නායකයා සහ නායකත්වය


  • නිශාන්ත කමලදාස

නායකත්වය බොහෝ තැන්වල ඇත්තේ තනතුරක් හැටියට ය. එවන් ස්ථාන වල නිශ්චිත කෙනෙකු ඒ තනතුර දැරිය යුතු ය. ඔහුට තනතුර නිසා නිශ්චිත බලයක් ලැබේ. මේ බලය ඇතැම් ස්ථාන වල කොතෙක් වන්නේ ද යත් නායකයා සිටින්නේ නීතියට ඉහළිනි. ඔහුට වෙන කිසිවකුට නැති මුක්තියක් හිමි වන බැවින් ඔහු /ඇයට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද නොහැකි ය. ඒ සඳහා කොතෙකුත් උදාහරණ ලෝකයේ ඇති අතර අපේ රටේ ජනාධිපතිවරු ද මේ මුක්තිය භාවිතා කළ අවස්ථා බොහෝ ය. ඇතැම් ආයතන වල නායකයන් ද හැසිරෙන්නේ එසේ හැසිරුණු රටේ නායකයන් මෙන් ම තමන් නීතියට ඉහළින් සිටින්නේ ය යන මානසිකත්වයෙනි. එයට ඒ ආයතනය විසින් ද ප්‍රතිපාදන සකස් කර තිබේ.

එපමණක් නොවේ. එවැනි ස්ථාන වල ඒ තනතුර සඳහා නියමිත වරප්‍රසාද ගණනාවක් ද තිබේ. බලය හා වරප්‍රසාද යන මේ දෙක ම ආකර්ෂණීය ය. මත් කරවන සුළු ය. ඒ නිසා එවන් කෙනෙකු තනතුර රැක ගැනීමේ සටනක ද යෙදේ. එවිට කරනු ලබන්නේ නායකත්ව කුසලතා ඇති තමන්ට තරඟයක් විය හැකි යැයි සිතන හැම කෙනෙක් ම පාහේ ඉවත් කර තැබීම ය. විශේෂයෙන් දෙවැනි මට්ටමේ නායකයන් හැටියට දක්ෂ කිසිවෙකු ඔවුන් ළං කර ගන්නේ නැත. හැකි නම් අභූත චෝදනා ඉදිරිපත් කරමින් එවැනි දක්ෂයන් ඉවත් කර දැමීමට ද නායකයාට කටයුතු කරනු දැකිය හැකි ය. ඒ සඳහා ඔහු සතු අසීමිත බලය ද උපයෝගී කර ගැනේ. සිය දෙවැනියා හැටියට (අගමැති හැටියට) ලංකාවේ බොහෝ ජනාධිපතිවරු තෝරා ගත්තේ කවර වර්ගයේ අය දැයි පිරික්සීමෙන් මේ තත්වය පිරි සිඳ දත හැකි ය. නායකයා ඉතා විශාල බලයක් භුක්ති විඳි මාඔ්ගේ චීනය හා ස්ටාලින්ගේ සෝවියට් දේශය වැනි රටවල අත්දැකීම් ද මේ සඳහා සාක්ෂි ය.

ඉහත කී නායකත්ව මාදිලියට ප්‍රතිපක්ෂ ව නායකත්වය වගකීමක් හැටියට සලකන අවස්ථා හා ආයතන ද තිබේ. එවිට ඔහුට හෝ ඇයට තිබෙන්නේ නායකත්ව භූමිකාව රැඟීමට ය. නොපිරිහෙලා ඉටු කිරීමට ය. එවන් ආයතන වල බොහෝ විට නායකයා පවා නියාමනය කරන යන්ත්‍රණ තිබේ. නායකයාට අසීමිත බලයක් පිරි නැමීමක් එවන් තැනක දැකිය නොහැකි ය. වරප්‍රසාද පවා සීමා සහිත ය. නායකත්ව භූමිකාව කීප දෙනෙක් අතර බෙදී තිබේ. නායකයා ද ආචාර ධර්ම පද්ධතියකට යටතේ කොට තිබේ. නීතිමය බැඳීම් වලට යටත් කොට තිබේ. එවන් නායකයෙකුගේ බලය අභියෝගයට ලක් කරන්නට ක්‍රම වේද තිබේ. රටක නම් අධිකරණය හා ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඔහු /ඇය යටත් ය. ඒවා මගින් ප්‍රශ්න කිරීමට ඔහු / ඇය යටත් ය. ඒ නිසා ම පළමු නායකත්ව ආකාරය යාවජීව නායකයන් හදන අතර දෙවැනි නායකත්ව ආකාරය තුළ නායකයා මතු වන්නේ අවම වශයෙන් වන අතර ඔහු බොහෝ විට නායකත්වය දරන්නේ සීමිත කාලයකට ය.

පළමු නායකත්ව ආකාරය තුන්වැනි ලෝකයේ බොහෝ රටවල දැකිය හැකි ය. දෙවැනි නායකත්ව ආකාරය බොහෝ දියුණු රටවල දැකිය හැකි ය.

පළමු ආකාරය නිසා බොහෝ අතුරු විපාක වලට ද මුහුණ දීමට ආයතනයට කණ්ඩායමට හෝ රටට‌ සිදු වේ. නායකයා සියල්ල දත් කෙනෙක් ලෙස හැසිරෙන අතර ඔහුට ප්‍රසිද්ධියේ අභියෝග කිරීමට කිසිවකුට නොහැකි වෙයි. අභියෝග කරන අය විවිධ ආකාරයේ තාඩන පීඩනයට මිල දී ගැනීම් වලට දණ්ඩනයට හා අතුරුදහන් වීම් වලට ද නැතිනම් ඉවත් කිරීම් වලට ද ලක් වෙති.

නායකයා ප්‍රසිද්ධියේ වෙනත් අයට සවන් දීමට සූදානම් නොවේ. ඒ ඔහුගේ සියල්ල දත් භාවය ඒ තුළ මිලින ව යන බැවිනි. රැස්වීමක වුව වැඩි පුර කාලය ඔහුගේ / ඇයගේ කතා ඇසීමට වෙන් කෙරෙන අතර අන් අයගේ මත වලට එවැනි ප්‍රසිද්ධ වේදිකාවක දී තැනක් නැත. ඔහු හෝ ඇය මුලින් ම කතා කරන අතර ඒ නිසා ම වෙනත් අදහස් තිබුන ද සෙසු අයට සිදු වන්නේ කර බා ගැනීමට ය. ඒ නායකයාගේ අදහසට ප්‍රතිපක්ෂ වෙනත් අදහසක් ඉදිරිපත් කිරීම උදහසට ලක් විය හැකි වරදක් නිසා ය. නායකයාට වඩා යමක් දෙස හොඳින් බැලිය හැකි කිසිවකු සිටීමට බැරි නිසා ය.

නායකයා තමන්‌ වෙනුවෙන් ලකුණු රැස් කිරීමේ ක්‍රීඩාවක නියැලෙන අතර ඒ නිසා ම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව අවදානමට ලක් වන්නේ ය. කණ්ඩායමේ අරමුණු අබිබවා නායකයාගේ පෞද්ගලික අරමුණු ඉස්මතු වන අතර තමන්ට හිතවත් දෙවැනි මට්ටමේ නායකයන් හරහා සිය බලය පවත්වා ගෙන යෑම වෙනුවෙන් ඒ දෙවැනි පෙලට අධික ගෙවීමක් කිරීමට ද එවැනි නායකයෙකුට සිදු වන්නේ ය. එය ද කණ්ඩායමේ පොදු ප්‍රතිලාභ අවම කෙරෙන ඒවා පරදුවට තබන ක්‍රීඩාවක් බවට පත් වන්නේ ය. ඒ දෙවැනි පෙළ පවත්වා ගෙන යන්නේ අනුප්‍රාප්තිකයන් හැටියට නොව බත් බැලයන් හැටියට ය. ඔවුන්ගේ කාර්යය වන්නේ කණ්ඩායමට අවශ්‍ය දායකත්වය සැපයීම නොව නායකයාට ප්‍රශස්ති ගී ගැයීම ය. ඔහුගේ රැකවරණය පිණිස ඉදිරිපත් වීම ය. මෙසේ සමූහය එක් ව ගොඩ නගන්නේ රුස්ස ගසකි. රුස්ස ගසක් යට කුඩා පැල ඉතිරි වන්නේ නැත. ඒ හා සමාන ව මෙවැනි නායකත්වයක් යටතේ දක්ෂ අනුප්‍රාප්තිකයන් බිහි වන්නේ ද නැත.

නායකත්වය තනතුරක් නොව වගකීමක් හැටියට ගන්නා දෙවැනි ආකාරයේ නායකයන් හා ඒ නායකයන් පවත්වා ගෙන යෑම සඳහා ක්‍රියාත්මක වන යන්ත්‍රණ නිසා කණ්ඩායමේ ලකුණු ඉහළ යන අතර නායකයා තමන්ගේ සීමාව දැන ක්‍රීඩා කරන්නේ ය. පෞද්ගලික ලකුණු රැස් කිරීමකට උනන්දුවක් ඔහුට නැත. කණ්ඩායමේ ලකුණු ඉහළ යෑම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළ බවට දර්ශකයක් ලෙස ඔහු හඟින්නේ ය. ඒ බොහෝ යන්ත්‍රණ වල නායකයාට නායකත්වය දැරිය හැකි නිශ්චිත කාල වකවානු සඳහන් වන අතර ඔහු ඉනික්බිති සාමාන්‍ය සාමාජිකයෙකු බවට පත් වන්නේ ය. ඒ නිසා ම තනතුර හෙබවිය හැකි වන්නේ සීමිත කාලයකට පමණක් බව දැන ඔහු/ඇය ක්‍රියා කරන්නේ ය.

ඒ නායකත්ව භූමිකාව යටතේ සෙසු අයගේ අදහස් වලට ද වටිනාකමක් ඇති වන අතර නායකයා ඇහුම් කන් දීමට විශාල කාලයක් යොදවන්නේ ය. ඔහු කතා කරන්නේ සෙසු අය කතා කර පසු අවසානයේ ය. ඒ නිසා ම තර්ජනයක් නොමැති ව අදහස් ඉදිරිපත් කිරීමට සෙසු අයට හැකි වන්නේ ය. සමහර අවස්ථා වල නායකයා නායකත්වය භූමිකාව වෙනත් අයෙකුට පවරනු ද දැකිය හැකි ය. නායකයා සෙසු අයට ලකුණු දා ගන්නට මෙසේ අවස්ථාව සලසන අතර ඒ නිසා කණ්ඩායමේ ලකුණු ඉහළ යන්නේ ය. ආයතනයක් නම් ආයතනයේ ලාභය ද රටක් නම් රටේ ආර්ථිකය ද අනෙක් දර්ශක ද වර්ධනය වන්නේ ය.

මෙවැනි නායකයෙකු යටතේ අනුප්‍රාප්තිකයන් බිහි වෙන අතර ඒ නිසා ම හදිසියේ ඒ පුද්ගලයා ඉවත් වුව ද අර්බුදයක් ඇති වන්නේ නැත. ඊට අමතරව අනුප්‍රාප්තිකයන් බිහි කිරීමට ඉඩ හසර ද සැලසීමට ඔහු ද වග බලා ගන්නේ ය. එවැන්නන් බිහි කිරීම ඔහුගේ / ඇයගේ පෞද්ගලික කීර්තියට පවා උදව් වන අතර එය දෙමාපියන් දරුවෙකු හදා වඩා ගන්නා ස්වරූපයක් ගනී. දෙමාපියන්ට ඊළඟ පරම්පරාවට ඇති වගකීමට සමාන වගකීමක් ඒ සම්බන්ධයෙන් ඔහුට /ඇයට ඇත. 

අපේ ආයතන වල හා රටේ තිරසාර භාවයක් ඇති කර ගැනීමට නම් අප ගොඩ නැගිය යුත්තේ දෙවැනි කී නායකත්ව ආකෘතිය ය.

ළඟ නොබලව, දුර බලව


  • නිශාන්ත කමලදාස

“ළඟ නොබලව. දුර බලව”. එසේ කීවේ දීඝායූ කුමාරයාට ය. කීවේ කුමරුගේ පියා ය. කියන ලද්දේ රාජ උදහසට ලක් ව මරා දැමීමට ගෙන යන පෙරහැරේ ඇවිදින ගමන් රජු කෙරේ ක්‍රෝධයෙන් වෙව්ලමින් ඉන්නා සිය පුතු දුටු විට ය.

මෙය කළමනාකරුවෙකු විසින් මතක තබා ගත යුතු නිතර සිහිපත් කළ යුතු කියමනකි. බොහෝ කළමනාකරුවන්ට මග හැරෙන ඉගැන්වීමකි. කළමනාකරුවන් පමණක් නොව සෙසු අයට ද මෙය වැදගත් විය හැකි උපදෙසකි. ඒ නිසා මෙහි ගැඹුර විමසීම මේ ලිපියේ අරමුණ ය.

කළමනාකරුවෙකුට අනිසි යමක් සිදු වනු දුටු විට මුලින් ම සිහියට එන්නේ එය කරන පුද්ගලයාට බැණීමට ය. එහෙත් දෙනෝ දාහක් ඉදිරියේ එසේ බැණීම දිගු කාලීන ව ඇති කරන ප්‍රතිඵල කවරේදැයි විමසන්නට ඔහු / ඇය වෙලා ගන්නේ නම් කරන්නේ බැණීම කල් දැමීම ය. ඔහු ව කාර්යාලයට කැඳවා පෞද්ගලිකව ප්‍රශ්න කිරීමට සංයමයෙන් කටයුතු කිරීම ය. ඒ අනිසි ක්‍රියාව එසේ කළේ හෝ සිදු වූයේ ඇයි දැයි විමසීම ය. ඒ නිසා ඇති විය හැකි පසු විපාක අදාළ පුද්ගලයාගෙන් ම ඇසීම ය. නිසි උත්තර දීමට ඔහුට/ඇයට උදව් දීම ය. මින් ඉදිරියට එසේ නොවන බවට වගබලා ගන්නේ කෙසේ දැයි උන්ගෙන් ම අසා හඟිස්සවා ගැනීම ය. ළඟ නොබලන දුර බලන කළමනාකරුවෙකු හැසිරෙන්නේ එසේ ය. 

අපට ඇත්තේ පුදුම හදිසියකි. සියල්ල ක්ෂණිකව ලැබිය යුතු ය යන ව්‍යාධියෙන් අප බොහෝ දෙනෙකු පෙළෙති. අප ඒ නිසා ඉල්ලන්නේ ඉක්මන් ප්‍රතිඵල ය. කල් නොයා දැකිය හැකි ප්‍රතිඵල ය. අපට අමතක වන්නේ ඔ්නෑ ම‌ දෙයක් සම්බන්ධයෙන් ගර්භාෂ කාලයක් තිබෙන බව ය. එය සතෙකුගේ පැටියෙකු සම්බන්ධයෙන් පමණක් නොව බොහෝ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ද අදාළ ය.

යම් කුසලතාවයක් ලබා ගැනීමට අපට අවශ්‍ය ය. එහෙත් එය ක්ෂණයෙන් ලබා ගැනීමට බැරි ය. ඒ සඳහා අප පෙරුම් පිරිය යුතු ය. අභ්‍යාසයේ යෙදිය යුතු ය. ඒ ක්‍රියාවලිය දැඩි උත්සහයන් හා අසාර්ථක වීම් වලින් ගහන ය. වැටෙන තුවාල වෙන සිද්ධි වලින් ද ඇතැම් තැනක සමන්විත ය. මුල දී වර්ධනය සිදු වන්නේ හෙමින් ය. අත හැර දමන්නට සිතෙන වාර අනන්ත ය. කිසි දිනෙක මේ කුසලතාව නම් ලබා ගත නොහැකි යැයි සිතෙන අවස්ථා ද පැමිණෙන්නේ සමහරුන්ට අත් හරින්නට ම කටයුතු යොදමින් ය. එහෙත් දිගින් දිගට උත්සහ කරන්නේ නම් ඉක්මනින් වේගයෙන් වර්ධන අවදියක් පැමිණෙන්නේ ය. මවකගේ කුස තුල වැඩෙන කලලය මෙන් ය. අපේ කලබලයට එය එලියට ගන්නට බැරි ය. එසේ කළ හොත් සිදු වන්නේ නපුරකි.

ආයතනයක් ආරම්භ කළ සැනින් මිනිසුන් ඒ වටා රොක් වන්නේ නැත. භාණ්ඩයක් නිෂ්පාදනය කොට වෙළඳ පොළට දැමූ පමණින් මිනිසුන් එය මිල දී ගැනීමට පොර කන්නේ ද නැත. ඒ සම්බන්ධ රාවය කණින් කොණින් ආරංචි වන්නට පැතිරෙන්නට කාලයක් ගත වේ. අතිශය වියදම් සහිත අලෙවිකරණ වැඩ සටහනකින් පවා ක්ෂණික ප්‍රතිඵල අත් නොවීමට ඉඩ තිබෙන්නේ ය තමන්ට පළපුරුදු භාණ්ඩයක් සේවාවක් ඉවත දමා නව දෙයකට මිනිසුන් ආකර්ෂණය වන්නේ එකවර නොවේ. ප්‍රවේසමෙන් ය. පියවරෙන් පියවර ය.

මුල දී ඇතැම් විට ලාභ ලැබිය නොහැකි ය. ඇතැම් විට නොසිතූ විරූ පාඩු පවා ලැබිය හැකි ය. වසන්තය එළඹෙන බවට විශ්වාසයෙන් සීත ඍතුව දරා ගත යුතු ය.

අපේ රටේ බොහෝ දෙනෙකුට අවශ්‍ය පළමු අවුරුද්දේ ම ලාභ ලබා, හැකි නම් වාහනයක් ගෙයක් යන, එකී නොකී දේ මිල දී ගන්නට ය. ඒ නිසා ආයෝජනයෙන් ලැබෙන මුල් ප්‍රතිලාභ ව්‍යාපාරයේ දියුණුව සඳහා නැවත ආයෝජනය කරන්නේ නැත. ඒ වෙනුවට අධි පරිභෝජනයට ඒවා වැය කරන තැනකට සමහරු තල්ලු වේ. එවිට සිදු වන්නේ තමන් ව කොපි කරන දෙවැනි තරඟකරුවා විසින් පහසුවෙන් තමන් විස්ථාපනය වනවා දැකීමට ය. සමහර විට ආයෝජනයට ණය ලබා ගෙන ඇත්නම් ඒ ණය ගෙවීම ප්‍රමුඛතාවය යුතු ව තිබුනත් එසේ නොකර ම ලැබෙන ප්‍රතිලාභ පරිභෝජනයට ගන්නා අවස්ථා ද තිබේ. ඇතැම් විට ඒ ණය කරුවන්ට පොලු තැබීමෙන් ය. ඉදිරියේ දී ණය ගැනීමට ඇති ඉඩ වඩ වඩා අහුරමින් ය.

මේ අනතුර අඟවන ප්‍රස්ථා පිරුළු රැසක් ජනවහරේ වෙයි. ඒ අතර ප්‍රධාන රන් බිජු දමන කිකිළිය සඟවා ගෙන ඇති බිජු ලබා ගැනීම වෙනුවෙන් මරණයට පත් කිරීමේ උපමේය ය.

අනවශ්‍ය කලබලය, දැඩි ලෝභය හා ඉවසීමේ නුහුර එක් තැන් වුනු කල හැදෙන සුප් එක දුර නොබලා ළඟ බැලීම ය. කළමනාකරුවෙකු මේ සියල්ල ඉක්මවිය යුතු ය.

කළමනාකරුවෙකු තමන්ගේ “ආහාර කොටස” වැළඳිය යුත්තේ සියල්ලන්ට පසු ය. ඔහුට හෝ ඇයට හෙටත් රස භෝජන වැළඳිය හැක්කේ ඒ පිළිවෙත අනුගමනය කිරීමෙන් පමණ ය. අතිශයින් තරඟකාරී ලෝකයක ලෝක දැක්ම විය යුත්තේ එය ය. එයින් අදහස් කරන්නේ දුගියෙකු ලෙස ජීවත් විය යුතු බව නොවේ. කල් බැලිය යුතු බව ය. වඩා යහපත් හෙටක් වෙනුවෙන් කල් බැලිය යුතු බව ය. ළඟ නොව දුර බැලිය යුතු බව ය.

එහෙත් වගකීම වෙනුවට වරප්‍රසාද හඹා යන මිනිසුන් ඉන්නා රටක එය අමාරු කාර්යයකි. එය උඩු ගං බලා පිහිනීමකි.

කළමනාකරුවෙකුට ඒ තත්වය ළඟා කර ගත හැක්කේ ඒ සඳහා වන අභියෝග ජය ගත හැක්කේ මුනිවරයෙකු තරමට උපේක්ෂාව වැඩි දියුණු කර ගැනීමෙනි.

අපට මග හැරෙන ඇත්ත


  • නිශාන්ත කමලදාස

ඔබ එක් අයෙකුගේ කතාවකට සවන් දෙන්න. ඒ සම්බන්ධයෙන් ම තවත් අයෙකු කියන කතාවට ද සවන් දෙන්න. ඒ දෙක දෙකක් බව ඔබට වැටහෙනු ඇත. අප යම් කතාවක් කියන්නේ අප ඇසූ දුටු දේ ඇසුරෙනි. ඒ කතාවට අදාළ ව අප නොඇසූ නොදුටු දේ තිබිය හැකි ය. අපට කතා කළ අපේ මිතුරන් දෙදෙනාට ම සිදු වූයේ එය විය හැකි ය.

කුරුන්දි පුරාවිද්‍යා පරිශ්‍රය සම්බන්ධයෙන් අපට මෑතක දී මෙය අත්දැක ගන්නට ලැබිණ. දෙමළ මාධ්‍යවල වාර්තා පමණක් බලන අයට ද සිංහල මාධ්‍ය බහුතරයක වාර්තා බලන අයට ද දැක ගන්නට ලැබෙන්නේ වෙනස් පින්තූර දෙකකි. ඒ පින්තූර වලට අනුව මේ ගැටුමේ වැරදිකාර පාර්ශවයන් වෙනස් ය.

ඊට අමතරව ඔවුන් දුටුවේ එක ම දර්ශනය වුව ද ඔවුන්ගේ අවධානය යොමු වූයේ වෙනස් කලාප දෙකකට විය හැකි ය. සිංහල ජනතාවගේ අවධානයට ලක් වූ කලාපය විය හැක්කේ පුරාවිද්‍යා නටබුන් ය. දෙමළ ජනතාවගේ අවධානයට ලක් වන්නට ඇත්තේ තමන් කාලයක් තිස්සේ භුක්ති විඳි තමන්ගේ වගා බිම් ය. නවාතැන් ය. ජීවන මාර්ගයන් ය.

ඒ අපගේ දෘෂ්ඨිය අනුව සිදු වන දෙයකි. ඊට අමතරව අප බැස ගෙන ඇති පූර්ව නිගමන අනුව ද සිදු වන දෙයකි. අප බොහෝ විට හොයන්නේ අප දැනටමත් දරන විශ්වාසයන් සනාථ කරන කරුණු ය. සෙසු ඒවා අපෙන්, අප ද නොදැනුවත්ව ම, ගිලිහී ගොස් ය.

සිංහල මාධ්‍ය වාර්තා වල කුරුන්දිය ගැන සඳහන් කරුණු මත සිංහල බොහෝ දෙනෙකු බැස ගත් නිගමනය වන්නේ දෙමළ දේශපාලනඥයෙකු මේ ප්‍රදේශයේ තම ජනතාව පදිංචි කිරීමට ගත් උත්සහය නිසා මේ අර්බුදය හට ගෙන ඇති බව ය. ඉතිහාසය පදනම් කර ගෙන ඔවුන් විසින් ගොඩ නගා ගෙන ඇති පූර්ව නිගමනවලට ඒ අස්ථානය අපූරුවට ගැලපෙන්නේ ය. දේශපාලනඥයන් පිළිබඳ පොදුවේ ඇති අපේ පූර්ව නිගමන ද දෙමල නිජ බිම් සනාථ කරන්නට දෙමල දේශපාලනඥයින් උත්සහ දරන බවට අපට ඇති මතය ද ඒ සඳහා ඔවුන් පුරා විද්‍යා නටබුන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත් කරන්නට ඇති බවට සැකයක් ඇති කිරීමේ සමත් ය. මේ පළාත් තමන්ගේ නිජභූමිය ලෙස හඳුන්වා වෙනම රටක් ස්ථාපිත කිරීමේ ඊලමයක් ලබා ගැනීමේ ඉතිහාසය ද සිංහල මිනිසුන්ට මතක් වනු ඇත. ඒ යුගයේ විඳින්නට සිදු වූ යුද්ධයේ භීෂණය ද සිහියට එනවා ඇත. අප ඒ විශ්වාසය හා සැක සංකා මත ගොඩ නගන කතාව ඒ නිසා ම දෙමල ජනතාව ගොඩ නගන කතාවට වඩා සාකල්‍යයෙන් ම වෙනස් ය.

දෙමල ජනතාව මේ පිළිබඳ ව නිගමන වලට බසිනු ඇත්තේ තමන් තුළ ඇති පූර්ව නිගමන අනුව යමිනි. ඔවුන්ට අනුව සිංහල දේශපාලනඥයන් අතීතයේ සිට ම උත්සහ කළේ දෙමල නිජ බිම් වලට අයිතිය කීමට ය. ඒවායේ සිංහල ජනයා පදිංචි කරමින් ඒවා ආක්‍රමණය කිරීම ය. ජනපද යෝජනා ක්‍රම පමණක් නොව පුරාවිද්‍යාව ද යොදා ගෙන ඇත්තේ ද ඒ සඳහා ය. පුරා විද්‍යා නටබුන් ඇති කලාපයට පිටින් කාලයක් තිස්සේ පදිංචිව සිටින දෙමල ජනයා ද පලවා හරිමින් ඔවුන් මේ කරන්නේ පළාතක්ම සුද්ද කර දැමීමට ය. බුදු පිළිම ගෙනැවිත් නව පන්සල් නිර්මාණය කිරීම දක්වා මේ සිද්ධි දාමය විසාරණය වී තිබීමෙන් ම එය සනාථ වේ. 1983 දී දෙමළ සංහාරයක් සිදු කරමින් දකුණෙන් දෙමළ ජනතාව එලවා හැරි මතක සටහන් ද ඔවුන් නැවතත් අලුත් කර ගනු ඇත. ඒවා ඔස්සේ මේ නව සිද්ධි දාමය අර්ථ කථනය කර ගන්නවා ද ඇත.

අපේ විමසුමට ලක් වූයේ එක ම කලාපයන් වුව ද ඒවා අප අර්ථ නිරූපනය කළේ හා කරන්නේ වෙනස් විදිහකට බව ද ඒ අනුව ඔබට පෙනී යනු ඇත.

දෙමල මාධ්‍ය වාර්තා අනුයමින් බහුතරයක් දෙමළ ජනතාව සිතනු ඇත්තේ ඒ ප්‍රදේශයේ කාලයක් තිස්සේ පදිංචිව සිටි ජනතාව ඉන් එලවා දමා ඉඩම් නිදහස් කර ගැනීමට පුරා විද්‍යා රෙගුලාසි ද පොලීසිය ද ස්වාමීන් වහන්සේලා ද යොදා ගනිමින් මේ ගැටුමට මග පෑදුවේ සිංහල පාර්ශවය බව ය. සිංහල මාධ්‍ය අනුව යමින් බහුතරයක් සිංහල ජනතාව කල්පනා කරනු ඇත්තේ පුරා විද්‍යා ඉඩම් වල බලහත්කාරයෙන් පදිංචි කරවමින් ඒවා විනාශ කිරීමට තැත් කිරීම මගින් ගැටුමට මග පෑදුවේ දෙමළ දේශපාලනඥයින් බව ය. පළමු ගල ගැසුවේ කවුද යන්නට ලැබෙන උත්තරය පවා ඒ අනුව දෙකක් වනු ඇත්තේ ය.

කුරුන්දිය පිළිබඳ ඇත්ත ඒ අනුව කවදාවත් හෙලිදරව් කර ගන්නට ලැබෙන එකක් නැත.

ඔ්නෑ ම දෙයක් සම්බන්ධයෙන් අපට සත්‍යය මග හැරෙන්නේ එසේ ය. අපට මෙයින් ගොඩ ඒමට හැක්කේ දෙපැත්තට ම සවන් දීමෙනි. ඒත් කිසි දා ඒකාග්‍ර කළ නොහැකි කතා දෙකක් අසන අපට ඉන් ලැබෙන පිටුවහල කුමක් ද? එයින් සිදු වන එක ලාභය නම් එක ම දේ සම්බන්ධයෙන් කතා දෙකක් හෝ ඇතැම් විට කීපයක් ම තිබෙන බවත් එකක් විශ්වාස කිරීමට පෙර අනෙක ද අනෙක් ඒවා ද විමසිය යුතු බවත් වටහා ගන්නට ය. ඒත් ඒ වැටහීම සත්‍යයට මාවත විවෘත කරන්නේ නැත.

භෞතික ලෝකය සම්බන්ධ සත්‍යය සොයා ගැනීම අපහසු නැත. ඒ සඳහා අපමණ මෙවලම් අප සතු ය. එහෙත් සමාජ ජීවිතය සම්බන්ධ සත්‍යය සොයා ගැනීම පහසු නැත. ඒ නිරීක්ෂකයා ස්වාධීන නැති නිසා ය. නිරීක්ෂකයා ස්වාධීන වුව ද ඔහුට / ඇයට තොරතුරු ලබා ගැනීමට සිදු වන්නේ ස්වාධීන නොවන මේ ගැටුමට සම්බන්ධ පාර්ශවයන්ගෙන් ය. ඒ තොරතුරු පාර්ශවික භාවයේ අඳුරු පටලයන්ගෙන් වැසී ඇත්තේ ය.

ඒ නිසා මෙවන් අවස්ථාවල අපට තාක්ෂණයේ පිහිට වුවමනා වන්නේ ය. ගුවන් ඡායාරූප හෝ චන්ද්‍රිකා ඡායාරූප එසේ ලබා ගත හැකි තොරතුරු ය. එහෙත් භෞතික තොරතුරු පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒවා ප්‍රයෝජනවත් විය හැක්කේ ඉතිරි තොරතුරු හඟිස්සවා ගැනීමට පමණ ය. තහවුරු කර ගැනීමට පමණ ය.

සිද්ධි විකාශනය වූ ආකාරය ගැන ස්වාධීන තොරුතුරු ලබා ගත හැක්කේ ඒ අවට ප්‍රදේශය තුළ CCTV කැමරා අටවා තිබුණේ නම් ය. ලෝකයේ තාක්ෂණික ඉදිරි ගමනත් සමග අපට වඩ වඩාත් ස්වාධීන මෙවලම් ලැබෙනු ඇත්තේ ය. තමන්ගේ දැක්ම අනුව බිහි වන කටකතා වලට වඩා ඒවා විශ්වාසනීය ය.

මේ සියල්ල කීවේ කුරුන්දිය ගැන අවසන් නිගමනයක් ඔබට දීමට නොවේ. එය කළ හැකි ද යන්න පවා මම නොදනිමි. කුරුන්දිය ගත්තේ උදාහරණයකට පමණක් නිසා එසේ නොකිරීමෙන් අවැඩක් වන එකක් ද නැත. මේ සටහනින් අපේක්ෂා කරන ලද්දේ ඇත්ත මග හැරෙන්නට ඉඩකඩ තිබෙන බව කීමට ය. එය වැළැක්වීමට, එනම් සත්‍යය වසං නොකර පාදා ගැනීමට, අපට ඇති ඉඩකඩ සීමිත බව කියන්නට ය. මෙවලම් ස්වල්ප බව කියන්නට ය. ඒ බව දැන කටයුතු කළ යුතු බව කියන්නට ය.

කුලකයක පොදු ලක්ෂණ අවශ්‍ය වෙන අවස්ථා ද තිබේ


  • නිශාන්ත කමලදාස

අප ගිය සතියේ කතා කළේ කුලකයක බහුතරය විසින් ප්‍රදර්ශනය කෙරෙනවා යැයි අප සිතන පොදු ලක්ෂණ කීපයක් මත පිහිටා කුලකයේ තනි තනි සමාජිකයින් සම්බන්ධයෙන් නිගමනයකට බැසීමේ අවදානම ගැන ය. කෙනෙකුගේ යම් ලක්ෂණයක් හෝ චර්යාවක් මත පදනම් ව ඒ තැනැත්තා යම් කුලකයට දමා ඒ කුලකයේ “පොදු” ලක්ෂණ ඔහුට/ ඇයට ආරෝපණය කිරීමේ අවුල ගැන ය. අප කීවේ එය කළමනාකරුවෙකු විසින් නොකළ යුතු කටයුත්තක් හැටියට ය. අද අප කියන්නට යන්නේ තනි තනි පුද්ගලයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී අප විසින් එය නොකළ යුතු වුව ද පිරිසක් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී අපට එහි පිහිට අවශ්‍ය විය හැකි බව ය.

අපි උදාහරණයක් ගෙන බලමු. කළමනාකරුවෙකුට තම භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කර ගැනීම සඳහා උපාය මාර්ගයන් සකස් කිරීමට සිදු වේ. එවන් විටක වෙළඳ පොලේ තනි තනි පුද්ගලයන් පිළිබඳ ව විමසීමට ඔහුට/ඇයට නොහැකි ය. එය ප්‍රායෝගික වන්නේ ද නැත. නිශ්චිත උදාහරණයක් ම ගමු. හඳුන්කූරු වෙළඳාමේ යෙදෙන කෙනෙකුට තමන්ගේ හඳුන්කූරු මෙතෙක් අලෙවි නොකළ පළාතක අලෙවි කරන්නට අවශ්‍ය ය. ඔහු ඒ පළාතේ කී දෙනෙකු බෞද්ධයින් ද හින්දූන් ද යන්න විමසනු ඇත. ඒ මේ දෙවර්ගය ම පොදුවේ හඳුන්කූරු පාරිභෝගිකයන් වීමේ වැඩි ඉඩක් තිබෙන නිසා ය. ඒ බෞද්ධ හා හින්දූන් අතර ද කීප දෙනෙකු කිසි දිනෙක හඳුන්කූරු පරිභෝජනය නොකරන අය විය හැකි ය. එහෙත් එය මේ තීරණය සඳහා අදාළ වන්නේ නැත. ඒවා ව්‍යාතිරේඛ (ඒ ගණයට නොවැටෙන දේ)  ලෙස සලකා බැහැර කළ හැකි ය. අදාළ වන්නේ බහුතරයකගේ හැසිරීම ය. එවිට සැලකිය යුත්තේ කුලකයේ “පොදු” ලක්ෂණ ය.

මේ කුලකයේ “පොදු” ලක්ෂණ මත පිහිටා තීරණ ගැනීමේ වුව අවදානමක් තිබිය හැකි ය. ඒ කුමක් ද? අප තනි කුලකයක් හැටියට ගන්නා කණ්ඩායම සැබැවින් ම උප කුලක කිහිපයකින් සමන්විත වීම ය. උදාහරණයක් ලෙස බෞද්ධ යන කුලකය තුළ උප කුලක ගණනාවක් වෙයි. බෞද්ධ දර්ශනයට මුල් තැන දෙන ප්‍රතිපත්ති පූජාව ම කළ යුතු එක ම පූජාව සේ සලකන ආමිස පූජාව බැහැර කරන හෝ එයට ජීවිතයේ අතිශය සුළු තැනක් පමණක් පිරි නමන උප කුලකයක් ද ආමිස පූජාවට විශාල වැදගත් කමක් දෙන දර්ශනය පිළිබඳ එහෙමට අවබෝධයක් නැති උප කුලකයක් ද මේ මහා කුලකය තුළ තිබේ. මේ උප කුලක දෙකේ ලක්ෂණ පරස්පර ය. ඒ නිසා අප කුලක මත පිහිටා තීරණ ගන්නා විට ඒවායේ ඇති උප කුලක පිළිබඳ විමසිලිමත් විය යුතු ය.

ඊළඟ අවදානම නම් කුලකයක ලක්ෂණ කාලය හා දීපය අනුව වෙනස් විය හැකි වීම ය. ඒ බව නොසලකා අප බැස ගන්නා නිගමන වැරදි විය හැකි ය. ඔ්ස්ට්‍රේලියාවේ බෞද්ධයන් ලංකාවේ බෞද්ධයන් ට වඩා වෙනස් ය. ඔ්ස්ට්‍රේලියාවේ ම ඉන්නා යුරෝපීය සම්භවයකින් යුතු බෞද්ධයන් ලංකාවෙන් සංක්‍රමණය වූ බෞද්ධයන්ට වඩා වෙනස් ය. ලංකාවේ අගනුවර හා තදාසන්න ප්‍රදේශවල සිටින බෞද්ධයන් ගමේ ඉන්නා බෞද්ධයින්ට වඩා වෙනස් ය. මීට දශක කීපයක සිටි බෞද්ධයින්ට වඩා අද බෞද්ධයින් වෙනස් ය. රටේ පැවති වාර්ගික යුද්ධයට පෙර යුගයේ සිටි බෞද්ධයන්ට වඩා යුද්ධයට පසු පරම්පරාවේ බෞද්ධයින් වෙනස් ය.

අපේ අවධානයට ලක් ව ඇති කාරණය සම්බන්ධයෙන් ඒ වෙනස් කම් කෙතෙක් දුරට අදාළ වන්නේ දැයි දැන ඒ වෙනස් කම් පිළිබඳ සලකා බලන්නේ ද නැද්ද යන තීරණයට එළඹිය හැකි ය. උදාහරණයක් ලෙස හඳුන්කූරු භාවිතය සම්බන්ධයෙන් නාගරික ජනයා හා ගැමි ජනයා අතර වෙනස්කමක් ඇති වීමට තරම් ඔවුන් ආගම සම්බන්ධයෙන් දරණ අස්ථානයන් බලපාන්නට ඉඩ තිබේ ද? ඒ ගැන විමසා බැලීමෙන් තොරව අපට මේ වෙනස අදාළ වන්නේ ද නැද්ද යන්න ගැන නිශ්චය වශයෙන් නිගමනයකට පැමිණිය නොහැකි ය.

තෙවැනි අවදානම නම් අප කුලකයේ පොදු ලක්ෂණ ලෙස සලකන බොහෝමයක් අපේ පෞද්ගලික අත්දැකිම් මත හෝ තවෙකෙකු කියන අදහසක් අනුව යමින් අප ගොඩ නගා ගත් ලක්ෂණ වීම ය. ඒවා කිසියම් ක්‍රමානුකූල නිරීක්ෂණ ඔස්සේ දියුණු කරමින් පරීක්ෂණ මගින් සනාථ කර ගත් ලක්ෂණ නොවීම ය. ඒ නිසා ඒ පොදු ලක්ෂණ යයි අප හිතන බොහෝ දේ අපේ හෝ වෙනත් කෙනෙකුගේ හිතළු වලට වඩා වැඩි මනත් දෙයක් නොවීම ය. නිරීක්ෂණ වල සීමාසහිත බව නිසා ද පරීක්ෂණ නොකළ නිසා ද ගත් සාම්පලය කුලකය නිසි ලෙස නියෝජනය නොකරන නිසා ද කුලකය සම්බන්ධයෙන් අපේ නිගමන වැරදි විය හැකි ය.

මේ අවදානම් පිළිබඳ අවධානයෙන් යුතු ව නිෂ්චය කරන ලද පොදු ලක්ෂණ කිසියම් විශාල මිනිසුන් සංඛ්‍යාවක් සමග ගනුදෙනු කිරීමේ දී අපට භාවිතා කළ හැකි ය. භාවිතා කළ යුතු ය. එය කළ යුත්තේ අප නිෂ්චය කර ඇති පොදු ලක්ෂණ සඳහා ව්‍යාතිරේඛයන් තිබෙන බව ද තේරුම් ගෙන ය.

පසු ගිය ලිපිය හා මේ ලිපිය එකිනෙකට පරස්පර නොවන බව ඒ අනුව ඔබට වැටහෙනු ඇත. පරස්පරයක් ඇත්නම් ඒ සන්දර්භය නිසා ය. මුල් ලිපියේ අවධානය තිබුණේ තනි පුද්ගලයන් තේරුම් ගැනීම සම්බන්ධයෙන් වන අතර මේ ලිපියේ අවධානය විශාල පිරිසක් තේරුම් ගැනීම සම්බන්ධයෙනි. තනි පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කරද්දී අප අනුගමනය කළ යුතු පටිපාටිය විශාල පිරිසකට අදාළ කර ගත නොහැකි ය. කළමනාකරණ මූලධර්ම අනුගමනය කරන්නන් තමන් ඒ මූලධර්ම යොදා ගන්නේ කුමන සන්දර්භයක ද යන්න ගැන විමසිලිමත් විය යුතු බව කියන්නේ මේ නිසා ය.