ප්‍රතිපත්ති වෙනුවට මිත්‍රත්වය තෝරාගැනීම


2N4TUVgරුසියාව ශ්‍රී ලංකාවට හිතේෂී ය. එළැඹෙන මාර්තු අග ජිනීවාවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව ප්‍රමුඛ රටවල් ගෙන එන යෝජනාවේ දී රුසියාව එයට විරුද්ධව චන්දය දීමට ද නියමිත ය. ඒ නිසා රුසියාවේ මිත්‍රත්වය ශ්‍රි ලංකා ආණ්ඩුවට වැදගත් ය.

යුක්රේනයේ ආණ්ඩු පෙරලියත් සමග යුක්රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපයට ඇතුළු වුනු රුසියන් හමුදාව ඒ තුළ වෙනම රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට හෝ ඒ කොටස රුසියාවට එකතු කර ගැනීමට හෝ සූදානම් වෙයි. එයට පක්ෂව රුසියාව ගෙනෙන තර්කය වනුයේ ඒ අර්ධද්වීපයේ බහුතරයක් රුසියන් බස කතා කරන්නන් එනම් රුසියානුවන් සිටින බව ය.

මේ තර්කය යාපනය අර්ධද්වීපය සම්බන්ධයෙන් ඉන්දියාවටත් ගෙන ආ හැකි එකකි.

ශ්‍රී ලංකා ආණ්ඩුවට ඒ අනුව ක්‍රිමියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් උභතෝකෝටියකට මුහුණ දීමට සිදු වේ.

තෝරාගත යුත්තේ ප්‍රතිපත්ති ද මිත්‍රත්වය ද යන ප්‍රශ්නයට අපට මුහුණ දීමට සිදුවන බවට මෙය එක් උදාහරණයක් පමණකි. කළමනාකරුවන්ට ද මීට සමාන ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වේ. එවිට ඔහු හෝ ඇය තෝරාගත යුත්තේ කුමක් ද?

ප්‍රතිපත්තිය අත්හැර මිත්‍රත්වය තෝරාගත හොත් තමන්ට මිතුරන් කීප දෙනෙකු හැරෙන්නට කිසිවෙකු ඉතිරි නොවන්නට ඉඩ තිබේ. එවිට ප්‍රතිපත්ති නැති අවස්ථාවාදියෙකුගේ ගොඩට වැටේ. එක දවසක් කියන කතාව ඊළග දවසේ අකුලා ගන්නට එයින් සිදු වේ.

වඩාත් අසීරුතාවයට පත්වන්නේ මිතුරන් අතර ප්‍රශ්නයක දී කවරෙකුගේ පැත්ත ගත යුතු දැයි තීරණය කිරීම ය. එවන් විටෙක තමන් බොහෝ සෙයින් අසරණ වන්නට ද ඒ නිසා ඉඩ තිබේ. ඒ තුළ ඉතිරි මිතුරන් කීප දෙනෙක් ද නැති වන්නට ඉඩ තිබේ. තමන්ගේ කියා ප්‍රතිපත්තියක් නැතිවන තරමට තමන් නිරුවත් වීමට එයින් මග සැලසේ.

තමන් ප්‍රතිපත්තියක රැඳී සිටියහොත් සදාකාලික මිතුරන් නැති වුව ද (එහෙම අය සිටිය හැකි ද යන්න වෙනම ගෙන විමසිය යුතු ය) ප්‍රතිපත්තිය අගයන අයවත් තමන් සමග සිටින්නට පුලුවන.

ශ්‍රී ලංකාව වැනි රටක වඩා වැදගත් විය හැක්කේ කුමක් ද යන්න විවාදිත ය. මක්නිසාද යත් එහි සංස්කෘතිය තුළම අපේ මිනිහා පරයෙකුට වඩා වැදගත් වන නිසා ය. මෙතැන පරයෙකු යන වචනය භාවිතා කොට ඇත්තේ තමන්ගේ නොවන බව හැඳින්වීමට ය. ව්‍යවහාරයේ දී එයින් අවමානයක් හැගවෙන්නේම පරයෙකු “පරයෙකු“ ලෙසම සළකන නිසා ය. එවිට සිදු වන්නේ මිත්‍රත්වය වෙනුවෙන් ප්‍රතිපත්ති අත්හැර දැමීමට ය.

දිගු ගමනක් යන්නට කැමැත්තෙක් නම් තාවකාලික අවාසි ඇත්තේ වුව ද ප්‍රතිපත්තිම මුල් තැනේලා සැලකීම මගේ මතයේ හැටියට නිවැරදි පියවර ය.

රට වඩා ප්‍රතිපත්ති මූලික රටක් බවට පත් කළ හැක්කේ ද එවැනි අස්ථානයක බොහෝ දෙනා පිහිටන්නේ නම් ය. ආයතනය ප්‍රතිපත්ති මූලික ආයතනයක් කළ හැක්කේ කළමනාකාරිත්වය එවැනි අස්ථානයක පිහිටන්නේ නම් ය.

උඩු ගං බලා යෑම දුෂ්කර වුව ද සමහර විට එසේ නොකර යහපත් වෙනසක් ඇති කළ නොහැකි ය.