අවසර නොඉල්ලා සමාව ගැනීම


53861 

බොහෝ දෙනෙකු කැමති තම ප්‍රධානියාගෙන් අවසර ගෙන යමක් කිරීමට ය. ඒ පසුව එන දෝෂාරෝපණයන්ගෙන් ගැලවීම උදෙසා ය. තමන් ළගට උපදෙස් පතා එන මිනිසුන් ගැන ප්‍රධානියාගේ ද ඇත්තේ පැහැදීමකි. හිතුමතේට වැඩ කරන මිනිසුන් මෙන් නොව එවැනි අවසරයක් ඇතිව වැඩ කරන අයගෙන් ප්‍රශ්න ඇති වන්නේ කලාතුරකින් බැවිනි.

ඊට අමතරව මේ අවසරය පතා එන අය නිසා ප්‍රධානියාගේ වටිනාකම වැඩි වන අතර ඔහුගේ / ඇයගේ පැවැත්ම ද එයින් යුක්ත යුක්ත කෙරේ.

ප්‍රධානියාට ලැබෙන්නේ කරන්නට නියමිත වැඩයට තමන්ගේ හණ ද ගසා ගත හැකි අනගි අවස්ථාවකි. ඒ නිසා ද ඔහු මේ වැඩ පිළිවෙලට කැමති ය.

එපමණක් නොවේ. ඒ කටයුතු තමන්ට ඕනෑ ආකාරයට නැවත ප්‍රතිසංවිධානය කර ගැනීමේ අවස්ථාව ද ප්‍රධානියාට ඒ මගින් උදාවේ. තමන්ගේ කෙනෙකුට ද වැඩයට අත ගැසීමට අවස්ථාවක් ලබා දීමේ ඉඩ ද ඔහු සතු වන නිසා ය.

තවත් වාසියක් නම් තමන්ට පොර වීමට එයින් ඉඩ ලැබෙන බැවිනි. අවවාද දීමට අවස්ථාවක් ලැබෙන බැවිනි. අනතුරු ඇඟවීමට ඉඩ හසර ලැබෙන බැවිනි. තවත් එහාට ගිය විට බැණ අඩ ගහන්නට ද අනෙකා හෑල්ලුවට ලක්කරන්නට ද අවශ්‍ය නම් අවස්ථාවක් ලබා ගත හැකි බැවිනි.

ඒ සියල්ලටත් වඩා පුද්ගලයාට වැට කඩොළු බැඳ ඔහු දිලිසීමට ඇති අවස්ථාවක් ඒ නිසා මග හැරෙන බැවිනි. තමන්ට වඩා කිසිවෙකු ඉදිරියට එනවාට අකමැති ප්‍රධානීන්ට මෙය මිල කළ නොහැකි අවස්ථාවකි.

මේ නිසා ද බොහෝ ප්‍රධානීන් කැමති හැම සිල්ලර දෙයක්ම තමන්ගේ අසා දැන කරන මිනිසුන්ට ය. එහෙව් ආයතනයක ස්වාධීනව වැඩක් කරන්නට කෙනෙක් ඉදිරිපත් වන්නේ කලාතුරකිනි. යම් හේතුවක් නිසා කිසිවෙකු ප්‍රධානියා නොවිමසා යම් වැඩක් කළේ නම් එය කොතරම් යහපත් වුව ද එහි අඩුපාඩු සොයා ඒ කළ තැනැත්තාට දිගින් දිගට බැණ වදිමින් නිරන්තරයෙන් එය මතක් කරමින් අවලාද නගමින් වැඩ කරන්නට ප්‍රධානීහු වග බලා ගනිති.

බොහෝ ප්‍රධානීන් බොහෝ දේ කිරීමට බිය නිසා මෙසේ අවසර ඉල්ලා ගෙන යන අයට බොහෝ විට අවසර ලැබෙන්නේ නැත. ලැබුන ද ඒ දහසක් කොන්දේසි වලට යටත් කර ගෙන ය. ඒ කොන්දේසි සියල්ල සහිතව ඒ වැඩේ කරන්නට අමාරු නිසා බොහෝ අය වැඩේ නොකර ම අත් හරිති.

මේ තත්වය විශේෂයෙන් අදාළ වන්නේ නව වැඩ වලට ය. කවදාවත් ආයතනය තුළ කලින් කර නැති- අත්හදා බලා නැති වැඩ වලට ය. බොහෝ ප්‍රධානීන් කියනු ඇත්තේ ඕව මෙහෙ බෑ කියා ය. මේ මිනිස්සුත් එක්ක කරන්න බැ කියා ය.

ඇතැමෙක් එසේ නොකියන මුත්, ඔවුන් එය වෙනත් ආකාරයකින්, බොහෝ විට වක්‍රව, කීමට වග බලා ගනිති. ඒ, එවැනි වැඩ අත්හදා බලා ඇති ආයතනයක, එය කර ඇත්තේ කෙසේ දැයි දක්වන ලෙස ය. අනුමැතිය දීමට පෙර, එවැනි වැඩ පිළිබඳ ලිඛිත සාක්කි සපයන ලෙස ය. ඒ සාක්කි ලබා දුන් පසුව වුව ද, එම ආයතනය වෙනස් බවත්, සන්දර්භය වෙනස් බවත්, කියමින් ඒ නිසා ම එම සාක්කි ප්‍රමාණවත් නොවන බව කියන්නට ඔවුන් වගබලා ගන්නවා ඇත.

කවදා කිසි තැනක කර නැති වැඩක් නම් එවැන්නක අවදානම බාර ගැනීම බොහෝ ප්‍රධානීන්ගෙන් අපේක්ෂා නොකළ යුතු තරමේ දෙයකි.

නව වැඩක් ඉතා උනන්දුවෙන් කරන්නට හිතාගෙන ප්‍රධානියා විමසන බොහෝ දෙනෙකු, එවැනි සංවාදයන් කීපයකට පසු, එවැන්නක් මේ ප්‍රධානියා සමග, මේ ආයතනය තුළ, කරන්නට බැරි යැයි නිගමනයකට පැමිණ උකටලී වෙති. ආයතනය කිහිපයක, එසේත් නැතිනම් එක ම ආයතනයක් තුළ ප්‍රධානීන් කිප දෙනෙකු සමග, මෙසේ ගැටුනු කෙනෙක් ඉන්පසු වැඩ නොකරන්නට හිත හදා ගැනීමට නියමිත ය.

දැඩි උනන්දුවෙන් ආයතන වලට බැඳෙන අය, ටික කලකින්, තල්ලු කළොත් මිසක වැඩක් නොකරන මිනිසුන් බවට පත් වීමට මේ කාරණය ද දැඩි ලෙස බල පා තිබේ.

වැඩියෙන් වැඩ කළොත් වැඩිපුර ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වන, අඩුවෙන් වැඩ කළොත් අඩුවෙන් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන, වැඩ නොකළොත් ප්‍රශ්න ඇත්තේම නැති, බොහෝ රාජ්‍ය ආයතනවල දක්නට ලැබෙන, පරිසරයකට සමාන ආයතනික පරිසරයක සිටින කෙනෙක් මේ තත්වයට වඩාත් පහසුවෙන් තල්ලු වී යා හැකි ය.

මේ තත්වය තේරුම් ගන්නා යහපත් ප්‍රධානීහු මිනිසුන්ට අත්හදා බැලීම් කිරීමට ඉඩ හසර දීමට අමතර වෙහෙසක් ගනිති. විශේෂයෙන්, මිනිසුන් අකර්ණම්‍ය වී ඇත්තේ ඔවුන් පෙර ප්‍රධානීන් යටතේ ලබා ඇති අත්දැකීම් නිසා විය හැකි යයි ඔවුන් දකින නිසා ම, මිනිසුන් අලස යැයි චෝදනා කිරීමට පොරොතුව, ඔවුන්හට තව අවස්ථාවක් ලබා දීමට කටයුතු කරති. එහෙත් හැම ප්‍රධානියෙකුම එහෙම නැත.

මේ තත්වය තේරුම් ගත් අනුගාමිකයෙකුට කළ හැක්කක් තිබේ ද?

ඔවුන් සතුව එක් විකල්පයක් පමණක් ඇත. ඒ අවසර නොඉල්ලාම වැඩ කිරීමට ය. වැඩේ හරි ගියොත් තමන්ගේ අකීකරු කම පිළිබඳ ප්‍රධානියා වෙත ගොස් සමාව අයැද සිටිය හැකි ය. ඒ සමගම වැඩේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ක්‍රෙඩිට් එක ද ප්‍රධානියාට පිරි නැමිය යුතු ය. එවිට සියලු අකීකරු කම් වලට සමාව ලැබෙනු ඇත. එපමණක් ද? තමන්ගෙන් නොඅසා මේ කටයුත්ත කිරීමෙන් තමන් අවදානමෙන් ගලවා ගැනීමට කටයුතු කිරීම ගැන ප්‍රධානියාගේ යටි සිත පවා සතුටට පත් වනු ඇත. ඒ නිසා එසේ කළ තැනැත්තාගේ අනාගතය අයහපත් එකක් නොවනු ඇත. එහෙත් කීර්තිය ප්‍රධානියාට දීම අතපසු වුනොත් වැඩේ ඉවර ය. ප්‍රධානියාගේ අවසරය නැතිව කළ වැඩක් වෙනුවෙන් ප්‍රධානියාට කීර්තිය දිය යුත්තේ ඇයි දැයි සිතුවොත් වැඩේ හබක් ය.

තව ප්‍රශ්නයක් තිබේ. බැරි වෙලාවත් වැරදුනොත් කුමක් සිදුවේ ද යන්න ය. උත්තරය, වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමට ඉඩ ඇති බව ය. එහෙත් නිකම් ඉඳිමින් මලකන තත්වයට පත්වනවාට වඩා ඒ අවදානම ගැනීම හොඳ ය. අඩු වශයෙන් වෙන තැනකට මාරු වීමට එමගින් අවස්ථාවක් උදාවිය හැකි නිසා ය.

මේ වැල්වටාරම් නැතිව අත්හදා බැලීම් කිරීම් සඳහා ඉඩ හසර දෙන ආයතනයන් තිබේ. ඒවායේ වැඩ කිරීමට ලැබීම ම සතුටකි. එවැනි ප්‍රධානියෙකු ලැබීම ද කෙනෙකු ලබන වාසනාවකි.

අප කාඩ් සෙල්ලම කළ යුත්තේ අතට පත් වන කොළ වලිනි. ලැබී තිබෙන කොළ වලින් උපරිමය කරන්නට හිත හදා ගැනීම කාඩ් ගැසීමට වාඩිවන හැමගේ ජීවන දර්ශනය විය යුතු ය. එය මෙතැනට ද අදාළ ය.

Advertisements