තර්ක බුද්ධිය ද ඉවෙන් දැනෙන දේ ද?


  • නිශාන්ත කමලදාස

අප බොහෝ අවස්ථා වල සිතන්නේ මිනිසුන් යනු තර්ක බුද්ධිය යොදා ගෙන තීන්දු තීරණ ගන්නා බුද්ධිමත් සත්ත්ව කොට්ඨාශයක් බව ය. එහෙත් ඇත්ත ඊට හාත් පසින් ම වෙනස් ය. මිනිසුන් යනු හැඟීම් වලින් පිරුණු, පූර්ව නිගමන රාශියක් ඔලුවේ තබා ගෙන ඒවාට වන්දනා කරමින් ඉන්නා, හැඟෙන දැනෙන හැටියට වැඩිපුර හිතන්නේ මතන්නේ නැතිව, ඉවෙන් තීන්දු තීරණ ගන්නා කොට්ඨාශයකි.

එහෙත් ඔවුන් තර්ක කරනු අප දැක ඇත. එය සැබෑ ය. එහෙත් අප තේරුම් ගත යුත්තේ ඔවුන් තර්ක කරන්නේ තමන් හැඟෙන දැනෙන හැටියට බැස ගත් තමන්ගේ පූර්ව නිගමන වලින් ගොඩ නගා ගත් ඔවුන්ගේ ම මතයක් සනාථ කරනු පිණිස බව ය. තර්ක බුද්ධිය යොදා ගෙන තීරණ වලට බසිනු වෙනුවට තමන් දැනටමත් බැස ගෙන ඇති තීරණයක් සනාථ කරනු පිණිස ඔවුන් තර්ක බුද්ධිය යොදා ගන්නා බව ය. ඒ අතර ම පෙනී යන්නේ ඔවුන් තමන්ගේ මතයට ප්‍රතිපක්ෂ තර්ක විතර්ක පමණක් නොව කරුණු කාරණා ද ප්‍රතික්ෂේප කරන බව ය. ඒවා නොඇසූ නොදුටු ලෙස හැසිරෙන බව ය.

ඔවුන් මෙසේ අන්ධ විදිහට හැසිරෙන්නේ මන් ද? ඔවුන් ඉදිරියේ ඇති දත්ත හා කරුණු වලට සංඛ්‍යාලේඛන වලට ඔවුන් පිටු පාන්නේ මන්ද? තමන්ට මිනිසෙකු හැටියට ස්වභාව ධර්මය විසින් දායාද කර ඇති සුවිශේෂී ම කුසලතාවය ඔවුන් මග හරින්නේ මන්ද?

තර්ක කිරීම මොළය වෙහෙසෙන වැඩකි. ශක්තිය වැය වන වැඩකි. අප කැමති අවම ශක්තියක් වැය කිරීමට ය. සිතීම සම්බන්ධයෙන් ද අප කටයුතු කරන්නේ එයින් මෙහෙයවනු ලැබීමෙනි. ඒ සඳහා අපට උදව් වන්නේ අත්දැකීමෙන් ලබා ගෙන ඇති පූර්ව නිගමන ය. ඒවා කෙළින් ම භාවිතයට ගන්නවා විනා ඒවායේ අදාළත්වය වත් විමසන්නට උවමනාවක් ඒ නිසා ම අපට නැත.

අලුතෙන් ඉදිරිපත් වන දත්ත, කරුණු, සංඛ්‍යාලේඛන අපේ පූර්ව නිගමන වලට නොගැලපේ නම් ඒවා අපි අමතක කරමු. ඒවා සුළු කොට තකමු. අපේ පූර්ව නිගමන සනාථ කරන දත්ත කරුණු හා සංඛ්‍යා ලේඛන අපි දෙවතාවක් ම නොසිතා වැළඳ ගමු. දැන් ගන්නා තීරණය පූර්ව නිගමන වලට පටහැනි වන්නට හේතුවක් නැත. එසේ බැස ගත් තීන්දුව සම්බන්ධයෙන් වැදගත් වන්නේ එය සතුරු පහර දීම් වලින් රැක ගැනීම ය. ඒ සඳහා අපට පහසුවෙන් සොයා ගත හැකි ඔ්නෑ ම බංකොලොත් තර්කයක් යොදා ගන්නේ ද අවම ශක්තියක් වැය කිරීමේ උවමනාව නිසා ය. බංකොලොත් යැයි කීවේ බොහෝ ඒවා නොගැලපෙන්නට වුව ඉඩ ඇති නිසා ය. ඒ නිසා බොහෝ විට ප්‍රතිචාර ගන්නේ කොහෙද යන්නෙ මල්ලේ පොල් වැනි ස්වභාවයක් ය.

තර්කයෙන් පරදිතොත් අනුගමනය කරන්නට තවත් බොහෝ උපක්‍රම අපේ ආයුධ මල්ලේ ඇත. එකක් නම් අනෙකාට ලේබලයක් අලවා ඒ තැනැත්තා කිච කර දැමීම ය. බල්ලා බූරුවාගේ සිට තවත් අනේක විද සතුන් දක්වා ද ධනවාදී නව ලිබරල් වාදී ලේබලයේ සිට සමාජවාදී ලේබලය දක්වා ද පරයකුගේ සිට අවජාතකයෙකු දක්වා ද කඩේ යන්නෙකුගේ සිට ගොට්ට අල්ලන්නෙකු දක්වා ද වශයෙන් විවිධ ආකාරයේ ලේබල් ඒ සඳහා භාවිතා කෙරේ. අමනයෙක් හොරෙක් දූෂිතයෙක් යන චෝදනාව ද අවශ්‍ය වුනොත් එල්ල කළ හැකි ය. ඒ එකක් වත් ඔප්පු කිරීමට ප්‍රමාණවත් කරුණු නැතිව වුව භාවිතා වේ. ඒ ද ප්‍රමාණවත් නැත්නම් තර්ජනය කිරීම් ද ශාරීරික ප්‍රහාර ද සූදානම් ය.

තර්ක බුද්ධිය භාවිතා කිරීමට මේ තත්වයට යටතේ අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා ම බොහෝ දෙනෙකු බොරුව ම විශ්වාස කරති. බොරුවට ආයුෂ නැති බව ඇත්ත ය. එහෙත් එකක් බොරු බව ඔප්පු වෙන කොට, තවදුරටත් මග හරින්නට බැරි ලෙස ඔප්පු වන විට, සොයන්නේ ඇත්ත නොවේ. තවත් එවැනි ම සුන්දර බොරුවකි. ඇත්ත තිත්ත ය. බොහෝ විට එය අපේ මැදිහත් වීම ඉල්ලා සිටී. මහන්සි වන්නට අකමැති, ශක්තිය වැය කරන්නට අකමැති, අපට බොරුව ආකර්ෂණීය ය. එය අපෙන් ඉල්ලා සිටින්නේ අවම මැදිහත් වීමකි. උදාහරණයක් කියන්නේ නම් ඇතැම් විට අවශ්‍ය වන්නේ පුංචි පඬුරක් ගැට ගැසීමට ය. නැතිනම් පුංචි බාරයක් වීමට ය. සුරයක් පැලඳීමට ය. එහෙමත් නැති නම් මැතිවරණයේ දී පොඩි කතිරයක් ගැසීමට ය. පොඩි දෙයක් දී ලොකු දෙයක් ලබා ගත හැකි බවට කියවෙන ඒ බොරුව ඒ නිසා ආකර්ෂණීය ය. බොරුව බොහෝ දෙනාගේ ආදායම් මාර්ගයක් වී ඇත්තේ අපේ මේ දුර්වලකම් වලට පින් සිදු වන්නට ය.

එවැනි තත්වයක් යටතේ තර්ක බුද්ධිය සංවාදයේ අවියක් හැටියට භාවිතයට ගැනීම දුෂ්කර ය. එය අනෙක් පැත්තේ ඇති බර අවි සමග සසඳන විට හා ඒ පැත්තේ ඇති ආරක්ෂක වළලු සලකා බැලූ විට එහෙම ට වැඩක් නැත. එහෙත් සත්‍යය සොයා ගැනීමට අවශ්‍ය නම් භාවිතා කළ යුතු අවිය එය ය. ප්‍රශ්නය සත්‍යය අවශ්‍ය කාට ද යන්න ය. සත්‍යය අවශ්‍ය වන්නේ වෙනසක් කිරීමට අවශ්‍ය අයට ය. වෙනස් විය යුතු යැයි සිතන අයට ය. වෙනසක් අවශ්‍ය අයට ය. ඔබ එවැනි කෙනෙකු නම් තර්ක බුද්ධිය නමැති අවිය ප්‍රබල ය. එයින් යා හැකි සීමාව සනිටුහන් වන තැනක “ඉව” භාවිතයට ගැනීම වැරදි නැත. එවැනි අවස්ථාවක හැඟෙන දැනෙන හැටියට වැඩ කළා ට ප්‍රශ්නයක් නැත. සමහර අවස්ථා වල අපට තීන්දු තීරණ ගැනීමට සිදු වන්නේ කරුණු සංඛ්‍යාලේඛන එකතු කර ගන්නට තර්ක බුද්ධිය මෙහෙයවන්නට ඉඩක් නැතිව ය. පිති කරුවෙකු තමන් වෙත එන වේග පන්දුවට පහර දීම එවැනි අවස්ථාවකි.  එවැනි තැනක තර්ක කර කර සිටීමේ තේරුමක් නැත. විකල්ප තෝරා ගෙන ඒවා වෙන වෙනම සලකා බලා හොඳ ම තීරණය ගැනීමට ඉඩ පහසුවක් එතැන නැත. ඉව නොහොත් පූර්ව නිගමන අපේ උදව්වට එන්නේ එහෙම තැනක ය. ඒ නිසා ඒවාට ද කිසියම් කාර්යය භාරයක් තිබේ. ඒත් ඇතැම් දෙනා හැම තැන දීම තීරණ ගන්නේ පන්දුවට පහර දෙන පිති කරුවෙකු ලෙස ය. නොසිතා ය. පූර්ව නිගමන මත පිහිටා ය.

එහෙත් අනෙක නොසලකා, සම්පූර්ණයෙන් ම “ඉව” හෝ තර්කය පමණක් ම භාවිතා කිරීම අප සතු ව ආයුධ තිබිය දී ඒවායින් ඇතැම් ඒවා භාවිතා නො කිරීමට සමාන ය.

ආයතන තුළ තීරණ ගැනීමේ දී තර්ක බුද්ධිය හා “ඉව” යන දෙක ම භාවිතා කිරීමට දිරි දිය යුතු ය. තීරණ සමාලෝචනය කරමින් පසු විපරමට භාජනය කරමින් පූර්ව නිගමන වෙනස් කර ගැනීමට අවස්ථාව සැලසිය යුතු ය. නව පූර්ව නිගමන වලට එළඹීමට සහය විය යුතු ය.

Leave a comment