සංවර්ධනය හා දූෂණය අතර ඇත්තේ ආත්මීය බැඳීමක් ද?


“දූෂණයට ඉඩක් නැති තැන සංවර්ධනයක් ද නැත. දූෂණය නවතින විට සංවර්ධනය ද නවතී. දූෂණය සංවර්ධනය සඳහා අවශ්‍ය අභිප්‍රේරණයකි.“ මේ අප අසා ඇති කතාවකි. රෝද දෙක වගේ නොපෑහෙතත් ඒ දෙකින් එකක් හෝ නැතිව රටකට ඉදිරි ගමනක් නැති බවක් එයින් අනියමින් කියවේ.

මෙහි ඇත්ත කුමක් ද? අපට මෙය ප්‍රලාපයක් ලෙස දූෂණයට කැමති අයගේ මැදිහත්වීමක් ලෙස සළකා බැහැර කළ හැකි ද?

යහපාලනය යටතේ හොරකම් වලට වැට බඳින්නට පටන් ගත් පසු රටේ සංවර්ධනය ඇණ හිට ඇතැයි සැළකිය යුතු පිරිසක් එලිපිට නැතත් රහසින් හෝ කතා කරන බවක් පෙනෙන්නට තිබේ. එයට එක් හේතුවක් ලෙස දක්වන්නේ හොරු පසු පස එළවීම නිසා හැම දෙනම බිය වී කිසිදු තීන්දුවක් නොගන්නා තත්වයකට පත්වීමේ ඉඩකඩ ය.

මෙයට උදාහරණ විදේශ වලින් ද ගනු ලැබේ. චීනය යෝධ සංවර්ධනයක් ලබා ඇත්තේ වුව ද එය ලෝකයේ අංක එකේ දූෂිත රාජ්‍ය ලෙසට ද නමක් දිනා ගෙන තිබේ. ගඩාපි දූෂණයේ යෙදුන ද ඔහු යටතේ ලිබියාව අදට වඩා දියුණු විය.

එහෙම බැලුවහම සංවර්ධනයේ නාමයෙන් අප දූෂණයට මං ඇහිරීම අත් හළ යුතු ය.

මේ මහා බරපතළ නිගමනය ගැන අපේ මතය දැක්වීමට පෙර එය ගැඹුරින් විමසිය යුතු ය.

සංවර්ධනය සඳහා අභිප්‍රේරණය අත්‍යවශ්‍ය ය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. අභිප්‍රේරණය සැපයීමට ඇති එකම මග නම් දූෂණය නොවේ. ඒ සඳහා වෙනත් උපාය උපක්‍රම සොයා ගත යුතු ය. සොයා ගත හැකි ය.

සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන උදවියට නිල දීමනා දීම එයින් එකකි. එවිට ඒ පිරිවැයේ යම් සීමාවක් තිබේ. එය නීතියට පරිබාහිර නැත. දූෂණයට ඉඩ හැරිය විට එහි සීමාවක් නැත. සියයට 10 පසු කලෙක සියයට 40 වී තවත් කාලයක 200-300% පරාසයට එන්නේ ඒ අනුව ය.

එපමණක් නොවේ. සංවර්ධනය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගන්නා අය රැකීමට ද ඔවුන් අනවශ්‍ය “පොලිස්“ අධීක්ෂණයකට ලක් නොකරන බවට සහතිකයක් දීමට ද කටයුතු කළ යුතු ය. මිනිසුන් අතින් වැරදි සිදුවිය හැකි ය. ඒවා අත්වැරදි වනතාක් ඒවාට එරෙහිව කටයුතු නොකළ යුතු ය.

“පොලිස්“ පරීක්ෂණ වෙනුවට checks and balances (එක් ආයතනයක වැඩක් තව ආයතනයක සුපරීක්ෂණයට යටත් කිරීම); transparency (විනිවිදභාවය); right to information (තොරතුරු දැනගැනීමේ අයිතිය) වැනි යාන්ත්‍රණ හරහා කරන වැඩ නිරන්තර විමසුමකට ලක් කළ හැකි තත්වයක් උදා කළ යුතු ය.

නිර්භීත එහෙත් විනිවිදභාවයකින් යුතු තීන්දු ගෙන සංවර්ධන ක්‍රියාදාමයට උර දෙන්නවුන්ට ප්‍රසිද්ධියේ උපහාර පිදිය යුතු ය. ප්‍රතිලාභ දිය යුතු ය. පහසුකම් දිය යුතු ය. සම්පත් හා පිරිස් බලය දිය යුතු ය.

එවැනි වටපිටාවක දූෂණයට ඉඩ නැතත් රට ඉදිරියට යනු ඇත. අප යා යුත්තේ අප අත්හැර දැමූ අතීතයට නොවේ. ටික දෙනෙකුට නොව සැබෑ ලෙස රටට සුභ වන අනාගතයකට ය.

වෙනසක් සිදු වුනා. ඒත් පරිවර්තනයක් වුනා ද?


ආණ්ඩු වෙනසක් සිදු වී ඇති බව සැබෑ ය. එහෙත් පරිවර්තනයක් වී ද? මෙය අද බොහෝ දෙනා නගන ප්‍රශ්නයකි. ඒ නිසාම එය විමසිය යුතු ය. ඒ පරිවර්තනයක් අපේක්ෂා කළ අය වෙනසකින් නොසෑහෙන හෙයිනි.

මුලින්ම විමසිය යුත්තේ මේ වචන දෙක ය. වෙනස බොහෝ විට සීමිත ක්ෂේත්‍ර කීපයක සිදුවන අතර පරිවර්තනය මුළු මහත් වටපිටාවම වෙලා ගනී.

රටවල පමණක් නොව ආයතනවල ද පරිවර්තනය සඳහා ගනු ලැබූ බොහෝ උත්සහයන් වෙනසකින් අවසන් වී තිබේ. එයට හේතුව වෙනස හා පරිවර්තනය අතර වෙනස තේරුම් නොගැනීම පමණක් නොවේ. ඒ සඳහා කළ යුතු මැදිහත්වීමේ භූමිකාව වෙනස් බව අවබෝධ කර නොගැනීම ය.

වෙනස පහසු නැතත් අපහසුම නැත. පරිවර්තනය අපහසු ය. එය සිතන පතන විදිහේ ද කතා බස් කරන විදිහේ ද වැඩ කරන විදිහේ ද යන සකල අංශයන්හි වෙනසක් ඉල්ලා සිටියි. එය නායකයින්ගේ වෙනසකින් පමණක් කළ හැක්කක් නොවේ. සෙසු අයගේ ද වෙනසක් එහි දී අපේක්ෂිත ය.

පරිවර්තනයක් ද ආරම්භ කළ හැක්කේ වෙනසකිනි. නායකත්වය දෙන අය දිගින් දිගට ඒ වෙනුවෙන් පෙනී සිට අරගල කරන්නේ නැතිනම් පරිවර්තනය පරිවර්තනයක් නොවී වෙනසකින් අවසන් වේ. ඒ සඳහා අනුගාමිකයන් සහභාගී නොවී නායකත්වයටම සියල්ල බාර දී සිටින්නේ නම් ද අත්වන්නේ ඒ ඉරණම ම ය.

ඇති වූයේ වෙනසකි. එය පරිවර්තනයකින් අවසන් වේ දැයි නිශ්චය ලෙස කිව නොහැකි ය.

එසේ විය හැක්කේ ජනතාව නායකයින්ට පමණක් එහි වගකීම භාර නොදී එහි පංගුවක් තමන් අතට ද ගැනීමෙනි. වෙනස ආරම්භ කිරීමට දක්වන ලද උනන්දුව පරිවර්තනයක් දක්වා එය ගෙන යන තුරු ද මැරෙන්නට නොදී රැක ගැනීමෙනි.

නායකයාට බාර දී ඔහු කර දෙනු ඇතැයි බලා සිටින්නට පුරුදු වූ ජනතාවකට එයට කොතරම් දුරකට උර දිය හැකි ද යන්න ප්‍රශ්නය කි.

අනෙත් අතට, වෙනසක් සම්බන්ධයෙන් මෙන් නොව, පරිවර්තනයක් පිළිබඳව කල් තියා ඇදගත් සැළැස්මක් භාවිතා කළ නොහැකි ය. ආරම්භ කළ හැක්කේ කටු සටහනකි. ඉන්පසු පරිවර්තනය දිග හැරෙන විට එහි විස්තර ඇඳ සම්පූර්ණ කළ යුතු ය. එය තනි නිර්මාණකරුවෙකුගේ වැඩක් නොවේ. බහුතරය සහභාගී වන සද්කාර්යයකි. ඊටත් අමතරව මුලින් ඇඳ තිබූ ඉරි මකා ලැබෙන අලුත් අත්දැකීම් ඔස්සේ අලුත් ඉරි අඳිමින් නැවත නැවත සකස් කළ යුතු කාර්යයකි. බොහෝ අවිනිශ්චිතතා මතුවන ඒවාට මුහුණ දී ඒවා ජයගැනීමට අධිෂ්ඨාන කරගත් මිනිසුන්ගේ කාර්යයකි. පරිවර්තනය අවසානයේ හැඩය කුමක් විය හැකි දැයි හරිහැටි නොදැන කරන්නට වෙන කාර්යයකි.

ශ්‍රී ලංකාව අද අත ගසා ඇත්තේ ඒ කාර්යයට ය. අවසාන හැඩ තල පිළිබඳව සෝතැවුල් නගන අය දැන ගත යුත්තේ මේ සිදුකරමින් යන පරිවර්තනයේ වගකීම තමන් ද බාර ගෙන අවශ්‍ය හැඩ තල සකස් කිරීමට තමන් ද හවුල්වීමට ඉටා ගැනීම අවිනිශ්චිතතාවය ගැන ලත වෙනවා වෙනුවට කළ යුතු බව ය.

වෙනසේ අඩුපාඩු පෙන්වා දීමත් වෙනස තියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමත් තමන් ද වෙනසකට කවර අයුරකින් හෝ දායක වීමත් මේ කටයුතුවලට ඇතුළත් ය.

පරිවර්තනය වෙනසකින් පමණක් අවසන් වුනොත් එහි වගකීම සැමටම පැවරේ. මක්නිසා ද යත් වෙනසක් මෙන් නොව පරිවර්තනයක් බහුතර සහභාගිත්වයෙන් තොරව කළ නොහැකි නිසා ය. නායකයින්ට කළ හැක්කේ ඒ සඳහා පාර පාදා දීම පමණක් නිසා ය. සියල්ලන්ම පාර තව දුරටත් පළල් කර ගනිමින්ම ඒ ඔස්සේ යා යුතු නිසා ය.

සංවාදය හා විසංවාදය – ඉගෙනීම හා ඉගෙනීම ප්‍රතික්ෂේප කිරීම


සංවාදයක දී කටයුතු කරන ආකාරය අනුව මිනිසුන් කඳවුරු තුනකට බෙදිය හැකි ය.

පළමු පාර්ශවය වෙනස් අදහස් වලට විවෘත ය. දෙවැනි පාර්ශවය වෙනස් අදහස්වලට විවෘත නැති වුව ද තම මතයටම දැඩි ලෙස පක්ෂපාත වුව ද වෙනස් මතයන්ට ද එක්තරා ප්‍රමාණයකට සංවේදී ය. තුන්වෙනි පාර්ශවය වෙනස් අදහස්වලට ඇලජික් ය.

ඔබ කිසියම් කෙනෙකු සමග සන්නිවේදනයේ යෙදෙන්නේ නම් ඒ තැනැත්තා අයිති මේ තුනෙන් කුමන කඳවුරට දැයි දැන සන්නිවේදනයේ යෙදිය යුතු ය. එසේ නොකළොත් ඔබට සිදුවන්නේ අනවශ්‍ය ලෙස කාලය කා දැමීමට ය.

තෙවැනි පාර්ශවය සමග සන්නිවේදනයේ යෙදිය යුත්තේ ඔබ නොදකින පැත්තක් දැන ගැනීමට පමණ ය. ඔවුන් සමග දිගින් දිගට සන්නිවේදනයේ යෙදීමෙන් පලක් නැත. ඔවුන් වෙනස් කිරීමට නොහැකි ය. ඔවුන් සතුව ඉබි කට්ටක් වැනි විනිවිද යා නොහැකි ආරක්ෂක කටුවක් තිබේ.

දෙවැනි පාර්ශවය සමග සන්නිවේදනයේ යෙදෙන්නේ නම් ඔබ ඔහුගේ / ඇයගේ කෝණයෙන් සංවාදයට පිවිසීමට වග බලා ගත යුතු ය. ඔහුට හෝ ඇයට තම තීරණය වෙනස් කිරීමට හැකි ආකාරයට කරුණු සංඛ්‍යාෙල්ඛන ඉදිරිපත් කළ යුතු ය. ඉබි කට්ටක් වැනි ආවරණයක් නැතත් ඔවුන් සතුව ඉතා කුඩා හිල් සහිත පෙරහනක් තිබේ. ඒ හිල්වලින් රිංගීමට හැක්කේ ඉතා සියුම් කරුණු හා තර්කවලට පමණ ය. ඒ සඳහා ඉඳිකටුවට නූලක් දමන කෙනෙකු සතු ඉවසීම තිබිය යුතු ය.

පළමු පාර්ශවය වෙනස් වීමට කැමති ය. විවෘත ය. එසේ වුව ද ඔවුන් සමජාතීය නොවේ. සමහරු එක මැදිහත් වීමකින් වෙනස් වන්නේ හැගීම් වලින් මෙහෙයවනු ලැබීමෙනි. සමහරු හැගීම්වලින් වෙනස් කළ නොහැකි ය. ඔවුන්ට තර්ක විතර්ක කරුණු සංඛ්‍යාෙල්ඛන ඉදිරිපත් කළ යුතු ය. ඔවුන් වෙනස් කළ හැක්කේ පියවරෙන් පියවර තාර්කිකව ය.

අන් අය ගැන දැන සිටියාට මදි ය. ඔබ ඔබ ගැන ද දැන සිටිය යුතු ය. ඔබ අයත්වන්නේ මින් කුමන කඳවුරකට ද?

ඔබ අයත් වන්නේ තෙවැනි පාර්ශවයට නම් ඔබ දැනටමත් දන්නා දේට වෙනස් යමක් කවදාවත් ඉගෙන ගන්නට ලැබෙන්නේ නැත. එක්කෝ ඔබ වෙනස් විය යුතු ය. නැතිනම් ඉන්නා තැන පල්වීමට හිත හදා ගත යුතු ය.

ඔබ අයත් වන්නේ දෙවැනි පාර්ශවයට නම් ඔබ ඉවසිලිමත් විය යුතු ය. යම් නව අදහසක් ප්‍රතික්ෂේප කිරීමට ඉක්මන් නොවිය යුතු ය. නැතිනම් වන්නේ ඔබ සතුව ඇති පෙරහන ඉබි කටුවක් සේම ක්‍රියාත්මක වීම ය.

ඔබ අයත් වන්නේ පළමු පාර්ශවයට නම් ඔබ වෙනස් වන්නේ කරුණු සංඛ්‍යාලේඛන වලින් ද හැගීම් වලින් මෙහෙයවනු ලැබීමෙන් ද යන්න දැන ගෙන සිටිය යුතු ය. ඔබ සංවේදී හැගීම්වලට නම් ඔබව පහසුවෙන් මෙහෙයවීමට සෙසු අයට ඉඩ ලැබෙන බව දත යුතු ය. ඔබ වඩාත් කල්පනාකාරීව හා විවෘත මනසකින් තීරණවලට බසින්නේ නම් ඔබට අලුත් දෑ ඉගෙනීමටත් වැඩි දියුණු වීමටත් වැඩි ඉඩක් ඇත්තේ ය.

කතරගමට පමණක් නොව සංවාදයකට ද දැන ගියොත් හරි ය. නැතිනම් වන්නේ අතරමං වීමට ය.

තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද?


කළමනාකරුවෙකුගේ එක් කුසලතාවයක් වන්නේ මිනිසුන් වෙනස් කිරීම ය. ඔවුන් මෙහෙයවීම ය.

ඒ සඳහා ගත හැකි මාර්ග දෙකකි. එකක් මිනිසුන්ගේ තර්ක බුද්ධියට අාමන්ත්‍රණය කිරීම ය. අනික මිනිසුන්ගේ හැගීම් වලට කතා කිරීම ය.

කළමනාකරුවන් බොහෝ විට තෝරාගන්නේ තර්කයට ආමන්ත්‍රණය කිරීම ය. හේතුව එය පහසු වීම ය. තර්කයක් පහසුවෙන් වචනයට නැගිය හැකි නිසා ය. වචන දන්නා කෙනෙකුට ඒ සඳහා ගතවන්නේ සුළු කාලයකි. බොහෝ කළමනාකරුවන් උගත් ය. ඔවුන් පාසල් ගොස් වචන ඉගෙන ගෙන තිබේ. සමහර විට ඔවුන් දන්නා එකම ශාස්ත්‍රයත් අකුරු සෑස්තරේ ය. ඒ නිසා දෝ යොදාගන්නේම වචන ය. ඒවා හරහා ගෙන එන්නේ තර්ක විතර්ක හා ඒවා සනාථ කෙරෙන කරුණු හා සංඛ්‍යා ලේඛන ය.

හාමුදුරුවන් බණ කියන්නේ ද මේ වචන අනුසාරයෙන් ය. එහෙත් එයට රිද්මය මුසු කර තිබේ. බණ කියන්නේ ඇද පැද ලතාවකට ය. බණ ජාතක කතාවක් අනුසාරයෙන් නම් එයට සාහිත්‍ය රසය ද මුසු කර තිබේ. ඒ බණට පෙර සූදානම් ලෙස කියන රිද්මයානුකූල ගාථා හා වෙනත් චාරිත්‍ර වාරිත්‍ර වලට අමතර වශයෙනි. ඒවා ද එකතු වූ කල මුළු කටයුත්තම කලා කටයුත්තක් බවට පත්ව තිබේ. සහභාගිත්වය ඇත්තේ මේ කටයුතු වලට ය.

වචනයෙන් කියන බණ බොහෝවිට ද්විතීයක ය. ඒවා අහන කෙනෙක් නැත. වැදගත් බණට දක්වන සහභාගිත්වය යි. ඒ ක්‍රියාවම තාර්කික නැත. ප්‍රධාන වන්නේ බණ නම් බණ ද්විතීයික වන්නේ කෙසේ ද? එහෙත් අතාර්කික මනසට එය අදාළ නොවේ. බණ ගෙදරක් අවසානයේ බණ ගැන කරන කතාබහ අවම ය. එය චාරිත්‍රයකි. එහි සැබෑ ආමන්ත්‍රණය මනසට නොවේ. හදවතට ය. හැගීමට ය.

බණ හැමතැනකම තිබීමත් බණ පිලිපදින අය කොහේවත් නැතිවීමත් අප එසේ තේරුම් ගන්නා විට කළමනාකරුවන් හැටියට අප ඉන් උගත යුත්තේ කුමක් ද?

තර්කය ලංකාවේ මිනිසුන් වෙනස් කිරීමේ දී අතිශය දුර්වල ආයුධයක් බව ය.

ලංකාවේ මිනිසුන් යැයි විශේෂයෙන් කිව්වාට විද්‍යාත්මක පරිචයක් නැති මිනිසුන් සහිත ඕනෑම ප්‍රජාවක් සම්බන්ධයෙන් සත්‍යය එය ය.

ලංකාවේ විද්‍යා අධ්‍යාපනය උරුම අතිශයින් සීමිත පිරිසකට ය. එසේ අවකාෂ ලැබ විද්‍යාව උගත් අය පවා විද්‍යාව වන පොත් කරනවා විනා විද්‍යාත්මක පරිචයක් ඇති අය නොවෙති. උන් දන්නේ පොතේ තියෙන දෙය නැවත වැමෑරීමට පමණි. විභාග පාස් කිරීමට එය ඇති ය.

ඒ නිසාම නේපාලයේ භූමිකම්පාව ඇති වුනේ අතිවිශාල සත්ත්ව ඝාතනයක් වූ නිසා යැයි ඔවුහු ප්‍රශ්න නොඅසාම පිළිගනිති. ලංකාවේ සුනාමිය ආවේත් එවැනි සත්ත්ව ඝාතනයක් වූ නිසා දැයි පෙරලා ප්‍රශ්න නොකරති.

සුනාමියෙන් බුදු පිළිම බේරුණු බවත් එය ආශ්චර්යයක් බවත් ඔවුනට විශ්වාස ය. සිමෙන්ති හා ගලින් තැනුනු නැවත හදා ගත හැකි පිළිම බේරා මිනිසුන් මැරුවේ ඇයි දැයි ඔවුහු තමන්වම නොවිමසති.

මෙවන් මිනිසුන් තර්කයට වෙනස් කළ නොහැකි ය. ඔවුන් පළමුව ගන්නේ විශ්වාසයේ පැත්ත ය. තර්කය ගෙනෙන්නේ හැගීම් බරව එළඹුනු විශ්වාසය තහවුරු කර ගැනීමට ය. එතැනදී නම් ඔවුහු තර්කයේ දක්ෂයෝ ය.

මේ නිසාම කළමනාකරුවෙකුගේ භූමිකාව අප වැනි රටවල අභියෝගාත්මක ය. එය ඉටුකිරීම සඳහා සමහරවිට රැවටීම හා රැවැට්ටීම අවශ්‍ය ය. එවිට හැගීම්වලට සංවේදී අය දිනා ගත හැකි ය. එහෙත් විද්‍යාත්මක පරිචයක් ඇති බුද්ධිමතුන් ඒ රැවටීම හා රැවැට්ටීම දකින නිසා ම ඈත් වේ. ප්‍රශ්නය මේ දෙආකාරයේම මිනිසුන් නැතිව ආයතනයක් ගෙන යන්නට බැරි වීම ය.

ඒ නිසාම කළමනාකරුවන් විද්‍යාත්මක පරිචයයක් ඇති තාර්කික මිනිසුන් ගොඩ නැගීමට ජාතියට ද උදව් කළ යුතු ය. එවන් පිරිසක් ගොඩ නැගෙන තෙක් හැගීම් වල පිහිට ද අප්පිරියාවෙන් වුවත් ගත යුතු ය.

නියම නායකයා කවුද? – ප්‍රශ්නය අදාළ ද?


රටේ සිදුවෙමින් පවතින පෙරලිය සංකීර්ණ ය. ඒ නිසාම එය බොහෝ දෙනෙකුට ලිහා ගැනීමට අසීරු ය. විශේෂයෙන් නායකයා හා නායකත්වය සමග බැඳුනු ප්‍රශ්න රාශියක් ඉන් ඇති කර තිබේ. ඉන් එකක් නම් නියම නායකයා කවුද යන්න ය.

මහින්ද නියම නායකයෙක්! අවුරුදු 30 ක් ජයගන්න බැරිවුන යුද්ධයකුත් ජයගත්ත. ඒකට රනිල් 29 වතාවක් පැරදුනා.

රනිල් නියම නායකයෙක්! පරාජය කරන්න බැහැයි කියල හිතපු යෝධයෙක්ව ඔහුගෙම ගෝලයෙක් ලව්ව බිම දැම්ම.

(ප්‍රේමදාස නියම නායකයෙක්! 88-89 කාලයේ අරාජික වෙලා තිබුන භීෂණයෙන් අැලලිලා තිබුනු රටට නිදහස ගෙනාවා! ඒක ටිකක් පරණ කතාවක්)

මේ කතා දෙක තුනම ඔබ අසා ඇතිවාට සැකයක් නැත. කඳවුරු දෙකක ඉන්නා මිනිසුන් සිය නායකයින් ගැන කියන මේ කතා බැලූ බැල්මට ඇත්ත ය. මේ දෙක තුන එකට තබා බලා ඔබට නියම නායකයා කවුදැයි නිගමනයක් දිය හැකි ද?

තමන් අයිති කුමන කඳවුරකට ද යන්න අනුව ඔබ උත්තරයක් තෝරාගන්නවා විනා එයින් වියුක්තව නම් ඔබට ඒ පැනයට උත්තරයක් දිය නොහැකි ය.

මේ ප්‍රශ්නය නැගුවේම මේ ප්‍රශ්නයට උත්තරයක් දීමට නොවේ. උත්තරයක් දීමට බැරි බව කීමට ය.

නියම නායකයින් කියා ජාතියක් නැත. යම් තත්වයන් යටතේ සාර්ථක වන නායකයෙකු නව තත්වයන් යටතේ කූජිත වෙනු අප දැක තිබේ. හිට්ලර් ප්‍රභාකරන් වැනි යුද්ධයෙන් පැරදුනු නායකයින් ගැන පමණක් නොව වින්සන්ට් චර්චිල් වැනි යුද්ධය දිනූ නායකයින් ගැන ද කිව හැක්කේ එයම ය. දෙවැනි ලෝක මහා යුද්ධය දිනූ චර්චිල්ට එයින් පසු පැවැත්වූ මැතිවරණය ජය ගැනීමට නොහැකි විය. වසර 30 ක යුද්ධයක් හමාර කළ මහින්දට තමන්ගේ දෙවැනි පෙළ නායකයෙක් ඊට වසර පහකට පසුව අභිබවන්නට නොහැකි විය.

නායකත්වය විද්‍යාවක් නොවේ. කලාවකි. විද්‍යාවකට මෙන් නොව කලාවකට නිශ්චිත උත්තර නැත.

නායකත්වය සඳහා අවශ්‍ය ප්‍රධාන ගුණාංගය වන්නේ නව දෙයක් අත්හදා බලන්නට ඉදිරිපත් වීම ය. එය හරි යයි ද වැරදෙයි ද යැයි නොදැන ඉදිරිපත් වීම ය. අසාර්ථක වීමට ඇති බියෙන් තොරව ඉදිරිපත් වීම ය. මිනිසුන් පසු පස යන්නේ නැතිව මිනිසුන් තමන් යන මග ගෙන යා හැක්කේ එවැනි අසාර්ථක වීමට ඇති බියෙන් තොර කෙනෙකුට ය.

ඒ තුළ තිබෙන එක ඛේදවාචකයක් නම් අසාර්ථක වීම ය.

එයින් අදහස් කරන්නේ නායකයා සූදු අන්තුවෙක් බව නොවේ. කිසි දු සැළකිල්ලක් නැතිව අවදානම් ගන්නෙකු බව නොවේ.

එතෙකුදු එයින් කියවෙන මග හැරිය නොහැකි සත්‍යය වන්නේ නායකයා අසාර්ථක වීමේ ශාක්‍යතාවය ද තමන් තුළ රැගෙන එන බව ය.

එහි ප්‍රතිපක්ෂය ද සත්‍යය වෙයි. එනම් යම් කෙනෙකු බොහෝ තන්හි අසාර්ථක විය හැකි නමුදු යම් තත්වයන් යටතේ හිටි හැටියේ සාර්ථක නායකයෙකු ලෙස ද මතුවිය හැකිය යන්න ය.

ඒ නිසා කෙනෙකු නියම නායකයෙකු ද නැද්ද යන්න පුහු ප්‍රශ්නයකි. අරුත් විරහිත ප්‍රශ්නයකි. නැගිය යුතු ප්‍රශ්නය වන්නේ පවතින තත්වයන් යටතේ කෙනෙකු සපයන නායකත්වය හරි ද වැරදි ද යන්න ය.

අප විමසිය යුත්තේ නායකත්වය මිසක නායකයා නොවේ.

රැස්වීම් …රැස්වීම්…. – ඉවරයක් නැති වැඩකුත් නැති රැස් පමණක් ඇති රැස්වීම්…


බොහෝ ආයතනවල රැස්වීම් තියන්නේ එහෙම නොතිබ්බොත් හරි නැති නිසා ය. එහෙමත් නැතිනම් එසේ නොකරතතොත් නායකයා නොපෙනී ගොස් මිනිසුන්ට අමතකව යන නිසා ය. තවත් විටෙක ඒ නායකයාට කටේ හිරි ඇර ගන්නට රැස්වීමක් නැතිව බැරි නිසා ය.

රැස්වීම්වලට යන සමහර අය යන්නේ තව කෙනෙක් එක්ක තමන්ට ඇති වාඩුවක් ගන්නට ය. තරහකාරයාව නොකවුට් කරන්න බලාගෙන ය.

තවත් අයට රැස්වීම් යනු පොර වෙන්නට හැකි වේදිකාවකි. ඕනෑම යෝජනාවක් සම්බන්ධයෙන් මේ කියන තැනැත්තාට අදහසක් තිබේ. පටන් ගත්තේ කොතැනින් ද යන්න අමතක වෙන තරමට එක මාතෘකාවකින් පැන තවත් එකකට යෑමට ද ඔවුන්ට ඇත්තේ පුදුම දක්ෂතාවයකි.

බොහෝ රැස්වීම්වල අරමුණු රැස්වීමක් නොතියා සාක්ෂාත් කර ගත හැකි ඒවා ය. ඒ ලිපියක් හෝ දුරකථනයක් මාර්ගයෙන් දැනුම් දීමෙන් ය. එසේ තිබියදී රැස්වීම් පවත්වන්නේ ඇයි?

එයට සමහරවිට ඇත්තේ වෙනත් හේතුවකි. රැස්වීමක දී වැඩේ නිම කළේ දැයි ඇසූ විට බොහෝ දෙනා ඉදිරියේ එහි ප්‍රගතිය කියන්නට සිදු වේ. එවිට වැඩ නිම කර නොමැති අය ලජ්ජාවට පත් වෙතැයි අපේක්ෂා කෙරේ. සමහර අවස්ථාවල රැස්වීම් තියන්නේ රැස්වීමක දී නිරාවරණය වීමෙන් වැළකීමට මිනිසුන් ඊළග රැස්වීමටවත් පෙර තමන්ට බාර කටයුතු කිරීමට පෙළඹෙතැයි යන මේ අපේක්ෂාවෙන් ය. එහෙත් වැඩ නොකරන්නාට එසේ නොකරමින් සිය ප්‍රතිරූපය බේරා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බඳින්නට වුවමනා තරම් උත්තර තිබේ. ඒ ඇරත් එවැනි අයට බොහෝ විට ලජ්ජාවක් ද නැත. ඒ නිසාම රැස්වීමෙන් අපේක්ෂා කරන ඒ අරමුණ වැඩ නොකරන්නන් නිවැරදි මගට ගැනීමට තරම් ප්‍රබල වන්නේ නැත.

රැස්වීම්වල තිබෙන බරපතලම ප්‍රශ්නය නම් එයට සහභාගිවීම නිසා බොහෝ ආයතනවල බොහෝ තනතුරු දරන්නන්ට තමන්ගේ රාජකාරී කිරීමට වෙලා නැතිවීම ය. ඒ තරමටම බරපතල අනෙත් ප්‍රශ්නය නම් ඔවුන්ව මුණ ගැසීමට මහජනයාට හා සේවාලාභීන්ට අවස්ථාවක් වෙලාවක් නොමැති වීම ය.

සමහර නිලධාරීන්ට මොන වෙලාවේ දුරකථන පණිවුඩයක් ගත්තත් කාර්යාලයට ගියත් ඔවුන් මුලිච්චි වීමට බැරි ය. ඒ එකක් ඇරෙන්නට එකක් රැස්වීම්වලට ඔවුන්ට සහභාගී වීමට තිබීම ය. කණගාටුවට කරුණ නම් සමහර රැස්වීම් තියන්නේම මෙසේ මුණ ගැසීමට හෝ ඔවුන් හා සම්බන්ධ වීමට ඇති අපහසුතාවය නිසා වීම ය.

රැස්වීම් මෙහෙයවන බොහෝ සභාපතිවරුනට ඒවා මෙහෙයවා ගන්නට බැරි ය. ඒ නිසා බොහෝවිට රැස්වීමේ අරමුණ ඇරෙන්නට අන් සියළු දේ කතා කර රැස්වීම අවසන් කෙරේ. නැත්නම් ඒ සඳහා යෙදවෙන්නේ රැස්වීම අවසන් කිරීමට පෙර ගෙවන අවසාන මිනිත්තු කිහිපය පමණ ය.

රැස්වීමකට ගන්නා කාලය ද ඕනෑවට වඩා වැඩි ය. කෙටියෙන් රැස්වීම් අවසන් කිරීමට බොහෝ දෙනෙකු දන්නේ ම නැත.

රැස්වීමට පැමිණෙන සමහරු වචනයකුදු කතා නොකරම රැස්වීමෙන් පසු පිටව යති. එයින් අදහස් කෙරෙන්නේ ඔවුන් රැස්වීමට නොකැඳවිය යුතුව තිබූ බව ය.

ඇහුම් කන් දීමට නොදන්නා කතා කිරීමට පමණක් දන්නා සභාපතිවරු ඇත්තටම රැස්වීම් නොකැඳවිය යුතු ය. මක්නිසා ද යත් ඔවුන්ගේ වීඩියෝ ක්ලිප් එකක් යැවීමෙන් පණිවුඩය වඩා සාර්ථක ලෙස දිය හැකි බැවිනි.

අවාසනාවට රැස්වීම් කැඳවන්නේම අනුන්ගේ කාලයට පමණක් නොව තමන්ගේ කාලයට ද වටිනාකමක් නැති මිනිසුන් ය.

රැස්වීමක් කැඳවිය යුත්තේ නැතිවම බැරි නම් ය. ඒ සඳහා කැඳවිය යුත්තේ නැතිවම බැරි අය ය. එහි දී කතා කළ යුත්තේ කතා නොකරම බැරි දේ ය. එයට ගත කළ යුත්තේ ගත නොකරම බැරි කාලය පමණ ය. එය භාවිතා කරන්නේ අදහස් ලබා ගැනීම සඳහාත් සම්මුති ඇති කර ගැනීම සඳහාත් පමණක් නම් වඩාත් හොඳ ය. එය උපදෙස් දීම සඳහා භාවිතා කළ යුත්තේ අවම වශයෙනි. එය කාට හෝ මුදුනා වීමට ඉඩක් නොවිය යුත්තේ ය. එය බණ දෙසීම සඳහා නම් භාවිතා නොකළ යුත්තේම ය.