වැරදෙන එක ඇතැම් විට හොඳ ය


අප බොහෝ දෙනෙකු ලෝකය දකින්නේ සරල රේඛාවක ගමන් කරන දෙයක් ලෙස ය. අඩු වශයෙන් අප අපේ ජීවිත දෙස බලන්නට හෝ පුරුදුව ඇත්තේ ඒ අනුව ය. එවන් සිතුවිල්ලක ඉන්නා කෙනෙකුට තමන් වෙනුවට වෙන කෙනෙකු රැකියාවකට තෝරා ගැනීම හෝ තමන්ගේ රැකියාව අහිමි වීම පෙනෙනු ඇත්තේ පසුතැවිල්ලට හේතුවක් ලෙස ය. රැකියාව උදාහරණයට ගත්තා මිසක මෙය ජිවිතය පිළිබඳ බොහෝ වෙනත් දේ සම්බන්ධයෙන් ද සත්‍යය ය. තමන්ට කෙනෙකුගේ ආදරය අහිමිවීම, අධ්‍යාපනය කඩාකප්පල් විම, ඇතැම් විට අනතුරකට පත් විම පවා සමාන අවස්ථාවන් ලෙස ගත හැකි ය. එවන් පසුතැවිල්ලට හේතුවන අවාසනාවන්ත අවස්ථාවන් ලෙස ගත හැකි ය.

ඉතින් එසේ සිතන බොහෝ දෙනෙකු ඒ ගැන සිතා ලෙඩ වෙති. කෝප වෙති. තරහ ගනිති. තමන් ගැන ම අවතක්සේරු වලට එළඹෙති. ජිවිතය එකම දුකක් ලෙස දකිති. අවාසනාව එළැඹ ඇතැයි නිගමනයට පැමිණෙති. සාස්තර කරුවන්, කේන්දර කියවන්නන්, පේන කියන්නන් කරා ගොස් ඉතිරි වී ඇති සෙසු දේ ද වියදම් කරමින් තව දුරටත් අගතියට ද පත්වෙති.

එහෙත් අපේ ජිවිතය යන්නේ රේඛිය මාවතක නොවේ. ඇතැම් විට එවැනි අහිමි වීමක් තුළ සමහර විට වඩා හොඳ අවස්ථාවකට ඉඩක් තිබිය හැකි ය. වෙනත් ප්‍රයෝජනවත් යමක් ලැබීමේ ඉඩක් ඒ හරහා විවෘත විය හැකි ය. 1980 වැඩ වර්ජනය නිසා රැකියා අහිමි කරනු ලැබූ ඇතැම් අය දක්ෂ ව්‍යාපාරිකයන් බවට පත් වූ කතා බොහෝමයක් තිබෙන්නේ ය. කිසියම් හේතුවක් නිසා අධ්‍යාපනය කඩාකප්පල් කර ගත් අය දක්ෂ ව්‍යාපාරිකයන් හැටියට වර්ධනය වූ අවස්ථා ගැන කතන්දර ද බෙහෝ ය. ඒ, ඊට ප්‍රතිපක්ෂව, පසුතැවිල්ලට පත් ව සිය දිවි නසා ගත් අයගේ කතා වලට අමතරව ය.

සෑම නරක දෙයක ම හොඳක් තිබෙන අතර බොහෝ හොඳ දේ තුළ නපුරක් ද ඇත. අප පසුතැවිලි වන්නේ අපට අහිමි වූ හොඳ දේ පිළිබඳ ය. එහෙත් ඒ නිසා අපට නැති වූ නපුර බොහෝ දෙනෙකුට දැනෙන්නේ නැත. 1980 වැඩ වර්ජනය නිසා රැකියා අහිමි වූ අයට මාස්පතා ලැබූ අදායමට අමතරව විශ්‍රාම වැටුප ද අහිමි වූ බව ඇත්ත ය. එහෙත් මේ විශ්‍රාම වැටුප ඔවුන් වෙනත් වටිනා අවස්ථාවන් කරා යා නොහැකි දම්වැලක් ලෙස ඔවුන්ව බැඳ දමා තිබුනේ ය. රැකියාව අහිමි වීම තුළ ඒ දම්වැල් ද කැඩී මිනිස්සු නිදහස් ව සිටියෝ ය.

අප දකින්නේ අහිමි වූ රැකියාව පමණ ය. අහිමි වූයේ යැයි කියන රැකියාව නිසා ඇතැම් විට පවුලෙන් ඈත තැනකට යෑමට සිදු විය හැකි අවස්ථාවෙන් තමන් මග හැරුණා ද විය හැකි ය. එයින් කියවෙන්නේ තමන්ට ලැබෙන හැම ස්ථාන මාරුවක්ම අයහපතම ගෙන එන බව නොවේ. ඇතැම් අවස්ථාවක එසේ ලැබෙන මාරුවක් තුළ සහකරුවා හෝ සහකාරිය තනිවම ජිවත් වීමට ඉගෙන ගැනීමේ ඉඩක් විවෘත විය හැකි ය. දරුවන්ට ද වඩා ස්වාධීනව වැඩ කටයුතු කිරීමට ඉගෙන ගැනීමේ අවස්ථාව ඒ තුළ තිබෙන්නට ඉඩ තිබේ.

කොටින් ම මේ හැම දෙයක් තුළ ම දෙපැත්තක් තිබේ.

ඇතැම් විට අපේ කණගාටුව තිබෙන්නේ ලැබුනු නරක දේ පිළිබඳව ය. එහෙත් ඒ තුළ වෙනත් ආකාරයක යහපත් දෙයක් ද සැගව තිබිය හැකිය යන්න පසුතැවිලි වන සිතකට පෙනෙන්නේ නැත. සිදු වූ දේ ඇතැම් විට අනතුරු ඇගවීමක් ද විය හැකි ය. අපට ජිවිතයට එකතු කර ගත හැකි පාඩමක් වෙන්නට ද පිළිවන. අධික වේගයෙන් රිය පදවා පොලීසියට අසුවන කෙනෙකු දඩයකට යටත් විය හැකි ය. එය නරක ය. එහෙත් ඒ නිසා ම වේගය පාලනය කර ඉදිරියට ධාවනය කරන්නට පුළුවන. ඒ නිසා ම ඔහු වඩා දරුණු අනතුරකින් බේරිය හැකි ය.

තමන්ට වෙනස් කළ නොහැකි දේ ගැන පසුතැවිලි වෙනවා වෙනුවට කළ යුත්තේ ඒ දෙය තමන්ට ප්‍රයෝජනවත් විදිහට යොදා ගත හැක්කේ කෙසේ දැයි සිතීමට කාලය වෙන් කිරීම ය.

මෙය අදාළ වන්නේ පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් පමණක් නොවේ. ආයතන සම්බන්ධයෙන් ද එය එක සේ අදාළ ය.

මේ සම්බන්ධයෙන් අගනා කියමනක් මා කියවා තිබේ. එහි මුල් බස ඉංග්‍රීසි ය. ඒ නිසා එය ඉංග්‍රීසියෙන් පළමුව සටහන් කර දෙවනුව සිංහල පරිවර්ථනයක් සපයන්නෙමි.

God grant me the serenity to accept the things I cannot change; courage to change the things I can; and wisdom to know the difference

දෙවියනි, මට වෙනස් කළ නොහැකි දේ සන්සුන්ව පිළිගැනීමට මට උදව් කරන්න. මට වෙනස් කළ හැකි දේ වෙනස් කිරීමට මට ධෛර්යය දෙන්න. මේ දෙක වෙන් වෙන්ව හඳුනාගැනීමට මට බුද්ධිය දෙන්න.

පියවි සිහියෙන්, සන්සුන්ව, අහිමිවීමක් හෝ අසුභ යැයි සැළකෙන වෙනත් යම් දෙයක් පිළිගැනීමට යම් හුරුවක් අවශ්‍ය ය. ඒ හුරුව ද කාලයක් තිස්සේ පුරුදු පුහුණු කර ගොඩ නගා ගත හැකි ය. දෙවියන් නුදුන්නාට දෙවැන්නට අවශ්‍ය  ධෛර්යය අප බොහෝ දෙනෙකුට සොයා ගත හැකි ය. වඩාත් අමාරු අවසාන කාරණය ය. ඒ ගැන නම් මට හිතෙන විදිහට දෙවියන්ට ද උදව් කළ නොහැකි ය. ඒ නිසා දෙවියන් අයින් කර මෙයින් කියවෙන කාරණය දෙස අපට විවෘත මනසකින් බැලිය හැකි ය.

අපට කළ හැකි දේ හා නොකළ හැකි දේ ගැන තීරණයක් ගන්නට යන බොහෝ දෙනෙකු සිතන්නේ තමන්ගේ වත්මන් හැකියාව ගැන ය. තිබෙන හැකියාව වඩාත් තියුණු කර ගැනීමේ ඉඩක් ඇතැයි ඔවුන්ට දැනෙන්නේ නැත. එහෙම අමාරු මාවත් ගැන හිතන්නට පවා කැමැත්තක් බොහෝ අයට නැත. ඒ නිසා සිදුවන්නේ කළ හැකි ගොඩ අඩුව කළ නොහැකි ගොඩ වැඩි වීම ය.

ඊළගට සිදු වන්නේ තමන්ට ගොනු කළ හැකි සෙසු මිනිසුන් හා බලවේගයන් ඔවුන්ගේ දර්ශණය පථයට අසු නොවීම ය. ඒ නිසා ම බොහෝ අය, තනිවම නැතත්, සිය පිරිස සමග එක්ව කළ හැකි දේ පවා කළ නොහැකි ගොඩට දමා වගකීම් වලින් නිදහස් වෙති.

ඒ දෙකම ගැන සැළකිලිමත් වන අයට පවා මග හැරෙන තව දෙයක් තිබේ. ඒ තමන් ඉදිරියට යන විට එකතු වීමට නියමිත අමතර මිනිසුන් පිළිබඳව ය. අමතර බලවේගයන් ගැන ය. අද ඔවුන් වටා නැති, එහෙත් හෙට, ඔවුන්ගේ වැඩ දැක, ඔවුන් වටා එකතු වීමට ඉදිරිපත් වන මිනිසුන් ගැන ය.

ඒ සියල්ල දැක ගත්ත ද ඇතැම් අයට අමතක වෙන තවත් කාරණයක් ද තිබේ. හෙට ලෝකය අදට වඩා වෙනස් විය හැකි බව ය. අප ඉන්නේ ඉදිරිගාමී ගමනක නම් හෙට දවස අපට වඩා යහපත් වනු ඇති බව ය.

මේ සියල්ල දකින මිනිස්සු බොහෝ වැඩ තමන්ට කළ හැකි සේ සළකන අතර සෙසු අය කළ හැකි වැඩ පවා නොකළ හැකි දේ සළකා දෑත් පිසදා ගෙන ඉවත් වෙති. ලෝකය අයිති මුල් වර්ගයේ මිනිසුන්ට ය.

මින් මත්තට යමක් සිදු වූ විට, එය බැලූ බැල්මට නපුරක් හෝ හොඳක් යැයි පෙනී ගිය විට වුව ද, සුපුරුදු ලෙස නොව නුපුරුදු ලෙස බලන්නට ඉගෙන ගන්න. සාර්ථකත්වයේ රහස එය ය.

Advertisements