සංවාදය හා විසංවාදය


  • නිශාන්ත කමලදාස

සංවාදයක අදහස අනෙකා තේරුම් ගැනීම ය. තමා ව තේරුම් කර දීම ය. සංවාදයක දී දෙවැන්න එන්නේ පළමුවැන්නෙන් පසුව ය. ඒ කියන්නේ මුලින් කෙරෙන්නේ අනෙකා ව තේරුම් ගැනීමට උත්සහ කිරීම බව ය. ඒ නිසා සංවාදයකට පිවිසෙන පුද්ගලයා තමන් දරන මතය වෙනස් කර ගැනීමට වුව සූදානමින් පැමිණෙන්නේ ය. ඒ නිසා ම සවන් දීමට වැඩි ඉඩක් සපයන්නේ ය.

විසංවාදයක දී තමා ව තේරුම් කර දීමට මූලිකත්වය දෙනු ලබන අතර වඩාත් ප්‍රමුඛ ව එන්නේ අනෙකා පරයා ජය ලැබීමට තිබෙන වුවමනාව ය. එවන් තැනක තමන් දරණ මතය ගැන බිංදු මාත්‍රයක හෝ සැකයක් ඒ පුද්ගලයාට නැත්තේ ය. ඒ නිසා වෙනස් වීමේ කිසි දු අදහසක් ද නැත්තේ ය. අනෙකා වෙනස් කිරීමේ වුවමනාවකටත් වඩා අනෙකා සම්බන්ධයෙන් ඇත්තේ ඔහු ව කිච කර දැමීමේ වුවමනාව ය. ඒ නිසා හැකි තාක් උත්සහ කරන්නේ කතා කිරීම තමන්ට පවරා ගැනීමට ය. වේගයෙන් සහ වැඩි ශබ්දයකින් කතා කිරීමට ය. අනෙකාට කතා කරන්නට ඉඩ නොදී යටපත් කර දැමීමට ය. ඔහුට/ඇයට සවන් දීමෙන් මග හැරීමට ය. ප්‍රතිපාර්ශ්වයට චෝදනා මුඛයෙන් මුල සිට ම කතා කිරීමට උත්සහ කිරීමක් ද මෙහි දී දැකිය හැකි ය. ඊටත් අමතර ව ප්‍රතිපාර්ශ්වයට පහත් අධම මෝඩ මුග්ධ වංක යනා දී ලේබල් අලවමින් කතා කිරීමක් ද ඇතැම් තැනක දැකිය හැකි ය. 

මේ අවස්ථා දෙකේ දී ම ප්‍රේක්ෂකයන් සිටිය හැකි ය. එවිට විසංවාදීත්වය තවදුරටත් තීව්‍ර වන්නේ ය. එවන් වටපිටාවක සංවාදය අරමුණු කර ගෙන යන සාකච්ඡා පවා විසංවාදී වීමේ ශක්‍යතාවෙන් යුක්ත ය. සංවාද මණ්ඩපය විසංවාද මණ්ඩපයක් බවට රූපාන්තරණය වන විට ඒ මණ්ඩපය ක්‍රීඩා පිට්ටනියක් බවට ඉබේම පත් වන්නේ ය. විසංවාදය හතරේ හයේ පහර වල් එල්ල කිරීම දක්වා පහතට යන්නේ ය. දෙපාර්ශවය ම දැන් ආමන්ත්‍රණය කරන්නේ ප්‍රේක්ෂකයින් ව ය. බැලූ බැල්මට පෙනෙන්නේ එකිනෙකා ආමන්ත්‍රණය කර ගැනීම වුව ද සිදු වන්නේ ප්‍රේක්ෂකයින් ඇමතීම ය.

දෙපාර්ශවයට ම අවශ්‍ය දිනන්නට ය. අනෙකා පරදවා දිනන්නට ය. හැකි නම් ප්‍රේක්ෂකාගාරය ම තමන්ගේ පැත්තට ගැනීමට ය. දෙපැත්තට ම දිනන්නට හැකි, අවසන් ප්‍රතිඵලය අතිශයින් විවිධ හැඩ ගත හැකි, සංවාදයකට වඩා, මෙහි අවසන් ප්‍රතිඵලය ආරම්භයේ දී ම නිශ්චය ලෙස කිව හැකි ය. ඒ, අපේක්ෂාව දිනීම වුව ද, මෙහි දිනන කෙනෙක් හෝ පරදින කෙනෙක් සිටින්නේ නැති බව ය.

සංවාදයක අවසානයේ දෙපැත්ත ම වෙනස් වෙන නමුත් විසංවාදයක දී කිසිවෙකු වෙනස් වන්නේ නැත. තේරුම් ගත යුත්තේ දෙපාර්ශවය ම තමන් ඉන්නා තැනින් අඟලක් වත් සෙලවී නැති, සෙලවෙන්නේ නැති බව ය. කිසිවෙකු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් වන්නේ නැත. කිසිවක් වෙනස් වන්නේ නැති නිසා කිසිවෙකු වෙනස් වන්නේ ද නැත. පරදිනවා නම් පරදින්නේ අලුත් දෙයක් හොයන ප්‍රේක්ෂකයින් පමණ ය.

සංවාදයක පළ වන කරුණු සංඛ්‍යාලේඛන තර්ක විතර්ක වෙනුවට විසංවාදයේ දී පළ වන්නේ හැඟීම් හා ආවේගයන් ය. දැමුණු බව වෙනුවට පළ වන්නේ ප්‍රකෝපකාරිත්වය ය. කණ වැඩ කරන්නේ නැති අතර කට, කණේ පණත් ගෙන, වේගයෙන් වැඩ කරන්නේ ය.

තමන්ගේ කරුණු සංඛ්‍යාලේඛන තර්ක විතර්ක වල දුර්වලකම් සඟවා අනෙකාගේ දුර්වලකම් එලි දක්වන්නේ ය. අනෙකාගේ කරුණු සංඛ්‍යාලේඛන තර්ක විතර්ක වල ශක්තිය සඟවා තමන්ගේ ඒවායේ ශක්තිය ප්‍රදර්ශනය කරන්නේ ය.

සංවාදයක් නැරඹීමට පැමිණි නව දෙයක් ඉගෙනීමට පැමිණි මධ්‍යස්ථ මිනිසුන් සිටියේ නම් ඔවුන් ප්‍රේක්ෂකාගාරයෙන් ඉවත් වනු මේ උත්සන්න වීම් සමග දකින්නට පුළුවන. ඒ තවදුරටත් සංවාදයක් මෙතැන සිදු වන්නේ නැති බවට තේරුම් යන නිසා ය. පාර්ශව දෙකට ම අයත් අන්තවාදීන්ට නම් දැන් හොඳට ම ආතල් ය. තමන්ගේ පිල දිනන තුරු ඔවුන් හුරේ දමමින් බලා සිටිනු ඇත. ඒත් අප කලින් ද සඳහන් කළ පරිදි මෙතැන දිනන කෙනෙක් නැත. මේ විසුරුවා හරින්නේ හිස් අවකාශය පුරා විහිද යන හිස් වචන පමණ ය. එයින් සිදු වන සෙතක් නැත. මේ වාදය ආරම්භයේ දී බෙදුණු පිල් අවසානයටත් ඒ විදිහට ම බෙදී පවතිනවා විනා පිල් මාරුවක් සිදු වීමේ ඉඩක් මෙතැන නැත. ඒ නව අවබෝධයක් ප්‍රේක්ෂකයන් නොලබන නිසා ය.

මේ සම්බන්ධයෙන් හොඳ ම ආසන්න උදාහරණයක් අපට දැක ගන්නට ලැබෙන්නේ මහා බැංකුව හා වෘත්තීය සංගම් නියෝජිතයන් අතර පසු ගිය දිනක පැවති සාකච්ඡාවේ දී ය. ඒ සාකච්ඡාව මේ කරුණු ද සිතේ තබා ගෙන බලන්නේ නම් ඔබට එයින් වචනයෙන් මා මේ කියන දෙය හැබැහින් සිදු වෙනවා දැක ගත හැකි ය. එය නැරඹීමට පෙර ඔබේ මතය ලියා තබන්න. ඔබ ජය ගනු ඇතැයි පතන පිල කුමක් ද කියා ලියා තබන්න. ඉන් පසු සාකච්ඡාව නරඹන්න. නැවතත් මේ ලිපිය කියවන්න. මා කියන දෙය වටහා ගැනීමට ඇති පහසු ම ක්‍රමය එය ය.

සංවාදයක ප්‍රධාන අරමුණ දෙපැත්ත ම දිනන අස්ථානයක් සොයා ගැනීම ය. ඒ නිසා ම සංවාදයක දකින්නට ඇත්තේ දෙපාර්ශවය ම ඒ සඳහා තමන්ගේ කැප වීම ප්‍රදර්ශනය කිරීම ය. එකිනෙකාට උදව් කිරීම ය. අනෙකා තේරුම් ගැනීමට වෑයම් කිරීම ය. එසේ තේරුම් ගත හැකි ලෙස ප්‍රශ්න ඉදිරිපත් කිරීම ය. ඒවාට ලැබෙන උත්තර වලට හොඳින් සවන් දීම ය. සමහර විට ඒවා නැවත නැවතත් විමසීම ය.  ඇතැම් විටක ලැබෙන විසඳුම හෝ සොයා ගත් සත්‍යය, දෙපාර්ශවය ම ඒ වන විටත් සිතා නොසිටි, අලුත් ම එකක් වීමේ ඉඩකඩ ද ඒ තුළ තිබෙන්නේ ය. විසංවාදයක එවැනි පොදු අරමුණක් නැත. ඒ නිසා දැනටමත් අප දන්නා කරුණු මිස නව යමක් නිරාවරණය වන්නේ නැත. අප අවසානයට සිටිනු ඇත්තේ ද අප පටන් ගත් තැන ම ය.

දැන් ඔබට ඔබේ නිගමනයට පැමිණිය හැකි ය. ඔබ දුටුවේ කුමක් ද? සංවාදයක් ද විසංවාදයක් ද? අප කතා කළ කරුණු වලට අමතරව ඔබට බැස ගත හැකි වෙනත් නිගමන තිබේ ද? 

නායකයා හා අනුගාමිකයා


  • නිශාන්ත කමලදාස

අප බොහෝ දෙනෙකු පුද පූජා කරන්නේ ද තීරණාත්මක යැයි සලකන්නේ ද නායකයා ව ය. එහෙත් සැබෑව එය ද? නායකයා හා අනුගාමිකයා අතර ඇත්තේ වෙන් කළ නොහැකි අපූරු සම්බන්ධයකි. අනුගාමිකයන් නැති තැන නායකයෙකු ද නැත. කෙනෙකු නායකයෙකු කරන්නේ ම අනුගාමිකයන් විසිනි. එයින් අදහස් කරන්නේ නායකයා ඔවුන් විසින් පත් කරන බව ම නොවේ. රටක මිස ආයතනයක එවැනි ප්‍රතිපාදනයක් නැති බව ඇත්ත ය. ඇත්තට ම නම් නායකයා විෂ බීජයක් වන විට අනුගාමිකයන් ශරීරයේ ප්‍රතිදේහ බවට පත් ව විෂ බීජය ඉවත් කිරීමට කටයුතු කරනවාක් මෙන් හැසිරෙනු දැකිය හැකි ය. ඒ නිසා ම නායකයෙකු කවරෙකු විසින් හෝ කවර ආකාරයකින් පත් කර වූයේ හෝ පත් කරනු ලැබුවේ වුව ද පවතින්නේ අනුගාමික අනුග්‍රහයෙන් ය.

එසේ වුව ද බොහෝ දෙනෙකු සිතා සිටින්නේ අනුගාමිකයන් නායකයාගේ පදයට නටන රූකඩ ලෙසින් ය. ඔවුන් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධය ඔවුන්ට නොවැටහේ. නායකයා සතු බලය ඉදිරියේ සෙස්සන් අසරණ වන බව ඔවුන්ගේ වැටහීම ය.

අනුගාමිකයන්ට අවශ්‍ය නම් නායකයා අත් හැරීමේ ඉඩ තිබේ. රටක නම් එය සිදු වන්නේ කැරැල්ලක අනුසාරයෙන් විය හැකි ය. නැතිනම් මැතිවරණයකින් විය හැකි ය. මැතිවරණයකට පවා මග පෑදෙන්නේ අනුගාමිකයන්ගේ ක්‍රියාකාරිත්වය ය. දැන් හිටියා ඇත කියමින් ඔවුන් විවිධ ස්වරූපයෙන් දෙන පණිවුඩය ය. ආයතනයක ඇතැම් විටක එය සිදු වන්නේ වැඩවර්ජන හා බිද වැටීම් හරහා ය. මිනිසුන් ඉවත් ව යෑමෙන් ය. ගිලෙන නැවෙන් මීයන් පැන යනවා මෙන් පැන යාමෙන් ය. ඒ හරහා ආයතනය අර්බුදයකට ලක් වීමෙන් ය. නායකයාට යන තැනට වැඩ සැලසීමෙන් ය. නොයන්නේ නම් ඉවත් කරන තැනට ද වැඩ සලසමින් ය.

ඇතැම් විටක “අපට ලැබෙන්නේ අපට වඩාත් සුදුසු අපට ගැල පෙන ම නායකයා” යැයි කියන කියමනේ අඩංගු සත්‍යය ද මෙය විය හැකි ය. අප කැමති අප වගේ අයට ය. ඒ නිසා ම අපට සුදුසු යැයි සිතෙන්නේ අප වගේ පසුබිමක අප වගේ සිතන පතන නායකයෙකු ය. එහෙම නොවන කෙනෙකු වුව ද අනුගාමිකයන්ගේ පීඩනය යටතේ එවැන්නෙකු බවට රූපාන්තරණය වන්නේ ය. ඒ අර්ථයෙන් නායකයා නිර්මාණය කර ගන්නේ ද අප ම ය. හරියට ම මිනිසුන් විසින් දෙවි කෙනෙකු නිර්මාණය කර ගන්නවා වැනි ය. අප්‍රිකානු දේව රූප වල නිරූපනය වන දෙවියන් කළු ය. අප්‍රිකානුවන් වැනි ය. චීනය වැනි රටවල දෙවියන්ගේ රූප ද ඒ රටවල ජනතාවට හැඩහුරුකම් අතින් සමාන ය. අපේ කියා වෙනසක් නැත. ඒ දකුණු ඉන්දියානු හැඩය ය. ඒ කාරණය නායකයන් සම්බන්ධයෙන් ද සත්‍යය වන්නේ ය. බොහෝ නායකයන් ද සිතුම් පැතුම් පවා අතින් අනුගාමිකයන් නියෝජනය කරන්නෙක් වන්නේ ය. ක්‍රියාවෙන් පවා අනුගාමිකයන් අනුගමනය කරන කෙනෙකු වන්නේ ය.

“පූජාසනයේ ඔබ හිඳුවා, ඔබට පුදන මේ ලෝකය මයි හෙට, ඔබට එරෙහි වී නැගිටින්නේ” යනුවෙන් නන්දා මාලිනිය ගයන ගීය කියන්නේ ද මේ කතාව ය. ඒ ගීයට අනුව ම ඔබ ව නායකයා කර වන්නේ ද නායක තනතුරින් ඔබ ව පහ කරනු ලබන්නේ ද අනුගාමිකයන් ය. ඒ අර්ථයෙන් නායකයා අනුගාමිකයන්ගේ හිරකරුවෙකි. ඔහුට තනතුර දැරිය හැක්කේ අනුමැතිය තියෙන තාක් පමණ ය. මෙයින් අදහස් කරන්නේ සමස්ත අනුගාමිකයන්ගේ කැමැත්ත නොවේ. ඒ කණ්ඩායමේ බලය හොබවන තීරණාත්මක පිරිසකගේ කැමැත්ත ය.

එහෙත් නායකත්ව භූමිකාවෙන් ඊට වැඩි යමක් අපේක්ෂා කෙරෙන්නේ ය. සාමාන්‍ය අනුගාමිකයාට නොපෙනෙන දුරක් නොපෙනෙන ඉසව්වක් නායකයාට පෙනිය යුතු ය. අද සිදු වන දේ පමණක් නොව හෙට සිදු වන්නට යන දේ ද ඔහු/ඇය දැකිය යුතු ය. ඔහු /ඇය දකින දේ කෙතරම් තිත්ත වුව ද ඒ බව ජනතාවට කිව යුතු ය. එයට මුහුණ දීමට ජනතාව සූදානම් කළ යුතු ය. සමහර පැරණි සම්මත පිටු දැකීමට ජනතාව පොළඹවා ගත යුතු ය. ජනතාවගේ සිතුම් පැතුම් මෙහි දී අභියෝගයට ලක් වන්නේ ය. ඔවුන් අකමැති දෑ ට කැමති කරවා ගත යුත්තේ ය. ඒවා කිරීමට ඔවුන් පෙළඹිය යුත්තේ ය. සැබෑ අභියෝගය ඇත්තේ එතැන ය. නායකයා පරීක්ෂා කරන ලිට්මස් ටෙස්ට් එක ඇත්තේ එතැන ය.  

බොහෝ නායකයින් මේ සත්‍යයට මුහුණ දීමට අකමැති ය. ඔවුන් කරන්නේ මේ සත්‍යයට මුහුණ දීම දිගින් දිගට ම කල් දැමීම ය. ජනතාවට මේ සත්‍යය දැනුම් දීමෙන් වැළකීම ය. ජනතාව සූදානම් කිරීමෙන් වැළකීම ය. මේ පැමිණ ඇත්තේ “ගෙදර ගියොත් අඹු නසින මග සිටියොත් තෝ නසින” තත්වයකට ය. ජනතාව පිළිගැනීමට අකමැති යමක් කියතොත් හෝ කළොත් නායකයා ගෙදර යන්නට සූදානම් විය යුතු ය. ඒ බව නොකියා සිටියොත් ජනතාව වල පල්ලට දැක්කීමට කටයුතු කළ යුතු ය. ආයතනයක් නම් එහි අභාවයට ඉඩ දී එයත් සමග යන්නට බලා සිටිය යුතු ය.

නායකත්වය අත් හැරීමට සූදානම් අය ඉක්මනින් ම සත්‍යය ජනතාවට කියන්නට හිත හදා ගනිති. ඒ අවශ්‍ය වුනොත් යන්නත් බලා ගෙන ය. නායකත්වයට ඇලෙන බලලෝභී මිනිස්සු එය මග හරිමින් ජනතාව සමග ම තමන් ද තොලොංචි වී යන තෙක් එහි එල්ලී සිටිති. ජනතාව දිගින් දිගට සතුටින් තබා ගත හැක්කේ කෙසේ දැයි කල්පනා කරමින් දවසක් හෝ තම පදවිය රැක ගැනීමට මාන බලති. එවැනි නායකයන් හොඳ අයිස්ක්‍රීම් වෙළඳාමට බව කළමනාකරණ සාහිත්‍යයේ සඳහන් වන්නේ ඒ නිසා විය යුතු ය.

හොඳ අනුගාමිකයෝ විශේෂයෙන් දුර පෙනෙන අනුගාමිකයෝ මුල් වර්ගයේ නායකයන්ට දිරි දෙමින් ඒ තිත්ත පණිවුඩය අනුගාමිකයන් අතරට ගෙන යති. එවැනි අනුගාමිකයින් පිරිසක් හදා ගන්නේ නැති මුල් වර්ගයේ නායකයන්ට අනුගාමිකයන්ගේ පීඩනය ඉදිරියේ පසු බසින්නට සිදු වේ.

හොඳ නායකයන් නිර්මාණය කර මදි ය. හොඳ අනුගාමිකයන් ද නිර්මාණය කළ යුතු ය. එය ආයතනයකට පමණක් නොව රටකට ද අදාළ ය.

නායකයා හා අනුගාමිකයන් අතර ඇති මේ ගතිකත්වය තේරුම් ගැනීම නායකත්ව භූමිකා රඟන කළමනාකරුවන්ට අතිශයින් වැදගත් ය. ආයතනයක නම් විනිවිද භාවය පවත්වා ගනිමින් හා සහභාගිත්ව කළමනාකරණ ක්‍රම අනුගමනය කිරීමෙන් නායකයා හා අනුගාමිකයන් අතර සාධනීය සම්බන්ධයක් ගොඩ නගා ගත හැකි ය. රටක නම් සමාජ සංවාද ඇති කිරීම හරහා එවැනි සම්බන්ධයක් ගොඩ නගා ගත හැකි ය. 

සංකලනය හා ගෙතුම


  • නිශාන්ත කමලදාස

කරන යමක් සාර්ථක ව කර ගැනීමට ඒ වැඩය නිසි ලෙස සැලසුම් කළ යුතු ය. ඒ වැඩයට අවශ්‍ය අමුද්‍රව්‍ය කවරේ ද ඒවා අවශ්‍ය කුමන අවස්ථා වල දී ද යන්න නිශ්චය කළ යුතු ය. ඒ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සපයන්නේ කුමන මූලාශ්‍ර වලින් ද යන්න තීරණය කළ යුතු ය. ඒ වැඩය කොටස් වලට කඩා එක් එක් කොටස ඒ කොටස වඩාත් හොඳින් කළ හැක්කේ කාට දැයි නිශ්චය කොට ඒවා පැවරිය යුතු ය. ඒ එක් එක් කොටස ඉටු කිරීමේ මතු විය හැකි අභියෝග කවරේ දැයි බලා ඒවාට මුහුණ දීමට කළ යුත්තේ කුමක් දැයි ඔවුන් සමග එක් ව නිශ්චය කළ යුතු ය. වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ඒවා නිසි ලෙස නියාමනය කරන්නේ කෙසේ දැයි නිශ්චය කළ යුතු ය. එසේ බැලූ විට සැලසුම් කිරීම පහසු කාර්යයක් නොවේ. සමහරු මේ සියල්ල නූලට සැලසුම් කරන තුරු වැඩ ආරම්භ කිරීමට සිතන්නේවත් නැත.

සමහරු සැලසුම් කිරීමට වෙන් කරන මෙම කාලය අපතේ යෑමක් ලෙස සලකා කිසිදු සැලසුමක් නැතිව ම වැඩ ආරම්භ කරති. එන එන විදිහට වෙනස් කරමින් ඉදිරියට යා හැකි නිසා ද යා යුතු නිසා ද සැලසුමක් හිරිහැරයක් ලෙස සලකති. ඔවුන්ට අනුව සැලසුම් හදමින් කාලය ගත කරන්නේ යමක් ආරම්භ කිරීමට බිය අය බව ය.

අප කියන්නේ මේ අන්ත දෙක ම මග හැරිය යුතු අන්ත දෙකක් බව ය. මූලික සැලසුමක් නැති ව වැඩ ආරම්භ කරන බොහෝ දෙනෙකුට වැඩ අතරමග නතර කරන්නට සිදු වනු ඇත්තේ ය. ඉතා විස්තීර්ණ සැලසුම සකස් කරමින් කාලය ගත කරන අයට වැඩ ආරම්භ කිරීමට නොහැකි වනු ඇත්තේ ය.

සැලසුම හා වැඩය එකිනෙක එතෙමින් ගොතන කඹයක් මෙන් එකට යා යුතු ය. එකක් අනෙකෙන් පෝෂණය වෙමින් ඉදිරියට යා යුතු ය.

මේ ගෙතුම වෙනත් කාරණා සම්බන්ධයෙන් ද අදාළ ය. උදාහරණයක් ලෙස ගවේෂණය හා නිර්මාණය ගත හැකි ය. සමහරු යම් නිර්මාණයක් කිරීමට ප්‍රථම ගවේෂණයේ යෙදෙති. ගවේෂණයේ යෙදෙන්නට යෙදෙන්නට ඒ අයට හිතෙන්නේ තවදුරටත් ගවේෂණය කළ යුතු බව ය. මේ ක්‍රියාවලියට සීමාවක් නැත. ඔවුන් බොහෝ දේ සොයා ගන්නා නමුත් ඒ සොයා ගැනීම් වලින් කරන නිර්මාණයක් නැත. එයින් ඔවුන්ට ලැබෙන ලාභයක් නැත.

තව සමහරු කිසි දු ගවේෂණයකින් තොර ව කිසි දු පූර්ව කුසලතා සංවර්ධනයකින් තොර ව ම නිර්මාණයට පිවිසෙති. ඔවුන් එක්කෝ ඉක්මනින් ඇන ගෙන පසු බසිති. තමන්ට මේ කටයුත්ත නම් කළ නොහැකි යැයි ඉක්මන් නිගමනයකට පැමිණ සියල්ල අත හැර දමති. කලාතුරකින් කෙනෙක් ගවේෂණය හා කුසලතා සංවර්ධනය අවශ්‍ය යැයි තේරුම් ගෙන ඒ මගට බසිති.

මේ අන්ත දෙක ට ම නොයන බුද්ධිමත් හා දක්ෂ මිනිසුන් මේ දෙක සංකලනය කරති. ප්‍රමාණවත් ගවේෂණයකින් පසු නිර්මාණයට පිවිසෙන ඔවුහු නිර්මාණය තුළ ම ගවේෂණයට ද ඉඩ පාදා ගනිති. ඒ ගවේෂණය නිර්මාණ අලුත් කිරීමට යොදා ගනිති. මෙසේ එකිනෙක එතෙමින් ගෙතෙන කඹයක් සේ මහා නිර්මාණයක ට ද ගවේෂණයක ට ද දායක වෙති.

සමහරු දරුවෙකු හදා ගැනීමට ප්‍රථම ඒ සම්බන්ධව පශ්චාත් උපාධියකට මෙන් සූදානම් වන අතර වඩ වඩා ඒ ගැන ඉගෙන ගන්නට එහි ඇති අවදානම පෙනී යන නිසා දරුවෙකු හදා ගැනීම දින වකවානු නැතිව ම කල් දමති. අවසානයේ ඔවුන්ට දරුවන් හදා ගත හැකි වයස ඉක්ම ගොස් තිබෙන බව පෙනී යන විට කෝච්චිය පිටත් වී හමාර ය. තවත් අය මෙලෝ අදහසක් නැති ව දරුවන් බිහි කර දරුවන්ට ද ලෝකයට ද බරක් වෙති. අවශ්‍ය වන්නේ දරුවෙකු ලැබෙන්නට පෙර ඉගෙනීම ය. ලැබුණු පසු දරුවා සමග කරන ගනුදෙනුවේ දී ද වඩාත් හොඳින් හා වුවමනාවෙන් ඉගෙනීමට කටයුතු කිරීම ය.

ඔ්නෑ ම හොඳ නිර්මාණයකට විද්‍යාව ද සෞන්දර්යය ද නිසි ලෙස එක් විය යුතු ය. ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් නම් එය ඉංජිනේරු විද්‍යාව ද වාස්තු (විද්‍යාව) ශිල්පය ද ලෙස ගත හැකි ය. ඇතැම් අවස්ථාවක වාස්තු ශිල්පියාට අවශ්‍ය ආකාරයට ඉංජිනේරු සැලසුම් වෙනස් කිරීමට ද තවත් අවස්ථාවල ඉංජිනේරුවා පෙන්වා දෙන සීමා වලට සරිලන සේ තම වාස්තු ශිල්පය යොදා ගැනීමට වාස්තු ශිල්පියාට ද සිදු වේ. ඉංජිනේරු සැලැස්ම වාස්තු විද්‍යා සැලැස්ම මත පිහිටා ගොඩ නැගිය යුතු ය. ඒ කාර්යයේ දී ඇතැම් තැනක වාස්තු විද්‍යා සැලැස්ම වෙනස් කිරීමට ඉංජිනේරුවාට ද මැදිහත් විය හැකි ය. ඒ ඇතැම් වාස්තු විද්‍යා නිර්මාණ සඳහා ශක්තිමත් ව්‍යුහයක් ගොඩ නැගීම සඳහා අනවශ්‍ය වියදමක් දරන්නට සිදු වෙතැයි ඉංජිනේරුවාට පෙනී යන නිසා ය. මේ දෙන්නා අතර මනා සංකලනයක් සම්බන්ධීකරණයක් සිදු වන්නේ නම් ගොඩනැගිල්ල ශක්තිමත් එකක් ද ලස්සන එකක් ද අවම වියදමකින් නිම කළ හැකි එකක් ද වන්නේ ය.

ඉගෙනීම හා රැකියාවක නියුක්ත වීම සම්බන්ධයෙන් ද මෙය අදාළ ය. කිසිවක් ඉගෙන නොගෙන මොනම රැකියාවක් හෝ කරන්නට පුළුවන් කමක් ද නැත. එසේ කරන්නට යන වැඩ බොහෝ විට අසාර්ථක අවසන් වනු ඇත්තේ ය. සියල්ල ඉගෙන ගෙන වැඩක් කරන්නට කල්පනා කළොත් ඒ වැඩය කිසි දිනයක ආරම්භ කිරීමට වන්නේ නැත. වැඩ කිරීම තුළ ද ඉගෙන ගත හැකි ය. ඉගෙන ගත යුතු ය. ඉගෙනීමට අවසානයක් නැති බව සිහිපත් කරන්නේ නම් මේ උගුලෙන් ගැලවිය හැකි ය. කළ යුත්තේ ඉගෙනීමත් වැඩෙහි යෙදීමත් එකිනෙක ගෙතී ඉදිරියට යන එකක් ලෙස සලකා කටයුතු කිරීම ය.

මේ හැම උදාහරණයකින් ම පැහැදිලි වන්නේ සංකලනයේ වැදගත් කම ය. ගෙතුමක වැදගත් කම ය.