පිරිමි හා ගැහැණු


  • නිශාන්ත කමලදාස

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණේ මාර්තු 8 දා ට ය. විවිධ උත්සහ පැවැත්වුන ද විවිධ ප්‍රකාශ නිකුත් කළ ද පිරිමි හා ගැහැණු පිළිබඳ සමාජය තුළ මුල් බැස ගෙන ඇති යල් පැන ගිය මතවාදයන් ප්‍රමාණවත් ලෙස සංවාදයට ලක් වූ බවක් පෙනෙන්නට නැත. මේ මතවාදයන් නිසා පීඩාවට පත් ව ඇත්තේ ගැහැණු පමණක් නොවේ. පිරිමි ද ඉන් බැට කා තිබේ. එපමණක් නොවේ අපේ ආයතන ද රට ද ඒ නිසා දුර්වල ව තිබේ.

පිරිමි කමට ඔබින වැඩක් ද මේ? පිරිමි කම යන වදන් වැල භාවිතා කරමින් කරන මෙවැනි සංවාද ඔබ කොතෙකුත් අසා ඇතුවා ට සැක නැත. ඒත් මේ පිරිමි කම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද? සමහරුන්ට අනුව පිරිමි අයට අඬන්නට බැරි ය. කඳුළු සලන්නට බැරි ය. ඒ දෙක ම පිරිමි කමට නින්දාවන් ය. උපේක්ෂාව මුනිවරයන්ට මිස සාමාන්‍ය පිරිමින්ට අකැප ය. මුදු වදන් ඔවුන්ට අරහං ය. මෙසේ පිරිමි කමට නොගැලපෙන දේ කරන අය හඳුන්වන්නේ නෝංජල් මිනිසුන් වශයෙනි. 

පිරිමි ළමයි වුන හම දඟ කරන්නට ඔ්නෑ ය. ගහ ගන්නට පුළුවන් වෙන්නට ඔ්නෑ ය. “කොටු පනින්නට” ඔ්නෑ ය. එහෙත් මේ එකක් වත් ගැහැණුන්ට ගැහැණු දරුවන්ට කැප නැත. ගැහැණුන් වුන හම ඉවසන්නට ඔ්නෑ ය. අසාධාරණය ඉදිරියේ වුව මුවින් නොබැණ ඉන්නට ඔ්නෑ ය. උම්මග්ග ජාතකයේ මහෞෂධ පණ්ඩිතයින්ගේ නොපනත් කම් ඉදිරියේ නොසැලී උන් අමරා දේවිය මෙන් ඉන්නට ඔ්නෑ ය.

බාහු බලය පිරිමින්ගේ බුත්තියට සවි කර ඇත්තකි. ගැහැණිය සුකුමාර විය යුතු ය. පිරිමියා ගහක් නම් ගැහැණිය වැලක් විය යුතු ය.

ඉහත සියල්ල සමාජය විසින් සකස් කරන ලද චරිතයන් ය. අපට තියෙන්නේ ඒවාට අවනත ව හැසිරෙන්නට ය. එසේ නොකරන පිරිමි පිරිමි නොවේ. ගැහැණු ගැහැණු නොවේ.

කුඩා පිරිමි දරුවන්ට තුවක්කුත් ගැහැණු දරුවන්ට මැටි හට්ටි වලං බෝනික්කන් තෑගි ලෙස දෙන්නේත් ඒ නිසා ය. ඒ චරිතය තුළ ඔවුන් රඳවනු පිණිස ය.

පරිණාමයේ එක් යුගයක මේ සංස්කෘතික ව හැඩ ගස්වනු ලැබූ පිරිමියාටත් ගැහැණියටත් වටිනාකමක් තිබුණේ ය. ටෙස්ටස්ටොරෝන් හෝමෝනය නිසා ස්වභාවික ව බාහු බලය තිබූ පිරිමියාට ඊට ගැලපෙන භූමිකාවක් තිබුණේ ය. ඒ දඩයම් කර සතුන් මරා ගැනීම ය. සතුරන් හා යුද වැදීමට ය. ගැහැණියට තිබුනේ ඵල වැල නෙලා ගෙනෙන්නට ය. දරුවන් හදා වඩා ගන්නට ය. එලා ගත් සතාගේ මස් ඉතිරි වේ නම් කල් තබා ගනු පිණිස සකස් කර තැබීමට ය.

එහෙත් දැන් පිරිමි දඩයමේ යන්නේ නැත. යුද්ධ ද බොහෝ රටවල තුරන් වෙමින් තිබේ. කලකෝලාහල කිරීමෙන් තොර ව නීති මාර්ගයෙන් බොහෝ දේ බේරා ගැනීමට ශිෂ්ට යන්ත්‍රණ සමාජය විසින් සකස් කර ගෙන තිබේ. ශිෂ්ටාචාරය විසින් බිහි කර ඇති යන්ත්‍ර සූත්‍ර නිසා පිරිමි අයට වෙන් කර තිබූ බොහෝ වැඩ දැන් කාන්තාවන්ට ද කළ හැකි ය. මේ තත්වය යටතේ පිරිමි විසින් තවදුරටත් තමන්ගේ කර මතට පටවා තිබූ ඒ බැරි බර කාන්තාවන් විසින්  රැගෙන යා යුතු නැත. එය කාන්තාවන්ට කරන අකටයුත්තක් පමණක් නොව ආයතනයක රටක ඵලදායකත්වයට ද කරන නපුරකි.

පැරණි ඉන්දියාවේ ද ලංකාවේ ද පැවති කුල ක්‍රමය කියා සිටියේ ඒ කුලයට අයත් කටයුතු වල ඒ කුලයේ අය විසින් කළ යුතු බව ය. ඊට සමාන්තර ව පිරිමි වැඩ පිරිමි විසින් ද ගෑණු වැඩ ගෑණු විසින් ද කළ යුතු විය. පරිණාමයේ එක් යුගයක දී මේ ශ්‍රම විභජනය යම් වාසි සැලසුවේ වුව ද අද එවැනි තහංචි වලින් සිදු වන්නේ සංවර්ධනයට බාධා පැමිණ වීම ය. කෙනෙක් යම් කිසි කාර්යයකට දක්ෂ නම් ඒ තැනැත්තා කුමන කුලයට අයිති ද යන්න හෝ ඒ තැනැත්තා පිරිමියෙක් ද ගෑණියක් ද යන්න හෝ අදාළ නොවන නිසා ය. එසේ එවැනි තහංචි දා ගැනීමෙන් සිදු වන්නේ සුදුස්සාට සුදුසු තැන අහිමි වීම ය. එය ආයතනයකට හෝ රටකට හිත කර ලෙස බල පාන්නේ නැත. ආයතනයේ ඵල දායකත්වයට  පමණක් නොව අභිවෘද්ධියට ද හේතු වන්නේ නැත.

මෙයින් අදහස් කරන්නේ පිරිමි හා ගැහැණු අය අතර වෙනස් කම් නැති බව නොවේ. හෝමොන ක්‍රියාකාරිත්වය අතින් ඒ අය වෙනස් ය. ඒ නිසා ම ශරීරයේ මෙන් ම මනසේ ද වෙනස් කම් ඇති වීම අපට නොසලකා හැරිය නොහැකි ය. ඒ නිසා ම ගැහැණිය හා පිරිමියා අතර ඇති එක ම වෙනස රැවුල පමණකැයි කියන්නට තරම් අප අගතිගාමී නොවිය යුතු ය. අප මතක තබා ගත යුත්තේ පිරිමි හෝ ගැහැණු ශරීර තුළ පවා හෝමෝන ක්‍රියාකාරිත්වය එක සමාන නොවන බව ය. ඒවා විශාල පරාසයක් ගන්නා බව ය. ඒ නිසා ඇතැම් ගැහැණු බාහු බලයෙන් ඇතැම් පිරිමින් අභිබවන්නට පවා පුළුවන. ඒ නිසා ලේබල් අලවා ඔවුන් යම් ගොඩකට තල්ලු කිරීමකට එහා ගිය අගැයීමක් අපට අවශ්‍ය වන්නේ ය. ඒ නිසා ම මේ ලේබල් කිරීමේ බර ඉවත් කළ යුතු ය.

මේ බර පැත්තකින් තැබිය නොහැකි ව ඇත්තේ බොහෝ ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට ද ආගමික තහංචි වලට ද මේ ඉපැරණි සංකල්ප රිංගා ගෙන ඇති නිසා ය. ආගම වෙනස් කරන්නට බැරි ය යන තැන සිට පටන් ගත් විට මේවා ලිහා දැමීම, ඉවත් කිරීම, පහසු නැත. තමන්ගේ ස්වාමි පුරුෂයා හදා දෙන තේ කෝප්පයක් පිළිගැනීම අපායේ යෑමට හේතුවක් ලෙස ඇතැම් ස්වාමීන් වහන්සේලා අදටත් දේශනා කිරීම මේ සඳහා දිය හැකි එක් උදාහරණයකි. ගැහැණු දරුවන් පවුලක උපදින්නේ දෙමාපියන් බොරු කීමේ විපාකයක් හැටියට යැයි කීම තවත් උදාහරණයකි.

සමාජ වටපිටාව හේතුවෙන් ආගමට එකතු වූ ඇතැම් දේ ඒ සමාජ වටපිටාව වෙනස් වන විට වෙනස් විය යුතු ය. බුද්ධ ශාසනය තුළ වරින් වර ධර්ම සංඝායනාවන් පවා අතීතයේ පැවැත්වූයේ ඒ නිසා ය. ඒ නිසා ම ඉහත කී මති මතාන්තර ආගම් තුළ ම සංවාදයට ලක් විය යුතු ය.

ආගම හැරණු විට මේ වෙනස වළක්වන අනෙක් ප්‍රපංචය වන්නේ සංස්කෘතිය ය. සංස්කෘතිය ද කාලානුරූප ව වෙනස් විය යුතු ය. ඒ වෙනස් වීම වැළැක්වීමට කිසිවෙකුට බැරි මුත් ඒ වෙනස් වීම කල් දැමීමට බොහෝ මැදිහත් වීම් වලට පුළුවන. ඒ නිසා ම අප අපේ පිරිමි හා ගැහැණු සම්බන්ධයෙන් ගොඩ නගා ගෙන ඇති පැරණි මතවාද ප්‍රශ්න කළ යුතු ය. ඒවා පරිණාමයේ නව යුගයට අවශ්‍ය ලෙස හැඩ ගස්වා ගත යුතු ය.

Leave a comment