යස්…. සර්….!


අපේ රටේ කළමනාකරුවෙකු හා සේවකයෙකු අතර ද ගුරුවරයෙකු හා සිසුවෙකු අතර ද පාලකයෙකු හා පාලිතයෙකු අතර ද ඇත්තේ යටත් විජිත මතක සටහන් සමග එකට මුසු වූ වැඩවසම් සබඳතා බව අප මීට පෙර ද කියා ඇත්තෙමු. එහි ප්‍රතිමූර්තිය අප අපේ ප්‍රධානියා අමතන “සර්“ ය.

අපේ යටත් විජිත ස්වාමිවරුන්ගෙන් අප ලද දායාදයක් වුව ද ඒ රටවල දැන් මේ ගොන් වස්සා විකුණා බොහෝ කල් ය. ඒත් අපට එයින් ගැලවීමට තවමත් නොහැකි ව තිබේ. එහෙම වුනානම් එය එකකි. බැරි වෙලාවත් ඇති පදමට සර් නොකීවොත් වැඩ වරදින තත්වයකට පවා එය ඔඩු දුවා තිබේ.

බටහිර රටක තවමත් සර් කියන අවස්ථා නැතිවා නොවේ. ඇතැම්විට ඒ නම නොදන්නා ආගන්තුකයෙකුට ය. නැතිනම් තම ආයතනයට පැමිණෙන ගනුදෙනුකරුවෙකුට ය.

(ගෞරවය සඳහා අප සමහර අයට සර් යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ හදවතින් ය. එහෙත් සර් යනුවෙන් වර නගා කරන බොහෝ ආමන්ත්‍රණයක් පිටුපස ඇත්තේ එය නොවේ. එක්කෝ අමනාප වෙතැයි බිය ය. නැත්නම් අපේ වැඩේ කර ගත නොහැකි වෙතැයි යන බිය ය. මේ කතා කරන මට පවා සර් යැයි සමහරුනට ආමන්ත්‍රණය කිරීමෙන් වැළකී සිටින්නට පුලුවන් කමක් වී නැත. ඒ ගරුත්වය සඳහාම නොවන බවත් බොහෝ විට එසේ නොකළොත් අප අපේක්ෂා කරන දේ ඉටු කර ගත නොහැකිවීමේ ඉඩ ඇති නිසා බවත් මා විසින් ද අමතරව පිළිගත යුතු ය. මේ සංස්කෘතිය ඒ තරමට ඇටුවන් බැස තිබේ.)

මෙය ආමන්ත්‍රණය සම්බන්ධ ප්‍රශ්නයක් පමණක් නොවේ. ප්‍රධානියා පැමිණෙන විට හුනස්නෙන් නැගිට සිටිය යුතු ය. එපමණක් නෙවේ. ඔහුට/ඇයට වැඳුම් පිදුම් පවා කළ යුතු තත්වයට එය පහත බැස තිබේ. පත්වීමේ ලිපිය ගන්නේ දණ්ඩ නමස්කාර කර වැඳලා ය. ඉන්පසු ඉතින් දිගටම වැඳ ගෙන සිටීමට එසේ ගත් අයට සිදු වේ.

පත්වීමේ ලිපිය බාර දීම අතීතයේදී සිදු වූයේ තැපැල් පියුන් අතිනි. ඔහුට වැන්ද බවක් මගේ මතකයට නොනැගේ.

මේ ගැන කරන සංවාදයක ප්‍රතිපක්ෂයෙන් එන එක් තර්කයක් තිබේ. ගෞරව කිරීම වැරදි ද යන්න ය.

ගෞරව කිරීම වැරදි නැත. ගෞරව කළ යුත්තේ පට්ටමට හා තානාන්තරයට ද? කුමන ආකාරයේ ක්‍රියාවකට ද?

බටහිර රටවල ද දක්ෂතාවයට හා ගුණයට ගරු කෙරේ. එහෙත් එහි නිලයට ගරු කිරීමක් නොකෙරේ. නිලය දරන්නා එය නිසි පරිදි හසුරුවන කළ ගෞරව කෙරේ. නැත්නම් ගෞරව නොකෙරේ.

ගෞරව කිරීම වැරදි නැත. ගෞරව කළ යුත්තේ පුද්ගලයාගේ ආගමනයේ දී ද? ඔහු හෝ ඇය අප ඉදිරියේ පෙනී සිටින විට ද?

ඔහු ගරු කටයුතු ජීවිතයක් ගත කර ඇත්නම් ඔහු හෝ ඇය ආරාධනා කර කිසියම් සුවිශේෂී අවස්ථාවකට නැත්නම් සභාවකට ගෙන්වා ගෙන ඇත්නම් බටහිර රටක පවා ආගමනයේ දී ගරු කෙරේ. එහෙත් ඔවුන් එදිනොදා දකින ප්‍රධානියාගේ ආගමනයේදී එවැනි ගරු සරුවක් ඔවුන් වෙතින් පළ නොවේ.

බටහිර රටවල ගරු කිරීම වැඩි මනත් ලෙස සිදුවන්නේ පුද්ගලයා කළ යහපත් ක්‍රියාවක් අවසානයේදී ය. උදාහරණයක් ලෙස දක්ෂ දේශනයක් අවසානයේ දී ය. නැත්නම් දක්ෂ රංගනයක් හෝ වාදනයක් අවසානයේදී ය. එහි දී එය කරන්නේ කවුද යන්න ඔවුන්ට අදාළ නොවේ.

අප කුඩා කල ගුරුවරුනට ගෞරව කරනු පිණිස වසර අවසානයේ දණ ගසා වැන්ද බව මතක ය. අදහස වූයේ අවුරුද්ද පුරා අප වෙත පිදූ ශාස්ත්‍රය පිළිබඳ අපේ බැතිය පළ කිරීමට ය. එහෙත් දැන් ගුරුවරයෙකු පාසලේ පිය නගන විට ද දෙපැත්තට වී වඳින සිසුන් අපට දැක ගත හැකි ය.

අප වැඩවසම් චර්යා රටාවක් අනුගමනය කරනවා පමණක් නොවේ. එය එන්න එන්නම දීන බව වැඩි කරන දිසාවක් ඔස්සේ පල්ලම් බසිමින් ද තිබේ.

මේ ගැන දොස් පැවරිය යුත්තේ ඊනියා සිංහල සංස්කෘතියක් උඩ දමමින් සංස්කෘතිය වැරදි කොණෙන් අල්ලා ගෙන සිටින්නන්ට ය.

බටහිර බොහෝ දේ පැන ගෙන කොපි කරන අය පවා සුද්දන්ගේ මේ චර්යාව අනුගමනය නොකරන්නේ තම වැඩවසම් මානසිකත්වයට එය නොගැලපෙන නිසා ය. වැඩවසම් මාන්නය සුද්දා ඉදිරියේ ඇති හීනමානය ද පරදවා ඉහවහා ගොස් ඇති නිසා ය.

දැන්නම් සංවාදයකට හොඳ වෙලාව ය. ඒ සංස්කෘතිය උඩ දමමින් ජීවත් වූ අය මේ මොහොත් පල්ලම් බැස සිටින නිසා ය.