දඩුවම් දීමට විකල්පයක් තිබේ ද?


55586

ගුරුවරියක විසින් ළමයෙකුට කෘර ලෙස සැලකීම කරණ කොට වසර 2 ක සිර දඩුවමකට යටත් කළ බවත් පසු ගිය දා පළවිය. කුරුණෑගල පළාතේ සිදු වූ මේ සිද්ධියට විරෝධය පාමින් ගුරුවරු උද්ඝෝෂණයේ යෙදෙනු දක්නට ලැබුනේ ය. අදහස් පළ කළ බොහෝ ගුරුවරු කීවෙ මින්පසු තමන් ළමුන් හදන්නට, උන් හික්මවන්නට, නොයන බව ය. උන්ට ඕනෑ හැටියට හැදෙන්නට ඉඩ දෙන බව ය.

දරුවෙකු යහමගට ගැනීමට යෑම වෙනුවෙන් හිර බත් කෑමට සිදු වීම ඛේදයක් බව ඇත්ත ය. එහෙත් උසාවියක් නිකම් පැමිණිල්ලක් කළ පමණින් කෙනෙකු හිර ගෙට නියම කරන්නේ නැත. උසාවිය දෙපැත්තට ම සවන් දෙන්නට ඇත. මේ නඩුව දැන් වසර හය හතක් තිස්සේ අසා අවසානයේ තීන්දුවක් ලබා දුන් නඩුවකි. එහෙම බැලුවහම ගුරුවරියගේ පැත්තෙන් ද බරපතල අඩුපාඩු කම් තිබෙන්නට ඇත.

එසේ වුව ද අවසාන තීන්දුව ගුරුවර ගුරුවරියන් අසරණ කරන්නට ඇත. මෙතෙක් තමන්ට හුරු වී තිබුණු විනය පිහිටවීමේ මගට වැටී ඇත්තේ හරස් පොල්ලකි.  දරුවන්ට එරෙහිව හිංසනය ක්‍රියාත්මක කිරීමට නීතියෙන් අවසර තිබුනේ නැති වුව ද කිසිදු ගුරුවරයෙකු ඒ නීතිය උල්ලංඝනය කිරීමේ වරදට මෙසේ උසාවියට දක්කාගෙන ගොස් මෙහෙම දඩුවම් ලබා දුන්නේ නැත. දැන් නීතිය ක්‍රියාත්මක වී ඇත. අනාගතය කළු පැහැයෙන් ලිය වී හමාර ය.

තීන්දුවේ යම් අඩුපාඩුවක් වුනේ නම් ඉහළ උසාවියකට අභියාචනා කළ හැකි යැයි බාහිර සිට අපට කිව හැකි ය. එහෙත් ප්‍රශ්නය ගුරුවරුන්ට දැන් ඉදිරියේ දී කළ හැක්කේ කුමක් ද යන්න ය.

කරන්න තියෙන්නේ කපන්න බැරි අත ඉඹින එක ය. ඒ කියන්නේ දඩුවම් දෙන්නට බැරි නම් කළ යුත්තේ තෑගි දීම බව ය.

එය දඩුවම් දීම තරම් අප්‍රසන්න නැත. එහෙත් තිබෙන එකම ප්‍රශ්නය දඩුවම් දී ළමුන් හදන්නට පුරුදු වී කෙනෙකුට එකවර තෑගි දීමට හුරුවක් ඇති කර ගැනීම ය. තෑගි යන්නෙන් අදහස් කරන්නේ සාප්පු වලින් අරන් දෙන දේවල් නොවේ. එය ඇතැම් විට කුඩා ප්‍රශංසාවක් විය හැකි ය. අත්පොලසන් නාදයක් විය හැකි ය. කරුණාවන්ත බැල්මක්, වදනක්, විය හැකි ය.

පොඩ්ඩක් නවතින්න. අප මේ කතා කරන්නේ වැරදි කරන අය ගැන ය. වැරදි කරන අයට තෑගි දෙන සිරිතක් තිබෙන්නේ කොහේ ද? එය පණින රිලවුන්ට ඉණිමං බැඳීමක් නොවේ ද?

නැත. එය එසේ නොවන්නේ ම ය. අපට එසේ සිතෙන්නේ අප මිනිසුන් සුදු හා කළු හැටියට, හොඳ හා නරක අය හැටියට වර්ග කරන්නට පුරුදුව ඇති නිසා ය. එසේ කිරීමෙන් පසු ගනුදෙනුව පහසු ය. නරක මිනිසුන්ට ළමුන්ට දඩුවම් කළ යුතු ය. තෑගි දිය හැක්කේ හොඳ මිනිසුන්ට ය. හොඳ ලමුන්ට ය.

ප්‍රශ්නය ඇත්තේ ද එතැන ය. එහෙම පිටින් ම හොඳ හෝ නරක මිනිසුන් හෝ ළමයින් නැත. මිනිසුන් කළු හෝ සුදු නොවේ. ඔවුන් අලු පාට ය. එයින් අදහස් වන්නේ එක ම මිනිසා හෝ ළමයා තුළ මේ දෙක ම පැවතීමේ ශාක්‍යතාවයක් ඇති බව ය.

අප සොයා ගත යුත්තේ වැරදි කළ තැනැත්තාගේ හොඳ කුමක් ද යන්න ය. අප තෑගි පිරිනැමිය යුත්තේ අන්න ඒ හොඳට ය.

අප්‍රිකාවේ රටක අපූරු චාරිත්‍රයක් තිබේ. මේ බව පසුගිය මව්බිම කලාපයක තිබූ ලිපියක ද සඳහන් ව තිබුනේ ය. ඒ චාරිත්‍රයට අනුව වැරදි කරන තැනැත්තා වරිග සභාව ඉදිරියට කැඳවේ. ඔහුට එහි මැද ආසනයක වාඩි වන්නට සැලැස්වේ. ගම්මුන් වට වී මේ පුද්ගලයා, වරද කළ පුද්ගලයා, විසින් කලින් කළ හොඳ දේ මතක් කරනු ලැබේ. ඒ ගැන ඔහු / ඇය අගය කෙරේ. අවසානයේ මේ පුද්ගලයා තමන්  කළ වරද ගැන ගම්මුන්ගෙන් සමාව ගනු ලබන්නේ ඇතැම් විටක ඇඩූ කඳුලිනි. ඒ නැවත වැරැද්දක් නෙකරන බවට තමන්ට ම සපථ වෙමිනි.

මා, නිවාස සැලසුම් ගොඩනැගිලි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හැටියට වැඩ බාර ගැනීමෙන් පසු, මුල් මාසය තුළ ම, සෑම කෙනෙකු තුළම තිබූ එක් හෝ යහ ගුණයක් සොයා ගැනීමට සමත් වීමි. මාසය ඉක්මවන දා, මම මගේ අත්සනින්, සෑම කෙනෙකුටම, ඒ තැනැත්තා තුළ මා දුටු යහගුණය දක්වා, එය අගය කරමින්, එයින් ආයතනය ලබන එලිය ගැන ස්තුති පල කරමින් ලිපියක් ලබා දුනිමි. හැම දෙනාට ම පාහේ එය අපූරු අත්දැකීමක් වූයේ ය. වෘත්තීය ජිවිතයේ කිසිදාක ඔවුන්ට එවන් ලිපියක් ලැබී තිබුනේ නැත. නිවාස සහ ගොඩනැගිලි මධ්‍යස්ථානය ජයග්‍රහණයන් දෙකකට මෙහෙයවන්නට ඒ ක්‍රියාව පදනම දැමුයේ යැයි මම අදටත් විශ්වාස කරමි.

කෙනෙකුගේ වැරැද්දක් පෙන්වා දෙන හැම විටකම, ඊට ප්‍රථමයෙන්, ඔහුගේ ඇයගේ යහගුණයක් පෙන්වා දීම මම පුරුද්දක් බවට පත් කර ගත්තෙමි. හඩ උස් නොකර, කිසිවෙකුට නොබැණ, ආයතන ප්‍රධානියෙකු ලෙස ආයතන දෙකක සේවය කිරීමට මට ඒ නිසා හැකි විය. ප්‍රතිපත්තියක් හැටියට, මා කෙනෙකුගේ වැරැද්දක් පෙන්වා දුන්නේ අතිශය පෞද්ගලිකව, ඔහුට ඇයට පමණක් ඇසෙන සේ ය. හැම කෙනෙකුම මේ ආකාරයට පාලනය කළ නොහැකි බව මම පිළිගනිමි. විශේෂයෙන් මානසික රෝගයකින් පෙළෙන කෙනෙකු මේ කිසිවකට පාලනය කළ නොහැකි ය. එවැන්නන් සඳහා අප වෛද්‍ය ආධාර පැතිය යුතු ය. එවැනි අබාධයක් නැති ඕනෑම කෙනෙකු දඩුවමකින් තොරව කළමනාකරණය කළ හැකි ය.

ගුරුවරුන් හිරේ නොයා සිටින්නට පමණක් නොව, කළමනාකරුවන්ට ද අර්බුදයකින් තොරව ආයතනයක් ගෙන යෑමට ද, මේ උවදෙස් අනුගමනය කළ හැකි ය.

අප අපේ අනුගාමිකයන්ට ගරු කරනවා නම් ඔවුන් පෙරලා අපට ගරු කරනු ඇත. මුල දී එසේ නොකරන අය ද ටික කලකින් එසේ කරනවා ඇත. සිනහවකින් සංග්‍රහ කරන කෙනෙකුට, සිනහවකින් සංග්‍රහ කරනවා හැරෙන්නට, වෙන විදියක ප්‍රතිචාරයක් දැක්වීම අමාරු ය. ගරුත්වය ද එබඳු ය.

අප අපේ අනුගාමිකයන් අගය කිරිමෙන් නොනැවතී, ආයතනය තුළ සෙසු අයට ද, තමන්ගේ සගයින් හා අනුගාමිකයන් අගය කරන ලෙස උපදෙස් දිය යුතු ය. එකිනෙකාට ගරු කරන පසුබිමක විනය හදන්නට වේවැලක් අතට ගන්නට අවශ්‍ය නැත. යක් මුහුණක් ආරූඪ කර ගැනිමට අවශ්‍ය නැත. බිය වැද්දිමට අවශ්‍ය නැත.

අවශ්‍ය වනුයේ මුදිතාව ය. උපේක්ෂාව ය. සෙනෙහස ය. ආදරය ය. එයින් මෙල්ල නොවන මිනිසුන් අඩු ය. එහෙත් අප බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය අප වෙත ඒ ගුණාංග නැති වීම ය. ප්‍රශ්නය ඇත්තේ එලියේ නොව අප තුළ ය. ඒ නිසා ම අප උනන්දු වන්නේ නම්, අපට පහසුවෙන් ම, මේ අභියෝගය ජය ගත හැකි ය.

Advertisements