ඉල්ලන දේ දීම – සැපයිය යුත්තේ ඉල්ලුමට ද?


ඉල්ලුම කුමක් දැයි බලා ඒ අනුව සැපයිය යුතුය යන්න බොහෝ දෙනා අනුයන මතයයි. එතකොට නිපදවන සියල්ල විකුණා ගත හැකි ය. මේ ප්‍රතිපත්තියට ඉංග්‍රීසියෙන් කියන්නේ demand driven කියා ය. තවත් සමහරු මෙයට තවත් ගාම්භීර නමක් දෙති. මේ ප්‍රවේශය ඔවුන් හඳුන්වන්නේ bottom-up approach කියා ය. පහළින් ඉල්ලා සිටින දේ උඩින් දෙන ක්‍රමයක් නිසා එය වඩාත් ජනහිත කාමී යැයි කෙනෙකුට කියන්නට පුලුවන. බැලුවහම වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ එය යි.

ඒ අනුව මිනිසුන් ඉල්ලන්නේ කුණු නම් දිය යුත්තේ ද කුණු ය. මක්නිසා ද යත් ඊට වැඩි යමක් දුන්නාට ඔවුන් එය පිළි නොගන්නා නිසා ය.

සිරුර කිස කිරීමට කැළේට වදින මිනිසුන්ට ඒ අනුව වැසිකිළි දීම තේරුම් රහිත ක්‍රියාවකි. දුන්නත් ඔවුන් එය සිරුර කිස කිරීමට භාවිතා කරන එකක් නැත. මෙය බැලු බැල්මට ඒත්තු යන තර්කයකි.

මේ තර්ක කරන අය නොසිතන දේ නම් ජනතාවට යමක් ඉල්ලන්නට ඔවුන් ඒ දේ ගැන මුලින් දැන සිටිය යුතු බව ය. එයින් අත් කර ගත හැකි ලාබ ප්‍රයෝජන ගැන දැන සිටිය යුතු බව ය.

එතරම් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නොපෙනුනත් සැපයුම මගින් මෙහෙයවන supply driven නිපැයුම් ජනතාවට තමන් ඉන්නා තැනින් අගලක් හෝ උඩට යෑමට ඔවුන්ට උදව්වක් වනු ඇත. අවශ්‍ය වන්නේ මේ ඉන්නා විදිහට දිවි ගැට ගහ ගැනීම නම් ඉල්ලුම මත පදනම් වූ නිපැයුම් ප්‍රමාණවත් ය. එහෙත් අදහස දියුණුව නම් ඉන් අත් වන සෙතක් නැත.

ඒ නිසාම ආගන්තුක යැයි පෙනුනේ වුව ද ඉහළ සිට පැමිණෙන්නේ යැයි දැනුනේ වුව ද සැපයුම මගින් මෙහෙයවෙන නිපැයුම් දියුණුවට වැඩි අත හිතක් දෙන්නේය යන නිගමනයට අපට පැමිණිය හැකි ය.

සැපයුම සඳහා තරගයක් තිබෙන තාක් ද තෝරාගැනීමේ ඉඩ ජනතාවට තියෙන තාක් ද උඩින් පැමිණියේ වුව ද (top-down) එය ප්‍රජාතන්ත්‍රවාදී ය.

නිර්මාණශීලී නායකයන්ගේ කුසලතාවය මැනිය යුත්තේ ජනතාව ඉල්ලන දේ දීමට ඇති හැකියාව තුළ නොවේ. ඊට වැඩිමනත් දෙයක් සපයා ඔවුන් ඊට අවනත කර ගැනීමට ඇති දක්ෂතාවයේ ය.

ළමුන් ඉල්ලන හැම දෙයක් ම දී ගැලවීම දෙමාපියන්ට පහසු ය. එහෙත් ඔවුන්ගේ කාර්යය භාරය වන්නේ ඉල්ලන අනවශ්‍ය දේ නොදී නොඉල්ලන අවශ්‍ය දේ ලබා දී ඔවුන් වඩා හරවත් දේට පුරුදු පුහුණු කිරීමේ ය. ඒ සඳහා නිර්මාණශීලිත්වය ඇතුළු බොහෝ කුසලතා අවශ්‍ය ය. එහෙම නැති අයට කළ හැක්කේ ඉල්ලන දේ දීමට පමණ ය. ඒ නිසාම ඔවුන් එහි ආනිසංශ ගැන කතා කිරීමට වඩා කැමති ය.

ස්ටීව් ජොබ්ස් කිසි කලෙක ඉල්ලන දේ නිපදවීමෙන් සෑහීමකට පත් වූයේ නැත. ඔහු මිනිසුන්ට ඉල්ලන්නට හැකි දේ දී ඔවුන් ඉල්ලන බවට වග බලා ගත්තේ ය.

සමහර මධ්‍යගත පාලනයන් ද ජනතාවට නොඉල්ලන දේ දෙන බව සැබෑ ය. එහෙත් ඔවුන් එය කරන්නේ තරගකාරී වටපිටාවක නොවේ. ඒකාධිකාරී පරිසරයක ය. එවිට සිදුවන්නේ ජනතාවට තෝරාගැනීමක් නැතී වීම ය. එය ද ඉහළ සිට පහළට යන ක්‍රියාදාමයක් වුව ද අප කතා කළ කාරණය එම තත්වය හා පටලවා නොගත යුතු ය. ඒ ක්‍රමයට වඩා නම් ඉල්ලන දේ දීමේ ක්‍රමය වඩා හොඳ ය. මක්නිසා ද යත් එවිට දුර විදින මීසයිල වෙනුවට අඩු වශයෙන් කන්නට අවශ්‍ය දේ වත් ජනතාවට ලැබෙන නිසා ය.

Advertisements