දණ්ඩනයෙන් හික්මවීම


41391

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය පැනවීම ගැන සංවාදය තවමත් කෙරේ. එහි හොඳ නරක ගැන බොහෝ දේ කතා වෙයි. මේ ලිපියේ අරමුණ ඊට තරමක් වෙනස් ය. අප උත්සහ කරන්නේ එම කාරණය කළමනාකරුවෙකුගේ කෝණයෙන් බැලීමට ය. මේ සංවාදයෙන් කළමනාකරුවෙකුට ගත හැකි පාඩම් කවරේදැයි විමසීමට ය.

පසුගිය බදාදා (ජූලි මස 18 දින) මව්බිම පුවත් පතේ පළව තිබූ ප්‍රවෘත්ති කිහිපයක් මෙසේ ය. “පාන්දර යාමයේ ලක්ෂ 18 ක හෙරොයින් අරගෙන යතුරු පැදියේ ගිය කත මාට්ටු“. “කුඩු පැකට් 22 ක් තිසර පටේ හංගාගෙන ගල්කිස්ස උසාවියට ආ එක් දරු මව දැලේ“. කෙසෙල් වත්තේ ‘ලසාගේ‘ ගෝලයෙක් ලක්ෂ 24 ක හෙරොයින් සමග මාට්ටු“. “මත්කුඩු පැකට් කළ මව, පියා සහ දියණිය අගෝස්තු 1 දා තෙක් රිමාන්ඩ්“. “ලක්ෂ 2 ක් වටිනා කුඩු සමග බොරැල්ලේ දී අයෙක් අත් අඩංගුවට“. මේ එක් දිනක ප්‍රවෘත්ති ය. ඊට අමතරව ගරු ගාම්භීර ලෙස කුඩු සඳහා මරණ දඩුවම පවරණ බව ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලදුව, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලදුව, කිසිම බලපෑමක් නිසා වෙනස් නොකරන්නේ යැයි කියූ, ජී එස් පී සහනය නැතිව ගිය ද අකුලා ගන්නේ නැතැයි කියූ, සියල්ලට පසුව සිදු වූ දේ ය.

මේ නිශ්චිත සාක්කිවලින් අප බැස ගත යුතු නිගමනය කුමක් ද? මරණ දඩුවම ක්‍රියාත්මක කරනවා යැයි කළ ප්‍රකාශය මත්ද්‍රව්‍ය පාලනයට කිසිදු බලපෑමක් කර නැති බව ය.

එක හේතුවක් විය හැක්කේ කිව්වාට කරන එකක් නැතැයි සිතීම විය හැකි ය. එහෙත් එය ම ද? කළමනාකරණය පිළිබඳ සංවාදයකින් මෙය විමසිය හැකි ය.

අභිප්‍රේරණය සම්බන්ධ අතිශයින් ප්‍රාථමික, එහෙත් ශත වර්ෂ ගණනාවක තිස්සේ පැවත එන නියාමයක් වෙයි. ඒ යහපත් චර්යාවට යහපත් ප්‍රතිඵලත්, අයහපත් චර්යාවට අයහපත් ප්‍රතිවිපාකත්, ලැබෙන ලෙස වග බලා ගන්නේ නම් මිනිසුන් අයහපත් ක්‍රියාවලින් ඈත් කර යහපත් දෙයෙහි නිරත කළ හැකි බව ය. බැලූ බැල්මට මෙහි විවාද කළ යුතු යමක් නැත.

මෙහි ම දිගුවක් ලෙස අපට තව නියාමයක් හමුවේ. ඵල විපාක වැඩි වූ විට, එනම් තෑග්ග විශාල වූ විට හා දණ්ඩනය තිරශ්චීන වූ පමණට, මිනිසුන් මේ නියාමය ඔස්සේ මෙල්ල කිරීම වඩාත් පහසු වන බව ය.

මරණ දණ්ඩනය පනවන්නේ ද, මේ වඩාත් ප්‍රසාරණය කරන ලද, දෙවැනි නියාමය ප්‍රයෝජන ගනිමිනි. අප කලින් දැක්වූ ප්‍රවෘත්තිවලින් පමණක් නොව ලෝකයේ අනෙත් රටවල අත්දැකීම් වලින් ද පෙනෙන්නේ මේ නියාමය ද සරල වැඩි බව ය. දණ්ඩනය වැඩි කළ පමණින් සියල්ල හරි නොයන බව ය. ලොව වඩාත් ම අපරාධ සිදුවන රටවල් දහයෙන් හයකම මරණ දඩුවම ක්‍රියාත්මක වේ. අපේ නියමය හරි නම් එය එසේ විය නොහැකි ය.

අපට නිවැරදි යැයි දැනෙන මේ නියාමයේ ඇති වැරැද්ද අප විසින් විමසිය යුතු ය.

මේ නියාමය තුළ ඇති පළමු වැරැද්ද නම් කෙනෙකුට දඩුවමක් වන දෙය තව කෙනෙකුට වරප්‍රසාදයක් විය හැකි වීම ය (වරප්‍රසාදයක් දඩුවමක් ද විය හැකි ය). ආඥාදායක පාලකයෙකුගෙන් ලැබෙන සිර දඩුවමක් දේශපාලකයෙකුට පදක්කම් ලෙස පැලඳිය හැකි වීම මේ සඳහා දිය හැකි එක් උදාහරණය කි. තෑග්ගක් ලෙස ලබන සීනි කෑමක් කෙනෙකුගේ දිය වැඩියාව උත්සන්න කළ හැකි වීම තව එකකි. උසස්විමක් සමග ලැබෙන ස්ථාන මාරුවක් කෙනෙකුට ජිවිතයේ වටිනා දෙයින් තමන් දුරස්ථ කරන උරචක්‍රමාලයක් විය හැකි වීම තව එකකි. දැනටත් ජිවත් වන්නේ ගිනි ගෙන දැවෙන මානසික වටපිටාවක නම් මරණය පවා කෙනෙකු සහනයක් ලෙස දැකිය හැකි විම තව උදාහරණයකි.

නියාමයේ ඇති දෙවැනි වැරැද්ද නම් දඩුවම, දඩුවමක් ලෙස ම සැලකුවේ වූව ද, ඊට තමන් අසුවීමේ ඉඩකඩ අඩු නම්, එසේ අසු වූ විටක පවා ගැලවීමේ ඉඩකඩ වැඩි නම්, දඩුවමේ ප්‍රමාණය වැඩි කිරීමෙන් වැඩක් නැති වීම ය.

නියාමයේ ඇති තෙවැනි වැරැද්ද නම් තමන් කරන ක්‍රියාව මග හැරීමෙන් තමන්ට අයත් වන පාඩුව ඉහළ නම් දඩුවම ගැන මිනිසුන් නොසළකා හැරීම ය. ඒ ලාභය වෙනුවෙන් අවදානමක් ගැනීමට ඉදිරිපත් විම ය. මත්ද්‍රව්‍ය නීති විරෝධී කර ඇති තත්වය තුළ එයින් ලද හැකි ලාභය අති විශාල ය. නීති තද කිරීම නිසා ද දඩුවම ඉහළ යෑම නිසා ද ඒ සඳහා ඉදිරිපත් වන මිනිසුන් අඩු වූ කල ද එයින් ලද හැකි ලාභය තවත් විශාල වන්නේ ය.

ඒ නිසා දඩුවම කෙනෙකු යමකින් ඉවත් කිරීමට දායක වන ප්‍රමාණය අපට පහත සමීකරණය ඇසුරෙන් දැක්විය හැකි ය.

දඩුවමේ බලපෑම = දඩුවම දඩුවමක් ලෙස සැළකීමේ ප්‍රමාණය x දඩුවමක් ලැබීමේ ඉඩකඩ / තමන් ලබන පාඩුව

මේ නිසා යම් බලපෑමක් දඩුවමක් විසින් ඇති කළ යුතු නම් කළමනාකරු මේ සමිකරණය අනුව ක්‍රියාත්මක වීමට වග බලා ගත යුතු ය. දැන් අපි මුලින් ගත් උදාහරණය ම ගෙන මේ සමීකරණය විමසමු.

මත්කුඩු ජවාරමට සම්බන්ධ කර ගන්නා බොහෝ දෙනෙකු ආර්ථික වශයෙන් අමාරුවකට වැටුණු අය ය. සාමාන්‍ය ආදායම් මාර්ගයකින් පමණක් ජිවිතය ගොඩ දා ගත නොහැකි අය ය. ඒ තරමට ණය බරිත වී සිටින අය ය. එවැනි කෙනෙකු දැනටමත් ජීවිතයෙන් ගොඩ ඒමට මගක් නැතිව සිය දිවි නසා ගැනීම ගැන සිතන අයෙකු නම් මරණ දඩුවම හෝ මරණය කොහොමටත් තිගැස්මක් ඇති කරන්නේ නැත.

ඊට අමතරව ඇතැම් අය කුමක් හෝ හේතුවක් නිසා මේ මත් උගුලට හසු වී තිබේ. ඔවුන් මේ මාෆියාවෙන් මිදුනොත් ඔවුන් පසු පස මින් ඉදිරියට හඹා එන්නේ පොලීසිය පමණක් නොවේ. මත් ද්‍රව්‍ය විකුණන ජාලයේ මැරයින් ද ඒ හඹා යෑමට එක් වේ. ඒ ඔවුන් ද්‍රෝහී වනු ඇතැයි යන බිය නිසා ය. මේ හේතු නිසා උසාවියෙන් ලබන මරණ දඩුවමේ අමතර විශේෂයක් ඔවුන්ට දැනෙන්නේ නැත.

ඊළගට අපි දඩුවම් ලැබීමේ ඉඩකඩ විමසමු. ඒ සඳහා පළමුව අසු වන්නට ඕනෑ ය. අසු වූ විටක බේරගන්නට මුදල් වියදම් කරන්නට කැමති හාම්පුතුන් ඉන්නවා නම් එතැන බේරිමේ ඉඩක් තිබේ. දෙවනුව උසාවියකින් වැරදි කරුවන් කිරීමට වුවමනා ය. දක්ෂ නීතිඥයෙකුගේ සේවය හාම්පුතා විසින් ලබා දෙන්නේ නම් එතැනින් ද බේරිමේ ඉඩක් තිබේ. අපරාධ නඩු කොහොමටත් කල් යන්නේ ය. නඩුවක් විසඳෙන සාමාන්‍ය කාලය වසර 17 කි. ඉතින් ඒ අතර තව බොහෝ දේ සිදු විය හැකි ය. මත්කුඩු පවුඩර් විය හැකි ය.

දැන් අපි අවසන් සාධකය දෙස බලමු. දඩුවමින් බේරීම සඳහා මේ මත් ද්‍රව්‍ය රැකට් එකෙන් ඉවත් වන්නේ නම් පාඩුව ඉහළ ය. වෙන කුමක් කළත් මේ ලැබූ ආදායම පහසුවෙන් ලබා ගත නොහැකි ය.

දැන් මේ සියල්ල සමිකරණයට දමා විමසන්න. ඔබට පෙනෙනු ඇත්තේ දඩුවමේ බලපෑම අවම බව ය. කළ යුත්තේ මේ මිනිසුන් පුනරුත්ථාපනය කිරීම ය. ඔවුන්ට අධ්‍යාපනයක් දීම ය. රැකියා හා ව්‍යාපාරික අවස්ථා ලබා දිම ය. මත් ද්‍රව්‍ය වලට යොදා ඇති තහංචි අවම කිරීම ය. එහි මිල පහත හෙලීම ය. එහි අවදානම ඉවත් කිරීම ය.

අප මේ විස්තරය කළේ මේ රටේ දේශපාලනඥයන් මේවා බලා තම තීරණයන් වෙනස් කරනු ඇතැයි යන කල්පනාවකින් නොවේ. අපේ කළමනාකරුවන් මේ සංසිද්ධීන්ගෙන් උගෙන තමන්ගේ කළමනාකරණ ක්‍රමවේදයන් මනාව සකස් කර ගනු ඇතැයි යන අපේක්ෂාවෙන් ය.

ඔබේ ආයතනයෙන් යමෙකු අස් කිරීම, එසේ අස් කරන තැනැත්තාට දඩුවමක් වන්නේ ආයතනය යහපත් වන්නේ නම්, ආකර්ෂණිය වන්නේ නම්, පමණ ය. ආයතනය වැඩකට නැති එකක් නම්, අස් කරනවාය යන තර්ජනයෙන් වැඩක් නැත. එවන් තැනකින් අස් කරනු ලැබීම ම ඔහුට / ඇයට ප්‍රතිලාභයක් වීමට පවා ඉඩ තිබේ. ඊට අමතරව ඔබේ තර්ජනය මිනිසුන් විසින් බාර ගනු ඇත්තේ ඔබ වචනය අනුව වැඩ කරන කෙනෙකු නම් පමණ ය. එසේ වැඩ කොට සාර්ථකත්වය පෙන්වා ඇත්නම් පමණ ය. අමාරුකාරයින් කීප දෙනෙකු හෝ දැනටම අස් කර තිබේ නම් පමණ ය. ඉතින් දැන් ඔබ කළ යුතු හරිය දන්නේ ය. තිබෙන්නේ වැඩ පටන් ගැන්මට ය. අභිප්‍රේරණ නියාමයන් ගැන වැටහීමකින් ආයතනය නැවත සකස් කිරීම ය. ඔබේ වචනය ක්‍රියාවෙන් සනාථ කිරීම ය.

දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන ප්‍රතිඵල


40484දෑසට පෙනෙන යමක් කිරීමට බොහෝ දෙනා කැමති ය. එවැනි එකක් නැවත ඇගිල්ලෙන් ඇන පෙන්විය යුතු නොවන නිසා ය. ඒ නිසා ම ආයතනයක නම් බොහෝ අය කැමති ගොඩනැගිලි, පුටු, මේස, රාක්ක, මල්පෝච්චි වැනි දෑ වෙනස් කිරීමට ය. ඒවා බොහෝ විට මුදල් වියදම් කර කළ යුතු වැඩ ය. ඒ නිසා මුදල් සොයා ගැනීමට දක්ෂ අයට පමණක් කළ හැකි වැඩ ය.

මෙවැනි වැඩ කිරීමට වැඩියෙන් උනන්දු වීමට තව හේතුවක් තිබේ. එවැනි වෙනස්කමක් තුළ මුදල් උපයා ගැනීමේ ඉඩකඩ ද තිබීම ය. අත යටින් ගනුදෙනු කිරිමේ ඉඩකඩ තිබීම ය.

මීට ප්‍රතිපක්ෂව තිබෙන අදෘෂ්‍යමාන වැඩ වලට අයිති වන්නේ ආයතනයේ ප්‍රතිපත්ති වෙනස් කිරීම ය. ආයතනික සංස්කෘතිය වෙනස් කිරීම ය. ආයතනයේ ක්‍රියාවලි වෙනස් කිරීම ය. ආයතනය තුළ ක්‍රියාත්මක වන විවිධ පද්ධති හා ක්‍රමවේදයන් වෙනස් කිරීම ය.

ඒවා නව ගොඩනැගිල්ලක් තරම් විද්‍යාමාන වන්නේ නැත. පිටින් බලන කෙනෙකුට ආකර්ෂණීය වන්නේ ද නැත. කළේ කවුදැයි ලියා දක්වන්නට බැරි ය.

පළමු වර්ගයේ නිමැවුමක් විවෘත කිරීමට උත්සවයක් පැවැත්විය හැකි ය. ආරාධිත අමුත්තන් කැඳවා ගත හැකි ය. දේශපාලනඥයෙකු කැඳවා ලකුණු දමා ගත හැකි ය (අඩු වශයෙන් එසේ දමා ගත හැකි යැයි සිතෙන්නේ ය). පුවත්පතක ඡයාරූපයකට වුව එවැන්නක් අපූරු ය. මාධ්‍යකරුවන් සොයන්නේ ද ආකර්ෂණීය රූප ය. එහෙත් අප කි දෙවැනි ආකාරයේ නිමැවුම් එසේ නැත. ඒවා ෆොටෝජිනික් නැත. පෙන්නා පාරම්බාන්නට අමාරු එකවර පෙන්වන්නට දෙයක් ඒවායේ නැති නිසා ය. ඒවා කළේ යැයි එකවර කිසිවෙකුට ඒත්තු ගැන්වීමට ද නොහැකි ය. එපමණක් නොවේ. ඒ වෙනස්කම් හා ඒවායින් ඇති කරන ප්‍රතිඵල අතර ඍජු සම්බන්ධයක් බොහෝ දෙනෙකුට නොපෙනීම ද එයට හේතුවක් වෙයි.

ඒ දෙවැනි කී ඇතැම් අදෘෂ්‍යමාන නිමැවුම් සඳහා විශාල මුදලක් වැය නොකරන නිසා ම, විශාල පරිශ්‍රමයක් නොදරන නිසා ම, ඇතැම්විට විශාල කාලයක් ගත නොවන නිසා ම, ඒවාට මිනිසුන් දෙන වටිනාකම ද අඩු ය (තවත් ඇතැම් දෙවැනි වර්ගයේ මැදිහත්වීම්වලට -මිනිසුන් පුහුණුකිරීම වැනි- විශාල ලෙස වියදම් වෙතත් ප්‍රතිඵල ගැන සහතිකයක් නැති වීම ද මේ සඳහා බලපාන්නේ ය). එපමණක් නොවේ. ඒවා ටික කලකින් අමතකව යන සුළු ය. ඊළග නායකයා යටතේ වෙනස් වීමට ද ශාක්‍යතාවයක් සහිත ය. ඒ කරුණු නිසා ද ඒවාට අඩු අගයක් පිරි නැමේ.

පිරිනමනු ලැබූ දියමන්ති මුද්දක වටිනාකම, මහමෙරක් බර හදවතේ රැඳි ආදරයට නැත. පළමුවැන්න විකිණිය හැකි ය. දෙවැන්නට එවැනි වටිනාකමක් නැත. ඒ උපහැරණය ගෙනාවේ අප ඉහත දැක්වූ දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන නිමැවුම් ගැන වඩාත් ගැලපෙන සන්සන්දනයක් කිරීමට ය.

ඒ නිසා ආයතනවලට අලුත් ගොඩනැගිලි ලැබේ. එහෙත් ඉන්නේ පරණ මිනිසුන් ම ය. වැඩ කෙරෙන්නේ පරණ විදිහට ම ය. බිම කාපට් කරලා ය. එහෙත් ලියුමකට උත්තර ගන්නට වෙනදා තරම් ම, නැතිනම් ඊට වැඩි, වෙලාවක් රැඳී සිටිය යුතු ය.

නව ගොඩනැගිලි සෑදීමවත් ඒවා කාපට් කිරීමවත් නරක නැත. සුන්දර පරිසරයක වැඩ කිරීමට පෙළඹවීම වැඩි ය. ඒ නිසා ම ඒ නවීකරණයන් කළ යුතු ය. නරක එතැනින් නතර වීම ය. එයින් සෑහීමකට පත් විම ය. එවැනි වැඩ කටයුතු උඩ දමන අතරේ ඵලදායී අදෘෂ්‍යමාන වෙනස්කම් නොසළකා හැරීම ය. ඒවාට අඩු ලංසුවක් තැබීම ය. ඒ සඳහා කැප නොවීම ය.

ඇතැම් විට ඊට හේතු අතර දෙවැන්න වඩා අමාරු යැයි සැළකීම ද වෙයි. දෙවැන්න අමාරු වන්නේ ඒ සඳහා අවශ්‍ය කුසලතා නොමැති වීම නිසා ය. දෙවැනි ගණයේ නිර්මාණයන් මුදල් ගෙවූ පමණින් ලබා ගත නොහැකි ය. බාහිර උපදේශකවරයෙකුගේ සහය ලබා ගත්ත ද කළමනාකරුට ද කිරීමට කාර්යයක් ඒ තුළ ඇත.

උදාහරණයක් ලෙස සේවකයන් අභිප්‍රේරණය කරන වැඩසටහනක් පැවැත්වූයේ යැයි සිතමු. ඒ සඳහා දක්ෂම පුහුණුකරුවෙකුගේ සේවය මුදල් ගෙවීමෙන් ලබා ගත හැකි ය. ඔහු අතිශයින් දක්ෂ ලෙස එම කාර්යය නිම කර සේවකයන් අභිප්‍රේරණය කළේ යැයි සිතමු. එහෙත් එයින් ඵල ලබා ගැනීමට නම් ආයතනයේ කළමනාකාරිත්වය ද වෙනස් විය යුතු ය. අභිප්‍රේරණය වූ සේවකයන්ට වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට කළමනාකාරිත්වය අපොහොසත් වෙයි නම් වැඩ මුළුවකින් අත්වන යහපතක් නැත. ඒ පරිසරය ඇති කිරීමට අවශ්‍ය සම්පත් ලබා දිය යුතු ය. අධිකාරී බලය ලබා දිය යුතු ය. දෑත් බැඳ තබන රෙගුලාසි ඉවත් කළ යුතු ය. අවශ්‍ය තාක්ෂණය සැපයිය යුතු ය. වැඩ කරන්නන්ට ප්‍රතිලාභ ලබා දිය යුතු ය. ඔවුන්ගෙන් සිදුවන අතපසුවීමක දී ආරක්ෂාව ලබා දිය යුතු ය. ඒවා කරන්නට අපොහොසත් වන්නේ නම් ලබා ගත් අභිප්‍රේරණය ඉතාම කෙටි කලකින් වාෂ්ප වී යනවා ඇත.

තවත් උදාහරණයක් ගෙන බලමු. ආයතනයේ ප්‍රතිපත්ති කෙසේ වෙනස් විය යුතු දැයි අධ්‍යයනයක් කර වාර්ථා කිරීමට බාහිර උපදේශකයෙකුගේ සේවය මුදල් ගෙවා ගත හැකි ය. ඔහු නව ප්‍රතිපත්ති මාලාවක්, ඉතාම වටිනා ප්‍රතිපත්ති මාලාවක්, සකස් කර ඉදිරිපත් කරනු ඇත. එහෙත් ඒවා ක්‍රියාත්මක කළ යුත්තේ කළමනාකාරිත්වය ය. ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් කළ යුත්තේ කළමනාකාරිත්වය ය. ඒ ප්‍රතිපත්ති ආයතනය පුරා ක්‍රියාත්මක වන බවට වග බලා ගත යුත්තේ ද කළමනාකාරිත්වය ය.

ඒ උදාහරණ දෙකේදිම අවශ්‍ය වන ආයතනික වෙනස්කම් සඳහා අවශ්‍ය කුසලතා හා පරිචය කළමනාකාරිත්වය සතුව නැති වුවහොත් වන්නේ මුදල් ද වියදම් කර අවසානයේ මුකුත් නොලැබිම ය. ඒ නිසා ඇතැම් කළමනාකරුවෝ දෘෂ්‍යමාන වෙනස්කම් වලින්ම ලකුණු ලබා ගැනිමට උත්සහ කරති. ඒවා සම්බන්ධයෙන් තමන්ට කරන්නට ඉතිරි වන්නේ, විවෘත කිරීමේ උත්සවය සංවිධානය කර, ලකුණු ලබා ගැනීම පමණක් වන හෙයිනි. ඒ සඳහා අවශ්‍ය පරිචය හා උනන්දුව නම් බොහෝ දෙනෙකුට නිසඟයෙන් ම තිබෙන හෙයිනි.

ආයතන සම්බන්ධයෙන් පමණක් නොව රට සම්බන්ධයෙන් ද මේ කියන ලද කාරණය අදාළ ය. වසරකට වරක් හෝ දෙකක්, ඇතැම් විට ජීවිතයට වරක් හෝ දෙකක්, අධිවේගී මාර්ගය භාවිතා කරන අය පවා එයින් අමන්දානන්දයට පත් වන්නේත් වැඩි වියදමකින් තොරව ගෙනෙන ලද, තමන්ගේ ජීවිතයට වඩාත් දැඩිව බලපාන, තොරතුරු දැන ගැනීමේ පනතට හෝ විගණන පනතට එවැනි අගැයීමක් නැත්තේත් ඒ නිසා ය. මේ කියන්නේ එකක් අනෙකට වඩා වැදගත් බව නොවේ. දෙවැනි දේ සම්බන්ධයෙන් ලැබිය යුතු අගය නොලැබෙන බව ය. ඒ නිසා ම ඒවා සඳහා ප්‍රමාණවත් දිරි ගැන්වීමක් සිදු නොවන බව ය. එය අභාග්‍යයට හේතුවක් විය හැකි බව