සුදු ඇඳ ගෙන කළු ද පැමිණිය හැකි ය


  • නිශාන්ත කමලදාස

අප පුරුදු ව ඇත්තේ වර්ගීකරණයට ය. එසේ කොට ලේබල් ඇලවීමට ය. සුදු කළු නැත්නම් යහපත් අයහපත් ඒත් නැත්නම් හොඳ නරක හැටියට වර්ගීකරණය කොට ලේබල් ඇල වූ විට අපේ ජීවිතය පහසු වේ. එවිට හිත හිතා ඉන්නට උවමනා නැත. සුදු දේ වැළඳ ගෙන කළු දෙයින් ඉවත් විය හැකි ය. යහපත් දේ අගය කර අයහපත් දේ පිටු දැකිය හැකි ය. හොඳ දේ උඩ දමා නරක දෙයට අවමන් කළ හැකි ය.

ඩිජිටල් නැත්නම් බයිනරි තර්කය අවියක් හැටියට භාවිතා කරන කෙනෙකුට මෙය විශේෂයෙන් අවශ්‍ය ය. සියලු ඩිජිටල් පරිපථ ගොඩ නගා ඇත්තේ මේ මූලධර්මය මත ය. එක්කෝ ඔ්ෆ් (නිමිලා) ය. නැතිනම් ඔ්න් (පත්තුවෙලා) ය. ඒ දෙක අතර මැද දෙයක් නැත.

පරිගණක පද්ධති තුළ පමණක් නොව පාසල් තුළ ද බහුල ව භාවිතා වන්‌නේ මේ තර්කය ය. ඒ නිසා ම මෙය උගත් අය අතර බහුල තර්ක මාදිලියකි.

උදාහරණයක් ගෙන අප මේ සංසිද්ධිය තේරුම් ගන්නට බලමු. කීකරු කම හොඳ ය. අකීකරු කම නරක ය. දැන් අපට පැහැදිලි නිර්ණායකයක් තිබේ. ඒ කීකරු අය හොඳ අය ලෙසත් අකීකරු අය නරක අය ලෙසත් වර්ග කිරීමට ය. කීකරු අය ප්‍රශ්න නොනගා කියන දෙයක් කරති. අකීකරු අය ඇතැම් විට අවනත වන්නේ නැත. එසේත් නැතිනම් අවනත වන්නේ ප්‍රශ්න කිරීමෙන් පසු ය. සැක හැර ඒ්ත්තු ගියෝතින් පමණ ය. නැතිනම් ඔවුහු මග හැර යති. අකීකරු වෙති.

සැබෑ ජීවිතයේ දී මේ වර්ග කිරීම කොතෙක් දුරට අපට උපකාරී වේ ද? ඇතැම් නියෝග ප්‍රශ්න කිරීම යහපත් ය. ඒ ගැන නැවත විමසීමට ඒ හරහා අවස්ථාවක් ලැබෙන නිසා ය. ඒ නිසා ම වැරදි නියෝග ක්‍රියාත්මක නොවන්නට වුව එයින් මගක් පෑදෙන්නට ඉඩ තිබෙන්නේ ය. එයින් අදහස් කරන්නේ හැම දෙයක් ම ප්‍රශ්න කිරීම යහපත් බව ද? ඇතැම් කෙනෙක් ප්‍රශ්න නගන්නේ ම කඩාකප්පල් කිරීම අරමුණු කර ගෙන ය. එවැනි ප්‍රශ්න කිරීම් යහපත් යැයි අපට කිව නොහැකි ය. යමක් නිවැරදි හෝ වැරදි වන්නේ අවස්ථාව අනුව ය. සන්දර්භය අනුව ය.

ඒ කියන්නේ සුදු වෙසින් කළු ද කළු වෙසින් සුදු ද පැමිණිය හැකි බව ය. එහෙත් ඩිජිටල් තර්කයට මෙය විෂය නොවේ.

යම් රටකට හෝ ආයතනයකට දිගු ඉතිහාසයක්, බොහෝ සෙයින් පොහොසත් දිගු ඉතිහාසයක්, තිබීම ඒ රටට හෝ ආයතනයට ලබා දෙන්නේ ශක්තියක් ද දුර්වලකමක් ද යන ප්‍රශ්නයට බොහෝ අයගේ උත්තරය වනු ඇත්තේ ශක්තියක් යන්න ය. එය අභිමානයට හේතු වන නිසා ම පමණක් නොවේ. දිගු ඉතිහාසයක් තුළ එකතු වූ බොහෝ දෙයින් එය පොහොසත් ද නිසා ය. ආයතනයකට නම් ජනතා විශ්වාසය දිනා ගැනීමට ද ඒ නිසා හැකි වන්‌නේ ය. එහෙත් ඒ ඉතිහාසය ම පහසුවෙන් වෙනස් කළ නොහැකි ගැඹුරට මුල් බැස ගත් සංස්කෘතියක් ද බිහි කරන නිසා එවන් ආයතන පහසුවෙන් වෙනස් කළ නොහැකි ය. ඒ නිසා ම, ශක්තිමත් නායකත්වයක් නොලැබුන හොත්, වේගයෙන් වෙනස් වන ලෝකයක එයට හිමි වනු ඇත්තේ ඩයිනෝසරයන්ට හිමි වූ ඉරණම ය.

ඇතැම් ආයතන වල කුදු මහත් හැම දෙයක් ම නීති ගත වී ඇත්තේ ය. හරියට අපේ රටේ ආණ්ඩුවේ මුල්‍ය හා පරිපාලන රෙගුලාසි වගේ ය. එය කිසියම් විනයක් ඇති කිරීමේ ලා සමත් විය හැකි වුව ද වැඩ කිරීමට බාධා ලෙස ද ඉදිරිපත් විය හැකි ය. අනෙක් අතට සියල්ල නායකයාගේ කට වචනය අනුව තීරණය වන තැනක පැහැදිලිව ම දැක ගත හැක්කේ අරාජිකත්වය ය. ඒ තත්වය මග පාදනු ඇත්තේ වංචාව දූෂණය හා නාස්තියට ය. අප තෝරා ගත යුත්තේ මේ දෙකින් එකක් නොව මැද මාවත ය.

දැඩි බව සැලකෙන්නේ ශක්තියක් ලෙස ය. එහෙත් ඇතැම් දැඩි දෑ බිඳෙන සුළු ය. නම්‍යශීලී නැමුනත් පහසුවෙන් බිඳෙන්නේ නැත. දැඩි දෑ මෙන් නොව නම්‍යශීලී දෑ පහසුවෙන් පාලනය කළ හැකි ය. මේ සඳහා උදාහරණ ලෙස අපට ගස් වැල් ගත හැකි ය. වැලක් පහසුවෙන් ඉවත් කළ හැකි ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කුඩා පිහියක් පමණ ය. එහෙත් විසල් ගසක් එසේ කුඩා පිහියකින් ඉවත් කළ නොහැකි ය. එහෙත් කුණාටුවක දී බිඳ වැටෙන්නේ ගස් මිස වැල් නොවේ. ඒ නිසා ම අපේ නම්‍යශීලතාවය අප ගොනු කළ යුත්තේ ශක්තියක් ලෙස ද නැතිනම් දුර්වලකමක් ලෙස ද යන්න නිර්ණය කිරීමේ දී අප පරිස්සම් විය යුතු ය.

මෙය අදාළ වන්නේ වස්තු විෂයන් සම්බන්ධයෙන් පමණක් නොවේ. සංකල්ප සම්බන්ධයෙන් ද මෙය එක ලෙස ම අදාළ ය. අප අසා ඇති එක් ජනප්‍රිය සංකල්පයක් වනුයේ රෝදය අලුතෙන් සොයා ගත යුතු නැති බව ය. කරන්නට තිබෙන්නේ එය භාවිතා කිරීම ය. එහි අදහස නම් නව දේ නැතිවා ට, කල්පනා කරන්නේ නම්, පැරණි දේ ම භාවිතා කළ හැකි බව ය. එහෙත් රොකට් තාක්ෂණය සොයා ගත් අයට එසේ කළ හැකි වූයේ රෝදයට එහා සොයන්නට ඔවුන්ට උවමනා වූ නිසා ය. 

තවත් එක ජනප්‍රිය කියමනක් වන්නේ කරන දෙය මුල් වටයේ ම හරියට කරන (do things right at the first time) ලෙස ය. එයින් අදහස් කරන්නේ නිසි ලෙස සැලසුම් කර යමක් කිරීමේ වටිනාකම ය. එවිට කාලයත් මුදලත් ඉතිරි වන නිසා ය. වැරදියට නිම කරන ලද දෑ ඉවත දමන්නට සිදු නොවන හේතුවෙන් නාස්තිය අවම වන නිසා ය. එය නිෂ්පාදනයේ දී හරි ය. අපේ මිනුම් ගෙන සන්නාලියෙකු විසින් නිම කරන ඇඳුමක් පළමු වතාවේ නිවැරදි ව නිම නොකළොත් බොහෝ විට එය ඉවත් කරන්නට සිදු වන්නේ ය. එහෙත් පර්යේෂණ කරන අංශයක දී මේ සංකල්පය වැරදි ය. වඩ වඩා විකල්ප නිර්මාණ කරමින් වඩාත් ම නිවැරදි දේ නිෂ්පාදනය කරන්නේ දැයි සොයා ගැනීමට මේ සංකල්පය හරස් වෙයි. එහි දී කළ යුත්තේ ලැබෙන පළමු විකල්පයෙන් සෑහීමකට පත් නොවී තව තවත් දියුණු කළ හැකි දැයි (continuous improvement) සොයා බැලීම ය. අද අප භාවිතා කරන ජංගම දුරකථන බොහෝමයක් වඩ වඩාත් දියුණු බවට පත් ව ඇත්තේ මේ අනවරත අත්හදා බැලීම් කරන ලද නිසා ය.

මේ ඊනියා කළු හා සුදු වර්ග වල ද්විත්ව හැසිරීම හරියට ම තේරුම් ගත් රට ජපානය ය. එය ඔවුන් නිරූපනය කරන්නේ යින් යැන් (yin – yang) සංකේතය හරහා ය. එක ම දෙයක කළු හා සුදු දෙවර්ගයේ ම පැවැත්ම ද අප කළු යැයි දකින පැති කඩේ වුව සුදු තිබිය හැකි බව හා සුදු යැයි දකින පැති කඩ තුළ පවා කළු තිබිය හැකි යැයි එය අපට මතක් කර දෙන්නේ ය.

“සෝඩා බෝතල්” නායකත්වය හා තිරසර නායකත්වය


  • නිශාන්ත කමලදාස

අලස ව වැඩ කරන පිරිසක් උද්යෝගිමත් කර වැඩක යෙදවීමට දක්ෂ නායකයෙකුට හැකි ය. ඒ සඳහා ඔහු‌ හෝ ඇය විසින් උපයෝගී කර ගනු ඇත්තේ සැමට එකතු විය හැකි, බෙදා හදා ගත හැකි, ඉහළ පරමාර්ථයකි. අනුගාමිකයන් දිරි ගැන්වීම පිණිස ඒ පරමාර්ථය ආශ්වාද ජනක යමක් බවට, සැමට එක් විය හැකි කටයුත්තක් බවට, පත් කිරීම සඳහා සිය වදන් පමණක් නොව ආදර්ශය ද ඔහු හෝ ඇය විසින් යොදා ගනු ලබනවා ඇත. ඒ පෙළඹවීම මත පිහිටා අසාමාන්‍ය පිබිදීමක් ආයතනයකට හෝ ව්‍යාපෘතියකට ක්ෂණිකව ලබා දීමට එවන් නායකයෙකුට හැකි ය.

සමගි පෙරමුණ රජය 1970 දී බලයට පත් වූ වහා ම ලංගම සේවකයන් එක් වී ධාවනයෙන් ඉවත් කර තිබූ බස් විශාල ගණනක් පිළිසකර කර ධාවනයට යෙදවූ බවත් ඒ ගැන රට තුළ විශාල ප්‍රසිද්ධියක් ඇති වූ බවත් මට මතක ය. ඊට වසර පනහක් සපිරෙන්නට ඔන්න මෙන් කියා තිබිය දී එනම් 2019 දී ගෝඨාභය බලයට පත් වූ අලුත චිත්‍ර වලින් තාප්ප සරසමින් තරුණයන් ප්‍රමුඛ විශාල පිරිසක් උද්යෝගයෙන් ඊට තරමක් සමාන ව ඒ ජය සැමරූ ව මේ කියවන ඔබට ද මතක ඇතුවාට සැක නැත. ඔක්තෝබර් විප්ලවය සිදු වීමෙන් පසු මුල් කාල වකවානුවේ ද එවැනි ම උද්යෝගයක් රුසියාව තුළ තිබූ බවට සෝවියට් සාහිත්‍යය පිරික්සීමෙන් පිරි සිඳ ව දැක ගත හැකි ය. ඒ නිසා මෙය කාලය අභිභවන, දේශය අභිභවන, පොදු මිනිස් ගුණාංග මතු කරන ක්‍රියාවලියක් සේ අපට සැලකිය හැකි ය. ඒ ඉහළ පරමාර්ථයක් වෙනුවෙන් සිය පෞද්ගලික උවමනා දෙවැනි තැනට ලා කැප වීම ය.

හැඟීම් හා ආවේග මත පදනම් ව කෙරෙන මේ හැසිරීම සොලවා මූඩිය ඉවත් කළ සෝඩා බෝතලයක හැසිරීමට සමාන ය. ඉක්මනින් නැවත “යථා” තත්වයට පත් වීමට නියමිත ය. අප ඒ නිසා ම සංවාදයේ පහසුව සඳහා මෙවැනි නායකත්ව මැදිහත් වීම් සෝඩා බෝතල් නායකත්ව මැදිහත් වීම් යන ලේබලය යටතේ වර්ග කර කතා කරමු. ඊට වෙනස් නායකත්ව මාදිලියක් තිබේ. එය සෝඩා බෝතල් නායකත්වය මෙන් තාවකාලික නැත. ඊට වඩා තිරසාර ය. ලොකු කලබලයක් කළබැගෑනියක් නැතිව සිදු වන එය අප තිරසාර නායකත්ව මාදිලිය ලෙස හඳුන්වමු.

මේ දෙවර්ගය ගැන ගැඹුරට විමසන අය බැලිය යුත්තේ ආදරයෙන් බැඳෙන යුවලකගේ මුල් අවදිය හා පසු අවදිය දෙස ය. ඒ අවදි දෙක අතර ඇති වෙනස දෙස ය. ආදරයෙන් බැඳුණු අලුත සියල්ල සුන්දර ය. අනෙකා වෙනුවෙන් කළ හැකි කැප කිරීමට ඉමක් නැත. දිවි වුව දෙන්නට සූදානම් ය. මේ මධුසමය අවසන් වන විට සැබෑ ජීවිතයට මුහුණ දීමට දෙදෙනාට ම සිදු වේ. භාවමය හැඟීම් කන්නට බැරි ය. අඳින්නට බැරි ය. ඒවා හෙවනක් සදන්නේ නැත. ගමන් බිමන් යන්නට වාහනයක් කර ගන්නට බැරි ය. ඒවා දිගින් දිගට නිකම් ම නඩත්තු කරන්නට ද බැරි ය. බොහෝ විට පෙම්වතියට සිදු වන්නේ “යෞවනයේ දුටු ඔහු ම ද මේ, ඔහුට ද මා අන්ධ වුනේ” යනුවෙන් නන්දා මාලිනිය සේ මිමිණීමට ය. මෙයින් පෙනෙන්නේ පෙම්වතුන්ට ද අත් වෙන වෙනස් සංගෙඩියක් නැති බව ය. එකක් වැරදී අනෙක හරි යන්නට ඉඩක් නැති නිසා ය.

මුල දී ඇති කර ගත් සම්බන්ධය දිගට ම ගෙන යා හැක්කේ දෙදෙනා වගකීම් බෙදා ගැනීමට එකඟ වීමෙනි. එසේ කොට ප්‍රමාණවත් ආදායමක් ඉපයීමෙනි. එය අරපරිස්සමින් වියදම් කිරීමට එකඟ වීමෙනි. මේ කටයුතු වල දී අනෙකාගේ වෙනස් අපේක්ෂා වලට ද ගරු කිරීමෙනි. වෙනස් අනන්‍යතා පිළිගැනීමෙනි. මේ සඳහා හැඟීම් හා ආවේග ප්‍රමාණවත් වන්නේ නැත. කරුණු සංඛ්‍යාලේඛන මත පදනම් ව කටයුතු කරන තාර්කික බුද්ධිය ද ඊට අවශ්‍ය ය. උද්යෝගය පමණක් සපයන සෝඩා බෝතල් නායකත්වයට තවදුරටත් මේ නිවස තුළ වැජඹෙන්නට ඉඩක් නැත. දැන් අවශ්‍ය වන්නේ වැඩුණු පරිණත තිරසාර නායකත්වයකි. එවැනි නායකත්වයකින් අපේක්ෂා කරන්නේ කරන වැඩ ප්‍රමාණයට සරිලන ප්‍රතිලාභ ය. උපයන ප්‍රමාණයට අනුරූප බෝනස් ය. ලස්සණ වචන වලින් සරසා ඉදිරිපත් කරන විසිතුරු ආලවට්ටම් නොව අතට හසු වන ද්‍රව්‍යමය ලාභ ප්‍රයෝජන ය.

මෙයින් අදහස් කරන්නේ හැඟීම් අභාවයට ගොස් ඇති බව නොවේ. ඒවාට දිගින් දිගට තනි ව සිට ගැනීමට නොහැකි බව ය. ඒවා යුක්ති යුක්ත ද්‍රව්‍යමය හා ක්‍රියාකාරී ජීවිතයකට බද්ධ වී නැගී සිටිය යුතු බව ය. මහ පොළොවේ යථාර්ථය සමග බැඳීමක් ඇති ව නැගී සිටිය යුතු බව ය. පොළොවට ගැට ගසන මුල් නැත්නම් මේ භාව හා හැඟීම් නිකම් ම ආකාශයේ පාවී යනු ඇති බව ය.

සෝඩා බෝතල් නායකත්වය හා තිරසර නායකත්වය යනු එකිනෙකට ප්‍රතිපක්ෂ මාදිලි දෙකක් ලෙස නොසැලකිය යුතු ය. වඩාත් නිවැරදි වන්නේ ඒවා නායකත්වයේ නිශ්චිත අවදි දෙකක් ලෙස සලකා කටයුතු කිරීම ය.

ආරම්භයේ දී උද්යෝගය ඇති කිරීම වැදගත් ය. මිනිසුන් වඩාත් ඉහළ පරමාර්ථයක් වෙනුවෙන් ගොනු කිරීම වැදගත් ය. ඒ සඳහා දායකත්වය සැලසීමට හැමට හැකි වාතාවරණයක් බිහි කිරීම වැදගත් ය. කැප කිරීම් වැදගත් ය. ඒවා අගය කිරීම වැදගත් ය. එහෙත් පියවරෙන් පියවර ඉදිරියට යන විට වඩාත් වැදගත් වන්නේ අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම ය. ප්‍රතිපත්ති සැකසීම ය. ප්‍රතිලාභ ලැබෙන ක්‍රම ස්ථාපිත කිරීම ය. පුද්ගලයා නැතත් ආයතනය ඉදිරියට යන පරිදි ක්‍රියාවලි සකස් කිරීම ය. සංචරණ හා තුලන (check and balances) සකස් කිරීම ය. ක්‍රමයෙන් තිරසාර නායකත්වයකට මාරු වීම ය.  

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු පසු මුල් වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණට හිතවත් අය නන් දෙසින් පැමිණ සභාවේ වැඩ කටයුතු වලට උදව් වූ බවට තොරතුරු පළ විය. එහෙත් පාලන කාලය අවසන් වූයේ ජනතා විමුක්ති පෙරමුණ ඉන් පරාජය කරමින් ය. රටේ මිනිසුන් කළ ගුණ නොසැලකූ බව කියා මිනිසුන් පිට වරද පැටවිය හැකි ය. එහෙත් එවිට සිදු වන්නේ ඇත්ත මතු නොවීම ය. එයට සැබෑ හේතුව වූයේ මේ ශ්‍රමදාන මත පදනම් ව ගොඩ නැගෙන දේ දිගින් දිගට පවත්වා ගැනීම දුෂ්කර වීම ය. සෝඩා බෝතල් නායකත්වය තිස්සමහාරාමය ට ලැබුණු නමුත් තිරසාර නායකත්වයක් නොලැබීම ය.

උද්යෝගය මතු කිරීම එකකි. ඒ උද්යෝගය දිගින් දිගට පවත්වා ගැනීම තවත් එකකි. මේ දෙක ම නායකත්වයේ වගකීම් ය. මධුසමය අවසන් විය යුත්තේ වඩා තිරසාර ජීවිතයකට පදනම සකස් කරමිනි. එසේ නොකරන අය සූදානම් විය යුත්තේ ඉදිරියේ පැමිණීමට නියමිත දික්කසාදයට ය.

“අර්බුද” කළමනාකරණය


  • නිශාන්ත කමලදාස

අභ්‍යන්තර කැරලි තරමට ම වරින් වර පැමිණෙන අර්බුද ද කළමනාකරණය කිරීමට කළමනාකරුවන්ට සිදු වේ. සාමාන්‍ය අපට ද ඇතැම් විට සිදු වේ.

අර්බුද පැන නගින හේතු දෙකකි. එකක් නම් නොසිතූ වෙනස් කම් බාහිර ලෝකයේ සිදු වීම ය. දෙවැන්න වන්නේ අභ්‍යන්තර ව එවැන්නකට මුහුණ දීමට සූදානමක් හෝ ශක්තියක් අප වෙත නොතිබීම ය. මේ සඳහා හොඳ ම උදාහරණය සපයන්නේ අප රට මුහුණ පෑ ආර්ථික අර්බුදය ය. එයට බල පෑ බාහිර හේතුව වූයේ කෝවිඩ් වසංගතය ය. එහෙත් කෝවිඩ් වසංගතයට මුහුණ පෑවේ අප රට පමණක් නොවේ. ඊට අමතර ව, සෙසු රටවලට සාපේක්ෂව කෝවිඩ් අපට අසාමාන්‍ය බලපෑමක් කළේ යැයි ද කිව නොහැකි ය. ඇත්තට ම ඉන් අප බැට කෑවේ සාපේක්ෂව අඩු මට්ටමකට ය. එහෙත් එය කළමනාකරණය කළ නොහැකි අර්බුදයක් අප රට තුළ ඇති කළේ ය. එයට හේතුව කුඩා හෝ වෙනසකට මුහුණ දිය හැකි ශක්තියක් ඒ වන විට ආර්ථික වශයෙන් අපට නොතිබීම ය. දස අතේ ණය වී තිබීම ය. ගෙවා ගන්නට බැරි තරමට ම ණය වී සිටීම ය. බදු කපා දමා ආදායම ද අඩු ම මට්ටමකට හෙළා තිබීම ය. ඒ තත්වය යටතේ ලැබෙමින් පැවති ආදායමේ පුංචි අඩු වීමකට හෝ ඉඩක් තිබුණේ නැත. ඉතින් ආදායම අඩු ව ගිය විට අපේ පස්ස ම බිම ඇනුණේ ය.

එයින් අදහස් කරන්නේ කෝවිඩ් වසංගතය නාවේ නම් මේ අර්බුදය ඇති නොවන බව නොවේ. අර්බුදය අපේ අභ්‍යන්තර දුර්වලකම් නිසා කොහොමටත් සිදු විය හැකි ව තිබුණු එකකි. කෝවිඩ් වසංගතය සිදු කළේ එය ඉක්මන් කිරීම පමණකි.

කැරලි සම්බන්ධයෙන් කල් ඇති ව දැන ගැනීමේ ලා තොරතුරු ඉවහල් වන ආකාරය අප පසුගිය කලාපයේ කතා කළා ඔබට මතක ඇත. අද මේ කියන්නට යන්නේ අර්බුද සම්බන්ධයෙන් ද එය එසේ ම අදාළ බව ය. වෙනසකට ඇත්තේ කැරලි මෙන් අර්බුද සම්බන්ධයෙන් සූදානමක දී අභ්‍යන්තර මෙන් ම බාහිර තොරතුරු ද තීරණාත්මක වන බව ය. ඇන්ටෙනා බාහිර ලෝකයට ද දමා ගෙන සිටිය යුතු බව ය.

අභ්‍යන්තර තොරතුරු සොයන, ඒවා ගැන සංවේදී, බොහෝ කළමනාකරුවන් පවා බාහිර ලෝකයේ තොරතුරු සම්බන්ධයෙන් දක්වන්නෙ ඇල් මැරුණු උනන්දුවකි. එයට එක් හේතුවක් වන්නේ බාහිර ලෝකයේ තොරතුරු දැන ගත්ත ද ඒ සම්බන්ධයෙන් තමන්ට කළ හැකි දෙයක් නැතැයි සිතීම ය. ඔවුන් පරාජයට පත් වන්නේ ඒ නිසා ය. බාහිර ලෝකය වෙනස් කරන්නට බැරි යැයි කීම වැරදි ය. අමාරු යැයි කීම හරි ය. වඩාත් හරි වන්නේ අප බාහිර ලෝකයේ ඇති තතු දැන ඊට අනුරූප ව අභ්‍යන්තරික ව සකස් විය යුතු ය යන්න ය. විශේෂයෙන් ම අප ජීවත් වන්නේ අතිශයින් ගෝලීයකරණයට ලක් වූ ලෝකයක නිසා මෙය වඩාත් හරි ය.

ලෝකයේ වෙනත් කලාපයක සිදු වන යුද්ධ පැතිරෙන වසංගත තරමට ම අපට බල පාන්නේ ය. යුක්රේන් යුද්ධය හා පලස්තීන-ඊශ්‍රායල් ගැටුම් තෙල් මිලට ඍජුව ම බල පා තිබෙන්නේ ය. දේශපාලන පෙරළි ද අපට බල පාන්නේ ය. ඊළඟ වටයේ දී ඇමරිකාවේ ජනාධිපති බවට ට්‍රම්ප් පත් වුවහොත් එය ඇමරිකාවට පමණක් නොව මුලු ලොවට ම විවිධ අයුරින් බලපානු ඇත්තේ ය.

ඇතැම් ඒවා අයහපත් අතට පමණක් නොව යහපත් අතට ද බලපාන්නේ ය. ඇතැම් ඒවා තර්ජන ගෙනෙන විට ඇතැම් ඒවා අපට අවස්ථා ගෙනෙන්නේ ය. තාක්ෂණ ක්ෂේත්‍රයේ සිදු වෙමින් පවතින බොහෝ දේ සම්බන්ධයෙන් මෙය සත්‍යය ය. බැටරි තාක්ෂණය වර්ධන වන වේගය අනුව අපට නුදුරේ දී හිරු එළියෙන් ම අපට අවශ්‍ය බල ශක්තිය උපයා ගැනීමට හැකි වීමේ ඉඩ ප්‍රස්ථා ඇති විය හැකි ය. ඒ නිසා ම නුදුරේ දී ලංකා විදුලි මණ්ඩලය වසා දැමීමට වුව හැකියාවක් ඇත්තේ ය.

ඇතැම් විට අප අර්බුදයට ලක් වන්නේ බාහිර තර්ජන විසින් ම නොවේ. ලෝකය අප වෙත ඉදිරිපත් කරන්නේ තර්ජන පමණක් නොවේ. බොහෝ විට අවස්ථා ද ඉදිරිපත් වේ. ඇතැම් තැනක අර්බුදයට හේතු වන්නේ මෙසේ ඉදිරිපත් වන බාහිර අවස්ථා අප විසින් ප්‍රයෝජනයට නොගැනීම ය. තොරතුරු තාක්ෂණය මීට දිය හැකි හොඳ ම උදාහරණයකි. තොරතුරු තාක්ෂණය නිසි ලෙස භාවිතයට ගැනීමට අප බිය නොවන්නේ නම් අපේ ගමන් බිමන් බොහෝමයක් අඩු කර ගැනීමේ හැකියාව ඇත. දැනට මත් අප විසින් එක්තරා දුරකට ඒවා භාවිතා කරමින් සිටිතත් තව බොහෝ දුරක් යෑමේ ශක්‍යතාව ඒ සම්බන්ධ ව අපට තිබේ.

ඇතැම් තැනක අපේ ප්‍රශ්නය වන්නේ එක ම වෙනස තුළ යහපත ද අයහපත ද තිබීම ය. එසේ තිබිය දී එකක් දැක අනෙක නොදැකීම ය. කලින් පැවති ආණ්ඩුව විසින් පාසල් සිසුන්ට ටැබ් ලබා දීමට ගෙනා යෝජනාව තුළ බොහෝ අය දුටුවේ ළමුන් ඒ හරහා අපචාරයට ලක් වීමේ ඉඩ කඩ ය. ඒවා වැළැක්වීමට කොතෙක් මාර්ග තිබුණ ද ඒවා නොදුටු නොඇසූ ලෙසින් ම නරක ම උලුප්පන ලද්දේ ය. අප ඒ දේ කර තිබුණේ නම් කෝවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපනය මේ තරම් දරුණු පසුබෑමකට ලක් වන්නේ නැත. ඒ, පොත් පත් මුද්‍රණය අවශ්‍ය නොවීම, ඒ නිසා පරිසරයට සිදු වන හානිය අවම වීම, රජයට දරන්නට වන පිරි වැය අවම වීම, පොත් බෑග් අවශ්‍ය නොවීම, ඒ නිසා විශාල පොත් ප්‍රමාණයක් සහිත බෑග් උසුලා ගෙන යෑමට සිදු වීම හේතුවෙන් දරුවන්ට හා නොදිරන බෑග් එකතු වීමෙන් පරිසරයට සිදු වන හානි පමණක් නොව පවුලේ ආර්ථික බර ද අඩු වීම වැනි තවත් බොහෝ වාසි අතර ය.

මේ සියල්ලෙන් පෙනී යන්නේ අභ්‍යන්තර තොරතුරු තරමට ම රටේ හා ලෝකයේ සිදු වන වෙනස් කම් හා නැඹුරුතා පිළිබඳ ව ද ආයතනයක කළමනාකරුවෙකු, රටේ පුරවැසියෙකු මෙන් ම, අප වැනි සාමාන්‍ය මිනිසුන් ද අවධානයෙන් සිටිය යුතු බව ය. ඒවා සම්බන්ධ තොරතුරු එක් රැස් කළ යුතු බව ය. ඒවා අපගේ අභ්‍යන්තර තොරතුරු සමග ගලපමින් අප සිටින්නේ මේ සිදු වන හෝ සිදු වීමට නියමිත වෙනස් කම් වලට මුහුණ දිය හැකි හා ඒවා අපේ වාසියට භාවිතා කළ හැකි මට්ටමක ද යන්න පිළිබඳ ව නිරන්තර විමසිල්ලෙන් සිටිය යුතු බව ය.

කැරලි පමණක් නොව අර්බුද ද වැළැක්විය හැක්කේ, කළමනාකරණය කළ හැක්කේ, ඒ අවධානය අපට තිබුණොත් පමණ ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අභ්‍යන්තර මෙන් ම බාහිර තොරතුරු පිළිබඳ ව ද සංවේදී වීම ය.

“කැරලි” කළමනාකරණයට දත්ත හා තොරතුරු


  • නිශාන්ත කමලදාස

හදිසියේ ඇති වුන “කැරැල්ලක්” අප ව මවිත කර වනවා. සලිත කර වනවා. කොහොම ද එහෙම වුනේ? ලොකු දෙයක් නැතිව ම? එක පාරට ම හදිසියේ? අදහ ගන්නත් අමාරුයි. කොච්චර හොඳට හිටපු කෙනෙක් ද? එහෙම ඉවසීමක් කෙනෙකු තුළ දකින්න ලැබීම ම අරුමයක් කියලයි හිතුවෙ. ඒත් කොච්චර පොඩි දෙයක් ද ඔ්න වුනෙ සියල්ල වෙනස් කරන්න.

මේ කියන්නෙ කෙනෙකු තමන්ගෙ බිරිඳ ගැන එහෙමත් නැත්නම් දරුවෙකු ගෙන ඒත් නැත්නම් යාළුවෙකු හෝ සගයෙකු ගැන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආයතනයක් ගැන රටක් ගැන වෙන්න පුළුවන්.

මොකක් ගැන කියවුනත් මේ කතාව ඔබ අසා ඇතිවා ට, අත් විඳ ඇතිවා ට, කිසි දු සැකයක් නැහැ. ඔව්. සමහර ඒවා නිහඩ ව එකතු වෙනව. ටිකෙන් ටික. හරියට රත් වෙන වතුර කේතලයක් වගේ. පුංචි කෙඳිරියක් විතරයි ඇහෙන්නෙ. රත් වුනාට, ටිකෙන් ටික උණුසුම ඉහළ ගියාට, මුකුත් වෙන එකක් නෑ වගේ කියල අපි හිතනව. අපි දිගින් දිගට ම රත් කර ගෙන යනව. ඒත් ඒක එක මොහොතක මේ සාමය පුපුරල යනව. එතකොට අපි කියනව වතුර නටනව කියල.

බැලුමක වෙන්නෙත් මේක ම තමා. පුම්බන කොට එන්න එන්න ම ලොකු වෙනව. අපට හිතෙනව තව ලොකු කරන්න පුළුවන් කියල. ඒත් එක මොහොතක ලොකු සද්දෙකුත් එක්ක බැලුම පුපුරනව.

මේකෙ කළමනාකරුවන්ට තියෙන වැදගත් කම මොකද්ද? සාමකාමී ව සියල්ල සිදු වෙන බවක් පෙනුන ට එයින් සෑහීමකට පත් වෙන්න බැහැ කියන පාඩම. අප දිගින් දිගට මිණුම් ගන්න ඔ්න කියන එක. වතුරෙ උෂ්ණත්වය මනින්න ඔ්න කියන එක, බැලුමෙ පීඩනය මනින්න ඔ්න කියන එක. එතකොට අප ට කැරලි වලට මුහුණ දෙන්න සිදු වෙන්නෙ නෑ කියන එක. සිදු වන්නට යන දේ පුරෝකථනය කරන්න ඒ නිසා ම අපට හැකි වෙනව කියන එක. සිදු වෙන්නට යන දේ පාලනය කරන්නටත් ඒ නිසා ම ඉඩ විවර වෙනව කියන එක.

අද දවස ගැන කල්පනා කරන, එයින් සෑහීමකට පත් වෙන, අයට මේක මිස් වෙනව. මොකද අද දවසෙ මුකුත් වෙන්නෙ නැති නිසා. ඒත් හෙට උදා වෙන කොට ඔවුන් ඇද වැටිල ඉවරයි. ඒ අදහ ගන්න බැරි පුදුමයකුත් ඉතිරි කරල. ඒ නිසා ම අද ජීවත් වෙද්දි හෙට ගැන ඇන්ටෙනා දාගෙන ඉන්න වෙනවා. වගකීමක් දරන කළමනාකරුවෙකුට එයින් ගැලවෙන්නට බැහැ.

අපේ රටේ ආර්ථික අර්බුදය ගැන පුරෝකථනය කළ කීප දෙනෙක් හිටිය. ඒ වුනාට බහුතරය එය ගණනකට ගත්තේ නැහැ. අපේ රටේ කැරලි දෙකක් ඇති වෙනව. ඒව මෝදු වෙමින් තියෙන කාලෙ ඒවා මෙහෙම තැනකට පත් වෙයි කියල පුරෝකථනය කළෙත් ටික දෙනෙක් විතරයි. අන්තිමට ඒ කැරලි දෙක සම්බන්ධයෙන් ම ආණ්ඩුවට පවා පුදුමයට පත් වෙන්න සිද්ද වුනා. යුද්දෙට වුනෙත් සිද්ධ වුනෙ ඒක මයි. ඒක මේ විදිහට ඇති වෙයි කියලවත් ඒක මේ විදිහට දිග්ගැස්සෙයි කියලවත් පුරෝකථනය කරන්න අපට බැරි වුනා. උතුරේ දැඩි පොලිස් පාලනයකට හමුදා පාලනයකට යටත් කරල තිබුණා. යාපනයෙ පොලීසිය ඉස්සරහින් පාපැදියක නැගල යන්න අවසර තිබුණෙ නෑ. ඒ සියල්ල මිනිස්සු ඉවසගෙන කාලයක් හිටිය. ආණ්ඩුවට විතරක් නෙවෙයි රටේ බහුතරයකටත් බැරි වුනා, රට පිළිගත්ත නායකයො කාටවත් බැරි වුනා, සිද්ධ වෙන්න යන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න.

ගෝලීය උණුසුම ගැන නම් දැනටමත් පුරෝකථන ගොඩක් තියෙනව. ඒව ඉදිරිපත් කරල තියෙන්නෙ අප කලින් කීව වගේ ම මිණුම් මත පදනම් වෙමින්. ඒත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් නැති වෙන්න මේ පුරෝකථන සම්බන්ධයෙන් ඇති විශ්වාසයේ අඩුව බලපාල තියෙන්න පුළුවන්. මිණුම් මත තීරණ ගන්නව වෙනුවට පිටට පෙනෙන ලක්ෂණ මත තීරණ ගැනීම මේ සම්බන්ධයෙන් වුනත් බලපාන්න ඉඩ තියෙනවා. ඔය කිව්වට රස්නෙ නෑනෙ. ඔය ප්‍රලාප. අප ව වට්ටන්න කරන ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණ. ඔබ මිණුම් වෙනුවට විශ්වාස කරන්නෙ එවැනි හිතළු ද? ඔබට දැනෙන හැඟෙන දේ ද?

ගෝලීය ප්‍රශ්න ගෝලීය නායකයන්ට පවරල, රටේ ප්‍රශ්න රටේ නායකයන්ට පවරල, අපි අප විසින් කළමනාකරණය කරනු ලබන ආයතන වලට, අපේ පවුලට, එහෙමත් නැත්නම් අපේ ම ශරීරයට, මේ කතාව ගලපා ගන්නට බලමු.

අප සපයන සේවා ගැන, අප විකුණන භාණ්ඩ ගැන, අප අවශ්‍ය මිණුම් ගන්නවා ද? ඒවායේ වෙනස් වීම් නැඹුරුතා විමසනවා ද? අපේ වෙළඳ පොළ පංගුව අඩු වන බවක් පෙනෙනවා නම් අප ඊට හේතු හොයනවා ද? ආයතනයේ සේවකයන් ඉවත් යන වේගය වැඩි වී තිබේ නම් අප ඒ ගැන විමසිලිමත් වෙනවා ද? වෙනත් අංශ වල සේවකයන්ට වඩා එක් නිශ්චිත අංශයක සේවකයන් වැඩට පැමිණීමේ දුර්වලතාවක් පෙන්වනවා නම් ඔබ ඒ ගැන තවදුරටත් සොයනවා ද? අපේ ඇතැම් වියදම් වල අසාමාන්‍ය වැඩි වීමක් පෙන්නුම් කරනවා දැයි අප සොයා බලනවා ද? එවැන්නක් සිදු වේ නම් අප ඊට හේතු විමසනවා ද? මේ අප සඳහන් කළේ අපේ අවධානය ලැබිය යුතු දත්ත හා තොරතුරු කීපයක් පමණයි. ඒවා සම්බන්ධයෙන් අප ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් ගැන පමණයි. මෙවැනි දත්ත හා තොරතුරු  රාශියකට කළමනාකරු සංවේදී වෙන්නට ඔ්නෑ. ඒක හරියට ශරීරය සම්බන්ධ වෛද්‍ය ගවේෂණ සිදු කරනව වගේ ම තමා. පුංචි වෙනස් වීමක් ගැන වුනත් සැලකිලිමත් වෙන්න වෙනවා.

මෙවැනි දත්ත හා තොරතුරු අප විසින් නිරන්තරයෙන් රැස් කරනවා ද? ඒවා කවරේ දැයි අප දන්නවා ද? ඒ සඳහා නිශ්චිත ක්‍රමවේද අප විසින් සකස් කර තිබේ ද? ඒ ක්‍රමවේද මගින් අවශ්‍ය දත්ත හා තොරතුරු සියල්ල ලැබෙනවා ද? ඒවායේ විශ්වසනීයත්වය මූලාශ්‍ර කීපයක් යොදා ගනිමින් ඔබ තහවුරු කර ගන්නවා ද?  දත්ත එකතු කරනවා වගේ ම දත්ත සකස් කරල ඒවා තොරතුරු හැටියට ලබා ගන්නවා ද? ඒවා අර්ථ නිරූපනය කරනවා ද? තේරුම විමසනවා ද? ඒවාට හේතු හොයනවා ද? ඒවා නිෂේධනීය ප්‍රතිඵල ඇති කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නවා ද? මේ සියල්ල නොකර ඔබේ රටේ, ආයතනයේ, පවුලේ හෝ ශරීරයේ සාමය දිගින් දිගට පවතී යැයි සිතනවා නම් ඔබට හෙට අනිද්දා ම පුදුම වෙන්නට සිදු වනු ඇත.  

ආයතනික සම්පත් විකිණීම හා ණය ගැනීම


-නිශාන්ත කමලදාස

මේ දිනවල බොහෝ දෙනාගේ කතාවට මාතෘකා වී ඇති එකක් ලෙස සැලකිය හැක්කේ නුවරඑලිය තැපැල් කන්තෝරුව හෝටලයක් සඳහා විකිණීමට යන පුවත ය. සමහරු එය සලකන්නේ ජාතික සම්පතක් විකිණීම ලෙස ය. නොකටයුත්තක් ලෙස ය. තවත් සමහරු එය අර්ථ දක්වන්නේ නිසි ප්‍රයෝජනයට ගෙන නොමැති සම්පතක් ආදායම් නිපදවිය හැකි උල්පතක් කර ගැනීමක් ලෙස ය. ඉතා සාධනීය පියවරක් ලෙස ය. ඇත්තට ම එය කවර ගණයේ ලා සැලකිය යුතු ද?

ණය ගැනීම සම්බන්ධයෙන් ද මීට සමාන සංවාදයක් පවතින්නේ ය. සමහරු ණය ගැනීමට එක‌ හෙලා විරුද්ධ ය. ඔවුන් කියන්නේ රට මේ තත්වය ඇද වැටුණේ ද ණය ගැනීම නිසා බව ය. ප්‍රතිවිරුද්ධ පාර්ශවය කියන්නේ ණය ගැනීමෙන් තොර ව නිසි සංවර්ධනයක් කළ නොහැකි බව ය. රට පමණක් නොව ආයතනයකට පවා දියුණු විය නොහැකි බව ය. ඔවුන්ට අනුව වැරැද්ද ඇත්තේ ණය ගැනීමේ නොව ඒ ණය වලින් ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති වෙනුවට සුදු අලියන් නිර්මාණය කිරීමේ බව ය.

මේ ක්ෂේත්‍ර දෙක ම වැටෙන්නේ මූල්‍ය පරිපාලනයට ය. රටකට පමණක් නොව ආයතනයකට ද ඊටත් අමතර ව පුද්ගලයින්ට ද නිසි මූල්‍ය පරිපාලනයක්, කළමනාකරණයක්, අවශ්‍ය ය. සම්පත් විකිණීම හා ණය ගැනීම යන ඉහත ක්ෂේත්‍ර දෙකෙන් ම කරන්නේ ආයතනයේ හෝ පුද්ගලයෙකුගේ පැවැත්මට අත්‍යවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සරි කර ගැනීම ය. ඇතැම් තැනක මෙහි අදහස වඩාත් ලාබ ලැබෙන ව්‍යාපෘති වල ආයෝජනය කිරීමට මුදල් සෙවීම ය. සමහර අවස්ථාවල මේ මුල්‍ය ප්‍රතිපාදන ආයතනයේ යහපැවැත්මට හා දියුණුවට නැති ව ම බැරි ය. ඒ මුදල් වියදම් නොකර මුදල් ඉපැයිය නොහැකි නිසා ය.

නුවරඑලිය යනු සංචාරක ආකර්ෂණය දිනා ගත් පුරවරයකි. එහි තැපැල් කන්තෝරුව පිහිටියේ ඒ නගරයේ මර්මස්ථානයක ය. එය විශාල සුන්දර භූමි භාගයක පැතිර ඇති පෞරාණික වටිනාකමක් ඇති ගොඩනැගිල්ලකි.  එසේ වුව ද ආරංචි වල හැටියට ඒ ගොඩනැගිල්ල නඩත්තු කිරීමට අවශ්‍ය තරමේ වත් මුදලක් උපායා ගැනීමට එය සමත් ව නැත. ඒ නිසා එය දිනෙන් දින අභාවයට යන ලකුණු ද පහළ කොට තිබේ. මේ තත්වය යටතේ මෙය තැපැල්හලක් ලෙස පමණක් නඩත්තු කිරීමේ අර්ථයක් තිබේ ද? එහි සුරක්ෂිතතාවත් පෞරාණික බවත් ආරක්ෂා කරන අතරතුර එය රටට වඩාත් වැඩි ආදායමක් උපයන දෙයක් බවට පත් කර ගැනීම වැදගත් නැද්ද?

අපේ අවධානය යොමු කළ යුත්තේ මෙය විකුණනවා ද නැද්ද යන ගැන නොව විකුණන්නේ කෙසේ ද, කුමන අගයකට , ඒ ක්‍රියාවලිය තුළ විනිවිද භාවයක් තිබේ ද, ඒ විකිණීමේ දී කෞතුක වටිනාකම ආරක්ෂා කිරීමට අවශ්‍ය කොන්දේසි තිබේ ද යන කාරණ සම්බන්ධයෙනි. අප ප්‍රවේසම් විය යුත්තේ මිලට ගන්නා තැනැත්තා මේ පෞරාණික ගොඩනැගිල්ල කඩා බිඳ දමා එහි ඇති කෞතුක භාණ්ඩ විකුණා ගෙන හිස් ඉඩම කාට හෝ වැඩි මිලකට විකිණීමේ අභිප්‍රායෙන් මෙය මිල දී ගන්නේ ද යන්න ගැන සොයා බැලීමට ය. එවැන්නක් වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ හුවමාරුව තුළ තිබේ දැයි සොයා බැලීමට ය.

නුවරඑලියේ තැපැල් කාර්යාලය රජයේ ගොඩනැගිල්ලකි. අපේ පෞද්ගලික වත්කමක් ගෙන මේ කරුණ විමසමු. අප සතු විශාල නිවසක් ඇතැයි මොහොතකට හිතමු. දැනට ඒ නිවසේ වාසය කරන්නේ වියපත් දෙමාපිය යුවලකි. දරුවන් තමන්ගේ ම නිවෙස් හදා ගෙන පදිංචියට ගොස් ඇත. මේ නිවස නඩත්තු කිරීමට පමණක් නොව පවත්වා ගෙන යෑමට ද වියදමක් පමණක් නොව ශ්‍රමයක් ද කාලයක් ද වැය කළ යුතු ය. එය කිරීමට අවශ්‍ය ජවයවත් ප්‍රමාණවත් අරමුදල් වත් මේ දෙපොළට නැත. වසරකට වරක් දරුවන් එක් වෙන තැනක් හැටියට එයට වටිනාකමක් ඇතත් ඒ වෙනුවෙන් මේසා මුදලක් ශ්‍රමයක් කාලයක් වෙන් කිරීම ගැන නැවතත් ඔවුන් විසින් හිතා බැලීම පාපයක් ද?  ඊටත් අමතරව ඉදිරි කාලය හොඳින් ගත කිරීමට මේ යුවලට ප්‍රමාණවත් මුදලක් ද නැත. ඉතින් මේ වත්කම විකුණා කුඩා ගෙදරක පදිංචියට යෑම වැරදි විකල්පයක් ද? 

විකිණීම පාපයක් වන අවස්ථා තිබේ. ඒ දරුවන් හා තරහට කුණු කොල්ලයට මේ නිවස විකුණා දැමුවොත් ය. ඒ සූදුව සඳහා මුදල් යෙදවීම පිණිස කවරෙකුට හෝ හදිසියේ විකුණා දැමුනොත් ය. ඒ විකුණා ගත් මුදල වැඩි ආදායමක් ලබන්නට සිතා අවදානම් සහගත ෆිනෑන්ස් ආයතනයක තැන්පත් කොට අවසානයේ සියල්ල අහිමි කර ගත්තොත් ය.

එහෙත් වඩා යහපත් ආයෝජනයකට තමන්ට බරක් වී ඇති වත්කමක් විකිණීම පාපයක් වන්නේ නැත. නිසි මුල්‍ය කළමනාකරණයේ දී තිබෙන සම්පත් සුරක්ෂිත ව පවත්වා ගැනීම පමණක් නොව අනවශ්‍ය බරක් වී ඇති එතරම් ආදායමක් නූපදවන වත්කම් විකුණා නිදහස් වීම ද කළ යුතු ය. ඇතැම් විට ඒවා විකුණනවා වෙනුවට වෙනත් ආදායම් ලබා ගත හැකි ව්‍යාපාරයකට පරිවර්තනය කිරීමට ද හැකි ය.

නිවාස ණයක් ගෙන තමන්ගේ ම නිවසක් සාදා ගැනීම අතිවිශාල ලෙස ගෙවල් කුලී ගෙවමින් කොයි වෙලේ ඉවත් වන්නට සිදු වේ දැයි නොදැන කල් අරිනවාට වඩා යහපත් ය. ණයක් ගෙන එය ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපාරයක ආයෝජනය කිරීම නරක නැත. ඒ ණය හා පොලිය ගෙවීමට සමත් තරමේ ප්‍රතිලාභයක් උපයනවා නම් ය. ලබා ගත් ණයක් ගෙවීමට නොහැකි වීම නිසා වටිනා සම්පතක් සින්න වීමට නියමිත නම් තවත් ණයක් ගෙවා එය බේරා ගෙන ඉන් පසු එය සාධාරණ මිලකට විකුණා දෙවැනි ණය ගෙවා දමා ඉතිරි මුදල් වෙනත් ප්‍රයෝජනවත් යමකට යොදා ගැනීමේ වරදක් නැත. ණය සමග එන කොන්දේසි අප ව අකර්මණ්‍ය නොකරනවා ද යන්න ද අපේ සැලකිල්ලට යොමු විය යුතු ය. ණය අර ගන්නේ බොරු සෝබනයට නම් ඒ ණය අප ව අමාරුවේ දමන බව ඇත්ත ය. මේ අනුව බලන විට ද අපට පෙනෙන්නේ ප්‍රශ්නය ඇත්තේ ණය ගැනීමේ නොව ණය ගන්නේ කුමකට ද ඒ ණය ගන්නේ කුමන කොන්දේසි යටතේ ද ඒ ණය පියවීමේ ලා අප සතු ව යම් වැඩ පිළිවෙළක් තිබේ ද යන කාරණා තුළ බව ය.

ණය ගන්නේ නැති, තිබෙන සම්පත් කිසිවක් විකුණන්නේ නැතැයි සපථ කරමින්, සියල්ල ගල් කර ගෙන, බිත්තර රකිනවාක් මෙන් ඒවා රැක ගැනීමට පමණක් සූදානමින් සිටිනා ව්‍යාපාරිකයන් ඉදිරියට යන්නේ නැත. ඔවුන් කරන්නේ තමන්ට ඉදිරියට යාමට හැකි මාවත් දෙකක් වසා දැමීම ය. ඒ ඉදිරියට යන්නට අවශ්‍ය ආයෝජන කිරීමට ඔවුන් සතු ව මුදල් නොමැති නිසා ය. ඒවා උත්පාදනයේ ලා ඔවුන් අසමත් නිසා ය. ඒ නිසා ම ණය ගැනීම හා සම්පත් විකිණීම මූල්‍ය කළමනාකරණයේ මූලධර්ම මත පිහිටා මිසක අපේ භාවමය හැඟීම් මත පිහිටා නිෂ්චය නොකළ යුතු ය.