මහානාම පාලමට දැලක්! ඔලුවට ඉස කුඩිච්චියක්!


තම දරුවන් දෙදෙනා පාලම උඩින් ගඟට දැමූ පියෙක් නිසා ඒ පාලම උඩින් දැලක් දමන්නට කට්ටිය සැළසුම් කරන බවක් පහුගිය දිනක ගුවන්විදුලියෙන් අසන්නට ලැබුණේ ය. මේ අපූරු තීරණය පිටුපස ඇති තර්කය අපූරු ය. ගගට දමන්නට පුලුවන් වූයේ දැලක් නොතිබුනු නිසා ය. දැන් නම් කිසිම තාත්තා කෙනෙකුට දරුවෙක් ගඟට දමන්නට බැරි වනු ඇත්තේ ය. ඒත් පුංචි ප්‍රශ්නයකට ඇත්තේ මහානාම පාලම ඇරුණු කොට ලංකාවේ තව බොහෝ පාලම් ද තිබීම ය.

මේ කතාව ඇසූ විට මට මතක් වූයේ මීට වසර ගණනාවකට උඩ දී කොළඹ නාලන්දා විද්‍යාලයේ සිදු වූ මීට සමාන සිද්ධියකි. අත් දිග කමිස වැලමිටට උඩින් සිටින සේ නමා ගෙන ඇදීම එකල සිසුන් අතර පුරුද්කක්ව පැවතුනේ ය. එසේ නමා ගත් එක් කමිස අතක ශිෂ්‍යයෙකු මත්කුඩු හංගාගෙන පාසල තුළට ගෙනාවේ ය. එය දැනගත් පසු පාසල තුළ අලුත් නීතියක් ඇති විය. ඒ අත්දිග කමිස තහනම් කිරීම ය. තර්කය මෙසේ ය. කුඩු ගේන්නට පුලුවන් වූයේ අත් දිග කමිස නැවීමට අවසර නිසා ය. දැන්නම් කිසිදු සිසුවෙකු කුඩු ගේන එකක් නැත. පුංචි ප්‍රශ්නයකට ඇත්තේ ඔවුන් කලිසමට යටින් තව එකක් (ලන්කට් එකක්) අඳින එක ය. ඒකත් නෑඳ එන්න කියන්න පුලුවන් නම් වැඩේ ෆූල් ප්රෑෆ් ය. නාලන්දා විද්‍යාලය කියන්නේ සුළුපටු පාසලක් ද නොවේ. නම ලිව්වේ පාසල අපකීර්තියට ලක් කරන්නට නොවේ. වැරදි වෙන්නේ ගොඩක් ලොකු තැන්වල බව කියන්න ය.

වැල නොකැඩී මෙවැනි කතා රාශියක් මගේ මතකයට එයි.

රජයේ සේවකයන් පෝය දිනටවත් පංසල් නොයන නිසා අප රටේ සිටි එක් පළාත් ආණ්ඩුකාරවරයෙක් අමුතුම නීතියක් ගෙනාවේ ය. ඒ පංසල් වල පැමිණීමේ නාම ලේඛනයක් පවත්වා ගෙන යෑම ය. තර්කය මෙසේ ය. රජයේ සේවකයින් පෝය දින පන්සල් නොයනුයේ පාසලේ මෙන් පැමිණීමේ ලේඛනයක් පංසල්වල නැති නිසා ය. පාසලත් පංසලත් අතර ඇත්තේ ඇලපිල්ලකත් බිංදුවකුත් අතර වෙනස පමණ ය.

පැමිණීම ලකුණු කිරීම නිසා ඔවුන් පාසලට ගියාක් මෙන් දැන් පංසලට ද යනු ඇත. පංසල ඇතුළේ සූදු පොළක් බාර් එකක් බියර් ෂොප් එකක් හා ගණිකා මඩමක් දැම්මේ නම් ඒත් සෙනග ගෙන්වා ගත හැකි යයි නොසිතීම එක් අතකින් වාසනාවක් ලෙස අප සැළකිය යුතු ය.

මේ ළගදී අපේ කතානායකතුමාට තරහ ගියේ ය. ඒ සාධාරණ හේතුවක් නිසා ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නගන ප්‍රශ්නවලට උත්තර දෙන්නට ඇමතිවරු නැති නිසා ය. එතුමා කීවේ දිගින් දිගට මෙසේ සිදුවන්නේ නම් තමන් මේ ආසනයෙන් බැස යන බව ය. මේ අයට තරවටු කරන්නට යයි සිය මලන්ඩියට නොකියා කතානායකතුමා මෙවැනි දෙයක් කරන්නට යන්නේ මන්දැයි කෙනෙකුට හිතෙන්නට පුලුවන.

මේ උත්තර එන්නේ සැබෑ ප්‍රශ්නවලට ය. මේවා අතරින් බොහෝ ප්‍රශ්න ඇත්ත ය. ඒත් හැම උත්තරයක්ම පාහේ බොරු ය. මෝඩ ය.

මේ සමහර කතා අන්දරේගේ කැකිල්ලේගේ මහදැනමුත්තාගේ කතා වලට ද වඩා රසවත් වනවාට අමතරව අපට යමක් නොකළ යුත්තේ කෙසේ දැයි කියා දෙන්නේ ය. මේ කතා එකතු කළ හැකි නම් ඒ හරහා අලුත් සාහිත්‍යයක් ගොඩ නැගිය හැකි ය. ඊට අමතරව කළමනාකරුවන් සඳහා තීරණ ගැනීමේ පුහුණු වැඩ සටහනකට සැබෑ සිද්ධි අධ්‍යයනයන් හැටියටත් ඒවා ගත හැකි ය.

ඔබ දන්නා එවැනි කතා ඇතොත් අපත් සමග බෙදා ගනු ඇතැයි උදක්ම අපේක්ෂා කරමු.

(පලි. මීට සමාන දෙයක් ඊයේ පෙරේදා වෙන්නට ගොස් බේරුණේ ය. ඒ පාසල් සිසුවියක් සිය දිවිනසා ගැනීම නිසා ඊට හේතු වූ ෆේස් බුක් එක තහනම් කිරීමේ යෝජනාව ය. සිය දිවි නසා ගැනීම නැවැත්වීමට නම් තහනම් කළ යුතු තවත් බඩු භාණ්ඩ ලයිස්තුවක් කවුරුන් හෝ ඉදිරිපත් කරන්නට ඇත. ඊට සාරි, ටයිපටි, කෘමි නාශක, කෝච්චි සහ තව බොහෝ දේ ඇතුළත්ව තියෙන්නට ඇත. එතැනින්ම වැඩේ අවසන් වෙන්නට ඇත.)

Advertisements

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ මරණය – කළමනාකරණ ඇසකින් විමසුමට


ප්‍රශ්නයක් දෙස බැලිය යුත්තේ කෙසේ දැයි සාකච්ඡා කරන්නට අපට මේ මරණය නිමිත්තක් කර ගත හැකි ය. නැතිනම් වන්නේ මේ මරණය නිරපරාදේ වූ තවත් මරණයකට සීමා වීම පමණ ය.

ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලා උන්වහන්සේ සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ.

ගව ඝාතනය හොද ද? නැත් ද? අපට ඇසිය හැකි එක් ප්‍රශ්නයකි. හොද නොහොද යනු කාලයත් සමග වෙනස් වන එපමණක් නොව රටින් රටට ද වෙනස් වන සංකල්පයකි. එක් කලෙක වහල් වෙළදාම සාමාන්‍ය දෙයක් වූ අතර එකල ලෝක වාසීන් විසින් (වහලුන් ද ඇතුළත්ව) එය වැරැද්දක් හැටියට සැළකුනේ නැත.

මේ ප්‍රශ්නයට උත්තර හොයන අයට තවත් ප්‍රශ්නයක් මුණ ගැසේ. වැරදි ගව ඝාතනය පමණක් ද? එළුවන් ඝාතනය හරි ද?

කිසිම සතෙක් ඝාතනය නොකරන්නේ නම් හොද ය. මේ, ඒ සදහා යන මාවතේ මුල් පියවර ය. ඒ අපට ලැබෙන පිළිතුරු ය.

සත්ව ඝාතනයෙන් තොරව අපට මානව වර්ගයා ලෙස පැවැත්මක් වේ ද? වී ගොවියා වී ගොවිතැන රැක ගැනීම සදහා කෙතෙක් නම් සතුන් මරන්නේ ද? එළවලු පමණක් අනුභව කරන්නන් මේ සත්ව ඝාතනයන්ට උල් පන්දම් නොදෙන්නෝද? කුරුළු උණ වැළදුන කුකුළන් ලක්ෂ ගණනින් ඝාතනය කර මානව වර්ගයා ඒ භයානක වසංගතයෙන් බේරාගැනීමත් පාපයක් ද?

සියලු සතුන්ගේ ජීවිත බේරාගත හැක්කේ මාංශ භක්ෂික සතුන් ද තුරන් කිරීමෙනි. අප සතුන් නොමැරුවාට මාංශ භක්ෂීක සතුන් වෙන සතුන් දඩයම් කිරීම අපට නතර කළ නොහැකි නිසාවෙනි.

ඒ අවසානයක් නැති ප්‍රශ්නයට උත්තර දීම නවතා අපට මේ ප්‍රශ්නයට වෙනත් ලෙසකට ප්‍රවේශ විය හැකි දැයි බලමු.

ගව ඝාතනය නතර කිරිම ප්‍රායෝගික ද? නැත් ද?

එය කලින් ප්‍රශ්නය මෙන් නොව උත්තර සෙවිය හැකි ප්‍රශ්නයකි. ලංකාවේ බොහෝ පෙදෙස්වල ගව පට්ටි අයිතිකරුවෝ සිටිති. ඒ අයගේ පවුල් දිවි ගෙවන්නේ එළදෙනුන්ගෙන් කිරි ලබා ගනිමින් ඊට සමාන්තරව ගවයින් මසට විකිණිමෙනි. බැරි වෙලාවත් ගවයන් විකිණිය නොහැකි වන්නේ නම් ගවයන් හැදීමට ඇති අභිප්‍රේරණය අහෝසි වේ. එවිට එළදෙනුන් පමණක් ඉතිරි කර ගවයින් අයාලේ යන්නට හැරියොත් සිදුවන ව්‍යාසනය කොතෙක් වේ ද? මී හරක් මෙන් නොව එළ හරක් මිනිස් වාසයේ ජීවත් වෙන සත්ව කොට්ඨාෂයකි. එක් පැත්තකින් මිනිසුන්ට ජිවනෝපායක් අහිමිවන අතර සතුන්ට ඉන් රැකවරණය අහිමි වේ.

ගණිකා වෘත්තීය අප රටේ නීතියෙන් තහනම් ය. එහෙත් ලංකාවේ ගණිකාවන් 40,000 ක් පමණ සිටිතැයි සමීක්ෂණයකින් හෙලිවී තිබේ. මත්පැන් නිශ්පාදනය සදහා අවසර ඇත්තේ බලපත් ලාභීන්ට පමණකි. එහෙත් ලංකාවේ හොර අරක්කු හා කසිප්පු නිශ්පාදනය ගම් මට්ටමේ අතිශයින් ජයට කෙරෙන සිදුවන ස්වයං රැකියාවකි. හැම ගමකම වෙල් යායකම කැළෑ ගොන්නකම පාහේ කසිප්පු පෙරන බව නොදන්නේ කවු ද? ඒවා අනුව කල්පනා කරද්දී කැළෑවට ගාල් වෙන මේ හරකුන් මස් කරන්නට නීතියෙන් අවසරයක් නැතිව කටයුතු සිදු නොවේ යයි කිව හැක්කේ කාට ද?

ස්වභාව ධර්මයේ ස්වයං පාලනයක් සිදු වේ. ගව ජනගහණය වැඩි වුවහොත් ඔවුන් ඊළගට මිය යන්නේ කන්න නැතිව ය. වෙනත් බෝවෙන රෝගයන්ට ගොදුරු වෙලා ය. එය මේ තත්වයට වඩා සුන්දර ද?

හරි වැරැද්ද විවාදාත්මක වූ ද, ප්‍රායෝගිකත්වය ප්‍රශ්න කාරී වූ ද, මේ වෑයම තුළ තිබෙන ඊළග අවුල කුමක් ද? මේ විදිහට විවිධ ඉල්ලීම් ඉල්ලමින් මිනිසුන් සිය දිවි නසා ගන්නට සැළසුනොත් සිදු විය හැක්කේ කුමක් ද? මෙයින් දෙන ආදර්ශය හොද ද?

පිහියක් දික් කර මංකොල්ල කෑමත් යමක් නොදුන්නොත් තමන් දිවි නසා ගන්නා බව කීමත් අතර අහස පොළොව මෙන් දුරස්ථභාවයක් ඇති බව ඇත්ත ය. එහෙත් ඒ දෙක අතර යම් සමානත්වයක් ද ඇත. ඒ බලහාත්කාරයයි.

හැගීම්වලට වහල් නොවී මෙසේ විචාරශීලීව එළැඹි සිහියෙන් ප්‍රශ්නයක් දෙස බැලීමට අපට හැකි නම් මෙවැනි නිරාපරාදේ මරණ වළක්වා ගත හැකි ය. ජීවිත පූජාවක් කළ යුත්තේ එයින් යම් සුගතියක් අත් වේ නම් පමණ ය. මේ ඉල්ලීම තුළ එවැනි සුගතියක් ඇති කළ නොහැකි බව ගැඹුරින් විමසන්නෙකුට පෙනෙනු ඇත.

මෙවැනි ප්‍රශ්න සමාජයේ පළල් සංවාදයන්ට බදුන් විය යුතු ප්‍රශ්න මිසක කෙනෙකුගේ දෙදෙනෙකුගේ ආවේගයට අනුව උත්තර සෙවිය යුතු ප්‍රශ්න නොවේ. මේ සම්බන්ධයෙන් වන කතිකා ලාභ ජනප්‍රියතාවය සොයන මැදිහත් වීම් ලෙස මිසක විචාර බුද්ධියෙන් යුතුව කරන මැදිහත් වීම් ලෙස සැළකිය නොහැකි ය.

කළමනාකරුවන් හැටියට ප්‍රශ්නයක් ආවේගශීලි මට්ටමට පහළින් තබා ගැනීම හැම විටම වඩා ප්‍රබුද්ධ තීරණයකට ඒමට අපට උපකාරීවන බව සිහිකට යුතු ය.