විශ්වාසය සමග හැරෙන්නටවත් බැරි තර්කය


අප ඇතැම් දේ විශ්වාස කරන්නේ තර්ක කර පැමිණි නිගමන ඔස්සේ නොවේ. සමහර විට ඒ විශ්වාසයේ එල්බ ගත්තේ අපට කවුරුන් හෝ හිතේෂියෙකු විසින් විශ්වාස කරන ලෙස කුඩා කාලයේ කියූ ඔවදනක් නිසා ය. ඒවා මත පදනම් ව වසර ගණනාවක් ජීවත් වූ පසු ඒවා අප තුළ ඇටුවන් බහින්නේ ය. එසේ වූ පසු කුමන තර්කයකටවත් ඒවා පහසුවෙන් වෙනස් කළ නොහැක්කේ ය. අප තර්ක සොයන්නේ, අප එසේ තර්කයෙන් තොරව බාරගත් විශ්වාසයක් පවත්වා ගන්නට මිස එය විමසන්නට නොවේ.

තර්කය දෙපැත්ත කැපෙන ආයුධයකි. කිතුලට ගිය මිනිහාටත් තර්කයක් තිබුනේ ය. ඔහු කිතුලට ගියේ රා සොරකම් කරන්නට ය. අයිතිකාරයා එන බව දුටු ඔහු වහා ගහින් බැස්සේ ය. කුමක් නිසා ගසට නැග්ගේ දැයි ඇසූ විට ඔහුට දෙන්නට ලස්සණ උත්තරයක් තිබුනේ ය. ඒ තණකොල කපන්නට කියා ය. ගහේ කොහේ ද තණකොළ දැයි ඇසූ විට ඔහුට දෙන්නට තවත් අගනා උත්තරයක් තිබුනේ ය. ඒ නැති නිසා නේන්නම් බැස්සේ කියා ය. ඒ විදිහට ඕනෑම දෙයක් ඔප්පු කරන්නට තර්ක ගොඩ නගන්නට පුළුවන. ඒ නිසා තර්කය යොදා ගෙන මිනිසුන්ගේ විශ්වාසයන් ප්‍රශ්න කිරීම වැඩක් නැති වැඩකි.

අප මේ ටික කීවේ සෙසු මිනිසුන්ගේ විශ්වාසයන් ඒවා කොතරම් අන්ධ යැයි ඔබට පෙනී යන්නේ වුව ද ඒවා බිඳින්නට තර්කය යොදා ගැනීමෙන් පලක් නැතැයි කීමට ය.

එහෙත් ඔබට ඔබේ විශ්වාසයන් ප්‍රශ්න කිරීමට ඒ තර්කය යොදා ගත හැකි ය. එය ද හැමට කළ හැකි වැඩක් නොවේ. ඒ සඳහා ඔබ, ඔබේ විශ්වාසයට එරෙහිව තර්කයට යා යුතු ය. ඔබ, ඔබට විරුද්ධව තර්ක කළ යුතු ය. ඒ සඳහා විශාල ආත්ම ශක්තියක් අවශ්‍ය ය. අනුමාන මත නොව, පැහැදිලි කරුණු සංඛ්‍යා ලේඛන මත පදනම් ව, විමසන්නට ඔබ විසින් හිත හදා ගත යුතු ය. ඔබේ විශ්වාසයට පක්ෂ මෙන්ම විරුද්ධව ඇති කරුණු සංඛ්‍යා ලේඛන ද කවරේදැයි විමසන්නට සූදානම් විය යුතු ය. ඒවා වැඩියෙන් සෙවිය යුතු ය. බොහෝ මිනිසුන් වුවමනාවෙන් මග හැර යන ඒ කරුණු සංඛ්‍යා ලේඛන ඔබ විසින් මහන්සියෙන් සොයා යා යුතු ය.

ඔබ කළ යුත්තේ අන් අය වෙනස් කිරීමට මහන්සි වීම නොවේ. ඔවුන් දරන මතය පිළි නොගන්නේ වුව ද ඒවාට ගෞරව කිරීමට පුරුදු පුහුණු වීම ය. අන් අය වෙනස් කරන වෑයම පසෙක දමා අවශ්‍ය යැයි හැගෙන්නේ නම් ඔබ වෙනස් වීම ය. මේ අවවාදය ලැබෙන්නේ අන් අයගේ විශ්වාසයන් වෙනස් කිරීම අමාරු නිසා ය.

අපේ විශ්වාස ප්‍රශ්න කිරීමේ දී ද ගැටළු රැසකට මුහුණ දීමට අපට සිදු වේ. ඒ අප ඉදිරියේ ඇති කරුණු හා සංඛ්‍යා ලේඛන සමග කෙසේ ගනුදෙනු කළ යුතු දැයි අප නොදැනීම ය.

ප්‍රශ්නය වන්නේ බොහෝ කරුණු සංඛ්‍යාලේඛන මිනිසුන් විසින් ගොතා පල කර ඇති ඒවා විය හැකි නිසා ය. ඒවා සැක නොකරන මිනිසුන් විසින් නැවත නැවතත් කියා පදම් කර ඇති නිසා ය. සමහර කරුණු සංඛ්‍යා ලේඛන හිතා මතා අපෙන් වසන් කර ඇති නිසා ය. කවර කරුණක් කවර සංඛ්‍යාලේඛනයක් ඇත්ත දැයි දිව ගා බලා කිව නොහැකි නිසා ය.

නව අදහසක් මතු වූ විට මිනිසුන් කරන්නේ තමන් දැනටමත් දන්නවා යැයි හිතන දේ සමග එය ගලපා බැලීම ය. ගැලපෙන්නේ නැත්නම් කරන්නේ එය ඉවත දැමීම ය. මේ පෙරහන නව අදහස් වලට අපේ මනස තුළට ඇතුළුවීමට ඉඩ දීම වළකයි.

අප දන්නවා යැයි හිතාගෙන ඇති දැනුම වැරදි නම් මේ නිසා ම අපට නිවැරදි වීමට ඇති ඉඩ අවම ය.

එයින් අදහස් කරන්නේ මිනිසුන් වෙනස් නොවන බව ද? නැත. එයින් අදහස් වන්නේ වෙනස් වීම අමාරු දෙයක් බව ය.

සමහර මිනිස්සු වෙනස් වෙති. ඒ දිගින් දිගටම තමන්ට මුණ ගැසෙන කරුණු සංඛ්‍යා ලේඛන වලට තවදුරටත් මග හැර සිටිය නොහැකි වූ විට ය. ඒවා පෙරහන ටිකෙන් ටික සිදුරු කරමින් ඇතුළට යන්නට අවකාශයක් ඉල්ලා සිටින විට ය. එක මූලාශ්‍රයකින් නොව මූලාශ්‍ර ගණනාවකින් කරුණු හා සංඛ්‍යා ලේඛන නැවත නැවතත් ඉදිරිපත් වන නිසා ය.

ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත

හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත

නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත

ඇතොත් නැතැයි පව්කළහුට වෙයි විපත

~-සුභාෂිතය-~

පුනරුත්පත්තියත් කර්ම ඵල විපාකත් විශ්වාසයන් දෙකකි. එක විශ්වාසයක් නැතත් අනෙක මත විශ්වාසය තැබීම අවැඩක් නොවන බව සුභාෂිත කවියා කියන්නේ ය.

විශ්වාසයන් ගැන බොහෝ දෙනෙකු දරන මතය ද ඒක ය. හරියට කියන්නට බැරි වුනත් ඒ විශ්වාසයෙන් අවැඩක් නොවේ නම් එය දැරීමේ අවුලක් නැත. එතකොට තව දුරටත් එය විමසන්නට ද හේතුවක් නැත. දැන් මේ ඇත්තේ තවත් පෙරහනකි. ඒ පෙරහන සමග මොනම ගනුදෙනුවක්වත් කිරීම අපහසු ය. මේ නිසා ද වෙනස් වීම අමාරු ය. දැඩිව ගන්නා විශ්වාසයක් සාධක ඇතුව ඔප්පු කිරීමෙන් වෙනසක් ඇති කළ හැක්කේ වුව ද මෙවැනි දියාරු විශ්වාසයක් නම් කොහොමටත් වෙනස් කළ නොහැකි ය. හමන සුළගට දැවැන්ත ගස් පෙරලිය හැකි වුව ද නැමෙන වැල් බිඳ දැමිය නොහැකිවා වගේ ය.

අපගේ විශ්වාසයන් ප්‍රශ්න කර හගිස්සවා ගන්නවාට අමතරව අනුන්ගේ විශ්වාසයන් අප ප්‍රශ්න කළ යුතු නැද්ද? අප ලිපියේ කලින් තැනක සඳහන් කළ පරිදි ඒවා පිළිනොගත්තත් ඒවාට ගරු කර එයින් සෑහීමකට පත් වී ඒවායේ හරි වැරැද්ද පෙන්වා දීමෙන් මග හැර යා යුතු ද? කෙනෙකු අයාලේ යනවා නම්, බොරු වළකට වැටෙන්නට යනවා නම්, අප අහක බලාගෙන එසේ වැටීමට ඔහුට ඇයට ඉඩ දිය යුතු ද?

පෙන්වා දීමෙනුත් පසු කෙනෙකු සිය කැමැත්තෙන් වලකට වැටෙන්නට යන්නේ නම් කළ හැකි යමක් අපට නැති බව ඇත්ත ය. එහෙත් පෙන්වා දීම අපේ යුතුකමක් නොවන්නේ ද?

මේ කරුණු සියල්ල විමසන විට අපට පෙනෙන්නේ විශ්වාසයන් ප්‍රශ්න කළ යුතු වුව ද එය ලෙහෙසි කටයුත්තක් නොවන බව ය. ඒ තුළ අමනාප කම් ඇති විය හැකි බව ය. අවංකව ගලවා ගැනීමේ චේතනාවෙන් කරන එවැනි ප්‍රශ්න කිරීමක් දෙස වුව ද හතුරුකමක් ලෙස බැලිය හැකි බව ය.

එසේ වුව ද අපේ යුතුකම අප විසින් ඉටු කළ යුතු යැයි ඔබ සිතන්නේ නම් තැන නොතැන බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව වත් හිතා ගන්නවා නම් හොඳ ය. නැත්නම් සිදු වන්නේ වඳින්න ගිය දෙවාලය හිස මත කඩා වැටීම ය.