මිතුරන් අනුගාමිකයන් කර ගැනීම හෙවත් මිතුරන් සතුරන් කර ගැනීම


නායකයෙකුට තම ආයතනය තුළ පෞද්ගලික මිතුරන් සිටිය හැකි ද? වැඩ සගයෙකු හෝ අනුගාමිකයෙකු මිතුරකු කර ගත හැකි ද? මිතුරෙකු ආයතනය තුළ රැකියාවකට බඳවා ගත හැකි ද?

මේ ප්‍රශ්නයට උත්තර දිය හැක්කේ මිතුරෙකු යනු කවරෙක් දැයි අර්ථ නිරූපනය කිරීම තුළ ය. දන්නා හඳුනන කෙනෙකුට අප මිතුරෙකු යැයි කියන්නේ නැත. එසේ නම් දැන හැඳුනුම් කමත් මිතුරුකමත් බෙදන රේඛාව කුමක් ද?

මිතුරෙකු ඉදිරියේ අපගේ අතිශය පෞද්ගලික තොරතුරු දිගහැරිය හැකි වුව ද දන්නා හඳුනන පමණින් කෙනෙකු ඉදිරියේ අප එසේ විවෘත වන්නේ නැත. එයින් කියවෙන්නේ විශ්වාසය මෙහිදී වැදගත් කාර්යයක් ඉටු කරන බව ය. අප කෙනෙකු ඉදිරියේ විවෘත වන්නේ අපගේ දුර්වලකම් ඔහු හෝ ඇය විසින් අපට එරෙහිව කුමන තත්වයක් යටතේවත් භාවිතා නොකරනු ඇතැයි යන විශ්වාසය තිබුනොත් පමණ ය. ඒ විශ්වාසය දිනාගත් අය පමණක් අපේ මිතුරන් බවට පත් වේ.

මිතුරුකමත් කළමනාකරුවෙකු හා අනුගාමිකයෙකු අතර ඇති සම්බන්ධයත් කිසියම් අවස්ථාවක ගැටුමකට යා හැකි ය.

ආයතනික හේතුවක් නිසා අනුගාමිකයෙකුට දඩුවම් කළ යුතු වූ විට දී මිතුරු කම හරහට එන්නට පුලුවන. අමාරුවෙන් හෝ දඩුවම් දීම තෝරාගත්තොත් ඒ තුළ මිතුරුකම අර්බුදයකට යන්නේ ය.

මේ තත්වය අනවශ්‍ය බලයක් ගොඩ නගා ගැනීමට අනුගාමිකයාට රුකුළක් වන්නේ ය. එය අවසන් වනු ඇත්තේ අනුගාමිකයාව මෙල්ල කිරීමට නායකයාට එන පීඩනයකිනි.

එවැනි අවස්ථාවක මිතුරු අනුගාමිකයෙකු සතු ඒ බලය නොසළකා හැර දඩුවම් කරන්නේ නම් මිතුරුකම සතුරුකමකට වුව පෙරලිය හැක්කේ ය.

මිතුරෙකු අමනාප කර ගැනීම සාමාන්‍ය කෙනෙකු අමනාප කරගන්නවාට වඩා භයානක ය. අර්බුදයකට ගිය මිතුරුකම නිසා අතීතයේදී විශ්වාසයෙන් හෙලිදරව් කළ යම් යම් දෑ නව තත්වයන් යටතේ ඇතිවිය හැකි සටනට අවශ්‍ය අවි බවට පත්වන්නේ ය.

වැඩ සගයාත් මිතුරාත් නැති වන අතර තමන් අතිශය අවාසනාවන්ත පහර දීමකට නිරාවරණය වීමට ඒ බිඳීම හේතු වන්නට පුලුවන.

මිතුරු සබඳතාත් වැඩ පොළේ සබඳතාත් ඒ නිසා වෙන්කර තැබීම නුවණට හුරු ය. මිතුරන් ආයතනයට කැඳවා නොගැනීමට මෙන්ම මිතුරන් ආයතනය තුළින් ඇතිකර නොගැනීමට ද නායකයා ප්‍රවේසම් විය යුත්තේ ඒ නිසා ය.

(මේ සටහන ලිවූවේ මෑතකදී පවත්වන ලද නායකත්ව වැඩ මුළුවක දී සහභාගී වන්නෙකු නැගූ පැණයක් නිසා ඇති වූ සංවාදය පදනම් කර ගනිමිනි. ඔබගේ ගැටළුවක් ඇත්නම් එය අප වෙත යොමු කරතොත් සංවාදයකට එය විවෘත කළ හැකි ය.)

දැනුම හා බුද්ධිය – ඒවායේ දිග පළල සමගින්…


දැනුම හා බුද්ධිය එකක් ද දෙකක් ද? ඒ දෙකින් ඇත්තටම අදහස් වන්නේ කුමක් ද? අප සොයා යා යුත්තේ කුමක් ද? අපට අවශ්‍යව ඇත්තේ කුමක් ද? මේ දෙක අතර සම්බන්ධය කෙබඳු ද? යන ප්‍රශ්න රාශියක් බොහෝ දෙනාට ඇත.

දැනුමේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තිබේ. එකක් බෙදා හදා ගත හැකි දැනුම (explicit knowledge) ය. දෙවැන්න බෙදා හදා ගත නොහැකි දැනුම (implicit knowledge) ය.

පළමු ආකාරයේ දැනුම නිසි ලෙස සංවිධානය කොට තිබේ. සංඝටකයන්ට කඩා පහසුවෙන් දිරවා ගත හැකි ලෙස සකස් කොට තිබේ. දෙවැන්න එසේ නැත. ඒවා අසංවිධිත ය. අවුල් ය. එතෙකුදු ඒවා අපට තීරණ ගැනීමේ දී තීරණාත්මක ලෙස උදව් වෙයි. තීරණයක් හරි ද වැරදි ද යයි අපට හැගෙන්නේ මේ අසංවිධිත දැනුම නිසා ය. අප ඒ නිගමනයට එන්නේ කුමන හේතු සාධක නිසා දැයි කියන්නට අසංවිධිත දැනුමට නොහැකි ය. එහෙත් එම අසංවිධිත දැනුම අපට යමක් කරන්නට හෝ එපා යැයි බල කරන්නේ එය ප්‍රබල ලෙස අපට කා වැදී ඇති නිසා ය.

සංවිධිත දැනුම තිබෙන්නේ උඩු හිතේ ය. ඒවා වචන වලින් ප්‍රකාශ කළ හැකි ය. අසංවිධිත දැනුම තියෙන්නේ යටි සිතේ ය. ඒවා තිබෙන්නේ වචන වලින් ගොනු කළ නොහැකි පරාසයක ය. ඒවා සමහර විට රූපයක් හෝ රටාවක් ලෙස සකස්ව තිබෙනවා විය හැකි ය.

සංවිධිත දැනුමේ පදනම න්‍යායන් ය. ඒ නිසා එය තර්කයට භාජනය කළ හැකි ය. සංවාදයන්ට විවාදයන්ට ලක් කළ හැකි ය. අසංවිධිත දැනුමේ ඇත්තේ හැගීම් ය. සංවේදනා ය. ඒවා තර්කයට බඳුන් කළ නොහැකි ය. අසංවිධිත දැනුම ඉදිරියේ තර්කය දුබල ය. අප්‍රාණික ය. නොවැදගත් ය.

සංවිධිත දැනුම බොහෝ විට ලැබෙන්නේ කියවීමෙනි. නැතිනම් ඇසීමෙනි. පොතපතිනි.

එහෙත් අසංවිධිත දැනුම බොහෝවිට ලැබෙන්නේ ක්‍රියාකාරිත්වයෙනි. අභ්‍යාසයෙනි. ජීවිතයෙනි.

ස්වල්ප දෙනෙකු තමන් ලබන අසංවිධිත දැනුම සංවිධිත දැනුම බවට පෙරලා ගන්නට බලති. ඔවුන් බොහෝ විට පර්යේක්ෂකන් (researchers) ය. විද්‍යඥයින් (scientists) ය. දර්ශනවාදීන් (philosophers) ය. ලේඛකයින් ය. ගුරුවරුන් ය. සමහරු නිල වශයෙන් ය. සමහරු නොනිලව ය.

එහෙත් බොහෝ දෙනෙකුගේ අසංවිධිත දැනුම ඔවුන්ට පමණක් ආවේණික ය. එලිය ගෙන දෙන්නේ ඔවුන්ට පමණ ය. එහෙත් ඒ ලබන එලිය සංවිධිත දැනුමෙන් ලබන බලපෑමට වඩා ප්‍රබල ය.

බණ අහන තරමට මිනිසුන් බණ පිළිනොපදින්නේ මේ හේතුව නිසා ය. බණ වල තිබෙන්නේ සංවිධිත දැනුම ය. අනුන් විසින් සම්පාදනය කරන ලද සංවිධිත දැනුම ය. එය කෙනෙකු සතුව තිබෙන අසංවිධිත දැනුම සමග ගැටේ නම් එයට ප්‍රතිපක්ෂව යා නම් මිනිසුන් බණ ඇසුවාට බණ පිළිපදින්නේ නැත. තමන් සතුව තිබෙන අසංවිධිත දැනුම ඉදිරියේ ඒ බණ හිරු ඉදිරියේ ඇති කණාමැදිරි එලියක් සේ දිස් වෙන නිසා ය.

එසේ වුව ද බුද්ධිමත් මිනිසෙකුට තමන්ට මුණ ගැසෙන සංවිධිත දැනුම තමන්ගේ අසංවිධිත දැනුමේ ශක්තිය උරගා බැලීමට හැකි ගිනි ගලක් ලෙස දැනෙයි. මෝඩයා සංවිධිත දැනුමට ඔලොක්කු කරද්දී එසේත් නැතිනම් නිශ්ශබ්දවම එය මග හැර යද්දී බුද්ධිමත් මිනිසා සංවිධිත දැනුමට සංවේදී වන්නේ ඒ නිසා ය. බුද්ධිමත් මිනිසා තමන් ජීවිතයෙන් ලද දැනුම සෙසු මිනිසුන්ගේ සංවිධිත දැනුම සමග ගැටෙන්නට දී තමන්ගේ ජීවිත දැනුම -අසංවිධිත දැනුම- පරීක්ෂාවට භාජනය කරන නිසා ම වඩාත් හොඳින් ජීවිතයට මුහුණ දෙන්නට උගනී.

බුද්ධිමතෙකු විය හැක්කේ සංවෘත මිනිසෙකුට නොවේ. අන් මත ඉවසන ඒ මත දෙස එක් වරක් නොව දෙවරක් බලන්නට කැමති විවෘත මිනිසෙකුට ය.

සමහර විට දැනුමින් ඕනෑවට වඩා හිස උදුම්මාගත් කළ හෝ දැනුමින් තමන්ව වටකර ගත් කළ බුද්ධිමතෙකුගේ මේ විවෘත භාවය හරහා වැට කඩොළු බැඳේ. ඉන්පසු ඔහු තවදුරටත් බුද්ධිමතෙකු ලෙස හැසිරෙන්නේ නැත.

ඒ නිසාම දැනුම හා බුද්ධිය අතර ඇත්තේ අමුතුම ආකාරයක සම්බන්ධයකි. බුද්ධිය දැනුම උකහා ගන්නා අතර උකහා ගත් දැනුම බුද්ධිය සිය ග්‍රහණයට ගෙන අකර්ණම්‍ය කර දමයි. දැනුමෙන් ප්‍රවේශම් වීමට ඒ නිසාම බුද්ධිමතුන් වග බලා ගත යුතු ය.

නායකයා ගරු කළ යුත්තේ නීතියට ද ආචාර ධර්මයන්ට ද?


සාධාරණය කළ හැකි යම් හේතුවක් නිසා නීතියක් කඩ කළ කෙනෙකුට දඩුවම් නොදී සමාව දීමට නායකයෙකුට හැකි ද? සාධාරණය කළ හැකි කිසියම් දෙයක් වෙනුවෙන් නීතියක් කඩ කිරීමට නායකයෙකුට හැකි ද?

නීතියක් යනු දේව නියමයක් නොවේ. මිනිසුන් විසින් නිර්මාණය කර ගත් දෙයකි. නීති හදා ගෙන තිබෙන්නේ වඩා හොඳින් වැඩ කටයුතු කිරීමේ පහසුවට ය. එයින් අනියමින් කියවෙන්නේ ඒවා අවශ්‍ය වුවහොත් මග හැරියාට කමක් නැති බව ය. නීතියට වඩා ආචාර ධර්මයන්ට නිවැරදි දෙයට ප්‍රයෝගික දේ ට තැන දිය යුතු බව ය.

එහෙත් කුඩා ප්‍රශ්නයක් ඉතිරි වේ. නීතියක් කැඩුනහම එයට විරුද්ධව පියවර නොගත හොත් එය තවදුරටත් නීතියක් ලෙස පවත්වා ගැනීම අසීරු වෙයි. නීතිය හා අවනීතිය අතර වෙනස මැකී යයි. සමාජය තුළ අවිචාර සමයක් බිහිවෙන්නට එයින් මග පෑදේ. නීතියේ ආධිපත්‍යය ගැන බොහෝ දෙනෙකු පක්ෂපාත වන්නේ ඒ නිසා ය.

නීති හැමෝටම කඩන්නට ඉඩ දෙන්නට බැරි බව මේ නිසා පොදු පිළිගැනීම ය. එහෙම නම් නීති කැඩීමට බලය ඇත්තේ කාට ද? කාට නැතත් නීතියක් නායකයාට කැඩිය හැකි බව කියා මේ උභතෝකෝටිකයෙන් ගැලවෙන්නට සමහරු කැමති ය. ඊට සමානව නීතියක් කඩ කළ කෙනෙකුට සමාව දීමට ද නායකයාට හැකි ය.

තර්කයක් හැටියට ගැලවීමක් ලැබුන ද ප්‍රශ්නයට මුළුමනින් උත්තරයක් ඉන් නොලැබේ. නායකයා කවරෙක් ද? රටක ආයතනයක ඉන්නේ එක් නායකයෙක් නම් එතකොට පහසු ය. එහතේ නායකයන් බොහෝ දෙනෙක් ඉන්නා විට තත්වය නරක අතට හැරේ. ඉර ගහන්නේ කොතැන ද?

කුඩා උදාහරණයක් ගෙන බලමු. ඇමතිවරු පරිවාර රථ සමග ඉගිලයන්නේ කිසිදු මාර්ග නීතියක් සැළකිල්ලට නොගනිමිනි.

පොලීසිය පමණක් නොව මහජනයා ද දැන් කාලයක සිට මේ නීති කැඩීම ඉවසති. මේ අයිතිය ඇත්තේ ඇමතිවරුන්ට පමණ ද? මන්ත්‍රීවරුන්ටත් තිබේ ද? එතකොට පළාත් සභාවල උත්තමයින්ට! හරි ඒ ඔක්කොමටම දුන්නහම වැඩේ ඉවර ද? නැත.

මේ ළගදී මහේස්ත්‍රාත්වරයෙක් මාර්ග නීති උල්ලංඝනය කර පොලිස් නිලධාරියෙකුගේ උදහසට ලක් වුනේ ය. එ් අවනඩුව අවසන් වුනේ පොලිස් නිලධාරියා මාර්ගනීති කඩ කළ පුද්ගලයාට වැඳ සමාව ගැනීමෙනි.

පහුගිය දොහක භික්ෂූන් වහන්සේ නමක් ගිය රථයක් නැවැත්වූවේ යැයි කියා තිත්ත කුණුහරුප වලින් සංග්‍රහ ලබන්නට පොලිසියට සිද්ධ වුනේ ය.

ඒ කියන්නේ මේ ඉර ගහන්නට තැනක් හරියට නැති බව ය.

සාමාන්‍ය මාර්ගවල ඉගිලෙන්නට අවසර තිබුනාට එහෙම අවසරයක් අධිවේගී මාර්ගයේ දෙන්නට ඕනෑ නැතැයි සිතූ එක් පොලිස් කාරයෙක් තමන්ගේ ගෙයත් වාහනයත් විනාශ කර ගෙන රැකියාවත් නැති කර ගත්තේ ය.

ඒ කියන්නේ ඕනෑම තැනක මේ නීතිය ක්‍රියාත්මක කරන්නට යෑමේ විපාක තිබෙන බව ය.

ප්‍රශ්නය ඇත්තේ නීතිය කඩන්න පුලුවන් කාට ද? කොහේදි ද? කොච්චර ප්‍රමාණයකින් ද යන්න අපැහැදිලි වීම ය. ඒ නිසා සිදු වන්නේ තීතිය රකින අය අමාරුවේ වැටීම ය.

නීතියක් දේව නියමයක් නොවන බව ඇත්ත ය. ඒ නිසා නීතිය දෙස වෙනස් කළ නොහැකි දෙයක් ලෙස බැලීම ප්‍රායෝගික නැත. එහෙත් කළ යුත්තේ නීතියක් වෙනස් කිරීම මිස එය කැඩීම ද යන්න ප්‍රශ්නයට අප පිළිතුරු සෙවිය යුතු ය.

එය යම් ලෙසකින් කඩන්නේ නම් එය කළ යුත්තේ එසේ කැඩීමට තරම් බරපතළ සුවිශේෂී වාතාවරණයක් ඇතිව තිබුනෝතින් අති විශේෂ තත්වයන් යටතේ ය.

අපේ වේග සීමාව 50 ක් නම් තෝරාගත් නායකයින්ට සාමාන්‍ය පාරක 10% ක් හෝ 20% ක් වැනි නිශ්චිත අගයක් වැඩියෙන් යාමට අවසර දුන්නාට ලොකු වරදක් වෙන එකක් නැත. එසේ වුව කළ හැක්කේ එසේ කරන්නට බලය දෙන අයට සයිරන් නලාවක් හඩවා අනතුරු අගවන ලෙස අතුරු නීතියක් ද දාන්නේ නම් පමණ ය. එයින් නීතියෙන් අපේක්ෂා කරන මාර්ගයේ ජීවිත සුරක්ෂිතතාවය ලැබෙන බැවිනි. එතකොට කරන්නේ නීතිය කැඩීම නොව

නීතිය අපේක්ෂිත අරමුණ තවදුරටත් සාක්ෂාත් කරගත හැකි පරිදි වෙනස් කිරීම ය.

මා පාරේ නීතිය දැක්වූවේ අප කාටත් තේරෙන උදාහරණයක් නිසා ය. ආයතනවල නීති සම්බන්ධයෙන් ද මේ දේ අදාළ ය. නායකයෙකුට පවා නීතිය කඩන්නට ඉඩක් නොදිය යුතු ය. නීතියක් බැරිවෙලාවත් කඩන්නේ නම් ඒ සඳහා නිසි හේතු දැක්වීමක් කළ යුතුව ඇත්තේ ය. ඔවුන් සම්බන්ධ නීති වෙනස් වූවාට කමක් නැත. ඒ නීතියෙන් අපේක්ෂිත අරමුණු තවදුරටත් රැකෙන පරිදි ය.

ඉල්ලන දේ දීම – සැපයිය යුත්තේ ඉල්ලුමට ද?


ඉල්ලුම කුමක් දැයි බලා ඒ අනුව සැපයිය යුතුය යන්න බොහෝ දෙනා අනුයන මතයයි. එතකොට නිපදවන සියල්ල විකුණා ගත හැකි ය. මේ ප්‍රතිපත්තියට ඉංග්‍රීසියෙන් කියන්නේ demand driven කියා ය. තවත් සමහරු මෙයට තවත් ගාම්භීර නමක් දෙති. මේ ප්‍රවේශය ඔවුන් හඳුන්වන්නේ bottom-up approach කියා ය. පහළින් ඉල්ලා සිටින දේ උඩින් දෙන ක්‍රමයක් නිසා එය වඩාත් ජනහිත කාමී යැයි කෙනෙකුට කියන්නට පුලුවන. බැලුවහම වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ එය යි.

ඒ අනුව මිනිසුන් ඉල්ලන්නේ කුණු නම් දිය යුත්තේ ද කුණු ය. මක්නිසා ද යත් ඊට වැඩි යමක් දුන්නාට ඔවුන් එය පිළි නොගන්නා නිසා ය.

සිරුර කිස කිරීමට කැළේට වදින මිනිසුන්ට ඒ අනුව වැසිකිළි දීම තේරුම් රහිත ක්‍රියාවකි. දුන්නත් ඔවුන් එය සිරුර කිස කිරීමට භාවිතා කරන එකක් නැත. මෙය බැලු බැල්මට ඒත්තු යන තර්කයකි.

මේ තර්ක කරන අය නොසිතන දේ නම් ජනතාවට යමක් ඉල්ලන්නට ඔවුන් ඒ දේ ගැන මුලින් දැන සිටිය යුතු බව ය. එයින් අත් කර ගත හැකි ලාබ ප්‍රයෝජන ගැන දැන සිටිය යුතු බව ය.

එතරම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නොපෙනුනත් සැපයුම මගින් මෙහෙයවන supply driven නිපැයුම් ජනතාවට තමන් ඉන්නා තැනින් අගලක් හෝ උඩට යෑමට ඔවුන්ට උදව්වක් වනු ඇත. අවශ්‍ය වන්නේ මේ ඉන්නා විදිහට දිවි ගැට ගහ ගැනීම නම් ඉල්ලුම මත පදනම් වූ නිපැයුම් ප්‍රමාණවත් ය. එහෙත් අදහස දියුණුව නම් ඉන් අත් වන සෙතක් නැත.

ඒ නිසාම ආගන්තුක යැයි පෙනුනේ වුව ද ඉහළ සිට පැමිණෙන්නේ යැයි දැනුනේ වුව ද සැපයුම මගින් මෙහෙයවෙන නිපැයුම් දියුණුවට වැඩි අත හිතක් දෙන්නේය යන නිගමනයට අපට පැමිණිය හැකි ය.

සැපයුම සඳහා තරගයක් තිබෙන තාක් ද තෝරාගැනීමේ ඉඩ ජනතාවට තියෙන තාක් ද උඩින් පැමිණියේ වුව ද (top-down) එය ප්‍රජාතන්ත්‍රවාදී ය.

නිර්මාණශීලී නායකයන්ගේ කුසලතාවය මැනිය යුත්තේ ජනතාව ඉල්ලන දේ දීමට ඇති හැකියාව තුළ නොවේ. ඊට වැඩිමනත් දෙයක් සපයා ඔවුන් ඊට අවනත කර ගැනීමට ඇති දක්ෂතාවයේ ය.

ළමුන් ඉල්ලන හැම දෙයක් ම දී ගැලවීම දෙමාපියන්ට පහසු ය. එහෙත් ඔවුන්ගේ කාර්යය භාරය වන්නේ ඉල්ලන අනවශ්‍ය දේ නොදී නොඉල්ලන අවශ්‍ය දේ ලබා දී ඔවුන් වඩා හරවත් දේට පුරුදු පුහුණු කිරීමේ ය. ඒ සඳහා නිර්මාණශීලිත්වය ඇතුළු බොහෝ කුසලතා අවශ්‍ය ය. එහෙම නැති අයට කළ හැක්කේ ඉල්ලන දේ දීමට පමණ ය. ඒ නිසාම ඔවුන් එහි ආනිසංශ ගැන කතා කිරීමට වඩා කැමති ය.

ස්ටීව් ජොබ්ස් කිසි කලෙක ඉල්ලන දේ නිපදවීමෙන් සෑහීමකට පත් වූයේ නැත. ඔහු මිනිසුන්ට ඉල්ලන්නට හැකි දේ දී ඔවුන් ඉල්ලන බවට වග බලා ගත්තේ ය.

සමහර මධ්‍යගත පාලනයන් ද ජනතාවට නොඉල්ලන දේ දෙන බව සැබෑ ය. එහෙත් ඔවුන් එය කරන්නේ තරගකාරී වටපිටාවක නොවේ. ඒකාධිකාරී පරිසරයක ය. එවිට සිදුවන්නේ ජනතාවට තෝරාගැනීමක් නැතී වීම ය. එය ද ඉහළ සිට පහළට යන ක්‍රියාදාමයක් වුව ද අප කතා කළ කාරණය එම තත්වය හා පටලවා නොගත යුතු ය. ඒ ක්‍රමයට වඩා නම් ඉල්ලන දේ දීමේ ක්‍රමය වඩා හොඳ ය. මක්නිසා ද යත් එවිට දුර විදින මීසයිල වෙනුවට අඩු වශයෙන් කන්නට අවශ්‍ය දේ වත් ජනතාවට ලැබෙන නිසා ය.