ඉහළ මට්ටමේ කළමනාකරුවන් පහළ මට්ටමේ වැඩ නොකළ යුතු ද? ආයතනයක පහළ මට්ටමේ වැඩ කියා දේත් තිබේ ද?


වැඩ ඉහළත් නැත. පහළත් නැත. එසේ කියා මේ මැය (මාතෘකාව) නිශේධ කර දමන්නට කෙනෙකුට පුලුවන. ඒ නිසා මුලින්ම පැහැදිලි කිරීමක් අවශ්‍ය ය.

ඉහළ මට්ටමේ වැඩ කියා අප හදුන්වන්නේ ආයතනයක දැක්ම සකස් කිරීම, ප්‍රතිපත්ති සකස් කිරීම, ක්‍රමවේදයන් නිර්මාණය, ආයතන ක්‍රියාවලි සකස් කිරිම හා නැවත සකස් කිරීම, පද්ධති (systems) ඇති කිරීම යන ඉහළ කළමනාකරණයෙන් අපේක්ෂිත වැඩ ය.

පහළ මට්ටමේ වැඩ යයි කීවේ එදිනෙදා ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වැඩ ය.

ඉහළ කළමනාකරණය පහළ මට්ටමේ වැඩ නොකළ යුතු බව අප එක් සටහනකින් කීවා ඔබට මතක ඇත. එයින් ඔබ තේරුම්ගත්තේ පහළ මට්ටමේ වැඩ කිරීමෙන් ඉහළ කළමනාකරණය හෑල්ලු වන බවත් ඒ නිසා එවැනි දෑ නොකටයුතු බවත් නම් ඔබට මෙන්ම අපට ද වැරදී ඇත. අප ඒ දෙස බැලුවේ වැඩි ඵලදායීත්වයක් ලගා කර ගැනීම යන අරමුණ ඔස්සේ ය.

උදාහරණයක් ගෙන මෙය ගැඹුරට විමසමු. ආයතනය තුළ ඇවිදින කළමනාකරු කොළ කැබැල්ලක් වැටී ඇති බව දකී. ඔහු එය අහුලා කුණුකූඩයට දැමිය යුතු ද? නැතිනම් පිරිසිදු කිරීමේ අංශය කැදවා එය පෙන්වා ඔවුන් ලවා එය අයින් කිරීමට කටයුතු කළ යුතු ද? මේ දෙකින් හරි කුමක් ද?

පළමුවැන්න කළමනාකරු පිරිසිදු කම ගැන දක්වන සැළකිල්ල ප්‍රකට කරයි. ආයතනය පිරිසිදුව පවත්වාගෙන යෑමේ වගකීම හැම තරාතිරකම වගකීමක් බව ක්‍රියාවෙන් ප්‍රකාශ කරයි. ඒ සදහා තමන් ද කැපවී ඇති බව ප්‍රකට කරයි.

එහෙත් මේ සන්නිවේදනය සමග ඔහු තවත් දෙයක් ප්‍රකාශ කරයි. නියමිත අයට වගකීම පවරන්නේ නැතිව ඔවුන් වගකීම ඉටුකිරීම මගහැර ඇති බව පෙන්වා දෙන්නේ නැතිව තමන්ට නියමිත භූමිකාවෙන් බැහැරව කටයුතු කරන බව ය.

පළමු සන්නිවේදනය යහපත් අතර දෙවැන්න අයහපත් ය. දෙවැන්න මගහැර පළමුවැන්න ප්‍රදර්ශනය කළ හැක්කේ කෙසේ ද?

කොළ කෑල්ල දුටුවිට ලග පාතක පිරිසිදු කිරීමේ වගකීම සහිත නිලධාරියා සිටිනවා ද යන්න සොයා බැලීම ය. එම නිලධාරියා වෙනත් වගකීමක් දැරීම සදහා වඩා තීරණාත්මක කටයුත්තක නියැලී සිටිනවාදැයි සොයා බැලීම ය. එසේ නැතිනම් ඔහු කැදවා ඔහුට වඩා හොදින් සුපරීක්ෂණයේ යෙදෙන ලෙස කියා සිටීම ය. එහෙත් ඔහු වඩාත් තීරණාත්මක වැඩක යෙදී සිටින්නේ නම් තමාම අහුලා එවන් විටක එවැන්නකට මැදිහත්වීම හැමගේ වගකීම බව පෙන්වීම ය.

කොළ කෑල්ල තමා ඇහිදීම පහළ මට්ටමේ වැඩක යෙදීම හරි හෝ වැරදි වන්නේ එම වැඩය සිදුකරන සන්දර්භය යටතේ ය. සන්දර්භයෙන් වියුක්ත කොට ගෙන එහි හොද නරක විමසන්නට අපට නොහැකි ය. බොහෝ කළමනාකරණ පොත් පතේ ද දේශනවල ද හුවා දැක්වෙන්නේ මෙයින් එක් පැත්තකි. එවිට අහුවන්නේ එක් පැති කඩක් පමණ ය. වෙනත් සන්දර්භයක සැලකු විට ඒ උපදේසය පිහිටන්නේ නපුරට ය.

ඒ නිසා ම කළමනාකරණ උපදේශනයන් ලබාගත යුත්තේ පරිස්සම්ව ය.