kakonomic – අපේ රටේ තියෙන්නේත් එහෙම ආර්ථිකයක් ද?


කැකෝනොමික් ලෝකයක කිසිවෙක් කිසිවෙකුගෙන් ගුණාත්මක නිපැයුමක් සේවාවක් අපේක්ෂා නොකරයි. එසේ ගුණාත්මක නිපැයුමක් සේවාවක් නොසැපයීමට හැම දෙනෙක්ම ගිවිස ගෙන ඇත්තා සේ ය.

ඒ නිසාම එවන් ලෝකයක නිපැයුමකට සේවාවකට ගෙවන්නට නියමිත වන්නේ ද සොච්චමකි.

එහෙම බැලුවහම ඒ ලෝකයේ ගනුදෙනු යස අගේට සිදු වෙයි.

මිලට ගන්නාට ලොකුවට ගෙවන්න වෙන්නේත් නැත. සපයන්නාට එහෙමට ලොකු හෝ හොඳ එකක් සපයන්නට වෙන්නේත් නැත.

මේ ගනුදෙනුව අහෝසි කර දමන වඩා ගුණාත්මක ඉහළ නිශ්පාදනයක් හෝ සේවාවක් සැපයීමම ගිවිස ගත් කොන්ත්‍රාත්තුව කඩ කිිරීමක් වන අතර එවිට අනෙකාට ඒ වෙනුවෙන් වැඩිපුර ගෙවන්නට සිදු වීමේ දුක හිමි වේ. නැතිනම් සිදු වන්නේ එසේ නොගෙවීම නිසා ලජ්ජාවට පත්වීමට ය. ඒ දෙකම අපේක්ෂාවන්ට පටහැනි ය.

මේ තුලනය කඩා බිඳ දැමීම අධිකාරියට හා ඒ ලෝකයට කරන ඍජු අභියෝගයක් වන අතර එය කැරැල්ලක් ලෙස සළකා ඊට උපස්ථම්භක වූ අයට එරෙහිව ක්‍රියා කිරීමට ද ඒ ලෝකය පාලනය කරන්නන්ට හේතුවක් වේ.

සමහර විටක එකම ආර්ථිකයක කැකෝනොමි උප ආර්ථිකයක් පැවතිය හැකි ය. ඒ කැකෝනොමි ආර්ථිකය හා විධිමත් ආර්ථිකය අතර හුවමාරු සිදු නොවන අතර ඒ දෙක වෙන වෙනම පැවතිය හැකි ය. එකම කෙනෙකු මේ ආර්ථික දෙකේම කටයුතු කරන්නේ නම් එවිට එක් ආර්ථිකයකින් අනිකට මාරුවීමේදී හැව ඇරීමට -තාවකාලිකව පරිවර්තනය වීමට- ඔහුට ඇයට සිදු වේ.

කැකෝනොමි ආර්ථික කටයුතු වලදී සරම රෙද්ද බැනියම ඇඳගෙන ස්වභාෂාවෙන් ද සාමාන්‍ය ආර්ථිකයට ඇතුළු වීමේ දී කලිසම් කෝට් ඇඳගෙන ඉංග්‍රීසියෙන් ද පෙනී සිටින්නට එවැන්නෙකුට සිදු විය හැකි ය.

මෙසේ ආර්ථිකයක් තුළ කැකෝනොමි උප ආර්ථිකයක් ඇතිවීම දෙබිඩ්ඩන් බිහිවීමට හේතුවක් වෙයි. මේ ආර්ථික දෙක එකිනෙක ගැට ගසා තබා ගැනීමට මේ දෙබිඩ්ඩන්ගෙන් විශාල සේවයක් සිදු වේ.

එකට පැවතීම නිසා ද කැකෝනොමි ආර්ථිකයේ අගුණ විධිමත් ආර්ථිකයට ගලා යෑමට ඇති ඉඩකඩ විශාල ය. එහි ප්‍රති විරුද්ධ දිශාවට සිදු වන ගලා යෑම ඊට ප්‍රතිපක්ෂව අතිශයින් සීමිත ය.

අවසානයේ රටම කැකෝනොමියක්ම වේ ද? අප උත්තර සෙවිය යුත්තේ ඒ ප්‍රශ්නයට ය.

සැණකෙළිවලින් පිරි – සන්දර්ශනාත්මක – කළමනාකරණය


රටක් ආයතනයක් කළමනාකරණය කිරීමේ දී සෝබනය යොදා ගැනීමට සමහර කළමනාකරුවෝ කටයුතු කරති. ඔවුහු එකක් දෙකක් කර දහයක දොළහක හඩක් නගති. කරන එක දෙක අතිශයින් කුඩා වුව ද ගැටළුවක් නැත. එය ගාම්භීර ආකාරයෙන් සැමරීමට ප්‍රමාණය ඔවුන්ට බාධාවක් නොවේ. ඔවුන්ට විවෘත කරන්නට කක්කුස්සියක් වුව ද සෑහේ. කිරිබත් කා රබන් ගසා රටටම අඩ බෙර ගසා සෙනග රැස්කරවා එවැන්නක් විවෘත කිරීමට ඔවුන් කෑදර ය.

ආරාධනා පත්‍ර, තොරන්, සැරසිලි, හඩ නගන බෙර වැයුම්, නැටුම් යන එකී නොකී සියල්ලෙන්ම අඩු නැතිව ඔවුහු ඒවායේ නියැලෙති.

ඔවුන්ට අතිශය කලාත්මක වචන සැට් එකක් ද තිබේ. ඒවා නිපදවන්නට හැඩ වැඩ ගසා පෙල ගස්වන්නට වෘත්තීය සාහිත්‍ය කරුවන් ද සහභාගි කර ගැනේ.

මේ සැමරුම්වල ප්‍රශස්ති ගායනාවල නිමක් දැකිය නොහැකි ය. ප්‍රශස්තියෙන් නොසනසන කෙනෙක් නැත. සැමට සතුටු ය.

බොහෝ උත්සවවල කටින් කෙරෙන ප්‍රශස්ති ගායනයට ඌණ පූර්ණයක් වනු පිණිස අත් පත්‍රිකා සමරු කළඹ ද නිකුත් වන්නේ ය. වෛරණයෙන් ලස්සණ කඩදාසියේ මුද්‍රිත මේවා ඇතුළත එකිනෙකාට කරන ස්තුති කිරීම් වර්ණනා මිසක ගත යුතු වෙන හරයක් නැත.

අපට ඇත්තේ ආරාධනය ලැබුනහම ඉස්තරම් ඇදුම් ආයිත්තම්වලින් සැරසී සහභාගී වීමට ය. ගායනයෙන් වාදනයෙන් නර්තනයෙන් සංග්‍රහ ලැබ ඉනුත් නොනැවතී කැවුමෙන් රස අහරයෙන් සප්පායම් වන්නට අවස්ථාවක් ද එවිට ලැබෙන්නේ ය.

සහභාගීවන අයට පවා ඒ නිසා පැමිණිලි කරන්නට දෙයක් නැත.

විවෘත කරන්නට තරම් දෙයක් නිපදවා නැති විට කරන්නේ සංවත්සරයක අවසරයට මුවා වීම ය. නැතිනම් ජාතික හෝ ආගමික කටයුත්තකට ජැක් එකක් ගැසීම ය. බණක් දානයක් වුව ද අවශ්‍ය උත්සව ශ්‍රීය නැතිනම් ඊට අවශ්‍ය නිමිත්ත ගෙන එන්නේ ය.

මේ හැම එකකින්ම නායකයාට බැබලෙන්නට අවස්ථාව ලැබෙන්නේ ය. ඔහුව බබලවන්නට සෙසු අයට ඉඩ හසර පෑදෙන්නේ ය. ඒ අතර කටයුත්තට අතගහන හැම කෙනෙක්ම ඉබේම ඉහළ නැංවෙන්නේ ය.

එහෙම බැලුවහම සම්බන්ධ වන හැමට එක් හෝ තවත් විදිහකින් ලාබයක් සිදු වන්නේ ය.

පාඩුවක් වෙනවා නම් රටේ ජනතාවට ය. ඒ වැයවන්නේ ඔවුන්ගේ මුදල් නිසා ය. නැතිනම් සමාගමේ පාරිභෝගිකයන්ට ය. මේ සැණකෙළියේ බර පැන ද උසුලන්නට සිදුවන්නේ ඔවුන්ට නිසා ය.

මේ සන්දර්ශනාත්මක කළමනාකරණයට ඔවුන් වැදගත් නැත. කේක්වල අයිසින් තවරන්නට මිස කේක් හදන්නට ඔවුන් දන්නේ නැත. එහෙත් අයිසින් යොදා ලස්සණ කාඩ්බෝඩ් නිර්මාණයක් හැඩ වැඩ කරාම කන්න බැරිවාට බලන්න බැරිතරම් ලස්සණ ය. ඒ බව ඔවුහු දනිති. ඔවුන් රවටන්නේ අපේ ඇස් ය. ඒ ඉතින් අප රැවටෙන නිසා ය.

සැමරුම් උත්සව අවශ්‍ය ය. ඒ මූලික කටයුත්තට තවත් හැඩයක් එක් කිරීමට ය. එහෙමට කටයුත්තක් නැතිව නිකම්ම හැඩයක් හැදීමට නොවේ.

අනේ කාලේ – වනේ වාසේ!


(පසු ගිය බ්ලොග් සටහන හා බැඳේ) අලුත් පරම්පරාවට දෙහි නොකපා කළ හැකි අනෙක් දෙය නම් “අද කාලය“ ට දෙහි කැපීම ය.

“අපේ කාලේ“ වගේ නොවෙයි “දැන් කාලේ“! එහෙම කියන කොට ඉන් ගම්‍ය වන්නේ අපේ කාලේ දැන් කාලෙට වඩා හොදයි කියා ය. ඒ එක්කම ඉන් ගම්‍ය වන්නේ අපේ කාලය ඉකුත්ව ඇතැයි කියා ය.

අද සටහන වෙන් වන්නේ පළමු ප්‍රශ්නයට උත්තර දීමට ය.

ඉස්සර හොඳ ද? දැන් නරක ද?

ශිෂ්ඨාචාරයක් ලෙස අප ඉදිරියට යමින් සිටින බව හොඳින් බැලුවොත් අපට පෙනේ. ලාංකික මිනිසෙකුගේ පරම ආයුෂ මීට ශත වර්ෂයකට නැතිනම් ශතවර්ෂ දෙකකට පමණ පෙර වයස 40-45 ක් අතර වූ නමුත් දැන් එය වසර 70 ඉක්මවයි.

යම් යම් දෙයින් ඉදිරියට යන බව සැබෑ ය. එහෙත් අප හැම දෙයින්ම ඉදිරියට යන්නෙමු ද?

ඕනෑම ගමනක පසු බැසීම් තිබේ. වල් වැදීම් තිබේ. අතරමං වීම් තිබේ. එහෙත් මගේ හැගීම නම් ඒ සියල්ල මැද අප ඉදිරියට යන බව ය. පසුබැසීම් තාවකාලික බව ය. අතරමං වීම් ඉදිරියට යන ඕනෑම ගමනක සිදු විය හැකි සාමාන්‍ය දේ බව ය.

දැන් කාලයට අදුරු යුගයක් ලෙස ලේබල් අලවන්නේ නැත්නම් ඒ මගින් යුගය ආවේගශීලීව ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් මේ කාලයේ අභියෝගයන් හා ගැටළු විසදීම සදහා සන්සුන් මනසකින් පිවිසීමට අපට හැකි වනු ඇත.

විසදුම පසුපසට අතීතයට යාම නම් එය නිකම් හිතළුවක් පමණක් වනු ඇත. අපට අතීතයට යා නොහැකි ය. අපට යා හැක්කේ ඉදිරියට පමණකි. අප ගොඩ නගා ගෙන ඇති අලුත් මෙවලම් ප්‍රශ්න ඇති කර ඇති බව සැබෑ ය. එසේ වුව ද ගැලවීම ඇත්තේ ද ඒවායෙහි ය.

කාලය නරක නැත. කාලය අපට අලුත් අභියෝග ගෙනත් තිබේ. එපමණක් නොවේ. ඒවාට මුහුණ දීමට අවශ්‍ය වෙනදා නොතිබුණු ආම්පන්න ද සපයා තිබේ. දෙස් දෙවොල් නැගීමෙන් පලක් නැත. කළ යුත්තේ අභියෝග දෙස හදවතින් නොව මොළයෙන් බැලීම ය.

එසේ කළ හැක්කේ නම් අප මේ අත්විඳින තාවකාලික පසුබැසීම් වලින් අපට අත් මිදිය හැකි වනු ඇත්තේ ය.

එහෙම කල්පනා කරන කෙනෙකුට මේ දැන් ගත වන්නේ අපේ කාලයම යයි සිතෙනු ඇත්තේ ය. අපේ කාලය කල් ඉකුත් වී ඇතැයි නොදැනෙනු ඇත්තේ ය.

එසේ හිතන්නට බැරි අයගේ කාලය නම් දැන් කල් ඉකුත් වී ඇත්තේ ය. ඔවුන්ට කළ හැකි වනු ඇත්තේ අතීතයේ සිහින තුළ ජීවත් වීමට ය. එසේ කරමින් කාලයට චෝදනා කිරීමට ය. යොවුන් පරපුරේ වැරදි දැකීමට ය.

තෝරාගැනීම අප සතු ය.

දැන් හැදෙන පරම්පරාව අපේ එක වගේ නොවේ!


අපේ පරම්පරාවේ (වැඩිහිටි) අය කතා කරන විට නිතර ඇසෙන්නේ දැන් හැදෙන දරුවන්ගේ දුර්වලතා, අඩුපාඩු හා අවපක්ෂය පිළිබඳ වෙනත් කතා ය.

මට මතුවන පළමු ප්‍රශ්නය වන්නේ මේ කාගේ දරුවන් ද යන්න ය. ඔවුන් නොනිසි මග යන්නේ නම් එහි වගකීමෙන් වැඩිහිටි අපට මග හැරිය හැකි ද යන්න ය.

දෙවැන්න නම් මේ ප්‍රශ්නය හැම පරම්පරාවකම වැඩිහිටියන් විසින් ඊළග පරම්පරාව වෙත එල්ල කෙරෙන දෝෂාරෝපනයක් නොවේ ද යන්න ය.

තෙවැන්න නම් ඔය කියන තරමට නරකක් අලුත් පරම්පරාවේ තිබේ ද යන්න ය.

පරම්පරාවන් අතර වෙනසක් තිබේ. පුදුමය එසේ තිබුනොත් නොව නොතිබුනොත් ය. විශේෂයෙන් මේ වෙනස වඩාත් ප්‍රකට වන්නේ අප අගයන පරම්පරාවේ සාරධර්ම හා අගැයීම් සම්බන්ධයෙනි.

අපේ සාරධර්ම හා අගැයීම් පද්ධතිය අප ගොඩ නගා ගන්නේ දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සිදුවන පරිවර්තනයේදී ය. වයසින් ගණන් බලන්නේ නම් වයස 18-25 අතර සමයේ ය. ඉදිරි කාලය අප ගත කරන්නේ එසේ සකසා ගත් සාරධර්ම හා අගැයීම් අනුගමනයෙනි. ඒ නිසාම ඒ සාරධර්ම ඉදිරි ජීවිත කාලයේදී ම අපගේ හැසිරීම් මෙහෙයවන්නට කටයුතු කරනු ඇත්තේ ය. වෙනස්වන ලෝකය ඉදිරියේ වුව ද බොහෝ දෙනෙකු ඒ සාරධර්ම සම්බන්ධයෙන් නොසැලී සිටින්නට සමත් වන්නෝ ය. අප ඒ තරමටම ඒවාට ඇලී සිටීමට එක් හේතුවක් වන්නේ අපේ අනන්‍යතාවය ඇත්තේ එහි වීම ය.

ඊළග පරම්පරාව සාරධර්ම ගොඩ නගා ගන්නේ ඔවුන් වයස 18-25 පමණ කාලයේ ය. ඒ ලෝකය අප 18-25 දී මුහුණ දුන් ලෝකය නොවේ. එය වෙනස් ය. එහි අභියෝගයන්ට මුහුණ දීමට පැරණි සාරධර්ම සමග නොහැකි ය. එවිට සිදුවන්නේ ඒ ලෝකයට ගැලපෙන්නාවූ නව සාරධර්මයන් හා අගයන් කොටසක් ගොඩ නගා ගැනීම ය.

පවුලක දරුවන් බොහෝ සිටීම ආශිර්වාදයක් ලෙස සැළකුනු අපේ දෙමාපියන්ගේ කාලයේ සමහර පවුල්වල 8-10 දරුවන් සිටීම සාමාන්‍ය දෙයක් වූයේ ය. ඒ කාලයේ අම්මලා තාත්තලාට තිබුනේ කන්න දෙන්න පමණ ය. පාසලට යන වියදම ඇදුම්වලට පමණක් සීමා විය.

දැන් එසේ නැත. එක් දරුවෙක් හදන්නට ද බොහෝ වියදම් කළ යුතු ය. ඉතින් දැන් පුංචි පවුල රත්තරන් වී ඇත්තේ ය.

මා මේ දැක් වුයේ එක් උදාහරණයක් පමණකි. සාරධර්ම යුක්ති යුක්ත කරන්නේ වටපිටාව විසින් බව තේරුම් ගැනීමට මේ උදාහරණය පමණක් වුව සෑහේ.

දොස් නගනවානම් දොස් නැගිය යුත්තේ කාලයට ය. දරුවන්ට නොවේ.

එහෙත් කාලයට පවා දොස් නගන්නට අපට පුලුවන් ද? ඒ ගැන ඊළග සටහනෙන් විමසමු.