අනුන්ට හීලෑ වීම හා ස්වයං විනය


51277

අප බොහෝ දෙනෙකු කැමති විනයකට යටත් වෙන මිනිසුන්ට ය. පාසල දරුවන් හුරු කරන්නේ ද විනයට යටත් වීමට ය. නිල ඇඳුමේ සිට හිස කෙස් කැපීම හරහා සපත්තුවේ මෝස්තරය දක්වා හැම දෙයක් ම පාලනය කිරීම තුළ මේ විනය පිහිටුවීම ද එක් අපේක්ෂාවකි. එම නීති රීතින්ට යටත් නොවන අයට දැඩි දඩුවම් පමුණුවන්නේ ඒ නිසා ය.

ඒ නිසා ම කීකරු කම සැළකෙන්නේ වැදගත් ගුණාංගයක් හැටියට ය. එය අංක එකේ ගුණාංගය හැටියට සළකන ආයතන ද තිබේ. පොලීසිය හා හමුදාව එසේ විනය අංක එක ලෙස සළකන ආයතන ය. එයින් විනය වැදගත්ය යන පණිවුඩයට අමතර ව අපට තවත් එක පණිවුඩයක් ලැබේ. ඒ විනය සෙසු ආයතන වල ඒ පමණටම අවශ්‍ය නැති බව ය. එසේ වන්නේ විනය අවැදගත් නිසා නොවේ. විනයට වඩා වැදගත් ගුණාංග වෙනත් ආයතනවලට අවශ්‍ය නිසා ය.

නව දේ නිපදවන්නේ, නව මගක යන්නේ, නව ආකාරයකින් හිතන්නේ, හීලෑ නොවුනු මිනිසුන් ය. සම්මතයට යටත් කර ගන්නට බැරි වූ මිනිසුන් ය. ඉහළින් පනවන විනයකට යටත් කරගන්නට අමාරු අය ය. ඒ නිසා ම නවෝත්පාදනයේ යෙදෙන ආයතන වලට විනය ඉක්මවන මිනිසුන් අවශ්‍ය ය.

උදාහරණයක් ලෙස පාසලට හීලෑ වී ඉගෙන ගත් අය රැකියාවල් කරන විට පාසලකින් කට්ටි පැන්න අය ව්‍යාපාරිකයන් වී පාසලේ සිටි කීකරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැකියා දෙන තත්වයක් හොඳින් විමසන විට අපට දක්නට ලැබෙන්නේ ඒ නිසා ය. මා උගත් පාසලට, තමන් විසින් විනය කඩ කිරීමේ වරදට අස් කළ අයෙකුට, පසු කලෙක උත්සවයක් පවත්වා, පාසල් කීර්ති සම්මානයක් පුදන්නට සිදු වුනේ ද ඒ නිසා ය.

අප රටේ වැඩි දෙනෙකුගේ ආගම වන බුද්ධාගමේ ශාස්තෘවරයා සිය පියා පෙන්වා දුන් මග යෑම ප්‍රතික්ෂේප කර හොර රහසේ මාලිගයෙන් පිට ව ගියේ ය. පියාට හීලෑ වීම ප්‍රතික්ෂේප කළේ ය. සිංහල ජාතියේ ආරම්භකයා හැටියට සැළකෙන විජය ද අකීකරු පුත්‍රයෙකු බව ප්‍රකට ය. අප රට රැක්කා යැයි කියන දුටු ගැමුණු ද පියාට ස්ත්‍රී ඇඳුම් එවා පැන යමින් පියාට එරෙහිව කැරලි ගැසූ අකීකරු පුතෙකු වූයේ ය. ඒ කියන්නේ අකීකරු කම හිතන තරම් ම නරක දෙයක් නොවන බව ය.

අන් සියල්ල එක් පැත්තකත් විනය තව පැත්තකත් දමා තීරණ ගන්නට තරම් විනය ප්‍රබල නැති බව ය. කීකරු කම හැම විට ම වැදගත් නැති බව ය.

ඒ නිසා ම දරුවෙකු විනයට යටත් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් ගුරුවරයෙකු කලබල විය යුතු නැත. ගුරුවරයා පළමුවෙන් සෙවිය යුත්තේ එසේ හැසිරීම ඔහු කරන්නේ සාධාරණ කරුණු ඇතිව ද යන්න විමසීම ය. එයින් දරුවා දෙන්නට හදන පණිවුඩය කුමක් දැයි අවබෝධ කර ගැනීම ය.

සේවකයෙකු කළමනාකාරිත්වය ප්‍රශ්න කරන විට කළමනාකරුවෙකු කලබල විය යුතු නැත. ඔහු නගන ප්‍රශ්නය නිවැරදි ද යන්න කළමනාකරු විසින් සොයා බැලිය යුතු ය. වෙන අය නොදුටු පැත්තක් එම පුද්ගලයා විසින් දැක ඇත්දැයි විමසිය යුතු ය.

අනුගාමිකයෙකු අන්ධ ලෙස හීලෑ වීම ප්‍රතික්ෂේප කරන විට නායකයෙකු කලබල විය යුතු නැත. එසේ ප්‍රතික්ෂේප නොකරන්නේ කුමන පදනමකින් ද යන්න නායකයා සොයා බැලිය යුතු ය. ඒ කැරලිකරුවා කියන පණිවුඩය කුමක් දැයි විමසිය යුතු ය.

ඒ හැම කෙනෙකුම, ඒ හැම මැදිහත් වීමක් ම, අපට අප ගැන නැවත හිතන්නට, අප කරමින් තිබෙන දේ ගැන නැවත හිතන්නට, අප සිතන පතන විදිහ ගැන නැවත හිතන්නට, අප යොමු කරන්නේ ය.

ඒ සමගම අප මතක තබා ගත යුතු තව දෙයක් තිබේ. පාසලින් කට්ටි පැන්න හැම කෙනෙකුම ව්‍යාපාරිකයෙකු වී නැති බව ය. අකීකරු පුත්‍රයන් හැම කෙනෙකුම ලොවට යහපත් දේ දයාද කර නැති බව ය. එයින් අදහස් වන්නේ අකීකරු කම හැම විටම තනිව ගෙන සුගුණයක් යැයි කිව නොහැකි බව ය.

වෙන කෙනෙකුට හීලෑ වීම ප්‍රතික්ෂේප කළ ද එසේ අකීකරු වූ ශ්‍රේෂ්ඨ මිනිසුන් බොහෝ දෙනෙකුට ස්වයං විනයක් තිබුනේ ය. ස්වයං පාලනයක් තිබුනේ ය. හරි වැරැද්ද ගැන ඔවුන්ගේ ම වූ දැක්මක් තිබුනේ ය. ඒ නිසා ඔවුහු ආචාරධාර්මික ජිවිත ගත කළෝ ය.

කැරලි ගැසීම නරක නැත. එහෙත් ඒ කැරලි ගැසීම තුළ ද ඊට ආවේනික විනයක් තිබිය යුතු ය. ශික්ෂණයක් තිබිය යුතු ය. කැරලිකරුවා සතුව කැරලි ගැසීමේ ලක්ෂණය අභිබවන ශික්ෂණයක් ඔහුට හෝ ඇයට තිබිය යුතු ය. ඒ ශික්ෂණය අභ්‍යන්තරයෙන් එන්නක් විය යුතු ය.

ඔබ බිය යුත්තේ බාහිර විනයකට යටත් කරගන්නට බැරි මිනිසුන් ගැන නොවේ. අභ්‍යන්තර විනයක්, ස්වයං විනයක්, නැති මිනිසුන් ගැන ය.

ප්‍රභාකරන් හා විජේවීර යන කැරලිකරුවන් දෙදෙනාම අසමත් වූයේ ඔවුන් සතුව මේ ගුණය නොතිබූ නිසා ය. කැරලිකරුවෙකු මිය යෑම අරුමයක් නොවේ. එහෙත් ඒ සමග ඔවුන්ගේ අරමුණ මිය යෑම ගැටළුවකි. ප්‍රභාකරන් හා විජේවීර සමග ඔවුන්ගේ කැරලි ද ඒ කැරලිවලින් අපේක්ෂා කළ අරමුණු ද මිය ගියේ ය. ඒ ඔවුන්ගේ අරමුණ වූ බලය ලබා ගැනීම පිණිස ඕනෑම දෙයක් කිරිමට ඔවුන් පසුබට නොවූ නිසා ය. ඔවුන් සතුව රකින්නට කිසිදු ආචාර ධර්මයක් නොවූ නිසා ය. ස්වයං විනයක් හෝ ප්‍රමාණාත්මක ශික්ෂණයක් නොතිබූ නිසා ය.

මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) ද මහත්මා ගාන්ධි ද කැරලිකරුවෝ ය. එහෙත් ඒ දෙදෙනා තුළම කැරලිකාර ස්වභාවය අභිබවන ස්වයං විනයක් තිබුනේ ය. තමන් මුළු ජීවිතයම කැප කොට හඹා ගිය අරමුණ උදෙසා වුව, තමන් පිළිගත් අවිහිංසාව යන ආචාර ධර්මය හැර යෑම ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. ඒ නිසා ම ප්‍රභාකරන් හා විජේවීර මෙන්ම  ඒ දෙදෙනාව ද විරුද්ධ වාදීන් විසින් මරා දැමුව ද ඔවුන්ගේ අරමුණ මරා දැමීමට කිසිවෙකුටවත් බැරි වූයේ ය.

ක්‍රිස්තුත් වහන්සේ ද කැරලිකරුවෙකු ලෙස සළකා කුරුසියේ අණ ගසන ලද නමුත් උන් වහන්සේගේ ධර්මය අදටත් පවතින්නේ කැරලිගැසීම තුළ ආරක්ෂා කළ ප්‍රදර්ශනය කළ ශික්ෂණය නිසා ය. හිට්ලර් ද පෙරලිකාරයෙකි. එහෙත් ඔහු තුළ එවැන්නක් තිබුනේ නැත. ඒ නිසා ම ඔහුගේ අවසානයත් සමග ඔහුගේ අරමුණ ද මිය ගියේ ය.

හීලෑ මිනිසුන්ගෙන් ලොවට ඇත්තේ සීමිත දායකත්වයකි. අකීකරු පුත්‍රයන් ඊට ප්‍රතිපක්ෂව ලෝකය වෙනස් කිරීමට කටයුතු කර ඇත. එහෙත් ඒ අතරින් සාර්ථකත්වය ලබා ඇත්තේ ස්වයං විනයක්, ස්වයං පාලනයක්, ඇති ව කැරලි ගැසූ අය පමණ ය. ශික්ෂණයකින් තොරව ගහන කැරලි වැදගැම්මකට නැත. ඒවා බොරු කලබලයක් ඇති කොට වැඩිකල් නොයා දූරිභූත ව යන්නේ ය. සෝඩා බෝතලයක් ඇති කරන කලබලයට එහා නොයන්නේ ය.