තීන්දු ගැනීම වෙනුවට තීන්දුවලට පැනීම


How Warren Buffett Makes Decisions - Secret to His ...

කළමනාකරුවෙකුගේ මූලික කාර්යය තීන්දු ගැනීම ය. ඉන්පසු ඒ තීන්දු ක්‍රියාත්මක කිරීම ය. එහි දී ද බොහෝ සෙයින් සිදුවන්නේ තවත් තීන්දු රැසක් ගැනීම ය. ඉන්පසු තීන්දු වල ප්‍රතිවිපාක විමසීම ය. ඒ අනුව තීන්දු වෙනස් කිරීම ය. එතැන දී ද සිදු වන්නේ නැවත නැවතත් තීන්දු ගැනීම ය. මේ නිසා ම හැකිතාක් දුරට මේ තීන්දු නිවැරදි වීම අවශ්‍ය ය. ප්‍රතිවිපාක අවම කර ගත හැක්කේ ඒ මගිනි. අද අප විමසන්නට අදහස් කරන්නේ මේ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව ය.

සමහරු තීන්දු ගන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ තීන්දු වලට පැනීම ය. ඒ ඇතැම් විට තමන්ගේ පරණ අත්දැකීම් ආශ්‍රයෙන් ය.

තීන්දු වලට පණින ඇතැමුන් එසේ කරන්නේ අතිශය සරල තර්කයක් භාවිතා කර ගෙන ය. හැමෝම කරන්නෙ එහෙමයි, ඒ නිසා ඒක හරි වෙන්න ඕන. අහවලාත් කළා. ඒ නිසා ඒක හරි වෙන්න ඕන.

තවත් සමහරු තීන්දු වලට පනින්නේ හැගීම් වලින් මෙහෙයවනු ලැබීමෙන් ය. ඒ තව කෙනෙකු සමග ඇති තරහක් පිරිමහ ගන්නට ය. කාට හෝ පාඩමක් උගන්වන්නට ය. අවස්ථාවෙන් තවත් ප්‍රයෝජනයක්, අතුරු ප්‍රයෝජනයක්, ලබා ගැනීමට ය.

ඇතැම් අවස්ථාවල තමන්ට හෝ හිතේෂියෙකුට හෝ තමන්ට ලාභයක් ලබා දෙන තෙවැනි කෙනෙකුට වාසියක් අත් කර දෙන්නට ය. කෙනෙකුගේ හිත සතුටු කරන්නට ය. ඒ ද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ය.

ඇතැමෙක් තීන්දුවලට පනින්නේ තමන් අදහන කිසියම් දර්ශනයක් හෝ මතවාදයක් නිසා ය. එවැන්නකින් මෙහෙයවනු ලැබීමෙනි. එක්කෝ එය සනාථ කිරීමේ අරමුණිනි. නැතිනම් ඊට තල්ලුවක් දීමේ අරමුණිනි. නැතිනම් එයින් කියවෙන වෙනත් දෙයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණිනි.

තවත් අය ඇඟ බේරා ගැනීමට ය. බහුතරයේ පීඩනයෙන් ඝෝසාවෙන් ගැලවීමට ය. ඒ හරහා ජනයා ඉදිරියේ තමන් සුදනා වෙන්නට ය.

තවත් අවස්ථාවක තීන්දුවට පනින්නේ මේ සියල්ලේ හෝ කීපයක එකතුවක ප්‍රතිඵලයක් හැටියට ය.

මේ කවරෙකුට වුව තීන්දු වලට එළඹීමේ ප්‍රශ්නයක් නැත. ඒ සඳහා දත්ත කරුණු එහෙමකට එකතු කිරීමක් හෝ තිබෙන ඒවායේ නිරවද්‍යතාවය පරීක්ෂා කර බැලීමක් කිරීමට හෝ අවශ්‍ය නැත. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වෙනත් අය විසින්, වෙනත් ආයතන හා රටවල් විසින්, අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගයන් වත් පිළිවිසීමට අවශ්‍ය නැත. ඒ නිසා සිදු විය හැකි දිගු කාලීන ප්‍රතිවිපාක විමසීමට ඔවුන් ඉස්පාසුවක් නැත. වෙනත් පාර්ශවයකට සවන් දීමට, තීන්දුව පිළිබඳ සෙසු අයගේ අදහස් විමසීමට, ඔවුන්ට ද තීරණය සම්බන්ධයෙන් දායකත්වයක් ලබා දෙන්නට ඉඩ හසර දීමට, ඔවුන් සූදානම් නැත.

“පළමුව දඩුවම්, තීන්දුව පසුවට“ ඇලිස් දුටු විස්මලන්තයේ ඇලිස් ගේ ඇස් පුදුමයෙන් උඩ ගිය රැජිනගේ කතාව අපට සිහිගන්වන්නේ මේ තීන්දු ගැනීමේ ක්‍රියාවලිය ය.

තීරණය ගන්නට මහන්සි නොවුනාට තීරණය විකුණන්නට නම් අපමණ වෙහෙසක් දැරීමට ඔවුහු වග බලා ගනිති. ඒ සඳහා අලෙවි කරණයෙන් සොයා ගත හැකි සියළුම අංගයන් යොදා ගැනේ. එය බහුතරයේ අනුමැතිය ඇති තීන්දුවක් බව ද අසවල් අසවල් ප්‍රභූවරුන්, නායකයින්, පවා එය අනුමත කරන බව ද එහෙමට කරුණු නොදක්වා ම එය මෙතෙක් ගෙන ඇති නිවැරදි ම තීරණය බව ද දක්වා සිටිති. එය එක් වරක් නොව දහස් වර දක්වා සිටිති. එක මාධ්‍යයකින් නොව තම අණසකට ගත හැකි, මිලට ගත හැකි, සියළු මාධ්‍ය යොදා ගෙන දක්වා සිටිති.

එයට එක් හේතුවක් නම් තමන් හදිසියේ පැන බදා ගත් තීරණය ගැන ඇතැම් විට තමන්ට පවා විශ්වාසයක් නැති නිසා ය. එය සෙස්සන් විසින් පිළිගැණෙනු නැතැයි ඔවුන්ට ඇති සැකය නිසා ය.

ඒ සඳහා ඔවුන් යොදා නොගන්නේ තීරණයට පාදක වූ කරුණු පමණ ය. ඒ, එහෙමකට කරුණු නැතිව බැස ගත් තීන්දුවක් ගැන කරුණු ඉදිරිපත් කිරිමට නොහැකි නිසා විය හැකි ය. තීන්දුවට එහෙමට පදනමක් නැති නිසා විය හැකි ය.

අවසාන ප්‍රතිඵලය කිසිදු පදනමක් නැති තීන්දුවක් අතිශය වැදගත් තීන්දුවක් ලෙස සමාජගත වීම ය. ආයතනගත වීම ය.

එවැනි තීරණ වැරදෙන්නට තිබෙන ඉඩ වැඩි ය. එසේ වැරදුනේ වුව ද ඒ සඳහා දිය හැකි කප්පරක් සමාවට කාරණා ද අප සතු ව තිබෙන්නේ ය. නටන්න බැරි වුනේ පොළොව ඇද නිසා යැයි කිව හැකි ය. ඒ සියල්ලෙන් සැපයෙන්නේ පෞද්ගලික ගැලවිජ්ජාවට මාවත ය. එහෙත් ආයතනයට, සංවිධානයට හෝ රටට වූ පාඩුව ඉන් මැකිය නොහැකි ය.

ඒ නිසා ම කළමනාකරුවන් තීන්දුවලට පැනීමෙන් වැළකිය යුතු ය. තීන්දුවක් ගැනීමට පෙර හැකිතාක් කරුණු එකතු කළ යුතු ය. ඒ කරුණුවල නිරවද්‍යතාවය පිරික්සිය යුතු ය. කුඩා කෑලිවලට කඩමින් විස්තර සොයා ගත යුතු ය. ඒ කරුණු එක් ගොඩ නැගෙන මුළු පින්තූරය විමසිය යුතු ය. සියළු පැතිකඩ අල්ලා ගත යුතු ය. විවිධ කෝණ ඔස්සේ තීන්දුවේ ප්‍රතිඵල දෙස බැලිය යුතු ය. එම ආයතනයේ එක් එක් පාර්ශවකරුවාට තම තීන්දුව කෙසේ බලපාන්නේ දැයි සළකා බැලිය යුතු ය. ඒ සියල්ලේ එකතුව විසින් අවසානයේ ආයතනය වෙත කුමන බලපෑමක් කරන්නේ දැයි බැලිය යුතු ය. ඒ සියල්ලෙන් පසුව ද තීන්දුව ශක්තිමත් ව නැගී සිටින්නේ නම් තීන්දුව නිවැරදි යැයි අවසාන තීන්දුව ද ගත හැකි ය.

එය කල් ගත වෙන ක්‍රියාවලියකි. වෙහෙස විය යුතු ක්‍රියාවලියකි. මුදල් ආයෝජනය කළ යුතු, සම්පත් ආයෝජනය කළ යුතු, ක්‍රියාවලියකි. එහෙත් ඒ සියල්ල, නිවැරදි තීන්දුවකට අවශ්‍ය ය. මක්නිසා ද යත් වැරදි තීරණයක් නිසා ලබන අලාභය විශාල හෙයිනි.

එයින් කියවෙන්නේ සියල්ල සොයා ගන්නා තුරු සෑම තීන්දුවක් ම කල් දැමිය යුතු බව නොවේ. ඇතැම් තීන්දු ගැනීම පමා කළ නොහැකි ය. සෑහීමකට පත් විය හැකි කරුණු ප්‍රමාණයක් ඇත්නම් ඉතිරි ඒවා පිළිබඳ යම් උපකල්පනයන් කර පින්තූරය සම්පූර්ණ කර ගෙන තීන්දුවකට එළඹිය යුතු ය.

කොතරම් කාලයක් ගත කර සියල්ල සළකා ගත් තීන්දුවක් වුව ද වැරදිය හැකි ය. ඒ නිසා ම ගත් තීන්දු පිළිබඳව ආපසු හැරී බැලීමක් කළ යුතු ය. එසේ කිරීම ඉදිරි තීරණ ගැනීමේ දී වඩාත් නිවැරදි අස්ථානයන්ට පැමිණීමට අපට උදව් වන නිසා ය. තීන්දුවලට නොපැන තීන්දු ගැනීමට එය ද රුකුලක් විය හැකි නිසා ය.

ගරිල්ලා ප්‍රහාර


Homefront 2 - Guerrilla warfare in Philadelphia - YouTube

ගරිල්ලා ප්‍රහාරයකට මුව විට සිට මේ ලිිපිය ලියන විට කෙනෙකුට සිතෙනු ඇත්තේ මේ කතා කරන්නට යන්නේ මෑතක සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයන් වැනි ප්‍රහාරයන් සම්බන්ධව බව ය. ත්‍රස්ත ප්‍රහාරයන් ද ගරිල්ලා ප්‍රහාරයන් නිසා ම එසේ සිතීමේ වරදක් නැත. එහෙත් අප මේ ලිපියෙන් වඩාත් ම අපේක්ෂා කරන්නේ පොදුවේ රටට පමණක් නොව ආයතන වලට වුව එල්ල විය හැකි ගරිල්ලා ප්‍රහාරයන් ගැන කතා කිරීමට ය.

ගරිල්ලා ප්‍රහාර යන වචනය තුළින් ම කියවෙන්නේ එවැනි ප්‍රහාරයයන් සැගවී එල්ල කරන ප්‍රහාරයන් බව ය. අනපේක්ෂිත මොහොතක එල්ල කරන ප්‍රහාරයන් බව ය. එසේ ප්‍රහාර එල්ල කරන පුද්ගලයා එයට ප්‍රවේශ වන්නේ සෑහෙන සූදානමකින් පසු ය. කල් යල් බලා ය. ප්‍රහාරයට ලක් වන පුද්ගලයා දුර්වලව සිටින මොහොතක ය. ඔහුගේ අවධානය වෙනත් දෙයක් වෙත එහැම පිටින්ම රැඳී ඇති මොහොතක ය.

ඒ නිසා ම එවැනි ප්‍රහාරයකින් ගැලවීම දුෂ්කර ය. කළ හැක්කේ හැකි තරම් අවධානයෙන් සිටීම ය. නුහුරු නුපුරුදු දෙයක් අවට සිදු වේ නම් පරීක්ෂාකාරී වීම ය. එවැනි දේ හඳුනා ගැනීම සඳහා ආයතනය මනා ලෙස සංවිධානය කර තිබීම ය.

ආයතනයක අපිළිවෙලක් තිබීම ම ගරිල්ලා ප්‍රහාරයකට ඉඩ සළසන්නේ ය. අපිළිවෙල තුල තව අපිළිවෙලක් ඇති වීම අමුත්තක් නොවන නිසා ය. පිළිවෙලක් තිබෙන තැනක යම් අපිළිවෙලක් නිරීක්ෂණය වුවහොත් හැම ගේ අවධානය ඒ සඳහා යොමු වන්නේ ය. අපිළිවෙළක් තියෙන තැනකට තව එකක් එකතු වුනාට එහෙමට වෙනසක් පෙනෙන්නේ නැත.

ඒ අතින් පහ එස් සංකල්පය අනුගමනය කරන ආයතනවලට යම් බේරුමක් ඇත්තේ ය. එහි එක් මූලධර්මයකින් කියවෙන්නේ යම් දෙයක් නිසි තැන තිබිය යුතු බවත් හැම දෙයට ම නිසි තැනක් තිබිය යුතු බවත් ය. එවන් වටපිටාවක යම් දෙයක් නොතිබිය යුතු තැනක තිබේ නම් අපේ අවධානය ඊට යොමු වන්නේ නිතැතින් ය.

එය බඩු භාණ්ඩ සම්බන්ධයෙන් පමණක් නොව සෙසු කාරණා සම්බන්ධයෙන් ද එක සේ අදාළ ය. උදාහරණයක් ලෙස හැම මිනිසෙකුට ම වැඩ කරන්නට ඉන්නට නිසි තැනක් තිබෙන අතර ඒ තැනැත්තා එතැන ස්ථාන ගත වී ඇත්නම් වෙනසක් ඇති වූ විට පෙනෙන්නේ ය. තම සේවාවට අදාළ නිශ්චිත ස්ථානයේ නැතිව හැම තැනම සැරිසරමින් සේවකයන් ඉන්නා විට තව කෙනෙකුට දැඩි අවධානයකට ලක් නොවී ඒ අතර සැරි සැරීමට පුළුවන.  උදාහරණයක් ලෙස ආයතනයට එන සේවා ලාභින්ට නිසි ලෙස අසුන් ගත වී සිටිය හැකි ස්ථානයක් තිබේ නම් එසේ අසුන් ගත නොවී වෙනස් විදිහට හැසිරෙන ආගන්තුකයන් වෙන් ව පෙනෙන නිසා පහසුවෙන් හඳුනා ගත හැක්කේ ය.

එහෙත් මේ සියල්ල කළේ වුව ද ගරිල්ලා ප්‍රහාරයන් වැළැක්වීම අමාරු ය. එවැනි තැනක ප්‍රහාරකයන්ට සිය සැලසුම් වෙනස් කළ හැකි ය. එවන් තැනක ප්‍රහාරකයා එන්නේ ආයතනයට සේවා සපයන ට්‍රක් රථයක, අපද්‍රව්‍ය රැගෙන යන රථයක, නැගීගෙන සේවා සපයන්නෙකුගේ වෙස් ගෙන විය හැකි ය. එය කලින් තත්වයට වඩා ප්‍රහාරකයාට දුෂ්කර වන්නේ වුව ද එය ඔහුට නොකළ හැක්කක් නොවේ. අවශ්‍ය වන්නේ වඩාත් සියුම් ව සැලසුම් කිරීමට සිදු ව තිබීම ය.

එයින් කියන්නේ සාමාන්‍ය දෙයක් තුළ වුව ද අසාමාන්‍යතාවයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් සැළකිය යුතු බව ය. මේ සියල්ල ප්‍රහාරයක් වළක්වා ගැනීමට, ඉන් වන හානිය අවම කර ගැනීමට, ගත යුතු පියවරයන් ය.

එහෙත් අප නොසිතූ මොහොතක, අපට මග හැරුණු සෝදිසියක් හරහා ප්‍රහාරයකට පැමිණිය හැකි ඉඩ මුළුමණින් අහෝසි කිරීම අපහසු ය. අපට පැය 24 පුරාම සෝදිසියෙන් සිටිමට සිදු වුව ද ප්‍රහාරකයාට අවශ්‍ය අප අහක බලන සුළු මොහොත ය.

විශේෂයෙන් ප්‍රහාරය සැළසුම් කිරීමේ දී අප අතර ම ජීවත්වන සගයෙක් තෝරා ගෙන ඔවුන්ගේ ඍජු හෝ වක්‍ර ආධාරය ලබා ගැනීමට ද ඉඩ තිබේ. එහෙම අවස්ථාවක සතුරා හඳුනාගැනීම තවත් අමාරු ය. ඔහුට අප අතට හසු නොවන ලෙස කටයුතු කිරීමට ඇති ඉඩ වැඩි ය.

ගරිල්ලා ප්‍රහාරයක් ඇති වන හේතු මැඩලීම සඳහා අපට විශාල කාර්යය භාරයක් ඇත්තේ ඒ නිසා ය. අපේ ඉලක්කය තුවක්කු නිහඩ කිරීම කෙරේ යොමු වන්නේ නම් ප්‍රහාරය බෝම්බයක ස්වරූපයෙන් පැමිණිය හැකි ය. ඒත් නැතිනම් කඩුවක ආකාරයෙන් පැමිණිය හැකි ය. ගිනි ජාලාවක ආකාරයෙන් පැමිණිය හැකි ය. ඒ නිසා ම අපේ ඉලක්කය විය යුත්තේ අවිය නොවේ. අවිය දරා ගෙන ඉන්නා අත් දෙක ය. එය අයිති මිනිසා ය. ඔහුගේ මනස ය. ඔහුගේ කල්පනාවන් ය.

අප ඉලක්කය ගත යුත්තේ ප්‍රහාරක පුද්ගලයා සමූලඝාතනය කිරීම හෝ ඉවත් කර දැමීමට පමණක් නොවේ. අරමුණ පවතින තාක් කල් ඉවත් කරනු ලැබූ පුද්ගලයාගේ තැන ගැනීමට තවත් බොහෝ මිනිසුන් ඉදිරිපත් වනු ඇත. වඩාත් අවශ්‍ය අරමුණ තේරුම් ගැනීම ය. එයට ප්‍රතිචාරයන් දැක්විම ය.

ඒ ප්‍රකාශය දෙස වචනයේ අර්ථයෙන් ද එහාට ගොස් විමසිය හැකි නම් වඩාත් අගනේ ය. ඒ කියන්නේ කෙනෙකුට අවි දරන්නට සිදු වන කාරණයන් ගැන ද අපේ සැළකිල්ල යොමු විය යුතු බව ය. ඒ සඳහා ඔහු /ඇය යොමු කරන සදිසි හා අදිසි හස්තයන් දෙස ද අපේ විමසුම් ඇස් එල්ල විය යුතු බව ය.

ප්‍රහාරයක් යනු පණිවුඩයකි. ප්‍රකාශනයකි. ඇතැම් විට වෙනසක් ඉල්ලා කරන භයංකර ආයාචනයකි. ඒ පණිවුඩය කුමක් දැයි හරි හැටියට තෝරා බේරා ගත් තරමට, එයට සංවේදී වී නිසි ප්‍රතිචාරයක් දැක්වූ තරමට, ප්‍රහාරයන් නැවත නැවතත් එල්ල වීම වළක්වා ගත හැකි ය.

පණිවුඩය ව්‍යාකූල වූ විට කළ යුතු ප්‍රතිචාරය ගැන තීන්දුවක් ගත නොහැකි ය. පණිවුඩය වරදවා ග්‍රහණය කර ගත් වීට ප්‍රතිචාරය ද ප්‍රමාණවත් නොවීමට හෝ සාර්ථක නොවීමට ඉඩ තිබේ. ඇතැම් විට නිසි ප්‍රතිචාරයක් නොදන්නේ නම් මුණිවත රැකීම හොඳ ය. ප්‍රතිචාරය වරද්දා ගත් විට, රෝග විනිෂ්චය වරද්දා ගත් විට මෙන්, ප්‍රතිකර්මය හා ඖෂධ මාරාන්තක විය හැකි නිසා ය.

එසේ සඳහන් කිරීමෙන් ලෙඩකට ප්‍රතිකාර දිගින් දිගට පමා කළ හැකි යයි යන්න අදහස් නොවේ. අප ඉක්මණින් රෝගය නිශ්චය කර ගැනීමේලා දක්ෂ විය යුතු ය. ගරිල්ලා ප්‍රහාරය තුළ ඇති සන්නිවේදනය තෝරා බේරා ගැනීම සඳහා දක්ෂ විය යුතු ය.

තුවක්කු හා ආයුධ හොයන්නට දක්ෂ වූවාට මදි ය. ඒ ආයුධ දරන්නට සූදානම් වන්නන් ද සොයන්නට මහන්සි විය යුතු ය. ඒ අය කියන්නට හදන පණිවුඩය තේරුම් ගැනීමට ද මහන්සි විය යුතු ය. එයට නිසි ප්‍රතිචාරයන් ගොනු කළ යුතු ය. එසේ නොකරන තාක් අපට සිදු වන්නේ මර බියෙන් ජිවත් වන්නට ය. තුවක්කු කඩු කිනිසි දැක නින්දෙනුත් අවදි වී කෑගසන්නට ය. සියළු වැඩ නවතා බෝම්බ ඉව කරන්නට ය.

ඇතැම් තැනක ගරිල්ලා ප්‍රහාරකයාගේ අරමුණ ම අප අකර්ණම්‍ය කිරීම ය. අපට අපේ වැඩ මග හැරෙන ලෙස අපව සීරුවෙන් තබන්නට ය. ඒ සඳහා අවශ්‍ය වුවහොත් හැංගි හැංගී ඔච්චම් කරන්නට ය. වරින් වර කොනිත්තන්න ය.

එපමණක් නොවේ. ඉතිහාසය අපට උගන්වන පරිදි ඇතැම් තැනක ප්‍රහාරයේ අරමුණ විය හැක්කේ එයින් උමතු කරනු ලබන අපගේ ක්‍රියාකාරිත්වය හරහා තමන්ගේ පිලට අවශ්‍ය පිරිස් එක් රැස් කර ගැනීමට ය. ඒ නිසා ම ඔවුන්ගේ ඉලක්ක වලට වඩාත් අසුවන්නේ අප ඉහළ අගයක් දෙන ඒවා ය. ඒ හරහා අප ප්‍රලය කරගෙන, අප විසින් නොකළ යුතු දේ කිරීමට අප පොළඹවන මානසිකත්වයක් අප තුළ ඇති කිරීමට ය.

ගරිල්ලා ප්‍රහාරයක එල්ලය ඇතැම් තැනක මිනිස් ජීවිත ම නොවිය හැකි ය. ආයතනයක් සම්බන්ධයෙන් නම් එය ආයතනයේ අරමුණු බිඳ දැමීම ඉලක්ක කර ගත හැකි ය. ප්‍රහාරයේ ස්වරූපය කුමක් වුව ද ඉලක්කය කුමක් වුව ද ඉන් ඇති කරන හානිය කුමක් වුව ද අප කතා කළ සියල්ල විමසීමෙන් අපට ගරිල්ලා ප්‍රහාරයකට සාර්ථක ව මුහුණ දිය හැකි ය.

නිසි ලෙස ප්‍රතිචාරය දැක්වුවහොත් ගොඩ ය. නැත්නම් ලිස්සා යනු ඇත්තේ ආගාධයක පතුළට ය.

අසූ තුනේ ජූලි මාසයේ එල්ල කළ ගරිල්ලා ප්‍රහාරය අප නිසි ලෙස හඳුනා ගත්තේ නැත. එය අප තල්ලු කළේ තිස් අවුරුදු යුද්ධයකට ය. ඒ අගාධයට අප වැටුනේ මහ රෑ නම් දැන් වැටි ඇත්තේ දවල් ය. අසූ තුනේ නොදැන ය. දැන් දැන ය. ඉගෙන ගන්නට බැරි ව ය. අසමත්ව ය.