පලා යමු ද? සටන් වදිමු ද?


40921

බොහෝ දෙනෙකු නව ආයතනයකට බැඳෙන්නේ කප්පරක් අපේක්ෂා හා බලාපොරොත්තු ඇතිව ය. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ වඩාත් ප්‍රමුඛ ඉලක්කය වන්නේ ආයතනයට කිසියම් දායකත්වයක් ලබා දී එහි ප්‍රයෝජනවත් සහකරුවෙකු වීම ය. ඒ හරහා තම අනාගතය වෙනුවෙන් ශක්තිමත් අත්තිවාරමක් දමා ගැනීම ය. තමන්ට නමක් හදා ගැනීමට ය. නිකම් නමක් නොව කීර්ති නාමයක් ලබා ගැනීමට ය.

එහෙත් ඇතැම් ආයතනයකට සම්බන්ධව වන කෙනෙකුට නොබෝ කලකින් පෙනී යන්නේ ඒ අපේක්ෂාව ඉටු කර ගැනීම සිතූ තරම් පහසු නොවන බව ය. වැඩවලට පොලු දැමීමට, ඒවාට ගැරහීමට, ඒවා අවතක්සේරු කිරීමට, පමණක් නොව, ඒවා දෙස උපහාසයෙන් බැලීමට ද වැඩිදෙනෙකු පුරුදු වී ඇති බව ය. තමන් අනුග්‍රහය අපේක්ෂා කළ ප්‍රධානියාගෙන් පවා ඇතැම් විට ඊට නිසි සහයෝගයක් නොලැබෙන බව ය. නවකයාගේ උද්යෝගය ප්‍රධානියාට ද තර්ජනයක් ව ඇති බව ය. ආයතනයේ  නීති රීති පවා සැදී පැහැදී ඇත්තේ වැඩ කිරීමට නොව වැඩ පමා කිරීමට බව ය.

දහසක් බලාපොරොත්තු ඇතිව සේවයට බැඳෙන නවකයෙකුට මෙය ඔරොත්තු නොදෙන තරමේ අත්දැකීමකි. මේ ගැන අදහසක් පල කළ විට පවා එයට සහකම්පනයෙන් යුතුව සවන් දෙන කෙනෙකු සොයා ගැනීම ද ඇතැම් විට අපහසු වීම නිසා විශාල තනි කමක් ඔහුට ඇයට දැනෙයි. එසේ සවන් දෙන කෙනෙකු පවා සියල්ල අවසානයේ පවසනු ඇත්තේ අපිත් ආපු මුල් කාලෙ එහෙම හිතුව. ඒ වුනාට මෙතැන ඔහොම තමයි. කියන දෙයක් කර ගෙන ඉන්නවා ඇරෙන්න ලොකු දේවල් කරන්න යන්න ඕන නැහැ යනුවෙනි. තනිකම දෙගුණයක් වී එවිට දැනෙන්නේ ය. අනාගතය අඳුරු යැයි සිතෙන්නේ ය.

මේ තත්වයට මුහුණ දෙන කෙනෙකුට ගත හැකි පියවර කිහිපයකි. එකක් පලා යෑම ය. වෙනත් ආයතනයකට යෑම ය. වැඩ දිරිගන්වන ආයතනයක් හෝ ප්‍රධානියෙකු සොයා ගැනීම ය. එය කියන තරම් පහසු නැත. අමාරුවෙන් ලබා ගත් රැකියාව අත් හැරීම පහසු නැත. ඉක්මණින් ආයතන මාරු කිරීම තමන්ගේ වෘත්තීය ජීවිතයට වැටෙන අඳුරු සෙවනැල්ලක් නිසා හැකියාව තිබුන ද කමිසයක් ගලවා දමනවාක් මෙන් ආයතනයක් මාරු කරන්නට බැරි ය.

ඊළග විකල්පය තිබෙන තත්වය වෙනස් කර ගැනීමට සටනට බැසීම ය. සත්ත්ව පරිණාමයේ දී සෑම සත්වයෙකුම මේ පලා යෑම හෝ සටන් වැදීම (flight or fight) යන දෙකින් එකක් තෝරාගැනීමට පුරුදු පුහුණුව සිටිති.

නවකයෙකු ලෙස සටන් කිරීමක් ගැන ඇතැම් තැනක හිතන්නටවත් බැරි ය. අවදානම ගැනිමට සූදානම් වන නවකයෙකුට සිදු වන්නේ පැරද පසු බැසීමට ය. පළපුරුදු සමාජිකයන් විසින් මේ නවක අතිධාවනකාරයා මෙල්ල කර ඇතැම් විටක සල්ලම් කරනු ලබනවා ඇත.

අවසානයේ සිදු වන්නේ පලා යෑමට ය. සටනක් නොකර පලා යනවා වෙනුවට, සටනක් කර පසුබැස පලා යෑමට ය. පරාජිතයෙකු ලෙස පලා යෑමට ය. එලවනු ලැබීමට, අස් කරනු ලැබීමට, යටත් වීම ට ය. එය ද අනාගත වෘත්තීය ජීවිතයට එල්ල කරන්නේ කළු පැල්ලමකි. අමාරුකාරයෙකු ලෙස හංවඩු ගසා ගත් කෙනෙකුට තව තැනක දොර ඇරෙන්නේ ද නැත.

ඒ නිසා බොහෝ අය තෙවැනි විකල්පයක් සොයා ගෙන සිටිති. ඒ වැඩිමනත් දෙයක් නොකර කියන දෙයක් කර ගෙන සිටීම ය. වහලෙකුගේ තත්වයට තමන් පිරිහෙලා ගැනීමට සිත හදා ගැනීම ය.

බොහෝ අකාර්යක්ෂම ආයතනවල පිරී ඉතිරී ඉන්නේ, සටන් කිරීමට ධෛර්යක් නොමැති, පලා යෑමට තැනක් නොමැති, වැඩි යමක් නොකර කියන දෙයක් කර ගෙන ඉන්නට හිත හදා ගත්, මිනිසුන් ය. ඔවුන් නරක මිනිසුන් නොවේ. කුසීත මිනිසුන් ද නොවේ. ක්‍රමය විසින් අබාධිත කරවූ මිනිසුන් ය.

බැලූ බැල්මට පෙනෙන්නේ නවකයෙකු කොහොම ගියත් හිර වෙන බව ය. ක්‍රමය විසින් හිර කරනු ලබන බව ය.

එහෙත් හොඳින් විපරම් කරන්නේ නම් අපට සිව් වෙනි විකල්පයක් ද තිබෙන බව පෙනෙනු ඇත. ඒ ආයතනයේ හැටියට, එයින් පැන වී අති සීමාවන්ගේ හැටියට, අපේ අපේක්ෂාවන් සීමා කර ගැනීම ය. සියලු අපේක්ෂාවන් අත්හැර දැමීම හෝ ඒ සියල්ල සාක්ෂාත් කර ගැනීම වෙනුවට ආයතනය තුළ ඇති සීමාවන් යටතේ යථාර්ථයක් කර ගත හැකි අපේක්ෂා කීපයක් සොයා ගැනීම ය. ඒ වෙනුවෙන් වැඩ කිරීම ය.

ඒ සඳහා යථාර්තවාදි කාල රාමුවක් සාදා ගැනීම ය. ඒ කාල වකවානුව තුළ ඉලක්කය ළගා කර ගත හැකි වැඩ පිළිවෙලක් සැලසුම් කර ගැනීම ය. එයට අවශ්‍ය සහය ලබා ගනු සඳහා දී ඇති සීමාවන් තුළ උපාය මාර්ග සැළකිල්ලෙන් තෝරා ගැනීම ය. ටිකෙන් ටික පියවරෙන් පියවර ඉලක්කයට ගමන් කිරීමට සන්සුන් ව පියවර මැනීම ය.

ඒ අතරතුර තමන්ගේ හැකියාවන් කුසලතාවයන් හා නව දැනුම සම්පාදනය කර ගැනීම ය. අවශ්‍ය වුවහොත් හා ඉඩ ලැබුනොත් නව තැනකට යා හැකි තරමට ශක්තියක් ගොනු කර ගැනීම ය. එසේත් නැතිනම් තමන්ට ආයතනයේ සීමාවන්ට අභියෝග කළ හැකි මට්ටමේ පෞර්ෂයක්, බලයක් හා කුසලතාවයන් ගොඩ නගා ගැනීම ය. ආයතනයේ සීමාවන් ඉක්මවිය හැකි බලයක් ගොඩ නගා ගැනීම ය. ආයතනය තම මතයට නතු කර ගත හැකි අනුගාමිකයන් පිරිසක් හදා ගැනීම ය. ඔවුන් බලාත්මක කිරීමට වෙහෙසීම ය.

නොකළ යුතු එක ම දෙය නම් උකටලී වී නිකම් සිටීම ය. එයින් සිදුවන්නේ තමන් කුණු වීම ය. අලස වීම ය. කිසි වැඩකට නැති කෙනෙකු වීම ය.

ඒ නිසා අවසාන වශයෙන් බැස ගත යුතු නිගමනය වන්නේ, ඔබ ආධුනිකයෙකු නම්, ආතනයේ සීමාවන් ඉදිරියේ ඔබ විසින් කළ යුත්තේ ඔබේ අපේක්ෂා ඒ සීමාවන් ඉඩ දෙන ප්‍රමාණයට නැවත සකස් කර ගැනීම බව ය. ඒ සීමා කරන ලද අපේක්ෂාවන් ඉටු කර ගැනීමට වෙර දරණ අතරේ, ඔබේ අවසාන අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා, සටන් කිරීමට හෝ පලා යෑමට අවශ්‍ය කුසලතා දැනුම හා විභවතා සාදා ගැනීමට ද වැඩ කිරීම බව ය.

ඉර අල්ලා ගැනීමට බැරි නම් ඔබ කළ යුත්තේ, උකටලීව පසු බැසීම නොව, හඳ අල්ලා ගැනීම ඔබේ නව ඉලක්කය කර ගැනීම ය.

පුරුදු, නරක පුරදු සහ යහ පුරුදු


41813

අප ඇතැම් දේ කරන්නේ පුරුද්දට ය. තවත් දේ අප කරන්නේ හිතාමතා ය. මේ ලෙස මනස සකස් ව ඇත්තේ අපේ ම පහසුවට ය. පුරුද්දකට යමක් කරන කල ඒ ගැන සිත වෙහෙසන්නට අපට සිදු නොවේ. එය නිරායාසයෙන් කරනු ලබන හෙයිනි. ඒ සඳහා අපේ ගතත් සිතත් පේවී ඇති හෙයිනි. සූදානමින් පසුවන හෙයිනි. එවැනි පුරුදු අප සිදු කරන්නේ ඇතැම් විට වෙනත් දේ ගැන සිතමින් ය. ඇතැම් විට කරන දේ ගැන වගේ වගක් නැතිව ය.

ඒවා යහ පුරුදු නම් අප ගොඩ ය. එහෙත් හැම පුරුද්දක්ම යහ පුරුද්දක් නොවේ. ඇතැම් ඒවා යුග ගණන් පැරණි ය. ඒ නිසා ම යල් පැන ගිය ඒවා ය. එක කලෙක ඒ පුරුද්ද අපට උදව්වක් වූවාට දැන් එසේ නැත. එහෙත් අප ඒ ගැන වගේ වගක් නැතිව පුරුද්දක් නිසා කර ගෙන යමු. ඒ පුරුද්දේ හැටි ය.

ඇතැම් පුරුදුවලට කෙතරම් අප ඇබ්බැහි වන්නේ ද යත් ඇතැම් විටක අපි ඒවායේ වහලුන් වන්නෙමු. ඒ නිසා ම අවශ්‍ය වුව ද අපට ඒවායින් ගැලවී යා නොහැකි ය. ඒ නිසා ම උත්සහ කළ ද අවසන් වන්නේ අපේ පරාජයෙන් වීමේ ඉඩකඩ තිබේ.

වත්මනෙන් උදාහරණයක් ගන්නේ නම් එකක් රූපවාහිනිය ය. අනෙක සමාජ ජාලා ය. ලංකාවේ නම් වැඩිමනත් ලෙස දෙවැන්න සඳහා භාවිතා වන්නේ මුහුණු පොත ය. ගියොත් ගොඩ එන්නට බැරි ය. ඒ වුනාට පුරුද්දක්  බවට පත් වුවහොත් නිරායාසයෙන් යන්නේ එතැනට ය. එවිට අහිමි වන්නේ වෙනත් දේ කිරීමට අවශ්‍ය කාලය ය.

පුරුද්දට කරන දේ ගැන වැඩිමනත් සිතිය යුතු නැති මුත් යමක් සිතා මතා අලුතෙන් කිරීමට නම් ඒ ගැන අවධානය යොමු කළ යුතු ය. වෙනත් දේ වලින් සිත නිදහස් කර ගෙන ඒ දෙස විපරමින් බැලිය යුතු ය. ඇතැම් විට ඒ සඳහා අපේ පරණ පුරුදු අත් හල යුතු ය. ඒ කාලය සොයා ගැනීමට පමණක් නොවේ. අලුතින් හිතන්නට ය.

එවැන්නකට මග පෙන්වීමට ඇතැම් විටක කවියකට පුළුවන. සිනමා පටකට, නාට්‍යයකට හෝ නව කතාවකට පුළුවන. ශාස්ත්‍රීය කෘතියකට පුළුවන. පුහුණු වැඩසටහනකට දේශනයකට (ඇතැම් විටක ධර්ම දේශනාවකට වුව) පුළුවන. අපට මුණ ගැසෙන නව මිනිසෙකුට පුළුවන. වෙනදා නොයන තැනකට පුළුවන. ඒ කිසිවක් නැතත් කිසි දෙයක් නොකර වෙනස් පරිසරයක හුදකලා වීමෙන් ද පුළුවන. එවැනි වෙනස් ක්‍රියාවකින් ඇසිල්ලක දී අපට නව මාවතක්, නව රටාවක්, දිස් වීමට ඉඩ තිබේ. එහෙත් හැම විටම හිතේ පහල වන එැවන්නක් ඉබේ පැලවී දළු ලා වැඩෙන්නේ නැත. මක් නිසා ද යත් ඊළග නිමේෂයේ අප නැවතත් පරණ පුරුදු ජීවිතයට වැටීමට, එහි සුවපහසුව තුළ ගිලීමට, කැමැත්තෙන් පසුවන නිසා ය. ඒ තුළ අප ලබා ගත් අවබෝධය, අප ඉදිරියේ විවර වූ මාවත, දියව යන නිසා ය.

එවැනි දෙයක් සැළකිය යුත්තේ අයිස් ක්‍රිම් එකක් වශයෙනි. ඉක්මණින් අනුභව කළේ නැත්නම් දිය ව යන අයිස් ක්‍රීම් එකක් වශයෙනි. වෙනත් වැඩ වලට නැවත යොමු වීම තුළ අපතේ යන වටිනා දෙයක් වශයෙනි.

හැමට මේ “අයිස්ක්‍රීම්“ ජීවිතයේ ඇතැම් තැනක දී ලැබෙතත් ඒවා අනුභව කරන්නේ ටික දෙනෙකි. ඒවායින් ප්‍රයෝජන ලබන්නේ ටික දෙනෙකි. බොහෝ දෙනෙකු පුරුද්දේ වහළුන් ය. ඔවුන්ගේ “අයිස්ක්‍රීම්“ ඔවුන් පුරුද්ද තුළ ගිලී යන අතරතුර දියව යන්නේ ය.

නරක පුරුදු, නොවටිනා පුරුදු, ඉවත් කළ යුතුවාක් මෙන් ම යහ පුරුදු ඇති කර ගත යුතු ය. නැතිනම් වන්නේ ඒවා ටික කලකින් ඉවත් ව යෑම ය.

ඒ සඳහා හිතා මතා කරන මැදිහත් වීමක් අවශ්‍ය ය. යම් විනයක් තිබීම අවශ්‍ය ය. මතක් කිරීමක් අවශ්‍ය ය. පුරුද්දක් බවට පත් වන තුරු දිගින් දිගට කිරීම අවශ්‍ය ය. ඇතැම් අය මේ සඳහා මැජික් වාර ගණනක් නියම කරති. ඇතැමුන්ට අනුව එක ම දෙය 21 වරක් කළොත් එය පුරුද්දක් බවට පත් වන්නේ ය. තවත් අයට අනුව ඒ සඳහා ඔබ දින 28 ක් ගත කළ යුතු ය. එවැනි මැජික් අංකයක් මේ සඳහා අවශ්‍ය නොවෙතත් එහෙම එකක් තියා ගැනීම අප වැනි අලසයන්ට හොඳ ය.

එක පුරුද්දක් අත් හැර තව පුරුද්දක් අල්ලා ගැනිම හොඳ ද? එය යහපත් වන්නේ එක් කොන්දේසියකට යටත් ව ය.

ඒ කොන්දේසිය නම්, යහ පුරුදු යැයි අප අලුතින් එකතු කරගන්නා පුරුදු ම, පසු කලෙක නොවටිනා දේ බවට පත් විය හැකි නිසා, නිරන්තර විමසුම ද පවත්වා ගෙන යා යුතු ය යන්න ය.

ඇතැම් ආයතන වල සිකුරාදා දින කැමති ඇඳුමක් ඇඳීමට නිදහස ලැබෙන්නේ ය. ඒ කියන්නේ පුරුද්දක් ලෙස ම වෙනස් විදිහට සිතන්නට එම ආයතන විසින් අවකාෂයක් සකස් කරන බව ය. එවැන්නක් පවා ඉක්මණින් තවත් පුරුද්දක් බවට පත් ව සාමාන්‍යකරණය විය හැකි බව ද අප විසින් අමතක නොකළ යුතු ය.

නව්‍යකරණය හා නවෝත්පාදනය සිය හර පද්ධතියට එක් කර ගත් ආයතනයක් හැම විට ම වෙනස් අත් දැකීමක් සිය සේවකයන්ට ලබා දීමට ඉදිරිපත් විය යුතු ය. ආයතනය පුරුදු විදිහට ඒකානමය හුරුවක යද්දී සිය සේවකයන් ඊට වෙනස් ව කටයුතු කරතැයි අපේක්ෂා නොකළ යුතු ය.

එවැනි ආයතනයක් තුළ අත්හදා බැලීම් වලට හා වැරදීම් වලට ඉඩ හසර තිබිය යුතු ය. ඉතාමත් නරුම යැයි එකවර හිතෙන අදහසකට වුව ද ඉදිරිපත් වීමට ඒ තුළ තැනක් තිබිය යුතු ය. අවසර තිබිය යුතු ය (අපේ පුරුදු රටාවට එරෙහිව යන අලුත් අදහස් බොහෝ දෙනෙකුට මුල් වතාවේ පෙනෙන්නේ ද නරුම අදහස් ලෙස ය).

නව්‍යකරණයට හා නවෝත්පාදනයට නායකයෙක් අවශ්‍ය ය. නායකයා ඊට ඇති සිය කැප වීම ප්‍රකාශයට පත් නොකර එය සෙසු මිනිසුන් තුළින් අපේක්ෂා නොකළ යුතු ය.

එක් පැත්තකින් සංකල්ප නිර්මාණය කරන වටපිටාවක් තැනිය යුතු අතර, තව පැත්තකින් ඒ සංකල්ප මහ පොළොව මත පැල කරන වැඩ පිළිවෙලක් ද සකස් කරන බවට වග බලා ගත යුතු ය.

පුරුදු වැදගත් ය. ඒ අපට ඉදිරියට යන්නට ඒවා උදව් වෙනතාක් පමණ ය.

බහු රූ කෝලම් වලට ඉඩ නැති ආයතන


42663

අපේ රටේ බොහෝ ආයතන දුවන්නේ නායකයන්ට ඕනෑ විදිහට ය. සිල්වා උන්නැහේ ආපුවහම සිල්වාට ඕනෑ විදියට ය. පෙරේරා ආපුවහම පෙරේරාට ඕනෑ විදියට ය. දියුණු රටවල ආයතනවල නායකයා වෙනස් වූවා කියා ක්‍රමවේද හෝ ක්‍රියාවලි එසේ හදිසියේ වෙනස් වන්නේ නැත. පිළිවෙත් එසේ වෙනස් වන්නේ නැත. වෙනස් කරන්නට ද නොහැකි ය. ඒ, ඒවායේ ස්ථාපිත ලිඛිත ක්‍රමවේදයන් හා ක්‍රියාවලීන් තිබෙන නිසා ය. නිශ්චිත, ලිඛිත, පිළිවෙත් තිබෙන නිසා ය. ඒවා ආයතනයේ ඇට මිදුළු වලට කා වැදී තිබෙන නිසා ය. ඒවා ආයතනයේ සංස්කෘතිකයේ කොටස් වී තිබෙන නිසා ය. ඒවා එසේ සිදු වන බවට වග බලා ගැනීමේ නීතියක් තිබෙන නිසා ය. පුරුද්දක් සම්ප්‍රදායක් තිබෙන නිසා ය.

ඒ නිසා ම එවැනි ආයතනයක් සමග ගනුදෙනු කිරීම, එසේ කරන්නන්ට පහසු ය. යමක් අපේක්ෂා කළ හැක්කේ කෙතරම් කාලයකට ද යන්න ඔවුහු දනිති. යමක් කළ හැකි ද නොහැකි ද යන්න ද ඔවුහු දනිති. ඒ කිසිවක් ආයතනයේ නායකයා අනුව හදිසියේ වෙනස් නොවන නිසා ය.

වත් පිළිවෙත් වෙනස් නොවන නිසා ද ක්‍රමවේදයන් වෙනස් නොවන නිසා ද නිපදවන යම් භාණ්ඩයක් වේ නම් සේවාවක් වේ නම් එහි ගුණාත්මක බවේ වෙනසක් වන්නේ නැත. විශේෂයෙන් අඩුවක් වීමට ඇති ඉඩ අඩු ය.

බොහෝ දෙනෙකු වරද්දා ගන්නා නිසා විශේෂයෙන් කිව යුත්තක් තිබේ. නිශ්චිත, ලිඛිත, ක්‍රමවේද ක්‍රියාවලි හෝ වත්පිළිවෙත් තිබීම නිසා ගුණාත්මක භාවයක් ලැබෙන්නේ නැත. ලැබෙන්නේ තිබෙන යම් ගුණාත්මක භාවයක් වේ නම් එය දිගින් දිගට නොවෙනස් ව පවතින බවට සහතිකයක් පමණ ය.

එය වැදගත් වන්නේ අප එම ආයතනයේ භාණ්ඩයක හෝ සේවාවක ගුණාත්මක භාවය ගැන එක් දිනක අප විසින් පැහැදීමක් ඇති කරගත්තේ නම් ඊළග දිනයේ ද ඒ මට්ටමේ ම ගුණාත්මක භාවයක් ලැබිය හැකි බවට අපට විශ්වාස කළ හැකි බව ය (එසේ ම මතක තබා ගත යුත්තේ ගුණාත්මක භාවයේ කිසියම් අඩුවක් තිබිණි නම් එය ද අපට ඊළග දිනයේ දී ද අත්විඳීමට සිදු විය හැකි බව ය).

මෙවැනි නිශ්චිත පිළිවෙත් ක්‍රමවේද ඇති ආයතනවලට ජාත්‍යන්තර ප්‍රමිතිකරණයක් වන ISO සහතිකයක් ද ලබා ගත හැකි ය.

එයින් අදහස් කරන්නේ නායකයෙකුට වත් පිළිවෙත් හා ක්‍රමවේදයන් වෙනස් නොකළ හැකි බව නොවේ. තමන්ගේ හිතූ මතයට පමණක් ඒවා වෙනස් කළ නොහැකි බව ය. ඒවා වෙනස් කිරීම යම් නිශ්චිත ක්‍රියාවලියක් හරහා සිදු කළ යුතු බවට ආයතනය විසින් ම පනවා ඇති නීති රීති තියෙන නිසා ය.

අපේ රටේ රජයේ ආයතනවල ද නායකයන්ට වෙනස් කළ නොහැකි අංශයක් තිබේ. ඒ ආයතනයේ නීති රීති ය. විශේෂයෙන් මුදල් රෙගුලාසිවලට අදාළ කාරණා ය. ඒ නිසා මුදල් වියදම් කිරීම පමණක් “නීතියකට“ අනුව සිදු වන නමුත් පිළිවෙත් ක්‍රමවේද එසේ නැත. ඇතැම් පුද්ගලික අංශ ද මීට බොහෝ සෙයින් වෙනස් නොවන බව පෙනෙන්නේ නායකයන් මාරු වන විට ඇතැම් ඒවා අර්බුදයන්ට ගිය බවට වාර්ථා ලැබෙන නිසා ය.

නිශ්චිත ක්‍රමවේදයන් වත් පිළිවෙත් ඇති ආයතනවලට පත් වන නායකයන් ද බොහෝ විට සමාන ගතිගුණ වලින් යුක්ත ය. විවිධ බහු රූ කෝලම් එවැනි නිශ්චිත ක්‍රමවේද වත්පිළිවෙත් තිබෙන ආයතනයක නායකයන් ලෙස පත් වීමට ඉඩක් නැත. මක්නිසා ද යත් නායකයෙකු තෝරා ගැනීම ද යම් නිශ්චිත ක්‍රමවේදයකට පිළිවෙතකට අනුව සිදු වන නිසා ය. සිදු කරන නිසා ය. සිදු කළ යුතු නිසා ය.

ප්‍රශ්නයකට ඇත්තේ එක් ආයතනයක් පමණක් එසේ වූවාට ඇතැම් විට නොසෑහීම ය. රටේ ම ආයතන එසේ නොවුනහොත් එක් ආයතනයකට නිශ්චිත පිළිවෙත් අනුගමනය කිරීම තරමක් අසීරු වන නිසා ය. අඩු වශයෙන් තමන් ගනුදෙනු කරන ආයතනවත් එසේ තිබීම එවැන්නකට පූර්ව කොන්දේසියක් වන්නේ ය.

නිශ්චිත වත්පිළිවෙත් නැති, ක්‍රමවේද නැති, ක්‍රියාවලීන් නැති සැපයුම් කරුවෙකු තම සැපයුම් විවිධ තත්වයෙන් හා ගුණයෙන් සපයන්නේ නම් එවිට ලබා ගන්නා ආයතනයට තම ක්‍රමවේදය හෝ පිළිවෙත තුළ පැවතීමට ගැටළුවක් ඇති වෙයි.

ඒ නිසා ම ISO සහතිකය ලබා ගන්නා ආයතන සිය සැපයුම් කරුවන්ගෙන් ද ඒ සහතිකය අපේක්ෂා කරයි. වෙනත් පාර්ශවකරුවන්ගෙන් ද ඒ සහතිකය අපේක්ෂා කරයි. ලොව පුරා මේ සහතිකයට ඉල්ලුමක් ලැබෙන්නේ මේ නිසා ය.

මෙය පිස්සු නටන නායකයන් තම සීමාවන් තුළ රැඳවීමට සමත් ය. මක් නිසා ද යත් වෙනසක් කළ යුතු යැයි හැඟී ගිය ද එය හිතුමතේ කිරීමට නායකයෙකුට මේ නිසා නොහැකි නිසා ය. මේ මගින් ඉඩ අහුරා ඇති නිසා ය. ඒ නිසා වෙනසක් කරන්නේ නම් එය ආයතනයේ කාර්යක්ෂමතාවය වැඩි කරන සේවාලාභීන්ගේ පාරිභෝගිකයන්ගේ සතුටට හා පහසුවට හේතුවන එකක් වීමේ ඉඩ වැඩි ය. එසේ නොවන වෙනස් කම් නිසා සහතිකය අහිමිවීමේ ඉඩ තිබෙන බැවින් නායකයන්ට ඒ මගින් තමන්ට ම සීමා පනවා ගැනීමට සිදු වේ.

ක්‍රියාවලියක වෙනසක් අපේක්ෂා කරන්නේ නම් එහි පියවර නැවත විමසීමට ලක් කෙරේ. අනවශ්‍ය පියවර ඉවත් කෙරෙන අතර යම් අමතර පියවරක් ඇතුළත් කළ යුතු නම් ඊට හේතු ද ඒ නිසා වන බලපෑම ද සැළකිල්ලට ගත යුතු ය. එවැනි තර්කානුකූල ප්‍රවේශයකින් තොරව ක්‍රියාවලි වෙනස් කළ නොහැකි නිසා කෙනෙකුගේ බලපරාක්‍රමය වැඩි කර ගැනීම හෝ ඔහුට හෝ ඇයට වටිනාකමක් දීම හෝ උදෙසා හිතුමතේ ක්‍රියාවලි වෙනස් කිරීම අපහසු වෙයි.

එපමණක් නොවේ. කාගේ හෝ සුභසිද්ධිය වෙනුවෙන් ක්‍රියාවලියක පියවරක් මග හැර යෑමට ද නොහැකි වෙයි. මක්නිසා ද යත් සියල්ල ලේඛන ගත ව සිදු කරන නිසා ය. ක්‍රියාවලියක පියවරක් මග හැරිය නොහැකි ලෙස යම් ප්‍රතිපාදන ක්‍රියාවලියට ඇතුළත් කර ඇති නිසා ය. බොහෝ විට මේ සඳහා තොරතුරු තාක්ෂණ මෙවලම් යොදා ගැනේ. මිනිසුන්ට මෙන් බොරු කිරීමට ඒ ක්‍රමයන් තුළ ඉඩ අහුරා තිබෙන නිසා ම ක්‍රියාවලිය විධිමත් විදිහට කරනු හැර වෙනත් මගක් නැති වෙයි. සහතිකය ලබා ගැනීමේ දී එවැනි ආරක්ෂණ ක්‍රමවේද ඇත්දැයි පරීක්ෂා කරන නිසා සහතිකය ලබන ආයතන සමග සැකයෙන් බියෙන් තොරව ගනුදෙනු කළ හැකි වාතාවරණයක් උදා වෙයි.

අප ඉල්ලා සිටිය යුත්තේ හැම ආයතනයක් ම මේ සහතිකය ලබා ගත යුතු බව ය. ඒ හරහා රට ද වෙනස් කළ හැකි ය.