නායකයෙකුට හැංගෙන්නට බැරි ද? පසු බසින්නට බැරි ද?



මෙම සටහන දේශපාලන සංසිද්ධියක් පසුබිම් කර ගෙන ලියන්නේ වුව ද මෙයින් මතු කරන්නට හදන්නේ කළමනාකරුවෙකුට, සමාජ විද්‍යාව හදාරන්නෙකුට හා සාමාන්‍ය පුරවැසියන්ට ද වැදගත් විය හැකි කරුණු කාරණා ය.

මේ දිනවල මුහුණු පොත රත් වී තිබේ. ඒ අනුර කුමාර ප්‍රහාරයෙන් බේරීමට සැඟවුනාය යන ප්‍රවෘත්තිය සමගින් ය. ජාජබ ට විරුද්ධ පාර්ශව එය අනුරට ද ජාජබ ට ද මඩ ගහන්නට භාවිතා කරන අතර ජාජබ හිතවතුන් බොහෝ දෙනෙකු ඒ ප්‍රවෘත්තිය බොරු බව කියන්නට විශාල උත්සහයක් ගැනීම මීට හේතුව ය. අප මේ පාර්ශව දෙකින් එකකටවත් අයිති නැති නිසා මේ දෙස අපට සන්සුන් ව බැලිය හැකි ද?

අප අතර තිබෙන මතයක් නම් කුමක් වුව ද කාගෙන ඉදිරියට යා යුතු බව ය. ජයග්‍රහණය සඳහා එය අවශ්‍ය කොන්දේසියක් බව ය. කළමනාකරුවෙකුගේ ඇසින් මේ දෙස බලන්නේ නම් පෙනෙන්නේ එය අතිශයින් මුග්ධ වැඩක් බව ය. කළමනාකරණයේ උපාය මාර්ගික කළමනාකරණය යනුවෙන් වෙන ම විෂයයක් තිබෙන්නේ ඒ බව තහවුරු කරන්නට ය.

එහි ප්‍රධාන ඉගැන්වීමක් නම් උපාය මාර්ගය තීරණය කළ යුත්තේ අප සතු ශක්තීන් දුර්වලතා හා අවට පරිසරය අපට එල්ල කරන අභිියෝග මෙන් ම බිහිකරන අවස්ථා ද සැලකිල්ලට ගෙන බව ය.

ඒ අනුව ඇතැම් තැනක පසු බැසීමටත් කල් බැලීමටත් තව තැනක ආක්‍රමණශීලිව ඉදිරියට යෑමටත් තරගකරුවන්ට ප්‍රහාරයන් එල්ල කිරීමටත් තීරණය කළ යුතු ය.

මේ බුද්ධිමය ප්‍රවේශය ඇතැම් විප්ලවවාදීන් හඳුන්වන්නේ අවස්ථා වාදය ලෙස ය. ඔවුන්ට අනුව සියල්ල විනාශ වුව ද ඉදිරියට යා යුතු ය. ලංකාවේ පැවතුන අතිශය සුන්දර අරගලය අවසානයේ පැරද පලා යන තැනකට පත් වූයේ ද මෙන්න මේ මතවාදය නිසා ය. ඒ නිසා කළමනාකරුවන්ට පමණක් නොව ඉදිරිගාමී ඔ්නෑ ම සංවිධානයකට හා අරගලයකට මේ නුවණ වැදගත් ය.

මේ නුවණ මග හැරී යෑමට එක් හේතුවක් නම් බොහෝ දෙනෙකුට (විශේෂයෙන් අරගලකරුවන්ට) හැගීම් වලට මිසක බුද්ධියට ආමන්ත්‍රණය කළ නොහැකි නිසා ය. හැගීම් වලින ප්‍රලය වූ මනසකින් විමසුම් බුද්ධිය බැහැර වන්නේ ය. කළමනාකරුවන්ට මේ තත්වයෙන් බොහෝ පාඩම් ඉගෙන ගත හැකි ය.

මේ මුහුණු පොතේ රත් වීම හරහා අප ඉගෙන ගත යුතු එවැනි වැදගත් පාඩමක් වන්නේ ලංකාවේ සංස්කෘතික මනස තුළ ඇති පුද්ගලාභිවාදනය යි. නායකයෙකු දේවත්වයට නංවා ඔහු හැම දෙයක් ම දන්නා හැම දෙයක් ම කළ හැකි සුපර් මෑන් කෙනෙකුගේ තත්වයට පත් කිරීම තුළ මිනිසුන් ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ නායකයෙකු නොව වීරයෙක් බව ය. ඉතින් ඒ භූමිකාව ඉටු කළ යුතු ය. මේ දවස්වල අපට දක්නට ලැබෙන බොහෝ දේශපාලන සංදර්ශන වල අපට දක්නට ලැබෙන්නේ ඒ වීරයාගේ චරිතයට ඇඳ ඇති නළුවන්ගේ රඟපෑම් ය. ඔවුන් සැබෑ වීරයන් නොවන නිසා මතු කරන්නේ අතිශය බාල උත්ප්‍රාසයක් වුව ද එසේ රඟන නායකයන්ට වත් ඒ රඟපෑම් බලමින් විසිල් ගහන ප්‍රේක්ෂකයින්ට වත් ඒ බව තේරෙන්නේ නැත.

අප මතක තබා ගත යුත්තේ චිත්‍රපට වල වීරයන්ට ගුටි කන්නට බැරි බවත් සැඟවෙන්නට බැරි බවත් ය. ඒ නිසා කොතෙක් අවාසිදායක තත්වයක් යටතේ සටන් කළ හැකි ශිල්ප ක්‍රම ඔහු දැන සිටිය යුතු ය. නැතිනම් ඔහුට සෙසු අය විසින් ආරූඪ කළ යුතු ය.

මී මැසි රැජිනය නැති වීමෙන් පසු මීමැස්සන් එක වර අයාලයේ යනවාක් මෙන් මෙසේ බිහි කරන ‌නායකයෙකු නැතිවුවහොත් ව්‍යාපාරය ම රට ම සංවිධානය ම මඳ කලකට අයාලේ යන්නේ ය. ඒ නිසා මීමැස්සන් පාලනය කරන්නාක් මෙන් ම මෙවැනි සංවිධාන පාලනය කරන්නට සැලසුම් හදන අය ද කරන්නේ ඒ නායකයා අල්ලා ගැනීම ය. ඔහුගේ බල බිඳීම ය. ඔබට දැන් අපේ දේශපාලන අතීතය මතක් කර ගත හැකි ය. විජේවිරගේ මරණය ද ප්‍රභාකරන්ගේ මරණය ද මතක් කර ගත හැකි ය. ‌ඊටත් අතීතයට ගොස් අවශ්‍ය නම් බණ්ඩාරනායකගේ මරණය ද මතක් කර ගත හැකි ය. ඒ නිසා එවන් නායකයෙකු රැක ගැනීමට අනුගාමිකයන් නොකරන දෙයක් නැත. තවමත් විශ්වාස නැත්නම් ඔබට මී මැස්සන්ගෙන් අසා දැන ගත හැකි ය.

මේ නිසා ම අප ඉගෙන ගත යුතු ඊළග පාඩම නම් එක් නායකයෙකු අභිනන්දනය කරන පක්ෂයක් ‌සංවිධානයක් පමණක් නොව ආයතනයක් ද ගොඩ නැගිය යුතු නැති බව ය. බොහෝ දියුණු රටවල එවැනි නායකයෙකු නැත. ඇත්තේ ප්‍රබල සංවිධානයන් ය. නායකයන් වෙනස් වීම අපි ඇඳුම් මාරු කරන ගණනට සිදු වන්නේ ය. ඒ නිසා අප මුහුණ දෙන බොහෝ ප්‍රශ්න වලට ඔවුන් ට මුහුණ දීමට සිදු නොවේ.

අපට යාවජීව නායකයන් සිටින්නේ මේ තත්වය නිසා ය. අබල දුබල වූ පසු කැමැත්තෙන් ‌ඉවත් ව ගියහොත් මිසක හෝ මිය ගිය හොත් මිසක අපේ රටේ බොහේ තැනක නායකයෙකු වෙනස් නොවන්නේ ඒ නිසා ය.

මේ සටහනෙන් කියවෙන අනෙත් පාඩම නම් හැගීම් වලින් ප්‍රලය වී එකිනෙකා සමග විරසක වෙනවා වෙනුවට මෙවැනි සිද්ධීන් විමසන්නේ නම් ඒ හරහා ඉගෙන ගත හැකි පාඩම් බොහෝ බව ය.

රැල්ලට ගසා ගෙන යන පරඩැල්


මිනිස් ස්වභාවය (ඇත්තට ම කියන්නේ නම් සමස්ත ජීවින්ගේ ස්වභාවය) වන්නේ හැකිතාක් ශක්තිය අඩුවෙන් වියදම් කිරීම ය. අප බොහෝ දෙනෙකුට නොසිතුනාට සිතන එකට ද විශාල ශක්තියක් වැය වේ. ඉතින් නොසිතා ඉන්නට හැකි නම් අප කැමති ය. ඒත් නොසිතා ඉන්නට බැරි ය. ඒ නිසා අප කරන්නෙ අවම ලෙස සිතීම ය. ඒ සඳහා අප කරන්නේ ෂෝට් කට් සෙවීම ය. සිතුවිලි වල අතිශය ප්‍රාථමික මට්ටමෙන් කරන ගනුදෙනුවකට සීමා වීම ය.

මේ ප්‍රාථමික ගනුදෙනුව කුමක් ද? එහි පදනම ආවේග හා හැගීම් ය. කුඩා දරුවෙකු භාවිතා කරන්නේ මේ මෙවලම් ය. අපි ලොකු වුනාට පසු ද කැමති ඒ මට්ටමෙන් හැසිරීමට ය. නොසිතා හැසිරීමට ය.

පසු විපාක ගැන නොසොයා ආවේගයන්ට යටත් වෙන්නට අප කැමති ඒ නිසා ය. එය පහසු ය. සරල ය. එතකොට තියෙන්නේ අඩන්නට ය. නැතිනම් සිනාසෙන්නට ය. අවශ්‍ය දේ ඉටු කර ගැනීමට ඒ ප්‍රතිචාරයන් ප්‍රමාණවත් ය.

ප්‍රාථමික ආවේග නොසෑහෙන විට අප කරන්නේ අනුකරණය කිරීම ය. කුඩා දරුවෙකු නම් සිය වීරයන් හා ආරක්ෂකයන් වූ දෙමාපියන් අනුගමනය කිරීම ය. අනුකරණය කිරීම ය. තවදුරටත් ලොකු මහත් වී සමාජයට යන දරුවා පුරුදු වන්නේ වැඩි දෙනෙකු කරන දෙය කිරීමට ය. බහුතරය අනුගමනයට ය. අනුකරණයට ය.

මෙසේ ප්‍රාථමික ආවේගයන්ට අමතරව සරල තර්කයේ පිහිට ද අප පැතූව ද සිතන්නට නම් සිතක් අප බහුතරයකට නැත. එය ස්වභාවය නොවන නිසා ය. රැලි ඇතිවන්නේ ද මේ නිසා ය. රැල්ලට ගහ ගෙන යන්නට ඉඩ දී සිටීම උඩු ගං බලා පීනනවාට වඩා අතිශයින් පහසු ය.

සමහර ඡන්ද වල දී ඡන්දය ඉල්ලන්නට අදාළ පිළෙන් පොල් පිත්තක් තිබ්බත් තෝරා පත් වන්නේ මෙන්න මේ රැලි බිහි වීම නිසා ය. දොළුකන්දේ හාමුදුරුවන්ට පිරිත් බවුසරය ප්‍රමාණවත් නොවී වැවට පිරිත් නූල් දමා පිරිත් පැන් බෙදන්නට සිදු වුනේ ද මේ රැලි නිසා ය.

නායකයෙකු විය හැක්කේ මෙයින් මිදීමට හැකි කෙනෙකුට ය.

කරුණු විමසා විශ්ලේෂණය කළ හැකි කෙනෙකුට ය. කෑලි වලට කඩා තනි තනි කෑල්ල ගෙන ගැඹුරට බැලිය හැකි කෙනෙකුට ය. ඒ සියල්ල එකතු කොට සංශ්ලේෂණය කළ හැකි කෙනෙකුට ය. තනි තනි කෑල්ලට කොටුවන්නේ නැතිව මුළු පින්තූරය ද ඒ සමග දැකිය හැකි කෙනෙකුට ය. ඒකීයත්වය තුළ පවතින අභ්‍යන්තර ඝට්ටනය දැකිය හැකි කෙනෙකුට ය. පරස්පරය දැකිය හැකි කෙනෙකුට ය. ඒ පරස්පරය එකට පවත්වා ගෙන යෑමට ගෙතූ වැල දැකිය හැකි කෙනෙකුට ය.

මිනිස් ස්වභාවය තේරුම් ගැනීමෙන් නොනවතින නායකයා එය ඉක්මවීමට අවශ්‍ය කුසලතාවය ද රැස් කර ගනී. ඒ සඳහා සිතන්නට ඔහු ඉදිරිපත් වෙයි. ඒ වෙනුවෙන් ශක්තිය වැය කරන්නට ඉදිරිපත් වෙයි.

තීරණය ඔබගේ ය. ඔබ කළමනාකරුවෙකු වීමට ඉටා ගන්නේ නම් ඔබට තෝරා ගැනීමක් නැත. ඔබ මිනිස් ස්වභාවය තේරුම් ගැනීමටත් එය ඉක්මවීමටත් වැඩ කළ යුතු ය. රැල්ල ඉදිරියේ අදීනව නැගී සිටීමට කටයුතු කළ යුතු ය.

එක ප්‍රශ්නයක් ඉතිරි වේ. රැල්ලක් නිර්මාණය කිරීමට නායකයා කටයුතු කළ යුතු ද යන්න ය. එය සියල්ල උඩුයටිකුරු කරවීමේ ශාක්‍යතාවයකින් ද යුක්ත ය.

නියම නායකයෙකු කරන්නේ රැල්ලක් බිහි කිරීම නොවේ. දිය වැල් නියාමනය කරමින් ඇලවේලි තනමින් කෙත් වතු වලට දිය ගෙන ඒම ය. එය බැම්මක් කඩා දමා ගංවතුරක් නිර්මාණය කරනු තරම් පහසු නැත. ගංවතුර ගෙන එන්නේ විනාශයකි. නියාමනය කරල ලද ඇල වේලි ගෙන එන්නේ සෞභාග්‍යය ය. නායකයා කළ යුත්තේ දෙවැන්න ය.

පළමුවැන්නට අවශ්‍ය ආවේග මුදාහැරීම ය. දෙවැන්නට සිතන්නට ද පෙළඹවිය යුතු ය.