පහළ අය ලවා ඉහළ අය අගැයීම- 360 අගැයීම – ලංකාවේ පුළුවන් ද?


මිනුමක් හෝ අඩු වශයෙන් වෙනත් ආකාරයක අගැයීමක් හෝ නැත්නම් යමක් පවතින්නේ නැතැයි කියමනක් තිබේ. උදාහරණයකින් කතා කරන්නේ නම් උෂ්ණත්වය මැනිය නොහැකි නම්, එයට යම් අයුරකින් අගයක් දිය නොහැකි නම්, උෂ්ණත්වය යනුවෙන් යමක් නොපවතින බව එයින් අදහස් කෙරේ.

කාර්යය සාධනය මනින්නේ නැත්නම් එය අගයන්නේ නැත්නම් කාර්යය සාධනයක් පවතින්නේ නැත. කාර්යය සාධනය මනින්නේ නැති, එයට අගයක් නැති, තැන්වල අකාර්යක්ෂමතාවය රජයන්නේ එහෙමට කාර්යය සාධනයක් එවැනි තැන්වල සිදු නොවන බැවිනි.

පෙබරවාරි 7 දා අප ආයතනයේ (දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ) පැවති වීඩියෝ සම්මන්ත්‍රණයක දී දකුණු කොරියාවේ හිටපු අධ්‍යාපන ඇමති මහාචාර්ය ලී කියා සිටියේ ගුරුවරුන්ගේ කාර්යය සාධනය අගයන්නට නව ක්‍රමයක් කොරියාව විසින් දැනට දශකයකට පෙර හඳුන්වා දුන් බවත් එයින් පසු කාර්යය සාධනයේ විශාල ප්‍රගතියක් දක්නට ලැබුණු බවත් ය. එයින් පෙනී යන්නේ ද කාර්යය සාධනය ඇතිවීමට නම් එය මැනිය යුතු බව ය. එයට අගයක් ලැබිය යුතු බව ය. අඩු වශයෙන් අගය කළ යුතු බව ය.

ගුරුවරුන්ගේ කාර්යය සාධනය මැනීමට කොරියාව විසින් හඳුන්වා දුන් එම ක්‍රමය අනුව කාර්යය සාධනය මැනීමට එම ගුරුවරයා උගන්වන සිසුහු, ඔවුන්ගේ දෙමාපියෝ හා අනිකුත් ගුරුවරු ද හවුල් වෙති.

ප්‍රශ්නයේ ඇත්තේ මැනීමේ නොව මිම්මේ ය. මෙයට ගුරුවරු කී දෙනෙකුගේ අනුමැතිය ලැබේ ද? ලංකාවේ එවැන්නක් පැවැත්වීමට පුළුවන් වෙයි ද? සාකච්ඡාවේ දී මතු වුණු මුල්ම ප්‍රශ්නය එයයි. ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් දේශකයාට ඉදිරිපත් විය.

1. මේ සම්බන්ධයෙන් ගුරුවරුන්ගේ විරුද්ධත්වයක් ඇති වූයේ නැද්ද?
2. එසේ වී නම් විරුද්ධත්වයේ පදනම කුමක් විණි ද?
3. එය ජය ගත්තේ කෙසේ ද?

උත්තර මෙසේ ය.
1. ඒ සඳහා විශාල විරුද්ධත්වයක් ඇති විය
2. හයේ පන්තියේ කුඩා දරුවන්ට එවැනි අගැයීමක් කළ හැකි ද වැනි ප්‍රශ්න ඉදිරිපත් විය
3. කාර්යය සාධන අගැයීම ගුරුවරුන්ගේ වැටුප් හෝ උසස්වීම් නිර්ණය කිරීමේ දී සාධකයක් ලෙස නොගන්නා බවට සහතික වීමෙන් විරුද්ධත්වය මෙල්ල කර ගත හැකි විය

ඒ උත්තර තුන දුන් පසු හිටපු අධ්‍යාපන ඇමතිවරයා කීවේ හයේ පන්තියේ ළමුන්ගේ අගැයීම සහෝදර ගුරු මණ්ඩලේ අගැයීමට බොහෝ සෙයින් සමාන වූ අතර වැටුප් සමග සම්බන්ධ නොවුව ද ඒ අගැයීම ගුරුවරුන්ට සංවේදී වීමට විශාල පෙළඹවීමක් ඇති කළ බව ය.

පාසලේ දී පමණක් නොව සරසවියේ ද වැඩ පොළ හා කාර්යාල වල ද මේ ක්‍රමය අත්හදා බැලීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත හැකි බව මා වැඩ කළ ආයතනවල එවැනි ක්‍රම අත්හදා බැලීම් වලින්ම මම දනිමි.

එය ඕනෑම රටක ඕනෑම ආයතනයක කළ හැකි ය. අවශ්‍ය වන්නේ අභියෝග ජය ගැනීමට අවශ්‍ය ධෛර්යය හා බිය නැතිකමත්, නායකයෙකු හැටියට අනිත් බොහෝ ආකාරයෙන් මිනිසුන් අතර පිළිගැනීමක් තිබීමත් පමණි.

Advertisements

මේ ආණ්ඩුව කළු ද සුදු ද? වැලිවේරිය සිද්ධිය හරහා කළමනාකරණ ඇසකින් විමසුමට


අප ගිය වර සටහනෙන් ඇසුවේ මොකද මං කළු ද? කියන ප්‍රශ්නයයි. මේ ලිපිය කියවූ මගේ මිතුරෙක් ප්‍රශ්න කළේ ආණ්ඩුවක් සම්බන්ධයෙන් කළු සුදු ප්‍රශ්නය කෙසේ විග්‍රහ කර ගත යුතු ද යන්න ය. අප අතර වූ සංවාදය කළු සුදු කතිකාවට නව මානයක් එකතු කළ හැකි යැයි පෙනී ගිය බැවින් මෙසේ හකුළුවා දැක්වීමට කැමැත්තෙමි.

මැතිවරණයක දී ආණ්ඩුවක කැරැට්ටුව විමසන කෙනෙකුට පැහැදිලි තීන්දුවක් ගන්නට සිදු වෙයි. චන්දය ආණ්ඩුවට පක්ෂව පාවිච්චි කරනවා ද නැත් ද යන්න ය. එහි දී කළු සුදු හැටියට ආණ්ඩුව වර්ගීකරණයකට ලක් කළ යුතු ය. කළු නම් විරුද්ධවත් සුදු නම් පක්ෂවත් චන්දය දිය හැකි බැවිනි.

එහෙත් මැතිවරණ තීන්දුවක් ගැනීමට නැති වකවානුවක දී අප කළ යුත්තේ ආණ්ඩුව කළු ද සුදු දැයි පිරික්සීම නොවේ. ආණ්ඩුවේ කුමන වැඩ කළු ද කුමන වැඩ සුදු දැයි විමසීම ය. කළු වැඩ වලට අපේ විරුද්ධත්වයත් සුදු වැඩ වලට අපේ කැමැත්තත් අප ආණ්ඩුවට පළ කළ යුතු ය.

තවත් විදියකට කියන්නේ නම් මැතිවරණයක දී ආණ්ඩුව දිගටම පවත්වා ගත යුතු ද යන්න ගැන තීරණයකට බසිද්දී අප මේ ප්‍රශ්නයට පිවිසිය යුත්තේ එන්න එන්නම කළු වැඩි වී සුදු අඩුවනවා ද නැතිනම් සුදු වැඩි වී කළු අඩුවනවා ද යන්න මුල් කර ගෙන ය. රට යන අත පිරික්සා බලා ය. මැතිවරණ කාලයට එන ඡන්ද ගුණ්ඩු මෙහිදී නොසළකා හැරිය යුතු ය.

සාමාන්‍ය කාල වකවානුවකදී වැදගත් වන්නේ කරන වැඩ කළු ද සුදු ද යන්න පිළිබද විග්‍රහයක යෙදීම නිසා එවිට වඩාත් වැදගත් වන්නේ ඒ ඒ සිද්ධිය සම්බන්ධයෙන් අපේ අවධානය වෙන වෙනම යොමු කිරීමට ය. ඒ ඒ සිද්ධියේදී ආණ්ඩුවේ හැසිරීම තුළ ප්‍රදර්ශයන වූ කළු හා සුදු වෙන වෙනම හැදින ගැනීම ය. සුදු අනුමත කොට කළු හෙලා දැකීම ය. එයින් පවතින ආණ්ඩුවට පමණක් නොව පත්වීමට නියමිත ආණ්ඩුවකට ද යම් වැදගත් පණිවුඩයක් යැවිය හැකි ය.

උදාහරණයක් ලෙස වැලිවේරිය සිද්ධිය ගනිමු.

ප්‍රධාන මාර්ගයක් දිග කාලයක් වසා තැබීමට ඉඩ දීමට ආණ්ඩුවකට බැරි ය. එහෙත් එවන් තත්වයකට යම් උද්ඝෝෂණයක් වර්ධනය වන්නේ ආණ්ඩුවේම වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස නම් එහි දී ආණ්ඩුව එහි වගකීම බාර ගත යුතු ය.

එවැනි කලබලකාී තත්වයකදී ආණ්ඩුවකට හැසිරිය හැකි නීත්‍යානූකූල පටිපාටියක් තිබේ. එසේ නොකර ආණ්ඩුව වෛරයෙන් යුතු ව මේ උද්ඝෝෂණයට වෙඩි තැබුවේ නම් එහි වගකීම ද ආණ්ඩුව බාර ගත යුතු ය.

අවම බලය භාවිතාකිරීමක් වෙනුවට මෙහිදී සිදුව ඇත්තේ උපරිම බලය භාවිතා කිරීමකි. එයින් ආණ්ඩුව දෙන පණිවුඩය සාමකාමී උද්ඝෝෂණයක් පවා තමන් යටපත් කිරීමට සූදානම් බව ය. පල්ලියක් ඇතුළට ගාල්වී ඇති නිරායුධ මිනිසුන් හා පාසල් දරුවන්ට අම්බානකට තැලීමට වෙන හේතුවක් හොයා ගැනීමට බැරි ය. එය කළු ය. මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසදුම් නොදී ඔවුන් ආණ්ඩු මට්ටු කිරීමට යාම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට නොහොබී. ආණ්ඩුවේ අනුදැනුමෙන් බාහිරව මේ සියල්ල සිදුවී නම් ඒ කළ අයට නොපමාව දඩුවම් දිය යුතු ය. එසේ සිදු නොවන කල මේ සියල්ල ආණ්ඩුවේ ගිණුමට බැර වීම නැවැත්විය නොහැකි ය.

ඒ නිසාම ආණ්ඩුවෙ මේ කළු හැසිරීම පිළිකුළෙන් හෙලා දැකිය යුතු ය. ඒ සදහා ආණ්ඩුව දේශප්‍රේමී ද නැත් ද යන්න හෝ ආණ්ඩුව අතීතයේ සුදු වැඩ කර ඇතැයි යන්න අදාළ වන්නේ නැත.

දිගින් දිගටම ප්‍රදර්ශනය කරන විට ඒ හැසිරීමෙන් වන්නේ ආණ්ඩුව වඩ වඩාත් කළු පාටට පෙනීමත් සුදක් තිබුනේ නම් ඒ සියල්ල සැගවී යාමත් ය. රට යන අත කළු බව පෙනී යාම ය. ඒ නිසා ආණ්ඩුව රැක ගන්නට වුවමනා අය අනිත් අයට ද වඩා ඉදිරියට ගොස් මේ නැඹුරුවට විරුද්ධ විය යුතු ය.

මේ නීතිවිරෝධී ප්‍රජාතන්ත්‍රවිරෝධී හැසිරීමට වගකිව යුතු අය අල්ලා දඩුවම් කිරීමෙන් ආණ්ඩුවේ දේශපාලන නායකත්වයට මේ කළු පාට ලේබලයෙන් නිදහස් විය හැකි ය.

ඒ නිසාම ආණ්ඩු විරෝධීන්ට ද වඩා ආණ්ඩුව රැක ගැනීමට කැමති අය මේ විරුද්ධව උද්ඝෝෂණයේ පෙරමුණේ සිටිය යුතු ය. විරෝධය ඇතුළතින් පැන නොනැගීමෙන් සිදුවන්නේ විරෝධයේ ධජය එලියෙන් එසවීම ය.

සාමාන්‍ය කාලවකවානුවකදී ආණ්ඩුවේ කළු වැඩවලට විරෝධය නොපෑමෙන් සිදුවන්නේ ආණ්ඩුව දිගින් දිගට කළු වැඩ කිරීමට ඉදිරිපත් වීමත් අඩු වශයෙන් කළු වැඩ කරන්නන්ට දඩුවම් දීමට උත්සුක නොවීමත් ඒ නිසාම ආණ්ඩුව වඩ වඩා කළුවට පෙනීමත් ය.

එවිට සිදුවිය හැක්කේ මැතිවරණ කාලයකදී ආණ්ඩුවට කළුවටම පෙනී දූරි භූත වී යෑම ය.

අපට අවශ්‍ය වූයේ ආණ්ඩුවේ හැසිරීම ගැන විනිෂ්චයකට බැසීමකට වඩා සුදු කළු සංවාදයට මෙයින් නව මානයක් එක් කිරීමට ය. ඒ සදහා වැලිවේරිය සිද්ධිය අප උපයෝගී කරගත්තා පමණකි.

මීට සමාන තත්වයක් අප කාන්තාවක් පිළිබද විනිෂ්චයකට බැසීමේ දී ද ඇති විය හැකි ය. අප කසාද බැදීමකට කාන්තාවක් තෝරාගැනීමේ දී අපට කළු සුදු වර්ගීකරණයකට යෑමට සිදු වේ. එහෙත් කාන්තාවක සම්බන්ධයෙන් කරන වෙනත් විවරණයක දී කළු හෝ සුදු හැටියට ඇය වර්ග කරනවාට වඩා වැදගත් වන්නේ ඇගේ ක්‍රියා කළු සුදු හැටියට වර්ග කිරීම ය. අප එසේ කරන්නේ නම් ආණ්ඩුවක් හදා ගැනීමට වගේ ම කාන්තාව හදා ගැනීමටත් අපට හැකි වන්නේ ය. තමන් තෝරා ගත් බිරිද හෝ ස්වාමියා සම්බන්ධයෙන් අප අනුගමනය කළ යුත්තේ ඒ දෙවැනි පටිපාටියයි. ක්‍රියා දෙස බලා ඒවා වර්ග කිරීම යි.

අවශ්‍ය වන්නේ කළු ක්‍රියා කරන්නට ඉඩ දී බලා සිට කළු ලේබලයක් ඇලවීම නොවේ. කළු ක්‍රියා කළු හැටියට දැක, හැකි නම් ඒවා අවම කර ගැනීම හරහා, කළු විය හැකි කෙනෙක් සුදු කරවා ගැනීම ය.

විවාහය සදහා කෙනෙකු තෝරා ගැනීමේදී මෙන්ම රැකියාවකට කෙනෙකු තෝරාගැනීමේ දී ද මීට සමාන පටිපාටියක් අපට අනුගමනය කළ හැකි ය.  තෝරාගැනීමේ දී අප පුද්ගලයා සුදු කළු හැටියට වර්ග කළේ වුව ද ඔහුම අපේ ආයතනයේ සේවකයෙක් බවට පත්වීමෙන් අනතුරුව වර්ගීකරණය පුද්ගලයා කෙරෙහි නොව ඔහු කරන වැඩ කෙරෙහි එල්ල කළ හැකි ය. අපේ ඉලක්කය ඔහු එලවීම නොව ඔහු හදා ගැනීම නිසා ය.

එසේ නොකරතොත් සිදුවන්නේ අපට අන්තිමේ ඔහු කළු හැටියට ලේබල් අලවා එලවා දැමීමට ය. අප මේ සම්බන්ධයෙන් නිවැරදි අස්ථානයක නොසිටින්නේ නම් ආණ්ඩුවකට මෙන්ම අපේ බිරිද හෝ සැමියාට ද කිරීමට අවසානයේ ඉතිරිවන්නේ සේවකයෙකුට මෙන්ම එලවා දැමීමට ලක්වීමට ය.