දවසේ ප්‍රශ්නය – ඇසුරු කළ යුත්තේ කුඩා උන් ද මහ උන් ද?


හිරු නිමාවී“ යන බ්ලොග් අඩවියේ පහත සටහන මෙය ලියන්නට නිමිත්තක් විය.

ඔබට යම් අවස්ථාවකදී ඔබ වටා පිරිසක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වූ විටෙක සාමාන්‍ය කුඩා මිනිසුන්ගෙන් පටන්ගන්න. මක් නිසාදයත් ඔවුන්ද ඔබේ මට්ටමේම වන නිසාය.

බැලූ බැල්මට පහසු දේ නම් ඔය කියන එක ය. ඒත් අප කළ යුත්තේ පහසු දෙය ද?

කුඩා මිනිසුන් පිරිසක් ඔබ වටා ගොඩනැගීමෙන් වන්නේ ඔබ ද කුඩා වීම ය. ඔවුන් ඔබ ද කුඩාවට හිතන්නට යොමු කරනවා ඇත.

ඔවුන් ඔවුන්ගේ පටු දැක්මෙන් ඔබව වෙහෙසට පත් කරනවා ඇත. ඔබව අධෛර්යය කරනවා ඇත. ඔබව අකර්ණම්‍ය කරනවා ඇත.

ඒ වෙනුවට ඔබ ඔබට වඩා දැනුමෙන් පොහොසත් මිනිසුන් ඇසුරට යොමු වේ නම් ඔවුන් ඔබ දැනුමෙන් පොහොසත් කරනවා ඇත. ඔබ ඔබට වඩා පළල් දැක්මක් ඇති මිනිසුන් ඇසුරු කරනවා නම් ඔබේ දැක්ම ද ඔවුන් පුළුල් කරනවා ඇත. ඔබට වඩා අත්දැකීම් ඇති මිනිසුන් ඔබ ඇසුරු කරන්නේ නම් ඔබට ඉක්මණින් පරිණත වීමට ද පුළුවන.

අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා යයි බුදුන් කීවේ ද මේ කාරණයම ය.

රටින් බැහැරව ගොස් ඇති අය ඇසුරු කළොත් ඔබ රට ගැන තිබෙන සමහර අදහස් වෙනස් කර ගනු ඇත්තේ ය. රට තුළ පමණක් ජීවත්ව ඇති මිනිසුන් ඇසුරු කළොත් මෙවැනි පින්බිමක් ලෝකයේ කොහේවත් නැති බවට සපථ කරමින් ඉතිරි දිවිය සෙසු රටවල් හා සෙසු මිනිසුන් පරිහාසයට පත් කරමින් ඔවුන් සිය සුපුරුදු අලස භාවයෙන්ම ගෙවනු ඇත්තේ ය.

බෞද්ධාගම වෙනුවෙන් අන්ධව කැප වෙන මිනිසුන් බුදු බණ අමතක කිරීම අප රටේ අද පවතින එක් ඛේදවාචකයක් යයි මම සිතමි. මෙය බුදුදහම සම්බන්ධයෙන් පැවසුවේ වුව ද අන් ආගම් සම්බන්ධයෙන් ද මෙහි වැඩි වෙනසක් නැත. වෙනස ඇත්තේ බුද්ධාගමිකයින් වැඩි නිසා ඔවුන්ගේ හිස් සද්ද වැඩිපුර ඇසීම පමණ ය. මා මේ අදහස් කීවේ හිරු නිමාවී බ්ලොග් අඩවිය ගැන නම් නොවේ. පොදුවේ අප කාට කාටත් වී ඇති දෙයක් ගැන ය. ඕපා දුප වලින් තම බ්ලොග් පුරවන බ්ලොග් අඩවියකට වඩා මෙවැනි සංවාදයන් ආරම්භ කරන බ්ලොග් අඩවි අපේ අගැයීමට ලක් විය යුතු ය.

පණ්ඩිතයන්ව ම ඇසුරු කරමු. ඒ සදහා අවශ්‍ය ධෛර්යය ලබා ගනිමු. ඒ සදහා අවශ්‍ය කුසලතා හා ජීවන දැක්ම ද ඇති කර ගනිමු.

අප, අප ගැන පමණට වඩා කුඩාවට හිතීමෙන් බැහැර වෙමු. අප දැනට කුඩා විය හැකි ය. එහෙත් අපට ලොකු වීමේ විශාල ඉඩක් ඇති බව නිතර සිහිකරමු. ඒ සදහා වැඩ කරමු.

පණ්ඩිතයන් ඇසුරු කරනවා මෙන්ම බාලයන් ද බැහැර කළ යුතු ය. මෙයින් අදහස් කරන්නේ සියලු බාලයන් බැහැර කළ යුතු බව නොවේ. බැහැර කළ යුත්තේ බාලයන් ලෙස දිගටම ජීවත්වන්නට ඉටාගෙන ඇති බාලයන් ය.

4 thoughts on “දවසේ ප්‍රශ්නය – ඇසුරු කළ යුත්තේ කුඩා උන් ද මහ උන් ද?

  1. රැකියාව ගැනත් මම හිතන්නේ මෙහෙමයි… අත්දැකීම්, දක්ශතා අඩු අය ඉන්න තැනක ලොක්කෙක් වෙනවටත් වඩා අත්දැකිම්, දක්ශතා වැඩි අය ඉන්න තැනක සාමාන්‍යය කෙනෙක් උනත් වාසියි නේද..? ඉගෙන ගන්න දේවල් ගොඩක් ලැබෙන නිසා..?

    අද දමයි මේ බ්ලොග් එක දැක්කේ… දිගටම එමි…

    • කරුණු දැක්වීමට ස්තුතියි. රැකියාව සම්බන්ධයෙන් ද මෙය සත්‍යයක් බව ඔබ දරණ මතය සමග මම ද එකග වෙමි.

  2. හැෙමා්ම ලොකු අය ආස්සරේ කරන්න ගියොත් අපිවගේ පොඩිඅය ආස්‍රය කරන්න කවුරුත් එන්නෙ නෑනෙ…අපිට පවු එතකොට…

    • මෙයින් අදහස් කරන්නේ සියලු බාලයන් බැහැර කළ යුතු බව නොවේ. බැහැර කළ යුත්තේ බාලයන් ලෙස දිගටම ජීවත්වන්නට ඉටාගෙන ඇති බාලයන් ය.

      ඔන්න ඔහොමයි ඉහත බ්ලොග් සටහන අවසන් කළේ. ඒ කියන්නේ හැමෝටම ඉඩක් තිබෙන බව යි. ඉගෙන ගන්න සූදානම් ඒ වෙනුවෙන් තමන්ගෙ කාලය කැප කරන්න සූදානම් මිනිසුන්ට මං කියන ජාතියේ මහ උන් කැමති යි. ඒ නිසා හිත පුංචි නැත්නම් අනිත් ඒවායින් දැනට පුංචි වුනත් බැහැර වෙන එකක් නෑ.

      මං පුංචියි කියන තැනම ඉන්නව නම් විතරයි ප්‍රශ්නයක් වෙන්නෙ. එහෙම වුනොත් නම් පවුම තමයි.

Leave a reply to Beetle Cancel reply