ඊයේ අවසන් ගමන් ගිය නෙල්සන් මැන්ඩෙලා


Mandela-quote-braveryසරල අව්‍යාජ සිනහවකින් යුත් ඒ සුන්දර මිනිසා දකුණු අප්‍රිකාව වර්ණ භේදයෙන් ගලවා ගැනීමට වසර 27 ක් සිර බත් කෑවේ ය. තමන් හිර භාරයේ රදවා සිටි අයට සමාව දුන්නේ ය. තමන් හිර භාරයේ රඳවා සිටි සුදු පාලකයා වන ක්ලාර්ක් සමග එක්ව හිරේ රැඳී සිටිය දී ම සුදු කළු භේදයෙන් තොර රටකට පදනම දැමීමෙන් නොනැවතී ඔහු සමග එක්ව නොබෙල් සාම තාග්‍යය ද බෙදා ගැනීමට එක වේදිකාවකට, තම පිලේම අන්තවාදීන්ගේ විරෝධය මැද්දේ, ගොඩ වුනේ ය. සුදු කළු භේදය තමන්ගේ පැවැත්ම සඳහා භාවිතා කිරීමෙන් වැළකුණේ ය.වරදකාරිය වූ තම බිරිඳට දඩුවම් දිය යුතු බව විශ්වාස කළේ ය. ඒ අනුව කටයුතු කළේ ය. බලයේ රැදෙන්නට අවසර තිබියදී බලය අත් හැරියේ ය.

ඒ සියල්ල පරිත්‍යාගයන් ය.

වඩා වැදගත් දේ වෙනුවෙන් කරන ලද ‘කුඩා‘ පරිතාග්‍යයන් ය. ඒ ඔහුගේ කෝණයෙන් බැලූ විට ය. අපට නම් ඒවා ලොකු පරිතාග්‍යයන් ය. හිතන්නට වත් බැරි පරිතාග්‍යයන් ය.

කුඩා දෙයක් පවා පරිත්‍යාග කරන්නට අසමත් අප පුංචි මිනිසුන් වන විට ඔහු දැවැන්තයෙකු වන්නේ ඒ නිසා ය.

දෙන්නේ නැතිව ගන්නට බැරි ය. ඔහු වර්ණ භේද වාදය ජය ගත්තේ ය. ඒ සඳහා ජිවිතයේ හොදම කොටස දුන්නේ ය.

විශ්වාස කරන්නේ නැතිව දිගු කාලීන සම්බන්ධයක් ගොඩ නැගිය නොහැකි ය. ඔහු සුදු කළු සමගිය ඇති කර නව රටකට අඩිතාලම දැමී ය. ඒ සදහා හේ කල්ලන් ද ඒ පමණටම සුද්දන් ද දායක වනු ඇතැයි තරයේ විශ්වාස කළේ ය.

අනුන්ට සමාව දීමත් තමන් සම්බන්ධයෙන් දැඩි බවක් රදවා ගැනීමත් නොකර අනභිබවනය කළ නොහැකි බලවේගයක් තැනිය නොහැකි ය. ඔහු ඒ බලවේගය ගොඩ නැගුවේ ය. ඒ සදහා සුද්දන්ට සමාව දී තම බිරින්දෑට දඩුවම් දුන්නේ ය.

අතීතය තුළ එරෙන්නේ නැතිව අනාගතය දෙස බලන්නට ඔහුට තිබූ හැකියාව සාදු ගුණයෙන් තොරව ඇති කර ගැනීම අමාරු ය.

ඔහු සරල ය. සුන්දර ය. හාස්‍යයට ලැදි ය. මෛත්‍රීෙයන් යුක්ත ය.ඒ ලක්ෂණ වලින් තොරව දැවැන්ත යමක් ඇති කළ නොහැකි ය.

පාරේ ඇති කටවුට් වලට වඩා ප්‍රබල වන්නා වූ සුළගින් ගලවා ලිය නොහැකි තාර ගා විකෘති කළ නොහැකි ප්‍රතිරූපයක් මිනිස් හදවත් තුළ ගොඩ නගන්නට ඔහුට හැකි වන්නේ ඒ නිසා ය.

එක රටක මිනිසුන් නොව ලොව නන් දෙස මිනිසුන් ගේ හදවත් වලට කතා කිරීමට ඔහු ශක්තිය ලබන්නේ ඒ නිසා ය.

ඔහු වන්දනා මාන කරන අපට ඔහුගෙන් කාලක් අනුගමනය කරන්නට ශක්තිය ලැබේ නම්?

එසේ ලැබේවා යයි පතමු.

One thought on “ඊයේ අවසන් ගමන් ගිය නෙල්සන් මැන්ඩෙලා

  1. මේ වීරයෙකි. සැබෑම වීරවරයෙකි. මැන්ඩෙලා ගැන කුඩා දරුවන්ටත් තෙරෙන බසින් තබන ලද සහනකි. වීරවයන්ගේ චරිත කතා අසන්නට, කියවන්නට අපේ දරුවන් ලබන අධ්‍යාපනය තුළ ඉඩ සලසන්නේ නම්, වර්තමානයේ චරිත සංවර්ධනය අරමුණු කරගනිමින් උගන්වන සෙසු විෂයයන් සේම සමහරවිට ඊටත් වඩා ඵලදායක වනු ඇතැයි ඔබේ සටහන කිය වූ මට ඇති වූ අදහසකි. මෙවැනි සටහනක් තැබුවාට ස්තුතියි ඔබ තුමාට

Leave a comment