මහානාම පාලමට දැලක්! ඔලුවට ඉස කුඩිච්චියක්!


තම දරුවන් දෙදෙනා පාලම උඩින් ගඟට දැමූ පියෙක් නිසා ඒ පාලම උඩින් දැලක් දමන්නට කට්ටිය සැළසුම් කරන බවක් පහුගිය දිනක ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණේ ය. මේ අපූරු තීරණය පිටුපස ඇති තර්කය අපූරු ය. ගගට දමන්නට පුලුවන් වූයේ දැලක් නොතිබුනු නිසා ය. දැන් නම් කිසිම තාත්තා කෙනෙකුට දරුවෙක් ගඟට දමන්නට බැරි වනු ඇත්තේ ය. ඒත් පුංචි ප්‍රශ්නයකට ඇත්තේ මහානාම පාලම ඇරුණු කොට ලංකාවේ තව බොහෝ පාලම් ද තිබීම ය.

මේ කතාව ඇසූ විට මට මතක් වූයේ මීට වසර ගණනාවකට උඩ දී කොළඹ නාලන්දා විද්‍යාලයේ සිදු වූ මීට සමාන සිද්ධියකි. අත් දිග කමිස වැලමිටට උඩින් සිටින සේ නමා ගෙන ඇදීම එකල සිසුන් අතර පුරුද්කක්ව පැවතුනේ ය. එසේ නමා ගත් එක් කමිස අතක ශිෂ්‍යයෙකු මත්කුඩු හංගාගෙන පාසල තුළට ගෙනාවේ ය. එය දැනගත් පසු පාසල තුළ අලුත් නීතියක් ඇති විය. ඒ අත්දිග කමිස තහනම් කිරීම ය. තර්කය මෙසේ ය. කුඩු ගේන්නට පුලුවන් වූයේ අත් දිග කමිස නැවීමට අවසර නිසා ය. දැන්නම් කිසිදු සිසුවෙකු කුඩු ගේන එකක් නැත. පුංචි ප්‍රශ්නයකට ඇත්තේ ඔවුන් කලිසමට යටින් තව එකක් (ලන්කට් එකක්) අඳින එක ය. ඒකත් නෑඳ එන්න කියන්න පුලුවන් නම් වැඩේ ෆූල් ප්රෑෆ් ය. නාලන්දා විද්‍යාලය කියන්නේ සුළුපටු පාසලක් ද නොවේ. නම ලිව්වේ පාසල අපකීර්තියට ලක් කරන්නට නොවේ. වැරදි වෙන්නේ ගොඩක් ලොකු තැන්වල බව කියන්න ය.

වැල නොකැඩී මෙවැනි කතා රාශියක් මගේ මතකයට එයි.

රජයේ සේවකයන් පෝය දිනටවත් පංසල් නොයන නිසා අප රටේ සිටි එක් පළාත් ආණ්ඩුකාරවරයෙක් අමුතුම නීතියක් ගෙනාවේ ය. ඒ පංසල් වල පැමිණීමේ නාම ලේඛනයක් පවත්වා ගෙන යෑම ය. තර්කය මෙසේ ය. රජයේ සේවකයින් පෝය දින පන්සල් නොයනුයේ පාසලේ මෙන් පැමිණීමේ ලේඛනයක් පංසල්වල නැති නිසා ය. පාසලත් පංසලත් අතර ඇත්තේ ඇලපිල්ලකත් බිංදුවකුත් අතර වෙනස පමණ ය.

පැමිණීම ලකුණු කිරීම නිසා ඔවුන් පාසලට ගියාක් මෙන් දැන් පංසලට ද යනු ඇත. පංසල ඇතුළේ සූදු පොළක් බාර් එකක් බියර් ෂොප් එකක් හා ගණිකා මඩමක් දැම්මේ නම් ඒත් සෙනග ගෙන්වා ගත හැකි යයි නොසිතීම එක් අතකින් වාසනාවක් ලෙස අප සැළකිය යුතු ය.

මේ ළගදී අපේ කතානායකතුමාට තරහ ගියේ ය. ඒ සාධාරණ හේතුවක් නිසා ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නගන ප්‍රශ්නවලට උත්තර දෙන්නට ඇමතිවරු නැති නිසා ය. එතුමා කීවේ දිගින් දිගට මෙසේ සිදුවන්නේ නම් තමන් මේ ආසනයෙන් බැස යන බව ය. මේ අයට තරවටු කරන්නට යයි සිය මලන්ඩියට නොකියා කතානායකතුමා මෙවැනි දෙයක් කරන්නට යන්නේ මන්දැයි කෙනෙකුට හිතෙන්නට පුලුවන.

මේ උත්තර එන්නේ සැබෑ ප්‍රශ්නවලට ය. මේවා අතරින් බොහෝ ප්‍රශ්න ඇත්ත ය. ඒත් හැම උත්තරයක්ම පාහේ බොරු ය. මෝඩ ය.

මේ සමහර කතා අන්දරේගේ කැකිල්ලේගේ මහදැනමුත්තාගේ කතා වලට ද වඩා රසවත් වනවාට අමතරව අපට යමක් නොකළ යුත්තේ කෙසේ දැයි කියා දෙන්නේ ය. මේ කතා එකතු කළ හැකි නම් ඒ හරහා අලුත් සාහිත්‍යයක් ගොඩ නැගිය හැකි ය. ඊට අමතරව කළමනාකරුවන් සඳහා තීරණ ගැනීමේ පුහුණු වැඩ සටහනකට සැබෑ සිද්ධි අධ්‍යයනයන් හැටියටත් ඒවා ගත හැකි ය.

ඔබ දන්නා එවැනි කතා ඇතොත් අපත් සමග බෙදා ගනු ඇතැයි උදක්ම අපේක්ෂා කරමු.

(පලි. මීට සමාන දෙයක් ඊයේ පෙරේදා වෙන්නට ගොස් බේරුණේ ය. ඒ පාසල් සිසුවියක් සිය දිවිනසා ගැනීම නිසා ඊට හේතු වූ ෆේස් බුක් එක තහනම් කිරීමේ යෝජනාව ය. සිය දිවි නසා ගැනීම නැවැත්වීමට නම් තහනම් කළ යුතු තවත් බඩු භාණ්ඩ ලයිස්තුවක් කවුරුන් හෝ ඉදිරිපත් කරන්නට ඇත. ඊට සාරි, ටයිපටි, කෘමි නාශක, කෝච්චි සහ තව බොහෝ දේ ඇතුළත්ව තියෙන්නට ඇත. එතැනින්ම වැඩේ අවසන් වෙන්නට ඇත.)

පැටලිලා ඇති – නායකයා හා නායකත්වය


නායකයා කියූ විට අත්‍යවශයෙන්ම පුද්ගලයෙකු අදහස් වේ. එපමණක් නොවේ. එයින් එක් තනි පුද්ගලයෙකු අදහස් වේ. නායකත්වය යන යෙදුම ඊට වඩා බොහෝ සෙයින් ව්‍යාකූල ය. විටෙක එය යෙදෙන්නේ එක් පුද්ගලයෙකුගේ මෙහෙයවීමේ කුසලතාවය දක්වන්නට ය. උදාහරණයක් ලෙස මෙසේ කියනු අපට දක්නට ලැබේ.

සරත්ගේ නායකත්වය කණ්ඩායමේ ජයග්‍රහණයට හේතු විය.

එවිට අපට සරත්ගෙන් ඔබ්බෙහි කිසිම දෙයක් නැතැයි හැගේ.

තවත් විටෙක එයින් අදහස් කරන්නේ තනි පුද්ගලයෙකු අතික්‍රමණය කරන සංකල්පයකි. එවිට කියවෙන්නේ පුද්ගලයන් කීප දෙනෙකු අතර බෙදාගත් භූමිකාවක් විය හැකි ය. තවත් පියවරක් ඉදිරියට ද තැබිය හැකි ය. එවිට පුද්ගල කණ්ඩායමක් ද අතික්‍රමණය කරන්නක් බවට එය පත් වේ. උදාහරණයක් ලෙස මෙසේ කියනු අපට ඇසේ.

ධර්මයම නායකත්වයේ ලා සළකන්න.

ඊට සමාන තවත් ප්‍රකාශනයක් වනුයේ ප්‍රතිපත්ති – එසේ නැතිනම් සාරධර්ම – එසේත් නැතිනම් හර පද්ධතිය – නායකත්වයේ ලා සළකන්න යන්න ය.

මා කැමති දෙවැනි අර්ථ නිරූපණයට ය.

නායකයාට ප්‍රතිපත්ති සාරධර්ම (ප්‍රකාශිත හර පද්ධතිය) රකින බවට වග බලාගැනීමේ වගකීම ඇතත් ඔහුට හෝ ඇයට පවා ඒවා ඉක්මවන්නට බැරි බවක් එයින් ඇගවෙන නිසා ය.

නායකයාගේ කාර්යය එවිට අයිතිකරුගේ කාර්යය නොව භාරකරුගේ කාර්යය වෙයි.

ඊට අමතරව ඔහුට සාරධර්ම හෝ ප්‍රතිපත්ති කණ්ඩායම සමග එක්ව වරින් වර විමසීමේ කාර්යය ද උරුම වේ. කිසිම ප්‍රතිපත්තියක් සාරධර්මයක් සර්ව කාලීන විය නොහැකි බැවිනි.

එහෙත් ජන කැමැත්ත ලැබෙතොත් මිස ඒවා වෙනස් කිරීමට නායකයාටවත් නොහැකි විය යුතු අතර ඒවා ඥානවන්තව විමසුමට යොමුකිරීමේ වගකීම පමණක් නායකයා විසින් දැරිය යුතු වෙයි. ඒ නිසාම භාරකරුගේ කාර්යයට අමතරව මේ විමසුම් ක්‍රියාවලියේ ඔහුට හෝ ඇයට පහසුකම් සපයන්නාගේ කාර්යය භාරය ද උරුම වේ.

නායකත්වය වරප්‍රසාදයක් ලෙස නොව වගකීමක් ලෙස දැරීමට නායකයාට සිදු වේ. ඒ නිසාම එය පිරිසකගේ සහභාගිත්වයෙන් ද ඊටත් වඩා පළල් පිරිසකගෛ් අනුමැතියට යටත්ව ද ඉසිලීමට නායකයාට සිදු වේ.

එවැනි නායකත්වයක් අද යුගයට වඩාත් උචිත වනවාට අමතරව වඩාත් තිරසාර ද වෙයි.

නායකයෙකුට වඩා නායකත්වයක් අවශ්‍ය යැයි මට හැගෙන්නේ ඒ නිසා ය. දෙවැන්නට මා වඩාත් කැමැත්තේ ඒ නිසා ය.

කැකිල්ලේ නීති හා දඩුවම්


සරත් පන්තියේ තමන් අසල සිටි සගයාට අල්පෙනෙත්තකින් ඇන්නේ ය. සගයා (නිමල්) වහා ක්‍රියාත්මක වී සරත්ට ගහන්නට අත ඉස්සුවේ ය. දෙවැනි ක්‍රියාව පමණක් දුටු ගුරුතුමිය නිමල්ට බැණ වැදී පන්තියෙන් එලියට දැම්මේ දණ ගසාගෙන සිටින ලෙස ද අණ කරමිනි. නිමල් සමාවට කාරණා කියන්නට කට ඇරිය නමුත් ගුරුවරියගේ ප්‍රතිචාරයෙන් පසු බෑවේ ය. දත් මිටි කමින්ම ඔහු පන්තියෙන් එලියට ගියේ ය.

ඉස්සරහින් ගිය ත්‍රී වීලරය හිටිහැටියේ ලේන් මාරු කළේ ය. අනපේක්ෂිත ඒ හැරවුම නිසා නිමල්ට සිදු වූයේ සිය රථය දකුණු පස තිබූ කෙලින් ඉර කපා බේරා ගැනීමට ය. ඊට මීටර 100 කින් සිටි පොලීසිය විසිල් පාරක් ගසා පාරට පැන නිමල් නැවතී ය. කොතරම් කියා සිටිය ද ඔහුට ගැලවීමක් නැති විය. දඩ කොළයක් ලැබුනේ ය. ඒ ඉර කැපීම නිසා ය.

මේ ලයිස්තුව බොහෝ දිග ය. වැරැද්දට හේතුව පැත්තක ය. වැරදි කාරයා ලෙස හංවඩුව ගැසෙන්නේ දැනටමත් අසාධාරණයට ලක්වූ අයට ම ය.

අපේ පැරැන්නන් කීවේ ගහෙන් වැටුනු මිනිහාට ගොනා ද ඇන්න බව ය. එසේ වූයේ ගොනා මිනිහෙකු ගහෙන් වැටීමෙන් කලබල වූ නිසා ය. ඒ සම්බන්ධයෙන් ගොනෙකු හා උරණ වන්නට අපට බැරි ය. එහෙත් ඒ දෙයම මිනිසෙකුගෙන් වෙතැයි අප අපේක්ෂා කරන්නේ නැත.

අපේ සමාජයේ ද එවැනි ගොනුන් මෙන් හැසිරෙන අය නිසා වැරදි කාරයින් නිදහසේ සිටිනා අතරේ අහිංසකයන් දඩුවම් ලබන්නේ ය.

අවස්ථා දෙකේදීම නිමල් සම්පූර්ණයෙන්ම අහිංසක නැතැයි කෙනෙකුට කිව හැකි ය. එහි තරමක ඇත්තක් තිබේ. පළමු අවස්ථාවේ ඔහු විසින් කළ යුතුව තිබුනේ සරත් සම්බන්ධයෙන් ගුරුවරියට වාර්ථා කිරීමට ය. දෙවැනි අවස්ථාවේ ඒ තරම්වත් ඉඩක් ඔහුට තිබුනේ නැත. හැකියාවක් තිබුනේ නම් පමණක් තිරිංග යෙදීමට නම් සුළු ඉඩක් තිබෙන්නට ඇත. ඒත් එය සහසුද්දෙන්ම කිව හැක්කේ දෙවියන්ට පමණ ය. එහෙත් ඔහු පමණක් දඩුවම් ලැබීමේ ප්‍රතිවිපාක බොහෝ ය. එයින් සමාජයට පමණක් නොව නිමල්ලාට යන පණිවිඩය ද වැරදි ය.

මේ ටික ලීවේ කළමනාකරුවන්ට ද වැරදි කරුවන්ට දඩුවම් දීමට සිදුවන නිසා ය. එවන් විටක මතුපිට පෙනෙන කතාවෙන් ඔබ්බට විමසීම වැදගත් ය.

යම් සිද්ධියක් ඊට කලින් සිට ආරම්භ වූ සිද්ධිදාමයක ප්‍රතිඵලයක් විය හැකි ය. කැකිල්ලේ රජු මෙන් මුග්ධ නොවී ඒ සිද්ධිදාමය පිරික්සා බැලීමේ හැකියාවෙන් කළමනාකරු ප්‍රයෝජන ගත යුතු ය. එසේ නොකළොත් සිදුවන්නේ දඩුවම් නියම කිරීමේදී කැකිල්ලේ කෙනෙක් වීමට ය.

මස් රාත්තලම ඉල්ලා සිටින රජයේ විගණන ෂයිලොක්ලා!


ෂයිලොක්ට මස් රාත්තලම ඕනෑ විය. අපේ රටේ නිලතල හොබවන බොහෝ දෙනෙක් ෂයිලොක්ලා ය. ඔවුහු ද මස් රාත්තලම ඉල්ලා සිටිති.

එක්තරා අමාත්‍යංශයකින් නිකුත් කරන ලද චෙක්පතක් ගැනීම සඳහා යන කෙනෙක් ආයතනයේ සීල් එක ද ගෙනා යුතු ය. ඒ සීල් එක වවුචරයේ සටහන් නොකර චෙක් එක නිකුත් කරන්නේ නැත. චෙක්පත ලියුම රැගෙන එන නම් සඳහන් තැනැත්තාට බාර දෙන ලෙස උපදෙස් සහිත ආයතනයේ නිල ලිපියක් ඉදිරිපත් කළ ද ඔවුන් එය පිළිගන්නේ නැත. එය වවුචරයට අමුණන්නේ නම් සීල් එකෙන් කරන කාරියම එයින් කෙරෙන්නේ ය. ඒ වුනාට ඔවුහු ඉන් සෑහීමකට පත් නොවෙති.

මේ සියල්ල අවශ්‍ය වන්නේ කුමකට ද? වෙනත් කෙනෙක් අතට චෙක්පත පත්වීම වළක්වන්නට ය.

නැත. මෝඩ විගණන නිලධාරියෙකුගෙන් බේරීමට ය. ප්‍රශ්න කළ විට අසන්නට ලැබෙන්නේ ඒ උත්තරයයි. එතකොට සිදුවන්නේ ෂයිලොක් නැතිවීම නොව ෂයිලොක් විගණන නිලධාරියාට මාරු වීම ය. මෙසේ ෂයිලොක් ලා බිහිවීමට හේතුව කුමක් ද?

හේතුව හොයන්නට තරම් වටින්නේ ය. එක හේතුවක් නම් මෝඩකම ය. අනෙක උද්ධච්ඡ කම ය. උන් නිවුන් සොහොයුරන් ය.

ෂයිලොක්ලා තුරන් කළ හැකි නම් අපේ ජීවිත මීට වඩා පහසු වන්නේ ය.

විගණන නිලධාරීන්ට මුලින්ම ඉගැන්විය යුත්තේ නිහතමානිත්වය හා සංවේදීත්වයයි. විගණනය ආ යුත්තේ ඊළගට ය.

විගණන නිලධාරීන් ගැන කීවේ අදාළ සිද්ධිය නිසා ය. ඇත්තටම ඒ අනුපිළිවෙළ අදාළ වන්නේ විගණන නිලධාරීන්ට පමණක් නොවේ. බලය දරන සැමට ය. නිලය දරන සැමට ය.

එසේ වූ දිනක නීතිය තඩි බෑමට පොල්ලක් වෙනුවට ආරක්ෂාවට කුල්ලක් වනවා ඇත. කරුමය නම් මිනිසුන් ආරක්ෂාවට මුවා වීම සළකන්නේ බයගුළු කමක් ලෙස වීම ය. ඊට ප්‍රතිපක්ෂව තඩිබෑමට නොබියව ඉදිරියට යෑම සළකන්නේ නිර්භීත කමක් ලෙස ද වීම ය. ඒ නිසාම සියල්ල නැවත අර්ථ විවරණය කළ යුතු ව තිබේ. විශේෂයෙන් වීරකම කුමක් දැයි නැවතත් නිර්වචනය කළ යුතුව තිබේ. ෂයිලොක්ලා කවුදැයි රටට හඳුන්වා දිය යුතුව තිබේ.