මෛත්‍රීපාලගේ නායකත්වය ප්‍රශ්න කිරීම – වැදගත් වන්නේ ප්‍රතිපත්ති ද උපාය ද?


නායකත්වය ගැන උගත හැක්කේ සැබෑ සිද්ධි අධ්‍යයනයන් හරහා ය. මෛත්‍රීපාල සිරිසේන යනු එවැනි අධ්‍යයනයක් සඳහා සිද්ධි සපයන නායකත්වයක් බව අප කලින් ද කීවෙමු. එයට අමතර අනුපාන ලැබුනේ අලුත් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමත් සමග ය.

හොරු හා තක්කඩියන් බවට සිය දේශපාලන වේදිකාවේ කථිකයන් බොහෝ දෙනෙකු නම් කළ සියල්ලන් සමග මෛත්‍රී ජාතික ආණ්ඩුවක් ගොඩ නැගුවේ ය. ජනතාව ජන්දයෙන් ප්‍රතික්ෂේප කළ අය ද දැන් ඒ ආණ්ඩුවේ නිලතල දරති.

මෙය සාධාරණිකරණය කරන අය කියන්නේ එය උපාය මාර්ගික ප්‍රවේශයක් බව ය. මෙය හෙලා දකින කණ්ඩායම කියන්නේ මෛත්‍රී විසින් තමන්ම ඉහළින් කතා කළ ප්‍රතිපත්ති පාවා දී ඇති බව ය.

උපාය මාර්ගික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දිය හැකි ද? පිරිසිදු ප්‍රතිපත්ති තියාගෙන බලය අර්බුදයකට යවා ගෙදර යා යුතු ද?

මේ ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්නේ නැතිව මෛත්‍රීගේ ක්‍රියාව විචාරයට ලක් කළ නොහැකි ය.

උපාය මාර්ගික වීම සඳහා ප්‍රතිපත්ති සියල්ල පාවා දීමට වෙනවා නම් ඒ උපායෙන් වැඩක් නැත. අනෙත් අතට ඉතාම පිරිසිදු ප්‍රතිපත්තියක පිහිටා බලය අතහරිනවා නම් එවැනි නායකත්වයකින් ප්‍රයෝජනයක් ද නැත.

මේ හේතුව නිසාම අප කළ යුත්තේ අපේ ප්‍රතිපත්ති සියල්ල එක ගොඩට නොදා ඒවා වර්ග කිරීම ය. එයින් එක් වර්ගයක් වන්නේ කුමන තත්වයක් යටතේවත් අත්හැරිය නොහැකි ප්‍රතිපත්ති ය. උපායමාර්ගික හේතූන් මත හෝ ඒ වර්ගයට අයත් ප්‍රතිපත්ති අත් හැරිය නොහැක්කේ ය. ඒවා කේන්ද්‍රීය ප්‍රතිපත්ති ය. සෙසු ඒවා උපාය මාර්ග වෙනුවෙන් කේවල් කළ හැකි ද්වීතියක වර්ගයේ ඒවා ය. ඒවා පරිවාර ප්‍රතිපත්ති ය.

දැන් අප විමසිය යුත්තේ උපාය මාර්ගික බලය රඳවා ගැනීම වෙනුවෙන් මෛත්‍රී අත්හැර ඇත්තේ කවර ඒවා ද යන්න ය.

මේ ජාතික ආණ්ඩුවට හොරු හා දූෂකයන් ළඟ තබාගෙන හොරකමට දූෂණයට එරෙහිව කටයුතු කළ හැකි ද? එය කේන්ද්‍රීය ප්‍රතිපත්තියක් ද? එය බලය වෙනුවෙන් කේවල් කළ හැකි ද්වීතියක ප්‍රතිපත්තියක් ද?

උත්තර බඳින අයට දෙන්නට තවමත් උත්තර තිබේ. ඒ දූෂිතයන් සමග හවුල් ආණ්ඩුවකට ගියාට ඔවුන්ට විරුද්ධව පර්යේෂණ දිගටම සිදු කරන බව ය. දූෂණ විරෝධී කටයුතු එසේම සිදු වෙතැයි අපි මොහොතකට සිතමු. ඔවුන්ගෙන් කවරෙකු හෝ උසාවියට ඉදිරිපත් කළ දාට කුමක් වනු ඇත් ද? සෙසු අය එවැනි විටෙක ද රැඳෙනු ඇත් ද? පියවර ගෙන ඇත්තේ තමන්ට විරුද්ධව නොවන තාක් ඔවුන් කලබල නොවනු ඇත් ද? නිලමෝර් පියතුමා ලෙස ඔවුන් තමන්ට එරෙහිවනතාක් මුණිවත රකිනු ඇද්ද? එය එසේ නම් උපාය සාර්ථක ය. එසේ නොවුනහොත් උපාය අසාර්ථක ය. එවැනි අර්බුදයක් ඇති වුවහොත් දූෂණ විරෝධී ප්‍රතිපත්තිය අකුලා ගනීවි ද? එය ද්වීතියක එකක් ලෙස සළකා ගනුදෙනු කරනු ඇති ද?

සිද්ධි අධ්‍යයනය සම්පූර්ණ කිරීම සඳහා සිද්ධිය අවසන් නැත.

ඒ නිසාම මෛත්‍රීපාල නායකත්ව විචාරය සම්පූර්ණ කිරීමට තව කල් වැඩි ය.

අවසානයේ ප්‍රතිපත්තියත් පාවාදෙනු ලැබ බලයත් අහිමි කරනු ලැබ සියල්ල අවසන් නොවනු ඇතැයි අපේ පැතුම ය.

බොරු, ගල් පැලෙන බොරු සහ සංඛ්‍යාලේඛන


සංඛ්‍යාලේඛන මෝඩයින් අමාරුවේ දමන අතර කපටියන්ට ආයුධ සපයන්නේ ය.

ස්විස්ටර්ලන්තයේ රැකියා වියුක්තිය පසුගිය වසරේ 300% කින් ඉහළ ගිය බවට වාර්ථාවක් පළ විය. සංඛ්‍යාලේඛන තවදුරටත් පිරික්සීමේ දී පෙනී ගියේ ගිය වසරේ 98 ක් වූ රැකියා වියුක්තිකයින්ගේ ගණන මේ වසරේ 302 දක්වා වැඩි වී ඇති බව ය. ස්විස්ටර්ලන්තය ලොව අඩුම විරැකියාව ඇති රට බව ය.

පිළිකා වැළඳී ඇති රෝගීන්ගෙන් 98% ක්ම තේ පානය කරන අය බව සොයා ගෙන තිබේ. ඉහත ප්‍රකාශය බැලුවිට එකවර ඇති වන නිගමනය නම් තේ පිළිකා කාරකයක් බව ය. එහෙත් ඇත්ත එය නොවේ. රටේ මිනිසුන්ගෙන් ද 98% ක් තේ බොන බවත් තේ බොන නොබොන එක පිළිකා සමග ධන හෝ රින සම්බන්ධයක් නැති බව ය. ඒ නිසා පිළිකා රෝගීන්ගෙන් 98% ක් තේ පානය කරතැයි යන කීම කිසිදු වටිනාකමක් නැති කියමනක් බව ය.

සංඛ්‍යාලේඛන කයිරාටික පුද්ගලයින් විසින් සෙසු අය මුලා කිරීමට ද මෝඩ මිනිසුන් විසින් වැරදි නිගමනයන්ට එළඹීමට ද භාවිතා කිරීමේ ශාක්‍යතාවය සහිත බව පෙනේ. එයින් කියන්නේ සංඛ්‍යාලේඛන බැහැර කළ යුතු බව ද?

සත්තකින්ම නැත. එයින් කියන්නේ සංඛ්‍යාලේඛන පරිස්සමින් ඇසුරු කළ යුතු බව ය. එයින් නොමග නොයා යුතු බව ය.

කිසිදු සංඛ්‍යාත්මක පදනමක් නැතිවම ද සමහරු අදහස් පළ කරති.

ස්ත්‍රී දූෂණ හා අපරාධ නැති කරවීමට දහම් පාසල් සැමට අනිවාර්යය කළ යුතු යැයි මේ අප මෑතකදී ඇසූ කතාවකි. වසර පහ නොඉක්මවූ සේයා දැරිය දූෂණය කොට මරා දැමීමත් සමග එය කරලියට පැමිණියේ ය. එයින් අනියමින් කියන්නට අදහස් කරන්නේ මේ අපරාධවලට හේතුව මිනිසුන් ධර්මය නොදැනීම යන්න පමණක් නොවේ. ධර්මයට බලෙන් හෝ සවන් දීමට සැළැස්වුවහොත් අපරාධ දූරී භූතව යන බව ය. මේ කියන්නේ උදේ හවස බණ කියන රටක ය. ඒ එක ද සංඛ්‍යා ලේඛනයකවත් ආධාර පවා නැතිව ය.

මේ අපරාධකරුවන් ගැන යමෙක් පරීක්ෂණයක් කොට එයින් අපරාධකරුවන් කියක් දහම් පාසල් ගොස් ඇත් ද? ගොස් නැත් ද යයි සොයා තිබේ ද? ජනගහණයෙන් කවර ප්‍රතිශතයක් දහම් පාසල් යන්නේ ද? යන්න ද සොයා මේ දත්තයන් දෙක ගැන කවර නම් හෝ සන්සන්දනයක් කර ඇත් ද?

දැරිය කොටට ඇඳුම් ඇඳීමට පුරුදුව සිටි බවත් එය අපරාධකාරයන් පොළඹවන්නට හේතුවන්නට ඇති බවත් යන මතය සමාජගත කරන්නට සමහරු පෙළඹී සිටි බව අන්තර්ජාලයේ පළවූ ඇතැම් සටහන් වලින් පෙනී යයි. බොදු බල සේනාවේ ගිණුමට එය බැර කරමින් ඔවුන් විසින් අතිශය නිර්දය විචාරයක් සහිතව දැරියගේ පින්තූර ද බහාලා පෝස්ටරයක් නිර්මාණය කර තිබුනි (එය බොදු බල සේනාව විසින් කරන ලද්දක් නොවන බව බොදු බල සේනා ෆේස් බුක් නිල පිටුවේ සටහන් කර ඇත). ලොව අතිශයින් කොටට අඳින රටවල එසේ නම් අපරාධකරුවන් වැහි වැහැලා සිටිය යුතු ය. මුස්ලිම් රටවල එවැනි අපරාධ අවම විය යුතු ය. එක ද සංඛ්‍යාලේඛනයක්වත් එවැනි සාක්කි සපයන්නේ නැත.

එසේ කිසිදු දත්තයකින් තොරව පළකරන අනුමානයන්ටත් විශාල පිළිගැනීමක් ඇති රටක සංඛ්‍යාලේඛන වලින්ම ඔප්පු කර පෙන්වන බොරුවක් විශ්වාස නොකරන්නේ කවු ද?
ගණිතය අසමත් වුනාට කමක් නැතැයි කියන අය මේවා සම්බන්ධයෙන් දෙන උත්තර මොනවා ද?

ගණිතය සමත් වූ අය පවා ගණිතමය දත්ත නැතිව අනුමානයන් සරණ යන රටක ගණිතය ඉගැන්වීම නිසි පරිදි සිදු වෙනවා ද යන්න ද ඒ සමග විමසිය යුතුව තිබේ.

කළමනාකරුවන් තම නිගමනවලට එළඹෙන්නේ දත්ත හා සංඛ්‍යා ලේඛන ඇසුරිනි. ඒ නිසාම සංඛ්‍යාලේඛන වලින් නොමග යා හැක්කේ කෙසේ දැයි ඔවුන් දත යුතු ය.

ඒ සංඛ්‍යාලේඛන නැතිව කරන අනුමානයන් බැහැර කරන අතරතුරේ ය. ඒවා වලින් ද නොමග යන මිනිසුන් සිටින බව සටහන් කරගන්නා අතරතුරේ ය. ඒ අතර ගණිතය සමත් අය ද සිටිය හැකි බව පසක් කරන අතරතුරේ ය.