කළමනාකරණයේ ආචාර ධර්ම – ඒ අහවල් දෙයකට ද? මොකෝ කන්න ද?


බොහෝ ආයතන අභාවයට යන්නේ ඒවා තුළ ආචාර ධර්ම නොමැති නිසා ය. එවන් ආයතනවලට අහිමිව යන්නේ සේවාලාභීන් හා පාරිභෝගිකයන් පමණක් නොවේ. සේවකයන් හා සැපයුම්කරුවන් ද ඔවුන්ගෙන් ඈත්වෙයි. ආයෝජකයින් ද ඉවත් වෙයි. ඒ ආයතනය සතුව සමහරවිට හොදම භාණ්ඩ ද අත්‍යවශ්‍ය සේවාවන් ද තිබිය දී ය. අනිත් සියල්ලෙන් සම්පූර්ණව තිබියදී ය.

ඒ නිසාම අත්‍යවශ්‍ය ආචාර ධර්ම කීපයක් මේ සටහනෙන් ලියා තැබීමට අදහස් කළෙමු.

  1. ආයතනයට පිවිසෙන්නේ කවරෙක් වුව ද ඔහු/ඇය සුහදව පිළිගැනීමට කටයුතු කිරීම
  2. ඔවුන්ට අවශ්‍ය කාරණය කාරුණිකවත් නොපමාවත් ඉටු කර දීම
  3. ඔවුන්ගේ ප්‍රශ්නවලට – ඒ ප්‍රශ්න කුමන වර්ගයේ වුව ද – අප්‍රමාදවත් සම්පූර්නයෙනුත් පිළිතුරු සැපයීම
  4. ඔවුන්ගේ සැක සාංකා සාධාරණ බව පිළිගැනීම හා ඒවා විසදීමට හා ඉවත්කිරීමට හැකි හැමදෙයක් ම කිරීම
  5. ඔවුන්ට තීරණ ගැනීම පහසු කරනු සදහා ද ඒ තීරණ ගැන පසුව පසුතැවිලි නොවනු සදහා ද අවශ්‍ය සියලු විස්තර හා තොරතුරු සැපයීම
  6. ඔවුන්ට පාඩුවක් විය හැකි තැනක එය නොවලහා පළ කිරීම හා ඔවුන්ට වඩාත් වාසිදායක තිරණය ගැනීමට උදව් දීම
  7. ඔවුන්ගේ අසීරුතාවයන්ගෙන් හෝ හදිසියෙන් ප්‍රයෝජන ගැනීමෙන් වැළකීම
  8. ඔවුන්ගේ නොදැනුවත්කමින් අනවශ්‍ය වාසි ලබා ගැනීමෙන් වැළකීම
  9. ඔවුන් අතින් සිදුව ඇති අත් වැරදීම්වලට වන්දි ඉල්ලා නොසිටීම
  10. තමන්ගේ ආයතනයේ අභ්‍යන්තර ප්‍රශ්න විසදීම සදහා ඔවුන් ඉත්තන් කර නොගැනීම
  11. ආයතනයේ පහසුව සදහා ඔවුන් එහා මෙහා යැවීම හා ඔවුන් පණිවුඩකරුවන් බවට පත් කර ගැනීම
  12. ඔවුන්ගේ පසුබිම ගැන නොසළකා සමාන සේවයක් ලබා දීම
  13. පැමිණි අනුපිළිවෙලට සේවය ලබා දීම හා සුවිශේෂී තත්වයන් යටතේ පමණක් (උදා-රෝගී කෙනෙකුට දක්වන අනුග්‍රහයක් වශයෙන්) ඒ අනුපිළිවෙල වෙනස් කිරීම
  14. අයකරන මුදලට ගැලපෙන හෝ වැඩි වටිනාකමක් ඔවුන්ට ලබා දීම
  15. ඔවුන් ආයතනය තුළ ගත කරන කාලය තුළ අවම වෙහෙසක් අවම පීඩනයක් හා අවම කරදරයක් ඇතිවන ආකාරයට වටපිටාව හා පහසුකම් සකස් කර තිබීම

ආචාර ධර්ම කුමකට ද? එයින් ආයතනයට ඇතිවන ලාභයක් තිබේ ද?

කෙටියෙන්ම දිය හැකි පිළිතුර නම් ඔබේ ආයතනයේ ප්‍රතිරූපය එය විසින් සාදන නිසා බව ය. ඔබගේ ආයතනය හා දිගුකාලීන සබදකමක් මිනිසුන් ඇති කරගන්නේ මේ ආචාර ධර්ම ඔබ වෙත ඇතොත් ය. මේවා නැතිවත් පවතින ආයතන තිබේ. එහෙත් ඒ වැඩි කලකට නම් නොවේ.

ව්‍යාපාරිකයින් හා වැටුප් ශ්‍රමිකයින් අතර වෙනස කාල කළමනාකරණය ද?


කෙනෙකුගේ සාර්ථකත්වයේ රහස ඇත්තේ කාල කළමනාකරණයේ යැයි කීම වැරදි නැත.

බොහෝ දක්ෂ අය කාලය අපරීක්ෂා කාරීව භාවිතා කරද්දී එතරම් දක්ෂ නොවන මිනිසුන් කාලය පරීක්ෂාකාරීව යොදා ගෙන ඉහළට යන බව මිනිසුන්ගේ චරිත කතා විමසීමේදී පෙනී යයි.

අප සතු කාලය අප යොදා ගන්නේ කෙසේ ද යන්න අනුව අපට ලැබෙන ප්‍රතිඵල වෙනස් වේ. අප කරන්නට තෝරාගන්නා වැඩ, කල් දමන වැඩ, නොකර ඉන්නා වැඩ වශයෙන් වෙන් කර බැලුවොත් අප කාලය යොදා ගන්නේ කුමකට ද යන්න තෝරා බේරා ගත හැකි ය. උදු වපුරා මුං ගන්නට බැරි ය. ඒ නිසාම අප කාලය යොදාගන්නේ කුමකට ද ඒ නිසා ලැබෙන ප්‍රතිඵල ද භුක්ති විදිය යුතු ය.

විශේෂයෙන්ම බොහෝ දෙනෙක් ජිවත්වන විදිහට ජීවත්වීම මිසක වෙනත් එල්ලයක් නැති, ඒ නිසාම රැකියාවකට සුදුසුකමක් ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් මිස වෙනත් වැඩසටහනක් නැති, වර්ධනය පිළිබද ඉලක්ක නැති, පැතිරීමේ අරමුණක් නැති මිනිසුන්ගේ කාලය එල්ලයක් ඇති, වැඩ පිළිවෙලක් ඇති, ඉලක්ක ඇති, අරමුණක් ඇති මිනිසුන් විසින් අපූරුවට භාවිතා කරනු අපට දැකිය හැකි ය.

එල්ලයක් නැති නම් ඒ සදහා යන වැඩ පිළිවෙලක් නැතිනම් අනුන්ගේ ඉල්ලීමක් මත මිසක මිනිසුන් ක්‍රියාත්මක වන්නේ නැත. ඒ නිසා එහෙම එල්ලයක් තියෙන අයට, එල්ලයක් නැති අය, තමන්ගේ එල්ලය වෙනුවෙන් භාවිතා කිරීමේ විශාල ඉඩක් තිබේ.

ව්‍යාපාරිකයන්ට තමන්ගේම එල්ලයක් ඇත. ව්‍යාපාරිකයින් ලග රැකියා කරන්නන්ට එහෙමට කියා එල්ලයක් නැත. ඒ නිසාම දිවිගෙවීමට යමක් ලැබෙන්නේ නම් එවැනි ව්‍යාපාරිකයෙකුගේ වැඩ සටහනට ඔවුන් ඇතුළු වෙනවා ඇත.

ව්‍යාපාරිකයාට ලාභයත් අනෙකාට වැටුපත් ලැබෙන්නේ ඒ අනුව ය. ලාභයට නිශ්චය අගයක් නැති අතර ඒ නිසාම ඊට  සීමාවක් ද නැත. වැටුප එසේ නොවේ. එය නිශ්චය වන අතර ඊට සීමාවක් ද ඇත.

වැටුපට වැඩ කරන කෙනෙකු ලවා කරවා ගත හැකි වැඩ තමන් විසින් කරන්නට ව්‍යාපාරිකයින් උනන්දු වන්නේ නැත. ඔවුන් කරන්නේ අනුන් ලවා කරවා ගන්නට බැරි වැඩ පමණ ය. වැටුප් ශ්‍රමිකයිනට නැති වෙලාවක් ඔවුන්ට ඒ නිසා තිබේ.

දක්ෂ මිනිසුන් තෝරා ගැනීමටත් ඔවුන්ට නිසි බලතල ද සහිතව වැඩ පැවරීමටත් ඔවුන්ව බලා කියා ගැනීමත් කළ හැකි නම් තව බොහෝ දේට කාලය ඉතිරි වේ. මෙය තරමක අවදානම් සහිත වැඩකි. අපට අවශ්‍ය ආකාරයට වැඩ කර ගැනීමම අභියෝගයකි. බොහෝ දෙනෙකු මේ අභියෝගය බාර ගන්නේ නැත. වගකීම් පැවරීමට වඩා තමන්ම එම කාර්යය කිරීම පහසු යයි ඔවුහු සිතති. වගකීම් පැවරීමේ අවදානමක් ඇති බව සැබෑ ය. එහෙත් එයින් තොරව කාලය ඉතිරි කර ගත නොහැකි ය. එවිට සිදුවන්නේ පුංචි වැඩ කරමින් සිටීමට ය. පැය 24ම මදි යැයි මැසිවිලි නැගීමට ය.

වැඩ තෝරා බේරාගෙන කළ විට හා නිසි පරිදි වැඩ පැවරූවිට එතැන ඇත්තේ කාල කළමනාකරණයයි. සාර්ථක ව්‍යාපාරිකයෙකු වැටුප් ශ්‍රමිකයෙකුගෙන් වෙනස් වන්නේ ඒ අනුව ය.

කළමනාකරණ උපදෙස් දෙන ගැමිවහර – පිරුළු හරහා කළමනාකරණයට පිවිසුමක්


ප්‍රස්ථා පිරුළු විමසන්නේ නම් ඒ හැම එකකම කළමනාකරණ පාඩමක් ඇති බව පෙනී යයි.

  • රන් බිජු ගන්න කිකිළිගෙ බඩ පැළුවා වගෙයි

සාධාරණ අයකිරීමක් කර සේවා සපයමින් දිගුකාලීනව පාරිභෝගිකයන් තමන් වෙත රදවා ගන්නවා වෙනුවට ඉතා නොවටිනා මිලක් ඉදිරිපක් කරමින් මුලින් මුණ ගැසෙන ගනුදෙනු කරුවන් තලා පෙලා වංචාකාරී ලෙස මුදල් උපයන අය කරන්නේ සෙමින් ක්‍රමයෙන් වර්ධනය කරගත යුතු ව්‍යාපාරයක් ඉක්මන් ලාභය අපේක්ෂාවෙන් මිනිසුන්ට එපා කරවීම ය.

  • ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගෙයි

යම් වැඩක් වැරදියට කිරීමෙන් හෝ නොකර සිටීමෙන් බරපතල අර්බුදයක් ඇති වුනු පසු කර කියා ගන්නට විදිහක් නැතිව ලතවෙන අවස්ථාවක් එයින් නිරූපනය වෙයි. ක්‍රියාවකට පෙර නිසි ලෙස යමක් සැළසුම් කිරීමේ අවශ්‍යතාවය එයින් අවධාරණය කෙරේ. එසේ අවධාරණය කරන්නේ සැළසුම් නොකරන්නන් පත්වන කණගාටුදායක තත්වය දෙස සෝපහාසයෙන් බැලීමෙනි.

  • දීකිරට බලල්ලුත් සාක්කිලු

අවස්ථාවාදී මිනිසුන් උපහාසයට ලක් කළ ගැමියා කියන්නේ ඒ සාක්කිය අපක්ෂපාත නොවන බවත් ඒ නිසාම බැහැර කළ යුතු බවත් ය. කළමනාකරුවෙකුට තීරණ ගැනීම සදහා මිනිසුන් විමසීමේ දී මේ පිරුළ මතක තබා ගැනීම ඒ නිසා වැදගත් ය. වැදගත් විරුද්ධවීම හෝ පක්ෂවීම නොවේ. එසේ වීම පිටුපස ඇති තර්කයයි. කළමනාකරු සිය තීරණයන් ගැනීමේදී විමසිය යුත්තේ සාක්කිය පමණක් නොවේ. ඒ සාක්කියට තුඩුදුන් වටපිටාව ය. එය සාක්කිය ගැන තක්සේරුවක් ඇති කර ගැනීමට වැදගත් ය. තීරණ ගැනීමේ දී වැදගත් ය.

  • කපන්න බැරි අත ඉඹිනව වගෙයි

මේ ද මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය පමණක් නොව ඒ පිටුපස ඇති හේතුව ද සොයා බැලීමේ වැදගත් කම කියන පිරුළකි. ඉඹීන බව එකකි. කපන්න බැරි නිසා ඉඹීම තවත් එකකි. ඒ වෙනස තේරුම් ගැනීම කළමනාකරණයේ දී අත්‍යවශ්‍ය කරුණකි.

සටහන දික්වන නිසා සියල්ල විමසන්නට බැරිය. එහෙත් හැම පිරුළකින්ම උගන්වන පාඩම ගැන නිසි අවධානය යොදන්නේ නම් කළමනාකරණය සාර්ථකව කළ හැකි ඉගෙනුම් බොහෝමයක් මේ පිරුළු තුළින් ලබා ගත හැකි බව පමණක් ලියා සටහන අවසන් කරමි.

නායකත්වය යනු ….නිර්වචනයක්….


නායකත්වය සමහර දෙනෙකුට පැළදිය හැකි ආභරණයකි. තවත් අයට බලය ප්‍රදර්ශනයක කළ හැකි වේදිකාවකි. තවත් අයට වරප්‍රසාද ලබා ගත හැකි පහසු මගකි. තවත් සමහරුන්ට පරම්පරා ගණනාවකට හරි හම්බ කර දිය හැකි ධන නිධානයකි.

ඉහත අදහස් දරණ කවරෙකුගෙන් වුනත් නායකත්වය නැමැති පදවියට විය හැක්කේ අලාභයක් ම ය.

නායකත්වය යනු වැඩ කරන්නන්ට වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි අවස්ථාවක් ලෙස දැකීමට මා නම් වඩාත් කැමති ය. එයින් අනියමින් කියවෙන්නේ වැඩ නොකරන්නන් වැඩ කරන්නන් බවට පත් කිරීම ද එහිම අංගයක් වන බව ය. ඒ මිනිසුන් වැඩි දෙනෙක් වැඩ නොකර ඉන්නේ වැඩ කිරීම නිරස පරිසරයක ජීවත්වීම හේතු කොට ගෙන වීම නිසා ය.

මිනිසුන් කුඩා කළ සිට ගෙනෙන ආකල්ප දක්ෂ නායකයෙකුට පවා වෙනස් කළ නොහැකි අවස්ථා තිබෙන්නට පුලුවන. මිනිසුන් උත්පත්තියෙන් ගේනා අවාසනාවන්ත ජාන විශේෂයන් නිසා ද ඔවුන් උකටලී වන අවස්ථා ඇත. ඒවා වෙනස් කිරීමේ හැකියාව ද නායකයින්ගෙන් අපේක්ෂා නොකෙරේ. ඒ සදහා කළ හැකි එක ම දෙය වෛද්‍යවරයෙකුට යොමු කිරීම පමණ ය.

අවසානයට කී කවර හේතුවක් නිසා හෝ වැඩට පොළඹවා ගත නොහැකි මිනිසුන් සම්බන්ධයෙන් මැදිහත්වීම ද නායකයෙකුගෙන් අපේක්ෂිත කාරණයකි. එවන් අය සෙසු වැඩ කරන අයට කරදරයක් වන බැවිනි. ඔවුන් වෙනස් කිරීමට බැරිනම් ඉවත්වන තැනට කටයුතු සැළසීම මේ නිසා නායකත්වයෙන් අපේක්ෂා කෙරේ.

වැඩ කිරීමට මිනිසුන් මෙහෙයවීම වෙනුවට මිනිසුන්ට වැඩ කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම ගැන නායකත්වය සම්බන්ධයෙන් කරන මේ කතිකාවේදී අවධාරණය කෙරේ.

ඕනෑම වැඩක් කර හරියන්නේ ද නැත. ඒ වැඩ මෙහෙවර හා බැදුණු වැඩ විය යුතු ය. ආයතනයේ දැක්ම සාක්ෂාත් කළ හැකි වැඩ විය යුතු ය.

(බණ කීම මෙන්ම ඇසීම ද හොද ය. එහෙත් ඒවා ආයතනයේ මෙහෙවර හා දැක්ම ශක්තිමත් නොකරන තාක් කල් නායකයා ඉඩ දිය යුතු විෂය ක්ෂෙත්‍රයක් ලෙස ගැනෙන්නේ නැත. සමහර අවස්ථාවක බණ ආයතනයේ මෙහෙවරට එරෙහිව යන්නට ද පුලුවන. ධීවර අමාත්‍යංශය ගැන මතක් කර ගැනීම මේ සම්බන්ධයෙන් තේරුම් ගැනීමට සෑහේ.)

ඒ නිසා දැන් අපට වඩා හොද නිර්වචනයක් නායකත්වය සදහා සොයා ගත හැකි ය.

ආයතනයක් සම්බන්ධයෙන් නායකත්වය යනු එම ආයතනයේ මෙහෙවර ඉටු කිරීම සදහා ද දැක්ම සාක්ෂාත් කරගනු සදහා ද ආයතනයේ කාර්ය මණ්ඩලයට කටයුතු කළ හැකි ආකාරයට ආයතනය සංවිධානය කර අවශ්‍ය පරිසරය ගොඩ නැගීම ය. මෙහෙවර ඉටු කිරීමට හැකි නිසා ආයතනයේ පැවැත්ම ද දැක්ම සාක්ෂාත් කිරීමට කටයුතු කිරීම නිසා ආයතනයේ වර්ධනය හා දියුණුව ද තහවුරු වේ.

එහෙව් නායකයන් ලබන ආයතන වාසනාවන්ත ය.