කථාවක් නොවේ. කථනයක් ය!


මගේ ආදරය ඇයට ප්‍රකාශ කිරීමට මට අවශ්‍ය ය. පණිවුඩය අති සරල ය. කියන්නට ඇත්තේ වචන තුනකි. ඒ “මම ඔබට ආදරෙයි“ යන්න ය.

මොන එහෙකට වැල්වටාරම් ද? කියන්න තියෙන දේ කෙලින් කියල දැම්මහම අහවර ය. එසේ සිතා මම ඇය හමුව මේ අතිශය වැදගත් පණිවිඩය කෙලින්ම කියා දැම්මෙමි.

ඔබ හිතන විදිහට කුමක් වන්නට ඇත් ද?

ප්‍රතිචාරය කුමක් වුවත් එය යහපත් එකක් වන්නට ඉඩක් නැතැයි ඔබ සිතුවා නම් ඔබ හරි ය.

එය දඩබ්බර විහිළුවක් ලෙස මිසක ආදරය ප්‍රකාශ කරන බරපතල ආකාරයක් ලෙස සැළකිල්ලට භාජනය වන එකක් නැත.

අපට සන්නිවේදනය අමාරු ඒ නිසා ය. කියන්න තියෙන දේ කෙලින් කිව්වාට හරි නැත.

අමු අමුවෙන් නැතිව ලුනු ඇඹුල් දමා කියන්නට මේ නිසා අපට සිදුව තිබේ. නිරුවතින් නැතිව සළු පිළි අන්දා ඉදිරිපත් කරන්නට අපට සිදුව තිබේ. නිකම් දෙන්නේ නැතිව වටිනා දවටනයක ඔතා දෙන්නට සිදුව තිබේ. සන්නිවේදනයේ මේ සංසිද්ධිය හදුන්වන්නේ සංකේත කරණය යනුවෙනි.

දවටනයක ඔතා දුන්නහම ඇතුළේ තියෙන්නේ කුමක් දැයි එකවර සිතා ගත නොහැකි ය. එය ලිහා බැලිය යුතු ය. ආරළු බීරළු අයින් කර සැබෑව තෝරා බේරා වෙන් කර ගත යුතු ය. එයට කියන්නේ විකේත කරණය කියා ය.

හොද සන්නිවේදකයෙකු වන්නේ සංකේත කරණය මෙන්ම විකේත කරණය ද හොදින් කරන්නාට ය. ලෝකයාට අප තේරුම් කර දිය හැක්කේත් ලෝකය අපට තේරුම් ගත හැක්කේත් ඒ දක්ෂතාවය තිබු විට ය. ඒ දෙඅංශයේ කුසලතා නැති කෙනෙකුට දක්ෂ කළමනාකරුවෙක් විය නොහැකි ය.

කළමනාකරුවන් සන්නිවේදනය ගැඹුරින් හැදෑරිය යුත්තේ ඒ නිසා ය.

සංකේතකරණයේ ලා දක්ෂම පිරිස කලාකරුවන් හා අලෙවිකරුවන් ය. පණිවුඩය සිත් ඇදගන්නා එකක් පමණක් නොව තමන්ගේ එකක් කරගන්නට ජනතාවට පුලුවන් වෙන විදිහට ඉදිරිපත් කරන්නට ඔවුන් දක්ෂ ය.

උපමා රූපක අලංකාර සමග එන ගීතයක් කෙලින් එන කථනයකට වඩා අලංකෘත ය. ගීතයක යටි අරුත් තේරුම් ගැනීමේලා සැවොම එකසේ දක්ෂ නැත. එය ලිහා ගත හැක්කේ කලාවට සංවේදී සිතකට ය.

කළමනාකරුවන් කලාකරුවන් සාහිත්‍යධරයන් වූ තරමට ඔවුන්ට මේ කුසලතා ද දියුණු කර ගත හැකි ය.