කළ ගුණ (අතීතය) නොසළකා යහපාලනය (අනාගතය) පැතීම


අවසන් වූ ජනපතිවරණය තරම් අපේක්ෂකයින් වියදම් කළ මැතිවරණයක් තිබුනේ නැත. එයිනුත් පැරදුනු අපේක්ෂකයා වියදම් කළ ප්‍රමාණය අතිශයින් විශාල ය. මුලින්ම කට්අවුට් වැසි වැස්සේ ය. ඊළගට තොරතෝංචියක් නැති ගුවන්විදුලි හා රූපවාහිනී දැන්වීම් දොරෙ ගලා ගියේ ය. රැස්වීමක් තිබුනේ කොතැන ද ලංකාවේ නන් දෙස තිබූ ලංගම බස් එතැනට එක් රැස් වුනේ ය. වියලි ආහාර ද්‍රව්‍යවලට අමතරව කෑම පැකට් බත් දන්සැල් අරක්කු හා මත වැනි කාබී අහවර කරන දේ ද ඊටත් අමතරව බිත්ති ඔරලෝසු අතේ බදින ඔරලෝසු ටී ෂර්ට් කැප් තොප්පි මෝටර් සයිකල් ඈ කී නොකී ස්ථාවර භාණ්ඩද වලින් ජන්දදායකයන්ට අඩුවක් නැතිවම සංග්‍රහ කෙරුනේ ය. ඇත්තටම ඒවා සියල්ල බෙදා හැරීමටවත් හරි හමන් වෙලාවක් තිබුනේ නැත.

සංවර්ධනය ද යහපාලනය ද යන මාතෘකාව අවසානය වන විට වෙනස් වී තිබුනේ ය. අවසානයේ වැඩිපුරම නැගුණු ප්‍රශ්නය වූයේ කළගුණ සැළකීම ද යහපාලනය ද යන්න ය. ඊට අමතරව දන්න යකා ද නොදන්නා දෙවියා ද යන ප්‍රශ්නය ද ඉතිරි වුනේ ය.

අවසාන ප්‍රශ්න දෙකම අපේ ජන විඥානය හා සම්බන්ධ ප්‍රශ්නයන් ය.

කළ ගුණ සැළකීම අපේ ප්‍රබල ආචාර ධර්මයක් ය. බුදුන්ට බුදු වීමට සෙවන දුන් බෝ ගස බෝධීන් වහන්සේ කෙනෙක්ව හැම පන්සලකටම සෙවන සැලසුවේ කළ ගුණ දක්වන්නට බුදුන් සත් සතියෙන් එහැම පිටින්ම එකක් වෙන් කළ බව අපට හැම විටම මතක් කරමිනි.

සංවර්ධනය හා යහපාලනය යන දෙකටම වඩා කළ ගුණ සැළකීම ජනතාවට සමීප කාරණයකි. (මෛත්‍රීට ඡන්දය දුන් අය පවා මහින්ද ජනපති මන්දිරයෙන් සමුගෙන යන විට කඳුළු සැලුවේ ඒ නිසා ය. පැරදුනේ වුව ද ගම්මු මැදමුලනට එක්ව තනි රැක්කේ ද ඒ නිසා ය. එසේ කරන ලද්දේ මහින්දට ලගින්ම හිටි ඔහු යන යන තැන ගිය සජින් වාස්ලා දුටුගැමුණුලා පමණක් නොව දුමින්දලා ද පිටුපාන්නට පටන් ගෙන සිටිය දී ය.)

දන්නා යකා නොදන්නා දෙවියාට වඩා හොඳ යැයි කියන දෙවැන්න ද ප්‍රබල උවදෙසක් ගෙන එන්නකි. විශේෂයෙන් අවදානම් දරන්නට අකමැති ඊට නුහුරු ජාතියක් හැටියට අප ජීවත්වන බව එය අපට පසක් කර දෙන්නේ ය.

අපට නුහුරු යහපාලනයකට වඩා කොටියාගෙන් බේරී ජීවත්වන්නට පුලුවන් වටපිටාවක් තිබීම වැඩි වුවමනා එපාකම් නැති අපට සැනසිලි දායක පණිවුඩයකි.

දකුණේ ගම ආශ්‍රිතව මහින්දට ලැබුණු ඡන්ද මේ ජනපතිවරණ සටන් පාඨ දෙකේ ප්‍රතිඵලයන් ය. ඒ සටන් පාඨ දෙකම ගමේ ජන විඥානයට ආමත්ත්‍රණය කළේ ය.

එහෙත් මේ සටන් පාඨ නගරයට ලොකු බලපෑමක් කළේ නැත. එය වෙනත් සිංහල නොවන වෙනත් ජාතිකයන්ට හෝ බෞද්ධ නොවන වෙනත් ආගමිකයන්ට ද බලපෑමක් කළේ නැත.

ඔරලෝසුව ලබා ගත් ගමේ මිනිසා ඊට කළගුණ සැළකුවේ ය. ඒ යුද්ධය දිනා දුන්නාට අමතර වශයෙනි. එහෙත් ඔරලෝසුව ලබා ගත් නගරයේ මිනිසා එය අල්ලසක් ලෙස සැළකුවාට අමතරව යුද්ධය සදාකාලිකව විකුණාගෙන කෑමට අයිතියක් නැතැයි සිතුවේ ය.

මීට අමතරව සටන් පාඨයක් අනවශ්‍ය ජන විඥානමය ක්‍රියාකාරිත්වයක් ද අපට දැක ගත හැකි විය. ඒ අපේ කම ය.

දකුණු පළාත අපේ කම සළකා ගමේ මිනිහාට දෙන විට පොළොන්නරුව ද ඒ විදිහටම ක්‍රියා කළේ ය. ගැමියාගේ හැටි එහෙම ය. ඵල අයිති ගමේ වවුලන්ට ය. පිට උන්ට නොවේ ය.

ආසනය කියන විට ප්‍රතිඵල කිව හැකි තරමේ විභේදනයක් අපට දකින්නට ලැබෙන්නේ මේ හේතු සියල්ල නිසා ය.

මේ සියල්ල කළමනාකරණය පිළිබඳ බ්ලොග් පිටුවකට ඇතුළු වුයේ මෙවර ජනපතිවරණය ප්‍රතිපත්ති ගැටුමකට වඩා මාකටින් කැම්පේන් දෙකක ගැටුමක් එසේත් නැත්නම් තවත් අලෙවිකරණ සංසිද්ධියක් වූ බව කියන්නට ය.

මාකට් ෂෙයා එක හදාගන්නට එකිනෙකට වෙනස් ප්‍රතිරූප දෙකක් නිර්මාණය වී තිබුණු අතර මාකට් ෂෙයා එක ඒ අනුව බෙදුනු බව කියන්නට ය. ඔබේ භාණ්ඩ අලෙවි කරන්නේ ගමට ද නගරයට ද යන්න ගැන දැන ඒවා අලෙවි කළ යුතු බව කියන්නට ය.

කළමනාකරුවෙකුට ඉගෙන ගත හැක්කේ පොතපතින් පමණක් නොවේ. තමා අවට සිදුවන දෑ දෙස විමසුම් බැල්මක් හෙලීමෙන් ද ඔහුට උගත හැකි ය.

ඇක්ටින් හා ජීවත්වීම


ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ. මේ අප අසා පුරුදු කියමනකි.

ජීවත්වන්නේ එක විදිහකට ය. ඒත් රටට පෙන්නන්නේ ඊට සපුරාම වෙනස් විදිහකි. වෙනත් විදිහකට කියන්නේ නම් කරන්නේම ඇක්ටින් ය.

අප කොයි කවුරුත් මේ රඟපෑම කරන බව ඇත්ත ය. එහෙත් මේ දෙක අතර පරතරය විශාල වූ විට ඇති වන ප්‍රතිඵල දරුණු ය. පරතරය විශාල වූ විට අමාරුවේ වැටෙන්නේ අපේ රඟපෑම් බලන එයින් මුලාවෙන ප්‍රේක්ෂකයන් පමණක් නොවේ. එසේ රඟ පාන අපමත් ඉන් අමාරුවේ වැටේ.

මේ දෙක අතර විශාල පරතරයක් ඇති බව දකින ප්‍රේක්ෂකයා තුළ අප ගැන ඇතිවන කළකිරීම එසේ අප අමාරුවේ වැටීමට තුඩු දෙන එක් හේතුවකි.

රගපාන අප අමාරුවේ වැටෙන අනෙත් හේතුව වන්නේ එක් වටපිටාවක රගන රංගනයට වඩා වෙනස් රංගනයක් ඊළග වටපිටාවේ රගපෑමට අපට බොහෝ විට සිදුවීම ය. මේ භූමිකා වෙනස සමහරවිට පැටලිලි ඇති කරන්නේ ය. සෞම්‍ය මුහුණක් ප්‍රදර්ශනය කළ යුතු තැනක මේ නිසා රෞද්‍ර මුහුණක් ඇති විය හැක්කේ ය. ඒ සම්බන්ධයෙන් වන වඩාත්ම භයානක ගැටළුව නම් එක් නිශ්චිත චරිතයක් ඒ තුළ සංවර්ධනය නොවීම ය.

රගපෑමේ වැඩිම පාඩුව ඇත්තේ ඒ අවසානයට කී කාරණයේ ය.

එක තැනක කිපෙන භූමිකාවක් ඇති රංගනයකට ඊළග තැන සෞම්‍ය වන්නට නොහැකි වීමට ඉඩ තිබෙන බව අපි කීවෙමු. එහෙත් වඩාත් භයානක කාරණය එය නොවේ. රගන භුමිකාව තුළ නොව චරිතය තුළ සෞම්‍ය බව ගොඩ නැගීමට මේ රංගනයන් බාධා පමුණුවන නිසා ය.

අපේ හැසිරීම දෙයාකාර ය. ඉන් මුල් ආකාරය ප්‍රතික්‍රියා (reactive) ස්වරූපය ගනී. එහි දී අපේ හැසිරීම පාලනය වන්නේ සවිඥානයෙන් නොවේ. අවිඥානයෙනි. ප්‍රතික්‍රියාව ක්ෂණික ය.

අනෙත් ආකාරය ප්‍රතිචාරයක (response) ස්වරූපය ගනී. එහි දී අප ප්‍රතිචාරය දක්වන්නේ හිතා බලා කිරා මැන බැලීමෙන් ද පසුව ය. එය සවිඥානක ය.

ප්‍රතික්‍රියාව (reaction) එන්නේ අප ගොඩ නගා ගෙන ඇති චරිතයෙනි. ඉක්මණින් පරල වී යකා නටන මිනිසුන් ඒ ගැන පසුව පසුතැවිලි වෙනු ඔබ දැක ඇත. ඒ ඔවුන් හැසිරී ඇත්තේ ප්‍රතික්‍රියාවක ස්වරූපයෙන් වීම නිසා ය. අවිඥානකව නිසා ය.

(එකකට එකක් පසුව එන කරදර නිසාත් යම් කෙනෙකුගේ එකට පසුව එකක් දක්නට ලැබෙන අතිශය තකතිරු තීරණ සමුදායක් නිසාත් කෙනෙකු ඉවසා ඉවසා බැරිම තැන කිපෙන්නට පුලුවන. එය චරිත ලක්ෂණයකට වඩා මුහුණ දෙන අවස්ථාවන් කරණ කොට ඇති වන්නකි. අප මේ කතාකරන්නේ එවැනි අතිශය කලාතුරකින් කෙනෙකුට සිදුවිය හැකි පරල වීමක් ගැන නොවේ. එවැනි දිගින් දිගට සිදුවන කෝප ගැන්වීම් අභියස දීත් උපෙක්ෂාවෙන් සිටින මිනිසුන් ද නැතිවා නොවේ.)

ප්‍රතික්‍රියාවේ ස්වරූපය සාධනීය මට්ටමකින් පවත්වාගෙන යෑමට පමණක් නොව ප්‍රතික්‍රියා කරනු වෙනුවට ප්‍රතිචාර දැක්වීමට ද හැකි වන්නේ අප ගොඩ නගා ගෙන ඇති චරිතය ප්‍රබල වෙතොත් ය.

ඇක්ටින් කරන අයට නැත්තේත් ඒක ය.

ඇක්ටින් කරන්නට අමතක ව හිටි හැටියේ තමන්ගේ සැබෑ ස්වරූපය ඔවුන් විසින් මතු කරනු ලබන්නේ ය.

කෙනෙකු ගැන ඔබ තීරණයකට බැසිය යුත්තේ ඔහු හෝ ඇය ඔබ ගැන දක්වන ලෙන්ගතු කමෙන් නොවේ. ඔහු හෝ ඇය පොදුවේ ඇසුරු කරන අය සම්බන්ධයෙන් දක්වන හැසිරීමෙන් ය.

එසේ නොකරන අය ඇක්ටින්වලට හසුව අමාරුවේ වැටීමට නියමිත ය.

ඔබ කරන්නේ ඇක්ටින් නම් ඔබට ඔබේ චරිතය ගොඩ නගා ගැනීමට ඉන් බාධා ඇතිවන්නේ ය. නොසිතූ මොහොතක ඔබේ ඇක්ටින් පාට් එක සැගව ගොස් යකා මාක් එක මතුවන්නට එයින් ඉඩක් ලැබෙන්නේ ය. එය අවසන් වන්නේ නැවත නැගිටිය නොහැකි ලෙස ඔබ බිම වැටීමෙනි.

ඒ නිසා ඇක්ටින් කරන්නන් අනුන් අමාරුවේ දානවා පමණක් නොවේ. ඔවුහු තමන්ව ද අමාරුවේ හෙළන්නෝ ය.

ජයග්‍රහණය කළමනාකරණය කිරීම – සතුරන් වෙත වෛරය ද මෛත්‍රීය ද?


http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150111_thisara_ranjan_ramanayaka_audio

ජයග්‍රහණයට පියවරු රාශියකි. පරාජය අවජාතක ය. මේ බව නැවත නැවතත් ඉතිහාසය විසින් සනාථ කරනු ලැබ තිබේ. තමන් පරාජය වී නැතැයි පරාජිතයෙකු පවා කියන්නේ මේ නිසා ය.

ජයග්‍රහණයට පියවරු ගණනාවක් ඉන්නා නිසා ම ජයග්‍රහණය කළමනාකරණය කිරීම ජයග්‍රාහී නායකයෙකුට මුහුණ දීමට සිදුවන ප්‍රබල අභියෝගයකි.

ජයග්‍රහණය වෙනුවෙන් දර දිය ඇද වෙහෙස වූ අය පැත්තකට විසි වී නව පියවරුන් එයට උරුම කිරීම අතිශයින් ස්වභාවික බව ඇත්ත ය. ඒ අය අතර ජයග්‍රහණයට අකුල් හෙළු මිනිසුන් ද සිටිය හැකි වීම ද අතිශයින් ස්වභාවික ය.

මේ නව පිරිස නිසා දර දිය ඇද්ද අය අමනාපයට කළකිරීමට පත්වෙන බව ද ඇත්ත ය.

එහෙත් ජය තහවුරු කළ හැක්කේ වැඩිමනත් පිරිසක් තම ව්‍යායාමය වෙනුවෙන් බලමුළු ගැන්විය හැකි වුවහොත් ය.

ඒ නිසාම බොහෝ දෙනෙකු‍ෙ ඇතුළු විය හැකි තත්වයක් පවත්වා ගෙන යන අතරතුර එහෙත් ඒ ඇතුළු වන අය විසින් පිලිපැදිය යුතු අවම ප්‍රතිපත්ති කවරේද යන්න පිළිබඳ පැහැදිලි සම්මුතියන් ඉදිරිපත් කරමින් ඊට අනුගත වීම තරයේ ඉල්ලා සිටිනු ලබන වටපිටාවක් නායකයා විසින් නිර්මාණය කළ යුතු ය.

ප්‍රශ්නය ඇත්තේ මේ අයගේ අතීත කල්ක්‍රියාව සම්බන්ධයෙන් සමාව දිය යුතු ද නැද්ද යන ගැටළුවේ ය. සමාව දෙන්නේ කවර දේට ද සමාව නොදෙනේනේ කවර දේට ද යන්න සම්බන්ධ පැහැදිලි නිර්ණායකන් ගොඩ නැගීමට ඒ නිසාම නායකයාට සිදු වේ. ඒ පදනමම පිටමං කරන්නේ කවුද යන ප්‍රශ්නයට ද උත්තර දෙනු ඇත්තේ ය.

ජයග්‍රහණයෙන් පසු යුගය ඊට එළඹෙන යුගය තරමටම තීරණාත්මක වන්නේ එහෙයිනි.

බොහෝ නායකයින්ට මේ සම්බන්ධයෙන් පෙර සූදානමක් නැත. මේ වකවානුව ඉක්මණින් පාලනයට ගැනීම හා කළමනාකරණය ඒ නිසාම දුෂ්කර ය.

පශ්චාත් ජනපතිවරණ සමයේ අප අත්දකින්නේ දිග හැරෙන මේ අර්බුදය යි. ඒ නිසාම කළමනාකරුවන් දිග හැරෙන මේ සිද්ධිදාමයෙන් ඉගෙනීමට උත්සුක විය යුතු ය.

රන්ජන් රාමනායකගේ මේ කතාවෙන් පෙන්වන්නේ මේ අර්බුදයේ පැතිකඩ කිහිපයකි.

ජනවාරි 8 දා තීරණය – ශක්තිමත් නායකයෙකු ද? ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ද?


10888603_10153780519387195_8184315198333492164_nසමහරු කියන්නේ අප ඉදිරියේ ඇති ජනපතිවරණය නගන ප්‍රශ්නය සංවර්ධනය ද යහපාලනය ද යන්න බව ය.

මට හිතෙන හැටියට නම් ප්‍රශ්නය ඊට වඩා වෙනස් ය. අප ඉදිරියේ ඇති ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ශක්තිමත් නායකයෙකු ද ශක්තිමත් යාන්ත්‍රණයක් ද යන්න ය. තවත් විදිහකට ප්‍රශ්නය නගන්නේ නම් ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කළ හැක්කේ ශක්තිමත් නායකයෙකුට ද ශක්තිමත් රාජ්‍ය යන්ත්‍රණයකට ද යන්න ය.

මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටින්නේ ශක්තිමත් නායකයෙකු හැටියට ය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලික දේශපාලන පොරොන්දුව මේ ශක්තිය ඉවත් කොට ඒ වෙනුවට රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරීම ය. ඒ නිසාම ඔහු පෙනී සිටින්නේ ශක්තිමත් යාන්ත්‍රණයක් වෙනුවෙනි.

ලංකාවට ඇත්තටම අවශ්‍යව ඇත්තේ මේ දෙකින් කුමක් ද? ඒ ප්‍රශ්නයට උත්තර අප දන්නේ නම් චන්දය දාන්නේ කාට දැයි පහසුවෙන් තීරණය කළ හැකි ය.

කෙනෙකුට මේ ප්‍රශ්නයෙන් මග හැර යා හැක්කේ එක් උත්තරයක් දීමෙනි. ඒ මේ දෙකම අවශ්‍ය යැයි කියා ය.

එහෙත් තිබෙන ප්‍රශ්නය එකක් ගන්නා විට අනෙක මගහැරී යාම ය. ශක්තිමත් නායකයෙකු බිහි කළ හැක්කේ යාන්ත්‍රණය දුර්වල කිරීම මගින් නිසා ය. අනෙත් අතට බලය යාන්ත්‍රණයට පවරන්නේ නම් නායකයාට ඉතිරිවන්නේ යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක වේ දැයි බැලීම පමණක් නිසා ය.

හැම දෙයක්ම වත්මන් ජනාධිපති තුමා විසින් කිරීමෙන් පෙනී යන්නේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔහු තුළ විශ්වාසයක් නැති බව ය.

කලාකරුවන්ට පහර දුන් විට ජනාධිපතිතුමන් කරන්නේ ඒ ගැන පර්යේෂණයක් කරන්නැයි පොලීසියට නියෝග දීම ය. යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ නම් ජනාධිපතිතුමාට එහෙම නියෝගයක් දෙන්නට සිදුවන්නේ නැත. ඇත්තටම යාන්ත්‍රණය ශක්තිමත් කරන නායකයෙකු නම් කරන්නේ එසේ පරීක්ෂණයක් කිරීමට පොලීසිය අසමත් වූයේ කෙසේ දැයි සොයා බැලීම ය. ඊට හේතු සොයා ඒ හේතුවලට පිලියම් යෙදීම ය.

වත්මන් ජනාධිපතිතුමන් එහෙම කරන බවක් පෙනෙන්නේ නැත.

ශක්තිමත් නායයෙකු රටකට අවශ්‍ය අර්බුද කාලයක දී ය. යුද්ධයක දී ය. එයට හේතුව අවිනිශ්චිතතාවය හා හදිසියේ මතුවන අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමට ස්ථාප්තිත කර ඇති යාන්ත්‍රණයට හුරු නොවීම ය. එසේ ප්‍රතිචාර දැක්විය හැකි පරිදි යාන්ත්‍රණය වෙනස් කිරීමේ කාර්යයට කර ගසන්නට නායකයෙකුට එවිට සිදු වේ. ඒ කටයුත්ත අභියෝගාත්මක නිසා ශක්තිමත් නායයෙකු අවශ්‍ය ය.

එහෙත් සාමය පවතින හදිසි අභියෝගයන්ගෙන් තොර යුගයක නායකයා පසුපසට වී යාන්ත්‍රණයට ඉඩ හල යුතු ය. මක්නිසා ද යත් තනි පුද්ගලයෙකුට සෑම දෙයක් ගැනම සොයා බැලිය නොහැකි බැවිනි. එවන් වකවානුවක නායකයාගේ කාර්යය භාරය ලඝු කළ යුතු වන්නේ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා දැයි බැලීමට ය. එහි අඩුපාඩු සැකසීමට ය.

ඒ අනුව පෙනෙන්නේ අද අපට අවශ්‍යව ඇත්තේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩ නැගිය හැකි අයෙකුය යන්න ය.

ඒ නිසා අප කළ යුතු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ පිළිවෙළ තුළ ඒ කාරණය තිබේ දැයි සෙවීම ය. ඒ වැඩ පිළිවෙළ ඉටු කිරීමට තරම් ඔහු පරිචයක් ලබා ඇත් දැයි පිළිවිසීම ය. එයට ඔහුගේ ඇති කැපවීම මැන බැලීම ය.

එය උරගා බැලිය හැකි එක් සිද්ධියක් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති ධුරය දරණ කාලයේ සිදු විය. ඒ තම දරුවා පොලීසියේ ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු හා ගැටුණු සිද්ධිය ය. එහි දී ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍ය ඔහු පිළිගන්නා බව ය. යාන්ත්‍රණයට ඔහු ගරු කරන බව ය. ඒ ඔහු නීතිමය කටයුතු අවසන් වනතුරු පාන්දර 1 වන තෙක් පොලීසියේ බංකුවේ වාඩි ගෙන සිටි නිසා ය.

මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ චරිත සහතිකයක් දීමට අපට බැරි ය. එහෙත් ඔහු පෙනී සිටින්නේ නම් අද යුගයට ගැලපෙන අස්ථානය වෙනුවෙන් බව අපට කිව හැකි ය. ඔහු තමන් කියන දෙයට හැබෑවටම පෙනී සිටින්නේ දැයි සැක හැර දැනගැනීමට අපට ජනවාරි 8 දා පසුවන තෙක් සිටීමට සිදු වේ.

ඒ නිසාම කිව යුත්තේ මේ ලිපියෙන් අප වඩාත් බලාපොරොත්තු වන්නේ අපේ කළමනාකරුවන්ට පණිවුඩයක් ගෙන ඒමට බව ය. ඔබට ශක්තිමත් නායකයෙකු හා ශක්තිමත් යාන්ත්‍රණයක් යන දෙකින් එකක් තෝරා ගන්නට සිදු වේ නම් ඔබ බැලිය යුත්තේ ඔබ ආයතනය පවතින්නේ අවිනිශ්චිත අර්බුදයක මුව විටක ද නැතිනම් සාමාන්‍ය තත්වයක ද යන්න ය.

ඒ අනුව අවශ්‍ය කවරක් ද යන්න ඔබට තීරණය කළ හැකි ය. ජනපතිවරණ සටන ඇසුරෙන් අපට අවශ්‍ය වූයේ ඒ තෝරාගැනීමට ඔබට මග හෙලි කර දීමට ය. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි වින්සන්ට් චර්චිල්ගේ පහත ප්‍රකාශය ඔබට ගෙන එමින් අපි මේ සටහන අවසන් කරමු.

යුද්ධයක් ජය ගත හැකි නායයෙකුට හොඳ සාමයක් ගෙනා හැක්කේ කලාතුරකිනි. හොඳ සාමයක් පවත්වාගෙන යා හැකි නායකයෙකුට ජයග්‍රාහී ලෙස යුද්ධයක් අවසන් කළ හැක්කේ ද කලාතුරකිනි.