උඩ පැන්නොත් බිම වැටේ


ඇඟිල්ලෙ තරමට ඉදිමියං. මුදුනා වෙන්න යන්න එපා. උඩ පැන්නොත් බිම වැටේවි. මෙවැනි අවවාද අනුශාසනාවල කෙළවරක් නැත. මේ හැම එකකින්ම කියන්නේ එකම දෙයකි. ඉන්න විදිහට ඉන්න කියා ය.

සමහරක් කියන්නේ ආදරේට ය. අපට තියෙන හිතේෂී කමට ය. නටන්න ගොස් අප පස්ස බිම ඇන ගනීවි දැයි යන බියට ය. සමහරක් කියන්නේ තරහට ය. උඩ පැන ඉහළ අත්තකට නගි දැයි යන ඉරිසියාවට ය. ඉහළ ගොස් උන්ට කෙළවාවි දැයි යන බිය ට ය. අරමුණ කුමක් වුව ද කියන පණිවුඩය එක ය. එහි මුඛ්‍ය අර්ථය වර්ධනය වනු එපා කියා ය. අතීතයේ  පැවතුනු විදිහට පවතින්නට කියා ය. බහුතරය සමග සිටින්න කියා ය. ඒ තුළ සැඟවෙන්නට කියා ය.

11420

මෙහෙම අවවාද වලින් පිරුණු රටක් එක තැන පල්විම අහම්බයක් ද? අරුමයක් ද? නැත. එවැනි රටක් බිඳ දමන්නට සතුරන් වුවමනා නැත.

ඉන්නා විදිහට ඉන්නා එක ඇත්තට ම පහසු ය. එහෙව් එකේ එසේ නොඉඳ කිසියම් කෙනෙක් පියවරක් ඉදිරියට පය තබන්නේ ඇයි? එක හේතුවක් වන්නේ එක තැන ලැගීම කම්මැලි වීම ය. අනෙක් හේතුව වන්නේ එසේ සිටීම සතෙකුට මිස මිනිහෙකුට කිරීම අපහසු වීම ය. මිනිසා හැදී ඇත්තේ ම වෙනස් වන්නට ය. වර්ධනය වන්නට ය.

වඩු කුරුල්ලන් මිට වසර දහසකට පෙර නිම කළ වඩු කූඩුව අදත් හදන බව අපි දනිමු. එහෙත් මිනිසුන්ගේ ගෙවල් කොතෙක් නම් වෙනස් කම් වලට බඳුන් වී ඇත් ද? ඒ නව දේ කිරීමේ, වෙනස් දේ කිරීමේ, නොතිත් ආසාව නිසා ය. නිසඟ මිනිස් ගතිය නිසා  ය.

මිනිස් ශිෂ්ඨාචාරය සෙසු සතුන් අතර මග දමා ඉදිරියට ම පිය මැන්නේ ද ඒ නිසා ය. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යයි කුමාරතුංග මුණිදාසයන් කීවේ ද ඒ නිසා ය. අතීත විභුතිය ගැන කතා නවත්වා අපට අද කළ හැකි නව දේ සෙවිය යුත්තේ ද ඒ නිසා ය. බිම වැටේ දැයි බිය වෙමින් සිටින්නේ නැතිව අවශ්‍ය ශක්තිය ලබාගෙන උඩ පැන ඉහළ අත්තක් අල්ලා ගත යුත්තේ ද ඒ නිසා ය.

එසේ  වුව ද සමාජ තහංචි විසින් අපේ මේ නිසඟ ශක්තිය අඩ පන කොට තිබේ. අප ආසාවෙන් ගායනා කරන ගීත පවා සැකසී ඇත්තේ ඒ තහංචි නැවත නැවතත් මතක් කරනු පිණිස ය. පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමය මහ මන්දිරේ නැති බව කියන විට අප තේරුම් ගත යුත්තේ මුත්තලා හිටි පැල්පත සොඳුරු බව ය. එයින් නික්ම මන්දිර තැනීමෙන් අප කළේ වරදක් බව ය. වඩු කුරුල්ලා මෙන් මුත්තාගේ පැල වැනි එකක් හදා ගත්තේ නම් අප අද විඳින අකරතැබ්බයන්ගෙන් ගැලවීමට පුළුවන් බව ය. අඩු වශයෙන් මෙතැනින් එහාට අඩියක් වත් නොසෙල්විය යුතු බව ය. අප අභියෝග කළ යුත්තේ මේ අපට හොරා අප හදවතට කා වද්දන්නට හදන මේ තහංචි වලට ය. සීමා මායිම් වලට ය. වැට කඩොලු වලට ය.

සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන කියන ප්‍රතිගාමී සිංදුව ඉවතලා කඳු වී නතර නොවී හැකිනම් හාත්පස ආලෝකය විහිදන ගිනි කඳු බවට පත් විය යුත්තේ ඒ නිසා ය.

කවි සිංදුවල පමණක් නොව මේ නිශේධනීය අධෛර්ය කරවන සිතුවිලි ඇති ඉපැරණි හැම දෙයක් ම අත් හල යුතු ය.

කියන්න ලෙහෙසි ය. කරන්න අමාරු ය. විශේෂයෙන් අප වැනි රටක අමාරු ය. එක තැන ලැගීමෙන් නොනැවතී වැටුනු තැනටම වී නිදාගෙන ද ඉන්නා මිනිසුන් සිටින අප වැනි රටක එය අමාරු ය.

මිනිසුන් නිදා ගෙන ඉන්නා තැනක නැගිට ඇවිදින මිනිසා නිදන මිනිසුන්ගේ නින්දට බාධාවක් බවට පත් වන හෙයිනි. නිදන කට්ටියටම එක් වී ඇවිදින එකාට තඩි බාන්නට හෝ ඔහු නිහඩ කරන්නට කටයුතු කරන්නට පුළුවන් බැවිනි.

මා වැඩ කළ එක් ආයතනයක ප්‍රධානියෙක් මට අපූරු අවවාදයක් දුන්නේ ය. ඒ ලස්සණ කතාවක් කීමෙන් පසු ය. කැලෑවේ තුරු මුදුන් වලින් තැනෙන හරිත රේඛාවක් තිබේ. කිසියම් ගසක් මේ හරිත රේඛාව ඉක්මවා ගිය විට සිදුවන්නේ හමා යන සුළගට නිරාවරණය වීම ට ය. සුළග නිසා ඇතැම් විට කරටියෙන් ම කඩා දැමීමට ලක් වීමට ය. ඒ නිසා කළ යුත්තේ ආවරණය වී ඉඳීම ය. හරිත රේඛාවෙන් මතු නොවී සිටීම ය. සැගව සිටීම ය.

මට සිතුනේ ඊට වෙනස් ලෙස ය. කිසිවෙකුට හරිත රේඛාවෙන් මතුවන්නට හැකි නම් ඔහුගේ ඇයගේ මුවාවෙන් සෙසු අයට ද එයින් මතු විය හැකි ය. සැවොම එක වගේ නිර්භීත නැත. ඒ නිසා ම කළ යුත්තේ එසේ මතුවන නිර්භීත අයට දිරි දීම ය. නායකයින් අවශ්‍ය සැගවී සිටීමට හා පසුබැසීමට උපදෙස් දීමට නොවේ. මතුව පහර දීමට උනන්දු කර වීමට ය. මිනිසුන් තුළ ඇති හුඹස් බිය පහ කිරීමට ය.

අපට ඉන්නේ එසේ මතුවන්නට තනන උන් ද අධෛර්ය කරන නායකයින් ය. උපදේශකයින් ය. අප බිය වද්දන අපව අකර්ණම්‍ය කරන නායකයින් ය. අපේ ප්‍රශ්නය ද එය ම ය.

එය එසේ වුව ද ඔබ මෙතෙක් සිතා සිටියේ පසු බැස සැගවෙන්නට නම්, එසේ කළේ කවරෙකුගේ උපදෙස් අනුව වුව ද ඒ ගැන අවසාන විශ්ලේෂණයේ දී වගකිව යුතු වන්නේ ඒ කවරෙකුවත් නොව ඔබ ම ය. ඒ නිසා සමාජය එසේ අපට උපදෙස් දුන් නිසා කළා යැයි ගැලවෙන්නට අපට බැරි බව අප වටහා ගත යුතු ය. අප ගැන අප වගකිව යුතු ය.

ඒ නිසා, නායකයින්ට බැණ දොඩමින් කාලය ගත කිරීමේ තේරුමක් නැත. උන් ඇතැම් විට උපදෙස් දෙන්නේ උන් දන්නා තාලයට ය. උන් දන්නා පමණට ය. ඇතැම් විට මතු නොවී සැගවෙන්නට කියන්නේ මතුවුනොත් දවසක තමන්ටත් තර්ජනයක් එල්ල වෙතැයි යන බිය නිසා ද විය හැකි ය. ඒ කුමක් වුව ත් අප ඒවා අසා ඒ අනුව අපේ ජීවිත සකස් කර ගන්නේ නම් අවසන වැරදිකරුවන් වනු ඇත්තේ අප ය. ඒ නිසා මේ බියෙන් මිදෙන්නට අදිටන් කළ යුතු ය.

ඊළගට මතු වන ප්‍රශ්නය ප්‍රතිවිපාක නොබලා මතු වීම නුවණක්කාර ද යන්න ය. විය හැකි අවදානම ගැන වගේ වගක් නැතිව බෙල්ල දීම කළ යුතු ද යන්න ය.

නැත. මතු වීම ප්‍රවේසමෙන් කළ යුතු ය. පස් මහ බැලුම් බලා කළ යුතු ය. ශක්තිය වඩා ගෙන කළ යුතු ය. නිසි වෙලාව බලා කළ යුතු ය. දුර්වලකම් දැන කළ යුතු ය. මතු විය තර්ජන ගැන තක්සේරුවකින් කළ යුතු ය. එලඹෙන අවස්ථා ගැන සුපරීක්ෂාවෙන් කළ යුතු ය. අවදානම ගැන නිසි තක්සේරුවකින් කළ යුතු ය.

ඒ නිසා ම මුවා වී අකර්ණම්‍ය වීමේ ප්‍රතිපක්ෂය වන කිසි දෙයක් නොබලා ඉදිරියට පැමිණීමේ පුහු වීරත්වය ද හුඹස් බිය තරමට ම අත් හළ යුතු ය.

අප හැමට මොළයක් ලබා දී ඇත්තේ සිතන්නට ය. කිසිවෙකු හෝ දෙන උපදෙස් බාර ගැනීමට පෙර විමසන්නට ය. විමසා ක්‍රියාත්මක වීමට ය.

Advertisements