ගැලවිජ්ජාව – මෙහෙව් රටකට පායයි ද සූර්යයා!


ගැලවිජ්ජාව අපේ ආයතනයන්ට පොදු ව්‍යාධියකි. යමක් අයිතිවන්නේ තමන්ගේ වපසරියට නොවේ යැයි කියා අත පිසදා ගැනීමට ලැබෙන්නේ නම් එතැන තිබෙන්නේ සැනසුමයයි බොහෝ දෙනා සිතන්නට පුරුදුව තිබේ.

දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයට ජපානයේ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයෙන් ආපදාවකදී  හෙද සේවා සැපයිය යුත්තේ කෙසේදැයි උගන්වන පාඨමාලාවක් පිරිනැමුනේ ය. දින දෙකකින් යුත් ඒ පාඨමාලාව ජපානයේ හෙදියන් විසින් හෙදියක් ලෙස කටයුතු කිරීමට ප‍්‍රථමයෙන් ලබා ගත යුතු අනිවාර්යය සුදුසුකමකි. අප වෙත පිරිනමනු ලැබ තිබුනේ එවැනි අත්හදා බලනු ලැබූ අතිශය වැදගත් පාඨමාලාවකි.

පාඨමාලාව පැවැත්වීම සඳහා රු 270 000 ක මුදලක් අවශ්‍ය වූයෙන් අපි අදාළ ආයතනවලට ඒ සඳහා සහය වන ලෙස දැන්වූයෙමු.

ආපදා සම්බන්ධව කටයුතු කරන ආයතනවල ප‍්‍රතිචාරය වූයේ එය ආපදා සම්බන්ධ එකක් වුව ද පුහුණු කරනු ලබන්නේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයට අයත් හෙදියන් නිසා මුදල් ලබා දිය යුත්තේ ඔවුන් බව ය.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අදහස වූයේ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයට ආයෝජනය කළ යුතු බොහෝ ව්‍යපෘති තිබෙන බැවින් ද ඒවා දැනටමත් අඳුනාගෙන ඒවා සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ද ආපදා සම්බන්ධයෙන් වෙනම ආයෝජනයක් රජය විසින් කරන බැවින් ද මේ මුදල් ලබා දීමේ වගකීම ඇත්තේ ආපදා සම්බන්ධ ආයතන ව්‍යුහයට බව ය. එසේ වුව ද පුහුණුව වැදගත් බව පිළිගත් ඔවුහු තමන්ගේ හෙද හෙදියන් ඊට සහභාගී කිරීමට කටයුතු කළහ.

දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ රජයේ ආයතනයක් වුව ද අපට භාණ්ඩාගාරයෙන් කිසිවක් ලැබෙන්නේ නැත. 2005 වසරේ සිට අපි අප උපයාගත් ආදායම්වලින් පමණක් අපේ කටයුතු කරගෙන ගියෙමු. ඒ නිසාම 270000 ක් යනු අපට විශාල මුදලකි. එහෙත් මේ පාඨමාලාවේ වැදගත්කම සළසා ඒ පාඩුව විඳගෙන අපි පාඨමාලාව සාර්ථකව අවසන් කළෙමු. ඒ තීරණය ගැනීමේ දී අප ආපදා හෝ සෞඛ්‍ය ක්ෂෙත‍්‍රයන්ට අයත් නොවන්නේය යන්න අපට බලපෑවේ නැත. අපට අවශ්‍ය වුයේ මේ වැදගත් පාඨමාලාව රටට ලබා ගැනීමට ය.

අපත් ගැලවිජ්ජාවම අනුගමනය කළේ නම් රටට වැඩදායක පාඨමාලාවක් රටට අහිමිවන්නට ඉඩ තිබුනේ ය. රට එකට කියන්නේ රට ඉදිරියෙන් එකේ අංකය ලියා ගත් බැනරයක් ආයතනය තුළ ප‍්‍රදර්ශයනය කිරීම නොවේ. රටට වාසියක් ගෙන දෙන යමක් කිරීමේදී පංගු පේරුව සොයන්නේ නැතිව රට ඉදිරියෙන් තබා කටයුතු කිරීමට ය.

මේ පාඨමාලාව අපේ එකක් යැයි ආයතන දෙකටම කියන්නට හැකිව තිබියදී එය වඩාත් අදාළ වන්නේ අනෙකාට යැයි කියා අත් පිසදා ගැනීම අපේ රටේ පවතින පොදු මානසිකත්වය මේ ආයතන දෙක තුළ ද පිළිබිඹු වීමකි. අපට මෙන් නොව මේ ආයතන දෙකටම රජයේ ආධාරවලට අමතරව විවිධ ව්‍යපෘති ආධාර ද ලැබෙන තත්වයක් යටතේ මෙය වඩාත් පුදුම උපදවන සුළු ය.

යමක් තමන්ගේ නොව අනුන්ගේ යැයි කියා ගැලවෙන්නට හැකි වන වටපිටාවක් අපට තිබේ. ඒ බොහෝ දේ එක් අයෙකුගේ විෂයපථයට ඔබ්බෙන් අනෙකාගේ විෂයපථය ද ආවරණය වන ලෙස පැතිර තිබීම නිසා ය. හරියටම අයත් වන්නේ කුමන විෂයපථයට ද යන්න වාද විවාද දෙස බැලීම මේ නිසා අතිශයින් රසවත් ය.

ශිෂ්‍යත්වයකට රට යන්නට යම් විෂයක් යටතේ අවස්ථාවක් ලැබුනහම අනුන්ගේ විෂයපථයන් වුව ද තමන්ගේ කරගන්නා අපේ රටේ තමන්ගෙන් (ඇත්තටම තමන්ගෙන් ද නොවේ. තම ආයතනයෙන් පවා) සතයක් හෝ වියදම් කරන්නට සිදුවන විට එයම අනුන්ගේ වන්නේ අතිශය පුදුම උපදවන සුළු ලෙස ය. විද්‍යාව උගත් අය පවා විද්‍යාව විභාග සමත් වීමට විනා වෙන කෙංගෙඩියකට භාවිතා නොකරන අපේ රටේ ගැලවිජ්ජාවෙන් කෙල පැමිණි අයගේ නම් අඩුවක් දකින්නට නැත.

මෙහෙව් රටකට පායයි ද සූර්යයා!