වටහා ගත යුතු මිනිස් ස්වභාවය


44399 human natureහොඳ නායකයෙකු වන්නට මිනිස් ස්වභාවය කුමක් දැයි අවබෝධ කර ගත යුතු ය. මිනිසා ස්වභාවයෙන් ම ආත්මාර්ථ කාමී ය. යම් කිසිවෙකුට ඇගිල්ල දිගු කොට ඔහු ආත්මාර්ථ කාමී යැයි සුවිශේෂී කොට කීම ඒ නිසා විහිළුවකි. මේ ආත්මාර්ථකාමිත්වය ඔහුගේ /ඇයගේ පැවැත්මට අතවශ්‍ය ය. අනතුරක දි අප බිය වන්නේත් එයින් ගැලවීමට දගලන්නේත් ඒ නිසා ය.

එය අපේ ජානවල ලියැවී ඇති කතාවකි. ඉන් ගැලවීමට අපට ඒ නිසා අපහසු ය.

කුසගින්න දැනෙන්නේ ද තිබහ දැනෙන්නේ ද ඒ නිසා ය. බාහිර උවදුරුවලින් බේරීමට නවාතැනක් සෙව්වේ ද ඒ නිසා ය.

ඊට සමගාමීව ජානවල ලියැවී ඇති තවත් කතාවක් තිබේ. ඒ අපෙන් පසුව අපට ජිවත් විමට අප විසින් හැදූ පරපුරක් තිබිය යුතු වීම ය. අපේම ලෙයින් මසින් සෑදුණු පරපුරක් තිබිය යුතු වීම ය. අප විසින් හදා වඩාගත් අපේ ම පරමාදර්ශයන් සහිත පරපුරක් තිබිය යුතු වීම ය.

ලිංගික ආශාවන් දැනෙන්නේ ද ලිංගිකව එක්වීමට පෙළඹෙන්නේ ද ඒ නිසා ය.

කුසගින්න තිබහ වාසස්ථාන පිළිබඳව ද ලිංගික ආසාවන් සන්තර්පනය කර ගැනීම හා වර්ගයා බෝ කිරීමේ වුවමනාව ඇතුළත් මේ වුවමනාව මිනිසාට පමණක් නොව සෑම සත්ත්වයෙකුට ම තිබෙන්නකි. සිග්මන් ෆ්‍රොයිඩ් මෙය හැඳින්වූයේ ඉඩ් යන වචනය යොදා ගනිමිනි.

මිනිසෙකුට තනිව ජීවත් වන ගමන් මේ සියල්ල කරන්නට බැරි ය. අඩු වශයෙන් සහකාරයෙක් හෝ සහකාරියක් මේ සඳහා අවශ්‍ය ය. එවැනි දෙදෙනෙක් එක් වී ද පැවැත්ම පවත්වා ගෙන යෑම අසීරු නිසා මිනිසා ඈත අතීතයේ පටන් කණ්ඩායම් ලෙස ජීවීතය ගෙන ගියේ ය. බඩ ගින්න නිවා ගත හැකි වූයේ ද සතුරන්ගෙන් ආරක්ෂා කාරී විමට හැකි වූයේ ද ඒ කණ්ඩායම් ජීවිතය නිසා ය.

ඉතින් තනිකරම ආත්මාර්ථකාමිත්වය නොගැලපුනේ ය. කණ්ඩායම වෙනුවෙන් කැප කළ හැකි මනසකට අවශ්‍ය කතාවක් ද ජානවල ලියැ වී තිබුනේ ඒ නිසා ය. පරාර්ථකාමිත්වය සමාජ වටිනාකමක් වූයේ ඒ අනුව ය. පරාර්ථකාමිත්වය ආත්මාර්ථකාමිත්වයට ප්‍රතිපක්ෂව නොව එය හා සමගාමී ව තිබිය යුතු වටිනාකමක් වුනේ ය. තමන් දිනා මදි ය. තමන්ගේ සගයන් ද දිනිය යුතු ය. ඇතැම් විටක තමන්ගේ සගයන්ගේ දිනුම වෙනුවෙන් තමන්ගේ දෙයක් කැපකිරීම ද ඊට ඇතුළත් ය.

එයට අනුව අපට අපේ ජීවිත කතාව ගොඩ නගා ගත යුතුව තිබේ. ඒ කණ්ඩායමට ප්‍රයෝජනවත් සමාජිකයෙක් වශයෙන් අප කළ කී දෑ එකතු කර ගෙන ය. අපට සමාජ පිළිගැනීම ලැබෙන්නේ ඒ කතාවට අනුව ය. ඒ නිසා එය ද අපගේ අවශ්‍යතාවයක් වන්නේ ය. සිග්මන් ෆ්‍රොයිඩ් හැඳින්වූ ඊගෝ යන සංකල්පයට මෙහි තරමක නෑ කමක් ඇත.

ශිෂ්ඨචාරය තවදුරටත් වර්ධනය වන විට කුඩා ගෝත්‍ර හැටියට ජීවත්වීමෙන් පමණක් සෑහීමකට පත් වන්නට නොහැකි වන්නේ ය. ගමින් එහාට ලෝකය සමග සම්බන්ධ වන්නට සිදු වන්නේ ය. රටින් එහාට ලෝකය සමග සම්බන්ධ වන්නට සිදු වන්නේ ය. මානව සංහතියේ පැවැත්ම ගැන මිසක මේ වනවිට ගෝත්‍රවල පටු සීමාව තුළ පැවැත්මක් ගැන සිතීමට අපට නොහැකි ය. රටක පටු සීමාව තුළ ද පැවැත්මක් ගැන සිතිය නොහැකි ය.

ඛණිජ තෙල් පිටරටින් ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් කොළඹ මිනිසුන් මැරෙන්නේ අම්පාරේ නැත්නම් පොළොන්නරුවේ හාල් තිබිය දී ය. නගරයට ගම නැතිව වත් ගමට නගරය නැතිව වත් තවදුරටත් පැවැත්මක් නැත. මීමැස්සන් සමනළයන් නැති වුනත් වෙන්නේ ඒ සංගතිය ම ය. ඒ නිසා අපගේ කතන්දරය ප්‍රබලව පැවතීම පමණක් සෑහෙන්නේ නැත. මානව සංහතිය සහ පරිසරය යන මහා ලෝකයක අප කුරා කුහුඹුවන්ය යන්න ගැන සංවේදී වීමට අපට සිදු වේ. අප සමස්ථ විශ්වයේ කුඩා ම ප්‍රාණියෙක් බව පිළිගන්නට සිදු වේ. ඒ නිසා මේ මහා විශ්වයේ පැවැත්ම පිළිබඳව අපේ අවධානය යොමු වේ. ඒ අධ්‍යාත්මික අවබෝධය හා සංවේදීත්වය ද අපේ ජානවල ලියැවී ඇත. සිග්මන් ෆ්‍රොයිඩ් හැඳින්වූ සුපර් ඊගෝ යන සංකල්පයට මෙහි ඥාතිත්වයක් ඇත.

මේ අධ්‍යාත්මික සංවේදිතාවය නැති වීම නිසා සිදුවන්නේ විපත්තියකි. එළවළු වවන තැනැත්තේ තමන්ගේ පංගුව වෙන් කර වෙළඳ පොළට නිකුත් කරන බව භෝග වලට කෘමිනාශක ප්‍රමාණය ඉක්මවා ඉසින්නේ ය. මාළු මුදලාලි තමන්ගේ පංගුව වෙන් කර කල්තබා ගනු පිණිස ෆෝමලීන් දමා මාළු වෙළඳ පොළට යවන්නේ ය. කරවල මුදලාලි තමන්ගේ කරවල පංගුව වෙන් කර තබා ඉතිරියට මැලතීන් දමා වෙළඳ පොලට එවන්නේ ය. ඒ හැම කෙනෙකුම තමන් බේරීම ප්‍රමාණවත් යැයි සළකා තිබේ. එහෙත් ඒ හැම කෙනෙකුම අනුභව කරන්නේ අනෙකාගේ වස ද ඇතුළත් සමස්ථ බත් පිඟාන ම ය.

සුපර් ඊගෝ හරහා එන අධ්‍යාත්මිකත්වය අවශ්‍ය මේ උගුලින් බේරීම සඳහා ය. එය ද අපේ ජානවල ලියැවී තිබේ.

පොදුවේ මිනිස් ස්වභාවය කුමක් දැයි යන්නට අමතරව මේ මිනිස් ප්‍රවාහය තුළ ඇති විිවිධ වෙනස් කම් ද ඔහු /ඇය විසින් අවබෝධ කර ගත යුතු ය.

හැම කෙනෙකුගේ ජානයකම මේවා එක ම ලෙස ලියැවී නැත. එක එක්කෙනාගේ පිටපත් වෙනස් ය. ඇතැම් පිටපතක අකුරු මැකී තිබේ. සමහර පිටපතක අකුරු සැගවී ඇත. ඇතැම් තැනක එය අකුරු ලියා ඇත්තේ කුඩාවට  ය. ඊගෝ කොටස ඇතැම් විටක සම්පූර්ණ නැත. සමාජ පිළිගැනිමකට අවශ්‍ය එහෙම ඉතිහාස කතාවක් ඇතැම් කෙනෙකුට අවශ්‍ය නැත (හැම කෙනෙකුටම වංචා කරමින් බොරු කියමින් ජීවිත්වන්නේ එවන් මිනිසුන් ය).

ගෝත්‍ර පවා ඇතිවන්නට ඇත්තේ තනිවම පැවතීම වඩා වඩා අසීරු යැයි දැනුණු පසු යුගයක විය හැකි ය. ඒ නිසා පරිණාමයේ තවමත් ඉතිරි වී ඇති මිනිසුන් අතර තනියම ජිවත් විමට හැකි යයි සිතන මිනිසුන් සිටිය හැකි ය. විශේෂයෙන් සුපර් ඊගෝ කොටස සවිමත් ව ලියා නොතිබීමට ඉඩ වැඩි ය. ඒ, එය තවත් පසු  කලෙක පැමිණි අවශ්‍යතාවයක් නිසා විය හැකි ය.

නායකයෙකු දක්ෂ වන්නේ ඇතැම් කෙනෙකුගේ ඇති පිටපතේ නැති කොටස් මතු කර ඔහුට දක්වා සිටීමට හැකි වෙතොත් ය. විශේෂයෙන් කුඩාවට ලියා ඇති කොටස්, ඊගෝ සහ සුපර් ඊගෝ, මතු කර ඇයට දක්වා සිටීමට හැකි වෙතොත් ය.

ලෝකයට වඩාමත් අවශ්‍ය වන්නේ ඊගෝ වලටත් වඩා සුපර් ඊගෝ කොටස මතු කර ගැනීමට හැකි නායකත්වයක් ය. ගමෙන් ඔබ්බට කුලයෙන් ඔබ්බට ජාතියෙන් ඔබ්බට ආගමෙන් ඔබ්බට පමණක් නොව රටින් ඔබ්බට – සමස්ථ මානව සංහතියට- සිය සංවේදිත්වය පළ කළ හැකි මිනිසුන් පිරිසක් බවට තමන්ගේ අනුගාමිකයන් පත් කර ගත හැකි නායකත්වයක් ය.

අද ලෝකය සැකසි ඇති ආකාරය අනුව සමස්ථ මානව සංහතිය පිළිබඳ කල්පනා නොකරන ජනතාවකට එතරම් සුවබර අනාගතයක් උරුම නොවන නිසා ය. එසේ නොකරන ආයතනයකට දිගු කාලීන පැවැත්මක් නැති නිසා ය.

අනාරක්ෂිත බව සහ පක්ෂපාතිත්වය


46980

ඇතැම් නායකයින්ට බරපතල අනාරක්ෂිත බවක් දැනේ. ඒ උඩ ඉන්නා විට සිය පැවැත්ම පහළ ඉන්නා අය මත රඳන නිසා ය. අනුගාමිකයන් නැති දවසක, නායකයෙකු ද නැති වන නිසා ය. මේ ප්‍රශ්නය, විශේෂයෙන්, තමන්ගේ සුදුසුකම් හෝ හැකියාවන් ගැන විශ්වාසයක් නැති නායකයින්ට මෙන් ම, දිගින් දිගට බලයේ සිටීමට වුවමනා නායකයන්ට ද ඇති වන්නේ ය. රටක නායකයන් සම්බන්ධයෙන් පමණක් නොව ආයතනික නායකයන්  සම්බන්ධයෙන් ද මෙය එකසේ බලපාන්නේ ය.

එවැනි අය තම අනුගාමිකයන්ගෙන් තමන්ට පෞද්ගලික පක්ෂපාතිත්වය ඉල්ලා සිටින්නෝ ය. ඔවුන් වඩා කැමති ඔවුන්ගේ ප්‍රතිපත්ති වටා සිය අනුගාමිකයන් රඳවා ගැනීමට නොව තමන්ගේ පෞද්ගලික ප්‍රභාව වටා අනුගාමිකයන් රඳවා ගැනීමට ය. එක් හේතුවක් නම් ප්‍රතිපත්ති බලය වෙනුවෙන් ගනුදෙනු කිරීමට යොදා ගැනීමට ඔවුන්ට ඉඩ තබා ගැනීමට වුවමනා නිසා ය. අනිත් හේතුව නම් ඒ ප්‍රතිපත්ති ම වඩා හොඳින් ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් වන කෙනෙකු සිටියොත් තමන් විස්ථාපනය වන බව දන්නා නිසා ය. පෞද්ගලික බැඳීම එසේ ඉවත් කිරිම අපහසු යැයි ඔවුහු සිතති.

ඒ නිසා තමන් වටා රැස් වළල්ලක් පවත්වා ගෙන යෑමට ඔවුන් කැමති ය. ඔවුන් මිනිසුන් සමග පෞද්ගලික මිත්‍රත්වයක් ගොඩ නගා ගැනීමට කැමති ය. ඔවුන් සමග කෑම ගැනීමට, පින්තූර ගැනීමට, ඔවුන්ට ඇඟලුම් කම් පෙන්වමින් කතා කිරීමට ඔහු කැමති ය. නායකයා තමන්ට හිතේෂී බව දැක්වීම ම සමහරුන්ට වෙන මොකක් නොකරත් ඇති ය. එසේ සිතන අයට නායකයා කැමති ය. ඔවුන්ට අවශ්‍ය, ඒ හැඟීම, දැන වීමට ඔහු සූදානම් ය.

ඊට ප්‍රතිපක්ෂව වෙනත් පාර්ශවයන්ට පක්ෂපාතිත්වය පෙන්වන අයට පමණක් නොව අපක්ෂපාතිත්වයක් පෙන්විමට උත්සහ කරන අයට ද ඔහු අකමැති ය.

ඔහුට ආයතනික ධුරාවලිය අදාළ නැත. ඉහළ නිලධාරියා හරහා නොයා අවශ්‍ය තැනක අතිශය පහළ තැනකට ඍජුව ම කතා කර නියෝග දෙන්නට ඔහු පැකිලෙන්නේ නැත.

තමන් දෙන නියෝගය නීත්‍යානුකූල ද නැද්ද යන බව පවා පිරික්සීමට ඔහු කටයුතු කරන්නේ නැත. නියෝගය නීත්‍යානුකූල නොවේ නම් එය නීත්‍යානුකූල කර ගැනීමේ වග කීම ද පැවරෙන්නේ, ඊට අවශ්‍ය ගොනු සකස් කර එයට නීත්‍යානුකූල පෙනුමක් දීමේ වගකීම ද පැවරෙන්නේ, නියෝගය ලබන නිලධාරියාට ය. ඒ කටයුත්ත ගැස්සිලා ගියොත් නීතිය ඉදිරියේ වග උත්තර බඳින්නට සිදු වන්නේ ද නියෝගය ලද නිලධාරියාට ය. එසේ වුව ද තවත් නීත්‍යනුකූල නියෝගයක් දෙමින් එවැන්නෙකු නිදහස් කර ගැනීමට ද ඉඩ ඇත්නම් මේ නායකයා ඒ සඳහා හැකි සෑම දෙයක් ම කරනු ද ඇත්තේ ය.

එවන් නායකයෝ සවන් දීමට කාලය කා නොදමති. තමන් ම අසන ප්‍රශ්න වලට තමන් උත්තර දෙමින් “දෙබස“ ගෙන යෑමට ඔවුන් කැමති ය. ඔවුන්ට අවශ්‍ය තමන් කියන කරන සෑම දෙයක් ම අනුමත කරන එහෙයි කියන මිනිසුන් ය. යම් හෙයකින් ඔහුගේ මතයට විරුද්ධ මතයක් පල වූයේ නම් සම්බන්ධය එතැනින් අවසන් ය. වහලුන් මිසක ප්‍රශ්න නගන්නන් අනුගාමිකයන් හැටියට තියා ගන්නට ඔහුට වුවමනා නැත. ප්‍රශ්නය නැගූ තැනැත්තා ඉවත් කෙරෙනු ඇත. එක් විදිහකට බැරි නම් තව විදිහකට ඉවත් කෙරෙනු ඇත.

විශේෂයෙන් ම තම පෞද්ගලික න්‍යාය පත්‍රයට විරුද්ධ වන්නන්ට කොහෙත්ම ඉඩක් නැත. එතැනින් නොනැවති තම න්‍යාය පත්‍රයට එකඟව කටයුතු කරන අයට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අවස්ථාව ද ඔහු ලබා දෙන්නේ ය. අප කලින් ද සඳහන් කළ පරිදි ඔවුන්ගේ බේරීමට ද ඉදිරිපත් වන්නේ ය. ප්‍රශ්නයක් ඇති වන්නේ නායකයා නැති දවසක නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩ කටයුතු සිදු වුනොත් ය. ඒ නිසා ම මෙසේ නිතී විරෝධී වැඩ කරන්නට බල කෙරුණු මිනිසුන් නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ද පෞද්ගලිකව ම පෙනී සිටිනු ඇත්තේ ය. ඔහුගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය සියල්ල කරනු ඇත්තේ ය. නායකයා සිය අනාරක්ෂිත භාවයෙන් සෑහෙන කොටසක් මෙසේ සෙසු අය සමග බෙදා ගෙන සිටින නිසා තම අනාරක්ෂිතභාවය සෑහෙන දුරකට සමහන් කර ගන්නේ ය.

ඔහු විශ්වාස කරන ඇත්ත යනු ඔහු විසින් නිර්මාණය කරන ඇත්ත ය. ඒ තුළ පැහැදිලි බොරු ද ඇතුළු කරනු ලැබේ. ඒ නිර්මාණය කරනු ලබන ඇත්ත එලෙස ම පිලිගන්නේ දැයි බැලීමට ය. එම බොරුද ඇතුළත් නිර්මාණය කරන ලද ඇත්ත පිළිනොගන්නා කෙනෙකුට ඔහු ළඟ සිටිය නොහැකි ය.

තමන් කෙරෙහි දක්වන පක්ෂපාතිත්වයට එහා ගිය එය ඉක්මවා යන ප්‍රතිපත්තියක් අනුගාමිකයෙකුට තිබිම ඔහු රුස්සන්නේ නැත.

එවැන්නෙකුගේ දිගු පාලනයක් අවසානයේ ඇතිවන්නේ හිස් බවකි. මක් නිසා ද යත් රටේ හෝ ආයතනයේ ප්‍රතිපත්තිය කුමක් දැයි ඒ වන විට හඳුනාගත නොහැකි තරමට විකෘතිව ඇති නිසා ය. නායකයාගේ වචනය හැරුණු විට වෙනත් ප්‍රතිපත්තියක් ඉතිරිව නැති නිසා ය. ඒ නිසා ඇතිවන අරාජිකත්වය දරා ගැනීමට අමාරු ය. ඇති කරන රික්තය නැවතත් එවැනි ම ප්‍රභාවක් ඇති කෙනෙකුගෙන් පිරවීමට ඒ වන විට දෙවැනි පෙළ නායකත්වයට ඒ අනුව සිදු වන්නේ ය. නැතිනම් ඔවුන්ට ද යන එන මං නැති නිසා ය.

එහෙම වටපිටාවක අනාරක්ෂිත වන්නේ නායකයා පමණක් නොවේ. ඔහුගෙන් යැපෙන දෙවැනි පෙල ද අනාරක්ෂිත ය. ඔවුන් ද අනාරක්ෂිත බව මග හැර ගන්නේ පැරණි නායකයාට සමාන ප්‍රභාවක් ඇති නායකයෙකු සොයා ගැනීමෙනි. නැත්නම් නිර්මාණය කර ගැනීමෙනි.

උතුරු කොරියාව අතිශයින් ලාබාල කොළු ගැටයෙකු නායකයා ලෙස තෝරාගන්නේ ඒ නිසා ය. කොමියුනිස්ට් පාලනය පෙරලා දැමූ රුසියාව පුටින් කෙනෙකු සොයා ගන්නේ ඒ නිසා ය. කියුබාවේ මෙන් කෙතරම් වයසට ගිය ද නායකත්වය පහසුවෙන් ඉවත් කරන්නේ නැත්තේ ඒ නිසා ය. එහෙම කෙනෙක් නැති වුනහම ඒ රටවල් කඩා වැටෙන්නේ ඒ නිසා ය. ආයතන බංකොලොත්වන්නේ ඒ නිසා ය.

නිශ්චිත ප්‍රතිපත්ති හා ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රමවේදයන් තිබෙන රටක හෝ ආයතනයක, එවැනි කඩා වැටීමකට ඉඩක් නැත. නායකයා තීරණාත්මක නැති නිසා ය. සියල්ල සංවිධානය වී ඇත්තේ ප්‍රතිපත්ති හා ක්‍රමවේදයන් වටා නිසා ය. නව නායකයෙකුට දැනටමත් ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති හා ක්‍රමවේද අනුගමනය කරමින් පාලනය පහසුවෙන් ගෙන යා හැකි නිසා ය. නායකයාට කෙසේ වෙතත් මිනිසුන් ප්‍රතිපත්ති හා ක්‍රමවේදවලට පක්ෂපාත වන නිසා ය. ඒවා ගැන විශ්වාසය තබන නිසා ය.