අනාරක්ෂිත ආරක්ෂාව


ඔබ ඔබේ දරුවාට නිදහස දීමට කැමති ය. එහෙත් ඒ නිදහස ඔහු කෙසේ භාවිතයට ගනී ද යන බිය ද ඔබට තිබේ. ඒ නිසා ඔබ ඔහුට නිදහස දීම කල් දමයි. මැලි වෙයි. ආසයි බයයි යන මේ උභතෝකෝටිකය තව බොහෝ දේ සම්බන්ධයෙන් ද තිබේ. කළමනාකරණයේ දී ද ඔබ මේ උභතෝකෝටියට මුහුණ දෙයි. ඔබ ඔබේ සේවකයන්ට ඔබේ බලය බෙදා දීමට (delegate) කැමති ය. එහෙත් එසේ දුන් බලය ඔවුන් කෙසේ භාවිතා කරාවිද යන්න ගැන ඔබට බියක් තිබේ. ඒ නිසා ඔබ කරන්නේ හැකි හැම දෙයක්ම පාහේ ඔබ විසින්ම කිරීමට ඔබ වෙත රඳවා ගැනීම ය. නැතිනම් බාර දුන් වැඩය කරන්නේ දැයි දිගින් දිගට පිරික්සමින් අනුගාමිකයන්ට හිරිහැරයක් වීම ය. යමක් කරන්නට පෙර ඔබගෙන් විමසිය යුතු යැයි නීති පැනවීම ය. ඔවුන්ට විලංගු ලෑම ය. මේ හැම එකකින්ම සිදු වන්නේ වැඩේ කොහුවීම ය. ඔබේ වැඩ අතපසු වීම ය. ඔබ අකර්ණම්‍ය වීම ය. පොදුවේ මේ අකර්ණම්‍යය වීම මැඩ ගත හැක්කේ කෙසේ දැයි අපි සොයමු.

ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තිබේ. ඒ ප්‍රතික්‍රියාව කුමක් දැයි සමහර දෑ සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට පැමිණිය නොහැකි ය. ඒ නිසා අප කරන්නේ විය හැකි නරකම දේ හිතින් මවා ගැනීම ය. එවිට සිදුවන්නේ සැළසුම් කළ ක්‍රියාව අත්හැර දැමීමට ය. අකුලා ගැනීමට ය.

එය බොහෝ ක්‍රියාවලින් අප වළකයි. විශේෂයෙන්ම නව දේ අත්හදා බැලීමෙන් අප වළකයි. එසේ සිතන කෙනෙකු අසාර්ථක වීමට ඇති ඉඩ අඩු ය. ඒ නිසාම ඔහුට සාර්ථක වීමට ද නොහැකි ය.

අප කළ යුත්තේ අපේ ක්‍රියාව නිසා ඇති විය හැකි වඩාත්ම හොඳ තත්වය ගැන සිතින් මවා ගැනීම ය. බැරි වෙලාවත් එසේ නොවුවහොත් අනුගමනය කිරීමට පසු බැසීමට විකල්පයක් ද හදා ගැනීම ය. විකල්පය බැරිම වුනොත් පමණක් විය යුතු ය. පළමු පසු බැස්මේම විකල්පයට තල්ලු වුවහොත් වෙන්නේ මුලින් වූ දේම ය.

පලාලි යුද හමුදා කඳවුරේ ආරක්ෂක කලාපයේ ඉඩම් ඒ අයිති ජනතාවට පවරා දීම දැනට මාස ගණනකට පෙර දිනක සිදු විය. මේ ඇසු දුටු සමහර අය කීවේ දැන් ඉතින් හමුදා කඳවුරු ත්‍රස්ත ප්‍රහාරයකට විවෘත කරන ලද බවය. එය විය හැකි නරකම දෙය ය. විය හැකි හොද දෙය කුමක් ද? ඉඩම් අහිමි කරන ලද ජනතාවට විශාල සහනයක් ලැබීම ය. ඒ නිසාම දකුණ ගැන තියෙන කෝපය යම් පමණකින් හෝ සමනය වීම ය. යුද්ධය වෙනුවට සාමයේ මාවතට පිවිසීම ය. පළමුවැන්න තවම නම් සිදු වූයේ නැත. දෙවැන්න යම් පමණකට සාර්ථක වන්නට ඇත.

දෙවැන්න සිදු නොවී පළමුවැන්න සිදුවන්නට බැරි ද? හැකි ය. තවමත් හැකි ය. එවැන්නක් සිදුවන්නට බැරි යයි කිසිවෙකුට කිව නොහැකි ය. පළමු ක්‍රියාව අපේ පාලනය තුළ තිබෙතත් ඊට ඇතිවන ප්‍රතික්‍රියාව අපේ පාලනයෙන් තොර නිසා ය.

එසේ වුවහොත් නැවතත් ආරක්ෂක කලාපයක් ඉදිකරන්නට සිදු වෙනු ඇත. එහෙත් එසේ කියා ඒ ඉඩම් යුද්ධය අවසන් වී වසර 5 ක් ගිය තැනත් රඳවා ගෙන සිටිය යුතු ද? එයම තවත් ගැටුමකට අවශ්‍ය තත්වයන් ගොනු නොකරන්නේ ද?

දරුවා නොමග යතැයි සිතා සදාකාලිකව දෙමාපිය තුරුලේ රඳවා ගෙන සිටින අම්මලා තාත්තලා හිතන්නේ ඔවුන් දරුවන්ට හැකි ඉහළම ආරක්ෂාව දෙන බවකි. එසේ වුව ද සමාජය ගැන නොදැනුවත්ව දිවි ගෙවමින් එසේ සුරකින මේ දරුවාට දෙමාපිය රැකවරණය නැති වූ දාක සිදුවන්නේ කාගේ හෝ ගොදුරක් වීමට ය. නැතිනම් එසේ වනු ඇතැයි දෙමාපියන් විසින් ඇති කරන ලද බයෙන් තැති ගෙන සමාජයෙන් සැගව ජීවත් වීමට ය.

ආරක්ෂාව නරක නැත. එහෙත් යම් කෙනෙක්, ජාතියක්, රටක්, ආයතනයක් අකර්ණම්‍ය කරන්නට තරම් එය ප්‍රබල වන්නේ නම් විනාශය ඊට වඩා හොඳ ය. මක්නිසාද යත් ඊට මුහුණ දී එය පරාජය කළ හැකි බැවිනි.

අවාසනාවකට අපට මිනිසුන් පරාජය කළ හැකි ය. පරාජය කළ නොහැක්කේ අවතාර ය. අතීතයේ ඇති වී අප තුළ ඇටුවම් බැස ගත් සැකය හා බිය පදනම් කර ගත් විශ්වාසයන් ය. ඇදහිලි ය. ඒවා අප අකර්ණම්‍ය කරමින් අපේ මනසේ හොල්මන් කරන නිසා ය.

සැක හා බිය අප හැමට පොදු ධර්මතාවයක් වුව ද දුර්වලයා තුළ එය වඩාත් දැඩි ව තිබේ. එය ඔහු වඩාත් දුර්වල කරයි. අකර්ණම්‍ය කරයි. අප දුර්වල වූ තරමට ආරක්ෂා වීමට ඇති වුවමනාව වැඩි වේ.

සැකය ඉදිරි පසින් ඇතුළු වන විට විශ්වාසය පෑල දොරින් පිටව යයි. බිය කවුළුවෙන් එබී බලන විට ධෛර්යය වෙනත් කවුළුවකින් පිටමං වෙයි. ධෛර්යය හා විශ්වාසය නැතිව නව දෑ නොතැනෙයි.

ශක්තිමත් තැනැත්තේ සියල්ල නැති වුව ද නැවතත් ජීවිතය අලුතෙන් පටන් ගත හැකි ය යන විශ්වාසය තුළ සැනසෙයි. දුර්වලයාට කුඩා යමක් අහිමි වුව ද දරා ගැනීම අමාරු ය. ඒ නිසා ම ඔහු වඩාත් කැමති සියල්ල තුරුළු කර ගැනීමට ය. බදා ගැනීමට ය. ආරක්ෂා කර ගැනීමට ය. ඒ සඳහා කාලය හා සම්පත් වැය කරන ඔහු ඒ නිසා ම නව දෙයක් නිර්මාණයේ ලා අපොහොසත් වෙයි. නව භූමියක් නව ක්ෂේත්‍රයක් ජය ගැනීමේ ලා ඉදිරිපත් නොවෙයි. සියල්ල තියෙන පයිසය ආරක්ෂා කිරීමට යොදවා ඇති නිසා නව යමක් කිරීමේ ලා ඔහුට ඉස්පාසුවක් නැතිවෙයි.

ආරක්ෂාව පතා කරන හිර කිරීම ම දරුවාට කැරලි ගහන්නට පොළඹවයි. සුළු ජාතිකයන්ට වෙනම රටක් ඉල්ලන්නට පොළඹවයි. අනුගාමිකයන්ට නායකයින් සැබෑම හිරිහැරයක් බවට සිංහලෙන් කියන්නේ නම් නුරුස්සන “තුවාලයක්“ බවට පත් කරයි.

අප ආරක්ෂාව පතා එල්ල කරන භූමරංගය නැවතත් කැරකී අපට ම මෙසේ එල්ල වෙන විට අප සමහර විට පමා වෙලා ය.

මෙයින් අදහස් කරන්නේ ආරක්ෂාව අත්හැරිය යුතු බව නොවේ. ඔබේ දරුවාට නිදහස දී ඉවත බලා ගෙන සිටින්නට ඔබට නොහැකි ය. ඔහුට ලෝකය ගැන කියා දිය යුතු ය. මිනිසුන් හඳුනාගන්නා හැටි ගැන දැනුවත් කළ යුතු ය. හරි වැරදි කවරේදැයි වටහා දිය යුතු ය. එහෙත් ඒ සමග ඔහු වැරදි මාවත නොගන්නා බවට කුමන බලපෑමක් යටතේ වත් නොගන්නා බවට ඔබ විශ්වාස කරන බව කියා සිටිය යුතු ය. එයිනුත් නොනැවතී ඔහුගේ තොරතුරු විමසිය යුතු ය. ගමන් බිමන් ගැන විපරම් කළ යුතු ය. ඔහු පිළිබඳ සෙවිල්ලෙන් සිටිය යුතු ය. එහෙත් ඔහුට කරදරයක් නොවිය යුතු ය. ඔබ ඔහුගේ මිතුරා විය යුතු ය. ලොව ඔහු වඩාත් විශ්වාසයට ගන්නා පුද්ගලයා විය යුතු ය.

විශ්වාසය යටතේ පමණක් සැකය තැබිය යුතු ය. විශ්වාසය අභිබවා මතු වීමට සැකයට ඉඩ නොදිය යුතු ය.

රටක බලය විමධ්‍යගත කරන විටක ද ආයතනයක පහල මට්ටමට බලය පවරන විට ද මේ කාරණය සිහිපත් කළ යුතු ය. අනෙකා සිරකර තැබීමට වුවමනා දම්වැලේ අනෙත් කොණ අප විසින් රඳවා ගත යුතු බව එසේ සිරකරන හැම විටම අප විසින් මතක තබා ගත යුතු ය. යමෙකු හිරකරන විට අනෙත් කෙළවරේ අප හිරවන බව සිහිපත් කළ යුතු ය. අපේ නිදහස ඇත්තේ අනෙකාගේ නිදහස තුළ බව එසේ පසක් කළ යුතු ය.

අනෙකා සිර කළ හැකි නම් ඒ සඳහා තමා සිරකරුවෙකු වීම වුව වටී යැයි සිතන අයට මේ උවදෙසින් පලක් නැත. ඒ අය සහජයෙන් දුර්වල මිනිසුන් ය. මේ සටහන, තමා ගැන විශ්වාස කරන, ඒ නිසා ම අනෙකා විශ්වාස කිරීමට සූදානම්, ශක්තිමත් මිනිසුන්ට ය.

නෑ බෑ නොකියා


“හැමෝගෙම හිත දිනා ගෙන ඉන්න ඕනෑ“. මේ ඔබේ පැතුම නම් ඔබ අමාරුවේ ය. හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් යැයි යන වැකිය පිටුපස ඇත්තේ මේ අවදානම් ඇගවීම ය. හැම කෙනාගේම හිත දිනා ගැනීමේ එකම මග පැත්තක් නොගෙන සිටීම ය. වැට උඩ සිටීම ය. කිසිම දෙයක් ගැන තමන්ගේම මතයක් ඇති කර නොගැනීම ය. හැම දෙයකටම හූ මිටි තැබීම ය. ඔළුව වැනීම ය. එහෙටත් නැති මෙහෙටත් නැති තැනක කකුළ තබා ගැනීම ය. හැමෝම කරන දේ කිරීම ය. දඩුවම් දීමෙන් විවේචනයෙන් හොඳ නරක පෙන්වා දීමෙන් වැළකීම ය.

මෙසේ සිතන බොහෝ දෙනෙකුගේ අභිප්‍රාය ජනප්‍රිය වීම ය. කාගේත් හිත හොඳ දිනා ගැනීම ය.

11764

එහෙත් අවසානයේ සිදුවන්නේ කිසිවෙකු කැමති නොවීම ය. මතයක් නැති අස්ථානයක් නැති හැම පැත්තටම නැවෙන හිස් දුබල චරිතයක් ලෙස මතු වීම ය. එවැන්නෙකුගෙන් ලෝකයටවත් තමන්ටවත් වැඩක් නැත. ඔවුන් කපට පුද්ගලයන් විසින් තම අභිප්‍රායයන් මුදුන් පත් කරගැනීම සඳහා යොදා ගනු ලබන ආම්පන්නයන් බවට පමණක් පත් වේ.

මේ හැම දෙනාගේම හිත හොඳ දිනාගැනීමට යාමෙන් මුලින්ම නැතිවන්නේ ඔබේ අනන්‍යතාවය යි. ඔබට කියා ප්‍රතිරූපයක් මතයක් ඇති කර ගැනීමට ඔබට එවිට නොහැකි ය. ඒ ඉන්නා වටපිටාවට අනුව පාට වෙනස් කරගැනීමට ඔබට සිදු වන නිසා ය. කිසිවෙක් ඉන්පසු කිසිවක් සම්බන්ධයෙන් ඔබ ව විශ්වාස නොකිරීම ය.

දෙවැනියට ඔබට කිසිවකට හෝ කිසිවෙකුට නැතැයි කීමට බැරි වේ. ඒ එයින් ඔවුන් තරහ වෙතැයි යන බිය ඔබට කරදර කරන නිසා ය. එහි ප්‍රතිඵලය ද ඔබ අන් අය අතේ නැටවෙන රූකඩයක් වීම ය. ඔබට කියා ජීවිතයක් ඔබට නැති වීම ය.

තෙවැනිව ඔබට ඔබ කවුදැයි තේරුම්ගත නොහැකි වේ. ඔබව ගවේෂණය කිරීමට ඔබට පවා නොහැකි වේ. ඒ අන් අය වෙනුවෙන් ඔබ සියල්ල අතහැර දමා ඇති නිසා ය. ඔබේය කියා කිසිවක් ඔබට නැති නිසා ය. එයින් ඇති කරනු ඇත්තේ පහසුවෙන් සමනය කළ නොහැකි හිස් බවකි.

ඔබ නිසා කිසිවක් කිසිවෙකු වෙනස් වන්නේ නැත. යමෙකුගේ ජීවිතය වෙනස් කළ හැක්කේ ඔහුට ඇයට විරුද්ධ වීමෙනි. ඔහු ඇය නොදකින පැත්තක් පෙන්වා දීමෙනි. එහෙත් අමනාප වෙතැයි යන බිය නිසා එවැන්නක් ඔබට කළ නොහැකි ය.

විවේචනය කෙනෙකු වෙනස් කරයි. දියුණු කරයි. එහෙත් ඔබ හැමෝගේම හිත දිනා ගැනීම උදෙසා කිසිවෙකු විවේචනය කරතැයි සිතන හැම එකකින්ම මිදෙන්නේ නම් ඔබට සිදු වන්නේ කිසිත් නොකර නිකම් සිටීමට ය.

ඔබ යමක් කළ යුත්තේ එය නිවැරදි නිසා මිසක එයින් ඔබට යමක් අත්වෙතැයි ලැබෙතැයි සිතා නොවේ. අන් අයගේ කැමැත්ත පතන ඔබ කරන්නේ නිවැරදි දේ නොවේ. වැඩි දෙනෙක් කැමති දේ ය. ඒ නිසාම ඔබට නිවැරදි දේ කළ නොහැකි වෙයි. ඔබ සතුව ප්‍රතිපත්තියක් නොපිහිටයි.

ඔබට සතුට අහිමි වේ. ඒ එකකු සතුටු කරන්නට යන විට තවකෙකු අමනාප වන නිසා ය. ඒ අමනාපය ඔබට වද දෙන නිසා ය. ඒ එක අමනාපයෙන් ඔබේ අරමුණ – හැම කෙනෙකුම හොඳින් තබා ගැනීමේ අරමුණ – පරදින නිසා ය. මේ නිසා හැමෝගෙම හිත දිනා ගෙන සිටීමේ අරමුණින් ඔබ ගැලවිය යුතු ය. එය කිසිදු තේරුමක් නැති අපේක්ෂාවකි. ඉලක්කයකි.

එයින් අදහස් කරන්නේ ඔබ සෙස්සන්ට අසංවේදී විය යුතු බව නොවේ. ඔවුන් උදෙසා ඔවුන්ගේ කැමැත්ත හිත හොඳ උදෙසා ඔබ ඔබව පාවා නොදිය යුතු බව ය. ඔබටත් ලෝකයටත් වැඩක් ඇති කෙනෙකු වීම සඳහා හැමෝගේම හොඳ හිත දිනාගැනීමේ අභිලාශය අත් හැරිය යුතු බව ය.

ඔබ කැමති විය යුත්තේ ගරු කළ යුත්තේ පෙනී සිටිය යුත්තේ සෙසු අය වෙනුවෙන් නොවේ. ඔබ නිවැරදි යැයි සිතන ප්‍රතිපත්ති වෙනුවෙන් ය. විශේෂයෙන් ලොව කොතැනක වුවත් පිලිගැනෙන විශ්වීය ප්‍රතිපත්ති වෙනුවෙන් ය. සාධාරණත්වය, යුක්තිය, අවංකත්වය, මිනිසුන් කෙරෙහි ගෞරවය, යමක ගුණාත්මක භාවය සාක්ෂාත් කර ගැනීම වැනි උත්තරීතර අගයන් වෙනුවෙන් ය.

“ඔබගේ අම්ම ද නැතිනම් ඔබගේ බිරිඳ ද?“ යන බයිලා ගීතය ඔබ අසා ඇතිවාට සැක නැත. ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන ඔබට එවැනි ප්‍රශ්න කිසි දිනෙක වද නොදෙනු ඇත. මට ඒ දෙදෙනාම ඕනෑ යයි සෙවල උත්තරයක් දෙමින් ලිස්සා යෑමට ප්‍රතිපත්ති මත පදනම් ව ජීවිතය ගෙවන ඔබට සිදු නොවනු ඇත. ඔබ තෝරාගනු ඇත්තේ අම්මා හෝ නැතිනම් බිරිඳ යන ළදරු උත්තරය නොවේ. නිවැරදි පැත්ත ය. සාධාරණත්වයේ පැත්ත ය. යුක්තියේ පැත්ත ය. ගෞරවාන්විත අස්ථානයේ පැත්ත ය.

කිසියම් හේතුවක් නිසා සමහරු එක් අන්තයකට ඇලෙති. එක්කෝ අම්මා ය. නැතිනම් බිරිඳ ය. ප්‍රතිපත්තිය කුමක් වුව ද සදාතනිකව එකම පැත්තක් ඒ උදවිය ගනිති. ඒ අය සැබෑ වහල්ලු ය.

සමහරු මේ ලෙස ඇලීමට තෝරා ගන්නේ අම්මා හෝ බිරිඳ නොවේ. ඇතැම් විට මිතුරෙකි. නැතිනම් සතුරෙකි. ඇලෙනවා යයි කීවා ට දෙවැනි කී තැනැත්තා සමග ඔහු ඇලෙන්නේ නැත. ඒ වෙනුවට ගැටීමට වග බලා ගැනේ. එය ද එක් ආකාරයක ඇලීම කි. ඉන් පසු ඔහුගේ සියල්ල මෙහෙයවන්නේ සතුරා ය. ජීවිතය ම සකස් කර ගන්නේ සතුරාගෙන් පලි ගැනීමට ය. ඔහු සමග ගනුදෙනු බේරා ගැනීම ට ය.

සමහරු ඒ වෙනුවට තෝරා ගන්නේ මිල මුදල් ය. වස්තු සම්පත් ය. ප්‍රතිඵලය එක ම ය. ජීවිතය ම සකස් වන්නේ ඒ වෙනුවෙනි. සල්ලි ලැබෙනවා අම්මා මොකද බිරිඳ මොකද? ඕනෑම දෙයක් උහු විකුණති. ශරීර සෞඛ්‍යය ද මිතුරන් ද තම අනාගතය ම ද ඒ වෙනුවෙන් පරදුවට තබති.

තවත් අය කරන්නේ ඒ වෙනුවට රැකියාවේ අභිවෘද්ධීය තෝරා ගැනීම ය. වෘත්තීය හිණිමගේ ඉහළට ම යෑම සඳහා ඔහු සියල්ල කැප කරන්නේ ය. රෑ වෙනතුරු ඒ වෙනුවෙන් කඹුරන්නේ ය. දවසේ නොනිදා සිටින හැම පැයක් ම ද හැම දිනයක් ම ද ඒ සඳහා උගස් කෙරේ.

තවත් අය තමන් සිය කේන්ද්‍රයට හැටියට තබා ගනිති. සියල්ල තමන්ට ය. තම සුඛ විහරණය උදෙසා ය. ඊට පසු සියල්ල සකස් වන්නේ ඒ සඳහා ය. තමන් අවට සිටින සියල්ලෝ ඒ වෙනුවෙන් කැප විය යුතු යැයි උහු සිතති. අවසානයේ මේ උමතුව උසුලා ගැනීමට බැරි ව සෙස්සන් වෙන් ව යන තුරුම හේ නොනැවතී ඒ පසු පස හැලමේ දුවයි.

ප්‍රතිපත්ති හැරෙන්නට සිය කේන්ද්‍රය ලෙස මෙසේ වෙනත් ඕනෑ ම දෙයක් තෝරාගන්නා මිනිසා අවසානයේ තමන් තෝරාගත් දෙය පවා සාක්ෂාත් කර ගැනීමේ අපොහොසත් වෙයි. ඒ සඳහා අවශ්‍ය සහය නොලැබ අවසානයේ ව්‍යාසනයට පත් වේ.

ප්‍රතිපත්තිය වැදගත් වන්නේ මේ ව්‍යාසනයෙන් මිදීම ට ය. ඉන්ද්‍ර ඛීලයක් සේ නැගී සිටීම ට ය. එසේ කරන තැනැත්තේ බොහෝ දෙනෙකුගේ සහය ලබයි. දිගු කාලීන ව ජය ලබයි. තමන් ද තමන් සගයින් ද මුළු ලෝකය ම ද ජය ගනියි, දිනවයි.

කිසිවකුගේ පැත්ත නොගෙන සිටීමත් එක් පැත්තක් තෝරාගෙන ඒ මත පිහිටා ඉතිරි සියල්ල පරදුවට තැබීමත් යන අන්ත දෙකින් මිදිය හැක්කේ ප්‍රතිපත්ති පමණක් ගුරු තන්හි ලා සැලකීමෙනි.

මේ කී දෑ ඕනෑම කෙනෙකුට වැදගත් උවදෙසකි. එහෙත් කළමනාකරුවන්ට එය වඩාත් සුවිශේෂ ය. ඔවුන්ට එය මග හැරිය නොහැකි ම පාඩමකි. ඒ පාර්ශවකරුවන් විශාල සංඛ්‍යාවක් සමග කළමනාකරුවෙකුට ගනුදෙනු කිරීමට සිදු ව ඇති හෙයිනි.

උඩ පැන්නොත් බිම වැටේ


ඇඟිල්ලෙ තරමට ඉදිමියං. මුදුනා වෙන්න යන්න එපා. උඩ පැන්නොත් බිම වැටේවි. මෙවැනි අවවාද අනුශාසනාවල කෙළවරක් නැත. මේ හැම එකකින්ම කියන්නේ එකම දෙයකි. ඉන්න විදිහට ඉන්න කියා ය.

සමහරක් කියන්නේ ආදරේට ය. අපට තියෙන හිතේෂී කමට ය. නටන්න ගොස් අප පස්ස බිම ඇන ගනීවි දැයි යන බියට ය. සමහරක් කියන්නේ තරහට ය. උඩ පැන ඉහළ අත්තකට නගි දැයි යන ඉරිසියාවට ය. ඉහළ ගොස් උන්ට කෙළවාවි දැයි යන බිය ට ය. අරමුණ කුමක් වුව ද කියන පණිවුඩය එක ය. එහි මුඛ්‍ය අර්ථය වර්ධනය වනු එපා කියා ය. අතීතයේ  පැවතුනු විදිහට පවතින්නට කියා ය. බහුතරය සමග සිටින්න කියා ය. ඒ තුළ සැඟවෙන්නට කියා ය.

11420

මෙහෙම අවවාද වලින් පිරුණු රටක් එක තැන පල්විම අහම්බයක් ද? අරුමයක් ද? නැත. එවැනි රටක් බිඳ දමන්නට සතුරන් වුවමනා නැත.

ඉන්නා විදිහට ඉන්නා එක ඇත්තට ම පහසු ය. එහෙව් එකේ එසේ නොඉඳ කිසියම් කෙනෙක් පියවරක් ඉදිරියට පය තබන්නේ ඇයි? එක හේතුවක් වන්නේ එක තැන ලැගීම කම්මැලි වීම ය. අනෙක් හේතුව වන්නේ එසේ සිටීම සතෙකුට මිස මිනිහෙකුට කිරීම අපහසු වීම ය. මිනිසා හැදී ඇත්තේ ම වෙනස් වන්නට ය. වර්ධනය වන්නට ය.

වඩු කුරුල්ලන් මිට වසර දහසකට පෙර නිම කළ වඩු කූඩුව අදත් හදන බව අපි දනිමු. එහෙත් මිනිසුන්ගේ ගෙවල් කොතෙක් නම් වෙනස් කම් වලට බඳුන් වී ඇත් ද? ඒ නව දේ කිරීමේ, වෙනස් දේ කිරීමේ, නොතිත් ආසාව නිසා ය. නිසඟ මිනිස් ගතිය නිසා  ය.

මිනිස් ශිෂ්ඨාචාරය සෙසු සතුන් අතර මග දමා ඉදිරියට ම පිය මැන්නේ ද ඒ නිසා ය. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යයි කුමාරතුංග මුණිදාසයන් කීවේ ද ඒ නිසා ය. අතීත විභුතිය ගැන කතා නවත්වා අපට අද කළ හැකි නව දේ සෙවිය යුත්තේ ද ඒ නිසා ය. බිම වැටේ දැයි බිය වෙමින් සිටින්නේ නැතිව අවශ්‍ය ශක්තිය ලබාගෙන උඩ පැන ඉහළ අත්තක් අල්ලා ගත යුත්තේ ද ඒ නිසා ය.

එසේ  වුව ද සමාජ තහංචි විසින් අපේ මේ නිසඟ ශක්තිය අඩ පන කොට තිබේ. අප ආසාවෙන් ගායනා කරන ගීත පවා සැකසී ඇත්තේ ඒ තහංචි නැවත නැවතත් මතක් කරනු පිණිස ය. පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමය මහ මන්දිරේ නැති බව කියන විට අප තේරුම් ගත යුත්තේ මුත්තලා හිටි පැල්පත සොඳුරු බව ය. එයින් නික්ම මන්දිර තැනීමෙන් අප කළේ වරදක් බව ය. වඩු කුරුල්ලා මෙන් මුත්තාගේ පැල වැනි එකක් හදා ගත්තේ නම් අප අද විඳින අකරතැබ්බයන්ගෙන් ගැලවීමට පුළුවන් බව ය. අඩු වශයෙන් මෙතැනින් එහාට අඩියක් වත් නොසෙල්විය යුතු බව ය. අප අභියෝග කළ යුත්තේ මේ අපට හොරා අප හදවතට කා වද්දන්නට හදන මේ තහංචි වලට ය. සීමා මායිම් වලට ය. වැට කඩොලු වලට ය.

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන කියන ප්‍රතිගාමී සිංදුව ඉවතලා කඳු වී නතර නොවී හැකිනම් හාත්පස ආලෝකය විහිදන ගිනි කඳු බවට පත් විය යුත්තේ ඒ නිසා ය.

කවි සිංදුවල පමණක් නොව මේ නිශේධනීය අධෛර්ය කරවන සිතුවිලි ඇති ඉපැරණි හැම දෙයක් ම අත් හල යුතු ය.

කියන්න ලෙහෙසි ය. කරන්න අමාරු ය. විශේෂයෙන් අප වැනි රටක අමාරු ය. එක තැන ලැගීමෙන් නොනැවතී වැටුනු තැනටම වී නිදාගෙන ද ඉන්නා මිනිසුන් සිටින අප වැනි රටක එය අමාරු ය.

මිනිසුන් නිදා ගෙන ඉන්නා තැනක නැගිට ඇවිදින මිනිසා නිදන මිනිසුන්ගේ නින්දට බාධාවක් බවට පත් වන හෙයිනි. නිදන කට්ටියටම එක් වී ඇවිදින එකාට තඩි බාන්නට හෝ ඔහු නිහඩ කරන්නට කටයුතු කරන්නට පුළුවන් බැවිනි.

මා වැඩ කළ එක් ආයතනයක ප්‍රධානියෙක් මට අපූරු අවවාදයක් දුන්නේ ය. ඒ ලස්සණ කතාවක් කීමෙන් පසු ය. කැලෑවේ තුරු මුදුන් වලින් තැනෙන හරිත රේඛාවක් තිබේ. කිසියම් ගසක් මේ හරිත රේඛාව ඉක්මවා ගිය විට සිදුවන්නේ හමා යන සුළගට නිරාවරණය වීම ට ය. සුළග නිසා ඇතැම් විට කරටියෙන් ම කඩා දැමීමට ලක් වීමට ය. ඒ නිසා කළ යුත්තේ ආවරණය වී ඉඳීම ය. හරිත රේඛාවෙන් මතු නොවී සිටීම ය. සැගව සිටීම ය.

මට සිතුනේ ඊට වෙනස් ලෙස ය. කිසිවෙකුට හරිත රේඛාවෙන් මතුවන්නට හැකි නම් ඔහුගේ ඇයගේ මුවාවෙන් සෙසු අයට ද එයින් මතු විය හැකි ය. සැවොම එක වගේ නිර්භීත නැත. ඒ නිසා ම කළ යුත්තේ එසේ මතුවන නිර්භීත අයට දිරි දීම ය. නායකයින් අවශ්‍ය සැගවී සිටීමට හා පසුබැසීමට උපදෙස් දීමට නොවේ. මතුව පහර දීමට උනන්දු කර වීමට ය. මිනිසුන් තුළ ඇති හුඹස් බිය පහ කිරීමට ය.

අපට ඉන්නේ එසේ මතුවන්නට තනන උන් ද අධෛර්ය කරන නායකයින් ය. උපදේශකයින් ය. අප බිය වද්දන අපව අකර්ණම්‍ය කරන නායකයින් ය. අපේ ප්‍රශ්නය ද එය ම ය.

එය එසේ වුව ද ඔබ මෙතෙක් සිතා සිටියේ පසු බැස සැගවෙන්නට නම්, එසේ කළේ කවරෙකුගේ උපදෙස් අනුව වුව ද ඒ ගැන අවසාන විශ්ලේෂණයේ දී වගකිව යුතු වන්නේ ඒ කවරෙකුවත් නොව ඔබ ම ය. ඒ නිසා සමාජය එසේ අපට උපදෙස් දුන් නිසා කළා යැයි ගැලවෙන්නට අපට බැරි බව අප වටහා ගත යුතු ය. අප ගැන අප වගකිව යුතු ය.

ඒ නිසා, නායකයින්ට බැණ දොඩමින් කාලය ගත කිරීමේ තේරුමක් නැත. උන් ඇතැම් විට උපදෙස් දෙන්නේ උන් දන්නා තාලයට ය. උන් දන්නා පමණට ය. ඇතැම් විට මතු නොවී සැගවෙන්නට කියන්නේ මතුවුනොත් දවසක තමන්ටත් තර්ජනයක් එල්ල වෙතැයි යන බිය නිසා ද විය හැකි ය. ඒ කුමක් වුව ත් අප ඒවා අසා ඒ අනුව අපේ ජීවිත සකස් කර ගන්නේ නම් අවසන වැරදිකරුවන් වනු ඇත්තේ අප ය. ඒ නිසා මේ බියෙන් මිදෙන්නට අදිටන් කළ යුතු ය.

ඊළගට මතු වන ප්‍රශ්නය ප්‍රතිවිපාක නොබලා මතු වීම නුවණක්කාර ද යන්න ය. විය හැකි අවදානම ගැන වගේ වගක් නැතිව බෙල්ල දීම කළ යුතු ද යන්න ය.

නැත. මතු වීම ප්‍රවේසමෙන් කළ යුතු ය. පස් මහ බැලුම් බලා කළ යුතු ය. ශක්තිය වඩා ගෙන කළ යුතු ය. නිසි වෙලාව බලා කළ යුතු ය. දුර්වලකම් දැන කළ යුතු ය. මතු විය තර්ජන ගැන තක්සේරුවකින් කළ යුතු ය. එලඹෙන අවස්ථා ගැන සුපරීක්ෂාවෙන් කළ යුතු ය. අවදානම ගැන නිසි තක්සේරුවකින් කළ යුතු ය.

ඒ නිසා ම මුවා වී අකර්ණම්‍ය වීමේ ප්‍රතිපක්ෂය වන කිසි දෙයක් නොබලා ඉදිරියට පැමිණීමේ පුහු වීරත්වය ද හුඹස් බිය තරමට ම අත් හළ යුතු ය.

අප හැමට මොළයක් ලබා දී ඇත්තේ සිතන්නට ය. කිසිවෙකු හෝ දෙන උපදෙස් බාර ගැනීමට පෙර විමසන්නට ය. විමසා ක්‍රියාත්මක වීමට ය.