පෙනුම හා සැබෑව – නොරැවටෙන්නට නම්….


උඩින් ඔපේ යටින් හපේ යන්න අපේ ජනවහරේ එන උපහැරණයකි. මේ බව නොදන්නා කෙනෙක් නැත. අපි බොහෝ විට පිට පෙනුමට රැවටෙමු. සැබෑව මග හරිමු. දැනගෙනත් කරන මේ වැඩේ ගැන සමාව දිය හැකි ද?

එහෙත් එය කෙරෙයි. රෑ වැටුනු වලේ දවල් ද වැටෙන ගණනටම මේ සම්බන්ධයෙන් අප අන්ධ ය.

පොරවාගෙන ඉන්නා සළුපිළි එහාට මෙහාට වෙන විට දේශප්‍රේමී වේශය පිටුපස තියෙන දුගඳ හමන ආත්මය අපට හිටිහැටියේ පෙනෙයි. ඒත් අපි එය නොපෙනුනා මෙන් සිටිමු. සිල් රෙද්ද එහා මෙහා වෙන විට උපාසක පෙනුම පිටුපස තියෙන පාපයෙන් පිරුණු ජීවිතය අපට හිටි හැටියේ පෙනෙයි. අපි එය නුදුටුවාක් මෙන් සිටිමු.

මෙසේ වන්නේ ඇයි?

ඒ අපේ මනසේ තිබෙන එක් දුර්වල කමක් නිසා ය.ඉංග්‍රීසියෙන් confirmation bias යනුවෙන් හඳුන්වන මෙය අපේ මනසේ ප්‍රතිරූපයට ප්‍රතිපක්ෂ තොරතුරු බාර ගැනීම ප්‍රතික්ෂේප කරයි. ඒ සඳහා ඕනෑ තරම් තර්ක විතර්ක ඉදිරිපත් කිරීමට අපේ “බුද්ධිය“ ද උදව් වෙයි.

(එයා සල්ලිවලට ටිකක් විතර කෑදරයි තමයි. කවුද කෑදර නැත්තෙ? සන්සන්දනය කරල බැලුවහම අනිත් අය තරම් කෑදර නෑ. දැක්කෙ නැද්ද එදා හැසිරුණු හැටි.)

(ඔය කියන තොරතුරු ඇත්ත ද කවුද දන්නෙ? උසාවියකින් මොකෝ ඔප්පු වුනා ය?)

අප කැමති අප දැනටමත් හදා ගෙන ඇති ප්‍රතිරූපය දිගින් දිගට ගෙන යන්නට ය. ඒ සඳහා නොගැලපෙන දෑ බැහැර කිරීමට අපි කටයුතු කරමු. අඩුපාඩු අපේ සාක්කුවෙන් දමා හෝ පුරවාලන්නට ද අපි කටයුතු කරමු.

මේ නිසා සැබෑව කොතරම් ඇස ගැටුන ද අප එය මග හැර යන්නෙමු.

එයට තවත් හේතුවක් තිබේ. සැබෑවට වඩා නිර්මාණය කරගත් ප්‍රතිරූපය ප්‍රසන්න ය. එය කෙළෙසනු දකින්නට අපේ සිත ඉඩක් දෙන්නේ නැත. අපේ මනසේ ඇති ඒ ලක්ෂණයට අප ඉංග්‍රීසියෙන් කියන්නේ positive bias කියා ය.

කොටින්ම කියතොත් අපේ වීරයා මරන්නට අපි අකමැත්තෙමු. ඒ නිසා වීරයා කුජීත වූ කල ද අපි පැරණි කතා අනුසාරයෙන් ඔහු ගොඩ දාගන්නට වෙර දරමු.

මෙසේ අප විසින් අපවම රවටා ගැනීමේ මේ සංසිද්ධිය ගැන විමසුම් මනසකින් බලන්නේ නම් මෙයට එරෙහි යාන්ත්‍රණයක් මනස තුළ ගොඩනගා ගත හැකි ය.

නැත්නම් සිදුවන්නේ සදාකාලයට රැවටීමට ය.

දේශප්‍රේමීන්ගේ උපාසකයන්ගේ පමණක් නොව තව බොහෝ දෙනාගේ මායම්වලට රැවටීමට ය.

සියල්ල ගනුදෙනුවකට හිලව් කළ කල!


දානයේ ආනිසංශ ගැන දන් ලබන අය කතා කරන විට දැනෙන්නේ තරමක අපුලකි. එසේ වුව ද දානයේ ආනිසංශ කවරේදැයි අපට කතා කිරීමට සිදුව ඇත්තේ නොදී ගන්නට බැරි යැයි අප විසින්ම පසුගිය සටහනේ ලොකුවට කී බැවිනි.

නොදී ගන්නට බැරිවා සේම නොගෙන දීමට බැරි ය. ඒ නිසා ගන්නට බලාගෙන දිය යුතු ය. ආනිසංශ ගැන හොයන්නේත් කියන්නේත් ඒ නිසා ය.

බැලු බැල්මට එය ජුගුප්සා ජනක ය. දෙන්නේ ගන්න බලා ගෙන නම් එතැන ඇත්තේ සැබෑ දීමක් දැයි කෙනෙකුට ඇසිය හැකි ය.

දෙන අය ගන්න විදිහක් ද කල්පනා කළ යුත්තේ ගන්නේ නැතිව දිගින් දිගටම දෙන්නට බැරි නිසා ය. දානය පිළිබඳ ජනප්‍රිය මතයට එකග නොවෙන මුත් තිත්ත ඇත්ත එය ය.

ගන්න වැඩපිළිවෙළක් ඇතිව දෙනවාට අමතරව දෙන්නේ කාට ද යන්න ගැන ද විමසිලිමත් විය යුතු ය. නොදී මග හැරිය යුතු කීප දෙනෙක් සිටිති. ඒ හිගන්නන් මං කොල්ල කරුවන් හා හොරුන් ය. ඒ උන් ගැනීමම ජිවිතය කර ගෙන ඉන්නා නිසා ය.

දිගින් දිගට දීමෙන් දුප්පත් වන්නේ දෙන තැනැත්තා පමණක් නොවේ. ලැබෙන තැනැත්තා ද දුප්පත් වේ. ලැබෙන නිසා උත්පාදනයට ඔහු/ඇය උත්සුක නොවන බැවිනි. දීම නිසා සිදුවන්නේ ලබන තැනැත්තා පොහොසත් වීමක් නොව තව තවත් දුප්පත් වීමක් නම් දීම වහා නවතා දැමිය යුතු ය.

දෙන්නේ මාළුවෙක් ද මාළු ඇල්ලීමට බිලී පිත්තක් ද යන වග ද කල්පනාවට ලක් කළ යුතු ය. පළමුවැන්න තාවකාලික ය. එයින් සිදුවන්නේ දිගින් දිගටම දීමේ වැඩසටහනකට සෙට් වීමට ය. දෙවැන්න බඩගින්නට තිරසාර විසදුමක් වීමට හැකි ශාක්‍යතාවයකින් යුක්ත ය.

තිරසාර විසදුමක් යැයි නොකියා එවැනි විසදුමකට ශාක්‍යතාවයක් තිබේ යැයි කීවේ බිලිපිත්තක් දුන්නහම සමහර හිගන්නන් කරන්නේ එයින් මාළු බාගන්නේ නැතිව එය විකුණා දැමීම නිසා ය. එහෙම උන්ට බිලී පිත්තක්වත් දිය යුතු නැත.

මේ කියන කාරණා කෙනෙකු යොමු කරන්නේ හැම දෙයක්ම ගනුදෙනුවක් හැටියට ගෙන කිරීමට නම් එයින් ද ඔහුට / ඇයට අමාරුවේ වැටීමට සිදු වේ.

සමහර අවස්ථාවල ආපසු ලැබෙන්නේය යන්නට පූර්ණ සහතිකයක් නොමැතිව දිය යුතු වේ. ඒවාට අප කියන්නේ ආයෝජන කියා ය.

ආයෝජනවලින් කොටසක් නැවත පොලිය සමග ලැබෙන අතර තව කොටසක් අපට අහිමි වේ. ඒ නිසාම ඒ අවදානම ගන්නට අකමැති අය ආයෝජනයෙන් වැළකී ගනුදෙනුවලට පමණක් යොමු වේ. පළමු කොටස ව්‍යාපාරිකයන් වන විට දෙවැනි කොටස වැටුප් ශ්‍රමිකයන් බවට පත් වේ.

ආයොජන කරන්නේ ව්‍යාපාරවල පමණක් නොවේ. අප මිනිසුන් සම්බන්ධයෙන් ද ආයෝජනයන් කරමු. යහළුවෙකුට කරදරයක දී උදව් දෙන කෙනෙකු කරන්නේ ද ආයෝජනයකි. යහළුවා කිසි දිනෙක එයට ප්‍රතිඋපකාරයක් නොකරන්නට පුළුවන. ඒ අවදානම අප බාර ගත යුතු ය.

ආයෝජනය කරන ව්‍යාපාරිකයන් අපේ අගැයීමට පාත්‍ර විය යුත්තේ උන් ලැබීම ගැන පූර්ණ සහතිකයක් නැතිව අත් හැරීමට තරම් නිර්ලෝභී නිසා ය. මිනිසුන්ට යහළුවන්ට උදව් කරන්නන්ට ව්‍යාපාරිකයන් සමාන කිරීමට මා කැමැත්තේ මේ පොදුගුණය නිසා ය.

එයින් ප්‍රදර්ශනය කරන අත්හැරීම බොහෝ අයට කළ හැකි දෙයක් නොවේ. වැටුප් ශ්‍රමිකයන් අප අතර වැඩියෙන් ද ආයෝජකයන් අඩුවෙන් ද ඇත්තේ අප බොහෝ දෙනෙකුට අත හැරීමට බැරි බැවිනි.

ආයෝජනයන් අවදානම් බැවින් ආයෝජනය කළ යුත්තේ ඒ අවදානම දැන ගෙන ය. අත්හැරීමට හිත හදා ගෙන ය.

එතෙකුදු වුව ද දිගින් දිගට දානයේම නියැලීමෙන් අවදානම් ගැන වෙස්සන්තර කෙනෙකු වීමේ අවසානය දෙන්නට දෙයක් ඉතිරි නොවීම ය. එය තිරසාර ව්‍යාපාරයක් නොවේ. අවසානයේ සිදුවන්නේ අඹුව ද දරුවන් ද අත් හැරීමට ය. ජූජක බමුණෙකුට පාවා දීමට ය. බුදුවන්නට පෙරුම් පුරනා කෙනෙකු නොවේ නම් ඔබ ඒ මග නොගත යුතු ය.

ඒ නිසා දීම කළ යුත්තේ දැන ගෙන ය. දෙන්නන් වාලේ දීමත් නොදී සියල්ල රදවා ගැනීමත් දෙකම එකසේ අයහපත් ය. ගැනීම ගැන පමණක් නොව දීම ගැනත් නිසි අවබෝධයක් කළමනාකරුවෙකුට තිබීම ආයතනයේ ඉදිරියට මෙන්ම පැවැත්මට ද එකසේ වැදගත් ය.

නොගොහින් එන්නට බැරි ය. නොදී ගන්නට බැරි ය.


බොහෝ දෙනාට බොහෝ දේ ගන්නට වුවමනා ය. එහෙත් ඔවුන් ළග නැත්තේ ඒ වෙනුවෙන් දෙන්නට යමක් ය.

හරියට සරත්චන්ද්‍ර ශූරින්ගේ මළවුන්ගේ අවුරුදු දා නවකතාවේ එන නොරිකෝ සන් දෙවොන්දරා සන්ට කීවා සේ “නොගොහින් එන්නට බැරිවා“ වගේ ය. නොදී ගන්නට බැරි ය.

අපට දෙන්නට හැක්කේ මොනවා ද? මුදල්, අදහස්, ශ්‍රමය, දැනුම, භාණ්ඩ හා සේවා ආදී වටිනාකමක් දිය හැකි බොහෝ දේ ඒ අතර තිබේ. ඊට අමතරව සෙනෙහස, කැපවීම, මිත්‍රත්වය වැනි දෑ ද තිබේ.

පළමු ගණය හැමටම නැත. එහෙත් දෙවැන්න අප කාහටත් තිබේ.

ඒ නිසා අප කිසිවෙක් දුප්පත් නැත.

එහෙත් වස්තුවෙන් පොහොසත් අය පවා සමහර විට හිතින් දුප්පත් ය. එවැනි අයට බොහෝ දේ ඇතත් දෙන්නට දෙයක් නැත. නොදී ගන්නට බැරි ය. ඒ නිසා ඒ වස්තුව ක්ෂය වෙනවා විතර ය.

සමහරු දෙනවාට වඩා වැඩියෙන් ගන්නට පිඹුරුපත් සකසති. එය තාවකාලිකව සාර්ථක විය හැකි ය. එහෙත් එවැන්නක් දිගින් දිගට පවත්වා ගෙන යෑ නොහැකි ය.

බැංකුවක තැන්පතු වගේ ය. දිගටම කරන්නේ ගැනීම නම් ඉක්මණින් ඒ තැන්පතු ඉවරවීමට නියමිත ය.

මිනිසුන්ට පමණක් නොවේ. ආයතනවලට රටකට මෙන්ම ආණ්ඩුවකට ද මේ කාරණය අදාළ ය. එපමණක් නොවේ. ජනතාවට ද අදාළ ය.

ආණ්ඩුවට නොදී ආණ්ඩුවෙන් ගන්නට බැරි ය. ආඩි හත් දෙනා කැඳ බොන්නට සිතුවේ හාල් නොදා ය. අවසානයේ සිදු වුනේ උණු වතුර බොන්නට ය.

කළමනාකරුවන් හැටියට අප විශේෂයෙන් මේ සරල සත්‍යය අවබෝධ කර ගත යුතු ය. මේ කළමනාකරණයේ හෝඩිය ය. එහෙත් බොහෝ දෙනෙකු නව දේ ඉගෙන ගත්ත ද හෝඩිය අමතක කරති. එය අපේ උගැන්මේ පදනම ය. පදනම නැතිව කළ හැකි දේ සීමිත ය.

දුප්පත් මිනිසුන් දුප්පත් මිල මුදලින් පමණක්ම නොවේ. ඔවුන් අන් ආකාරයන්ගෙන් ද දුප්පත් ය. ඔවුන් සමහර විට දුප්පතුන් හැටියටම ජීවිතය ගෙවන්නේ ඒ දෙවැනි කාරණාව නිසා ය. ඔවුන් හොයන්නේ නොදී ගන්න ය.

නොදී ගන්න හදන ආයතන ද සංවිධාන ද ඉක්මණින් ඒ දුප්පතුන්ගේ ගොඩට වැටීම වළකනු බැරි ය.