ය.

Leave a comment