රැස්වීම් …රැස්වීම්…. – ඉවරයක් නැති වැඩකුත් නැති රැස් පමණක් ඇති රැස්වීම්…


බොහෝ ආයතනවල රැස්වීම් තියන්නේ එහෙම නොතිබ්බොත් හරි නැති නිසා ය. එහෙමත් නැතිනම් එසේ නොකරතතොත් නායකයා නොපෙනී ගොස් මිනිසුන්ට අමතකව යන නිසා ය. තවත් විටෙක ඒ නායකයාට කටේ හිරි ඇර ගන්නට රැස්වීමක් නැතිව බැරි නිසා ය.

රැස්වීම්වලට යන සමහර අය යන්නේ තව කෙනෙක් එක්ක තමන්ට ඇති වාඩුවක් ගන්නට ය. තරහකාරයාව නොකවුට් කරන්න බලාගෙන ය.

තවත් අයට රැස්වීම් යනු පොර වෙන්නට හැකි වේදිකාවකි. ඕනෑම යෝජනාවක් සම්බන්ධයෙන් මේ කියන තැනැත්තාට අදහසක් තිබේ. පටන් ගත්තේ කොතැනින් ද යන්න අමතක වෙන තරමට එක මාතෘකාවකින් පැන තවත් එකකට යෑමට ද ඔවුන්ට ඇත්තේ පුදුම දක්ෂතාවයකි.

බොහෝ රැස්වීම්වල අරමුණු රැස්වීමක් නොතියා සාක්ෂාත් කර ගත හැකි ඒවා ය. ඒ ලිපියක් හෝ දුරකථනයක් මාර්ගයෙන් දැනුම් දීමෙන් ය. එසේ තිබියදී රැස්වීම් පවත්වන්නේ ඇයි?

එයට සමහරවිට ඇත්තේ වෙනත් හේතුවකි. රැස්වීමක දී වැඩේ නිම කළේ දැයි ඇසූ විට බොහෝ දෙනා ඉදිරියේ එහි ප්‍රගතිය කියන්නට සිදු වේ. එවිට වැඩ නිම කර නොමැති අය ලජ්ජාවට පත් වෙතැයි අපේක්ෂා කෙරේ. සමහර අවස්ථාවල රැස්වීම් තියන්නේ රැස්වීමක දී නිරාවරණය වීමෙන් වැළකීමට මිනිසුන් ඊළග රැස්වීමටවත් පෙර තමන්ට බාර කටයුතු කිරීමට පෙළඹෙතැයි යන මේ අපේක්ෂාවෙන් ය. එහෙත් වැඩ නොකරන්නාට එසේ නොකරමින් සිය ප්‍රතිරූපය බේරා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බඳින්නට වුවමනා තරම් උත්තර තිබේ. ඒ ඇරත් එවැනි අයට බොහෝ විට ලජ්ජාවක් ද නැත. ඒ නිසාම රැස්වීමෙන් අපේක්ෂා කරන ඒ අරමුණ වැඩ නොකරන්නන් නිවැරදි මගට ගැනීමට තරම් ප්‍රබල වන්නේ නැත.

රැස්වීම්වල තිබෙන බරපතලම ප්‍රශ්නය නම් එයට සහභාගිවීම නිසා බොහෝ ආයතනවල බොහෝ තනතුරු දරන්නන්ට තමන්ගේ රාජකාරී කිරීමට වෙලා නැතිවීම ය. ඒ තරමටම බරපතල අනෙත් ප්‍රශ්නය නම් ඔවුන්ව මුණ ගැසීමට මහජනයාට හා සේවාලාභීන්ට අවස්ථාවක් වෙලාවක් නොමැති වීම ය.

සමහර නිලධාරීන්ට මොන වෙලාවේ දුරකථන පණිවුඩයක් ගත්තත් කාර්යාලයට ගියත් ඔවුන් මුලිච්චි වීමට බැරි ය. ඒ එකක් ඇරෙන්නට එකක් රැස්වීම්වලට ඔවුන්ට සහභාගී වීමට තිබීම ය. කණගාටුවට කරුණ නම් සමහර රැස්වීම් තියන්නේම මෙසේ මුණ ගැසීමට හෝ ඔවුන් හා සම්බන්ධ වීමට ඇති අපහසුතාවය නිසා වීම ය.

රැස්වීම් මෙහෙයවන බොහෝ සභාපතිවරුනට ඒවා මෙහෙයවා ගන්නට බැරි ය. ඒ නිසා බොහෝවිට රැස්වීමේ අරමුණ ඇරෙන්නට අන් සියළු දේ කතා කර රැස්වීම අවසන් කෙරේ. නැත්නම් ඒ සඳහා යෙදවෙන්නේ රැස්වීම අවසන් කිරීමට පෙර ගෙවන අවසාන මිනිත්තු කිහිපය පමණ ය.

රැස්වීමකට ගන්නා කාලය ද ඕනෑවට වඩා වැඩි ය. කෙටියෙන් රැස්වීම් අවසන් කිරීමට බොහෝ දෙනෙකු දන්නේ ම නැත.

රැස්වීමට පැමිණෙන සමහරු වචනයකුදු කතා නොකරම රැස්වීමෙන් පසු පිටව යති. එයින් අදහස් කෙරෙන්නේ ඔවුන් රැස්වීමට නොකැඳවිය යුතුව තිබූ බව ය.

ඇහුම් කන් දීමට නොදන්නා කතා කිරීමට පමණක් දන්නා සභාපතිවරු ඇත්තටම රැස්වීම් නොකැඳවිය යුතු ය. මක්නිසා ද යත් ඔවුන්ගේ වීඩියෝ ක්ලිප් එකක් යැවීමෙන් පණිවුඩය වඩා සාර්ථක ලෙස දිය හැකි බැවිනි.

අවාසනාවට රැස්වීම් කැඳවන්නේම අනුන්ගේ කාලයට පමණක් නොව තමන්ගේ කාලයට ද වටිනාකමක් නැති මිනිසුන් ය.

රැස්වීමක් කැඳවිය යුත්තේ නැතිවම බැරි නම් ය. ඒ සඳහා කැඳවිය යුත්තේ නැතිවම බැරි අය ය. එහි දී කතා කළ යුත්තේ කතා නොකරම බැරි දේ ය. එයට ගත කළ යුත්තේ ගත නොකරම බැරි කාලය පමණ ය. එය භාවිතා කරන්නේ අදහස් ලබා ගැනීම සඳහාත් සම්මුති ඇති කර ගැනීම සඳහාත් පමණක් නම් වඩාත් හොඳ ය. එය උපදෙස් දීම සඳහා භාවිතා කළ යුත්තේ අවම වශයෙනි. එය කාට හෝ මුදුනා වීමට ඉඩක් නොවිය යුත්තේ ය. එය බණ දෙසීම සඳහා නම් භාවිතා නොකළ යුත්තේම ය.

Advertisements