- නිශාන්ත කමලදාස
යම් ප්‍රශ්නයක් ඇති වූ විට, විශේෂයෙන් අර්බුදයක් ඇති වූ විට, අප ඊට හේතු සොයමු. ඒ අර්බුදය ජය ගත හැක්කේ හේතු හඳුනා ගත් තරමට නිසා ය. බොහෝ දෙනෙකු වැඩිපුර කැමති බාහිර හේතු දැකීමට ය. එය අපේ අහේතුවට හේතුවක් වුව ද බාහිර පාර්ශවයට ඇඟිල්ල දිගු කිරීම පිටු පස ද හේතුවක් තිබේ. ඒ වගකීම තමන්ට බාර නොගෙන වෙනත් පාර්ශවයකට පැවරිය හැකි නිසා ය. තමන්ට නිදොස් විය හැකි නිසා ය.
මේ සංවාදයට ආසන්න හේතුව මුහුණු පොතේ සටහනකි. එයින් කියවුනේ, ඒ අය අතර තිබූ උග්‍ර සුන්දර සහෝදර බැඳීම් කඩා බිඳ දැම්මේ පිටින් ආ ගැහැණියක් විසින් කියා ය. එය කියවන විට මට මතු වුණු ප්‍රශ්නය වූයේ එතරම් පහසුවෙන් තනි ගැහැණියකට කඩා බිඳ දැමිය හැකි වී නම් එය උග්‍ර විය හැක්කේ හා සුන්දර විය හැක්කේ කෙසේ ද යන්න ය.
ගෝඨාභය රාජපක්ෂ මැතිඳු ජනාධිපති ධුරයෙන් ඉවත් ව කලක් ගත වූ පසු ඒ ගැන ඔහු පොතක් ලීවේ ය. ඒ පොතට අනුව තමන් බලයෙන් පහ කරන ලද්දේ කුමන්ත්‍රණයකින් බවට කරුණු කාරණා එතුමා විසින් ගොනු කර තිබුණේ ය. ඔහු කීවේ ඒ සඳහා බාහිර මැදිහත් වීම් තිබූ බව ය.
එතුමා සඳහන් කළ බලවේග එතුමා බලයට පත් වන සමයේ ද සිටියෝ ය. එතුමා බලයට පත් වූයේ ඒ හැම බලවේගයක් ම පරාජය කරමින් ය. එදා නොතිබූ ශක්තියක් හයියක් ඒ බලවේග වලට පසු කලෙක ලැබුණේ කෙසේ දැයි අප විසින් සොයා බැලිය යුතු ය. එතුමා විසින් කෝවිඩ් වංසංගතය එයට පාදක වූ එක් සංසිද්ධියක් ලෙස දක්වා තිබුණ ද කෝවිඩ් වසංගතයට මුහුණ දුන්නේ අප පමණක් නොවේ. එහෙත් එය ආර්ථික අර්බුදයකට පෙරළා ගත්තේ අප පමණ ය. කලින් ආණ්ඩුවේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති සමාවට කාරණා ලෙස දක්වා තිබුණ ද ඔහු බලයට පත් වන්නේ ඒ පිළිබඳ අවබෝධයකින් නිසා ඒවා සමාවට කාරණා හැටියට බාර ගන්නට බැරි ය. ඊට පසු කලෙක තත්වය යහපත් අතට හැරුණේ (තවමත් මුළුමනින් නැතත්) ඒ සියල්ල තිබිය දී ය. ඒ නිසා ද මේ බාහිර හේතු ඒ ලෙස ම පිළිගන්නට බැරි ය.
සෝවියට් දේශය බිඳ වැටුණු විට ද බොහෝ දෙනා කීවේ එය ඇමරිකානුවන් විසින් මනාව සැලසුම් කර දියත් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ය. අප විසින් පෙරලා නැගිය යුතු ප්‍රශ්නය වන්නේ මනා ක්‍රමයක් රට තුළ පැවතියේ නම් කුමන්ත්‍රණයකට ඉඩක් ඇති වන්නේ කෙසේ ද කියා ය.
මෙවැනි කිසි දු බාහිර කාරණයක් සොයා ගන්නට අපොහොසත් අය ඒ සඳහා යොමු වන්නේ ග්‍රහ චාරයට ය. තමන් උපදින විට අහසේ ග්‍රහයන්ගේ සාපේක්ෂ පිහිටීමට ය. අපල ඇති වන්නේ අපල කාලයට ය. ඒ ග්‍රහ චාරයේ බලපෑම නිසා ය. අපට ඒ ගැන කළ හැකි යමක් නැත. සෙනසුරු අපලයෙන් ගැලවීමට සිතා සැඟවී සිටි ඊශ්වරයාට පවා අවසානයේ බට කොළ කන්නට සිදු වුනේ සෙනසුරු අපලයෙන් ගැලවෙන්නට කිසිවකුට බැරි නිසා ය. එසේ වෙද්දී අප මේ අපල වලින් බේරෙන්නේ කෙසේ ද? අපල විශ්වාස කරන අය පවා කියන්නේ අපල කාලයට ඔ්නෑ ම දෙයක් විය හැකි තරමට අප දුර්වල වන බව ය. අපල වලින් බේරීමට මිනිසුන් සුර පැලඳීමේ, සෙත් කවි කීමේ, සිට ශාන්ති කර්ම බලි කර්ම කිරීම දක්වා බොහෝ දේ කරතත් තමන්ගේ දුර්වලකම් මොනවා දැයි සොයා ඒවායෙන් ගැලවීමට නම් කිසිවක් කරන බවක් පෙනෙන්නට නැත. වෙනත් වචන වලින් කියන්නේ නම් මිනිසුන් බාහිර බලවේග දුර්වල කරන්නට “යමක්” කරතත් අභ්‍යන්තර දුර්වලකම් මග හැරීමට එහෙම ට යමක් කරන්නේ නැත.
මේ සියල්ල විමසන විට අපට පෙනෙන පොදු කාරණයක් තිබේ. යමක වැටීමට බාහිර මෙන් ම අභ්‍යන්තර කාරණා ද බලපා හැකි බව ය. අභ්‍යන්තර ව දුර්වල වූ විට බාහිර සාධක වලට ආක්‍රමණයට ඉඩක් ලැබෙන බව ය. එහෙත් මිනිසුන් බාහිර කාරණා උලුප්පා තමන් වගකීමෙන් නිදහස් වන බව ය.
අපේ ශරීරය සෞඛ්‍ය සම්පන්න නම් ඒ තුළ ප්‍රතිශක්තිය තිබේ නම් බාහිර රෝග කාරකයකට ඒ තුළට ඇතුළු වුව ද කළ හැකි හානිය අවම බව ය. අපේ ශරීරය දුර්වල වූ විට අතිශය දුර්වල රෝග කාරකයකට වුව අප අභිභවනය කළ හැකි ය. ඒ නිසා බාහිර බිල්ලෙක් පෙන්නා අත පිහදා ගන්නේ නැතිව අප අභ්‍යන්තර ව දුර්වල මක් නිසා ද යැයි සොයා ශක්තිමත් වීමට වැඩ කළ යුතු ය.
එයින් අදහස් කරන්නේ බාහිර සාධක නොතැකිය යුතු බව නොවේ. ඒවා අධ්‍යයනය කළ යුතු ය. ඒවායේ ශක්තීන් දුර්වලතා ගැන විමසිය යුතු ය. ඒවා පිළිබඳ සංවේදී විය යුතු ය. හැකි නම් ඒවා දුර්වල කළ යුතු ය. එහෙත් වඩාත් වැදගත් වන්නේ ඇතුළතින් ශක්තිමත් වීම ය. බොහෝ දෙනෙකු බාහිර සාධක සොයන්නේ පස්ස බිම වැටුණු විට ය. තමන්ගේ වැටීමට සමාවට කාරණා හැටියට ය. එහෙත් බාහිර කාරණා ගැන සෙවිය යුත්තේ ඒවායේ සේයාවක් දුටු විට ය. ඒවා ක්‍රියාකාරී වීමට පොරොතුව ය.
අප මෑතක දී මුහුණ දුන් ප්‍රබල සතුරෙකු වූයේ කෝවිඩ් වෛරසය ය. එයට මුහුණ දීමට අපේ ශරීර සූදානම් වී නොතිබුණේ ය. ඒ නිසා මිනිසුන් ගණනාවකට ජීවිත අහිමි විය. වැඩි මනත් ලෙස මිය ගියේ වයසක හෝ වෙනත් අයුරකින් ශරීරය දුර්වල අය ය. අප කෝවිඩ් ජය ගත්තේ ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමෙනි. ඒ සඳහා එන්නත ද මහෝපකාරී විය. කෝවිඩ් වලට අවලාද නගමින් සිටියේ නම් අපට ගැලවීමක් ලැබෙන්නේ නැත. කෝවිඩ් මැඩලීම සඳහා ග්‍රහයන් පාලනය කරන්නට තැත් කළේ නම් එයින් වන වාසියක් ද නැත. එවැනි උපක්‍රම බොහෝමයක බොල් බව ඒවා අපට නිර්දේශ කළ අය ම කෝවිඩ් වලින් මරණයට පත් වීමෙන් අපට දැක ගන්නට හැකි විය.
බාහිර බලවේගයන්ට මුහුණ දිය හැක්කේ ඔබ ශාරීරික ව මානසික ව සාමාජික ව ආර්ථික ව ශක්තිමත් වීමෙනි. ශාරීරික ශක්තිමත් වීමට නිසි විවේකය, ව්‍යායාම, සමබර ආහාර වේලක් ලබා ගැනීම හා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීම අවශ්‍ය ය. මානසික ව ශක්තිමත් වීමට ආතතියෙන් තොර ව දිවි ගෙවීම, කාල කළමනාකරණය වැනි දේ අවශ්‍ය ය. සාමාජික ව ශක්තිමත් වීමට ඔබට යාළු-මිත්‍රාදී ගෙන් දන්නා අඳුනන අයගෙන් සමන්විත සම්බන්ධතා ජාලයක් අවශ්‍ය ය. ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට ඔබට වත්කම් ද ශක්තිමත් මුල්‍ය කළමනාකරණයක් තිබීම ද අවශ්‍ය ය.
ආයතනයකට නම් ශක්තිමත් විය හැක්කේ දක්ෂ මානව සම්පත් ආකර්ෂණය කර ගැනීම, සාමූහික ව වැඩ කරන ශක්තිමත් කණ්ඩායමක් ගොඩ නගා ගැනීම, ශක්තිමත් සම්බන්ධතා (සැපයුම් හා බෙදා හැරීම සඳහා) ජාලයක් ගොඩ නගා ගැනීම, පළල් පාරිභෝගික පදනමක් ගොඩ නගා ගැනීම වැනි කරුණු වලට අවධානය යොමු කිරීමෙනි. ඒ සඳහා කළමනාකරණ දැනුම මෙන් ම මිනිසුන් අතර විශ්වාසය ඇති කරන හර පද්ධතියකින් මෙහෙයවනු ලැබීම ද අත්‍යවශ්‍ය ය.