කළමනාකරණය සිංහලෙන් – මෙහෙවර ප්‍රකාශයේ වැදගත් කම


ආයතනය පවතින්නේ කවර අරමුණක් ඉටු කරලීම උදෙසා ද යන්න ගැන පැහැදිලි අදහසක් තිබීම කළමනාකරුවෙකුට අත්‍යවශ්‍ය ය. කළ යුතු දෑ නොකළ යුතු දැයින් වෙන්කර ගන්නට ඔහුට එය ඉවහල් වේ. ආයතනයට යම් දිසාවක් ඉන් ලැබේ. අප එයට ආයතනයේ මෙහෙවර යයි කියමු. බොහෝ ආයතන තමන්ගේ මෙහෙවර මේ යැයි තමන්ටත් අනුන්ටත් දැනගනු වස් මෙහෙවර ප්‍රකාශ සකසා තිබේ.

ආයතනයක් ගොඩ නගන ආයෝජකයා තුළ ඇත්තේ ඒ ආයෝජනයට සරිලන ප්‍රතිලාභයක් ලබා ගැනීම ගැන විවාදයක් නැත. එහෙත් එය කවර මෙහෙවරක් හරහා ලබා ගන්නේ ද යන්න ගැන නිශ්චිත අදහසක් ඔහු සතු විය යුතු ය.  එයින් නිශ්චිත එල්ලයක් ලැබෙන බැවිනි. ඩී ආර් විජේවර්ධන ලේක්හවුසිය ආරම්භ කළේ ජනතාවට තොරතුරු බෙදා දීමට ය. ලේක්හවුසිය ඒ නිසා ටැක්සි හෝ කැබ්රථ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කළේ නැත. ඒ නිසා ලේක්හවුසියට එල්ලයක් ලැබී තිබුනි. කළයුතු හා නොකළ යුතු දෑ එයින් තීරණය කරගැනීම එහි කළමනාකරුවන්ට පහසු විය.

මිනිසුන් ආයතනය සමග අනන්‍ය වන්නේ ආයතනයේ මෙහෙවර කවරේදැයි දැන ගත් විට ය. එම් ඩී ගුණසේන සමාගමේ මෙහෙවර ජාතියට දැනුම බෙදා දීම ය. ඒ නිසා එම් ඩී ගුණසේන සමාගමට ගොඩ වදින මිනිසුන් ඉන් අපේක්ෂා කරන්නේ පොත් පත් ය. බලු පැටියෙක් මිලදී ගැනීමට ඊට ගොඩවන කෙනෙක් නැත.

කළමනාකරුගේ වගකීම වන්නේ මේ මෙහෙවර අති විශිෂ්ඨ ලෙස ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම ය. ගුණසේන සමාගමේ කළමනාකරුවෙකුගේ එල්ලය බැලුවහොත් ඊට පොත් මුද්‍රණය, පොත් බෙදාහැරීම, පොත් විකිණීම, පොත් පත් කියවන්නන් උනන්දු කරලීම ආදිය ඇතුළත් වනු ඇත. ඒ සියල්ල දැනුම බෙදා හැරීමේ මෙහෙවර හා අනුගතවන බැවිනි.

එම් ඩී ගුණසේන සමාගමට අවශ්‍ය නම් පොත්පත්වලට අමතරව දැනුම බෙදාහැරීමේ මෙහෙවරට අදාළ වෙනයම් ක්ෂේත්‍රයකට ද අත ගැසිය හැකි ය. දැනුම අඩංගු සීඩී නිශ්පාදනය මෙහෙවර එලෙසම තබා ගෙන එසේ තම විෂය පථය පුලුල් කරගැනීම සදහා අත ගැසිය හැකි ක්ෂෙත්‍රයකි. එහෙත් බලු පැටවුන් විකිණීමට ගුණසේන සමාගම විසින් ආරම්භ කරනු ලැබුවහොත් එතැන මෙහෙවර සම්බන්ධයෙන් ගැටුමක් ඇතිවන අතර දැනුම බෙදාහැරීම යන නිශ්චිත මෙහෙවර සමග තිබූ අනන්‍යතාවය තවදුරටත් ඉතිරි නොවනු ඇත. ගුණසේන සමාගමෙන් බලු පැටවුන් ගැනීමට හිතා ගැනීම පවා මිනිසුන්ට අපහසු වන අතර ගුණසේන සමාගමේ පොත් ගැන මුලින් තිබු ආකර්ෂණය එයින් ජනතාව තුළ අහෝසිවන්නට ද ඉඩ තිබේ.

ආයතනය පවතින්නේ ඇයි යන ප්‍රශ්නයට උත්තර මෙහෙවර ප්‍රකාශයේ තිබේ. ඒ නිසාම ආයතනයේ පැවැත්ම අයිතිකරුවන් විසින් පමණක් නොව එහි සියලු පාර්ශවකරුවන් විසින් ද වැදගත් කොට සැළකීමට ඉදිරිපත් වේ.

ඒ නිසා ආයතනයක් සිය මෙහෙවර තුළ රැදීම සියලු පාර්ශවකරුවන්ගේ අපේක්ෂාව ය. ඒ නිසාම මෙහෙවර කවරේදැයි දැන ඒ අනුව කටයුතු කිරීමට තම ප්‍රමුඛතා සකස් කර ගැනීමට ආයතන කළමනාකරුවෝ ද බැදී සිටිති.

කළමනාකරණය සිංහලෙන් – ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ වියදම් පාලනයට ද ආදායම් වර්ධනයට ද?


වියදම් පාලනය අප අතේ පවතින එකකි. ආදායම් වර්ධනයට වෙනත් අයගේ ද උදව් අවශ්‍ය ය. ඒ නිසාම කළමනාකරුවන් වැඩිදෙනෙක් වියදම් පාලනයට කැමැත්තක් දක්වති.

වියදම් පාලනයේදී තිබෙන්නේ නරක දෑ අයින් කිරීම ය. හොද දෑ එක් කිරීම නොවේ. නරක දෑ අයින් කිරීම හොද දෑ කිරීමට වඩා පහසු ය. ඒ නිසා ද අපි වඩාත් කැමති වියදම් පාලනයට ය.

විදුලිය අරපිරිමැස්ම, දුරකථන භාවිතය සීමාකිරීම, අතිකාල වැඩ අඩු කිරිම, පැරණි උපකරණම අලුත්වැඩියා කොට දිගින් දිගට භාවිතය, පැරණි ෆෝරම, පැරණි ලී බඩු, පැරණි ආම්පන්න භාවිතය මෙහිදී වැදගත් කොට සැළකේ. මේ හැම එකක් තුළම ආයතනය සදහා මුදල් ඉතිරි කිරීමේ ඉඩකඩ ඇති බව සැබෑය. එහෙත් ඒ සෑම එකක් තුළම ආදායම් ඉපදවීමට එරෙහි මෙන්ම වක්‍ර වියදම් පාලනයට එරෙහි බීජ ද තිබෙන්නට පුලුවන.

පැරණි පරිගණකයකට වඩා අලුත් පරිගණක විදුලිය පිරිමසිනවාට අමතරව බොහෝ වේගවත් ද වෙයි. පරණ ශීතකරණයකට වඩා අලුත් ශීතකරණ විදුලිය පිරිමසියි. විදුලිය අරපිරිමැස්ම සදහා අඩුකරන විදුලිබල්බ ගණන නිසා ආයතනයේ ප්‍රසන්නභාවයට අගතියක් ද මද ආලෝකය නිසා සේවකයින්ගේ අක්ෂි සෞඛ්‍යයට හානියක් ද සිදුවිය හැකි ය.

එයින් අදහස් කරන්නේ වියදම් පාලනය නොකළ යුතු බව නොවේ. ඒ සදහා කටයුතු කිරීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ගැන සැළකිලිමත් විය යුතු බව ය.

ඒ නිසා වියදම් පාලනය කළ යුත්තේ එයින් ආදායමට අගතියක් නොවන ආකාරයට ය. ආදායම් වර්ධනය සදහා කරන කැප කිරීම වියදම් පාලනය වැදගත්කමින් අඩු දෙයක් බවට ද පත්කරවයි. ඒ නිසාම වැඩි අවධානයක් ඒ සදහා වෙන් කිරීම ආයතනයක දියුණුවට හේතු වෙයි.

වියදම් පාලනය ආරක්ෂිත උපක්‍රමයක් වන අතර ආදායම් වැඩි කිරීම ආක්‍රමණශීලි උපක්‍රමයකි. ආරක්ෂා වීම සදහා ඇති හොදම ක්‍රමය පහර දීම යයි යුද විශේෂඥයින් පවා කියන්නේ මේ නිසා විය යුතු ය.

ආදායම් වර්ධනය සදහා අප වඩාත් අවධාරණය යොමු කළේ බොහෝ කළමනාකරුවන් මෙහි ප්‍රතිපක්ෂය අවධාරණය කර තමන්ගේ ආයතන එකම තැන පල් කරවන නිසා ය. ඔවුන් නිරන්තරයෙන් ආරක්ෂාව පතා පහුබහිනා නිසා ය.

කළමනාකරණයේදී ප්‍රමුඛතාවය දිය යුත්තේ ආයතනයේ පැවැත්මට ද වර්ධනයට ද?


ආයතනයක පැවැත්ම හා වර්ධනය යන දෙඅංශයම කළමනාකරුවෙකුගේ අවධානයට ලක්විය යුතු ය. පැවැත්ම සදහා කරන්නාවූ වැඩ වර්ධනයට හානිකර ලෙස බලපාන්නට ද වර්ධනය සදහා ප්‍රමුඛතාවය දීමේ දී ඒවා පැවැත්මට බල පාන්නට ද පුලුවන.

ආයතනයක පැවැත්ම සදහා හැකිතාක් අඩුවෙන් වැරදි සිදුවන පරිසරයක් නිර්මාණය කළ යුතු අතර වර්ධනය සදහා මිනිසුන්ට වැරදි කිරීමට අවසර තිබෙන තත්වයක් ඇති කළ යුතු ය. වැරදි කිරීමට අවසර ඇති තැනක පමණක් මිනිසුන් බය නැතිව තීරණ ගැනීමටත් අලුත් දෑ අත්හදා බැලීමටත් පෙළඹේ. පළමුවැන්න සදහා හැකිතාක් බලය මධ්‍යගත කර ගැනීමත් දෙවැන්න සදහා හැකිතාක් බලය විමධ්‍යගත කිරීමත් අවශ්‍ය ය.

ආයතනයක පැවැත්ම සදහා හැකිතාක් දුරට මිනිසුන් සිය සීමිත රැකියා වපසරිය තුළ කොටු කළ යුතු අතර ආයතනයක වර්ධනය සදහා මිනිසුන් සිය රැකියා වපසරියෙන් නිදහස් කොට ප්‍රමාණවත් පුහුණු හා සංවර්ධන අවස්ථා ලබා දිය යුතු ය.

ආයතනයක පැවැත්ම සදහා සම්ප්‍රදාය හා පැරණි වත් පිළිවෙත් ඉහලින් සැළකිය යුතු අතර ඒවා දැඩිව රකින විනයක් එහිදී ඉල්ලා සිටිනු ඇත. වර්ධනය සදහා නව සම්ප්‍රදායන් බිහිකිරීම පමණක් නොව පැරණි දෑ ප්‍රශ්න කිරීම ද ඇතුළත් ය. ඒ නිසා දැඩි විනය වෙනුවට නිදහස් ආරක සංස්කෘතියක් ආයතන තුල ඇති කිරීම වැදගත් ය. මේ එහැම පිටින් ප්‍රතිවිරුද්ධ අස්ථාන අතර තුලනයක් පවත්වාගෙන යෑම අභියෝගාත්මක ය.

ඒ නිසාම දෝ අප රට තුළ බහුලව දකින්නේ පැවැත්ම සදහා පමණක් සිය අවධානය යොමු කරන කළමනාකරුවන් ය. එදා වේල ටුවර්ස් යනුවෙන් හුරතලේට හදුන්වන එවැනි ආයතනවල සිදුවන්නේ පැවැත්ම වෙනුවෙන් වර්ධනය මරා දැමීමේ වැඩ පිළිවෙලකි. ඒ නිසාම ඒවා පටන් ගත් ආකාරයෙන්ම පවතී. වසර ගණනාවක් ගියත් බාහිර හැඩයේ පවා වෙනසක් ඒවා තුළින් ප්‍රදර්ශනය නොවේ.

ප්‍රමුඛතාව දීමේ දී මේ අංශ දෙකේ තුලනයක් ගැන සිහිනුවණ ඇති කළමනාකරුවන් කල්පනා කරති.

කළමනාකරුවෙකු ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමන වැඩවලට ද? කාට ද?


ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමන වැඩවලට ද යන්න අප වෙත ඇති සීමිත සම්පත් ප්‍රමාණය වෙන්කිරීමේ දී මෙන්ම අපේ කාලය කළමනාකරණය කිරීමේ දී අප මුහුණ දෙන ගැටලුවයි. හරි දේ කුමක් දැයි හදුනාගැනීමෙන් තොරව සිදුකළ හැකි කළමනාකරණයක් නැත.

ආයතනයක පාර්ශවකරුවන් ගණනාවකි. අපේ පාරිභෝගිකයින්, සේවාලාභීන් හා ගනුදෙනුකරුවන්, අපේ ආයතනයේ සේවය කරන්නන් සහ අපේ ආයතනයේ අයිතිකරුවන් ඒ අතර වෙති.

මේ පාර්ශවකරුවන් තුන් කට්ටුව අතරින් අපේ ප්‍රමුඛතාවය ලැබිය යුත්තේ කවරහු ද යන්න ප්‍රමුඛතා වැඩ හදුනාගැනීමේ දී තීරණාත්මක කරුණක් වෙයි.

සමහරු අයිතිකරුවන්ව ද සමහරු සේවාලාභීන්ව ද තෝරා ගෙන සේවකයින් අමතක කරති. තවත් සමහරු අයිතිකරුවන් ද සේවකයින් ද තෝරාගෙන සේවාලාභීන් නැතිනම් පාරිභෝගිකයින් අමතක කරති.

ලිප් ගල් තුනකින් එකක් අයින් කළ විට ලැබෙන්නේ මුට්ටියක් හට්ටියක් තැබිය නොහැකි ලිපකි. මෙසේ එක් කණ්ඩායමක් හෝ දෙකක් අයින් කළ විට ආයතනයට ලැබෙන්නේ ද එවැනිම කබල් ඉරණමකි.

ඒ නිසා මේ තෙපාර්ශවයටම අපේ අවධානය යොමුකළ යුතු ය. එහෙත් මෙයින් වඩාත්ම වැදගත් පාර්ශවය වන්නේ බොහෝවිට අපේ ආගන්තුකයින්වන පාරිභෝගික හා සේවාලාභි ජනතාව ය. මක්නිසා ද යත් ඔවුන් අප වෙත නොපැමිණෙන්නේ නම් ආයතනය බිද වැටෙන බැවිනි. ආගන්තුකයින් අපේම අය කර ගැනීම කළමනාකරුවන්හට ඇති අංක එකේ අභියෝගයයි.

ඔවුන් රජවරු යයි සමහර කළමනාකරුවන් විසින් හදුන්වනු ලබන්නේ ඒ නිසා ය. ඔටුන්න කළමනාකරුවන් හෝ ආයතනයේ අයිතිකරුවන් ලග තබා ගෙන පාරිභෝගිකයින් රජකරවන්නට යෑමෙන් කරන්නේ ඔවුන්ව ගොනාට ඇන්දවීම ය. එය ආයතනයේ දිගුකාලීන පැවැත්මට මෙන්ම ආයතනයේ වර්ධනයට ද හානිකර ය. ඒ නිසා ප්‍රමුඛත්වය දීමේ ගැටලුව දෙස පාරිභෝගික දැක්මක් සහිතව එහෙත් තුලනාත්මකව අනෙත් පාර්ශවකරුවන් ගැන සංවේදී වෙමින් ද බැලීම වැදගත් ය.

කළමනාකරණය කුමට ද කාට ද? එහි දිග පළල මොනවා ද?


අපට ඇති සම්පත් ප්‍රමාණය සීමිත නම් ද අපට කළ යුතුව ඇති වැඩ ප්‍රමාණය අසීමිත නම් ද එතැන කළමනාකරණයට නිමිත්තක් තිබේ. එවැනි අභියෝගයන්ට මුහුණ දෙන කවරෙකුට වුව ද කළමනාකරණය වැදගත් ය.

ඒ නිසාම එහි උරුමය හා බලපෑම ඇත්තේ කරපටි කාර මැනේජර් පැලැන්තියට පමණක් නොවේ. ඉහත අභියෝගයට මුහුණ දෙන හැමට ය. ඒ හැමට එයින් ඵල  ලැබිය හැකි ය.

අසීමිත වැඩ අතරින් කවර ඒවාට ප්‍රමුඛත්වය ලැබිය යුතු ද එසේ තෝරාගත් වැඩ වඩාත්කාර්යක්ෂම සිදුකළ හැක්කේ කෙසේ ද යන්නට කළමනාකරණ මූලධර්මයන්ගෙන් උදව් පදව් ලැබිය හැකි ය.

තබා ඉණිමගක් බිත්තියට

නැගුනෙමි හණිකට

නැගගොස් බැලූවිට දුටුවේ

ඉණිමග තබා තිබූ බව වැරදි බිත්තියකට

බොහෝ ආයතනවල ඉණිමං තබා ඉක්මණින් නගිනු පෙනේ. එහෙත් ඔවුන් ආයාසයක් දරා නැග ඇත්තේ වැරදි බිත්තියකට ය. කාර්යක්ෂමතාවය ලගා කර ගෙන ඇතත් ඔවුන් සඵල නැත.

සමහරු හරි බිත්තියට ඉණිමග තබතත් නගින්නට අමුඩ බදිනවා විනා නගින්නේ නම් නැත. නැග්ගත් ඉබි ගමනෙනි. සඵලත්වය නිවැරදිව අපේක්ෂා කරතත් කාර්යක්ෂමතාවය නැත්තේ ය. එසේත් නැත්නම් ඒ මද ය.

සඵලත්වයත් කාර්යක්ෂමතාවයත් දෙකම ලගා කර ගත හැකි තැන කළමනාකරණය නිසි ලෙස සිදුවුනා වෙයි.

ඒ නිසා හරි දේ කිරීමත් කරන දේ හරියට කිරීමත් දෙකම එකතු වූ තැනක නිසි කළමනාකරණය සිදු වෙයි.

බ්ලොග් අඩවියට හදුන්වාදීමක්


කළමනාකරණය පිළිබද සිංහලෙන් ලියන ලද බ්ලොග් අඩවියක අවශ්‍යතාවය පිරවීම මෙහි අරමුණ ය.

ඒ කළමනාකරණය පිළිබද වෙනත් රටවල පර්යේෂණ ප්‍රතිඵල ලාංකීය සමාජයට ඉදිරිපත් කරනු පිණිස ය. එමගින් මේ රටතුළ වඩා කාර්යක්ෂම හා සඵල කළමනාකරණයක් ගොඩ නගනු පිණිස ය.

කළමනාකරණය පිළිබද ඉංග්‍රීසි සාහිත්‍යය ද ගෙඩි පිටින් ගෙන භාවිතයට ගත නොහැකි ය. ඒ බොහෝ කළමනාකරණ සිද්ධාන්ත බටහිර හො ඈත පෙරදිග කරන ලද පර්යේෂණයන් ඇසුරෙන් ගොඩ නගා ඇති නිසා ය. එසේ ගොඩ නගා ඇති න්‍යායන් ලංකාව තුළ ඒ හැටියෙන්ම ක්‍රියාත්මක කිරීම ද අමාරු ය. ඒ නිසාම ඒවා වඩාත් සංවාදයට භාජනය කළ යුතු ය. මේ අඩවිය තුළ එවැනි සංවාදයන් ඇති කිරීම ද තවත් එක් අපේක්ෂාවකි.

කළමනාකරණය උගැන්මට කැමති බොහෝ අයට එකතු විය හැකි වේදිකාවක් නිර්මාණය කිරීමට අපට හැකි වෙතොත් අපේ ඉලක්කයට අපට ඉක්මණින් ලගා විය හැකි ය. මේ අඩවිය ඵලදායකයැයි හැගී යන්නේ නම් ඒ බව ඔබේ සගයින්ට දැනුම් දීමට ද ඔබ කටයුතු කරනු ඇතැයි අපි සිතමු.

අපට ඉදිරියට යා හැක්කේ අප අවට සිටින්නන් ද අප තරමටම දැනුවත් වෙතොත් පමණ ය. ඒ නිසා ආත්මාර්ථය තකාවත් අප අවට අය දැනුවත් කිරීමට අපි උත්සහ කරමු. රටක් හැටියට අප පරදිතොත් පුද්ගලයින් හැටියට ඉදිරියට යන්නට අපට බැරි වනු ඇත්තේ ය.

තනියෙන් බුදුවන්නට පුලුවන් වුව ද තනියෙන් ලෝකයක් ජයගන්නට බැරි ය.

ඔබේ සහයෝගය අපට ලැබෙනු ඇතැයි අපට සහතික ය.