ගෝඨාභය රාජපක්ෂ, නෙල්සන් මැන්ඩෙලා හා අධිකාරී බලය


නායකයෙකුට බලය අවශ්‍ය ය. අත්‍යවශ්‍ය ය. එහෙත් බලය පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. එයට හරියට ම හරි යන උදාහරණයක් ලංකාවෙන් අපට ලැබෙන්නේ ය.

ලංකාවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද බලය ඉල්ලා සිටියේ ය. අති මහත් බහුතර ජනතාවක් (69 ලක්ෂයක්) ඔහුට බලය ලබා දීමට එකතු වූහ. ඊට පසු ඔහුට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ද අවශ්‍ය විය. එය ද ලබා දෙන ලද්දේ ය. එයිනුත් නොසෑහී ඔහු පැතුවේ තනි තීන්දු ගත හැකි කේන්ද්‍රගත කරන ලද බලයකි. විසි වෙනි සංශෝධනය හරහා එය ද ලබා ගන්නා ලද්දේ ය.

ගෝඨාභය සැලකුණේ විනය ගරුක සමාජයක් සෑදිය හැකි හා වැඩ කළ හැකි කෙනෙකු ලෙස ය. විරුවෙකු ලෙස ය. ඒ නිසා ඔහුට අති මහත් බලයක් ලබා දීමට සමාජය පසුබට වූයේ ද නැත.

එහෙත් ඔහු ෆේල් ය. අපි තමයි හොඳට ම කළේ කියා තමන්ට ම කියා ගන්නට වෙන්නේ ෆේල් වුනහ ම ය.

කෝවිඩ් වසංගතයට ඔහුට මුහුණ දෙන්නට සිදු වූ බව සැබෑ ය. නායකයෙකු අවශ්‍ය වන්නේ සාමාන්‍ය කාලයට නොවේ. සාමාන්‍ය කාලයක වැඩ කටයුතු කර ගෙන යෑමට කළමනාකරුවෙකු සිටියා ම ඇති ය. නායකයෙකුගේ අවශ්‍යතාව වඩාත් දැනෙන්නේ අර්බුදයක දී ය. ඒ නිසා අර්බුදයක් පිට දමා නායකයෙකුට තම නොහැකියාව සඟවා ගත නොහැකි ය.

මේ ගෙවෙන 2022 අප්‍රියෙල් මාසයේ 8 දා වන විට මිනිස්සු දස දහස් ගණනින් ඔහුට විරුද්ධව වීදි බැස සිටිති. බොහෝ තැනක දේශපාලන මැදිහත් වීමකින් තොරව පවා ලංකාවේ මිනිසුන් මෙසේ වීදි බැස සිටීම පෙර නොවූ ප්‍රවණතාවකි. ඔවුන් ඉල්ලන්නේ ඔහුට ගෙදර යන ලෙස ය. ඒ පවරා දෙන බලයෙන් ප්‍රයෝජනවත් යමක් කිරීමට ඔහු අසමත් වී ඇති නිසා ය. කළ තරමක් වැඩ රට අගාධයට තල්ලු කරන්නා වූ වැඩ නිසා ය.

ඒ නිසා ම බලය අවශ්‍ය නමුත් එය ප්‍රමාණවත් සාධකයක් වන්නේ නැතැයි කීමට මේ උදාහරණය ඇති ය.

බලය, විශේෂයෙන් සීමාවක් නැති බලය, නුහුරට වැඩ කරන්නේ ය. බලය දූෂණයට ද සීමා රහිත බලය සීමා රහිත දූෂණයට ද මග පාදන්නේ ය.

තරාදියේ එක පැත්තක බලය තිබෙන විට අනෙත් පැත්තේ එය නියාමනයට වෙනත් ක්‍රමවේද තිබිය යුතු ය. සිදු නොවූයේ එය ය.

ප්‍රාමාණික විද්වතුන්ගේ අදහස් හා මතිමතාන්තර නො සලකා හරින ලද්දේ ය. යටත් නිලධාරීන් නියෝග නිකුත් කරන පමණින් ඒවා ක්‍රියාත්මක කරන්නට පේවී සිටින පඹයින් ගණනට ලඝු කරන ලද්දේ ය. තමන්ගේ වචනය චක්‍රලේඛයක් ලෙස සලකන්නට යැයි වරෙක ඔහු කීවේ ය. ඔහුගේ මතයකට විරුද්ධ වීම සැලකුණේ ඔහුට ද්‍රෝහී වීමක් ලෙස ය. රටට ද්‍රෝහී වීමක් ලෙස ය. කඩාකප්පල් ක්‍රියාවක් ලෙස ය. ඒ නිසා ම ඔහු වටා එකතු වූයේ “එහෙයියන්” පිරිසක් පමණ ය. ඔවුහු නායකයා සැනසීමට බොරු කියනු පවා පෙනෙන්නට තිබුණේ ය. සෙසු අය හිමින් සීරුවේ තමන්ගේ වැඩක් බලා ගන්නට කල්පනා කරන්නට ඇත. එසේ සිතූ, ඔහු විසින් ම පත් කළ, සමහරු තනතුරු හැර දා ගියෝ ය.

අවසානයේ සිදු වූයේ කරන ලද බොහෝ වැඩ නැවත රිවර්ස් කරන්නට ය. අකුළා ගන්නට ය. එසේ කරන ලද්දේ ද ඒවායින් බොහෝ හානි සිදු වූ පසු ය. අවසානය වන විට අකුළා නොගත් තීන්දුවක් නැති තරමට එය විහිද ගියේ ය.

නායකයෙකු සතු එක් ප්‍රධාන ගුණාංගයක් විය යුත්තේ පරස්පර මතයන්ට සවන් දීමට, ඒ සඳහා බොහෝ දෙනෙකු විමසීමට, කටයුතු කිරීම ය. තීරණයකට එළඹිය යුත්තේ එයින් පසුව ය. ඒ සඳහා නිහතමානිත්වයක් තිබිය යුතු ය. නායකයෙකුට අධිකාරී බලයකට වඩා අවශ්‍ය වන්නේ ඒ නිහතමානිත්වය ය. ඒ නිහතමානිත්වය අධිකාරී බලය ලබා දීමට අසමත් වන වඩා සියුම් එහෙත් අතිවිශාල බලයක් ලබා දෙන්නේ ය.

අප මෙතෙක් බලය යන වචනය යොදමින් සාකච්ඡා කළේ අධිකාරී බලය ගැන ය. නීතියෙන් ලබන බලය ගැන ය. ඊට අමතරව වෙනත් බල මූලාශ්‍ර ද තිබෙන බව බොහෝ නායකයින්ට වැටහෙන්නේ නැත.

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාව වෙනස් කළේ කුමන හෝ අධිකාරී බලයක් වත් නැතිව හිර ගෙදර පසු වෙද්දී ය. ඔහු සතු බලයක් තිබුණු බව සැබෑ ය. එහෙත් එය ජනතාව විසින් ඔහුට ලබා දුන් බලයක් මිස, ඔහුගේ චරිතයෙන් ලබා ගත් බලයක් මිස, නීතියෙන් ලබා දුන් අධිකාරී බලයක් නොවේ. ඒ සිරකරුවෙකුට නීතියෙන් බලයක් සාමාන්‍ය මිනිසෙකුට තරමටවත් නොලැබෙන නිසා ය. නෙල්සන් මැණ්ඩෙලාගේ චරිතය කියා සිටින්නේ අති විශාල අධිකාරී බලයක් අවශ්‍ය වන්නේ විකල්ප බල මූලාශ්‍ර නැති හිස් මිනිසුන්ට පමණක් බව ය.

එයින් අදහස් කරන්නේ අධිකාරී බලය නොවැදගත් බව නොවේ. එය ඉක්මනින් හා සඵල ලෙස කටයුතු කිරීමට යොදා ගත හැකි අගනා මෙවලමකි. නෙල්සන් මැණ්ඩෙලා ද පසුව ඒ අධිකාරී බලය ලැබී ය. එහෙත් එයින් වැඩ අවුල් කර ගැනීමට ඔහුගේ චරිතය ඔහුට ඉඩ දුන්නේ නැත. හැම කෙනෙකුට ම එහෙම චරිත ගොඩ නගා ගැනීමේ අවස්ථාව නැත. ඒ නිසා ම අධිකාරී බලය නියාමනයට යටත් කළ යුතු ය.

බලය පිළිබඳ විෂය කළමනාකරණ සාහිත්‍යයේ වැදගත් තැනක් ගනියි. අද අප ඉදිරියේ දිග හැරෙන ශ්‍රී ලංකාවේ ඛේදවාචකය හරියට කියවා ගන්නේ නම් ඒ පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා කළමනාකරණ සාහිත්‍ය කියවීම අවශ්‍ය නොවන්නේ ය. ඒ නිසා ම දිග හැරෙන සිද්ධි දාමයේ පාර්ශව කරුවන් වෙනවාට අමතර ව එහි නිරීක්ෂකයන් ද වන ලෙස ඔබට ආරාධනා කරමින් මේ කෙටි සටහන අවසන් කරමි.