ආයතනයක් සතු මානව සම්පත් (HR) හා සබදතාජාලයේ (Network) වටිනාකම කොතෙක් ද?


ආයතනයක විවිධ ආකාරයේ සම්පත් තිබේ. ආර්ථික සම්පත් හා භෞතික සම්පත් ඒවා අතරින් ආයතනයේ ශේෂ පත්‍රයට ඇතුළත් කර තිබේ. ඒවා ආයතනය සතු වටිනාකම ගැන අදහසක් ආයතනයේ පාර්ශවකරුවන්ට ලබා දේ.

ආයතනයක් සතුව ඇති ශේෂ පත්‍රයට ඇතුළත් නොවන වඩා වටිනා සම්පත් දෙකක් ඔබට හදුන්වාදීමට මම කැමැත්තෙමි. ඒවා මක්නිසා ශේෂ පත්‍රයට ඇතුළත් කර නොමැති දැයි සෙවීම වටිනේ ය.

පළමුවැන්න ආයතනයේ මානව සම්පත ය (human resources). එහි අන්තර්ගතව ඇති අති විශාල ශාඛ්‍යතාවය ය නැතිනම් විභව යය (potential). අප දැනටමත් භාවිතයට ගෙන නොමැති කුසලතා හා දක්ෂතා ගොන්න ය.

දෙවැන්න ආයතනය සතුව ඇති සම්බන්ධතා ජාලය ය (network).

පළමුවැන්න හරහා ව්‍යාපාරික අවස්ථා ජනනය කළ හැකි අතර ආයතනයට දෙවැන්න හරහා ව්‍යාපාර අවස්ථා එක්කෝ හදුනාගන්නට හෝ නැතිනම් ප්‍රයෝජනගන්නට (විකුණන්නට) හැකි ය.

ආයතනයට ආර්ථික හෝ භෞතික සම්පත් තිබුන ද ශේෂ පතේ ප්‍රධාන තැන ඒවා විසින් ගෙන තිබුන ද සැබෑ ශේෂ පතේ අඩංගු නොවන මේ මිනිස්සුන්ගෙන් වටිනා සමන්විත සම්පත් දෙක නැතිව ඊනියා භෞතික හෝ ආර්ථික සම්පත්වලට කළහැකි මගුලක් නැත.

ඒ නිසා ම සැබෑ වටිනාකම ඇත්තේ ශේෂ පත්‍රයට මග හැරී ඇති මේ කාරණා දෙකේ ය. ශේෂ පත්‍රයට මග හැර ඇති කාරණා ඊට ඇතුළත් කිරීමට කාලය එළැඹ තිබේ. අඩු වශයෙන් ඒ පිළිබද අවබෝධයෙන් සිටීම කළමනාකරුවෙකුගේ වෘත්තීය සෞඛ්‍යයට හේතු වේ.

එවැනි අවබෝධයකින් සිටින කළමනාකරුවෙකු ඒ මිනිස් සම්පත (HR) මෙන්ම සබදතා ජාලය (network) ද දිගින් දිගට නඩත්තු කරමින් සංවර්ධනය කරමින් ඒ සම්පත වඩාත් තහවුරු කරගැනීමට ද පුළුල් කිරීමට ද පියවර ගනී. ඒ සදහා කැප වෙයි. ආයෝජනය කරයි.

දඩුවම් දීමේ ප්‍රතිපක්ෂය වන ප්‍රතිලාභ පිරිනැමීම මේ සදහා නායකයෙකු විසින් ප්‍රගුණ කළ යුතු ය. වැරදි දෙයට දඩුවම් දෙන වැරැද්දට දඩුවම් නොදෙන නායකයින් සමගම ප්‍රතිලාභ පිරිනැමීමේදී කුම්මැහිකමක් දක්වන නායකයින්ගෙන් ද අපට අඩුවක් නැත. අපගේ ආයතනවලට මෙන්ම රටට ද ඉදිරියට යා හැක්කේ ඒ අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීමෙනි.