සංවර්ධනය හා දූෂණය අතර ඇත්තේ ආත්මීය බැඳීමක් ද?


“දූෂණයට ඉඩක් නැති තැන සංවර්ධනයක් ද නැත. දූෂණය නවතින විට සංවර්ධනය ද නවතී. දූෂණය සංවර්ධනය සඳහා අවශ්‍ය අභිප්‍රේරණයකි.“ මේ අප අසා ඇති කතාවකි. රෝද දෙක වගේ නොපෑහෙතත් ඒ දෙකින් එකක් හෝ නැතිව රටකට ඉදිරි ගමනක් නැති බවක් එයින් අනියමින් කියවේ.

මෙහි ඇත්ත කුමක් ද? අපට මෙය ප්‍රලාපයක් ලෙස දූෂණයට කැමති අයගේ මැදිහත්වීමක් ලෙස සළකා බැහැර කළ හැකි ද?

යහපාලනය යටතේ හොරකම් වලට වැට බඳින්නට පටන් ගත් පසු රටේ සංවර්ධනය ඇණ හිට ඇතැයි සැළකිය යුතු පිරිසක් එලිපිට නැතත් රහසින් හෝ කතා කරන බවක් පෙනෙන්නට තිබේ. එයට එක් හේතුවක් ලෙස දක්වන්නේ හොරු පසු පස එළවීම නිසා හැම දෙනම බිය වී කිසිදු තීන්දුවක් නොගන්නා තත්වයකට පත්වීමේ ඉඩකඩ ය.

මෙයට උදාහරණ විදේශ වලින් ද ගනු ලැබේ. චීනය යෝධ සංවර්ධනයක් ලබා ඇත්තේ වුව ද එය ලෝකයේ අංක එකේ දූෂිත රාජ්‍ය ලෙසට ද නමක් දිනා ගෙන තිබේ. ගඩාපි දූෂණයේ යෙදුන ද ඔහු යටතේ ලිබියාව අදට වඩා දියුණු විය.

එහෙම බැලුවහම සංවර්ධනයේ නාමයෙන් අප දූෂණයට මං ඇහිරීම අත් හළ යුතු ය.

මේ මහා බරපතළ නිගමනය ගැන අපේ මතය දැක්වීමට පෙර එය ගැඹුරින් විමසිය යුතු ය.

සංවර්ධනය සඳහා අභිප්‍රේරණය අත්‍යවශ්‍ය ය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. අභිප්‍රේරණය සැපයීමට ඇති එකම මග නම් දූෂණය නොවේ. ඒ සඳහා වෙනත් උපාය උපක්‍රම සොයා ගත යුතු ය. සොයා ගත හැකි ය.

සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන උදවියට නිල දීමනා දීම එයින් එකකි. එවිට ඒ පිරිවැයේ යම් සීමාවක් තිබේ. එය නීතියට පරිබාහිර නැත. දූෂණයට ඉඩ හැරිය විට එහි සීමාවක් නැත. සියයට 10 පසු කලෙක සියයට 40 වී තවත් කාලයක 200-300% පරාසයට එන්නේ ඒ අනුව ය.

එපමණක් නොවේ. සංවර්ධනය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගන්නා අය රැකීමට ද ඔවුන් අනවශ්‍ය “පොලිස්“ අධීක්ෂණයකට ලක් නොකරන බවට සහතිකයක් දීමට ද කටයුතු කළ යුතු ය. මිනිසුන් අතින් වැරදි සිදුවිය හැකි ය. ඒවා අත්වැරදි වනතාක් ඒවාට එරෙහිව කටයුතු නොකළ යුතු ය.

“පොලිස්“ පරීක්ෂණ වෙනුවට checks and balances (එක් ආයතනයක වැඩක් තව ආයතනයක සුපරීක්ෂණයට යටත් කිරීම); transparency (විනිවිදභාවය); right to information (තොරතුරු දැනගැනීමේ අයිතිය) වැනි යාන්ත්‍රණ හරහා කරන වැඩ නිරන්තර විමසුමකට ලක් කළ හැකි තත්වයක් උදා කළ යුතු ය.

නිර්භීත එහෙත් විනිවිදභාවයකින් යුතු තීන්දු ගෙන සංවර්ධන ක්‍රියාදාමයට උර දෙන්නවුන්ට ප්‍රසිද්ධියේ උපහාර පිදිය යුතු ය. ප්‍රතිලාභ දිය යුතු ය. පහසුකම් දිය යුතු ය. සම්පත් හා පිරිස් බලය දිය යුතු ය.

එවැනි වටපිටාවක දූෂණයට ඉඩ නැතත් රට ඉදිරියට යනු ඇත. අප යා යුත්තේ අප අත්හැර දැමූ අතීතයට නොවේ. ටික දෙනෙකුට නොව සැබෑ ලෙස රටට සුභ වන අනාගතයකට ය.

Advertisements

වෙනසක් සිදු වුනා. ඒත් පරිවර්තනයක් වුනා ද?


ආණ්ඩු වෙනසක් සිදු වී ඇති බව සැබෑ ය. එහෙත් පරිවර්තනයක් වී ද? මෙය අද බොහෝ දෙනා නගන ප්‍රශ්නයකි. ඒ නිසාම එය විමසිය යුතු ය. ඒ පරිවර්තනයක් අපේක්ෂා කළ අය වෙනසකින් නොසෑහෙන හෙයිනි.

මුලින්ම විමසිය යුත්තේ මේ වචන දෙක ය. වෙනස බොහෝ විට සීමිත ක්ෂේත්‍ර කීපයක සිදුවන අතර පරිවර්තනය මුළු මහත් වටපිටාවම වෙලා ගනී.

රටවල පමණක් නොව ආයතනවල ද පරිවර්තනය සඳහා ගනු ලැබූ බොහෝ උත්සහයන් වෙනසකින් අවසන් වී තිබේ. එයට හේතුව වෙනස හා පරිවර්තනය අතර වෙනස තේරුම් නොගැනීම පමණක් නොවේ. ඒ සඳහා කළ යුතු මැදිහත්වීමේ භූමිකාව වෙනස් බව අවබෝධ කර නොගැනීම ය.

වෙනස පහසු නැතත් අපහසුම නැත. පරිවර්තනය අපහසු ය. එය සිතන පතන විදිහේ ද කතා බස් කරන විදිහේ ද වැඩ කරන විදිහේ ද යන සකල අංශයන්හි වෙනසක් ඉල්ලා සිටියි. එය නායකයින්ගේ වෙනසකින් පමණක් කළ හැක්කක් නොවේ. සෙසු අයගේ ද වෙනසක් එහි දී අපේක්ෂිත ය.

පරිවර්තනයක් ද ආරම්භ කළ හැක්කේ වෙනසකිනි. නායකත්වය දෙන අය දිගින් දිගට ඒ වෙනුවෙන් පෙනී සිට අරගල කරන්නේ නැතිනම් පරිවර්තනය පරිවර්තනයක් නොවී වෙනසකින් අවසන් වේ. ඒ සඳහා අනුගාමිකයන් සහභාගී නොවී නායකත්වයටම සියල්ල බාර දී සිටින්නේ නම් ද අත්වන්නේ ඒ ඉරණම ම ය.

ඇති වූයේ වෙනසකි. එය පරිවර්තනයකින් අවසන් වේ දැයි නිශ්චය ලෙස කිව නොහැකි ය.

එසේ විය හැක්කේ ජනතාව නායකයින්ට පමණක් එහි වගකීම භාර නොදී එහි පංගුවක් තමන් අතට ද ගැනීමෙනි. වෙනස ආරම්භ කිරීමට දක්වන ලද උනන්දුව පරිවර්තනයක් දක්වා එය ගෙන යන තුරු ද මැරෙන්නට නොදී රැක ගැනීමෙනි.

නායකයාට බාර දී ඔහු කර දෙනු ඇතැයි බලා සිටින්නට පුරුදු වූ ජනතාවකට එයට කොතරම් දුරකට උර දිය හැකි ද යන්න ප්‍රශ්නය කි.

අනෙත් අතට, වෙනසක් සම්බන්ධයෙන් මෙන් නොව, පරිවර්තනයක් පිළිබඳව කල් තියා ඇදගත් සැළැස්මක් භාවිතා කළ නොහැකි ය. ආරම්භ කළ හැක්කේ කටු සටහනකි. ඉන්පසු පරිවර්තනය දිග හැරෙන විට එහි විස්තර ඇඳ සම්පූර්ණ කළ යුතු ය. එය තනි නිර්මාණකරුවෙකුගේ වැඩක් නොවේ. බහුතරය සහභාගී වන සද්කාර්යයකි. ඊටත් අමතරව මුලින් ඇඳ තිබූ ඉරි මකා ලැබෙන අලුත් අත්දැකීම් ඔස්සේ අලුත් ඉරි අඳිමින් නැවත නැවත සකස් කළ යුතු කාර්යයකි. බොහෝ අවිනිශ්චිතතා මතුවන ඒවාට මුහුණ දී ඒවා ජයගැනීමට අධිෂ්ඨාන කරගත් මිනිසුන්ගේ කාර්යයකි. පරිවර්තනය අවසානයේ හැඩය කුමක් විය හැකි දැයි හරිහැටි නොදැන කරන්නට වෙන කාර්යයකි.

ශ්‍රී ලංකාව අද අත ගසා ඇත්තේ ඒ කාර්යයට ය. අවසාන හැඩ තල පිළිබඳව සෝතැවුල් නගන අය දැන ගත යුත්තේ මේ සිදුකරමින් යන පරිවර්තනයේ වගකීම තමන් ද බාර ගෙන අවශ්‍ය හැඩ තල සකස් කිරීමට තමන් ද හවුල්වීමට ඉටා ගැනීම අවිනිශ්චිතතාවය ගැන ලත වෙනවා වෙනුවට කළ යුතු බව ය.

වෙනසේ අඩුපාඩු පෙන්වා දීමත් වෙනස තියුණු කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමත් තමන් ද වෙනසකට කවර අයුරකින් හෝ දායක වීමත් මේ කටයුතුවලට ඇතුළත් ය.

පරිවර්තනය වෙනසකින් පමණක් අවසන් වුනොත් එහි වගකීම සැමටම පැවරේ. මක්නිසා ද යත් වෙනසක් මෙන් නොව පරිවර්තනයක් බහුතර සහභාගිත්වයෙන් තොරව කළ නොහැකි නිසා ය. නායකයින්ට කළ හැක්කේ ඒ සඳහා පාර පාදා දීම පමණක් නිසා ය. සියල්ලන්ම පාර තව දුරටත් පළල් කර ගනිමින්ම ඒ ඔස්සේ යා යුතු නිසා ය.