කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි!


සන්නිවේදනය කී පමණින් අපේ මනසට එන්නේ වචන ය. වචනවලින් තොර සන්නිවේදනයක් ඇතැයි යන්න පිළිගැනීමට පවා බොහෝ දෙනෙකුට තරමක් දුරට සිතන්නට සිදුවේ.

මෙයට එක් හේතුවක් නම් අපේ පාසල් අධ්‍යාපනය තුළ වචන සිංහාසනාරූඩ කර තිබිම ය. වචන නැති අධ්‍යාපනයක් අපට සිතා ගැනීමට බැරි ය. ගුරුවරයා කීවේ වචන ය. ලීවේ වචන ය. අපට කියන්නට කීවේ වචන ය. අපට ලියන්නට කීවේ වචන ය. විභාගයේදී පරීක්ෂාවට ගත්තේ වචන ය. වචනවලින් තොර යමක් පාසැලේ තිබුනේ නම් අප ඒවාට කීවේ බාහිර ක්‍රියාකාරකම් කියා ය. ඒවා අධ්‍යාපනයේ ප්‍රධාන ධාරාවට සම්බන්ධ වූයේ නැත. ඒවා භාවිත වුනේ අධ්‍යාපනය සදහා නොවේ. පාසැලේ නම බැබලවීම සදහා ය.

දෙමාපියන් පවා ආදර්ශයට වඩා උතුම් කොට සැළකුවේ අවවාද ය. ඒ තුළ තිබුනේ වචන ය. තමන් ද සැක කළ විශ්වාස නොකළ වචන ය.

පන්සලේ හාමුදුරුවන් බෞද්ධයන් යහමග යවන්නට තැත් කළේ බණ කීමෙනි. ඒ ද වචන හරහා ය. පන්සිල් රැකීමට වඩා පන්සිල් ගැනීම උතුම් විය. පන්සිල් රැකීම ක්‍රියාවක් වන විට පන්සිල් ගැනීම වචන උච්චාරණයක් විය. ලතාවකට පන්සිල් කීවේ නම් බොහෝ දෙනෙකුට එය සෑහුනේ ය. බෞද්ධයෙක් වීම සදහා තිසරණ සහිත පන්සිල් සමාදම් වීම සෑහුනේ ය. බුදුන් සරණ යනවා යයි පොරොන්දු වුනු බෞද්ධයෙකුට ඊලග මොහොතේ පල්ලියට ගල් ගැසීමට අත ඔසවන්නට හිරිකිතයක් නැතිවුනේ ඒ නිසා ය. දාන ගෙදරක මත්පැන් කට ගා ගත් අය සුරාමේරය මජ්ජපමා කීමට හරිබරි ගැසුනේ ඒ නිසා ය.

දෙවියන්ට යාඥා කිරීමෙන් කිතුණුවෝ ද සැනසුනෝ ය. දෙවියන් හා එක්විය හැක්කේ තමන්ගේ ක්‍රියාවෙන් බව පෙන්වූ ජේසුස්ගේ ජීවිත ආදර්ශය බොහෝ කිතුණුවෝඅමතක කළෝය. ඔවුන් දෙවියන් හා එක්වුනේ වචනයෙන් පමණ ය. ඒ ගීථිකා කට පාඩමෙන් කීම හරහා ය.

ක්‍රියාවෙන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී නොවුනත් අපේ රට නාමයෙන් එනම් වචනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්ම වූයේ ය.

දේශපාලනඥයන් පවා අපට සංග්‍රහ කළේ වචනයෙනි. දේශපාලන වේදිකාවේ දී පමණක් නොව මැතිවරණ සමයේ වර්ණවත් පෝස්ටර්වල ද ප්‍රකාශනවල ද තිබුනේ වචන ය. ඒවායේ ශබ්ද රසයට වැඩි යමක් නොතිබුනේ ය.

වේදිකාවේ පමණක් නොව රිදී තිරයේ ද නළුවන් අඩුවෙන්ම කළේ රග පෑම ය. වැඩිපුර කළේ දෙබස් කීම ය.

ආයතන ඇතුළේ දී ඇතැම් ආයතන ප්‍රධානීන් ද වැඩිපුර කැමති සිය කාර්ය මණ්ඩලයට දේශනා පැවැත්වීමට ය. එහෙත් අවාසනාවකට මේ රැස්වීම්වල ආයතන ප්‍රධානීන් දෙසන බණ බොහෝ විටක අවකාශයට අධෝවාතයකින් තරම්වත් ප්‍රයෝජනයක් එකතු කරන්නේ නැත. එයට හේතුව ආයතනයේ කාර්ය මණ්ඩලය වෙන කවරෙකුටත් වඩා හොදින් කතාව පිටුපස ඇති ප්‍රධානියාගේ ක්‍රියාව ගැන අවබෝධයකින් සිටින නිසා ය.

වචන ලාභ ය. වචනවලට ඒ නිසා පහසුවෙන් බොරුවේ ස්වරූපය ගත හැකි ය. වරක් වචනයට රැවටුන මිනිසෙක් නැවත ඒ වචනම ඒ කියන්නාගේ මුවින් පිටවෙන කල විශ්වාස කරන්නේ නැත. බුද්ධිමත් මිනිසෙක් ක්‍රියාවෙන් සනාථ වන තුරු කවරෙකුගේ වුව කිසිදු වචනයක් විශ්වාස කරන්නේ නැත.

ඒ නිසා වඩාත් වැදගත් වන්නේ අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කර ඒ හරහා මිනිසුන් ඒත්තු ගැන්වීම ය. බොරුවෙන් තොර රටක් ගොඩ නැගිය හැක්කේ ක්‍රියාවෙන් සන්නිවේදනයේ යෙදීම හරහා ය. අප ආයතන තුළ ගොඩ නැගිය යුත්තේ ක්‍රියාවෙන් කෙරෙන සන්නිවේදනය අගයන සංස්කෘතියකි.

සන්නිවේදනයේ දී වචනවලට ඇති භූමිකාව අවතක්සේරු කිරීමක් මෙයින් අපේක්ෂා නොකෙරේ. යමක් අපට පැහැදිලි කළ හැක්කේ වචන හරහා ය. මේ බ්ලොග් සටහන ලිවීමේදී ද මා භාවිතා කළේ වචන ය.

ඒත් යමක් ඒත්තු ගැන්වීමට නම් ඒ වචන ක්‍රියාවට නැගිය යුතු ය. වචනය ආරම්භයකට හොද ය. එහෙත් එයින් අවසානය ලගා කර ගත නොහැකි ය. එය කළ හැක්කේ ක්‍රියාවකිනි.

Advertisements

කළමනාකරණ බණ


මේ රටේ තරම් බණ අහන මිනිසුන් ඉන්නා රටක් නැත. හාමුදුරුවන් දෙසන බණට අමතරව කළමනාකරුවන්ගේ බණට ද සවන් දීමට ආයතනවල සේවකයින්ට සිදුව තිබේ.

බණ කොතෙක් කීව ද කියන අය මිස පිළිපදින අය අඩු ය.

ඒ නිසාම කළමනාකරුවන් බණ කියන්නට උත්සහ නොකළ යුතු ය. ඒ වෙනුවට හරි දේ කරන මිනිසුන්ට හැමටම පෙනෙන සේ ප්‍රතිලාභ දීමත් වැරදි දේ කරන අයට මුලින් රහසේ කරන අවවාද වලින් පටන් ගෙන අනතුරු ඇගවීම් හරහා ගොස් අවසානයේ ප්‍රසිද්ධියේ දඩුවම් කිරීමත් කළ යුතු ය.

හරි වැරැද්ද මේ යැයි දක්වනවාට වඩා හරි දේට ප්‍රතිලාභ දීමත් වැරදි දේට දඩුවම් දීමත් හරි වැරදි තේරුම් බේරුම් කර ගැනීමට මිනිසුන්ට උදව් වෙයි.

එහෙත් අවාසනාවකට සිදුවන්නේ හරි දේ මේ යැයි ප්‍රකාශ කරන උදවියම ඒ හරි දේ කරන උදවියට අනුබලයක් නොදීම ය. අනුග්‍රහයක් නොදැක්වීම ය. අගය කිරීමක් නොකිරීම ය. ඒ වෙනුවට සමහර විටක ඔවුන්ට හරහට හිටීම ය. වෙනත් ආකාරයකින් පොලු දමා අධෛර්යයට පත් කිරීම ය.

වැරදි දේ කරන අයට දඩුවම් දීමට මැලිවීම ය. ලෝකෙට පේන්න බැණ අඩ ගසා එහෙත් දඩුවම් නොකර නිහඩ වීම ය.

කාර්යය මණ්ඩල රැස්වීමේ දී තමන්ගේ වැඩ කටයුතු සාර්ථක කරගැනීමට අතහිත දුන් තමන්ට අලුත් අදහස් ලබා දුන් ආයතනයේ අභිවෘද්ධියට දායකත්වයක් ලබා දුන් මිනිසුන් අගය කරන්නේ නම් කණ්ඩායම් හැගීම ඇති කරනු වස් බණ කිරීමට කළමනාකරුට සිදු නොවේ. ආයතනයේ වැඩි දියුණුවට අදහස් පළ කළ කෙනෙකුගේ අදහසක් අවඥාවට ලක්කරන කළමනාකරුවෙකු දිනකට පැය තුන බැගින් බණ කිව්වේ වුව ද කණ්ඩායම් හැගීම නම් ඔහුට බිහි කළ නොහැක්කේ ය.

වචනයට වඩා ක්‍රියාව සන්නිවේදනයේ දී ප්‍රබල ය. අවවාදයට වඩා ආදර්ශය උතුම් යයි කියන්නේ ද ඒ නිසාම ය. කළමනාකරණ භූමිකා රගන උදවිය කියන බණ අසන විට වචනයට වඩා ක්‍රියාවේ වැදගත්කම ද අවවාදයට වඩා ආදර්ශයේ උතුම් බව ද බොහෝ විට අප අසා ඇතත් නැවත නැවතත් මතු කර දැක්විය යුතු යැයි සිතුනි. ඒ ඇගිල්ලෙන් ඇන තමන් දක්වා කිවුවොත් මිස යමක් තමන්ට ආදේශ කර ගන්නට බොහෝ දෙනා අසමත් බැවිනි.