අපේ මිණුම් දඩු


අප බොහෝ විට මිනිසුන් මණින්නේ ඔවුන් අප ගැන දක්වන සැළකිල්ල, දයාව, කරුණාව, අනුග්‍රහය, උදව්ව සැළකිල්ලට ගෙන ය. අපට සහයක් වන එවන් අය අපේ ඉහළ අගැයීමට ලක් වන්නේ ය. මේ අගැයීම ඇතැමි විට නිවැරදි නොවිය හැකි ය. ඒ තැනැත්තා අපට අනුග්‍රහ දක්වන්නේ කිසියම් ලාභයක් ලැබේය යන චේතනාවෙන් විය හැකි ය. එවිට ඔහුගේ අනුග්‍රහය අපට නොවේ. අපෙන් ලැබිය හැකි දේට ය.

ඔබට තරු දැකිය හැක්කේ, වඩාත් නිවැරදිව කිවහොත්, ඒවා නිශ්චය ලෙස හඳුනාගත හැක්කේ කළුවර රැයක දී ය. එයින් කියන්නේ අපට මිතුරන් හා මිනිසුන් සැබෑවට හඳුනාගත හැක්කේ අප අඳුරට නැත්නම් අගතියට පත් වූ විට බව ය. එහෙත් මිනිසුන් හඳුනාගැනීම උදෙසා අගතියට පත් වන්නට අපට බැරි ය. ඒ නිසා අප ඊට මෙහා ක්‍රමයක්, උපායක්, මේ සඳහා යොදා ගත යුතු ය.

අප නැතත් අගතියට පත් මිනිස්සු, නොසැළකිල්ලට පත් මිනිස්සු, අප වටා කොතෙකුත් සිටිති. අප මණින මිනිසා මේ මිනිසුන් කෙරෙහි කෙසේ හැසිරෙන්නේ ද යන්න විමසීමෙන් අපට, අප මණින ඒ මිනිසා සම්බන්ධයෙන්, නිසි අගැයීමක් කළ හැකි ය.

එපමණක් නොවේ. ප්‍රතිඋපකාරයක් කළ නොහැකි ගහ කොළ සතා සරුපයා ඉන්නා පරිසරය සම්බන්ධයෙන් ඔහු හෝ ඇය කෙතරම් සංවේදී ද? යමක් කළ නොහැකි අසරණ සතුන් වෙනුවෙන් ඔහු ඇය සංවේදී ද? යන කාරණා ද මෙහි දී අපේ සැළකිල්ලට ගත හැකි ය.

එපමණක් නොවේ. ඍජු ප්‍රතිඋපකාරයක් අපේක්ෂා කළ නොහැකි පොදු සමාජය සම්බන්ධයෙන් ඔහු හෝ ඇය කොතෙක් සංවේදී ද යන්නත් අපට යොදා ගත හැකි තව නිර්ණායකයකි.

එහෙත් බොහෝ දෙනෙකු තමන් ද ඒ කිසිවකට සංවේදී නොවන නිසා මිම්ම හැටියට ගන්නේ කෙනෙකු තමන් සම්බන්ධයෙන් දරණ ස්ථාවරය ය. තම කම ය.

ඒ බොහෝ දෙනෙකු, තමන් අසරණ වූ විට තේරුම් ගන්නේ, තමන්ගේ ලැයිස්තුවේ ප්‍රියමනාප යහපත් පුද්ගලයෙකැයි තමන් හඳුනාගෙන සිටි ඒ පුද්ගලයා, තමන් සිතා සිටි පුද්ගලයා නොවන බව ය. ඔහු / ඇය කර ඇත්තේ රඟපෑමක් බව ය. රැවටීමක් බව ය.

බොහෝ දෙනෙකු මානසිකව වැටෙන්නේ තමන් අගතියට පත් වූ නිසා ම නොවේ. ඒ ඇසිල්ලෙන් තමන් හැර යන පරිවාර සෙනඟ දැකීමෙන් ය. එසේ නොවැටී සිටිය හැක්කේ මිනිසුන් ගැන නිවැරදි අගැයීමක් කළ පුද්ගලයන්ට පමණ ය. පරිවාර සෙනග ඉවත් වීමටත් පෙර මේ මේ අය දැන් ඉවත් වෙතැයි ඔවුන් දන්නා නිසා ය. ඔවුන්ට ඒ ඉවත් වීම පුදුමය ගෙන දෙන්නක් නොවන නිසා ය. ඒ නිසා ම සැලෙන්නට දෙයක් ඔහුට, ඇයට, නැති නිසා ය.

ඇතැම් මිනිසුන්ට රැවටිමට, තමන්ට කළ අනුග්‍රහයක්, කිසියම් උදව්වක්වත්, බොහෝ විට ඕනෑ නැත. ලොක්කෙක් තමන්ගේ පිටට තට්ටු කර හායි කීම ම ඒ පුද්ගලයා ගැන යහපත් මිම්මක් හදා ගැනීමට මේ කියන අයට සෑහෙන්නේ ය. ඉදින් කිසියම් කෙනෙකු වචනයෙන් සංග්‍රහ කළ ද එය රසවත් අහරක් සේ බුදින්නට ඒ මත අපූරු අගැයීමක් ගොඩ නගා ගන්නට සමහරු සූදානම් ය. බොහෝ විට ඒ වචනය, මවා පාන හිනාවක් සමග, අංග චලනයෙන් එන ලෙංගතු කමක් සමග, කියවෙන්නේ නම්, ආයි නැවත විමසන්නටවත් දෙයක් ඔවුන්ට නැත. ඇතැම් දේශපාලනඥයින් කෙතරම් නොපනත් කම් කළත් මිනිසුන් ඔවුන්ට වශීවී පස්සෙන් යන්නේ මේ කියන ආකාරයේ රැවටීමට බොහෝ දෙනෙකු ගොදුරු වන නිසා ය.

අප, අපේ මිණුම් දඩු, නැවත මුවහත් කොට සකස් කර ගත යුත්තේ ඒ බොරුවෙන්, රැවටිල්ලෙන්, ගැලවීමට ය.

මට නැතත්, මා අයත් කණ්ඩායමට කෙනෙක් ලෙන්ගතු නම්, මට ඇතැම් විට හිතෙන්නේ ඔහු හෝ ඇය මගේ ද මිතුරෙකු ලෙස ය. ඒ නැවතත් කණ්ඩායමට ලැබෙන දෙයක් හරහා මට ද යමක් ලැබිය හැකි නිසා ය. ඒ පුද්ගලයා සෙසු කණ්ඩායම් විෂයෙහි දක්වන නොපනත් කම් ඉවසීමට පමණක් නොව ඒවාට හුරේ දැමීමට ද බොහෝ දෙනෙකු ඒ නිසා කැමති ය. ඒ පුද්ගලයා නොම්මර එකේ කපටියෙකු ලෙස නොව අපේ ගැලවුම් කරුවා ලෙස පිලිගන්නට මේ නිසා වැඩි දෙනෙක් ඉදිරිපත් වන්නේ ය. ඒ ඔහුට වඩාත් ගෝචර කණ්ඩායමක් හමු වන තුරු ය. ඇයට වඩාත් වාසිදායක කල්ලියක් මුණ ගැසෙන තුරු ය. එදාට අපේ ධජය ඉවත දා ඔහු / ඇය වෙන ධජයකට මාරු වන්නේ ය. කලින් අපේ ප්‍රේමියෙකු වූ ඔහු දැන් අපේ ද්‍රෝහියෙකු වන්නේ ය.

මෙසේ හදිසියේ අප අතරමං වීමට හේතුව, ඒ පුද්ගලයාගේ මේ කණ්ඩායමට ඇති ලෙන්ගතු කම, කුමක් නිසා ඇති කර ගත් එකක් දැයි අපේ විමසීමට හසු නොවීම ය. ඔහු වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද ඒ පිළිබඳ ඔහුගේ කැපවීම ප්‍රදර්ශනය කර ඇද්දැයි අප විසින් සොයා නොබැලීම ය. ඒ වෙනුවෙන් ඔහු විසින් අත් හැර දමා ඇත්තේ කුමක් දැයි අප විසින් නොවිමසීම ය. ඔහුගේ ප්‍රමුඛතා ලයිස්තුවේ අපේ කණ්ඩායම තිබෙන්නේ කොතැනක දැයි සොයා නොබැලීම ය.

උදාහරණයක් ලෙස රටට ආදරේ යැයි කියන කෙනෙකු තම දරුවෙකු රටට වින කරන බව පෙනී ගියහොත් ගන්නේ කුමන පැත්ත ද යන්න එවැනි විමසීමකදී යොදා ගත හැකි ලිට්මස් පරීක්ෂාවකි. එලාර රජු තම පුතා විසින් කරන ලද වැරැද්දක් සම්බන්ධයෙන් පුතාට දඩුවම් කළ බව ඉතිහාසයේ සඳහන් ය. ඒ කියන්නේ එලාර රජුට දරුවාට උඩින් නීතිය හා රට තිබුනු බව ය. අප දන්නා බොහෝ නායකයෝ එසේ නොවෙති. ඒ අප නායකයන් යැයි කියා අතිශය ආත්මාර්ථකාමී එහෙත් කපටි පුද්ගලයන්ට රැවටෙන නිසා ය.

අප තේරුම් ගත යුත්තේ අපේ කැමැත්ත සම්බන්ධයෙන් මේ ලෙස හැම විටම ප්‍රමුඛතාවයන් පවතින බව ය. මා රටට ආදරේ ය. එහෙත් ඇතැම් විට රටට වඩා මා මගේ දරුවාට ආදරේ විය හැකි ය. එහෙම තැනක රට පැත්තකට දමා මා දරුවාගේ පැත්ත ගත හැකි ය. ඒ නිසා කෙනෙකුගේ දේශප්‍රේමය මැනීමේ දී ඔහු ඒ වෙනුවෙන් අත් හැර ඇත්තේ කුමක් දැයි මැනීම නිවැරදි ඇගයීමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය ය.

අනෙත් අතට අප තේරුම් ගත යුත්තේ කණ්ඩායමකට ඇති පක්ෂපාතිත්වය නිත්‍ය විය නොහැකි බව ය. අප පවා කණ්ඩායමක් වැරදි මග යනවා නම් එයින් ඉවත් වන බැවිනි. ඒ නිසා ම වඩාත් ම අප සොයා බැලිය යුත්තේ යම් කණ්ඩායමකට කෙනෙකුගේ පක්ෂපාතිත්වය ඇත්තේ කුමක් පදනම් කර ගෙන ද යන්න ය. එය ප්‍රතිපත්තියක් මත පිහිටා කරන ලද්දක් ද නැතිනම් තනිකරම අවස්ථාවාදී තීරණයක් ද යන්න ය.

එහෙත් බොහෝ දෙනෙකුට අනුව තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් මේ මොහොතේ පෙනී ඉන්නවා නම් හුරේ දමන්නට ඒ ඇති ය. ඒ කුමක් නිසා දැයි යන්න ඔවුන්ට අදාළ ම නැත. ඔවුන් ද අවස්ථාවාදී නම් අනෙකා අවස්ථාවාදී ද නැද්ද යන්න විමසීම කොහෙත්ම අදාළ නැත.

මේ සියල්ල කීවේ කළමනාකරුවෙකු විසින් මිනිසුන් නිසි ලෙස වටහා ගත යුතු බව කියන්නට ය. බොහෝ විට මෙවැනි විමසීමක් නොකරන කළමනාකරුවන් නොසිතූ විටක අමාරුවේ වැටෙන්නට නියමිත ය. ඒ, ඔවුන් නිසි අගැයීමකින් තොරව විශ්වාස කළ මිනිසුන්, ඒ විශ්වාසය නොසිතූ වෙලාවක, නොසිතූ ලෙස, කඩ කළ විට ය.

දඩුවම් දීමට විකල්පයක් තිබේ ද?


55586

ගුරුවරියක විසින් ළමයෙකුට කෘර ලෙස සැලකීම කරණ කොට වසර 2 ක සිර දඩුවමකට යටත් කළ බවත් පසු ගිය දා පළවිය. කුරුණෑගල පළාතේ සිදු වූ මේ සිද්ධියට විරෝධය පාමින් ගුරුවරු උද්ඝෝෂණයේ යෙදෙනු දක්නට ලැබුනේ ය. අදහස් පළ කළ බොහෝ ගුරුවරු කීවෙ මින්පසු තමන් ළමුන් හදන්නට, උන් හික්මවන්නට, නොයන බව ය. උන්ට ඕනෑ හැටියට හැදෙන්නට ඉඩ දෙන බව ය.

දරුවෙකු යහමගට ගැනීමට යෑම වෙනුවෙන් හිර බත් කෑමට සිදු වීම ඛේදයක් බව ඇත්ත ය. එහෙත් උසාවියක් නිකම් පැමිණිල්ලක් කළ පමණින් කෙනෙකු හිර ගෙට නියම කරන්නේ නැත. උසාවිය දෙපැත්තට ම සවන් දෙන්නට ඇත. මේ නඩුව දැන් වසර හය හතක් තිස්සේ අසා අවසානයේ තීන්දුවක් ලබා දුන් නඩුවකි. එහෙම බැලුවහම ගුරුවරියගේ පැත්තෙන් ද බරපතල අඩුපාඩු කම් තිබෙන්නට ඇත.

එසේ වුව ද අවසාන තීන්දුව ගුරුවර ගුරුවරියන් අසරණ කරන්නට ඇත. මෙතෙක් තමන්ට හුරු වී තිබුණු විනය පිහිටවීමේ මගට වැටී ඇත්තේ හරස් පොල්ලකි.  දරුවන්ට එරෙහිව හිංසනය ක්‍රියාත්මක කිරීමට නීතියෙන් අවසර තිබුනේ නැති වුව ද කිසිදු ගුරුවරයෙකු ඒ නීතිය උල්ලංඝනය කිරීමේ වරදට මෙසේ උසාවියට දක්කාගෙන ගොස් මෙහෙම දඩුවම් ලබා දුන්නේ නැත. දැන් නීතිය ක්‍රියාත්මක වී ඇත. අනාගතය කළු පැහැයෙන් ලිය වී හමාර ය.

තීන්දුවේ යම් අඩුපාඩුවක් වුනේ නම් ඉහළ උසාවියකට අභියාචනා කළ හැකි යැයි බාහිර සිට අපට කිව හැකි ය. එහෙත් ප්‍රශ්නය ගුරුවරුන්ට දැන් ඉදිරියේ දී කළ හැක්කේ කුමක් ද යන්න ය.

කරන්න තියෙන්නේ කපන්න බැරි අත ඉඹින එක ය. ඒ කියන්නේ දඩුවම් දෙන්නට බැරි නම් කළ යුත්තේ තෑගි දීම බව ය.

එය දඩුවම් දීම තරම් අප්‍රසන්න නැත. එහෙත් තිබෙන එකම ප්‍රශ්නය දඩුවම් දී ළමුන් හදන්නට පුරුදු වී කෙනෙකුට එකවර තෑගි දීමට හුරුවක් ඇති කර ගැනීම ය. තෑගි යන්නෙන් අදහස් කරන්නේ සාප්පු වලින් අරන් දෙන දේවල් නොවේ. එය ඇතැම් විට කුඩා ප්‍රශංසාවක් විය හැකි ය. අත්පොලසන් නාදයක් විය හැකි ය. කරුණාවන්ත බැල්මක්, වදනක්, විය හැකි ය.

පොඩ්ඩක් නවතින්න. අප මේ කතා කරන්නේ වැරදි කරන අය ගැන ය. වැරදි කරන අයට තෑගි දෙන සිරිතක් තිබෙන්නේ කොහේ ද? එය පණින රිලවුන්ට ඉණිමං බැඳීමක් නොවේ ද?

නැත. එය එසේ නොවන්නේ ම ය. අපට එසේ සිතෙන්නේ අප මිනිසුන් සුදු හා කළු හැටියට, හොඳ හා නරක අය හැටියට වර්ග කරන්නට පුරුදුව ඇති නිසා ය. එසේ කිරීමෙන් පසු ගනුදෙනුව පහසු ය. නරක මිනිසුන්ට ළමුන්ට දඩුවම් කළ යුතු ය. තෑගි දිය හැක්කේ හොඳ මිනිසුන්ට ය. හොඳ ලමුන්ට ය.

ප්‍රශ්නය ඇත්තේ ද එතැන ය. එහෙම පිටින් ම හොඳ හෝ නරක මිනිසුන් හෝ ළමයින් නැත. මිනිසුන් කළු හෝ සුදු නොවේ. ඔවුන් අලු පාට ය. එයින් අදහස් වන්නේ එක ම මිනිසා හෝ ළමයා තුළ මේ දෙක ම පැවතීමේ ශාක්‍යතාවයක් ඇති බව ය.

අප සොයා ගත යුත්තේ වැරදි කළ තැනැත්තාගේ හොඳ කුමක් ද යන්න ය. අප තෑගි පිරිනැමිය යුත්තේ අන්න ඒ හොඳට ය.

අප්‍රිකාවේ රටක අපූරු චාරිත්‍රයක් තිබේ. මේ බව පසුගිය මව්බිම කලාපයක තිබූ ලිපියක ද සඳහන් ව තිබුනේ ය. ඒ චාරිත්‍රයට අනුව වැරදි කරන තැනැත්තා වරිග සභාව ඉදිරියට කැඳවේ. ඔහුට එහි මැද ආසනයක වාඩි වන්නට සැලැස්වේ. ගම්මුන් වට වී මේ පුද්ගලයා, වරද කළ පුද්ගලයා, විසින් කලින් කළ හොඳ දේ මතක් කරනු ලැබේ. ඒ ගැන ඔහු / ඇය අගය කෙරේ. අවසානයේ මේ පුද්ගලයා තමන්  කළ වරද ගැන ගම්මුන්ගෙන් සමාව ගනු ලබන්නේ ඇතැම් විටක ඇඩූ කඳුලිනි. ඒ නැවත වැරැද්දක් නෙකරන බවට තමන්ට ම සපථ වෙමිනි.

මා, නිවාස සැලසුම් ගොඩනැගිලි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හැටියට වැඩ බාර ගැනීමෙන් පසු, මුල් මාසය තුළ ම, සෑම කෙනෙකු තුළම තිබූ එක් හෝ යහ ගුණයක් සොයා ගැනීමට සමත් වීමි. මාසය ඉක්මවන දා, මම මගේ අත්සනින්, සෑම කෙනෙකුටම, ඒ තැනැත්තා තුළ මා දුටු යහගුණය දක්වා, එය අගය කරමින්, එයින් ආයතනය ලබන එලිය ගැන ස්තුති පල කරමින් ලිපියක් ලබා දුනිමි. හැම දෙනාට ම පාහේ එය අපූරු අත්දැකීමක් වූයේ ය. වෘත්තීය ජිවිතයේ කිසිදාක ඔවුන්ට එවන් ලිපියක් ලැබී තිබුනේ නැත. නිවාස සහ ගොඩනැගිලි මධ්‍යස්ථානය ජයග්‍රහණයන් දෙකකට මෙහෙයවන්නට ඒ ක්‍රියාව පදනම දැමුයේ යැයි මම අදටත් විශ්වාස කරමි.

කෙනෙකුගේ වැරැද්දක් පෙන්වා දෙන හැම විටකම, ඊට ප්‍රථමයෙන්, ඔහුගේ ඇයගේ යහගුණයක් පෙන්වා දීම මම පුරුද්දක් බවට පත් කර ගත්තෙමි. හඩ උස් නොකර, කිසිවෙකුට නොබැණ, ආයතන ප්‍රධානියෙකු ලෙස ආයතන දෙකක සේවය කිරීමට මට ඒ නිසා හැකි විය. ප්‍රතිපත්තියක් හැටියට, මා කෙනෙකුගේ වැරැද්දක් පෙන්වා දුන්නේ අතිශය පෞද්ගලිකව, ඔහුට ඇයට පමණක් ඇසෙන සේ ය. හැම කෙනෙකුම මේ ආකාරයට පාලනය කළ නොහැකි බව මම පිළිගනිමි. විශේෂයෙන් මානසික රෝගයකින් පෙළෙන කෙනෙකු මේ කිසිවකට පාලනය කළ නොහැකි ය. එවැන්නන් සඳහා අප වෛද්‍ය ආධාර පැතිය යුතු ය. එවැනි අබාධයක් නැති ඕනෑම කෙනෙකු දඩුවමකින් තොරව කළමනාකරණය කළ හැකි ය.

ගුරුවරුන් හිරේ නොයා සිටින්නට පමණක් නොව, කළමනාකරුවන්ට ද අර්බුදයකින් තොරව ආයතනයක් ගෙන යෑමට ද, මේ උවදෙස් අනුගමනය කළ හැකි ය.

අප අපේ අනුගාමිකයන්ට ගරු කරනවා නම් ඔවුන් පෙරලා අපට ගරු කරනු ඇත. මුල දී එසේ නොකරන අය ද ටික කලකින් එසේ කරනවා ඇත. සිනහවකින් සංග්‍රහ කරන කෙනෙකුට, සිනහවකින් සංග්‍රහ කරනවා හැරෙන්නට, වෙන විදියක ප්‍රතිචාරයක් දැක්වීම අමාරු ය. ගරුත්වය ද එබඳු ය.

අප අපේ අනුගාමිකයන් අගය කිරිමෙන් නොනැවතී, ආයතනය තුළ සෙසු අයට ද, තමන්ගේ සගයින් හා අනුගාමිකයන් අගය කරන ලෙස උපදෙස් දිය යුතු ය. එකිනෙකාට ගරු කරන පසුබිමක විනය හදන්නට වේවැලක් අතට ගන්නට අවශ්‍ය නැත. යක් මුහුණක් ආරූඪ කර ගැනිමට අවශ්‍ය නැත. බිය වැද්දිමට අවශ්‍ය නැත.

අවශ්‍ය වනුයේ මුදිතාව ය. උපේක්ෂාව ය. සෙනෙහස ය. ආදරය ය. එයින් මෙල්ල නොවන මිනිසුන් අඩු ය. එහෙත් අප බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය අප වෙත ඒ ගුණාංග නැති වීම ය. ප්‍රශ්නය ඇත්තේ එලියේ නොව අප තුළ ය. ඒ නිසා ම අප උනන්දු වන්නේ නම්, අපට පහසුවෙන් ම, මේ අභියෝගය ජය ගත හැකි ය.

අවසර නොඉල්ලා සමාව ගැනීම


53861 

බොහෝ දෙනෙකු කැමති තම ප්‍රධානියාගෙන් අවසර ගෙන යමක් කිරීමට ය. ඒ පසුව එන දෝෂාරෝපණයන්ගෙන් ගැලවීම උදෙසා ය. තමන් ළගට උපදෙස් පතා එන මිනිසුන් ගැන ප්‍රධානියාගේ ද ඇත්තේ පැහැදීමකි. හිතුමතේට වැඩ කරන මිනිසුන් මෙන් නොව එවැනි අවසරයක් ඇතිව වැඩ කරන අයගෙන් ප්‍රශ්න ඇති වන්නේ කලාතුරකින් බැවිනි.

ඊට අමතරව මේ අවසරය පතා එන අය නිසා ප්‍රධානියාගේ වටිනාකම වැඩි වන අතර ඔහුගේ / ඇයගේ පැවැත්ම ද එයින් යුක්ත යුක්ත කෙරේ.

ප්‍රධානියාට ලැබෙන්නේ කරන්නට නියමිත වැඩයට තමන්ගේ හණ ද ගසා ගත හැකි අනගි අවස්ථාවකි. ඒ නිසා ද ඔහු මේ වැඩ පිළිවෙලට කැමති ය.

එපමණක් නොවේ. ඒ කටයුතු තමන්ට ඕනෑ ආකාරයට නැවත ප්‍රතිසංවිධානය කර ගැනීමේ අවස්ථාව ද ප්‍රධානියාට ඒ මගින් උදාවේ. තමන්ගේ කෙනෙකුට ද වැඩයට අත ගැසීමට අවස්ථාවක් ලබා දීමේ ඉඩ ද ඔහු සතු වන නිසා ය.

තවත් වාසියක් නම් තමන්ට පොර වීමට එයින් ඉඩ ලැබෙන බැවිනි. අවවාද දීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. අනතුරු ඇඟවීමට ඉඩ හසර ලැබෙන බැවිනි. තවත් එහාට ගිය විට බැණ අඩ ගහන්නට ද අනෙකා හෑල්ලුවට ලක්කරන්නට ද අවශ්‍ය නම් අවස්ථාවක් ලබා ගත හැකි බැවිනි.

ඒ සියල්ලටත් වඩා පුද්ගලයාට වැට කඩොළු බැඳ ඔහු දිලිසීමට ඇති අවස්ථාවක් ඒ නිසා මග හැරෙන බැවිනි. තමන්ට වඩා කිසිවෙකු ඉදිරියට එනවාට අකමැති ප්‍රධානීන්ට මෙය මිල කළ නොහැකි අවස්ථාවකි.

මේ නිසා ද බොහෝ ප්‍රධානීන් කැමති හැම සිල්ලර දෙයක්ම තමන්ගේ අසා දැන කරන මිනිසුන්ට ය. එහෙව් ආයතනයක ස්වාධීනව වැඩක් කරන්නට කෙනෙක් ඉදිරිපත් වන්නේ කලාතුරකිනි. යම් හේතුවක් නිසා කිසිවෙකු ප්‍රධානියා නොවිමසා යම් වැඩක් කළේ නම් එය කොතරම් යහපත් වුව ද එහි අඩුපාඩු සොයා ඒ කළ තැනැත්තාට දිගින් දිගට බැණ වදිමින් නිරන්තරයෙන් එය මතක් කරමින් අවලාද නගමින් වැඩ කරන්නට ප්‍රධානීහු වග බලා ගනිති.

බොහෝ ප්‍රධානීන් බොහෝ දේ කිරීමට බිය නිසා මෙසේ අවසර ඉල්ලා ගෙන යන අයට බොහෝ විට අවසර ලැබෙන්නේ නැත. ලැබුන ද ඒ දහසක් කොන්දේසි වලට යටත් කර ගෙන ය. ඒ කොන්දේසි සියල්ල සහිතව ඒ වැඩේ කරන්නට අමාරු නිසා බොහෝ අය වැඩේ නොකර ම අත් හරිති.

මේ තත්වය විශේෂයෙන් අදාළ වන්නේ නව වැඩ වලට ය. කවදාවත් ආයතනය තුළ කලින් කර නැති- අත්හදා බලා නැති වැඩ වලට ය. බොහෝ ප්‍රධානීන් කියනු ඇත්තේ ඕව මෙහෙ බෑ කියා ය. මේ මිනිස්සුත් එක්ක කරන්න බැ කියා ය.

ඇතැමෙක් එසේ නොකියන මුත්, ඔවුන් එය වෙනත් ආකාරයකින්, බොහෝ විට වක්‍රව, කීමට වග බලා ගනිති. ඒ, එවැනි වැඩ අත්හදා බලා ඇති ආයතනයක, එය කර ඇත්තේ කෙසේ දැයි දක්වන ලෙස ය. අනුමැතිය දීමට පෙර, එවැනි වැඩ පිළිබඳ ලිඛිත සාක්කි සපයන ලෙස ය. ඒ සාක්කි ලබා දුන් පසුව වුව ද, එම ආයතනය වෙනස් බවත්, සන්දර්භය වෙනස් බවත්, කියමින් ඒ නිසා ම එම සාක්කි ප්‍රමාණවත් නොවන බව කියන්නට ඔවුන් වගබලා ගන්නවා ඇත.

කවදා කිසි තැනක කර නැති වැඩක් නම් එවැන්නක අවදානම බාර ගැනීම බොහෝ ප්‍රධානීන්ගෙන් අපේක්ෂා නොකළ යුතු තරමේ දෙයකි.

නව වැඩක් ඉතා උනන්දුවෙන් කරන්නට හිතාගෙන ප්‍රධානියා විමසන බොහෝ දෙනෙකු, එවැනි සංවාදයන් කීපයකට පසු, එවැන්නක් මේ ප්‍රධානියා සමග, මේ ආයතනය තුළ, කරන්නට බැරි යැයි නිගමනයකට පැමිණ උකටලී වෙති. ආයතනය කිහිපයක, එසේත් නැතිනම් එක ම ආයතනයක් තුළ ප්‍රධානීන් කිප දෙනෙකු සමග, මෙසේ ගැටුනු කෙනෙක් ඉන්පසු වැඩ නොකරන්නට හිත හදා ගැනීමට නියමිත ය.

දැඩි උනන්දුවෙන් ආයතන වලට බැඳෙන අය, ටික කලකින්, තල්ලු කළොත් මිසක වැඩක් නොකරන මිනිසුන් බවට පත් වීමට මේ කාරණය ද දැඩි ලෙස බල පා තිබේ.

වැඩියෙන් වැඩ කළොත් වැඩිපුර ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වන, අඩුවෙන් වැඩ කළොත් අඩුවෙන් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන, වැඩ නොකළොත් ප්‍රශ්න ඇත්තේම නැති, බොහෝ රාජ්‍ය ආයතනවල දක්නට ලැබෙන, පරිසරයකට සමාන ආයතනික පරිසරයක සිටින කෙනෙක් මේ තත්වයට වඩාත් පහසුවෙන් තල්ලු වී යා හැකි ය.

මේ තත්වය තේරුම් ගන්නා යහපත් ප්‍රධානීහු මිනිසුන්ට අත්හදා බැලීම් කිරීමට ඉඩ හසර දීමට අමතර වෙහෙසක් ගනිති. විශේෂයෙන්, මිනිසුන් අකර්ණම්‍ය වී ඇත්තේ ඔවුන් පෙර ප්‍රධානීන් යටතේ ලබා ඇති අත්දැකීම් නිසා විය හැකි යයි ඔවුන් දකින නිසා ම, මිනිසුන් අලස යැයි චෝදනා කිරීමට පොරොතුව, ඔවුන්හට තව අවස්ථාවක් ලබා දීමට කටයුතු කරති. එහෙත් හැම ප්‍රධානියෙකුම එහෙම නැත.

මේ තත්වය තේරුම් ගත් අනුගාමිකයෙකුට කළ හැක්කක් තිබේ ද?

ඔවුන් සතුව එක් විකල්පයක් පමණක් ඇත. ඒ අවසර නොඉල්ලාම වැඩ කිරීමට ය. වැඩේ හරි ගියොත් තමන්ගේ අකීකරු කම පිළිබඳ ප්‍රධානියා වෙත ගොස් සමාව අයැද සිටිය හැකි ය. ඒ සමගම වැඩේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ක්‍රෙඩිට් එක ද ප්‍රධානියාට පිරි නැමිය යුතු ය. එවිට සියලු අකීකරු කම් වලට සමාව ලැබෙනු ඇත. එපමණක් ද? තමන්ගෙන් නොඅසා මේ කටයුත්ත කිරීමෙන් තමන් අවදානමෙන් ගලවා ගැනීමට කටයුතු කිරීම ගැන ප්‍රධානියාගේ යටි සිත පවා සතුටට පත් වනු ඇත. ඒ නිසා එසේ කළ තැනැත්තාගේ අනාගතය අයහපත් එකක් නොවනු ඇත. එහෙත් කීර්තිය ප්‍රධානියාට දීම අතපසු වුනොත් වැඩේ ඉවර ය. ප්‍රධානියාගේ අවසරය නැතිව කළ වැඩක් වෙනුවෙන් ප්‍රධානියාට කීර්තිය දිය යුත්තේ ඇයි දැයි සිතුවොත් වැඩේ හබක් ය.

තව ප්‍රශ්නයක් තිබේ. බැරි වෙලාවත් වැරදුනොත් කුමක් සිදුවේ ද යන්න ය. උත්තරය, වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමට ඉඩ ඇති බව ය. එහෙත් නිකම් ඉඳිමින් මලකන තත්වයට පත්වනවාට වඩා ඒ අවදානම ගැනීම හොඳ ය. අඩු වශයෙන් වෙන තැනකට මාරු වීමට එමගින් අවස්ථාවක් උදාවිය හැකි නිසා ය.

මේ වැල්වටාරම් නැතිව අත්හදා බැලීම් කිරීම් සඳහා ඉඩ හසර දෙන ආයතනයන් තිබේ. ඒවායේ වැඩ කිරීමට ලැබීම ම සතුටකි. එවැනි ප්‍රධානියෙකු ලැබීම ද කෙනෙකු ලබන වාසනාවකි.

අප කාඩ් සෙල්ලම කළ යුත්තේ අතට පත් වන කොළ වලිනි. ලැබී තිබෙන කොළ වලින් උපරිමය කරන්නට හිත හදා ගැනීම කාඩ් ගැසීමට වාඩිවන හැමගේ ජීවන දර්ශනය විය යුතු ය. එය මෙතැනට ද අදාළ ය.