සංවර්ධන නිර්ණායකය විය යුත්තේ – ධනය ද සතුට ද?


රටක සංවර්ධනය ගැන එක් එක් අයගේ සිහින වෙනස් ය. ඔවුන් සංවර්ධනය දකින්නේ විවිධ ආකාර වලට ය. සමහරු සංවර්ධනය ආර්ථික සංවර්ධනයට ලඝු කෙරෙති. එහි ප්‍රතිපක්ෂය ආර්ථික සංවර්ධනය යන නිර්ණායක මග හැර වෙන අනම් මනම් දොඩති. දෙවැනි පාර්ශවයට අයිති එක් උප කුලකයකට අනුව රටක් සංවර්ධනය වනවා යනු ඒ රටේ මිනිසුන්ගේ සංතෘෂ්ඨිය සංවර්ධනය වීම ය.

ආර්ථික සංවර්ධනය ඉලක්කම් වලින් එක්තරා දුරකට මැණිය හැකි වුවත් මේ කී සංතුෂ්ඨියේ සංවර්ධනය එසේ මැණිය නොහැකි ය.

පසුගිය සටහන ගැන සංවාදයේදී මගේ මිතුරෙකු ඇසූයේ සංවර්ධනය යනුවෙන් මා අදහස් කරන්නේ කුමක් ද යන්න ය. වෙනත් අයුරකින් කිව හොත් සංවර්ධනය ගැන විවිධ අය කියන විවිධ දේ අතුරෙන් මා ඉන්නේ කිනම් මතයක ද යන්න දැන ගැනීමට ඔහුට වුවමනා වුනා විය හැකි ය. මා දකින හැටියට සංවර්ධනයේ විවිධ පැති කඩ තිබේ. ඒවා එකිනෙකට සම්බන්ධ ය. එකක් අනෙකෙන් පෝෂණය වන්නේ ය. අප කලින් කී අන්ත දෙකම එසේ සංවර්ධනය දෙස සමස්ථ දැක්මකින් තොරව එහි එක් හෝ තවත් පැතිකඩක් පමණක් දකින අය ය.

ඉලක්කම් වලින් මැණිය හැකි විෂයමූලික මිණුම් ද ඉලක්කම් වලින් මැණිය නොහැකි මනෝමූලික මිණුම් ද ගෙන එය මැණිය යුතු ය. සියලු පැතිකඩ අසුවන්නේ මේ දෙවර්ගයෙන් ම මැන්න විට ය.

රටක සංවර්ධනය ගැන පමණක් නොව පුද්ගලයෙකුගේ සංවර්ධනය ගැන ගත්ත ද මේ තත්වය එලෙසින්ම අදාළ වන්නේ ය.

පළමුව මිනිසෙකුට ජීවත් වීමට ආහාර ඇඳුම් පැළඳුම් මෙන්ම නිවහනක් ද අවශ්‍ය ය. ඒවා සිරුර පවත්වාගෙන යෑම සඳහා ද කිසියම් තමන්ගේ වූ අනන්‍යතාවයක් පවත්වාගෙන යෑම සඳහා ද අවශ්‍ය ය. ඊට අමතරව ලෙඩක් දුකක් වූ විට බෙහෙත් ගැනීමට එයින් ආරක්ෂා වීමට අවශ්‍ය ය. ඒවා අද පමණක් නොව හෙට ද ලැබීමේ සහතිකය සහිත සුරක්ෂිතතාවය අවශ්‍ය ය. තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ය. සතුට ද විනෝදය ද සැනසුම ද විවේකය ද අවශ්‍ය ය. සෙසු අය සමග ඇසුර අවශ්‍ය ය. සමාජය විසින් පිළිගනු ලැබීම අවශ්‍ය ය. ඒ සඳහා සමාජයට යම් වටිනා දෙයක් දායක කිරීමට අවස්ථාව අවශ්‍ය ය. තමන් කැමති යමක් නිර්මාණය කොට එයින් සතුටු වීමට ඉඩ හසර අවශ්‍ය ය.

පුද්ගලයෙකු කොතෙක් දියුණු වී ඇති දැයි කිව හැක්කේ මේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ඔහුට ඇති ශක්තිය අනුව ය.

ආයතනයක් සම්බන්ධයෙන් නම් කිව හැක්කේ එහි පාර්ශවකරුවන් සියල්ලන්ට මේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ආයතනය උදව් කර ඇති ප්‍රමාණය අනුව එහි සංවර්ධන මට්ටම තීරණය වන බව ය.

රටක් නම් සංවර්ධනය වී ඇතැයි කියන්නේ වැඩ කිරීමට සූදානම් අලස නොවන මිනිසුන්ට මේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට රට තුළ කොතෙක් අවකාශ තිබේ ද යන්න අනුව ය.

රටක් ආර්ථික වශයෙන් දියුණු වන විට මේ අවකාශය පුළුල් වන බව ඇත්ත ය. එහෙත් ආර්ථික වර්ධනයකින් පමණක් එසේ වන බවට සහතිකයක් නොවේ. ආර්ථික දියුණුවට සමගාමීව ආචාර ධාර්මික දියුණුවක් ද සමාජ සබඳතා වල දියුණුවක් ද ඇති විය යුතු ය. බල්ලන් මරා හෝ සල්ලි හොයන්නට හදන මිනිසුන්ට ඉඩක් නැති, සමාජය විසින් එවැන්නකට අවකාශයක් නොසලසන, රටක් බවට ද එය පත් විය යුතු ය. ඒ තුළ ආදායම් අතර පරතරය අඩු කරන නැවත බෙදා දීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක විය යුතු ය. ඒ අවම වශයෙන් සෑම කෙනෙකුටම සමාජය සලසන අවස්ථාවලින් ප්‍රයෝජන ගත හැකි මට්ටමට මිනිසුන් බලාත්මක කිරීමට සමත් බෙදා හැරීමක් විය යුතු ය. වෙනත් විදිහකට කියන්නේ නම් අධ්‍යාපනය සෞඛ්‍ය යන මූලික මිනිස් අවශ්‍යතා සෑම කෙනෙකුටම සම්පූර්ණ කර ගත හැකි මට්ටමට සිදුවන බෙදා හැරීමක් විය යුතු ය. මානවීය හැගීම් වලට ගෞරවයක් ඒ තුළ තිබිය යුතු ය.

එපමණක් නොවේ. රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරුව තිබිය යුතු ය. නීතිය ඉදිරියේ හැම සමානයන් විය යුතු ය. එසේ විය හැකි ලෙස ඔවුන් නීති ආධාර වලින් ද ඒ සඳහා අවශ්‍ය ආර්ථික ශක්තියෙන් ද බලාත්මක කොට තිබිය යුතු ය. සම්ප්‍රදායික සමාජ සම්මතයන්ගෙන් බැට කන පරිවාර කණ්ඩායම් වලට (දරුවන්ට, ස්ත්‍රීන්ට, සමලිංගිකයින්ට, සංක්‍රාන්ති ලිංගිකයන්ට, බහුතර ජාතියට අයත් නොවන ජනවර්ග වලට, කුල පීඩනයෙන් පීඩා විඳින්නන්ට, අබාධිත අයවළුන්ට, වයස් ගත පුද්ගලයන්ට) අමතර රැකවරණයක් තිබිය යුතු ය. විශේෂ අවස්ථාවන් තිබිය යුතු ය.

මානව හිමිකම් තහවුරු කරන රටක් බවට ද එය පත් විය යුතු ය. මිනිසුන්ට නිදහසේ අදහස් පළ කළ හැකි රටක් විය යුතු ය. බහුතරයේ අදහසට වෙනස් අදහස් දැරිය හැකි රටක් විය යුතු ය. ආගම් ඇදහීමට හා නොඅදහා සිටීමට හැකි රටක් විය යුතු ය. වෙනස් අදහස් වලට ගරු කරන ඒවාට විවෘත වන ඒවාට සංවේදී වන මිනිසුන් සිටින රටක් විය යුතු ය. එවැනි අදහස් වටිනා වූ විට ඒවා උපයෝගී කර ගෙන වෙනස් වන්නට සූදානම් රටක් විය යුතු ය.

මිනිසුන් නව දේ ඉගෙන ගැනීමට කැමති ආනන්දය හා ප්‍රඥාව යන දෙකම සොයා යන්නා වූ රටක් විය යුතු ය. ඊට අවකාශ ඇති රටක් විය යුතු ය.

එයින් නොනැවතී ස්වභාවික පරිසරය රකින රටක් විය යුතු ය. අනාගත පරම්පරාවට එය විනාශ නොකර බාර දිය හැකි රටක් විය යුතු ය.

අමතර වශයෙන් අයත් කර ගෙන ඇති කිසියම් ආර්ථික සංවර්ධනයක් වෙත් නම් ඒ ගෙවා ගන්නට බැරි තරමේ ණය කන්දරාවක් තුළින් ගොඩ නැගූ එකක් නොවිය යුතු ය. අනාගත පරම්පරා ගණනාවක්ම උගස් කොට ගත් ණය මුදලකින් කළ සංවර්ධනයක් නොවිය යුතු ය. එවැනි ණය කන්දරාවක් නිසා ම ස්වාධීනව තීන්දු ගැනීමට බැරිව දගලන රටක් නොවිය යුතු ය.

එහෙම රටකට සංවර්ධනය වී ඇති රටක් යැයි කිව හැකි ය. ඒ සියල්ල උපරිමයට සලසා ඇති රටක් තවම මේ මිහිතලය තුළ බිහි වී නැත. ඒ නිසා අපට කළ හැක්කේ ඒවා සම්පූර්ණ වී ඇති ප්‍රමාණයේ තරමට රටක් සංවර්ධනය වී ඇතැයි කීම ය.