විශ්වාසය හා සැකය


ආත්ම විශ්වාසය නැති කෙනෙකුට කළ හැකි දේ අල්ප ය. අන් අය ගැන විශ්වාස නොකරන කෙනෙකුට ද කළ හැකි දේ අල්ප ය. එවැනි අයට සිදුවන්නේ කුඩා වැඩ කරමින් තනිව ජීවත්වීමට ය. අප ගැනත් සෙසු අය ගැනත් විශ්වාස කිරීම ඒ අනුව අපට ඉදිරියට යාමට අත්‍යවශ්‍ය මූලිකම අවශ්‍යතාවයකි.

අප අතරින් කී දෙනෙකුට ආත්ම විශ්වාසය තිබේ ද? පහත වීඩියෝව නැරඹීමෙන් ඒ ගැන අදහසක් ඔබට ගත හැකි ය.

http://www.youtube.com/watch?v=zVaknBrb-fQ

ඉහත වීඩියෝවට සමාන පරීක්ෂණයක් ගණිතමය සමීකරණයක් ඇසුරෙන් ද කර ඇත්තේ ය. පර්යේෂකයා මේ සමීකරණ දී උත්තරය සොයන්නැයි පන්තියක සිසුන් හට කියා ඇත. ඊට පසු පන්තියේ තමන් ඇටවූ කීප දෙනෙකුගෙන් ඒ ගණිතමය සමීකරණයට කලින් කියන ලද වැරදි උත්තරයක් ලබා ගෙන ඒ ප්‍රශ්නය පන්තියේ වෙනත් කෙනෙකුගෙන් ඇසූ විට ඔහු මදක් පැකිල  එහෙත් දී තිබුනේ කලින් වැඩි දෙනා දුන් වැරදි උත්තරයම ය.

ඔහුට නිවැරදි උත්තරය කියා ඔහුට එය නොලැබුනේ දැයි ඇසූ විට ඔහු කීවේ ඔහුට ද ඒ උත්තරය ලැබී තිබුනු බවත් කීප දෙනෙක්ම එකම උත්තරයක් (එය වැරදි වුව ද) දුන් නිසා තමන්ට වැරදෙන්නට ඇතැයි සිතා ඒ උත්තරයම තමනුත් දුන් බව ය.

එයින් පෙනෙන්නේ අප අපේ තීරණයන් ගැන ඇත්ත වශයෙන්ම සැකයකින් පසුවන බව ය.

එසේ සැක කිරීම හරි ද වැරදි ද?

ජර්මනියේ හිට්ලර් ගෙන ගිය ව්‍යාපාරය ගැන මුලින් සැක කළ බොහෝ අය ද වෙනත් බොහෝ දෙනෙක් ඊට අනුගත වනු දැකීමෙන් පසු සැක කිරීම අත් හැර දැමූ හ. මුළු ලොවට විනාශයක් කැද වූයේ එසේ සැක කිරීමට ජර්මන් ජනතාවට නුපුළුවන් වූ බැවිනි.

සැක කිරීමට අවසර නැති තැනක මා නම් රැදෙන්නේ නැත.

සැකය පහළ වන්නේ සැක කළ යුතුම තැන්වල ය. එවැනි විටක කළ යුත්තේ නැවත පිළිවිස විශ්වාසය පිරික්සීම ය. එවිට එය එක්කෝ තහවුරු කර ගත හැකි ය. නැතිනම් ඉවත දැමිය හැකි ය. එසේ නොකොට අන්ධ විශ්වාසයෙන් මුල් තීන්දුවේ ඇලී සිටීමටවත් මුල් තීන්දුව කිසිදු පිරික්සීමකින් තොරව වැඩි දෙනාගේ මතය අනුව යමින් එක පැහැරින් බැහැර කිරීමටවත් කටයුතු නොකළ යුතු ය.

හිතේ කෙළවරක සැකය රදවා ගෙන සිටිය යුතු වුව ද විශ්වාසය ද ඒ සමගම කෙනෙකුට තිබිය යුතු ය. මට පවතින දේ වෙනස් කළ හැකිය යන විශ්වාසය නොතිබුනේ නම් මා මේ බ්ලොග් අඩවියට අත ගසන්නේ නැත. පොත් ලියන්නේ නැත. බ්ලොග් අඩවිය ජනප්‍රිය නොවෙන්නටත් පොත් නොවිකිනෙන්නටත් ඉඩ ඇති බැවිනි. එහෙත් මට මා ගැනත් මේ රටේ ඉගෙන ගන්නට කැමති මිනිසුන් සිටින්නේය යන්න ගැනත් විශ්වාසයක් තිබුනේ ය. මා මේ ගමන මෙතෙක් ආවේ ඒ විශ්වාසයට පින්සිදු වන්නට ය. මා ගැනත් මේ රටේ මිනිසුන් ගැනත් මේ සම්බන්ධයෙන් මට සැකයක් නොතිබුනේ යැයි අදහස් නොවේ. මගේ තීරණය කීප වතාවක් මට නැවත නැවතත් විවරණය කිරීමට සිදු වූ වාර තිබුනේ ය.

විශ්වාසය හා සැකය එක ලෙස තුරුල් කර ගත යුතු ය. ඒ දෙක කාසියක දෙපැත්ත ලෙස ගත යුතු ය. ඒ දෙක නිසි පරිදි කළමනාකරණය කර ගත හැකි කළමනාකරුවන් දිනුම් ය. අද නැතත් හෙට ඔවුන් දිනුම් ය.

අනෙත් අය අද නැතත් හෙට පරදිනු ඇත්තේ ය.

මවන රටා හා කඩන රටා


යම් වැඩක් කිරීමේදී එය ගලා යන (නොකැඩෙන) රටාවකට, යම් ලතාවකට, කළ හැකි නම් ඒ වැඩය කිරීම පහසු ය. නැවත නැවතත් කිරීමට සිදුවන වැඩ සම්බන්ධයෙන් එවැනි රටාවක් ලතාවක් ගොඩ නගා ගැනීම ඒ නිසා වැදගත් ය.

ගලා යන රටාවක් ගොඩ නගා ගත හැක්කේ ඒ වැඩය කීප වාරයක් විවිධ ආකාරයෙන් කිරීමෙන් පසු ය. එවැනි රටාවකට හුරු වූ වැඩ සම්බන්ධයෙන් වැඩි දුර හිතන්නට අවශ්‍ය නැත. ඒවා අප අතින් කෙරෙන්නේ නිරායාසයෙන් ය.

එවැනි වැඩ රටා හිතන්නට වන අමතර කරදරයකින් අප නිදහස් කර දමයි.

එවැනි වැඩ කොතරම් අපට හුරුව ඇත් දැයි කිව හොත් සමහර විට රටාවේ වෙනසකින් ඇති කළ හැකි වාසිය පවා අපට නොපෙනී යන තරමට එය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන්නට පුලුවන. ඒ ඒවා ඒ තරමට අපේ සිරුර හා ඒ වනවිට බද්ධව ඇති නිසා ය.

අප කරන වැඩයට අදාළ ස්ථානය හෝ උපකරණයක් වෙනස් කළ විට තවදුරටත් අර රටාව අපට උදව්වට නොසිටියි. ඒ අලුත් ස්ථානය සහ අලුත් උපකරණය සම්බන්ධ නව රටාවක් අප ගොඩ නගා ගත යුතු නිසා ය.

උදාහරණයක් ලෙස කෙනෙක් භාවිතයට ගන්නා වාහනය මාරු කළ විට මේ අත්දැකීමට මුහුණ දීමට ඔහුට සිදු වේ. සමහරු මේ නිසාම කොතරම් ලෙඩ දුන්න ද වාහනය හෝ ස්ථානය මාරු කිරීමට කැමති නැත.

මේ ඇබ්බැහි වීම් හැම විටම හොද නැත. අප කලකදී ඒවායේ හිරකාරයින් බවට පත් වෙන බැවිනි.

හිර ගෙදර දිගු කාලයක් ජීවත් වූ කෙනෙකුට නිදහස ලැබීම නිසා ඔහුගේ ජීවිතය අර්බුදයකට යන කතාව රැගත් චිත්‍රපටියක් මම කලකට පෙර නැරඹුවෙමි. හිරගෙදරට පවා ඇබ්බැහි වූ විට එයින් නිදහස් වීම දඩුවමක් වීමට ඉඩ තිබෙන බව එයින් කියවේ. හිර ගෙදර සියල්ලක්ම චාරිත්‍ර ගත කර තිබුනේ ය. නිදහස් වූ පසු කළ යුත්තේ කුමක් දැයි සිතා ගැනීමට නොහැකි ය. කළ හැකි බොහෝ දේ තිබේ. විකල්ප ගණනාවක් තිබීම සමහර විට අර්බුදයකට මුල ය. මක් නිසා ද යත් කල්පනා කිරීමට දැන් සිදුවන බැවිනි.

දිගු කාලයක් පුරා සූදානම් වූ විභාගයක් අවසානයේදී ද ජීවිතය කාලය පුරා කළ රැකියාවෙන් විශ්‍රාම ගත් විට ද මිනිසුන් මුහුණ දෙන්නේ මේ අර්බුදයට ය.

ගලා යන රටාවකින් වැඩ ගන්නට උත්සුක වන තරමට වරින් වර රටාවෙන් බැහැර වීමට තැත් කිරීමෙන් ද මේ ගැලියෙන් නිදහස් වීමේ හැකියාව අප සාදා ගත යුතු ය. ඇබ්බැහි වන්නේ දුම්පානයට හා මත්ද්‍රව්‍ය වලට පමණක් නොවේ. වැඩවලට ද වැඩ රටාවලට ද ඇබ්බැහි විය හැකි ය.

කළමනාකරුවන් මේ රටාව කැඩීමට අනුබල දිය යුතු ය. රටාව නැවත ප්‍රතිසංවිධානය කළ හැක්කේ කෙසේ දැයි වරින් වර විපරම් කළ බැලිය යුතු ය.

මිනිසුන් හා ආයතනය තුළ ගලා යන රටා ඇතිකිරීමේත් ඒ රටාම නැවත නැවත විවරණය කරමින් කඩා බිද දමමින් අලුත් රටා ඇතිකිරීමේත් වගකීම ඇත්තේ ඔවුන්ට ය. කළමනාකරුවන්ට ය.

අප නිර්මාණශීලී මිනිසුන් ලෙස හදුනාගන්නේ රටා මැවීමේත් රටා කැඩීමේත් නව රටා මැවීමේත් එක සේ දක්ෂතාවයක් දක්වන අපේ සගයින්ව ය.

කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!


සන්නිවේදනය කී පමණින් අපේ මනසට එන්නේ වචන ය. වචනවලින් තොර සන්නිවේදනයක් ඇතැයි යන්න පිළිගැනීමට පවා බොහෝ දෙනෙකුට තරමක් දුරට සිතන්නට සිදුවේ.

මෙයට එක් හේතුවක් නම් අපේ පාසල් අධ්‍යාපනය තුළ වචන සිංහාසනාරූඩ කර තිබිම ය. වචන නැති අධ්‍යාපනයක් අපට සිතා ගැනීමට බැරි ය. ගුරුවරයා කීවේ වචන ය. ලීවේ වචන ය. අපට කියන්නට කීවේ වචන ය. අපට ලියන්නට කීවේ වචන ය. විභාගයේදී පරීක්ෂාවට ගත්තේ වචන ය. වචනවලින් තොර යමක් පාසැලේ තිබුනේ නම් අප ඒවාට කීවේ බාහිර ක්‍රියාකාරකම් කියා ය. ඒවා අධ්‍යාපනයේ ප්‍රධාන ධාරාවට සම්බන්ධ වූයේ නැත. ඒවා භාවිත වුනේ අධ්‍යාපනය සදහා නොවේ. පාසැලේ නම බැබලවීම සදහා ය.

දෙමාපියන් පවා ආදර්ශයට වඩා උතුම් කොට සැළකුවේ අවවාද ය. ඒ තුළ තිබුනේ වචන ය. තමන් ද සැක කළ විශ්වාස නොකළ වචන ය.

පන්සලේ හාමුදුරුවන් බෞද්ධයන් යහමග යවන්නට තැත් කළේ බණ කීමෙනි. ඒ ද වචන හරහා ය. පන්සිල් රැකීමට වඩා පන්සිල් ගැනීම උතුම් විය. පන්සිල් රැකීම ක්‍රියාවක් වන විට පන්සිල් ගැනීම වචන උච්චාරණයක් විය. ලතාවකට පන්සිල් කීවේ නම් බොහෝ දෙනෙකුට එය සෑහුනේ ය. බෞද්ධයෙක් වීම සදහා තිසරණ සහිත පන්සිල් සමාදම් වීම සෑහුනේ ය. බුදුන් සරණ යනවා යයි පොරොන්දු වුනු බෞද්ධයෙකුට ඊලග මොහොතේ පල්ලියට ගල් ගැසීමට අත ඔසවන්නට හිරිකිතයක් නැතිවුනේ ඒ නිසා ය. දාන ගෙදරක මත්පැන් කට ගා ගත් අය සුරාමේරය මජ්ජපමා කීමට හරිබරි ගැසුනේ ඒ නිසා ය.

දෙවියන්ට යාඥා කිරීමෙන් කිතුණුවෝ ද සැනසුනෝ ය. දෙවියන් හා එක්විය හැක්කේ තමන්ගේ ක්‍රියාවෙන් බව පෙන්වූ ජේසුස්ගේ ජීවිත ආදර්ශය බොහෝ කිතුණුවෝඅමතක කළෝය. ඔවුන් දෙවියන් හා එක්වුනේ වචනයෙන් පමණ ය. ඒ ගීථිකා කට පාඩමෙන් කීම හරහා ය.

ක්‍රියාවෙන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී නොවුනත් අපේ රට නාමයෙන් එනම් වචනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්ම වූයේ ය.

දේශපාලනඥයන් පවා අපට සංග්‍රහ කළේ වචනයෙනි. දේශපාලන වේදිකාවේ දී පමණක් නොව මැතිවරණ සමයේ වර්ණවත් පෝස්ටර්වල ද ප්‍රකාශනවල ද තිබුනේ වචන ය. ඒවායේ ශබ්ද රසයට වැඩි යමක් නොතිබුනේ ය.

වේදිකාවේ පමණක් නොව රිදී තිරයේ ද නළුවන් අඩුවෙන්ම කළේ රග පෑම ය. වැඩිපුර කළේ දෙබස් කීම ය.

ආයතන ඇතුළේ දී ඇතැම් ආයතන ප්‍රධානීන් ද වැඩිපුර කැමති සිය කාර්ය මණ්ඩලයට දේශනා පැවැත්වීමට ය. එහෙත් අවාසනාවකට මේ රැස්වීම්වල ආයතන ප්‍රධානීන් දෙසන බණ බොහෝ විටක අවකාශයට අධෝවාතයකින් තරම්වත් ප්‍රයෝජනයක් එකතු කරන්නේ නැත. එයට හේතුව ආයතනයේ කාර්ය මණ්ඩලය වෙන කවරෙකුටත් වඩා හොදින් කතාව පිටුපස ඇති ප්‍රධානියාගේ ක්‍රියාව ගැන අවබෝධයකින් සිටින නිසා ය.

වචන ලාභ ය. වචනවලට ඒ නිසා පහසුවෙන් බොරුවේ ස්වරූපය ගත හැකි ය. වරක් වචනයට රැවටුන මිනිසෙක් නැවත ඒ වචනම ඒ කියන්නාගේ මුවින් පිටවෙන කල විශ්වාස කරන්නේ නැත. බුද්ධිමත් මිනිසෙක් ක්‍රියාවෙන් සනාථ වන තුරු කවරෙකුගේ වුව කිසිදු වචනයක් විශ්වාස කරන්නේ නැත.

ඒ නිසා වඩාත් වැදගත් වන්නේ අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කර ඒ හරහා මිනිසුන් ඒත්තු ගැන්වීම ය. බොරුවෙන් තොර රටක් ගොඩ නැගිය හැක්කේ ක්‍රියාවෙන් සන්නිවේදනයේ යෙදීම හරහා ය. අප ආයතන තුළ ගොඩ නැගිය යුත්තේ ක්‍රියාවෙන් කෙරෙන සන්නිවේදනය අගයන සංස්කෘතියකි.

සන්නිවේදනයේ දී වචනවලට ඇති භූමිකාව අවතක්සේරු කිරීමක් මෙයින් අපේක්ෂා නොකෙරේ. යමක් අපට පැහැදිලි කළ හැක්කේ වචන හරහා ය. මේ බ්ලොග් සටහන ලිවීමේදී ද මා භාවිතා කළේ වචන ය.

ඒත් යමක් ඒත්තු ගැන්වීමට නම් ඒ වචන ක්‍රියාවට නැගිය යුතු ය. වචනය ආරම්භයකට හොද ය. එහෙත් එයින් අවසානය ලගා කර ගත නොහැකි ය. එය කළ හැක්කේ ක්‍රියාවකිනි.

කාලත්‍රයේ සැරි සැරීම


අතීතය මිය ගොසිනි. අනාගතය තවම ඉපදී නැත. එහෙයින් ජීවත්විය යුත්තේ වර්ථමානය තුළ ය.  මේ අප අසා පුරුදු කතාවකි.

ජීවිතයේ වටිනාම මොහොත මේ මොහොත බවට විවාදයක් නැත. එහෙත් මේ මොහොත ඕපපාතික ද?

නැත. එය එළෙඹෙන්නේ අප අතීතයේ කළ ක්‍රියාකාරකම් ඔස්සේ ය. ඒ අතීතය නොමැති වන්නට මේ මොහොත බොහෝ සෙයින් වෙනස් එකක් වන්නට ඉඩ තිබුනේ ය.

ඊට අමතරව මේ මොහොත අභියෝගාත්මක වූයේ නම් ඒ අතීතය නිසා ය. මේ මොහොත අප අසරණ බවට පත් කළ එකක් වූයේ නම් එහි ද මුල් සමහර විට ඇත්තේ අතීතයේ ය. වර්ථමානයට හිස කෙළින් තබා ගෙන මුහුණ දීමට හැකි වන්නේ නම් එසේ කිරීමට හයිය ඇති වූයේ ද එක්තරා දුරකටවත් අතීතයේ සිද්ධීන් පදනම්ව ය. එයින් ලද අභාෂයන් නිසා ය.

අප අද පවත්වන සියළු සබදකම්වල මුල් ඇත්තේ අපේ අතීතයේ ය. අපේ අනන්‍යතාවය ඇත්තේ එහි ය. මනෝ විද්‍යාඥ ෆ්‍රොයිඩ් කියන විදිහට අපේ ඊගෝ එක ගොඩ නැගුනේ එහි ය. අපේ කතාන්දරයේ මුල් පරිච්ඡේද ලියවුනේ එහි ය. ඒ ඊගෝ එක, අනන්‍යතාවය හා කතාව නොමැතිව මා අද මේ මොහොතේ පහළ වුනා නොවේ. ඒ නිසා අතීතය වැදගත් ය.

“මා ශාරීරිකව ඝාතනය කළාට කමක් නැහැ. එහෙත් මගේ චරිතය ඝාතනය කරන්නට එපා“ යැයි සමහරුන් කියන්නේ මේ කියන කතාව ඒ තරමට වැදගත් නිසා ය.

අනෙත් අතට වර්ථමානය අපේ අනාගතය සකස් කරන්නට අපට දී ඇති අවස්ථාවකි. එය භාවිතයට නොගත හොත් අනාගතයේදී එළඹෙන ඊනියා “මේ මොහොත“ දුක් කරදර ගොන්නක් කර පිට තබා ගෙන පැමිණෙන්නක් වීමට ඉඩ තිබේ. ඒ නිසා අතීතය පමණක් නොව අනාගතය ද නොසළකා වත්මන තුළ පමණක් ජීවත්වීම කරදර කැන්දන්නකි. හෙට නොපැමිණෙන්නේ නම් අද පමණක් අප ජීවත්වන්නේ නම් මේ මොහොත ගැන හිතුවහම ඇති ය.

මෙයින් කියන්නේ කුමක් ද අතීතය ගැන සිතා පසුතැවිලි වීමටත් අනාගතය ගැන සිතා ලතැවීමටත් වත්මන භාවිතා කළ යුතු බව ද? කිසිසේත් නැත.

අප මේ මොහොතේ ජීවත්විය යුතු ය. එසේ කරන විට අප පසු කළ අතීතයත් අපට පසුකරන්නට නියමිත අනාගතයත් ගැන අපේ ඇති සංවේදීත්වය අත නොහැරිය යුතු ය.

කොටින්ම කියනවා නම් කාලත්‍රයේම ජීවත්විය යුතු ය.

අපේ කතාවේ අප ලියන මේ වාක්‍යය අපේ අතීත කතාවට සම්බන්ධය. එය අපේ කතාවේ ඊළග වාක්‍යයට මග පෙන්වනු ඇත්තේ ය. එහෙත් මේ වාක්‍යය නිවැරදිව ලිවීමට නම් මේ මොහොතේ මේ වාක්‍ය ගැන සිහියෙන් එය ලිවිය යුතු ය. එසේ කළ යුතු වන්නේ එය අතීතයේ ලියූ වාක්‍ය සමග නිසි හුයකින් බැදුනේ ද යන්නත් අනාගතයේ ලියන්නට යන වාක්‍යයට අඩිතාලම නිසි ලෙස දැමුවේ ද යන්නත් ගැන සොයන අතරේ ය. විමසන අතරේ ය.

නැවතත් කිව යුතුව ඇත්තේ කාලත්‍රයේම ජීවත්විය යුතු බව ය. වරින්වර අතීතයටත් අනාගතයටත් ගොඩ වදිමින් වර්ථමානය තුළ මේ මොහොත තුළ ජීවත්විය යුතු බව ය.

අපට මෙන් කතාවක් නැති සතුන්ට මේ මොහොතේ ජීවත් වීම සෑහෙන්නේ ය. එහෙත් කතාවක් ගොතන මිනිසාට එසේ කිරීමේ හැකියාවක් නැත. අප අපේ කතාව හිතාමතා ගෙතුවත් නැතත් අප අකමැති වුවත් නැතත් අප ජීවත්ව සිටියොත් එය ලියවෙන්නේ ය. මම නම් මගේ කතාව ගැන තැකීමක් කරන්නේ නැතැයි කියන අයටත් ඒ කතාවෙන් මිදෙන්නට ඒ නිසා බැරි ය. අප නොලිව්වාට එය වටේට ඉන්නා අය අප වෙනුවෙන් ලියමින් ගොතමින් ඉන්නා බැවිනි. එය පොතක නොව ජනප්‍රවාදයේ පවතින එකක් වන බැවිනි.

ඒ කතාව අප වෙත කීර්තිය ද අවස්ථා ද සබදකම් ද තව බොහෝ දේ වටිනා දේ ද ගෙන දෙන බැවිනි. එපමණක් නොවේ. සමහර අවස්ථාවල ගල්මුල්ද ගුටිබැට ද ඇතුළු තවත් බොහෝ දේ ද ගෙන දිය හැකි බැවිනි. එයින් ගැලවීමක් නම් නැත්තේම ය.

අවසාන වශයෙනුත් කිව යුත්තේ ඒ නිසාම අපට කාලත්‍රයේම ජීවත් වීමට බල කෙරී ඇති බව ය. ජීවිතය අතීතය, වර්ථමානය හා අනාගතය යනුවෙන් කැබලි වලට කැඩීමට නොහැකි ප්‍රවාහයක් බව ය. නොනැවතී ගලා යෑමක් පමණක් එහි ඇති බව ය.

කථාවක් නොවේ. කථනයක් ය!


මගේ ආදරය ඇයට ප්‍රකාශ කිරීමට මට අවශ්‍ය ය. පණිවුඩය අති සරල ය. කියන්නට ඇත්තේ වචන තුනකි. ඒ “මම ඔබට ආදරෙයි“ යන්න ය.

මොන එහෙකට වැල්වටාරම් ද? කියන්න තියෙන දේ කෙලින් කියල දැම්මහම අහවර ය. එසේ සිතා මම ඇය හමුව මේ අතිශය වැදගත් පණිවිඩය කෙලින්ම කියා දැම්මෙමි.

ඔබ හිතන විදිහට කුමක් වන්නට ඇත් ද?

ප්‍රතිචාරය කුමක් වුවත් එය යහපත් එකක් වන්නට ඉඩක් නැතැයි ඔබ සිතුවා නම් ඔබ හරි ය.

එය දඩබ්බර විහිළුවක් ලෙස මිසක ආදරය ප්‍රකාශ කරන බරපතල ආකාරයක් ලෙස සැළකිල්ලට භාජනය වන එකක් නැත.

අපට සන්නිවේදනය අමාරු ඒ නිසා ය. කියන්න තියෙන දේ කෙලින් කිව්වාට හරි නැත.

අමු අමුවෙන් නැතිව ලුනු ඇඹුල් දමා කියන්නට මේ නිසා අපට සිදුව තිබේ. නිරුවතින් නැතිව සළු පිළි අන්දා ඉදිරිපත් කරන්නට අපට සිදුව තිබේ. නිකම් දෙන්නේ නැතිව වටිනා දවටනයක ඔතා දෙන්නට සිදුව තිබේ. සන්නිවේදනයේ මේ සංසිද්ධිය හදුන්වන්නේ සංකේත කරණය යනුවෙනි.

දවටනයක ඔතා දුන්නහම ඇතුළේ තියෙන්නේ කුමක් දැයි එකවර සිතා ගත නොහැකි ය. එය ලිහා බැලිය යුතු ය. ආරළු බීරළු අයින් කර සැබෑව තෝරා බේරා වෙන් කර ගත යුතු ය. එයට කියන්නේ විකේත කරණය කියා ය.

හොද සන්නිවේදකයෙකු වන්නේ සංකේත කරණය මෙන්ම විකේත කරණය ද හොදින් කරන්නාට ය. ලෝකයාට අප තේරුම් කර දිය හැක්කේත් ලෝකය අපට තේරුම් ගත හැක්කේත් ඒ දක්ෂතාවය තිබු විට ය. ඒ දෙඅංශයේ කුසලතා නැති කෙනෙකුට දක්ෂ කළමනාකරුවෙක් විය නොහැකි ය.

කළමනාකරුවන් සන්නිවේදනය ගැඹුරින් හැදෑරිය යුත්තේ ඒ නිසා ය.

සංකේතකරණයේ ලා දක්ෂම පිරිස කලාකරුවන් හා අලෙවිකරුවන් ය. පණිවුඩය සිත් ඇදගන්නා එකක් පමණක් නොව තමන්ගේ එකක් කරගන්නට ජනතාවට පුලුවන් වෙන විදිහට ඉදිරිපත් කරන්නට ඔවුන් දක්ෂ ය.

උපමා රූපක අලංකාර සමග එන ගීතයක් කෙලින් එන කථනයකට වඩා අලංකෘත ය. ගීතයක යටි අරුත් තේරුම් ගැනීමේලා සැවොම එකසේ දක්ෂ නැත. එය ලිහා ගත හැක්කේ කලාවට සංවේදී සිතකට ය.

කළමනාකරුවන් කලාකරුවන් සාහිත්‍යධරයන් වූ තරමට ඔවුන්ට මේ කුසලතා ද දියුණු කර ගත හැකි ය.